හාල් සේරුවකට විකිණුන දැරියකගේ කතාවක්


 

 

‘‘මගේ අම්මා මම පුංචි කාලේ හාල් සේරුවකට මාව වික්කා. එදා ඉඳලා මම අද වෙනකම් පුදුමාකාර දුකක් විඳින්නේ. මගේ එකම අරමුණ මේ සසරෙන් එතෙර වෙන්නයි. මේ දුකෙන් මිදෙන්නයි. ඒ නිසාම තමයි මම දරුවො දෙන්නෙක් බුද්ධ ශාසනයට පූජා කළේ. මම පැලක හිටියට කමක් නෑ, මම ජීවිතෙන් ජයගත්ත කියලයි හිතන්නේ.”‍ 


දඹුල්ල කණ්ඩලම වැව ආසන්නයේ කඩා වැටෙන්න ආසන්නව ඇති කටුමැටි පැලක දියණියක් සමග තනිව ජීවත්වන අම්මා කෙනෙකුගේ මේ අනුවේදනීය කතාව පසුගියදා ඇය පැවසුවාය. 


මෙම මව කී සංවේදී හා ආදර්ශවත් කතාව මුළු මහත් සමාජයටම ආදර්ශයක් වනු ඇතැයි විශ්වාසය නිසා අප මෙම සටහන තබන්නට තීරණය කළෙමු. 
වයි.එම්. දිස්නා කුමාරි මේ වන විට කුලී වැඩක් කරමින් ජීවත්වෙන්නීය. 


 ඇයට දරුවන් තිදෙනෙකි. සැමියා අතහැර දමා තනිව ජීවත් වෙයි. පිරිමි දරුවන් දෙදෙනාම මේ වන විටත් ඇය බුද්ධ පුත්‍රයන් බවට පත් කොට වසර ගණනාවකි. වැඩිමහල් දරුවා වයස අවුරුදු හත ඉක්මවන්නට පෙර බුද්ධ සාසනයට බාර දී දෙවැනි පිරිමි දරුවා වයස අවුරුදු 7 වෙද්දි බුද්ධ ශාසනයට ලබා දීමට ඇය තීරණය කොට තිබිණි. මේ වන විට බුදු පුත්‍රයන් දෙදෙනා දඹුල්ලේ සහ කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානවල වැඩ හිඳිමින් අධ්‍යාපනය ලබමින් සිටිති. 


8 වසරේ ඉගෙන ගන්නා ඇයගේ දියණිය සමග, කඩාවැටීමට ආසන්නව ඇති කුඩා නිවසේ කුප්පි ලාම්පු එළියෙන් සහ පොල් තෙල් පහනේ එළියෙන් දිනකට එක වේලක් ආහාර ගෙන ජීවත් වෙන මෙම අම්මාගේ අතීත කතාව සහ වර්තමානයේ ජීවත් වෙන ආකාරය සොයා අපි කණ්ඩලමට ගියෙමු. 
මෙම ගමනට ඇයගේ පුතුන් බුද්ධ පුත්‍රයන් දෙදෙනා ද එක්කර ගනු ලැබුවේ සමාජයේ සුවිශාල වූ ගැටලු‍වක් පෙන්වා දෙන්න අවැසි නිසාවෙනි. බුදු සසුනට එක දරුවෙක් හෝ දායාද නොකරන බොහෝ දෙනා තමන්ගේ පිංකමට භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටිති. එහෙත් තම ඇස් දෙක මෙන් සිටි දරු දෙදෙනාම සාසනයට ලබාදුන් බුද්ධ මාතාවක් කටුමැටි ගැසූ කඩාවැටීමට ආසන්න කුඩා පැලක කුප්පි ලාම්පු එළියෙන් දිනකට එක වේලක් ආහාර ගෙන ජීවත් වෙද්දී අපේ සමාජය ඒ බුද්ධ මවගේ දරුවන් දෙදෙනාගෙන් බණ අසා පින් අනුමෝදන් කර ගන්නට උත්සාහ දරති. 


මේ සමාජ වෙනස පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහාත් ජනතාව බුද්ධිමත් කිරීම සඳහාත් බුද්ධ පුත්‍රයන් දෙදෙනා ද සමග මව ජීවත් වෙන නිවසට අපි ගියෙමු. 

 


අප මෙම කුඩා නිවස වෙත ගමන් කරද්දී දියණිය සහ මව වහා දිවවිත් තම බුද්ධ පුත්‍රයන් දෙදෙනාගේ දෙපා නැමද පිළිගන්නට අමතක නොකළහ. සුදු රෙද්දක් එළා කැඩුණු පුටු දෙකක් මත තම බුද්ධ පුත්‍රයන් දෙදෙනා අසුන් ගන්නවන්නට මව යුහුසුළුව කටයුතු කළාය. 


තම හාමුදුරුවන් දෙදෙනා එක වරම නිවසට පැමිණියේ කුමක් නිසාදැයි මව දැඩි විමතියට පත් වන්නට ගතවූයේ විනාඩි කිහිපයකි. ඇයගේ භීතිය නැති කරන්නට අප කඩිනමින් පියවර ගත්තෙමු. 


 අප මෙම නිවසට ගියේ පසුගිය මහා මැතිවරණය දිනයේදීය. එදින ද මව සහ දියණිය පොල් සම්බෝල සහ බත් පමණක් එක වේලක් ආහාර ගෙන සිටි අතර අඩුම තරමේ නිවසේ රාත්‍රී කාලයේ කුප්පි ලාම්පුව දල්වා ගැනීමට භූමිතෙල් ටිකක් හෝ නොමැතිව සිටීම විශේෂත්වයකි. 
මෙම මව සමඟ ජීවිතය පිළිබඳව කතා කරන්නට අප සූදානම් වූ අවස්ථාවේ හැඬූ කඳුළින් ඇයගේ ජීවිත කතාව කියා සිටියාය. 


‘‘අපේ පවුලේ සහෝදර සහෝදරියෝ නව දෙනෙක් හිටියා. මගේ අම්මා මම චූටිම කාලේ හාල් කිලෝ එකකට එක්කෙනෙකුට වික්කා. එදා ඉඳල මම ඒ ගෙදර ගුටි කකා බැණුම් අහමින් හරියට අඳින්න නැතුව කන්න නැතුව දුක් වින්දා. ඒ දුක කවදාවත් අමතක වෙන්නේ නෑ. ඉස්කෝලෙකට යන්න උනේ නෑ. හැමදාමත් ඉඳුල් වළං හෝදනවා, රෙදි හෝදනවා, ගුටි කනවා. මේ විදිහට තමයි ජීවිතය ගෙවුනේ.”‍ 


‘‘යනකොට එනකොට රේඩියෝ එකෙන් ඇහෙන බණ වලට මම සවන් දුන්නා. ජීවිතය පුදුමාකාර වේදනාවක්. මේකෙන් මිදෙන්න කියලා පුංචි කාලෙම හිතුවත් මට ඒක තේරුමක් වුණේ නෑ.”‍ 


‘‘මට ඒ තරම් වයසක් නැති කාලයේම මාව හදාගත්ත මගෙන් වැඩ ගත්ත අය මම අඳුරන්නෙ නැති දන්නේ නැති කෙනෙකුට මාව කසාද බන්දලා දුන්නා. එයා හරියට මත්පැන් පානය කරනවා. මට ගහනවා. බණිනවා. ඉන්න තැනක් තිබුණෙ නෑ. පුදුමාකාර විදිහට ගුටි බැට වලට ආපහු මම නතු වුණා. ඒ අතරේ තමයි මට ලොකු දරුවාත් දෙවැනි දරුවත් තුන්වෙනි දුවත් හම්බුවුණේ”‍. 

 


‘‘දරු පැටවුන් එක්ක කුසගින්නේ අනන්ත අප්‍රමාණව හිටියා. කුලී වැඩක් කරමින් දරුවන් රැක ගත්තා. ඒ අතරේ මහත්තයා අපිව දාලා ගියා. මම කල්පනා කළා මේ දුක් කරදරෙන් බේරෙන්න. පන්සලේ හාමුදුරුවන්ගෙන් අහපු බණ නිතර නිතර මෙනෙහි කළා. දවසක් අපේ පන්සලේ හාමුදුරුවෝ කිව්වා මේ සසරේ එතෙර වෙන්න පුළුවන් කියලා බුද්ධ ශාසනයට දරුවෙකු පූජා කරහම. රාහුල මාතා පිළිබඳවත් හා ප්‍රජාපතී ගෝතමිය පිළිබඳවත් මහාමායා දේවිය පිළිබඳවත් ඒ හාමුදුරුවෝ කිව්වා. මම එදා තීරණය කර ගත්තා මේ සසරෙන් මමත් එතෙර වෙන්න නං මගේ දරුවෝ දෙන්නම මම බුද්ධ ශාසනයට පූජා කරලා ඒ අයවත් සමාජයේ හොඳ තැනක තියලා මමත් මේ සසරෙන් එතෙර වෙනවා කියලා. මගේ කුඩා දියණියත් කැමැත්ත අහල එයාවත් මෙහෙණි සසුනට භාර කරන්න මගේ කැමැත්තක් තියෙනවා. එයා අකමැති වුණොත් මම එයාටත් කියන්නේ ලොකු වෙලා ඉගෙනගෙන දරුවෝ හදලා බුද්ධ ශාසනයට පූජා කරලා එයාටත් මේ සසර කෙටි කරගන්න කියලා.”‍ 


‘‘කුලී වැඩක් කරලා කණ්ඩලම වැව ළඟට නාන්න එන අයට සබන් කැටයක් විකුණලා, බුලත්විටක් විකුණලා, කඩල පැකට් එකක් විකුණනවා ජීවත් වෙන්නෙ. මොකද අපිට උදව් කරන්න කිසිම කෙනෙක් නෑ. කටු මැටි ගහල මේ පැල හදාගත්තේ මමයි දුවයි. අපි දෙන්නට හැමදාමත් දුක විතරයි උරුම වුණේ. ඒ නිසා මේ දුක අපි දන්නවා පෙර කරපු කරුමයක් වෙන්න ඇති ඒ නිසා ඊළඟ ආත්මයකවත් අපි පවක් සිද්ධ නොකර මේ පව් ගෙවා දමලා සසරෙන් එතෙර වෙන්න තමයි උත්සහ කරන්නේ.”‍ 


‘‘මගේ දුවට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා කුප්පි ලාම්පු එළියෙන් සමහර දවස් වලට ලාම්පුතෙල් නැති උනහම බුදුහාමුදුරුවන්ට තියෙන පහන අරගෙන ඒ එළියෙන් දුව පාඩම් කරනවා. බඩගින්නෙ ඉන්න අවස්ථා ඕනෑ තරම් තියෙනවා. දැන් බඩගින්න අපි දෙන්නටම හුරුවෙලා. 


කොහොමහරි දුක් මහන්සි වෙලා එක කාමරයක් හරි හදාගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ මගේ ආරක්ෂාවට නෙවෙයි. මගේ දුවගේ ආරක්ෂාවට. මොකද පුංචි කාලේ සමාජය මට දීපු වධහිංසා මතක් වෙනකොට මගේ දුවට ඒ තත්ත්වය අත් වෙන්න මම ඉඩ තියන්නෙ නෑ. අදටත් සමාජය අපි දිහා බලන්නේ කෑදරකමින්. ගෑනියක් තනි උනහම අතරමං උනහම සමාජය ඉතාමත් පිළිකුල් ලෙස තමයි හැසිරෙන්නේ. හැබැයි මම ජීවිතේ අනන්ත අප්‍රමාණ දුක් කන්දරාවක් දැක්කා. මේ දුක මගේ දරුවන්ට නොදී සමාජය, දෙමව්පියන්, සහෝදරයින්, අම්මා තාත්තා හැමෝම නිසි ලෙස අවබෝධ කරගන්න පුලු‍වන් කම මට ලැබුණා. එදා මගේ අම්මා මාව හාල් කිලෝ එකට වික්කා ට මම මගේ දරුවන් බොහෝම හොඳට ආරක්ෂා කරලා ඒ අයට ජීවිත අවබෝධය පිළිබඳව කියා දීලා මේ සසර ගමන කෙටි කරන්න තමයි උත්සාහ කරන්නේ.”‍ 


කිසිදා අධ්‍යාපනය නොලබපු සමාජයේ විෂමාචාරවලට ගොදුරු වූ මෙම මව තවමත් කණ්ඩලම වැව් තාවුල්ලේ කුඩා පැලක ජීවත්වන්නීය. 

 

සටහන/ඡායාරූව - දඹුල්ල 
කාංචන කුමාර ආරියදාස