හත්වතාවක් නිධන් හොරුන්ට බිලිවූ පුසුල්පිටිය රජමහා විහාරය


 

මහින්දාගමනයත් සමඟම ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ ප‍්‍රබෝධය මතු වේ. ඒ අනුව, සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශ‍්‍රී ලංකාවට වැඩම කළ ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාවෙන් පැන නැගුණු බෝ අංකුර 40ක් මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ශ‍්‍රී ලංකාව පුරා රෝපණය කරමින් මෙරට බෝධි සංස්කෘතියක් අපට උරුම විය. එදවස අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල බෝධීන් වහන්සේලා රෝපණය කිරීමේදී නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කොත්මලේ පුසුල්පිටිය රජමහා විහාරය හා හඟුරන්කෙත විල්වල රජමහා විහාරයේ රෝපණය කළ බවට ඉතිහාසයේ තොරතුරු අපට සිහිපත් කර දෙයි.   


දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ කොත්මලේ පුසුල්පිටිය රජමහා විහාරය 1983 සිට ඉකුත් 2017.08.03 වැනි දින දක්වා නිදන් සොරුන් විසින් හත් වතාවක් බිඳ මහා විනාශයක් සිදුකර ඇත. ඉකුත් අගෝස්තු 03 වැනි දින රාත‍්‍රී කොත්මලේ පුසුල්පිටිය රජමහා විහාරයට ඇතුළු වූ සොර කණ්ඩායමක් එම විහාරවාසී හිමිනමක් හා තවත් පුද්ගලයෙකු රැහැන් පටිවලින් බැඳ දමා විහාරස්ථානයේ තිබූ ඉතා වටිනා චෛත්‍ය රාජයාණන් වහන්සේ බිඳ එහි තිබූ නිදන් වස්තුව පැහැරගෙන ගොස් ඇත. ඒ සමඟම විහාරගේ පිළිමවහන්සේ නමකටද නිදන් සොරුන් විසින් බරපතළ හානි සිදුකර තිබුණු බව පොලිසිය සඳහන් කරයි. මේ මහා ව්‍යසනය හේතුකොටගෙන ප‍්‍රදේශවාසීන් දැඩි කම්පාවට හා විමතියට ලක්ව ඇත. ඒ ශ‍්‍රී ලංකා වාසීන්ගේ ඓතිහාසික උරුමයක් වූ පුසුල්පිටිය රජමහා විහාරයට අද වන විට එල්ලවී ඇති තර්ජනය සම්බන්ධව කිසිවෙකුගේ අවධානයක් යොමු නොවීමේ හේතු කාරණාව නිසාය.   
කඳුරට පරවේණි උරුමයක් වූ කොත්මලේ පුසුල්පිටිය රජමහා විහාරය ශ‍්‍රී ලංකා වාසීන්ගේ බෞද්ධ උරුමයක් සේම ජාතික උරුමයක් හා මහා සංස්කෘතික දායාදයක් වේ.   

 පුසුල්පිටිය රජමහා විහාරයේ චෛත්‍යය බිඳ ඇති අයුරු.   

 


නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පිහිටි කොත්මලේට ඉතිහාසය තුළ ගල්වල රට යනුවෙන්ද භාවිත කොට ඇත. ඒ විශාල ගල් කුළුවලින් යටවූ ප‍්‍රදේශයක් නිසාවෙනි. පෙර සඳහන් කළ පරිදි මහින්දාගමනයත් සමඟම දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරීම සහ ඉන් අනතුරුව ක‍්‍රිස්තු වර්ෂ 1225දී කාලිංග මාඝ යුද්ධයේදී පොළොන්නරුවේ සිට දළදා වහන්සේ හා පාත‍්‍රා ධාතුවේ ආරක්‍ෂාව සඳහා වාචිස්වර හිමියන් විසින් දළදා වහන්සේ කඳුකරයට රැගෙනවිත් කොත්මලේ පුසුල්පිටිය රජමහා විහාරයේ සඟවා තැබූ බවට තොරතුරු අනාවරණය වේ. ඒ සමඟම 1814 වර්ෂයේදී රඹුක්වැල්ලේ රතනජෝති හිමියන් විසින් දළදා වහන්සේට රැකවරණය සඳහා යළිත් වතාවක් පුසුල්පිටිය රජමහා විහාරයට වැඩමකර ආරක්‍ෂාව සැපයූ බවට ඉතිහාසයේ තොරතුරු සාක්‍ෂි දරයි.   


මේ අතර පුසුල්පිටිය රජමහා විහාරය අපේ පරවේණි උරුමයක් බවට සාක්‍ෂි ලෙස එකතුවන තවත් ඓතිහාසික තොරතුරකි. එනම්, මලියදේව මහරහතන් වහන්සේ විසින් දඹදිව සිට වැඩම කරන ලද දඹරන් පිළිමවහන්සේලා සතර නමගෙන් එක් පිළිම වහන්සේ නමක් පුසුල්පිටිය රජමහා විහාරයේ තැන්පත් කොට තිබුණු බවය. එම පිළිම වහන්සේට 4 වැනි භුවනෙකබා රජතුමා විසින් ඇත් දළවලින් නිමවූ මකර තොරණක්ද පූජා කළ බව ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වේ. මේ අතර, දුටුගැමුණු කුමාරයා තම පියරජුට ස්ත‍්‍රී පලඳනාවක් යවා කොත්මලේ පුරවරයට පැමිණ සැඟවී සිටි අතර, යළි පිය මහා රජුන්ගේ අභාවයෙන් පසු රාජ්‍යත්වයට පත්වීම සම්බන්ධව තොරතුරු අනාවරණය වූයේ මෙම පුසුල්පිටිය රජමහා විහාරයේ ගල්තලාව මතදී බව විශ්වාස කෙරේ.  

පුසුල්පිටිය විහාර මන්දිරයේ ඉදිරිපස.  

 


ඒත් සමඟම කඩොල් ඇතුගේ දළ යුගළද මෙම විහාරස්ථාන අඹතලාවේ, අගලවත්තේ සත්තම්බි නම් අයෙකු විසින් පරිත්‍යාග කළ බවද ඉතිහාසයේ තොරතුරු සඳහන් කරයි. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ රාජමහා විහාර 18ක් ඇති අතර, එම රාජමහා විහාර අතර විශාලතම වී අටුවට හිමිකම් කියන්නේද පුසුල්පිටිය රාජමහා විහාරයයි. ගල්කණු 12ක් මත දැවයෙන් ගොඩනඟා ඇති මෙහි දිග අඩි 30ක් වන අතර, පළල අඩි 08කි. එය කාමර 03කින් යුක්ත වේ. පුසුල්පිටිය රජමහා විහාරය කොතෙක් ඓතිහාසික වටිනාකමකින් යුතු බෞද්ධ උරුමයක් සේම සංස්කෘතික උරුමයක්ද යන්නට තවත් සාධකයකි කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ විහාරයේ නඩත්තුව සඳහා කුඹුරු අමුණු 65ක් පූජා කළ අතර, එයින් බුසල් 2500 - 3000ක් අතර ප‍්‍රමාණයක් වී ලබා ගෙන තැන්පත් කර ඇත්තේද අප පෙර කී වී අටුවේ බව කරුණු අනාවරණය වේ.   


පුසුල්පිටිය රජමහා විහාරය ජාතික උරුමයක් වන්නේ 1818 උඩරට මහා නිදහස් අරගලයේදී නිදහස් අරගලයට නායකත්වය දුන් කැප්පෙටිපොල විරුවාණන් දින ගණනාවක් පුසුල්පිටිය රජමහා විහාරයේ රැඳෙමින් සේනා සංවිධානය කරමින් 1818 මහා නිදහස් අරගලය මෙහෙයවූ නිසාය.   


මෙවන් වූ වටිනාකමකින් යුතු කොත්මලේ පුසුල්පිටිය රජමහා විහාරය අද දවස වෙනවිට හව්හරණයක් නැති, රැකවරණයක් නැති ඓතිහාසික උරුමයක් බවට පත්ව ඇත්තේ කාගේ වරදින්දැයි ප‍්‍රශ්න කළ යුතුව ඇති ඇත.   

විහාරය සතුවූ ඕලන්ද පහන.

 


පොලිස් පොත්වල සටහන් වී ඇති අයුරින් 1983 වසරේදී මෙම විහාරය සොරුන් විසින් බිඳ ඇති බව වාර්තාවේ. ඒ සමඟම 2009 ජනවාරි 17 වැනි දින මෙම විහාරස්ථානය බිඳ තඹ හා පිත්තල යැයි සිතිය හැකි බුදුපිළිම වහන්සේ නමක් සොරාගෙන ගිය බව නිර්මිනාක පුද්ගලයෙකු විසින් පොලිසියට දැනුම්දීමක් කර ඇත. ඒ සම්බන්ධව කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත. 2009 සැප්තැම්බර් 1 වැනි දින යළිත් වතාවක් මෙම විහාරස්ථානය බිඳ පෞරාණික වටිනාකමකින් යුතු බුදුපිළිම වහන්සේ නමක් සොරාගෙන ගොස් ඇත. එහි සැකකරුවන්ද අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත. 2011 පෙබරවාරි 14 වැනි දින පුසුල්පිටිය රජමහා විහාරයේ කුඩා චෛත්‍යයේ හතරැස් කොටුව බිඳ නිදන් කොල්ල සිදුකර ඇති බවද වාර්තා වේ. 2005.08.16 දින යළිත් වතාවක් නිදන් හොරුන් විසින් විහාරස්ථානය බිඳ පිත්තලවලින් සැකසූ පිළිම වහන්සේ නමක් සොරකම් කොට ඇත. 2006.09.28 වැනි දින දඹරන් පිළිම වහන්සේට ආවරණය ලෙස සකසා තිබූ මකර තොරණද සොරකම් කොට ඇත. එහිදී පොලිසිය විසින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අදද ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

ආසන්නතම සිද්ධිය වන්නේ 2017.08.03 වැනි දින රාත‍්‍රියේ නිදන් සොරුන් කරන ලද මහා විනාශයයි. මේ සඳහා සතර දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පැමිණ ඇති අතර, ඔවුන් විසින් විහාරස්ථානයේ වැඩ සිටි නේවාසික භික්‍ෂුන් වහන්සේ නමත්, සහයකයෙකුත් පුටුවල තබා බැඳ විහාරස්ථානයේ ආරක්‍ෂාවට යොදවා තිබූ සී.සී.ටී.වී. කැමරා සියලු පද්ධති ද ගලවාගෙන විහාරස්ථානයේ ඉතාම ඓතිහාසික වටිනාකමකින් යුතු චේතිඝරයක් සහිතව ඉදිකර තිබුණු සත්රියනක් පමණ උසවූ කුඩා චෛත්‍යයේ ගර්භය බිඳ එහි තිබූ වටිනා නිදන්වස්තුද සොරාගෙන ගොස් ඇති බවට පූඬළුඔය පොලිසියට තොරතුරු වාර්තා වී ඇත. එම ධාතු ගර්භයේ දුටුගැමුණු කුමාරයා භාවිත කළ රන්කෙවිට ද රන් ආභරණ, පෙති පිිළිම සංඛ්‍යාවක්ද තිබුණු බවට ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වේ. 
ඒ සමඟම එම නිදහන් සොරුන් විසින් පිළිම ගෙට ඇතුළු වී පිළිම වහන්සේ නමකටද මහත් හානියක් සිදුකොට ඇති බවටද කරුණු අනාවරණය වේ.  

2016.09.28 වැනි දින නිදන් සොරුන් විසින් පැහැර ගෙන ගිය මකර තොරණ  

 

 


මෙම නිධන් කොල්ලය සම්බන්ධව නුවරඑළිය පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ඉතා ඓතිහාසික වටිනාකමින් යුතු පුසුල්පිටිය රජමහා විහාරය වසර ගණනාවක් සිට නිධන් සොරුන්ගේ තර්ජනයට ලක්වීම ඉතාම කනගාටුවට කරුණක් බවත්, පොලිසිය නිරන්තරයෙන්ම මේ සම්බන්ධව ක‍්‍රියා කරන බවත්, පොලිසියට පමණක් මෙම අපරාධකරුවන්, නිධන් සොරුන්ගේ ක‍්‍රියාවලිය නතර කර ගැනීමට නොහැකි බවත්, බලධාරීන්ගේ සහයෝගයත් ගම්වාසීන්ගේ පොදුවේ බෞද්ධ ජනතාවගේත් සෑම දෙනාගේම සහයෝගය ලැබිය යුතු බවය.  


දසක 03කට ආසන්න කාලයක සිට කඳුරට මහා පරවේණි උරුමයක් වූ පුසුල්පිටිය රජමහා විහාරය අවුරුදු 2000ක පමණ ඓතිහාසික උරුමයකට හිමිකම් කියන අතර, පුසුල්පිටිය රජමහා විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ බොහෝ කාලයක් සංරක්‍ෂණයට භාජනය වූ බවට වාර්තා වේ. මේ ඓතිහාසික ආගමික සංස්කෘතික උරුමය හෙට දවසේදී අපේ උරුමයක් බවට ශේෂ කිරීමට නම් මේ සම්බන්ධව වගකිවයුතු මහා සංඝයා වහන්සේලා මෙන්ම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් යුහුසුළුව ක‍්‍රියාමාර්ග ගත යුතුව ඇත. එසේ නොවුනෝතින් මේ වන විට විවිධ වූ හේතුන් මත අභාවයට යමින් පවතින නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ රජමහා විහාර 18 අතර, පළමු පෙළේ රජමහා විහාරයක් වූ පුසුල්පිටිය රජමහා විහාරය නටබුන් බවට පරිවර්තනය වීම වැළැක්විය නොහැකි තරමට හේතු කාරණා නිර්මාණය වෙමින් පවතී. එයින් ජාතික උරුමයක් බේරා ගැනීම වගකිවයුතු අයගේ යුතුකම ලෙස අවසාන වශයෙන් සටහන් කරන්නෙමු.  


2017.08.03 වැනි දින සිදුකරන ලද මහා නිධන් කොල්ලය සම්බන්ධ නුවරඑළිය පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතාගේ උපදෙස් පරිදි පූඬළුඔය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත සුරවීර මහතාගේ අධීක්‍ෂණ යටතේ පො.ප. එම්.ජී. දසන් වර්ණසිරි, පො.කො. 67764 විජේවර්ධන, පො.කො. 13042 රත්නසූරිය, පො.කො. 55763 පොඩිමහත්තයා, පො.කො. 68079 කුමාරසිංහ යන මහතුන් විසින් පරීක්‍ෂණ සිදුකරනු ලැබේ.

 

 

ඡායාරූප හා සටහන 
නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි