හතර ගාත් බිඳ ඌරන් මැරූ දඩයක්කරුටත් පාදයක් අහිමි වෙයි


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

අකුරැස්සේ පහළ මලිදූව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවකි.


හේතුහාමි මීට දශක කීපයකට ඉහත ඈත දුෂ්කර ගම්මානයක ජීවත්වූවෙකි. කිසි දිනක වැරදීමකින්වත් පාසලකට පය නොතැබූ හේ මළ පොතේ අකුරක් නොදත්තෙකි.


ඒ නිසාම පවක් පිනක් පිළිබඳ කිසිදු අව​බෝධයක් ද නොවීය. නමින් හේතුහාමි වුවත් ගමේ ගොඩේ හැම කෙනෙක්ම පාහේ මොහු හැඳින්වූයේ හේතුවා යන කෙටි නමිනි.


ජීවත් වීමට කිසිදු යහපත් මාර්ගයක් නොදත් හේතුවා තම ජීවනෝපාය මාර්ගය ලෙස තෝරා ගත්තේ සතුන් දඩයම් කිරීමයි. එකල දැන් තරමට සත්ව ඝාතනය පිළිබඳ නීති රිති එතරම් බරපතළ නොවීමත් ගම්මාන අසල කැලෑවල වන සතුන් බහුලව වාසය කිරීමත් නිසා දඩයක්කරුවන්ට තම කටයුතු අපහසුවකින් තොරව කරගෙන යා හැකි විය.
හේතුවාට ද තම කටයුතු සඳහා මෙකී කරුණු වාසියට හේතු විය. දඩමස් අලෙවි කිරීමෙන් ඔහුට හොඳ ආදායමක් ද ලබා ගත හැකි විය.


​ෙහ්තුවා වඩාත්ම කැමති වූයේ වල් ඌරන් දඩයම් කිරීමටය. එයට ප්‍රධානම හේතුව වූයේ එයින් එක වර විශාල මුදලක් උපයා ගැනීමට හැකිවීමයි. ඒ නිසාම මළ පොතේ අකුරක් නොදත්තකු වුවත් හේතුවා ඉතා කෙටි කලකින්ම ගමේ හොඳ පොහොසතෙකු වී සැපවත් දිවියක් ගත කිරීමට හැකි අයෙකු බවට ද පත් විය. මොහු ඌරන් මැරීමට යොදා ගත් උපක්‍රමය වූයේ ඌරන් ගැවසෙන ස්ථානවල තුවක්කු බැඳ තැබීමයි. යකඩ බටයකට වෙඩි බෙහෙත් සහ යකඩ කැබලි ආදිය පුරවා කොට තද කර සාදාගන්නා ලද කොටන තුවක්කු නම් ගිනි බට ඌරන් ඉලක්ක කර අටවා තැබීමයි. ඌරන් වැඩිපුර ගැවසෙන තැන්වල ගස් දෙබලක ඌරගේ ඉදිරි පස හෝ පසුපස ගාත් ඉලක්ක කර තුවක්කුව බැඳ එහි ක්‍රියාකාරිත්වය සඳහා සකසා ඇති කොකා නමින් හැඳින්වෙන කොටසේ සිට මරු වැලක් ඌරා එන මාර්ගයේ ඇද තැබීමයි. රාත්‍රී කාලයේ මේ අසලින් ගමන් ගන්නා ඌරකු මරු වැලේ පැටලීමෙන් කොකා ගැස්සී ඉදිරිපස හෝ පසුපස ගාත්වලට වෙඩි වැදී පාද බිඳී යාමෙන් අඩපණව රැය පුරා දුක් විඳ මියයන්නේ ඉතා ඛේදනීය අයුරිනි. මෙය දිනපතාම පාහේ සිදු වන දෙයකි. තමා බැඳ මැරී සිටින ඌරන් සොයා පසු දා උදෑසනම කැලෑ වදින හේතුවා එම සතුන් මස් කර නගරයට ගෙන ගොස​් විකුණා විශාල ලෙස මුදල් උපයා ගැනීම ඔහුගේ දින චර්යාව විය. සමහර දිනක උදෑසන ඌරන් සොයා යන විට මිය නොගොස් පණ අදිමින් සිටින ඌරන් ද හමුවේ. එවැනි සතුන් මිය යන්නටත් පෙර පණ පිටින්ම මස් කරන්නේ ඉතා අමානුෂික අන්දමිනි. මෙවැනි දිනවල වනය දෙසින් ඇසෙන ඌරන්ගේ මරණීය විලාපය ගම්මානය පුරා ද රැව් දෙන්නේ ගැමියන්ගේ හද කම්පා කරවමිනි. එහෙත් හේතුවාට නම් ඒ වගේවගක් නැත. කිසිදු අණක් ගුණක් නැති ඔහුට මේවායේ ආනිසංස ගැන කියන්න කිසිදු ගැමියකු පවා ඉදිරිපත් නොවන්නේ ඔහු ගැන හොඳින්ම දන්නා නිසාය. එසේම ඔහු කිසිවකුගේ බසට අවනත නොවන්නකු ද විය.


හේතුවාගේ මේ අමානුෂික කෲර ක්‍රියා කලාපය නතර කරන්නට හැකි කිසිදු ජගතෙක් එකල ගම තුළ නොවීය. එහෙත් හේතුහාමිගේ මේ අමානුෂික කෲර ක්‍රියාව නතර කිරීමට සොබා දම් මෑණිය ඉදිරිපත් වූවාක් වැනිය. ඔහුගේ අපල කාලය උදා විය. දිනක් පෙර දිනයේ තමා අැටවූ උගුල් සොයා බැලීමට පසුදා උදෑසන හිරු නැගෙන්නටත් පෙර අඳුරේම පිටත්ම ගියේ තම දඩයම් ගැන මහත් බලාපොරොත්තු තබාගෙනය. තම දිවියේ වැඩි කාලයක් වනය තුළ ගත කළ හේතුවාට වනාන්තරය තම නිවහන මෙන් විය. එහි ඔහු නොදන්නා තැනක් නොවීය. ඒ නිසාම කිසිදු බිය සැකයකින් තොරව දහවල දී මෙන්ම රාත්‍රියේ එකසේ වනය තුළ එහා මෙහා යාමට කිසිදු අපහසුවක් නොවීය.
එහෙත් එදින අවාසනාවකට මෙන් හේතුවාගේ අපල කාලය උදා වී තිබුණි. ඔහු ගමන් කළ මාර්ගයේ තිබූ විෂ කටු පොකුරක් පාදයකට ඇනී ඇතුළටම කිඳා බැස්සේය. එහි විෂ කොතෙක් ද යත් ඒ සමගම ඔහුගේ සිරුරම අප්‍රාණික වෙන්නට විය. දඩයම් සෙවීම පසෙක තබා ආපසු හැරුණ හේතුවා ඉතා අපහසුවෙන් නිවෙස කරා ඇදුණි.
නිවසේ අය එක්ව ඇනී තිබූ කටු ඉවත් කළේ හේතුවා මර හඬ තළමින් ගම දෙවනත් කරද්දීය. රෝහලකට යාමට හේතුවා තුළ තිබූ බලවත් අකමැත්ත නිසාම කටු ඇනී සෑදුණ තුවාලවලට නිවසේ අයම අත් බෙහෙත් සකසා ගොඩ වෙදකම් කරන්නට වූහ.


දින කීපයක් ගත විය. එහෙත් තුවාල සුවවීම කෙසේ වෙතත් ඒවා එන්න එන්නම වැඩිවෙන්නට විය. බැරිම තැන නිවසේ අය එක්ව හේතුවාගේ බලවත් විරෝධය මැදම රෝහල් ගත කළහ. ඒ වෙන විටත් කල් ගත වූවා වැඩිය. කටු ඇනුණ අවස්ථාවේ ඇතුළුවූ විෂබීජයක් නිසා සුව කළ නොහැකි තරමට තුවාලය ඇතුළතින් ඔඩු දුවා තිබිණ. දින ගණනාවක් බෙහෙත් කළත් සුව නොවූ තැන අවසානයේ වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ හේතුවා ගේ පාදය දණහිසින් පහළ කොටස කපා දැමීමටයි. එ අනුව හේතුවා​ෙග් එක් පාදයක දණහිසින් පහළ කොටස ඔහුට අහිමි විය. ඉන් පසුව ඇවිදින්නට සිදුවූයේ කිහිලිකරුවක ආධාරයෙනි.


මෙයින් බලවත් සේ කම්පාවට පත් හේතුවා රෝහලින් පැමිණි පසුව කකුල අහිමිවීමත් තමන් සතුන්ට කළ හිරිහැරත් පිළිබඳ කියවමින් කාලය ගත කරන්නට විය. වැඩි කලක් යන්නට මත්තෙන් හේ මානසික රෝගියකු බවට පත් විය. කෑම බීම පවා ප්‍රතික්ෂේප කරමින් ටික කලක් ගත කර තමා කළ පව්වලට මෙලොව දීම වන්දි ගෙවා මහත් දුක් විඳ තම දිවිය හැර ගියේ කා කාටත් අපූරු පාඩමක් කියා දෙමිනි.

 



අම්බලන්තොට එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවකි.

දියණියගේ දිවිය අඳුරට හෙළුෑ මව්පියෝද අඳුරේ ගිලුනෝය.


​ෙලාව ඇති සියලු රුසිරු එක් කොට තැනු රුවක් සේ ඇය රුවින් දිළුණාය. පාසලේ හා සරසවියේ ඉගෙනුම ලබද්දී ඇයගේ රුවට වශී වූ යෞවනයන් කොතෙක් තැත් කළ ද ඇයගේ සිත ගැනීමට සමත් නොවිණි. සිත් නොරිදෙන ලෙස මුදු බසින් තෙපළා ඔවුන්ගෙන් ඈත් වීමට ඇය සමත් වූවාය. උසස් පෙළ පංතියේ දී කාටත් හොර රහසේ එක් සිසුවෙකුට දුන් බස අනිකෙකු හමුවේ වෙනස් කිරීමට ඇය අකෘතඥ නොවූවාය.


කාලයාගේ ඇවෑමෙන් ඇය රාජ්‍ය සේවයට ද ඔහු ව්‍යාපාරික ලෝකයේ ඉහළ තලයක ද පිවිසුණහ. දෙදෙනාම පෙම් ලොව සිත් සේ සැරීමට ඉඩ ප්‍රස්ථා නොමඳව ලැබුණි. එබැවින් ඔවුන් නොගිය පළාතක්, රැය පහන් නොකළ තානායමක් නොවූ තරම්ය. පෝරුව මත දී හුවමාරු කර ගත යුතු මුදු මාල ඊට පෙර හුවමාරු කර ගත යුතු මුුදු මාල ඊට පෙර හුවමාරු කර ගෙන හමාර කළහ.


මෙම පෙම් පුවතේ තතු යෞවනියගේ මාපියන් නොදැන සිටියා නොවේ. තරුණයා පිළිබඳව ඔවුන් වඩාත් සැලකිලිමත් වූයේ හොර රහසේ දියණිය විවාහවීමට යතැයි සැල වූ පුවත කනවැකුණු කල්හි ය. අනතුරුව මව හා පියා දියණියගේ විවාහයට එරෙහි අවි අමෝරා ගත්හ. සබඳතාව නතර කරන්නැයි දැඩි ලෙස දැන්වූහ. පලක් නොවිණි.


තර්ජනය කළහ. පළක් නොවිණි. එය නතර කර දෙන්නැයි දේවාලවලට ගොස් දෙවියන් ගෙන් අයැද සිටියහ. මුදල් නාස්තිය හැර අපේක්ෂිත ඵල ​නොලැබුණි.


නිවසේ පෙර පැවති සාමය සතුට සිනාව කාටත් ​හොරා පෑලදොරින් පලා ගොසිනි.


දියණිය පසුපස චරපුරුෂ සේවාවක් ක්‍රියාත්මක විණි. පෙර පරිදි හමුවීම සීමා විය. එ​ෙහත් ‘‘යන එන මං අහුරා ආදරයක් වැළැකිය හැකි දෝ’’ යන්න සත්‍යයක් බව ඔවුහු සනාථ කළෝය. පෙම් සබඳතාවට එරෙහිවීමට හේතුව විමසූ දියණියට ඔවුන් දුන් පිළිතුර වූයේ කුලගොත් නොගැළපෙන බවයි. මව්පියන්ගේ තර්කය ඛණ්ඩනය කෙරීමට ඇය කරුණු කීමේ ඵලය වූයේ කන හරහා පියා එල්ල කළ පහරයි.


ඉන් දියණිය මෙල්ලවෙනවා වෙනුවට ප්‍රචණ්ඩ වූවාය. ඇය කිනම් මොහොතක හෝ නිවසින් නික්ම යතැයි බියක් මව්පියන් තුළ විය. ඊට පෙර ගත යුතු පියවරක් ගත යුතු විය. දිනක් හැන්දෑවේ දියණිය සිය කාමරයේ අැඳ මත දිගා වී සිටියාය. මව කාමරයට කඩා වැදු​ෙණ් අපරාධකාරයකු ලුහුබැඳ ගිය ආරක්ෂක නිලධාරියෙකු පරිද්දෙනි. ඇය අතේ බෝතලයක් විය. විමතියෙන් එදෙස බැලූ දියණියට එය වස බෝතලයක් බව හඳුනා ගැනීම අපහසු නොවීය. මව එහි මූඩිය ගලවා මුව දෙසට ළං කළාය.


‘උඹ ඔය සම්බන්දෙ නතර නොකළොත් මම මේක බීල මෙතැනට මැරෙනවා’


ඇයගේ අත තවත් ඉහළට එසවුණි. දියණිය පැන අතින් දුන් පහරින් බෝතලය විසි වී ගොස් එහි වූ දියරය විසිරී ගොස් දුර්ගන්ධය පැතිරිණි. ප්‍රස්තුත කාරණය සම්බන්ධයෙන් ප්‍රථම වරට මව කෙරෙහි සිත සසල විය. මඳ වේලාවක් ඉකි ගැසූ ඇය හඬ අවදි කළාය.


‘අම්මා වස බොන්න ඕනෑ නැහැ. අම්මා කියන දේ කරන්නම්’. අම්මා හා තරුණයා අතර දෝලනය වූ සිත එසේ මව සමීපයේ නතර විය. කල් ගත නොවිණි. සියල්ල සැලසුම් කර තිබූ මව්පියෝ ඔවුන්ට රුචි තරුණයා සහ දියණිය අතර විවාහයේ ලියාපදිංචිය සිදු කළෝය.


මේ පුවත කන වැකුණු තරුණයට සිහි එළවාගත නොහැකි විය. සිද්ධියේ සුල මුල දැන ගැනීමට පවා ක්‍රමයක් නොවිණි. ඔහු කොතරම් වික්ෂිප්ත බවට පත් වීද යත්, සිය දිවි හානි කර ගැනීමට අවස්ථා කීපයක දී කළ උත්සාහයන් වැළකුණේ මිතුරන් නිසාය. දියණිය බෑනාගේ නිවසේ නතර කොට මව්පියෝ සැහැල්ලු සිතින් සිය නිවසට පැමිණියහ. විශ්ව කර්ම වැඩ කිරීමට සමත් පියාට එක් දෙයක් තේරුම් ගැනීමට නොහැකි වීම විස්මයකි. එනම් තමන් තෝරා ගත් බෑනා තමන් ප්‍රතික්ෂේප කළ තරුණයා අයත් කුලයේම අයෙකු බවය.
නව යුවළ තුළ සතුව, සොම්නස, සැනසීම, තෘප්තිමත් බව ආදී උතුම් මානව ගුණාංග පැවතියේ කෙටි කලකි. නොරිස්සුම් බව, නොපිළිගැනීම, ඇනුම් පද රජයන්නට විය. මව් පියන් නැගණියන් ආදීන් ගේ වෙනස්ව සැලකීම ස්වාමියාගෙන් සිදුවන නොසැලකිල්ලට වඩා උග්‍ර ලෙස ඇයට දැනුණි. රැකියාවට යන බව අඟවා කොහි ගොස් කුමක් කරනවා දැයි ඇය දැන නොසිටියාය. කල් ගත වෙන විට ඔහු නිවසට එන්නේ බොහෝ රෑ බෝ වූ පසුවය. එය ද කට ගොන්නක් මත්පැන් පානය කිරීමෙනි. සැමියාගේ නැදිමයිලන්ගේ පමණක් නොව නෑනාවරුන්ගේ කටයුතු ද ඇය වෙත පැවරිණි. කෑම පිසීම ආදී කුදුමහත් කටයුතු ඇයගේ රාජකාරි ලැයිස්තුවට ඇතුළත් විය. නිවසේ ඔවුන් දෙදෙනාට පෞද්ගලික ජීවිතයක් නැති තරම් විය.


​ෙම් ආකාරයට වසරක් දෙකක් ඇය ජීවිතය ඇදගෙන ගියාය. වෙනත් නිවසකට යාමට ද සිය නිවසේ නතරවීමට ද ඇය කළ යෝජනා ඔහු අකාරුණික ලෙස ප්‍රතික්ෂේප කළේය. ඇයගේ ඉවසීමේ සීමාව ඉක්ම යමින් තිබුණි.


දිනක් ඇය සිය නිවසට ගියාය. වැළහින්නියක සේ මව්පියන් ඉදිරියේ හඬා වැටුණු ඇය යක්ෂණියක සේ කිපී ඔවුනට දෙස් දෙවොල් තැබුවාය.


‘අම්මලා මගේ ජීවිතය විනාශ කෙරුවා. මම අපායකට ඇදලා දැම්මා. මීට වඩා හොඳයි මම මරලා දැම්මා නං. දැන් වස බොන්න වෙලා තියෙන්නේ අම්මට නොවෙයි මට. මේ පොඩි එකා නැත්නම් මම දන්නවා කරන දේ’


දෙදෙනාම තුෂ්නිම්භූතව බලා සිටියා මිස කිසිවක් නොපැවසූහ. ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකි බව ඔවුන් තේරුම් ගන්නට ඇත.


තවත් කාලයක් ගත විය. මව්පියන් දෙදෙනා විඳින මානසික පීඩාව, දියණියගේ ජීවිතය විනාශ කළේ තමන් බව හෘදය සාක්ෂිය පැවසීමෙන් වඩාත් උග්‍ර විය. පියාට හදිසියේ හෘදය රෝගය වැලඳුණි. ඉක්මනින් සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරු දැනුම් දුන්හ. වාහනය අඩු මුදලකට විකුණා ලත් මුදල් පුදා සැත්කම කළේය. නිවසට විත් මාස ගණනක් ගත විය. කැපුම් තුවාලය කොතෙක් ප්‍රතිකාර කළත් සුව නොවීය. ඉන් ඔහු විඳි වේදනාව මෙපමණැයි නැත. අවසාන ඔහු අවසන් හුස්ම හෙළුවේ විෂ බීජයක් තුවාලය තුළට ගොස් වූ ආසාදනය හේතුවෙනි.


සැමියාගේ වියෝවීමත් දියණිය විඳින දුක මව බලවත් මානසික වේදනාවකට පත් කළේය. නිතරම කල්පනා කරමින් ආහාර පාන පිළිබඳ සැලකිල්ලට යොමු නොකොට තනියම නිවසේ සිටි ඇය දිනක් රාත්‍රියේ ඇ​ෙඳන් බිමට වැටී නැගිට ගත නොහී පසුදා පහන් වන තෙක් වේදනාවෙන් ගත කළාය. පුතෙක් පැමිණ ඇය ඔසවා වෛද්‍යවරයෙකු හමුවට ගෙන ගියේය. ඇයට පක්ෂපාතනය වැලඳී තිබුණි. රෝහලේ දින කීපයක් ගත කළ ඇය නිවසට කැඳවා ආවාය. රැක බලා ගැනීමට කිසිවෙකු නැත. කුලියට ගත් කාන්තාවගේ පිහිට පමණක් ලැබුණි. වසරකට පමණ පසු මෙතෙක් ඇය විඳි කායික වේදනාවෙන් මිදුණේ පිටේ ඇති වූ තුවාල නිසාය. මියයන තෙක් ඇයගේ උවමනාවන් ඉටු කළේ සම කුල කතක් නොවන බවද කිව යුතුය.


මව්පියන් සිය අධිකාරී බලය මගින් දරුවන්ගේ යහපත් සිතැඟි යටපත් කිරීම උදෙසා ගන්නා තීන්දු තීරණ නිසා දරුවන් දුකට පත් වෙන බවත්, එම දුක පෙරළා තමන්ට ද මෙලොව දීම විඳින්නට සිදුවන බවත් කවුරු කවුරුත් සිතට ගත යුත්තේය.

 


මෙබඳු කතා ඔබත් දන්නේ​ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

 

 

සකස් කළෙ​්
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්