හාල් ගේන්න ශත 25ක් නැති නිසා කුලී වැඩ කරන්න ගියා


 

ඔහු පාසල් ගියේ 6 වැනි පංතියට පමණය. ඉන්පසු මව්පියන්ගේ ජීවන ගමනට උදව් කිරීම පිණිස කුලී වැඩ කරන්නට ගියේය.
ඔහු සොයාගත් කුලී  වැඩය වුණේ බීඩි එතීමය. දුෂ්කර ගමනකින් පසු තමාගේම බීඩි කර්මාන්තයක් පටන් ගත් ඔහු අද ප්‍රකට ව්‍යාපාරිකයෙකි. මේ කියන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය ඇමති චම්පිකා ප්‍රේමදාස මහතා ගැනය. ඒ මහතාගේ ව්‍යාපාරික ගමන් මඟ හැදෙන කාටත් අපූරු ගමනකි.

 

ඔබගේ පවුලේ විස්තර මොනවාද ?  
මාගේ පළමු උපන් ගෙදර තියෙන්නේ රඹූක්කන නගරයේ ඉඳන් කුරුණෑගල පාරේ කිලෝමීටර් 5ක් විතර ගියහම හමුවෙන ගබ්බල, කොටවැල්ල කියන ප්‍රදේශයේ ග්‍රාම සේවා වසමත් ගබ්බල මේ ගම ඉතාම සුන්දර ගමක්. එක පැත්තකින් කටුපිටියට හා පරපේට මායිම් දක්වා විහිදුණු ගබ්බල කන්ද තියෙනවා අනිත් පැත්තෙන් කුඩා අඩි පාරක් තියෙනවා. ඒ මාර්ගයේ ඇවිත් තමයි අපි රඹුක්කන කටුපිටිය පාරට පයින් එන්නේ ඔයෙන් බැහැලා. මේ ඔයට කියන්නේ ගබ්බල බොහොර ඔය කියලා.  


අපේ ගෙදර තිබුණේ පොල් අතු සෙවිලි කරලා, කටුමැටි ගහලා බිත්තියට මැටිම දිය කරලා ගාලා එක කාමරයක් සහ මුළුතැන්ගේ පමණයි. ඒ ගෙදර ඉඳලා තමයි මම පාසල් ගියේ. පාසල් ගියේ ගබ්බල සිරිසඟබෝ විද්‍යාලයට එකේ විදුහල්පති වශයෙන් හිටියේ ගාමිණී විජේතුංග කියලා මහත්තයෙක්. මට තවමත් ඒ අතීතය හොඳට මතකයි.


මාගේ තාත්තා අනුන්ගේ ගෙවල්වලට ගිහිල්ලා පොල් විකුණන ඒවා සල්ලි දීලා හෝ ණයට ගන්නවා. කෙසෙල්කැන් ගන්නවා. දෙල් ගන්නවා. පුවක් ගන්නවා. ඔවා අරන් රඹුක්කන පොළට විකුණලා තමයි අපිව ජීවත් කළේ. මාගේ අම්මාත් ගබ්බල ගමේම එක්කෙනෙක්. අම්මා තාමත් ජීවතුන් අතර ඉන්නවා. තාත්තා මාස 4කට විතර කලින් ජීවතුන් අතරින් නැතිව ගියා. 


මම සතුටු වෙනවා තාත්තාගේ මරණය ගැන කතා කරනකොට අපේ මේ නිවසට ආපු සෙනඟ මුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ කිසිම තැනකට ඇවිත් තිබුණේ නැහැ. විශේෂයෙන්ම අපේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු සියලුම මැති ඇමැතිවරුන් පවා තාත්තාට අවසන් ගෞරව දක්වන්න පැමිණියා.


තාත්තා සහ මවගේ නම් සහ සහෝදරයන් ගැන කියන්න පුළුවන්ද ?  
මාගේ තාත්තාගේ නම ඒ.ඩී. ලක්ෂමන්, අම්මා ජී.පී.ජී. එන්සා. මගේ තාත්තා මිය ගියේ වසර 96ක් ජීවතුන් අතර ඉඳලා. මගේ අම්මාට දැන් වයස අවුරුදු 90ක් විතර වෙනවා. මට සහෝදරයන් ගොඩාක් හිටියා. මල්ලිලා 5 දෙනෙක් හිටියා. එක්කෙනෙක් මිය ගියා. නංගිලා 4 දෙනෙක් හිටියා. ඔක්කොම 9 දෙනෙක් තමයි හිටියේ.


ඇයි පාසල් අධ්‍යාපනය හය වසරේදී අවසන් කළේ ?
මම පාසල් ගියේ පාසලේ 6 වසර දක්වා පමණයි. 6 පන්තියට පාස් වුණා විතරයි මට පාසල් යෑම නවත්වන්න වුණා. මේකට හේතුව තමයි මම පාසල් යන දවස්වල දින කිහිපයක් හයියෙන් වැස්සා. ගබ්බල ඔයේ වතුර වැඩියි. අම්මා මට කියනවා තාත්තාගෙන් ශත 25ක් ඉල්ලාගෙන ගිහිල්ලා හාල් ටිකක් කන්න ගේන්න ගෙදර හාල් ඇටයක්වත් නැහැ කියලා කීවා. 


ඊට පස්සේ මම තාත්තාගෙන් ශත විසිපහක් ඉල්ලපුවහම තාත්තා ඉණේ බැඳලා තිබුණ පටිය ඇරලා බලලා කීවා ළමයෝ මගේ ළඟ නම් කීයක්වත් නැහැ කියලා. ඊට පස්සේ මොකක්ද සිද්ධ වුණේ නංගිලාත් මල්ලීලාත් තාත්තාත් අම්මාත් මමත් බඩගින්නේ රාත්‍රියේ නිදා ගත්තා.


ඒ නින්දෙදී මම කල්පනා කළා ශත විසිපහක් නැති වේලාවක තාත්තා, අම්මා ඇතුළු අපි සියලු දෙනා බඩගින්නේ හිටියා. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියලා මට හිතුණා. ඒ නිසා මට නින්ද ගියෙත් නැහැ. එදා දවසේ මම හිතුවා මම කරන්නේ මොකක්ද කියලා. මම කල්පනා කරලා තීන්දුවක් ගත්තා. මම ගෙදරින් යනවා කොහේ හරි කුලියක් කරලා අම්මා, තාත්තා ඇතුළු පවුලේ අය ජීවත් කරවනවා කියලා හිතලා උදෙන්ම නැගිටලා බුලත් කැඩුවා. අම්මාට, තාත්තට දීලා දණ ගහලා වැඳලා මම ගෙදරින් පිටත් වුණා. අම්මා තාත්තා යන්න එපා කියමින් කදුළු සැලුවා. ඒ ගිහිල්ලා මම දවසකට හම්බ කරපු මුදල රුපියල් 4යි. එයින් වියදම් කළේ ශත 25යි. දවසකට රුපියල් 3 ශත 75ක් මම ඉතුරු කළා. 


මම පළමුව ගියේ දංකොටුවට. මම දංකොටුවේ ඉඳලා එතනින් ගියා මීගමුවට. ඊට පස්සේ නාරංම්මල පැන්තනිගොඩට ගියා. මම රැකියාව වශයෙන් කළේ බිඩී එතීම. රාජා බිඩී, ෂොප් ලාල් බිඩී කොම්පැණිවල තමයි මම වැඩ කළේ. 


රාජා බිඩී කළේ ඉන්දියාවේ අය කිහිප දෙනෙක් එකතු වෙලා තමයි. ලංකාවේ අයගෙන් බිඩී එතෙව්වේ, රාජා බීඩි අයිතිය තිබුණේ ඉන්දියාවේ කෙනෙකුට. 


ඔබ ගෙදරින් යනකොට වයස කීයද ?
මම ගෙදරින් යනකොට මට අවුරුදු 14 සහ 15 වාගේ ඇති. මම අවුරුදු දෙක තුනක් වැඩ කළේ අරවාගේ වෙනත් අයකු යටතේ. පස්සේ මම රඹූක්කන පරපේ ආයතනයකට බීඩි ඔතන්න ආවා. ඒ කොම්පැනිය බිඩී එතුවේ අලියා බිඩී කොම්පැනියට. ඒකෙත් මම වැඩ කරලා ගෙදරට ආවා.


ගෙදරට ඇවිල්ලා මම තාත්තාටයි අම්මාටයි කීවා මම මෙච්චර කාලයක් හම්බ කළා. හම්බ කරපු දේවල් සියලු දේ එව්වේ ගෙදරට. ඒ කාලේ සල්ලි එව්වේ තැපැල් කාර්යාලයෙන්. දැන් මට රුපියල් 300ක් දෙන්න කියලා කීවා. මට ව්‍යාපාරයක් කරන්න. නමුත් ඒ වේලාවේ තාත්තා සහ අම්මා ළඟ මට දෙන්න සල්ලි තිබුණේ නැහැ. 


එවපු මුදල් ගෙදර වියදමට ගත්තා. ළමයින්ගේ අධ්‍යාපනයට ඒ මුදල් වියදම් කළා කියලා තමයි තාත්තාගෙන්, අම්මාගෙන් උත්තරය ලැබුණේ. ඊට පස්සේ මම තාත්තාට කීවා, මම එක පත්තර පිටුවේ නිදා ගත්තේ ඒ පිටුවෙමයි ඉඳගත්තේ. කර්මාන්තයේ වැඩවලට එහෙම කරලා මම හම්බ කළා. නමුත් අද වෙන කොට මාගේ ළඟත් ශත පහක් වත් නැහැ. මට රුපියල් 300ක් ඕනෑ කියලා.


අපේ ගෙදර වත්ත තියෙනවා අක්කරයක් ඇති මුළු ඉඩම. මේකේ අපේ නැන්දලා එක්කෙනෙක් හා බාප්පලා දෙන්නෙක් හා තාත්තායි හතර දෙනෙක්. තාත්තාගේ කොටස රුපියල් 300කට බදු දුන්නා මාර්ටින් මුදලාලි කියලා කෙනෙකුට. ඒ රුපියල් 300 අරන් තමයි මම මගේ කර්මාන්තය ආරම්භ කළේ. 


ආරම්භ කරන්න මුදල් මං අරන් ගියේ මහනුවර අරඹේ කඬේ හිටපු රණසිංහ මුදලාලි කියන කෙනෙක් ගාවට. රණසිංහ මුදලාලි කියලා කියන්නේ එම්.පී.එස්. බීඩි ආයතනයට. එහෙම ගිහිල්ලා මම ඉල්ලුවා බීඩි කොම්පැනියක් දාන්න දුම්කොළ. රුපියල් 300 දීලා දණගහලා වැඳලා ඉල්ලුවේ. 

 


එදා මට එතුමා කීවා අද නම් නැහැ. පසුව එන්න මම උදව් කරන්නම් කියලා. ඊළඟ සතියේ එන්නම් කියලා මම ගියා. මට දුන්නා අද වටිනාකමට කතා කළොත් ඒ කාළේ අද වාගේ කිලෝ නෙවෙයි පාවිච්චි කළේ රාත්තල්. මට රාත්තල් 10ක බීඩි කොළ කට්ටයක් දීලා ඒකට අවශ්‍ය බීඩි දුම්කොළ රාත්තල් ගාණක් මට දීලා එක ගෝනියක දාගෙන බීඩි කොළ කට්ටයත් මම එතැනදී ඔතා ගෙන මහනුවර ගලගෙදර පාරේ ලංගම බස් එකෙන් රඹූක්කන ආවා.


ඇවිල්ලා රඹූක්කන ඉඳන් ගෙවල් තිබුණ ගබ්බලට යනකොට මම පොඩි සන්තෝෂයකින් තමයි ගෙදර ගියේ. මට හැබැයි එහෙම ගමට ගියාට මේ කර්මාන්තය ආරම්භ කරන්න තැනක් තිබුණේ නැහැ. මොකද එක ගෙදර කාමරයයි, කුස්සියයි වාගේ නිවසක තමයි අපි හිටියේ. ඒ නිසා මම ගමේ මාමා කෙනෙකුට කියලා එයාගේ සහයත් අරන් කැන්ද පරාලවලින් පොඩි මඩුවක් හැදුවා. හය දෙනෙකුට හත් දෙනෙකුට වාඩි වෙලා බිඩී ඔතන්න පුළුවන් විදිහට. 


පොල් අතු බැඳලා කණු හිටවලා ඇතුළේ නිකම් මඩුව වාගේ කැල්ලක් හැදුවා. මගේ බිඩී කර්මාන්තය ආරම්භ කරනකොට අපි ළඟ හිටියේ පස් දෙනෙක් පමණයි. පසුව මේක වැඩි දියුණු වුණා. මට මේ නිසා එම්.පී.එස්. ආයතනය මා නිෂ්පාදනය කරන භාණ්ඩ මිලදී ගන්නා ප්‍රධාන ආයතනය ලෙස පත් වුණා. 


නමුත් ඒ කාලේ අපි රඹුක්කනට යනකොට කාලයේ දියුණුවත් සමග බීඩි ඇද්දේ වාහනයක. මහනුවර අරඹේ කඬේට රඹුක්කන ඉඳන් ගලගෙදර පාරේ ගිහින් වාහනයක් බඩුත් අරන් එන්න හා යන්න ගත්තේ රුපියල් 12යි. මගේ වයස සාමාන්‍යයෙන් මගේ මතකයේ හැටියට අවුරුදු 18 වාගේ කාලයේදී තමයි මේ කියපු සිදුවීම් වුණේ.


මෙහෙම ටික කාලයක් යද්දී මම ගෙයක් හදන්න පටන් ගත්තා. ඒ ගෙදර හදන්න පටන් ගන්න කලින් මම විවාහයක් වුණා. මේ විවාහය සිදුවෙන්නත් එක හේතුවක් වුණා මට තිබුණ රැලේ බයිසිකලය. මොකද අපේ ගෙදර තිබුණේ ඔයෙන් එගොඩ. ගෙදරට බයිසිකලය අරන් යන්න බැරි නිසා මම මගේ බයිසිකලය එක ගෙදරක නැවැත්තුවා. ඒ ගෙදර හිටපු කෙනෙක් තමයි මගේ අද ආදරණීය බිරිඳ වෙලා ඉන්නේ.


මම විවාහ වුණාට ගෙයකුත් නැහැ. ඉන්න වුණේ කටුමැටි ගහපු මුල්ගෙදර. ඊට පස්සේ මම ගෙයක් හැදුවා ටික කාලයක් යද්දී. ඒ ගෙදර හදනකොට ඒ ගෙදර ජනෙල්වලට කූරු දමන්න ඕනෑ වුණා. ඒ කුරුවලට මම දැම්මේ රණසිංහ මුදලාලි කියලා කෙනෙක් හිටියා. ඔහු ඒ දවස්වල වතුර බටවලට ගෙනල්ලා කඳුවලින් ජලය ලබා ගෙන පසුව ගලවා ඉවත් කරන ලද යකඩ බට වගයක්. ඒවා අද කාලේ තියෙන බට වාගේ නෙවෙයි. සවි ශක්තියෙන් ඉතා ඉහළයි.


මේ ගෙදර හදලා මගේ කර්මාන්තයත් හොඳට කරගෙන ගියා. මේ කර්මාන්තය කරගෙනයනකොට මට හිතුණා මේ කර්මාන්තයේ ශක්තිය මම මෙහෙයවන්නේ අනුන්ටනේ කියලා. මටම කර්මාන්තයක් කරගන්න ඕනෑ කියලා හිතුවා.


මම එහෙම හිතලා තමයි “ චම්පිකා ” කියන නමට බීඩි දාන්න පටන් ගත්තේ. අනුන්ට වැඩ කරමින් ඉඳලා ඒ චම්පිකා කියලා නම තිබ්බේ.


චම්පිකා කියලා ඔබගේ කර්මාන්තයට නමක් වැටුණේ කොහොමද ? 
මම චම්පිකා කියලා නම තිබ්බේ මගේ දරුවන් හතර දෙනාගෙන් බාලම දුවගේ නම. මේ දුව පාසල් ගියේ ගබ්බල සිරිසඟබෝ විද්‍යාලයට. මුල් කාලයේ අනෙක් දරුවනුත් ඒ ළඟම පාසල්වලට තමයි ඒ කාලේ පාසල් ගියේ. පස්සේ මම ඒ දරුවෝ සේරම කෑගල්ලේ උසස් පාසලකට දැම්මා. අපිට පාසල් යන්න බැරි වුණා නැති බැරි කම නිසා. නමුත් දරුවන්ට අපි යහපතක් කළ යුතු නිසා ඒ උසස් පාසල්වලට දාලා ඉගැන්නුවා. 


අදටත් මගේ ව්‍යාපාරවලට මම යොදාගන්න නම තමයි චම්පිකා කියන නාමය. චම්පිකා කියලා ව්‍යාපාරයට නම දාගෙන ඒ කටයුතු කරනකොට මට වයස අවුරුදු 24ක් විතර ඇති. මම ඉස්සරෝම ව්‍යාපාරය ආරම්භ කරන්න ගත්තේ රැලේ බයිසිකලයක් රුපියල් 245කට පරපේ ප්‍රදේශයෙන් අරගත්තේ. 


ඒ බයිසිකලය තමයි මම අපේ ගෙදරට ගෙන යන්න බැරි නිසා අර ඔයට උඩින් තියෙන දැන් විවාහ වෙලා ඉන්න මගේ නෝනාගේ ගෙදර නවත්වලා ගියේ. ඒ බයිසිකලයයි. මම ඒ බයිසිකලයේ වාරියපොළ, නිකවැරටිය, රඹුක්කන, කෑගල්ල මම ඒ බයිසිකලයේ බීඩි දාන පෙට්ටියක් බැඳගෙන පැදපු නැති පාරක් නැති තරම්.  ඒ දවස්වල බීඩිවලට ගහපු ලේබල් එක. ඒ තරම් පිළිවෙළක් නැහැ. කුරුණෑගල මුද්‍රණාලයකින් තමයි ඒ ලේබල් මුද්‍රණය කළේ. 


ඒ දවස්වල ලොකු ඉල්ලුමක් තියෙන්න ඇති නේද ඔබගේ බීඩිවලට ?
ඒ දවස්වල මම ගමේ මනුෂ්‍යයෙක් නිසා මේ වෙළෙඳාම කළේ ගොඩාක් අමාරුවෙන්. සමහර අය මගෙන් බීඩි මිලයට ගත්තේ නැහැ. ඒ වෙනකොට මාගේ බීඩිවලට වඩා වෙළෙඳ පොළේ ජනප්‍රිය බීඩි වර්ග තිබුණා. වාරියපොළ, නාවින්න පැත්තේ ඒ දවස්වල හරි ජනප්‍රියයි රාජා බීඩි කියන වර්ගය. මම මුලින්ම වැඩ කරපු බීඩි කොම්පැනිය. අද පාර්ලිමේනිතුවේ කැබිනට් ඇමැතිවරයෙක් එස්.බී. නාවීන්න. ඒ දවස්වල මම කඬේට බීඩි ගෙනයනකොට ඒයා කඬේ කැසියර් නාවින්න කඬේ. ඒයා මම ගියපුවාම මාත් එක්ක දේශපාලනය තමයි කතා කරන්නේ. මට ඒ කඬේට බඩු දාලා ඒ වේලාවෙම යන්න පුළුවන් වුණත් ඒයා මට යන්න දෙන්නේ නැහැ. දේශපාලනය කතා කරනවා.


අද වෙනකොට එයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ නිසා මේ ගමන හරි දුර ගමනක් ගිහින් තමයි අද මේ තත්ත්වයේ ඉන්නේ. 


එතකොට ඇමතිතුමා බයිසිකලයේ ගිය මේ ගමනේ ව්‍යාපාරය නැවත ශක්තිමත් වෙන්නේ කොයි    කාලයේද ? 
හැමදාම බයිසිකලයේ බිස්නස් කරලා හරියන්නේ නැහැනේ. අපිට කියලා වාහනයක් ගන්න ඕනෑ වෙළෙඳාමේ (ඩිලවරි යන්න) යන්න. එහෙම වාහනයක් ගත්තේ ඊ.එල්. 2210 හිල්මන් කාරෙකක්, ඊට පස්සේ වාහනයක් ගත්තා. ටික කාලයක් ගියාට පස්සේ වරකාපොල, තෝලංගමුවේ එළවළු විකුණන කෙනෙක්ගෙන් ඒ දවස්වල වෙළෙඳ පොළේ මාකට් වාහනයක්. ඒ කාර් කපලා වෑන් කරපු එකක්. දොරවල් පවා හදලා දාලා තමයි තිබුණේ. 


මුලින් ගත්ත හිල්මන් කාරෙක හැප්පුණ නිසා තමයි එළවළු මුදලාලිගේ වාහනය ගත්තේ. මේ වාහන දෙකෙන්ම මම වාහන එළවන්න පුරුදු වේලා වෙළෙඳාම මං විසින්ම සිදු කෙරුණා.  ඒ දවස්වල රඹුක්කන පොලිසියේ මහත්තයෙක් මට එක දවසින් ඩ්‍රයිවින් පුහුණු කළා. ඒ වාහනයේ වෙළෙඳාමේ යනකොට කඩවලට ඒ තරම්ම ප්‍රියමනාපයක් නැහැ කියලා මට තේරුණා. 


මෙහෙම වෙළෙඳාම කරගෙන යද්දී මට කෑගල්ල පැත්තේ එක්කෙනෙක් කීවා උඩපළාතේ හොඳ වාහනයක් තියෙනවා වත්තක සුපිරින්ටෙඩන් කෙනෙක් ළඟ කියලා. මම ඒ කියපු බ්‍රෝකර් සමග වාහනය බලන්න ගියා ඒ වත්තට. මටත් ඒ වාහනය දැක්ක ගමන් හිත ගියා. හොඳ ලස්සනට වාහනය තිබුණා. හය ශ්‍රී 3191 මයිනර් වැගන් එකක්. සුදු රෙද්දකින් වහලා ඒ වත්තේ තිබුණා. ඊට පස්සේ මම ඒ වාහනය ගන්න කතා කර ගත්තා. නමුත් ඒ වාහනය ගන්න තරම් මගේ ගාව සල්ලි තිබුණේ නැහැ. 


අන්න එතකොට මට මතක් වුණා අපේ නෝනට අරන් දීලා තිබුණු සිංගර් මැෂින් එක. ඒ මැෂින් එක විකුණුවා. නෝනා අකමැත්තෙන් තමයි විකුණුවේ. ඒ සල්ලිත් මදි නිසා ගෙදර සල්ලි එකතු කරලා තිබුණු කැටය කැඩුවා. නැති බැරිකම තිබුණත් කාගෙන් හරි ඉල්ලාගෙන හරි මගේ අධිෂ්ඨානයක් තිබුණ නිසා ඒ වාහනය මගේ කරගන්න හැකි වුණා. ඒ දවස්වල වාහනයක රේඩියෝ එකක් තිබුණා නම් මම දැකලා තිබුණේ ඒ වාහනයේ විතරයි. ඒ කාලේ හැටියට වාහනවලින් ලස්සනම වාහනයක් තමයි මයිනර් වැගන් කියන මම ගත්ත වාහනය. ඒක ගත්තට පස්සේ මම ඒ වාහනයේ බිස්නස් ගියා. 


මේ වාහනය මට ලැබුණට පස්සේ බිස්නස් වැඩි වුණා. මම බඩු වාහනයට පටවාගෙන වාහනය එලවාගෙන ගිහින් කඩවලට කතා කරලා ඒ බඩු දාන්නෙත් මම. ඇත්තෙන්ම බිස්නස් එක වැඩිවෙන්නත් කඩවලට යද්දි විඳින්න තියෙන හැම දුකක්ම මම වින්දා. සමහර කඩවලට ගියපුවාම බඩු එපා කියනවා. පසුදාත් යනවා. නැවත ඊළඟ දවසෙත් යනවා. එපා කීවත් යනවා. මට මතක් වෙනවා වාරියපොල නාවින්න මහත්තයාගේ බාප්පාගේ කඩයට යනකොට හැමදාම මාව එළවා ගත්තා. මම එදා කල්පනා කළා මේ කඩයට නැවත මම යන්නේ මට අප්පුඩියක් ගහලා කතා කරලා කීවොත් තමයි කියලා. 


ඇත්තෙන්ම මම මේ ෆයිට් කරන්නේ ඉන්දියාවේ රාජා කියන බීඩි කම්පැනි එකත් එක්ක. මේ බීඩි සමඟ වෙළෙඳ පොළේ අපි වාගේ ගමේ කෙනෙක් පයිට් කරනවා කියලා කියන්නේ ගොඩාක් අමාරුම කටයුත්තක්. හැප්පෙන්න බැහැ. රාජා බීඩි වැඩිපුරම අලෙවි වුණේ වාරියපොළ ඒ දවස්වල. නමුත් ක්‍රමයෙන් ඒ මුළු නගරයම වගේ අපේ බීඩි ගන්න විදිහට අපි අපේ පැත්තට හරවා ගත්තා. අදටත් අපි වාරියපොල, නිකවැරටිය, ආනමඩුව ඒ වටේ තියෙන පොඩි ටවුන් හැම තැනකම අපි අදටත් බඩු විකුණනවා. අද වෙනකොටත් වැඩිම සේල් එකක් තියෙන්නේ අපට ඒ පැත්තේ.


ඊට පස්සේ මට මතක් වෙනවා මෑත කාලයේ වෙච්ච සිද්ධියක්. ඉන්දියාවේ සෙයියතු කියන බීඩි තමයි වවුනියාව, මන්නාරම, යාපනයේ විකිණෙන්නේ. මං ඊට පස්සේ පාර්ලිමේන්තුවේ පොඩි සටනක් අරන් ගියා. ඒවා බලන්න ගිහින් ඒ කඩවලට ගිහින් කඩදාසි අරන් ඇවිත් මිල අරන් ඇවිත් තමයි මම පාර්ලිමේන්තුවේ හඬක් නඟලා තමා ඒ විකිණිල්ල සම්පූර්ණයෙන් නවතා දැම්මේ.

පොලිසියෙන් ඒ ආයතනවලින් අල්ලලා කඩදාසියක්වත් තියෙන්න දෙන්නේ නැතිව ඒ බීඩි නැතිම කරලා ඒ පැත්තට අපි හදපු සත්තමි කියන බීඩි වර්ගයක් දාන්න ගත්තා. මේ වන විටත් සත්තමි බීඩි යාපනය, වවුනියාව වාගේ ස්ථානවල කඩ සාප්පු රැසකට දානවා. 
ඉතින් මුල් කාලේ අපි එහෙම තමයි මහන්සි වෙලා අපේ ව්‍යාපාර ආරම්භ කරගෙන ක්‍රමයෙන් වැඩි දියුණු කර ගත්තේ. ඔයේ එගොඩ ගොඬේ හිටපු මම ඔයේ මෙගොඩ ගොඩට ආවා. ඒ ඇවිල්ලා නැවතුණේ මම බැඳපු නෝනා මහත්තයාගේ පාර අයිනේ තිබුණ ස්ථානයක. එම ස්ථානය එයාලාගේ මාපියන් අපි දෙන්නාට දුන්නා ව්‍යාපාරය කරන්න එම ස්ථානයේ. මම ගොඩනැගිල්ලක් හදලා යට ව්‍යාපාරයත් උඩ පදිංචි වෙලා වැඩ කටයුතුත් කරගෙන ගියා. 


අලුත් ස්ථානයේ ව්‍යාපාරය පටන් ගත්තාට පස්සේ සේවක සංඛ්‍යාව වැඩි වුණාද ?
සේවකයන් පස් දෙනෙකුගෙන් ආරම්භ කරපු ගමන ක්‍රමයෙන් සේවක සංඛ්‍යාව වැඩි වුණා. නිෂ්පාදනය ද ක්‍රමයෙන් වැඩි වුණත් මට තනිවම අලෙවි කරන්න බැහැ. පස්සේ පස්සේ අපේ නිෂ්පාදන එතරම්ම නිෂ්පාදය ඉහළ ගියා. මුළු ගමේම බොහෝ දෙනෙකු බීඩි ඔතන්න ගත්තා. 


මගේ දරුවෝ ඉපදෙනකොට මගේ ආර්ථිකය ශක්තිමත්මත් නැහැ. නමුත් මගේ හිතේ ශක්තියක් තිබුණා මේ තත්ත්වයට මම දියුණු වෙන්න ඕනෑ කියලා. ඒ වෙනුවෙන් මම කරපු දේ හරි. අවංකව කරන රාජකාරිය වගේම කරන දේත් හරියට කළා. එහෙම යද්දී මට තේරුණා අපිට ආදායමක් ලැබෙනකොට ඒ ආදායමෙන් මම මුල් කාළේ මට හම්බ වෙන රුපියල් සීයක් නම් ඒ සියයම පත්තර ගොඩක යටින් අසුරනවා. ඒ කරලා තමයි මම මුදල් එකතු කළේ. මම එහෙම ඉතිරි කරපු මුදල්වලින් තමයි වාහන පවා ගත්තේ. ඒත් රුපියල් 4යි බීඩි 1000කට කුලිය. ඒකෙන් 3.75 ක් ලැබුණා නම් ශත 25 ක් තියෙනවා අපිට ඒ ශත 25ක් එකතු කරන මුදල පවා මම එකතු කළා. ඒ ලාභයෙන් තමයි වාහන ගත්තේ. 


ඔබ එවැනි අපහසුතා විඳගෙන ව්‍යාපාරය ශක්තිමත් කරගෙන රඹුක්කන නගරයේ ස්ථානයකට එනවා නේද ගබ්බල ගමේ ව්‍යාපාරික ස්ථානයත් අරන් ඒ ගැන මොනවාද කියන්න තියෙන්නේ ? 
මේ වාගේ ප්‍රශ්නත් ආවා. ව්‍යාපාර ගොඩනගා ගෙන යද්දී ගබ්බල පාර අයිනේ හිටපු මට රඹුක්කන ටවුමට එන්න වුවමනාවක් තිබුණා. අපි ඊට කලින් රඹුක්කන තැනක් ගන්න උත්සාහ කරලා තිබුණා. එම ස්ථානයේ හිමිකරුවා අපෙන් ඉල්ලුවා ඒ කාලේ හැටියට රුපියල් 25000ක අත්තිකාරම් මුදලක්. මම ඒ මුදල ලබා දුන්නා. ඒක දීලා එම ස්ථානය ගන්න සියල්ල කතා කරගෙන ඉන්නකොට සමන්තා කරුණාරත්න මැතිනියගේ මහත්තයා වන ජී.ටී. කරුණාරත්න මහත්තයාගේ ප්‍රශ්නයක් නිසා එම ස්ථානය ගන්න බැරි වුණා. මම මාගේ රුපියල් 25000 පස්සේ පස්සේ ටිකෙන් ටික ගත්තා. 


මෙහෙම ඉන්නකොට රඹුක්කට ලොන්ඩරියක් කරපු බාස් අපේ ගෙදරට ගිහින් කීවා ටවුමේ ඔහු වැඩ කරන ස්ථානයේ පර්චස් හයක් විකුණනවා මේක ගන්න කියලා කීවා. ඒ කොටස ඒ දවස්වල මුස්ලිම් මහත්තයෙකුගේ ඉඩමක්. ඒ අනුව රුපියල් එක්ලක්ෂ විසිපන්දහසකට එය මිලදී ගත්තා. එම ස්ථානය අරන් නගරයේ මම ඉදිකරපු පළමු ගොඩනැගිල්ල තමයි ඒ ස්ථානයේ පවතින ගොඩනැගිල්ල. 


මට ඉඩම ගන්න උදව් කරපු ලොන්ඩරියේ කෙනා දැන් ඒයා මිය ගිහින්. නමුත් ඔහුගේ දරුවාට ලොන්ඩරිය දාගන්න ඉඩමේම තැනක් හදලා දීලා තියෙනවා. ඒකට යකඩ දොරක් පවා දාලා දීලා තියෙන්නේ. එහෙම කළේ කළගුණ සැලකීමක් වශයෙන්. 
මේ විදිහට තමයි අපි ගබ්බලින් ටවුමට පිවිසියේ. ඒ දවස්වල මුලින්ම ආපු කාලේ උඩ පදිංචි වෙලා යට හාඞ්වෙයාර් එකක් තමයි තිබුණේ. ඒ දවස්වල අපේ දරුවෝ ටිකක් ලොකුමහත් වෙලා ඉගෙන ගන්න දරුවෝ හිටියේ. කෑගල්ල කොන්වන්ට් එකේ තුන්දෙනාම ඉගෙන ගත්තේ. එතකොට මට ඒයාලා කීවා ටවුමේ පාඩම් කරන්න බැහැ කරදර වැඩියි, අපට තාත්තේ වෙන ගෙයක් හදන්න කියලා. ඊට පස්සේ තමයි අපි මේ ගෙදර හැදුවේ. (රඹුක්කන නගරයේ සිට කෑගල්ල ප්‍රධාන මාර්ගයේ ඇති නව නිවස) මේ ගෙදර හදනකොට පවා උදේ ඉඳන් රෑ වෙනකම් මෙහි මම වැඩ කළා. බාස්ලා දාලා මම හැදෙව්වා. 


එහෙම තමයි මුල් කාල සීමාව ගෙවී ගියේ. ඇත්තෙන්ම අපි රඹුක්කන ටවුමේ කඩය ගන්නකොට වුණත් රඹුක්කන දියුණු නගරයක්වත් නගරය දියුණු මට්ටමේ තිබුණ කාල වකවානුවක්වත් නොවෙයි. 


දැන් මගේ වයස අවුරුදු 69යි. ටවුමේ ස්ථානයට එනකොට මට අවුරුදු 35ක් ඇති. මෙහෙම ආපු ගමනේදී මට කියන්න සතුටුයි අද වෙන කොට මගේ ව්‍යාපාර බොහොමයක් ගොඩනැගිලා තිබෙනවා. සේවකයන් හාර පන්දහසක් මගේ යටතේ සේවයේ යෙදී සිටිනවා. 


එහෙම දියුණු වුණේ මේ නිවස වුණත් හදනකොට අපි ඒ වෙනකොටත් කළේ බීඩි ව්‍යාපාරය. ඒ කාලේ සෙන්ට්‍රල් ෆිනෑන්ස් ආයතනය අද කාලේ ලංකාවේ තිබෙන ප්‍රධාන ආයතනයක්. ඒ දවස්වල ඒ අය ඉන්දියාවෙන් බීඩි කොළ විශාල ප්‍රමාණයක් ගෙනල්ලා තිබුණා ඉන්දියාවෙන් බීඩි කොළ මිටි 100ක්. 


සෙන්ට්‍රල් ෆිනෑන්ස් එකේ මහනුවර ඔෆිස් එකේ යට තට්ටුවේ තමයි බාල තිබුණේ ඒ බීඩි කොළ. මට කීවා ඇවිල්ලා බලලා ගන්න කියලා. මම ඒවා බලන්න ගියා ගිහින් බලපුවාම මම දැක්කා මේ බීඩි කොළ හොඳ නැහැ කියලා. ඒ නිසා මම කීවා මේවා ගන්න විදිහක් නැහැ, මේ කොළ වැඩක් නැහැ කියලා. මට කීවා සෙන්ට්‍රල් ෆිනෑන්ස් එකෙන් එක කොළ මිටියක් තෝරලා දෙන්න එයාලට බීඩි ඔතන්න කියලා. ඊට පස්සේ මම කොළ මිටි 100 න් එක මිටියක් තෝරා ගත්තා. මම තෝරලා දීලා තිබුණේ ඒ කොළ මිටියේම තිබුණු හොඳම කොළ මිටියක්. ඊට පස්සේ මට කීවා බීඩි කොළ ගේන්න ඉන්දියාවේ යන්න ලැස්ති වෙන්න කියලා. 


ඒ අනුව මම ඒ අය සමග ඉන්දියාවේ ගිහින් ඒ රටේ බීඩි කොළ තියෙන පළාතට කොච්චියේ දවස් තුනක් තිස්සේ එකම කොච්චියේ ගියා. ඒ ස්ටොරුවල ගොඩගහලා තිබුණු කොළවලින් හොඳ ඒවා තෝරාගෙන ඒ කොළ ලංකාවට ගෙනත් රඹුක්කන තිබුණු මගේ ගබඩාවකට දැම්මා. මම තමයි අලෙවිය සිදු කළේ. 


ඒ අනුව තමයි ඒ කාලේ මේ ස්ථානයේ නිවස සකස් කළේ මට ඒ කොළවලින් ලැබුණු ලාභයෙන්. එයාලා ඒ කොළ ගෙනල්ලා මගේ ගබඩාවට රක්ෂණයක් පවා දාලා දුන්නා. මම එයාලට ඒවා අලෙවි කරත් මට මිනිස්සුන්ගෙන් අදටත් කෝටි ගාණක් එන්න තියෙනවා බැලුවොත්. නමුත් ඒවා ගන්න බැහැ. එහෙම තත්ත්වයක් යටතේ වුණත් මම අර ෆිනෑන්ස් කොම්පැනියට සතයක් දක්වා සියල්ල ගෙව්වා. ඒ විශ්වාසය අදටත් මාත් එක්ක තියෙනවා. මේ අකාරයෙන් තමයි මම මගේ මුල් කාලයේ ක්‍රමයෙන් මේ ගමන ආවේ. 
මම පස් වතාවක් පාර්ලිමේන්තුවට ගියේ අවංකව වැරදි වැඩ නොකරපු නිසා. ඒ හොඳ ගමනක අපි යනවා නම් කවරදාවත් වරදින්නේ නැහැ. 


ඔබගේ පියාණන් ගැන මතක් කරන්න ඕනෑ කීවා. ඒ මොකද ?
මගේ තාත්තා නිසා තමයි මම මේ ගමන ආවේ. මගේ තාත්තා මියයන කොට අවුරුදු 96යි. නමුත් මගේ තාත්තා මියයන කොට ඇවිදින්නේ නැතුව හිටියේ දවස් 5ක් 6ක් පමණයි. කතා කරන්න බැරි වුණේ හරියට පැය භාගයක් පමණයි. නැත්නම් තාත්තා දරුවොත් එක්ක හොඳින් සතුටින් මියයන තෙක්ම හිටිය කෙනෙක්. හැමදාම මම නැගිටින්න කලින් සමහර දවස්වලට තාත්තා මේ මිදුල සේරම අතුගානවා. මේ කෙසෙල් ගස් සියල්ල හදලා තියෙන්නේ තාත්තා. අපේ තාත්තාලා වුනත් දුප්පත් කමින් හිටියත් වැරදි දේවල් කිසි දෙයක් කරලා නැහැ. ඒකෙ පින කියලා කියන්නේ අපේ තාත්තා මියයන්න කලින් කිවාලු නංගිලාටයි මල්ලිලාටයි උඹලට හාල් ටිකක් නම් වැඩිපුර ගේන්න වෙයි කියලා. ගෙදරට එන අයට කන්න දෙන්න. ඒ වගේම තාත්තාට සහෝදරයෝ දුන්න රුපියල් 25000ක් විතර මුදලක් අම්මාට දීලා කියලා තියෙනවා දාන හතක් දෙන්න කියලා. අපි ඒ යුතුකම් කළා. දාන 9 ක් මේ වෙන කොට දීලා අවසන්. අපි තවත් තාත්තා වෙනුවෙන් ජීවත් වෙලා ඉන්න අම්මා වෙනුවෙන් දාන පිංකම් කරනවා. මියගිය තාත්තා වුනත් අපේ පවුලේ කිසි කෙනෙක් මේ වෙන තුරු දැකලා නැහැ. මගේ දැනුමේ හැටියට මගේ තාත්තා වැරදි තැනක නැහැ හොඳ තැනක ඇති.


ඉස්සර මගේ තාත්තා කම්කරුවෙක්. අනුන්ගේ කෙසෙල් කැන්, පුවක්, පොල් රඹූක්කන පොළට ගෙනැත් විකුණලා අපිව ජීවත් කෙරෙව්වා. තත්තා මියයන කොට මල්වඩම් 31ක් තිබුණා. රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු බොහෝ දෙනෙකුගේ අවසන් ගෞරවයට පාත්‍ර වුණා. එහෙමනම් තාත්තා කොයි තරම් පිං කරලා ඇත්ද? වැරදි වැඩ නොකර සමාජයට යහපතක් කළොත් පින ඉතිරි වෙනවා. කාට වුණත් තාත්තා හොඳ ආදර්ශයක් සපයලා තිබෙනවා. 


අද ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වසර ගණනක් තිස්සේ සේවය කරනවා. ඉතින් මේ ගමන එද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙන්න හරි ව්‍යාපාරික පැත්තෙන් හරි අමතක නොකළ යුතු අය ඉන්නවාද ? 
ඔව්. මගේ ව්‍යාපාරික සේවකයන් තමයි වැඩි. පසුගිය දවසක මට මේ ගමන එන්න ව්‍යාපාරික පැත්තෙන් උදව් කරපු එක සේවකයෙකුට මම උපහාරයක් දුන්නා.


මගේ මල්ලි ගෙදරින් තරහා වෙලා අනුරාධපුරයේ ගිහින් සිටියදී මල්ලි කරෝල වාඩියකට ගෙන යන්න ලැස්ති වෙලා පිරිසක්. නමුත් එතැන හිටපු කෑගල්ලේ අයකු එහෙ බීඩි ඔතනවා. එයාගේ නම ප්‍රේමදාස එයා කියලා තියෙනවා යන්න එපා ඔයා මෙතන ඉන්න කියලා රඹුක්කනට නැවත අරන් ආවා. එයා එදා කම්කරුවෙක්. මමයි එයයි දෙන්නාම ප්‍රේමදාස. මට දවස් 10 කට 15 කට එයා වැඩිහිටියෙක්. දැන් මගේ ළඟ අවුරුදු 50 අවසන් වෙනවා පසුගිය ජනවාරි 14 වැනිදාට. මං මොකද දන්නවා ද කළේ මම මගේ ව්‍යාපාරවල වැඩ කරන අය සියලු දෙනා ගෙන්නලා රැස්වීමක් පවත්වලා තෑගි දීලා ලක්ෂ 26ක කාර් එකක් එයාට දුන්නා. මගේ අනෙක් සේවකයන්ටත් එදා කීවේ විශ්වාස වන්තව වැඩ කළොත් ඔබටත් මේ වගේ වෙන්න පුළුවන් කියලා විතරයි.

 
ඔබ අධ්‍යාපනය අතින් 6 වසරට ගිය කෙනෙක් නේද මේ තරම් දුර ගියාට ?

ඒක ඇත්ත නමුත් අද මම විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්ට මෙන්ම ඒ දරුවන්ට දේශන පවත්වනවා. පසුගිය දවසක කෑගල්ල කාර්මික විද්‍යාලයේ දේශනයක් කරනකොට දරුවන්ගේ ඇස්වලට කදුළු ආවා. මම එතනදී ගොඩාක් දේශනයේදී කතා කළේ ව්‍යාපාරික පැත්ත. විදිමත් අධ්‍යාපනයට වඩා නොවිධිමත් අධ්‍යාපනය තුළින් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දියුණු වූ අයෙක් ලෙස මේ ගමන සමාජ අත්දැකීම් සමග ආපු ගමන තුළ බොහෝ කතාවන් යමක් හිතන කෙනෙකුට ඉතා වැදගත් වෙනවා. රණසිංහ ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වුණා. එතුමාගේ දුප්පත් ජීවිතයේ මුල අපි දන්නවා. 

සටහන හා ඡායාරූප මාවනැල්ල 
සමන් විජය බණ්ඩාර