හැට දහසකට දිවි අහිමිවූ ​ ‘‘දේශප්‍රේමී’’ කැරැල්ල


විජේවීර ඝාතනය කර වසර 29යි 

 

ජවිපෙ නායක රෝහණ විජේවීර ඝාතනයට පත්වී නොවැම්බර් 13 වන අඟහරුවාදාට වසර 29 කි. ජවිපෙ 2වැනි කැරැල්ල 1986 ආරම්භ වූ අතර එය 1990 නිමාවට පත්වනවිට රෝහණ විජේවීර සමඟ ඝාතනයට පත්වූ පිරිස 60,000 කි. මේ ඉල් මහ විරු සමරුවට පාදක වූ ජවිපෙ 2වැනි කැරැල්ල පිළිබඳව මුල සිට අග දක්වා අතීත ආවර්ජනයකි.  


ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) 1965 මැයි 14 ආරම්භයේ සිට මේ දක්වා කැරැලි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල වූ 1971 අප්‍රේල් 05 කැරැල්ල මර්දනය කිරීමේදී සමගි පෙරමුණ ආණ්ඩුව අතින් ඝාතනයට ලක්වූ කැරැලිකරුවන්ගේ සංඛ්‍යාව 5,000කට ආසන්නය. එවකට ආණ්ඩුව විසින් ප්‍රකාශ කළ දත්ත අනුව ඝාතනයට ලක්වූ කැරැලිකරුවන් සංඛ්‍යාව 1,200ක් පමණ වේ. එසේම 1971 කැරැල්ලේදී අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපන කඳවුරු 11 රඳවා සිටි කැරැලිකරුවන්ගේ සංඛ්‍යාව 17,953 කි. ඉන් පොදු දේශපාලන සමාව යටතේ භාර වූ සංඛ්‍යාව 4,200 කි. අප්‍රේල් කැරැල්ලේ ඝාතනයට ලක්වූ කැරැලිකරුවන් වෙනුවෙන් සෑම වසරකම අප්‍රේල් 05 විරු සමරු ද පැවැත්වේ. 


පරීක්ෂණ සභා කොමිෂන් 4ක් මගින් 71 කැරැල්ලේ මහ නඩුව ඇතුළු පරීක්ෂණ 140ක් පවත්වන ලදී. එහිදී චෝදනා ලැබූ චූදිතයන් සංඛ්‍යාව 3,908 කි. පුනරුත්ථාපනය කර සමාජයට යොමු කළ සංඛ්‍යාව 16,853 කි. සෙසු අයට අත්හිටවූ, සිරදඬුවම්, බරපතළ සිරදඬුවම් සහ ජීවිතාන්තය තෙක් සිරදඬුවම් ආදී වශයෙන් සිරදඬුවම් නියම විය. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත 1977 ඔක්තෝබර් 01 අහෝසි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විජේවීර ඇතුළු සිරදඬුවම් විඳිමින් සිටි සියලු දෙනා 1977 නොවැම්බර් 2 එජාප ආණ්ඩුව මගින් නිදහස් කරන ලදී. 


ජවිපෙ 2වැනි කැරැල්ල 1986 ඇරැඹී 1990 අවසන් වූ අතර එහිදී ආණ්ඩුවේ ආරක්ෂක අංශ සහ අතුරු හමුදා කණ්ඩායම් ද ප්‍රා. සංවිධානය සහ කැරැලිකරුවන් මගින් ද ඝාතනයට ලක්වූ හෝ අතුරුදන් වූ පිරිස මානව හිමිකම් සංවිධානයන්ගේ වාර්තාවන්ට අනුව 67,652 කි. රජයේ නිල නොවන වාර්තාවන්ට අනුව ඝාතනයට හෝ අතුරුදන් වූ සංඛ්‍යාව 41,813 කි. මින් 6,661ක් ජවිපෙ කැරැලිකරුවන් අතින් ඝාතනයට ලක්වූ අතර ජවිපෙ විරෝධී සහ එජාප ආණ්ඩුවේ සහායක කණ්ඩායමක් ලෙසින් චෝදනා ලත් ප්‍රා. සංවිධානය මගින් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,222 කි. සෙසු සියලුදෙනා ඝාතනයට පත්වූයේ ආරක්ෂක අංශ ඇතුළු එයට සෘජු සහ වක්‍ර සම්බන්ධකම් තිබූ අතුරු හමුදා කණ්ඩායම් වන කළු බළල්ලු‍, ස්‍රා, උකුස්සෝ, රාජාලියෝ, කහ බළල්ලු‍, කොළ කොටි, රතු මකරු, මාපිලා, ගෝනුස්සා, නී, කේෂර සිංහයෝ, ලේ මාපිල්ලු‍ සහ කළු කොටි වැනි සංවිධානයන්ගෙනි. 
ඉල් මහ සමරුව වාර්ෂිකව පවත්වනු ලබන්නේ රෝහණ විජේවීර ඝාතනයට ලක්වූ 1989 නොවැම්බර් 13 නිමිති කොටගෙනය. ඒ අනුව ආරක්ෂක අංශ, ඔවුන් විසින් ඍජුව සහ වක්‍රව මෙහෙයවන ලද අතුරු හමුදා කණ්ඩායම්, ප්‍රා. සංවිධානය මගින් ඝාතනය කරන ලද රෝහණ විජේවීර ඇතුළු කැරැලිකරුවන් සැමරීම ඉල් මහ සමරුව මගින් සිදුකෙරේ. 
ජවිපෙ 2වැනි කැරැල්ලේදී ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් 1986 සිට 1990 දක්වා ඝාතනය කරන ලද සංඛ්‍යාව 6,661 කි. ඒ අතර එජාප ක්‍රියාකාරීන් 1,783, රාජ්‍ය නිලධාරීන් සහ සේවකයන් 485, පොලිස් නිලධාරීන් 357, ආරක්ෂක හමුදා නිලධාරීන් 15ක් ඇතුළු සෙබළුන් 202, සරසවි සහ පාසල් සිසුන් 187, පොලිස් පවුල් සාමාජිකයන් 92, හමුදා පවුල් සාමාජිකයන් 70, විදුහල්පතිවරුන් 52, භික්ෂූන් 41, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් 27, වතු පාලකයන් 18, මාධ්‍යවේදීන්/ කලාකරුවන් 9, නීතිඥයන් 7, ප්‍රධාන ව්‍යාපාරිකයන් 6, මහාචාර්යවරුන් 2, කතෝලික පූජකවරුන් 2, ශ්‍රීලනිප 200ක් පමණ, මහජන පක්ෂයේ 141, කොමියුනිස්ට් පක්ෂයේ 43, නසසප 24, සමසමාජ 22, ජනතා සංගමයේ 19, වසර 1971 අප්‍රේල් කැරැලිකරුවන් 7, විකොස 3, ජනතා සමාජවාදියෝ 5, සමාජවාදී ජනතා ව්‍යාපාරයේ 1, අවිස්සාවේල්ල කණ්ඩායමේ 1, වෛද්‍යවරුන් ඉංජිනේරුවරුන් ගුරුවරුන් ද ඇතුළත් පුරවැසියන් 2,888ක් අයත් විය. දෙවැනි කැරැල්ලේ කැරැලිකරුවන්ගේ ප්‍රථම ඝාතනය වූයේ 1986 දෙසැම්බර් 5 හම්බන්තොට මිද්දෙණිය ගෝනදෙණිය විදුහලේ විදුහල්පති 39 හැවිරිදි එච්. ජයවික්‍රමය. ජවිපෙ පත්‍රිකා ඇලවූ සිසුන් පිරිසකගේ පන්ති තහනම් කිරීම එයට හේතුව විය. 

 

වාරියපොලදී අත්අඩංගුවට ගැනීමෙන් පසු කුරුණෑගල වැහැර කඳවුරේදී 1989 ජුලි 9 ඝාතනයට පත් ජයවර්ධනපුර සරසවි සිසු පියසිරි ප්‍රේමලාල් අනුස්මරණය කරමින් ඔහුගේ ඡායාරූපය බහාලූ මිනීපෙට්ටියක් උත්තමචාරය මැද 1989 ජුලි මස අවසන් කටයුතු සිදුකළ අන්දම. 

ජවිපෙ 2වැනි කැරැල්ලේ මාතලේ දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් වඩුවලාගේ ගෙදර මුනිදාස 1988 ජුනි 1 රාත්‍රී දඹුල්ලේ මිරිස්ගෝනියාව පාලම අසළදී ආරක්ෂක අංශ මගින් තබන ලද වෙඩි ප‍්‍රහාරයකින් මරුමුවට පත්ව වැටී සිටි අන්දම මධ්‍යම පළාත් සභා ඡන්දය පැවැති ඊට පසු දින උදෑසන දිස්වූයේ මෙසේය. මාතලේ යටවත්තේ ඉඩම්ගම පදිංචි මුනිදාස වසර 1950 මැයි 22 උපන්නෙකි. 

 


ආරක්ෂක අංශ සහ අතුරු හමුදා කණ්ඩායම් විසින් ජවිපෙ 2වැනි කැරැල්ල අවසාන භාගයේදී අනුකම්පා විරහිත මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර අත්අඩංගුවට ගත් කැරැලිකරුවන් අතිබහුතරයක් වධබන්ධනවලට ලක්කර තිරස්චින ලෙස ඝාතනය කරන ලදී. එසේ ඝාතනයට ලක්වූ 33,930ක පිරිස අතර ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් 13න් 12ක් ද මධ්‍යම කාරක සභිකයන් 35න් 27ක් ද දිස්ත්‍රික් 19කට අයත් වරින් වර සිටි සන්නද්ධ ලේකම්වරුන් 97න් 79ක් ද විය. එමෙන්ම බෞද්ධ භික්ෂූන් 681, මාධ්‍යව්දීන්/ කලාකරුවන් 7, නීතිඥයන් 8ක් ද විය. එම පිරිස අතර සරසවි සිසුන් 623ක් වූ අතර ඉන් සරසවි සිසුන් 396ක් හඳුනාගත් අතර තවත් 227ක් අතුරුදන් විය. ඝාතනයට ලක්වූ පාසල් සිසුන් සංඛ්‍යාව 2,327 කි. 


මානව හිමිකම් සංවිධාන වාර්තා අනුව ජවිපෙ 2වැනි කැරැලි සමයේ ඝාතනය වූ හෝ අතුරුදන් වූ සංඛ්‍යාව 67,652 කි. ඔවුහු දිස්ත්‍රික්ක වශයෙන් පහත ආකාරයට වර්ග කළ හැකිය. ඒ අනුව හම්බන්තොට 7068, ගාල්ල 5981, කෑගල්ල 4912, මාතර 4823, බදුල්ල 4792, මොණරාගල 4568, අනුරාධපුර 4451, කුරුණෑගල 4210, මාතලේ 4110, කොළඹ 3827, ගම්පහ 3663, රත්නපුර 3402, නුවර 3001, කළුතර 2957, පොළොන්නරුව 2870, අම්පාර 1670, නුවරඑළිය 1416 සහ පුත්තලම 931 වේ. 


ජවිපෙ රට පුරා දිස්ත්‍රික්ක 19ක ක්‍රියාත්මක වූ අතර 2වැනි කැරැල්ලේ එක් එක් දිස්ත්‍රික්කයන්හි සන්නද්ධ අංශය සන්නද්ධ බළකායන් ලෙසින් නම්කර තිබුණේ මෙසේය. හම්බන්තොට - ගුණසේන වර්ණපටබැඳි, මාතර - සුසිල් වික්‍රම, ගාල්ල - මද්දගේ කමලබන්දු, කළුතර - බණ්ඩාර කරුණාරත්න, පොලොන්නරුව - නිහාල් තිලකරත්න, අනුරාධපුර - පත්මසාර, ත්‍රිකුණාමලේ - විමලරත්න, නුවර - කැප්පෙටිපොල, මාතලේ - මුනිදාස, නුවරඑළියේ - චන්ද්‍රානන්ද, කුරුණෑගල - නිමල් කරුණාතිලක, කෑගල්ල - මිලින්ද සේරම්, මොණරාගල - අනුර, රත්නපුර - බන්දුවර්ධන, කොළඹ - රංජිත් පරාක්‍රම, ගම්පහ - රංජි යන නමිනි. විශේෂ සන්නද්ධ බළකායන් හැඳින්වූයේ පහත දැක්වෙන පරිදිය. ශිෂ්‍ය අංශය - නිමල් බාලසූරිය, භික්ෂු අංශය - කුඩහපොල, බුද්ධි අංශය - ජයතිස්ස, සහන සේවා - මනම්පේරි, පුපුරණ ද්‍රව්‍ය තාක්ෂණික අංශය - රොනී, වන්දි ගැනීමේ ව්‍යාපාර - සත්‍යපාල වන්නිගම, අරමුදල් රැස්කිරීමේ අංශය - ධර්මසේන, දේශප්‍රේමි විමුක්ති හමුදාවේ නැගෙනහිර පෙරමුණ - මෙය ඉන්දියන් හමුදාවට විරුද්ධව ත්‍රි’මලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වූවකි. අතුකොරලපුර සන්නද්ධ බළකාය - මෙය සුමිත් අතුකෝරල අනුස්මරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටවූවකි. එමෙන්ම මව්බිමේ සියලු සතුරන්ට දඬුවම් දීමේ ව්‍යාපාරය නමින් අංශයක් ද විය. 

 

ජවිපෙ 2වැනි කැරැල්ලට නායකත්වය දුන් ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් (වමේ සිට) නායක රෝහණ ‍වීජේවීර, ලේකම් උපතිස්ස ගමනායක, සුමිත් අතුකෝරාල, පියදාස රණසිංහ, ශාන්ත බණ්ඩාර, නන්දතිලක ගලප්පත්ති, සමන් පියසිරි ප්‍රනාන්දු, ඩී.එම්. ආනන්ද, සෝමවංශ අමරසිංහ, එච්.බී. හේරත්, පී.බී. විමලරත්න සහ ලලිත් විජේරත්න වේ. ගුණරත්න වනසිංහගේ ඡායාරූප යමකු සතු නම් අප වෙත යොමු කරන්න. 

ජවිපෙ 2වැනි කැරැල්ලේදී එහි සිටි මධ්‍යම කාරක සභිකයන් 35ගෙන් 16ක් මෙහි වේ. වමේ සිට උපාලි ජයවීර, රංජිදන් ගුණරත්නම්, ඊශ්වරගේ ආරියසේන, කේ.ඩබ්ලිව්.එස්. අමරසිරි, එල්.එච්. ගාමිණී ගුණසේකර, ආනන්ද ඉඩමෙගම, අරුණ කන්දවත්ත, රාගම සෝමේ, පෙරුමාල් තංගරාජා, පියසේන රාමනායක, සිසිර රන්දෙණිය, ගාමිණී ජයලත්, ප්‍රේමචන්ද්‍ර මුණසිංහ, ධර්මවර්ධන මුණසිංහ, ලයනල් ප්‍රනාන්දු සහ කමලසිරි ගිරිබාව වේ. එම 35 දෙනා අතරින් ජීවිතය බේරා ගැනීමට හැකි වූයේ 8 දෙනකුට පමණි. 

 

 


කැරැල්ලට අරමුදල් සොයා ගැනීම සඳහා 1985 සිට 1990 දක්වා රාජ්‍ය බැංකුවල ප්‍රධාන ශාඛාවන් 62කින් මුදල් සහ රන් භාණ්ඩ පැහැරගන්නා ලදී. ඉන් කිහිපයක් අතර ගල්ගමුව මහජන බැංකුවෙන් ලක්ෂ 20, මරඳගහමුල මහජන බැංකුවෙන් ලක්ෂ 35, දිගන බැංකුවෙන් ලක්ෂ 60, මොරටුව මහජන බැංකුවෙන් ලක්ෂ 60, කටුබැද්ද ලංකා බැංකුවෙන් ලක්ෂ 82 වේ. එමෙන්ම කලෑබොක්ක වතුයායේ මුදල් පැහැර ගැනීම ඇතුළු සිද්ධීන් 131 කි. ආයුධ පෙන්වා පුද්ගලයන් බියවද්දා රුපියල් 20,000කට වඩා මුදල් දේපල මංකොල්ලකෑම් ගණන දහසකට අධිකය. 


ජවිපෙ 2වැනි කැරැල්ලට ආරක්ෂක අංශ සහ පොලිසියේ 1,200කට ආසන්න පිරිසක් සෘජු සහ වක්‍ර ලෙස සහාය ලබා දුන්හ. ඒ අතරින් 400ක් පමණ පූර්ණකාලීනයන් විය. ඉන් 121ක් අත්අඩංගුවට පත්ව මින්නේරියේ වසා දැමූ පේෂකර්ම ආයතනයේ සැකපිට රඳවාගෙන සිටියහ. හමුදා කඳවුරුවලට මෙන්ම පොලිස් ස්ථානවලට කඩාවැදුණු කැරැලිකරුවෝ ඒවායේ නවතම ආයුධ රැසක් පැහැර ගත්හ. හමුදා කඳවුරු සහ මුරපොළවල් වූ නුවර පල්ලකැලේ, කටුනායක, රත්මලාන, ත්‍රි’මලේ කල්ලාර්, පනාගොඩ, පන්නල සහ කහතුඩුව පුහුණු කඳවුරු, තල්ගස්විල ද පොලිස් ස්ථාන වූ කහවත්ත, මඩොල්සිම, ගොතටුව, මොරටුමුල්ල, පාදුක්ක, නුවර පල්ලෙකැලේ, බම්බලපිටිය, රාගම, කිරුලපන, මට්ටක්කුලිය, ගොකරැල්ල, කටුපොත, පිටිගල, හොරණ, බණ්ඩාරගම, තිස්සමහාරාමය, සපුගස්කන්ද, බෙන්තොට, කැකිරාව, පෝද්දල, පිළියන්දල, දෙනියාය, මාවරල ද බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය ද ඒ අතර විය. 


බන්ධනාගාර, රැඳවුම් කඳවුරු සහ පොලිස් ස්ථානවල 1987 සිට 1992 දක්වා රඳවා සිටියදී සමූහ වශයෙන් පළා ගිය ජවිපෙ කැරැලිකරුවන්ගේ සංඛ්‍යාව 568 කි. ජවිපෙ 2වැනි කැරැලි සමය තුළ කැරැලිකරුවන් විසින් බිම්බෝම්බ 300කට ආසන්න ප්‍රමාණයක් පුපුරුවා හැරි අතර එමගින් ඝාතනයට ලක්වූ ආරක්ෂක අංශ සාමාජිකයන් සංඛ්‍යාව විශාලය. නැගෙනහිර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කැරැලිකරුවන්ගේ බිම්බෝම්බවලට හසුවීමෙන් මියගිය ඉන්දීය හමුදා භටයන් සංඛ්‍යාව 29 කි. එහෙත් ජවිපෙ 1989 සැප්තැම්බර් 5 නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කැරැලිකරුවන් ඝාතනය කළ ඉන්දීය නිලධාරීන් සහ භටයන් සංඛ්‍යාව 63ක් බවය. බිම්බෝම්බ තාක්ෂණය මුළුමනින් මෙහෙයවන ලද්දේත් රට වටා පුහුණු කරන ලද්දේත් මොරටුව සහ පේරාදෙණියේ ඉංජිනේරු පිඨයන්හි සිසු පිරිසකි. එයට ශ්‍රාස්ත්‍ර පීඨයේ සිසුන් පිරිසකගේ ද ක්‍රියාකාරී සහාය ලැබිණි. 
ජවිපෙ 2වැනි කැරැල්ලට සම්බන්ධව සිට කැරැල්ල අවසානයේ පුනරුත්ථාපනයට රජය මගින් යොමු කළ සංඛ්‍යාව 11,658 කි. ඉන් 7,218ක් රජයේ නිවේදන අනුව නම් කරන ලද ස්ථානවලට හෝ පොලිසිවලට භාර වූ අය වේ. සෙසු 4,440 විවිධ හේතු මත සැකපිට අත්අඩංගුවට ගෙන පොලිසි සහ හමුදා කඳවුරුවල ද රැඳවුම් කඳවුරුවල රඳවාගෙන සිට ජීවිතය බේරා ගැනීමට වාසනාවන්ත වූ අය වෙති. පුනරුත්ථාපනයට යොමුකළ කාන්තාවන් සිටියේ 102 කි. ඔවුහු කැලණිය රන්මුතුගල බන්ධනාගාර නිවාසයේ සහ තවත් ස්ථාන කිහිපයක නේවාසිකව සිටියහ. කැරැල්ලේදී සැකපිට අත්අඩංගුවට ගත් සහ පැහැරගෙන යන ලද කාන්තාවන්ට අත්වූයේ මරණයයි. එසේ ඝාතනය වූ හෝ අතුරුදන් වූ කාන්තාවන් ගණන 2,000කට ආසන්නය. 

 

ජවිපෙ 2වැනි කැරැලි සමය පැවැති 1986 සිට 1990 දක්වා දේශපාලන දිස්ත්‍රික් ලේකම්ට අමතරව සෑම දිස්ත්‍රික්කයකම සන්නද්ධ ලේකම්වරයකු ද විය. එසේ දිස්ත්‍රික්ක 19 තුළ සන්නද්ධ දිස්ත්‍රික් ලේකම්වරුන් වශයෙන් වරින් වර කටයුතු කළ ජවිපෙ ක්‍රියාකාරිකයන් ගණන 97ක් වූ අතර ඉන් ජීවිතය බේරාගැනීමට හැකි වූයේ 18කට පමණි. මෙහි දැක්වෙන්නේ කැරැලි සමයේ සිටි සන්නද්ධ දිසා ලේකම්වරුන්ගෙන් කිහිපදෙනෙකි. පළමු පෙළ වමේ සිට නුවරඑළිය (තුඹුල්ල උඩුගම්පොල චන්ද්‍රානන්ද හිමි හෙවත් තාරක), හම්බන්තොට (ගුණසේන වර්ණපටබැඳි හෙවත් බෙටා), කළුතර (හක්මන දෙනගම උපන් අනිල් සුන්දර හෙවත් පියරත්න), මහනුවර (මැදිරිගිරියේ උපන් ආර්.ආර්.එම්. වික්‍රමරත්න හෙවත් දෙහිගම), කොළඹ (වැලිසර උපන් දිලීප් චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් පතී), බදුල්ල (මැල්සිරිපුර උපන් හිටපු හමුදා කෝප්‍රල් ජයන්ත සිරිපාල හෙවත් නන්දන), අනුරාධපුර (මැදිරිගිරියේ උපන් හේරත් බණ්ඩාර හෙවත් කීර්ති) ද වේ. දෙවන පෙළ වමේ සිට අනුරාධපුර (හිඟුරක්ගොඩ ගල්අමුණේ ජී.ජී. නිමල් හෙවත් ෆොන්සේකා, රත්නපුර (අකුරැස්සේ උපන් කොළඹගේ ආරච්චිගේ පර්සි වීරසිංහ හෙවත් ඉලු‍ක්කුඹුර, මාතර (ලබුකැලේ උපන් කළුආරච්චි සරත් දේවානන්ද හෙවත් මහේෂ්), පුත්තලම (රත්තොට උපන් ගුවන් හමුදා නිලධාරී ආනන්ද පරාක්‍රම බණ්ඩාර හෙවත් රාජා, ත්‍රිකුණාමලය (කෑගල්ල අඟු‍රුවැල්ලේ උපන් ප්‍රේමකුමාර් ගුණරත්නම් හෙවත් ගැමුණු), පොළොන්නරුව (පන්නල අප්පුහාමිලාගේ තිලකරත්න හෙවත් නිහාල්), කෑගල්ල (ආර්.එම්. පොඩිනිලමේ හෙවත් කලින් පැවිදිව සිටි ඇටම්පිටියේ මංගල හිමි) වේ. තෙවන පෙළ වමේ සිට අම්පාර (නිකවැරටියේ දිනේෂ්), හම්බන්තොට (පන්නගමුවේ උපන් ප්‍රේමචන්ද්‍ර කොඩිතුවක්කු හෙවත් බර්ටි), ගාල්ල (දෙබරවැව උපන් ඥානසිරි පල්ලියගුරු), අනුරාධපුර (හිඟුරක්ගොඩ උණගලාවෙහෙර ලලිත් ජයසේකර), කළුතර (එඬේරමුල්ලේ සෙනවි හෙවත් බොනී), පුත්තලම (ගොකරැල්ලේ උපන් චන්න බන්දුල) සහ පොළොන්නරුව (බලපිටියේ උපන් හිටපු හමුදා සෙබළකු වූ කුරේ) වේ. 

 

 

 


ජවිපෙ 2වැනි කැරැල්ලේදී අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනයට යොමුකළ කැරැලිකරුවන් සංඛ්‍යාව 11,658 අතුරින් වයස අවුරුදු 15ට අඩු ළමා කැරැලිකරුවන් සංඛ්‍යාව 171 කි. වයස අවුරුදු 15ත් 25ත් අතර තරුණයන් සංඛ්‍යාව 5,508 කි. එය පුනරුත්ථාපනය වූ කැරැලිකරුවන්ගෙන් සියයට 47ක ප්‍රතිශතයකි. වයස අවුරුදු 25ත් 30ත් අතර සංඛ්‍යාව සියයට 26 කි. වයස අවුරුදු 30ත් 35ත් අතර සංඛ්‍යාව සියයට 14 කි. ඉතිරි සියයට 12ක පමණ පිරිස වයස අවුරුදු 35ට වැඩිය. පුනරුත්ථාපනයට ලක්වූ අධ්‍යාපනය නොලැබූ කැරැලිකරුවන් සංඛ්‍යාව සියයට 7.6 කි. වසර 8 දක්වා අධ්‍යාපනය ලත් සංඛ්‍යාව සියයට 28 කි. වසර 10 දක්වා අධ්‍යාපනය ලත් සංඛ්‍යාව සියයට 29 කි. සාමාන්‍ය පෙළ සමත් වූ සංඛ්‍යාව ද සියයට 29 කි. උසස් පෙළ සමත් වූ සංඛ්‍යාව සියයට 5 කි. සරසවි හෝ උසස් අධ්‍යාපනය ලැබූ සංඛ්‍යාව සියයට 1ක් පමණි. (උපාධිධාරීන් සහ සරසවි සිසුන් අතිබහුතරයම වාගේ අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනයට ලක්වීම නිසා මෙම පුනරුත්ථාපනයට ලක්වූ අය අඩුවීම හේතුවන්නට ඇත.) 


කැරැල්ලේ පරාජයෙන් පසු බරපතළ චෝදනා ඇති කැරැලිකරුවන් 1,987කට විරුද්ධව සුදුසු පරිදි කටයුතු කිරීමට ඔවුන්ට අදාළ කරුණු ජයලත් කමිටුව මගින් නීතිපතිවරයාට 1990 නොවැම්බර් මස දැනුම් දෙන ලදී. ඒ අනුව බරපතළ චෝදනා ඇති කැරැලිකරුවන් 937කට විරුද්ධව නඩු පැවැරීමට නීතිපති දෙපාර්තමේන්තුව 1993 ජනවාරි තීරණය කළේය. පසුව නඩු පැවැරීමට 1993 මාර්තු මස තීරණය කරනු ලැබුවේ ඉන් ද කැරැලිකරුවන් 198කට පමණි. 


අසූව දශකයේ රාජ්‍ය ත්‍රස්තවාදය ඉදිරියේ මුළු මහත් සමාජයම දණ ගසා සිටි මොහොතක මිනිසුන් වහලු‍න් සේ දිවි ගෙවූ අඳුරු කාලපරිච්ඡේදයක, ඉන්දීය ආක්‍රමණික හමුදාවට එරෙහි වීම, දෙමළ බෙදුම්වාදයට එරෙහි වීම යන සියල්ලටම එරෙහිව ජවිපෙ 2 වැනි කැරැල්ල පෙරට පැමිණි බැවින් කැරැල්ලේ මුල් භාගයේදී අතිබහුතර ජනයා එයට ඍජු සහ වක්‍ර සහාය පළ කළහ. එහෙත් කැරැල්ලේ මැද භාගයේ සිට ජවිපෙ දේශපාලන අංශය බෙලහීන කරමින් සන්නද්ධ අංශය මගින් අධිතක්සේරු මත පිහිටා කටයුතු කිරීමෙන් ඝාතන දේශපාලනයෙන් ජනතාවට භීතිය සහ සන්ත්‍රාසය ඇතිවූ අතර පොදුජන සහයෝගය වේගයෙන් හීන විය. 


කැරැල්ලේ මුල් භාගයේ කැරැලිකරුවන් මෙහෙය වූ සටන් ජනතාවගේ ඇගයුමට ලක්වූ අතර මැද භාගයේ සිට ප්‍රවාහන, රෝහල්, පෙළපාලි වැනි බලහත්කාරයෙන් කරන ලද පීඩාකාරී වර්ජන සහ ක්‍රියාමාර්ගයන් ජනතාව බොහෝ අපහසුතාවන්ට ලක්කරන්නක් විය. අවසාන භාගයේදී කැරැල්ලේ සදාචාරය සහ විනය බිඳවැටීම් ද පෞද්ගලික පළිගැනීම් සහ මංකොල්ලකෑම් ද කැරැල්ල කෙරෙහි ජනතාව තුළ ප්‍රබල අප්‍රසාදයක් ද ඇතිකිරීමට සමත් විය. විශේෂයෙන් කැරැලිකරුවන්ගේ නියෝගයකට අනුව හමුදා සහ පොලිස් භටයන් 1989 අගෝස්තු මස සේවයෙන් ඉවත් නොවුණහොත් එම පවුල්වල අය ඝාතනය කිරීමට ද තීරණය විය. එමගින් කැරැලිකරුවන්ට එරෙහිව ආරක්ෂක අංශ රිසිසේ මෙහෙයවීමට ආණ්ඩුවට හැකි විය. 


අවසානයේ ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ උපාය මාර්ගික ගමන් මඟ අනුව රෝහණ විජේවීරගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් 1986 සිට 1990 දක්වා වසර 4ක කාලයක් තුළ ක්‍රියාවට නැගූ ජවිපෙ 2වැනි කැරැල්ල අවසානයේ 60,000ක් ඝාතනයට පත්වෙමින් මහා සමාජ ඛේදවාචකයකින් නිමාවට පත්විය. එමගින් දහස් සංඛ්‍යාත බුද්ධිමය කොටස් පමණක් නොව විප්ලවීය ජීව ගුණයෙන් යුතු දසදහස් සංඛ්‍යාත තරුණ තරුණියන් පිරිසක් ද දැයට අහිමි විය. (ජවිපෙ 2වැනි කැරැලි සමය පිළිබඳ විස්‌තර දුරකථන 011-5234384 ලබාගත හැකිය.)