හදිසි අනතුරකින් මොළය මියගිය තරුණයාගේ


රිය අනතුරකට ගොදුරුව මොළය මියගිය තරුණ එක් දරු පියකුගේ වකුගඩු දෙක සහ ඇස් දෙක රෝගී පුද්ගලයන් සිව්දෙනකුට බද්ධ කිරීම සඳහා පරිත්‍යාග කිරීමේ අතිමහත් උතුම් ක්‍රියාවක් වතුපිටිවල රජයේ මූලික රෝහලේ දී ඉකුත් 9 වැනිදා සිදු කෙරුණි.   


අත්තනගල්ල ඌරාපොළ දීනාපමුණුව පදිංචිව සිටියදී රිය අනතුරකින් මොළය මියගිය ඒ.කේ. විශ්ව චතුරංග නමැති විසි තුන් හැවිරිදි එක් දරු පියාගේ එම ඉන්ද්‍රියයන් හතර පරිත්‍යාග කිරීමේ මෙම උතුම් ක්‍රියාව සිදු කරන ලද්දේ ඔහුගේ බිරිය වන විසි දෙහැවිරිදි වාසනා පුෂ්පකුමාරි මහත්මිය විසිනි.   


අත්තනගල්ල ඌරාපොළ දීනාපමුණුව ග්‍රාමයේ පදිංචි ඩබ්ලිව්.ඒ. කුසුමාවතී (58) සහ ඒ.කේ. සිරිපාල (65) යන මව්පිය යුවළගේ බාල දරුවා ලෙස 1994.05.12 වැනි දින උපත ලබා ඇති විශ්ව චතුරංග අත්තනගල්ල ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ තරුණයෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසුව තම මව්පිය දෙදෙනාගේ ආධාර මත ත්‍රිරෝද රථයක් මිලදී ගත් තරුණ චතුරංග එමගින් කුලී ගමන් යාම තම ජීවිකා වෘත්තිය බවට පත් කර ගත්තේය. වසර කිහිපයක් පැවැති පෙම් සබැඳියාවක් මල් ඵල ගන්වමින් විශ්ව චතුරංග මිනුවන්ගොඩ, පමුණුව පාර, මාතම්මන ග්‍රාමයේ පදිංචි වාසනා පුෂ්ප කුමාරි මෙනවිය සමඟ 2014.06.05 වැනි දින යුග දිවියට පිවිසියේ සිය මව්පිය නෑ හිතුමිතුරන් විශාල පිරිසකගේ ආශිර්වාදය මධ්‍යයේය.   


පසුගිය වසරේ (2016) දෙසැම්බර් මස 01 වැනි දින ඔහු තරුණ පියකු බවට ද පත් විය. තම ගමේ සහ හිතමිතුරන්ගේ පොදු කටයුතුවලදී නොපිරිහෙලා උදව් උපකාර කළ විශ්ව චතුරංග ප්‍රදේශයේ ලොකු කුඩා සැමගේ හිත දිනා සිටි තරුණයකු විය. රිය අනතුරකින් මියගිය තම ගමේම මිතුරකුගේ මළගෙදරට ඉකුත් 4 වැනිදා සවස ගිය විශ්ව චතුරංග එහි කටයුතුවලට ද නොපිරිහෙලා උදව් උපකාර කළේය.   


ඊට පෙර දින (03) රාත්‍රී කාලයේ තම නිවසේ ආරක්ෂාව සඳහා යකැදුරකු තම නිවසට ගෙන්වා තොවිලයක් පවත්වා නිවස භූත දෝෂ අනවින හදි හූනියන් යනාදියෙන් ආරක්ෂා කර තිබූ නිසා මළගෙදර සිට එදින ආපසු නිවසට නොගිය විශ්ව චතුරංග දින දෙකක්ම දිවා රාත්‍රී දෙකෙහිම මළගෙදර රැඳී සිටියේය. 

 
පුරා දින දෙකක් මළගෙදර රැඳී සිටි චතුරංගට ඉකුත් 6 වැනි දින නිවසට යාමේ අවශ්‍යතාවක් ඇති විය. දිය නා පිරිසිදු වී තම නිවසට යාම සඳහා මළගෙදර දී තම මිතුරකුගෙන් යතුරුපැදියක් ඉල්ලා ගත් විශ්ව චතුරංග අත්තනගල්ල යටවක දියඇල්ල වෙත දිය නෑම සඳහා ගමන් කළේය.   


දිය නෑම සඳහා ඔහු දියඇල්ල වෙත ගියේ තනිවමය. විනාඩි කිහිපයක් දියඇල්ලෙන් දිය නා පිරිසිදු වූ විශ්ව චතුරංග ඌරාපොළ රුවන්වැල්ල මහා මහාමාර්ගය ඔස්සේ තම නිවෙස බලා යතුරුපැදිය ධාවනය කළේ හැකි ඉක්මනින් නිවස වෙත යාම සඳහාය.   


ඔහුට යතුරුපැදිය ධාවනය කළ හැකි වූයේ කෙටි දුරකි. ඌරාපොළ යටවක පන්සල් හන්දිය අසල දී අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට අවතීර්ණ කරන ලද යතුරුපැදියක් හා චතුරංග ධාවනය කළ යතුරුපැදිය එකිනෙක ගැටී දෙදෙනාම මහාමාර්ගය මත ඇද වැටී බරපතළ තුවාල ලැබීය. මෙම අනතුර සිදු වූ අවස්ථාවේ විශ්ව චතුරංග හිසේ ආවරණයක් පැළඳ නොසිටි නිසා කාපට් මාර්ගය මත හිස වැදී ඔහුගේ හිසට දැඩි හානි සිදු වී තිබිණ.   


තුවාල ලත් දෙදෙනාම වහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දෙදෙනාම එදින රාත්‍රී කාල​ෙය් කොළඹ ජාතික රෝහලට මාරු කර යවනු ලැබීය. ජාතික රෝහලේ දී විශ්ව චතුරංග පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදු කර ඔහු නැවත පසු දින (7) අලුයම් කාලයේ වතුපිටිවල මූලික රෝහල වෙත ආපසු එවන ලදී.   


අසාධ්‍යව සිටි ඔහු එදින උදෑසන රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි.   


මෙම රෝගියා පිළිබඳව රෝහලේ දැඩිසත්කාර ඒකකයේදී පූර්ණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදු කළ වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික සිරිසේන මහතා සහ එනි නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් සෙනවිරත්න මහතා රෝගියාගේ (විශ්ව චතුරංගගේ) මොළය මියගොස් ඇති බවට සහතික කළහ.   


මොළය මියගිය රෝගියකු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටින බව කොළඹ ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ අංශය නියෝජනය කරනු ලබන වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය රංගික අතුකෝරළ මහතාට රෝහලේ දැඩිසත්කාර ඒකකයෙන් දන්වනු ලැබීය. එම දැනුම් දීම හා වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ප්‍රියන්ත විජේසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ වහා ක්‍රියාත්මක වූ වෛද්‍ය රංගික අතු​ෙකා්රළ මහතා මොළය මියගිය විශ්ව චතුරංගගේ බිරිය වාසනා පුෂ්ප කුමාරි (22) මහත්මිය රෝහලට කැඳවා විශ්ව චතුරංගගේ මොළය මියගොස් ඇති බැවින් ඔහු ජීවත් කළ නොහැකි බව ද ඔහුගේ අවයව පරිත්‍යාග කිරීමට කැමැති ද යන්න විමසන ලදී.   


විශ්ව චතුරංගගේ මව ඩබ්ලිව්.ඒ. කුසුමාවතී මහත්මියගේ ද අනුදැනුම මත වාසනා පුෂ්ප කුමාරි මහත්මිය සිය විසි තුන් හැවිරිදි සැමියාගේ අවයව පරිත්‍යාග කිරීමට කැමැත්ත වතුපිටිවල මූලික රෝහල වෙත නීත්‍යනුකූලව ලබා දෙනු ලැබුවාය. ඒ අනුව ඉදිරි කටයුතු වහ වහා සම්බන්ධීකරණය කළ වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය රංගික අතුකෝරළ මහතා කොළඹ ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ අංශ ප්‍රධානී අවයව බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රුවන් දිසානායක මහතාට සියලු තොරතුරු වහා දැනුම් දෙන ලදී.   


​ෙමාළය මියගිය මෙම විසිතුන් හැවිරිදි එක් දරු පියාගේ වකුගඩු දෙක සහ අක්මාව ලබා ගැනීමේ කටයුතු කොළඹ ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ අංශය ඒ අනුව වහා සැලසුම් කරනු ලැබීය.   

 

අවශ්‍ය සියලු අංශ සම්බන්ධීකරණය කළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රුවන් දිසානායක මහතා තම අංශයේ වෛද්‍ය පිරිසක් සහ අවශ්‍ය උපකරණ ද රැගෙන ඉකුත් 08 වැනි දින රාත්‍රී 9.45ට පමණ වතුපිටිවල මූලික රෝහලට පැමිණ වකුගඩු දෙක සහ අක්මාව ගලවා ඉවත් කිරීමේ සැත්කම රෝහලේ නව ශල්‍යාගාරයේදී රාත්‍රී 10.15ට පමණ ආරම්භ කරනු ලැබීය.   


මහ රෑ පුරා පැය තුනක පමණ කාලයක් සිදු කළ එම සැත්කමේදී මොළය මියගිය විශ්ව චතුරංගගේ වකුගඩු දෙක ගලවා ඉවත් කරන ලදී. වකුගඩු දෙක ගලවා ඉවත් කිරීමෙන් අනතුරුව සිදු කළ පරීක්ෂණයකදී චතුරංගගේ අක්මාව තවත් අයකුට බද්ධ කිරීම සඳහා සුදුසු තත්ත්වයකට නොතිබෙන බව හෙළි වීම නිසා වෛද්‍ය කණ්ඩයාම විශ්ව චතුරංගගේ අක්මාව ගලවා ඉවත් කිරීමෙන් වැළැකී සිටියහ.   


​ෙකාළඹ ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ අංශයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රුවන් දිසානායක, එහි වෛද්‍ය ප්‍රසාද් හේරත්, වෛද්‍ය හරින්ද්‍ර ද සිල්වා, වෛද්‍ය ප්‍රබෝධ සමරතුංග යන වෛද්‍ය කණ්ඩායම විසින් වකුගඩු දෙක ගලවා ඉවත් කරන ලදී.   


ගලවා ඉවත් කරන ලද වකුගඩු දෙක 9 වැනිදා අලුයම් කාලයේදීම එම වෛද්‍ය කණ්ඩායම විසින් විශේෂ ආරක්‍ෂාව යටතේ ​​රැගෙන යන ලදී. එම එක් වකුගඩුවක් එදින (9) පෙරවරු කාලයේදී කොළඹ ජාතික රෝහලේ ‘ජී ශල්‍යාගාරයේදී’ හැත්තෑ එක් හැවිරිදි මවකට බද්ධ කරන ලද අතර අනික් වකුගඩුව එදිනම දහවල් කොළඹ මාළිගාවත්ත වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේදී එහි වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන සහ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කේ. උමාශංකර් යන මහත්වරුන් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් හතළිස් පස් හැවිරිදි මවකට බද්ධ කරන ලදී.   


මෙම අවයව ලබා ගැනිමේ කාර්යයේ සම්බන්ධීකාරක වතුපිටිවල මූලික රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයේ (පී.සී.යූ. ඒකකයේ) වෛද්‍ය රංගික අතු​කෝරළ මහතාගේ සම්බන්ධීකරණය යටතේ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් මොළය මියගිය විශ්ව චතුරංගගේ ඇස් දෙක ද එදින (9) අලුයම් කාලයේදී ගලවා ඉවත් කර රැගෙන යන ලදී. එම ඇස් දෙක දෙදෙනකුට බද්ධ කළ බව මේ සඳහා පැමිණි ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ තාක්ෂණ නිලධාරී ජයරත්න පතිරාජ මහතා අප කළ විමසීමකදී පැවැසීය.   

 

 

 

පුරා පැය 3ක කාලයක් ගත වූ වකුගඩු දෙක ගලවා ඉවත් කිරීමේ සැත්කම සඳහා කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය කණ්ඩායමට වතුපිටිවල මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍ය තක්ෂිලා අබේවර්ධන මහත්මිය ද වෛද්‍ය රංගික අතුකෝරළ මහතා ද රෝහලේ නව ශල්‍යාගාරයේ හෙදි කණ්ඩායමේ එච්.එම්. දිලිනි සුරංගිකා හෙන්නායක, එන්.ඒ.එම්. වාසනා නිශ්ශංක, බී.ආර්. නිරෝෂා ගුණතිලක, ඩී.අයි. ඉනෝකා ජයවර්ධන යන මහත්මීහු ද ශල්‍යාගාර කනිටු කාර්ය මණ්ඩලයේ අමිත් රුවන් කුමාර, එන්.සී. ද සොයිසා, පී. ඥානවතී යන තිදෙනා ද පූර්ණ සහයෝගය දැක්වූහ.   


මෙම අවයව පරිත්‍යාග කිරීම පිළිබඳව ඉරිදා ලංකාදීපයට අදහස් දැක්වූ විශ්ව චතුරංගගේ බිරිය වාසනා පුෂ්ප කුමාරි මහත්මිය මෙසේ පැවැසුවාය.   


“තවත් රෝගී ජීවිත කිහිපයක් සුවපත් කිරීම                           ගේ සැමියාගේ අවයව පරිත්‍යාග කිරීමට මම කැමැත්ත ප්‍රකාශ කළා. විශ්ව චතුරංග මේ ලෝකයට දායාද කළ ඔහුගේ මවට සහ පියාට මේ තුළින් විශාල පිනක් අත්පත් වෙනවා. මියගිය කෙනකුගේ ශරීර ඉන්ද්‍රියන් මහපොළොවට පස් වීමට ඉඩ නොදී තවත් රෝගී ජීවිත සුවපත් කිරීම සඳහා එම ඉන්ද්‍රියන් ලබා දීම තුළින් පිනක් වගේම මනසට විශාල සතුටක් ද ලැබෙනවා. මේ උතුම් කාර්යය ආදර්ශයට ගෙන කටයුතු කරනවා නම් එය ද ඉතා වැදගත් වෙනවා” යැයි වාසනා පුෂ්ප කුමාරි මහත්මිය පැවැසීය.   


අවයව ඉවත් කිරීමේ සැත්කම ශල්‍යාගාරය තුළ දී ඉරිදා ලංකාදීප පුවත්පත වෙනුවෙන් ඡායාරූපගත කිරීම සඳහා අවසර ලබා දුන් වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ප්‍රියන්ත විජේසිංහ මහතාට ද මෙහිදී විශේෂ ස්තුතිය පුද කර සිටිමි.

 

 

 

 

 

 

 

 

 

 

 

වතුපිටිවල 
එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන
අජිත් මදුරප්පෙරුම