හම්බන්තොට දිස්ත්‍රික්කය ගිනි ගනියි


ජවිපෙ දෙවැනි  කැරැල්ලෙන්

වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2 වැනි කැරලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජවිපෙ 2 වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක්ද එළිදක්වා තිබිණි. ඉදිරියේදී නිකුත්වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙ​ෙතක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළවී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබ වෙත මෙසේ ගෙන එනු ලබයි. 

 
රුහුණට අයත් දේශපාලන වශයෙන් ඉතා වැදගත් එක් ප‍්‍රදේශයක් වනුයේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. මුහුදුබඩ කලාපයක්ද සහිත මෙම දිස්ත්‍රික්කය ශූෂ්ක ලක්ෂණවලින් යුක්තය. බොහෝදුරට සමතලා ස්වරූපයක් ගන්නා වළවේ ගඟ, කිරිඳි ඔය සහ මැණික් ගඟ සම්බන්ධ වී ඇත. වර්තමානයේ මාගම්පත්තුව සහ ගිරුවාපත්තුව වශයෙන් බෙදී තිබුණද අතීතයේ මෙහි රජරට ප‍්‍රධාන අග නගරයට අමතරව උප රාජ්‍යයක් ක්‍රියාත්මක වූ බව හඳුනාගත හැකිය. ක‍්‍රිස්තු වර්ෂ 11වැනි සියවස ​ෙවනවිට රජරට ප‍්‍රදේශ චෝල ආක‍්‍රමණයට යටත්වී ඇති බැවින් ඔවුන් පොළොන්නරුවේ සිට රාජ්‍යය මෙහෙයවීය. මෙම වකවානුව ​ෙවනවිට කතරගම ප‍්‍රදේශයේ පාලකයෙක් වූ අතර ඔවුන්ගේ සෙන්පති සින්නරුබිනි බුදල්නාවන්, කීර්ති නම් කුමාරයා සමඟ එක්ව චෝලයන් මැඩ පවත්වන ලදී. සටනින් ජයගත් කීර්ති කුමරු විජයබා නමින් පොළොන්‍නරුවේ රජවූ අතර ඔහුගේ පුත‍්‍රයා රුහුණු ප‍්‍රදේශයේ පාලකයා කරවීය.   


ක්‍රි.පූ 5 වැනි සියවසේදී රෝහණ නම් කුමාරයෙක් රෝහණයේ ජනපද පිහිටුවීය. එහි මහා ග‍්‍රාම හෙවත් වර්තමාන තිස්සමහාරාමය මෙම රෝහණ උප රාජ්‍යයේ අගනුවර වශයෙන් ක්‍රියාත්මක විය. ක්‍රි. පූ 1වන සියවසේදී රුහුණ පාලනය කළ කුමාරවරුන් රෝහණ වශයෙන් හැදින්විය. මේ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය ක්‍රි.පූ යුගයේ සිට ජනාවාස ආරම්භ වූ ඉතා වැදගත් ප‍්‍රදේශයකි.   


හම්බන්තොට දිස්ත‍්‍රික්කය නිජබිම කරගත් පිරිස ජවිපෙ 2 වැනි කැරැල්ලේදී සන්නද්ධ කටයුතුවලදී වඩාත් ඉහළ ක‍්‍රියාකාරිත්වයක් ගනු ලැබීය. දෙවැනි කැරැල්ලේ මැද භාගය වන 1988 ​ෙවනවිට රටපුරා සිටි ජවිපෙ සාමාජිකයන්ගේ ගණන 1,000ක් පමණ වුවද සමස්ත ක‍්‍රියාකාරින්ගේ සංඛ්‍යාව 35,000ක ආසන්න විය. ඉන් 8,000ක් පමණ දෙනා ගේ නිජබිම වූයේ හම්බන්තොට දිස්ත‍්‍රික්කය වේ. හම්බන්තොට උපන් ඔවූහු ජවිපෙ වෙනුවෙන් රටපුරා පූර්ණකාලීනයන් බවට පත්වෙමින් තමන්ට පැවරූ වගකීම් ඉටුකළහ. පක්ෂ තහනමින් පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට ඒමට ජවිපෙ පසුබෑවේ ඔවුනට එරෙහිව රජය මගින් නිල හා නිල නොවන ආකාරයට ක්‍රියාත්මක කරන ලද මර්දනය නිසාවෙනි.   


ගුණපාල සතරසිංහ ඇතුළු ජවිපෙ ක්‍රියාකාරිකයින් 24 දෙනෙකු සාකච්ඡා පවත්වමින් සිටියදී 1984 නොවැම්බර් 8 හුංගම දී ත‍්‍රස්ත‍්‍රවාදී මර්දන පනත යටතේ අත්අඩංගුවට ගත් පොලිසිය කිසිදු චෝදනාවක් නොමැතිව එම 24 දෙනා නිදහස් කළේ මාස 15කට පසුවය. ගුරු වැටුප් කොල්ලයකට 1985 මාර්තු අත්අඩංගුවට ගත් තල්පාවිල ධර්මේ අම්බලන්තොට පොලිසියේ පහරදීම්වලින් මිය ගියේය. පෝස්ටර් අලවමින් සිටි අනුරාධපුරයේ දිසානායක අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය විය. යතුරුපැදියක් 1985 දී පැහැර ගැනීමට ගොස් ඇතිවූ සිද්ධියකදී පොලිස් අත්අඩංගුවට පත් ගම්පහ සුනිල් අබේරත්න පොලිස් පහරදීම්වලින් පසුව එහි ප‍්‍රතිඵලයක් ලෙසින් රෝහලේදී මරුමුවට පත්විය.   

 

හම්බන්තොට දිස්ත්‍රික් දේශපාලන ලේකම් වැලිමඩ ලූණුවත්තේ ආරියරත්න (ආරි/​ආරියසේන ජයන්ත/වික්‍රම/සුගත්) ඇඹිලිපිටිය කලාපයේ සන්නද්ධ නායකව සිට පසුව 1989 දෙසැම්බර් හම්බන්තොට සන්නද්ධ දිස්ත්‍රික් ලේකම්වරයා වූ ප්‍රේමචන්ද්‍ර කොඩිතුවක්කු (බර්ටි/තුෂාර/විජේසිංහ) බෙලිඅත්ත කලාපයේ දේශපාලන නායක ඩේමියන් වීරක්කොඩි (කෝලිත) සහ පේරාදෙණි සරසවියෙන් බිහිවූ දේශපාලන ක්‍රියාකාරි අල්පාදෙණියේ සරත් ජයවර්ධන (සරණ) සහ මිද්දෙණිය පොලිසිය මගින් 1987 නොවැම්බර් 13 පැහැර ගැනීමෙන් පසු ඝාතනයට ලක්වූ රුහුණු සරසවියේ සහකාර කථිකාචාර්ය සත්‍යපාල වන්නිගම  

දකුණු පළාතේ හම්බන්තොට, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක 3 ජවිපෙට එරෙහිව හමුදා මෙහෙයුමේ අණ දෙන්නා වූ බ්‍රිගේඩියර් චූලාශෝක ලක්ෂ්මන් අල්ගම, ජවිපෙ මර්නදනයට පෙරමුණ ගත් පුරෝගාමියා වූ නියෝජ්‍ය පොලිස්පති (දකුණු පළාත) ප්‍රේමදාස උඩුගම්පොළ කැරැලිකරුවන් විසින් 1987 ජුලි 31 වෙඩි තබා ඝාතනය කළ තංගල්ල එජාප මන්ත්‍රී ජිනදාස වීරසිංහ, කැරැලිකරුවන් ගෙන් එජාප ක්‍රියාකාරිකයින් රැක ගැනීමට වෙර දැරූ මුල්කිරිගල එජාප මන්ත්‍රී ආනන්ද කුලරත්න, කැරැලිකරුවන් විසින් 1989 නොවැම්බර් 11 ඝාතනය කළ තිස්සමහාරාමයේ පන්නගමුවේ ලේක්හවුස් පුවත්පත් අලෙවි නියෝජිත සාර්ලිස් අප්පුහාමි පස්මපෙරුම හෙවත් මුදලිගේ කළු මහත්තයා

 


ආණ්ඩුවේ මර්නදනය ජවිපෙ වෙත හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ වඩාත් ක්‍රියාත්මක වූයේ එම දිස්ත්‍රික්කයට අයත් මුල්කිරිගල, බෙලිඅත්ත, තංගල්ල, තිස්සමහාරාමය යන ආසන 4ම පාර්ලිමේන්තුවේ නිල කාලය කල්දැමීම සඳහා 1982 දෙසැම්බර් 22 පවත්වන ලද ජනමත විචාරණයෙන් එජාපය පරාජයට පත්වීම නිසාය. උතුරු නැගෙනහිර හැර ජනමත විචාරණයේදී එජාප ආණ්ඩුව පරාජයට පත්වූයේ ජවිපෙ ප‍්‍රබලව ක්‍රියාත්මක වූ ආසන වලය. එයට පෙර 1982 ඔක්තෝබර් 20 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එජාපයේ ජේ.ආර්. ජයවර්ධනට ඡන්ද 90,545ක්ද ශ්‍රීලනිප එච්.එස්.ආර්.බී. කොබ්බෑකඩුවට ඡන්ද 76,402ක්ද ජවිපෙ රෝහණ විජේවීරට ඡන්ද 28,835ක් ද හිමිව තිබිණි. ජවිපෙ ලියාපදිංචියට පෙර 1977 මහ මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස සීනුව ලකුණින් ජවිපෙ වෙනුවෙන් තංගල්ල ආසනයට තරඟ කළ විජිත රණවීරට ඡන්ද 1,334ක් ලැබී තිබූ අතර ජවිපෙ තංගල්ල ආසනයට 1983 මැයි 18වැනිදා තරඟ කිරීමේදී විජිත රණවීරට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 5,840කි. සංවර්ධන සභා ඡන්දය 1981 ජූනි 04 පැවති අවස්ථාවේදී ජවිපෙ වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට පියසේන රාමනායක, විජේදාස ලියනආරච්චි, ගුණපාල හතරසිංහ ආරච්චි සහ ජේ.ආර්.ඩී. සිරිපාල තරඟ කළ අතර එහිදී පියසේන රාමනායක සංවර්ධන සභා මන්තී‍්‍රවරයෙක් වශයෙන් පත්විය.   
ජවිපෙ 2 වැනි කැරලි සමයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ ආරියරත්න (සුගත්/ වික‍්‍රම/ ආරි/ ආරියසේන/ ජයන්ත), කළුආරච්චි ටී.එස්. දේවානන්ද හෙවත් කිරිමහත්තයා, ගාමිණී ගුණසේකර හෙවත් රිචඞ්, සුබසිංහගේ ප‍්‍රඥාදාස (පරණමාන) ඇතුළු කිහිප දෙනෙකි. දිස්ත‍්‍රික් සන්නද්ධ ලේකම්වරුන් වූයේ ගුණසේන වර්ණපටබැදි හෙවත් බෙටා, මල්පුදනැල්ලේ අජිත් හෙවත් සේනාරත්න, යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ කලක් සේවය කළ දෙවුන්දර අතුල හෙවත් හේමන්ත, ප්‍රේමචන්ද්‍ර කොඩිතුවක්කු (බර්ටි/ තුෂාර/ විජේසිංහ) යන අය වේ.   


හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සිටි ජවිපෙ දේශපාලන දිස්ත්‍රික් ලේකම්වරුන් අතරින් වඩාත් ආදරයට පාත‍්‍ර වූ පුද්ගලයා වූ ආරියරත්න ජවිපෙට බොහෝ වටිනාකම් එකතු කළ අයෙකි. වැලිමඩ ලූණුවත්තේ උපත ලද ආරියරත්න සරසවි අධ්‍යාපනයෙන් පසු 70 දශකයේ මැද භාගයේ භෞතික විද්‍යා ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් නුවරඑළිය ගාමිණී මහා විද්‍යාලයේ සිසුන් සහ දෙමාපියන්ගේ නොමද ආදරයට ලක්වූවෙකි. පාසල තුළ ශිෂ්‍යයින්ට ඔහු දේශපාලනය කථා නොකළද උසස් පෙළින් පසු පාසල් හැරගිය ශිෂ්‍යයින් අතර ඔහු වැඩ කළේය. අසූවේ ජූලි වර්ජනයට එක්වීම නිසා ආරියරත්නගේ රැකියාව අහිමි වූ අතර පසුව ජවිපෙ පූර්ණකාලීනයෙකු වී නුවරඑළිය දිස්ත‍්‍රික්කයට අයත් නුවරඑළිය මස්කෙළිය, වලපනේ, කොත්මලේ සහ හඟුරන්කෙත යන මැතිවරණ ආසනවල නායකයා විය. රැකියාව අහිමිව සිය ගැබිනි බිරිඳ සමඟ නානුඔය දුම්රියපොළ අසල පක්ෂ හිතවතෙකුගේ නිල නිවසක සිට එම කටයුතු මෙහෙයවිය. පක්ෂ අරමුදල සඳහා කුඩා ආදර්ශ ගොවිපොළක් ද ඔහු පවත්වාගෙන ගියේය.   


ජවිපෙ 1983 ජූලි තහනමින් පසු කොලොන්නාව ප‍්‍රදේශයේ නැවතී සිටිමින් කොළඹ දිස්ත්‍රික්කයේ කටයුතු වලට සම්බන්ධ වූ ආරියරත්න 1988/89 සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම් ලෙස කටයුතු කළේය. පසුව ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම් ලෙස වගකීම් භාරගනු ලැබීය. අනතුරුව 1989 අගෝස්තු මස ගම්පහ දිස්ත්‍රික් දේශපාලන ලේකම් ලෙස පත්කළ අතර එහි වගකීම් භාරගැනීමටත් ප‍්‍රථම හෝමාගමදී 1989 අගෝස්තු 24 ආරක්ෂක හමුදා ‘ඇම්බුෂ්’ උගුලකට (සැඟවී සිට එම ස්ථනයට පැමිණෙන අය අත්අඩංගුවට ගැනීම) හසුවීමෙන් අත්අඩංගුවට පත්විය. මත්තේගොඩ කඳවුරට ගෙන ගොස් වධබන්ධනවලට ලක්වූවද කිසිම තොරතුරක් හෙළි නොකළ අතර පසුව ඝාතනයට පත්විය. 

 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඝාතනයට ලක්වූ සිසු ක්‍රියාකාරීන් සිය ගණනක් අතරින් කිහිප දෙනෙක් වමේ සිට දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ එම්.එස්.කේ. මුතුකුමාරණ, තංගල්ල මහා විද්‍යාලයේ වසන්ත වීරසිංහ, ජම්බුගහපිටිය බෝගහකුඹුරේ දමයන්ති ස්වර්ණලතා, යෝධ කණ්ඩිය විද්‍යාලයේ කේ.එච්. ගාමිණී සහ තංගල්ල මහා විදයාලයේ නීල් රොෂාන් වර්ණකුලසූරිය.  

 

ජවිපෙ 83 ජුලි තහනමින් පසු නායක විජේවීර සමඟ හම්බේගමුව වනාන්තරයට පසු බැස ගිය ගාමිණී මුතුකුමාරණ සහ පියසේන රාමනායකද, ජවිපෙට යෝධ සවියක්ව සිටි තංගල්ල විතාරන්දෙණියේ විජිත රණවීර, ආරක්ෂක අංශ විසින් 1988 ජනවාරි 31 අත්අඩංගුවට ගෙන එදිනම රාත්‍රී කිවුල හන්දියේ වෙඩි තබා මරා දමා තිබූ ජවිපෙ ක්‍රියාකාරී බරවකුඹක මුරවැසිහේනේ පදිංචි සෙංකොණ්ඩ ආරච්චිගේ පියදාස සහ ඝාතනයට ලක්වූ සුනිල් වීදියහේවගේ මෙහි වමේ සිටය.  

 


 හම්බන්තොට දිස්ත්‍රික්කය කලාප 4කට බෙදා තිබිණි. ඒවා නම් බෙලිඅත්ත, තංගල්ල, ඇඹිලිපිටිය සහ තිස්ස වේ. බෙලිඅත්ත කලාපයට බෙලිඅත්ත, මිද්දෙණිය සහ වලස්මුල්ල පොලිස් කොට්ඨාසද තංගල්ල කලාපයට තංගල්ල, අගුණුකොළපැලැස්ස, වීරකැටිය සහ හුංගම පොලිස් කොට්ඨාසද, ඇඹිලිපිටිය කලාපයට ඇඹිලිපිටිය, කොලොන්න, උඩවලව සහ කුට්ටිගල පොලිස් කොට්ඨාසද, තිස්ස කලාපයට තිස්සමහාරාම, කතරගම, වීරවිල, අම්බලන්තොට, හම්බන්තොට, ලුණුගම්වෙහෙර සහ සූරියවැව පොලිස් කොට්ඨාසද අයත් විය. ශ්‍රී ලංකාවේ සම්මත ක‍්‍රමය අනුව ඇඹිලිපිටිය රත්නපුර දිස්ත්‍රික්කයට අයත් වුවද ජවිපෙ භූගෝලීය සීමාවන් අනුව ඇඹිලිපිටිය අයත් වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයටය. කැරැල්ලේ මුල් අවධියේදී ඇඹිලිපිටිය කලාපයේ ජවිපෙ කටයුතු මන්දගාමීව සිදුවූ බැවින්ද හම්බන්තොට දිස්ත්‍රික් සංවිධානයේ මෙහෙයුම් වේගවත් වූ බැවින්ද මෙම තීරණය ගෙන තිබිණි.   


දිස්ත්‍රික්කය තුළ කලාපීය දේශපාලන නායකයින් ලෙස බෙලිඅත්තට රුහුණු සරසවියේ කෘෂි පීඨයේ ඩේමියන් වීරක්කොඩි හෙවත් කෝලිතද, තංගල්ලට රණතුංග හෙවත් චණ්ඩිද, ඇඹිලිපිටියට ඔක්කම්පිටියේ ගුණසේකරද (කිංස්ලි/ රත්නේ), තිස්සට රුහුණු සරසවි වෛද්‍ය පීඨයේ රත්නවීරද (චතුර/ ඩිංගි මහත්තයා/ සේනාධීර) කටයුතු කළේය. ශිෂ්‍ය අංශයේ දිස්ත්‍රික් නායකයා වූයේ අම්පාරේ උපන් මොරටුව එන්.ඞී.ටී සිසු නිරංජන් විජේසිරි හෙවත් පාලිතය. කාන්තා අංශයේ කලාපීය නායකයින් ලෙස බෙලිඅත්තට රැහුණු සරසවියේ ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ අකුරැස්සේ දිස්නාද තංගල්ලට මිද්දෙණියේ ඉන්ද්‍රාණිද, ඇඹිලිපිටියට මරදාන කාර්මික විදුහලේ රූපිකාද, තිස්සට හුංගම විද්‍යාලයේ නිල්මිණීද වූහ. මුළු දිස්ත්‍රික්කයටම සන්නද්ධ දිස්ත්‍රික් ලේකම් වූයේ මල්පුදනැල්ලේ අජිත් නොහොත් සේනාරත්නය. සන්නද්ධ කලාපීය ලේකම්වරුන් වශයෙන් බෙලිඅත්තට වලස්මුල්ල ජූලම්පිටියේ උපාලි ද (රණතුංග/ ජයලත්), තංගල්ලට හුංගම ගුරුගේද, ඇඹිලිපිටියට කොඩිතුවක්කු හෙවත් විජේසිංහද, තිස්සට නාත්ද කටයුතු කරන ලදී. නාත් පසුව කළුතර දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් ලෙසද වගකීම් දැරිය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කැරලිකරුවන්ට අවි පුහුණුව භාරව සිටියේ යුද හමුදාවේ හිටපු කෝප‍්‍රල් ප්‍රේමචන්ද්‍රය. රුහුණේ රණහඬ නැමති පුවත් හසුනද පළකරන ලදී.   


හම්බන්තොට දිස්ත්‍රික්කයේ බලය 1988 මුල් භාගය වන විට ක‍්‍රමයෙන් රජයේ ග‍්‍රහණයෙන් ගිලිහී ගිය අතර ජවිපෙ එය සියතට ගනිමින් සිටියේය. ඇතැම් ග‍්‍රාමීය ගම්මාන පැවතියේ කැරලිකරුවන් ගේ නිල නොවන පාලනය යටතේය. කැරලිකරුවන්ගේ ප‍්‍රචණ්ඩ ක්‍රියා සහ පුද්ගල ඝාතන හේතුවෙන් දිස්ත්‍රික්කය යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපති ජයවර්ධන විසින් ආරක්ෂක අංශ ප‍්‍රධානින් රැසක් අලුතින් හම්බන්තොට ප‍්‍රධාන දකුණු පළාතට පත්කරන ලදී. දකුණු පළාතේ 1988 ජූලි වන විට ස්ථාන ගතකර සිටියේ පළමුවැනි ගැමුණු, 4 වැනි ගැමුණු, පළමුවැනි පාබල සහ තුන්වැනි පාබල යන සේනාංකයන්ය.   


හම්බන්තොට පොලිස් ප‍්‍රධානියා ලෙස පත්කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමදාස උඩුගම්පොලය. උප පොලිස් පරික්ෂකයෙකු ලෙස 1957 පොලිස් දෙපාර්තමේන්තුවට බැදුණු ඔහු ඉන් පසු පිළිවෙළින් වරකාපොල, හෙට්ටිපොල, දුම්මලසූරිය, පන්නල ගිරිඋල්ල යන පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කලින් කලට සේවය කළේය.   


ගම්පහ පොලිස් කොට්ඨාසය භාර පොලිස් ප‍්‍රධානියා ලෙස කටයුතු කළ උඩුගම්පොල ගම්පහ සාම විහාරයේ පැවති පැවිදි හඬ සම්මන්ත‍්‍රණය නතරකිරීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද දෝෂාරෝපණයට ලක්වූ අයෙකි. දකුණු පළාතේ හමුදා ආඥාපති ලෙසින් පත්කළේ කර්නල් ලක්ෂ්මන් අල්ගමය. ඔහු හමුදාවට 1963 මැයි 10 බැඳුණේ දෙවැනි ලූතිනන්වරයෙකු ලෙසය. කර්නල් අල්ගම යටතේ හම්බන්තොට හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වූයේ කර්නල් පීරිස්ය. කර්නල් අල්ගම සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උඩුගම්පොල විසින් ජවිපෙ මුළුනුපුටා දැමීමට ‘නව ක‍්‍රම සහ විධි’ හම්බන්තොට ඇතුළු දකුණු පළාතේ ක්‍රියාත්මක කරන ලදී   

 

සරසවි සිසුවකු ලෙස ශ්‍රී ලංකාවේ 2 වැනි වරට 1984 ජුනි 19 වැනිදා ඝාතනයට ලක්වූයේ තංගල්ලේ උපන් පේරාදෙණියේ වෛද්‍ය සිසු බුලත්කන්දගේ පත්මසිරි අබේසේකරය. පත්මසිරි මිය යෑමට පෙර පේරාදෙණිය සරසවියේදී සිය 82/83 වෛද්‍ය සිසු මිතුරන් සමඟ ගත් ඡායාරූපයකි. මෙහි කුරුණෑගල සමන් චන්ද්‍රසිරි දික්වැල්ලේ බන්දු එදිරිසිංහ, නාවලපිටියේ කේ. වි​ෙජ්රත්නම්, බිබිලේ ධර්මවර්ධන බණ්ඩාර, අබේරත්න, වික්‍රමසිංහ වේ. 

ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදන් වූ තම සැමියන් ගැන සොවින් තැවෙන ඇඹිලිපිටියේ කාක්කන්ගොඩ ඩී.ඒ. සුමනාවතී, හුංගම තුඩුවේ කෝදාගොඩගේ දීපිකා, නාකුළුගමුවේ කේ.පී. රෝහිණී, හුංගම කාන්ති රණවීර සහ තණමල්විල දෙවුරම් වෙහෙරෙහි නාලනී එදිරිසිංහ 1990 වසරේදී  

හුංගම පොලිස් බල ප්‍රදේශයේ කදිරගොඩ කැරැලිකරුවන්ගේ ආයුධ ගබඩාවක තිබී ආරක්ෂක අංශ මගින් 1989 දෙසැම්බර් අත්අඩංගුවට ගනු ලැබූ පතොරම් තුවක්කු 47ක්

 


 කැරලිකරුවෝ එයට එරෙහිව බ්‍රිගේඩියර් අල්ගම සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පසුව නියෝජ්‍ය පොලිස්පති (දකුණු පළාත) බවට පත්වූ ප්‍රේමදාස උඩුගම්පොල ගේ පවුලේ අයට එරෙහිව ප‍්‍රහාරයන් දියත් කළහ. ඒ අනුව කර්නල් අල්ගම ගේ සොහොයුරා වූ සීමාසහිත ස්ටාර් බ‍්‍රෑන්ඩ් මෙඩිකෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සරච්චන්ද්‍ර අල්ගම 1989 අප්‍රේල් 11 නුගේගොඩ පාගොඩ පාරේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩිතබා ඝාතනය කරන ලදී. එමෙන්ම නියෝජ්‍ය පොලිස්පති උඩුගම්පොලගේ මව වූ ගාල්ල උළුවිටිකේ පදිංචි ඇලිස් චන්ද්‍රාවතී (75), ඔහුගේ සොහොයුරු පාලිත, සොහොයුරා ගේ බිරිඳ, එම දෙපළගේ 6 හැවිරිදි දියණිය සහ 5 හැවිරිදි පුතු ඇතුළු පවුලේ සියලු දෙනා 1988 ජුලි 28 වැනිදා ඝාතනය කර නිවසද ගිනි තබා තිබිණි.   


ජවිපෙ 2වැනි කැරලි සමයේදී ස්වයංක්‍රීය ටී.56 තුවක්කු නිපදවීම ත්‍රිකුණාමලය, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි කම්හල්වල 1989 මැද භාගයේ සිට සිදුවූ අතර එහි හම්බන්තොට වැඩ කටයුතු සිදුවූවේ හුංගම පොලිස් වසම තුළය.   


ශිෂ්‍ය අංශයේ දිස්ත්‍රික් නායකව සිටි පාලිත 1990 ජනවාරි 2 අත්අඩංගුවට පත්විය. ඔහු ඒ වන විට ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දකුණු පළාතේ නායකයාද විය. පසුව පාලිතව මාතර හමුදා ප‍්‍රධානියා හරහා බුද්ධි අංශ කාර්යාලයේ ලූතිනන්වරයෙකුට භාරදෙන ලදී. පසුව බෙලිඅත්ත ගැටමාන්න පාරේ සුහදරත්නගේ නිවසේ පිහිටි කඳවුරට භාරදෙන ලදී. එය භාරව සිටි කර්නල්වරයා විසින් පාලිත සහ තවත් හිමිවරුන් දෙදෙනෙකුට 1990 මැයි 15දා පලායෑමට සැලැස්වු බව කියති. ඒ අතර වීරකැටිය කොට්ඨාසයේ ශිෂ්‍ය අංශයේ ලේකම් වූ බඳගිරියේ පදිංචි ‘ලේනා’ද විය. කැරලිකරුවන් රඳවා ගැනීම සඳහා කඳවුරු කිහිපයක්ම ස්ථාපිත වූ අතර ඉන් වධ කඳවුරු ලෙස වඩාත් ප‍්‍රචලිත වූයේ හම්බන්තොට ටෙනිසන් එදිරිසූරියට අයත් සංචාරක නිවාසය සහ බෙලිඅත්ත ගැටමාන්න පාරේ සුහදරත්නගේ නිවසය. තිස්ස කලාප දේශපාලන ලේකම් රත්නවීර 1990 ජනවාරි 2වැනිදා ඇඹිලිපිටියේදී ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්වූයේ හිටපු දිස්ත්‍රික් ලේකම් ගාමිණී ගුණසේකරගේ මඟපෙන්වීම අනුවය.   


1989 අවසාන භාගය ​ෙවනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සන්නද්ධ අංශය කිසිවෙකුට පාලනය කළ නොහැකි අන්දමින් අවිධිමත්ව ක්‍රියාත්මක විය. හොරකම්, මංකොල්ලකෑම් බහුල වූ අතර විජේවීර ඝාතනයෙන් පසු තත්ත්වය වඩාත් උග‍්‍ර විය. එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරින් කණ්ඩායම් 2කට බෙදි තිබිණි. එක් පාර්ශ්වයක් සරසවිවලින් දේශපාලනයට අවතීර්ණ වූ අයවූ අතර අනෙක් පාර්ශ්වය පාසල්වල උසස් පෙළ කරමින් සිටියදී ජවිපෙට එක්වූ අය වූහ. සමන් පියසිරි ප‍්‍රනාන්දු ජවිපෙ නායකත්වයට පත්වීමෙන් පසු හම්බන්තොටට පැමිණ සාකච්ඡා 3ක් පැවැත්වූ අතර එයට විසඳුමක් වශයෙන් හම්බන්තොට සන්නද්ධ ලේකම්වරයා වශයෙන්ද ඔහු වැඩබලමින් සිටියේය. ඒ වන විටද දිස්ත්‍රික්කය සතුව පොලිස් අත්අඩංගුවට පත් නොවූ ෂොට්ගන් 500ක් පමණ, ටී. 56 අවි 6, ටී. 84 අවි 5, රයිෆල් 5, එල්. එම්.ජී. 2 ඇතුළු අවි රැසක් විය.   
පක්ෂය සතුව ග‍්‍රාමීය බැංකුවලින් කොල්ලකන ලද මුදලින් රුපියල් ලක්ෂ 35ක්ද රත්තරන් කිලෝ 30ක් ඇතුළු ලක්ෂ 500ක පමණ වටිනා සම්පත්ද අවි ආයුධ රැසක්ද 1990 ජනවාරි මස වන විට එවකට හම්බන්තොට දිස්ත්‍රික් අරමුදල ලෙස දිස්ත්‍රික් සන්නද්ධ අංශයේ නායකයාව සිටි ප්‍රේමචන්ද්‍ර කොඩිතුවක්කු භාරයේ තිබිණි. ශිෂ්‍ය අංශයේ සන්නද්ධ කටයුතු නායකයෙකු වූ තිස්සමහාරාමයේ දෙබරවැව සුදර්ශන, ශිෂ්‍ය අංශයේ කලාප නායකයෙකු වු බෙලිඅත්තේ සුමිත‍්‍ර ඇතුළු කණ්ඩායමක් පුද්ගලික අරමුණු සඳහා එය කොල්ලකෑමට සැලසුම් සකස් කළේය. පසුබසින කැරලිකරුවන් සමඟ කොඩිතුවක්කුද කැරැල්ල පරාජයට පත්වීමෙන් පසු උඩවලව වනාන්තරයට ගොස් එම කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේය.   


ජවිපෙම ක්‍රියාකාරිකයින් වු තිස්සමහාරාමයේ සුදර්ශන ඇතුළු පිරිස විසින් 1990 අගෝස්තු මස කොලොන්න ගමකන්දේදී කොඩිතුවක්කුට පිහියෙන් ඇන ඝාතනය කර ඔහු භාරයේ තිබූ රත්තරන් සහ මුදල් කොල්ලකන ලදී. හම්බන්තොට පන්නගමුවේ උපන් ප්‍රේමචන්ද්‍ර කොඩිතුවක්කු රුහුණු කෘෂි විද්‍යා පීඨයට 1981 ඇතුළත්වූ සිසුවෙකි. එමෙන්ම කටුනායක ගුවන් හමුදා කඳවුරේ 2වැනි ප‍්‍රහාරයට එක්වී එහිදී අත්අඩංගුවට ගත් අතර පසුව ජවිපෙ කැරලිකරුවන් 221ක් සමඟ බන්ධනාගාරයෙන් පලාගිය අයෙකි. කොඩිතුවක්කු ඝාතනය කළ ඔවුහු ජනාධිපති ප්‍රේමදාස මරුමුවට පත්වීමෙන් පසු පෑලියගොඩ පොලිසිය ඉදිරිපිට ලී මෝලක්ද පවත්වාගෙන ගිය අතර වසර කිහිපයක ඇවෑමෙන් එයද දෙකට බෙදී ව්‍යාපාර 2ක් බවට පත්විය.   


කැරැල්ලේ පරාජයෙන් පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ රහසිගතව සඟවා තිබූ විශාලතම අවි ගබඩාව වීරකැටිය කැලෑවකින් 1992 සැප්තැම්බර් 15 තංගල්ල පොලිසිය මගින් සොයා ගන්නා ලදී. කැරැල්ලේ කලාපීය නායකයෙකු වූ තංගල්ල රැකව පදිංචි ජුවානහැන්නදිගේ ජයන්ත බෙලිඅත්තේදී 1992 අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම තොරතුරු අනාවරණය වූ බව තංගල්ල පොලිස් ස්ථානාධිපති කියා සිටියේය. එමෙන්ම බෙලිඅත්ත කහවත්තේ කැරලිකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කැලෑවක පොළව යට වළලා තිබුණු ආයුධ තොගයක්ම සොයා ගැනීමට බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති අයි. එම්. කරුණාරත්න සමත් විය. (ජවිපෙ 2 වැනි කැරලි සමය වූ 1986 සිට 1990 දක්‌වා පළ​ෙවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්‌තර දුරකථන 011-5234384 ලබාගත හැකිය)   

 

 

 

 

 

ධර්මන් වික්‍රමරත්න විසිනි