හිමිනමක් පැදවූ රථයට යටවී මියගිය චිත්‍ර ශිල්පියා



හිමිනමක් පැදවූ කැබ් රථයක් නිසා සිදුවූ රිය අනතුරකින් පසුගිය 13 වැනිදා කලවාන වැද්දාගල ප්‍රදේශයේ 19 හැවිරිදි සිසුවකු මිය ගොස් එම වයසේම පසුවන තවත් සිසුවෙක් තුවාල ලැබීය. මෙම අනතුරත් සමගම ජනතාව සංවේගයෙන් සසල විය. රත්නපුර කලවාන මාර්ගයේ කරවිට ජයන්තිපුර මංසන්ධියේ දී මෙම අනතුර සිදුව තිබුණි.   


මෙම අනතුරින් උතුරු වැද්දාගල කලවාන පදිංචි එච්.ආර්. ධනුෂ ලක්ෂාන් නමැති සිසුවා මියගිය අතර එම ප්‍රදේශයේම පදිංචි ඩබ්ලිව්.පී. ප්‍රියදර්ශන නමැති සිසුවා තුවාල ලබා රෝහල් ගත කෙරුණි. මොවුන් දෙදෙනා සම වයසේ මිතුරන් වෙන අතර උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි සිසුන් දෙදෙනෙකි. මිය ගිය ධනුෂ ලක්ෂාන් තාක්ෂණ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති අතර ඔහු ඉගෙනුම ලැබ ඇත්තේ වැද්දාගල මහා විද්‍යාලයෙන් හා කලවාන ජාතික පාසලෙනි. තුවාල ලැබූ ඩබ්ලිව්.පී. ප්‍රියදර්ශන, ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. ඔවුන් සරසවි යාමට බලාපොරොත්තු වී සිට අැත. ධනුෂ සරසවි යාමට දින ගැන්නද එයට පෙර අවාසනාවන්ත ලෙස මාරයා ඔහුට හරස් වූයේ ඔහුවත් බලාපොරොත්තු නොවූ ලෙසිනි.   


මෙම අනතුර සිදුවූ දින මිතුරන් දෙදෙනා නිවසින් පිටව ඇත්තේ ප්‍රදේශයේ සංවිධානය කෙරුණු ක්‍රිකට් තරඟයකට අවශ්‍ය කුසලාන ලබාදෙන බව පැවසූ නිවිතිගල ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ නිවසක් වෙත යාමටය. යතුරුපැදිය පදවාගෙන ගොස් ඇත්තේ මියගිය ධනුෂ ලක්ෂාන්ය. පිටුපස ගමන් කර ඇත්තේ තුවාල ලැබූ ඔහුගේ මිතුරා වන ප්‍රියදර්ශනය. එය කුඩා යතුරුපැදියකි. කරවිට ජයන්තිපුර ප්‍රදේශයට ළංවන විට මියගිය ධනුෂගේ දුරකථනයට ඇමතුමක් ලැබෙමින් තිබුණි. එම ඇමතුමට ප්‍රතිචාර දැක්වීම සඳහා ධනුෂ මාර්ගයේ අයිනට කර යතුරුපැදිය නැවැත්වූ බවත් තමන් එයින් බැසීමට හදනවාත් සමග යමක් වේගයෙන් ඇඟේ වදින බව දැනුණු බවත් ඉන්පසු තමන්ට සිහිය නැතිවූ බවත් සිද්ධියෙන් තුවාල ලැබූ ප්‍රියදර්ශන පොලිසියට කටඋත්තර ලබාදෙමින් පවසා ඇත. තමන්ට ටික වේලාවකින් සිහිය එන විට ධනුෂ කැබ් රියක් සමග ගසකට හේත්තුවී සිටි බව ඔහු වැඩිදුරටත් පැවසීය.   


මෙම අනතුර සිදුකළ කැබ්රිය පදවා ඇත්තේ කලවාන පොතුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක හිමිනමක් බව නිවිතිගල පොලිසිය පැවසීය. එම හිමිනම අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළේය. 

 
අනතුර සිදුවූ වහාම කරවිට, ජයන්තිපුර, දෙණියකඩේ ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණි. එම අවස්ථාවේ බස් රථයෙන් සේවයට යමින් සිටි පෞද්ගලික ආයතනයක හෙදියක්ද විශාල සහයෝගයක් ලබාදී තිබේ. 1990 ගිලන් රථයට තුවාලකරුවන් භාරදීමට පෙර මූලික ප්‍රතිකාර එම හෙදිය විසින් ලබාදී ඇත්තේ තමන් පැමිණි බස්රථය පිටත්ව ගිය බවද නොතකාය. අත්වල හා ඇඳුම්වල ලේ තැවරීම් නොතකමින් ඇය කළ සේවය ප්‍රදේශවාසීන්ගේ පැසසුමට ලක්ව තිබුණි. ඇය කලවාන ප්‍රදේශයේ පදිංචි සුරංගි සෝමසුන්දර නමැත්තියකි.  
මෙම අනතුරට මුහුණ පෑ කලවාන උතුරු වැද්දාගල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම්.පී. ප්‍රියදර්ශන (19) : 


මියගිය ධනුෂ මගේ ගමේම කෙනෙක්. අපි හොඳ යාළුවෝ. සිද්ධියවූ දවසේ දවල් 12.30ට විතර මාත් ඔහුත් කලවාන නගරයේදී හමුවුණා. අපි සංවිධානය කරන ක්‍රිකට් තරගයකට කුසලානයක් ලබාගන්නට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හමුවෙන්න යමු කියලා ධනුෂ මට කතා කළා. ඊට පස්සේ මම ඔහුගේ යතුරුපැදියෙන් මන්ත්‍රීතුමාගේ නිවස බලා නිවිතිගල යාමට පිටත්වුණා. යතුරුපැදිය ධනුෂ පදවාගෙන ගියා. ධනුෂට කරවිට ජයන්තිපුර හන්දියේ දී දුරකථන ඇමතුමක් ආව නිසා බයිසිකලය පාර අයිනට කරලා නැවැත්තුවා. ඊට පස්සේ තමයි මේ අනතුර වුණේ. පස්සේ අපි දෙන්නව ගිලන් රථ වලින් රත්නපුර රෝහලට රැගෙන ආවා. අනතුර සිද්ධ වුණාට පස්සේ මට සිහිනැති වෙලා හිටියේ. අපි දෙන්නම හදිසි ප්‍රතිකාර අංශයේ හිටියේ. මට දැනගන්න ලැබුණා ධනුෂ මියගියා කියලා. මාව පරීක්ෂා කරලා පසුව මම රෝහලෙන් ආවා. මම ධනුෂලාගේ ගෙදරට ගියත් මට මිනිය බලන්න බැහැ. මට හරිම දුකයි. එයා හොඳ යාළුවෙක්.  


මියගිය ධනුෂ ලක්ෂාන්ගේ මව වන අචලා නන්දනී ආරියරත්න : “මේ මිය ගිහින් ඉන්නේ මගේ බාල පුතා. වැඩිමහල් පුතා රක්ෂාවක් කරනවා. ගෙදර ඉන්නේ වැඩිපුර පොඩි පුතා. මට මේ වෙච්චි දේ දරාගන්න බැහැ. මම උතුරු වැද්දගල පාසලේ ගුරුවරියක්. මම ළමයින්ට ආදරෙයි. මියගිය පුතා කලවාන ජාතික පාසලේ තාක්ෂණ අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. පුතා චිත්‍ර අඳින්නත් දක්ෂයි. එයා පසුගිය දවස්වල කලවානේ චිත්‍ර අඳින්න ගියා. ඒවා හරිම ආසාවෙන් කළේ. පුතා කාටවත් වරදක් කරන්නේ නැහැ. හොඳ කීකරුවට හිටිය දරුවා උදේ ගෙදරින් හොඳට ගියා. පුතා හවස මෙහෙම වෙලා එනකොට දරාගන්නේ කොහොමද? මෙවැනි දේවල් තවත් අයට නොවෙන්න කවුරුත් වගබලා ගත යුතුයි.”  


මියගිය ධනුෂ ලක්ෂාන්ගේ පියා වන එච්. ආර්. ආරියරත්න : “මමත් මීට කලින් අනතුරකට මුහුණදීලා කකුලක් අහිමිව ඉන්නේ. අපි කොච්චර බලාපොරොත්තු ඇතුවද අමාරුවෙන් දරුවෝ හැදුවේ. පොඩි පුතා හොඳට ඉගෙන ගත්තා. එයා කාටවත් කරදරයක් හිංසාවක් නැති දරුවෙක්. ගමේ, පාසලේ හැමෝම පුතාට ආදරෙයි. එයාට හොඳ යාළුවෝ හිටියා. ඒ හැමෝටම එයා ආදරෙයි. මේ සිද්ධිය කාටවත් දරාගන්න බැහැ. කොහොමද හිතන්නේ ගෙදර හුරතලයට හිටපු පුතා අපිට කලින් අපිව දාලා යයි කියලා. මොනදේ වුණත් මගේ පුතා මට ආයේ ලැබෙන්නේ නැහැනේ.”  


අනතුරින් මියගිය ධනුෂ ලක්ෂාන්ගේ සහෝදරයා වන එච්.ආර්. අමිල රත්නායක : “මට මල්ලිගේ මේ සමුගැනීම දරාගන්න බැහැ. අපි සහෝදරයන්ට වඩා හිටියේ යාළුවෝ වගේ. එයාගේ හිතේ බලාපොරොත්තු ගොඩක් තිබුණා. එයා ගොඩක් අයට උදවු කළා. මට දැන් මල්ලි කෙනෙක් නැතිවුණා. මල්ලි චිත්‍රවලට දක්ෂයි. ඔය සිද්ධියට කලින්දා රාත්‍රියේ එයා අඳින්න පටන්ගත්ත චිත්‍රය තමයි එයාගේ කාමරේ තියෙන්නේ. එක තමයි එයා ඇඳපු අන්තිම චිත්‍රය. ඒක ඉවර කරගන්න බැරිවුණා. මෙහෙම අනතුරු සිදුනොවන්න කවුරුත් වගබලාගන්න ඕනෑ.”  


මෙම අනතුර සිදුකළ කැබ් රථය පදවාගෙන ආ සැකකාර හිමිනම පසුගිය 14 වැනිදා රත්නපුර හදිසි මරණ පරීක්ෂක ටී.එම්. හරින්ද ලක්මිණ තෙන්නකෝන් මහතා ඉදිරියේ පැවැති මරණ පරීක්ෂණයේදී මෙසේ ප්‍රකාශ කළහ.  


“කලවාන නගරයේ සිට මම උගන්වන දෑල පිරිවෙන වෙත කැබ්රථය පදවාගෙන යමින් සිටියා. ජයන්තිපුර මංසන්ධියේ දී කැබ් රථය පාලනය කරගැනීමට නොහැකිව පාර අයිනේ සිටි තරුණයින් දෙදෙනෙකු යටකරගෙන කැබ් රථය කොස් ගසක වැදුණා. අනතුර සිදුවූ කැබ් රථය පැදවූයේ මමයි. එම වාහනේ ලියාපදිංචි අයිතිකරුද මමයි. භික්ෂූන් වහන්සේ නමක් ලෙස මාහට වාහන පැදවීමට ලියාපදිංචි රියදුරු බලපත්‍රයක් නැහැ. අනතුර සිදුවුණ පසු මම නිවිතිගල පොලිසියට දුරකථනයෙන් දැනුවත් කළා. තුවාල ලබා සිටි තරුණයන් දෙදෙනා ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් 1990 ගිලන් රථයෙන් රෝහල් ගත කරන්න කටයුතු කළා. පසුව අනතුරට ලක්වූ එක් තරුණයකු මියගිය බව දැනගන්නට ලැබුණා.  


මෙම හදිසි මරණ පරීක්ෂණයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රත්නපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ටී.එම්. හරින්ද ලක්මිණ තෙන්නකෝන් මහතා මෙසේ ප්‍රකාශ කළේය.  
‘‘බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් මෙන්ම රජයේ අනුමත පිරිවෙනක ගුරුවරයෙක් ලෙසත් ඔබ වහන්සේ නීතිය දැනගෙන කර තිබෙන්නේ වරදක්. රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පදවපු එක වරදක්. ඒ නිසා වටිනා තරුණ ජීවිතයක් අකාලේ මියැදී තියෙනවා. මට දැනගන්නට ලැබුණා ඔබ වහන්සේ රිය පැදවූ පළමු අවස්ථාව මෙය නොවන බව. රියදුරකු යොදවා ගෙන රිය රැගෙන යාම සිදුකළ යුතුව තිබුණා.  


රත්නපුර ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී චානක රණසිංහ මහතා විසින් මරණ පරීක්ෂණය සිදුකරන ලදී. මොට යමක ගැටීමෙන් උදරයට හා යටි බාහුවලට සිදුවූ බහුවිධ තුවාල මත මරණය සිදුවී ඇතැයි එහිදී නිගමනය විය.  


ධනුෂ ලක්ෂාන්ගේ මරණය පිළිබඳ අවසන් කටයුතු දහස් සංඛ්‍යාත ගුරු දෙගුරු නෑදෑ හිතමිතුරන්ගේ සෝ සුසුම් මැද 16 වැනිදා සවස පවුලේ සුසාන භූමියේදී සිදුකෙරුණි.  
අත්අඩංගුවට ගත් භික්ෂුව රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් විජය තෙන්නකෝන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 17 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කෙරුණි. පසුව 17 වැනි දින නඩුව යලි කැඳවූ අවස්ථාවේදී රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොන්දේසි මත ඇප ලබාදී තිබේ.

 

 

කලවාන - 
උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංග
රත්නපුර - 
ලසන්ත නිරෝෂණ පෙරේරා