හොඳට තිබ්බ පොල් පලදාව නැතිභංග කළේ මෙහෙමයි


ඉතිහාසයේ කවරදාකවත් නොසිදුවු අයුරු පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහළ ​ෙගාස් ඇත. පසුගිය කාලයේ “පොල් බෑයට” දේශපාලන දේවතාවා ආරුඪ කරමින් දේශපාලන වේදිකාවක් වේදිකාවක් පාසා “පොල් බෑ” පෙන්වමින් පොල් බෑයෙන් මහජන මනාපය ලබාගත් අයුරු අපට මතකය. දැන් පවතින තත්ත්වය අනුව “පොල් බෑයක්”පෙන්වන්නට පුළුවන් කමක් නැත. ”පොල් අඩලයක්” අතට අරගෙන වේදිකාවලට නගින්නට දේශපාලකයන්ට දැන් වෙලාව පැමිණ ඇත.   


සුද්දාගේ කාලයේ දී මෙරට පරිභෝජනයට පමණක් නොව වි​ෙද්ශ මුදල් උපයන අපනයන භාණ්ඩයක් වශයෙන් මේ රටේ පොල් ඵලදාව යොදාගනු ලැබීය. සුද්දා මේ රට ස්වදේශීය පාලකයන්ට බාරදී යන විට පොල්වතු ටික රැගෙන ගියේ නැත. සියලු පොල් වතු එපරිද්දෙන්ම පැවතිණ. ස්වදේශීය පාලකයන් අතට මේ බුදලය ලැබීමෙන් පසු ඇතැම් දේශපාලකයෝ තුට්ටු දෙකට පොල් වතු අක්කර සිය ගණන් ලබාගත්හ. වතු සංවර්ධන මණ්ඩලය යයි කියාගත් රාජ්‍ය ආයතනයකට පොල්වතු පවරා ගත්හ. සමහර පොල්වතු කැබලිකර විකුණා දැමුහ. රාජ්‍ය වතු පාලන සංවර්ධනයට නොව පරිහානියට හේතු විය. අනෙක් බොහෝ දේ මෙන් මේ රටේ පැවති පොල්වතු ටිකද දේශපාලකයෝ උලා කෑහ. අද පොල් ගෙඩිය ගිනි ගණන්ය. දේශීය පාලකයන් සිය මාතෘභුමිය ගැන ඇති ළැදියාව, ආදරය කෙතරම්ද යත් සුද්දා විදේශ විනිමය පවා උපයාගත් පොල් වගාව කාබාසිනියා කරදමා මේ රටේ පොල් ගෙඩිය රුපියල් සියය දක්වා ඉහළ යාමට කටයුතු කිරීමෙන් පෙනේ. වි ගොවිතැන මස්ත බාල්දු කර දමා සහල් මෙට්රික් ටොන් ලක්ෂ ගණනින් පිටරටවලින් දැන් ආනයනය කරන්නාක් මෙන් පොල් වගාව ද විනාශ කර දැමීම නිසා සාක්කුවට කොමිස් පුරවාගෙන පොල් පිටරට වලින් ආනයනය කිරීමට දැන් අවස්ථාව සැලසී තිබේ. ”එන හැටි හොඳ නෑ කෙල්ල ගෙට ගං” කීවාක් මෙන් පොල් බෙදීල්ල සතොසට පවරා ගැනීමෙන් පුදුම වීමට දෙයක් නැත.   


මේරටේ “පොල් වගාව”දේශීය ආදායම් උල්පතේ තුන්වැනි ස්ථානයේ පැවතිණි. ස්වදේශීය පාලකයන් අතට පත්වූ පසු අද පොල් වගාව බිංදුවට වැටී ඇත. එසේ වීමට බලපා ඇති හේතු ගණනකි. ඒවා මෙසේ කෙටියෙන් දැක්විය හැකිය.   


01. පොල් වතු සඳහා සංවර්ධන අධිකාරියක් පිහිටුවීම.   

02. සමහර දේශපාලකයන් විසින් අක්කර සිය ගණන් පොල්වතු තුට්ටු දෙකට සිය සන්තකයට පවරා ගනු ලැබීම.   

03. පොල් වතු කැබලි කර විකිණීම.   

04. දේශීය පොල් වගාවට විදේශවලින් ගෙනා විවිධ රෝග බෝ කිරීම.   

05. පොල් වගාව විනාශ කරමින් රතු කුරුමිණි උවදුර ව්‍යප්ත වීම.   

06. ආනයනික පොල්කිරට ජනතාව පෙළඹවීම.   

 

මෙවැනි කරුණු රැසක් පොල් පලදාව නැති භංග කිරීමට හේතුවී තිබේ. “පුංචි පවුල රත්තරං” කීවාක් මෙන් “පිටරට ​ෙපාල් කිරී මසුරං” යයි කීමට දැන් මෙරැටියාට සිදු වී තිබේ. මේවා අහඹු ලෙස සිදුවන විනාශ නොවන බව තවමත් පාලකයන්ට පෙනී ගොස් ඇති බවක් නොපෙනේ.   


එළදෙනගේ බුරුල්ල කිරිවලින් පිරී ඉතිරී යන්නට නම් ආනයනික “ගිනි” නම් වූ තණකොළ විශේෂය දිය යුතු යයි පසුගිය කාලයේ රාජ්‍ය සත්ව පාලන අංශයේ එක් ලොක්කෙක් විසින් නිර්දේශ කරනු ලැබ තිබේ. ලෝකයෙන් “ගිනි තණකොළ” ගෙන්වා මෙරටට බෝ කළේය. අද සිදුවී ඇත්​ෙත් කුමක්ද?. මුළු රටම ගිනි තණකොළ වලින් ගිලගෙන පසේ පෝෂණ ශක්ති විනාශ කර දමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තවත් ලොක්කකු විසින් “ඉපිල් ගස” මහා සම්පතක් යයි හඳුන්වා, විදේශයෙන් ඉපිල් ඇට ​ෙගන්වා රට පුරා බෙදා හරින ලදි. අද සිදුවී ඇත්තේ කුමක්ද? පොල් පලදාවේ මාරයාගේ ජන්ම භූමිය වී ඇත්තේ ඉපිල් ගසයි. මේවන විට පසේ සාරය උරාබොමින් රටපුරාම ඉපිල් ගස ව්‍යාප්ත වී ඇත. මේ ඉපිල් ගස ජන්ම භූමිය කරගත් මයිටියා නමින් ගැමියන් හඳුන්වන කෘමියා ලක්ෂ ගණනින් ඉපදි, පොල් පලදාවට වහ වැටි පොල් ගෙඩියේ සාරය උරා බී​ පොල් පලදාව විනාශ කර දමනු ලබයි. සෑම පොල් වත්තකටම පාහේ අද මයිටියා බෝ වි පොල් පලදවෙන් හරි අඩක්ම විනාශ කර දමයි. මේ නිසා එදිනෙදා ආහාර වේලට පොල් හිඟයක් ඇතිවිය. ​ෙපාල් මිල අහස උසට නැග්ගේය. නමුත් බියවීමට හේතුවක් නැත. පිටරටින් ආනයනට කළ “මසුරං පොල් කිරි” වෙළඳපොළේ ඇත.   
මේ වන විට දකුණේ සමහර ප්‍රදේශවල පොල් කොළ රෝගයක් පැතිරෙමින් පොල් පලදාව විනාශ වෙමින් පවතී. මෙයද අහඹු සිදුවීමක් නොවේ. ​අපේ රටේ පොල් පලදාව හීනවී යන තරමට පිටරට පොල් කිරට අපේ මුළුතැන්ගෙයි දොර ඇරෙයි. කැලේ නසන්නේ කැලේ ගසක්ම යයි. කීවාක් මෙන් ​අපේ රට විනාශ කිරීමට මේ ජාතික උවදුර පිටරටවලින් කැන්දාගෙන එන්නේ ​අපේම උන්ය. රට විනාශ කරමින් තමන්ගේ බඩ ගෙඩිය පමණක් පුරවා ගැනීමට කටයුතු කරන මෙහෙම දේශද්‍රෝහී පරම හතුරන්ට හොඳක් නම් නොවිය යුතුමය.   


හරක් පට්ටියේ අංකුරා මුදුනා වී, තණකොළ කකා ඉදිරියට යන විට පට්ටියේ පසුපෙළ හරකුන්ද ඔහු අනුකරණය කරමින් ඉදිරියට යන්නා සේ අපේ රටේ එක් අංශයක ලොක්කෙකු රට පාවා දෙන වැඩක් කළ විට ඊට සාදු සාදු කියමින් ඔහු අනුකරණය කිරීම අපේ රටේ රාජ්‍ය සේවයේ ස්වභාවය වී තිබේ. රජයේ කළමනාකරණ මට්ටමේ නිලධාරීන් තුළ, “මේ රට අපේය... මේ ජනතාව අපේය. රට දියුණුවට මංපෙත් හෙළිකළ යුත්තේ අපය.” යන දේශ හිතෛෂී, මානව හිතෛෂී ආදරයක් අභිමානයක් ඇතිවන තුරු ඉබාගාතේ පාවී යන ඔරුවක් සේ අපේ රට පරිහානියට පත්වනු ඒකාන්තය   


පොල් පලදාව විනාශ වී යන්නට බලපා ඇති තවත් ප්‍රධාන හේතුවක් වන්නේ රතු කුරුමිණි උවදුරයි. පීදෙන වයසේ පොල්ගස්වලට රිංගන රතු කුරුමිණියා බිත්තර දමා දහස් ගණන් පැටව් බෝ කරමින් පොල් ගසේ බඩය කා විනාශ කර දැමීමෙන් පසු පොල් ගස් ඇද වැටෙයි. සමහර පොල්වතුවල විශාල ලෙස රතු කුරුමිණි උවදුර පැතිරී තිබේ.   


රතු කුරුමිණියා මෙල්ල කළ හැකි එකම කෘමි නාශකය වන්නේ ‘‘මොනකොටපොස්’’ කෘමි නාශකයයි. මෙය මිලදී ගැනීමට විවෘත වෙළඳපොළේ නැත. මේවා මිලදී ගත යුත්තේ පොල් සංවර්ධන මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලවලින් පමණි. දිස්ත්‍රික්කයේ ඈත පිටිසර ගම්වල සිටින අය පවා ‘‘මොනකොටපොස්’’ කෘමිනාශකය ලබා ගැනීමට දිස්ත්‍රික් පොල් සංවර්ධන කාර්යාලයට පැමිණිය යුතුය. එසේ පැමිණ සමහර විට මොනකොට පොස් කෘමිනාශකය අවසන් වී පවතී. මෙවැනි ගැටලුකාරී තත්ත්වද පොල් වගාව බාල වීමට හේතු වී තිබේ. බොහෝ විෂඝෝර කෘමි නාශක විවෘත වෙළඳපොළේ පවතින්නේ නම් ‘‘මොනකොටපොස්’’ පමණක් විවෘත වෙළඳපොළට නොදී පොල් සංවර්ධන මණ්ඩලය තුළ හිර කරගෙන සිටින්නේ මන්දැයි ප්‍රශ්නයකි. සමහර විට මෙයද පොල් වගාව විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක බාහිර ක්‍රියාකාරකමක් වන්නට බැරි නැත.   


ගොවියෝ පොල් වවති. රජයේ අවිචාර සහ අදූරදර්ශි වැඩ හරහා දේශිය පොල් පලදාව හීන කර දැමීමට උපායශීලිව කටයුතු කරන බහුජාතික සමාගම් ‘‘රට පොල්කිරි’’ හරහා මෙරට පොල් වගාව හෙම්බත් කර දමති. අන්තිමට පොල් ගෙඩියේ මිල අහස උසට නැඟ රට පොල් කිරට ජනතාව පොලඹවවති. මේ සැබෑ කථාවට දෙයියොත් සාක්කි.   

 

 

 

 

 

 

 

 

එප්පාවල - රත්න බී. එකනායක