හංගේරියාවෙත් ගුවන් සේවයක් ඇරඹීමට සූදානම් වන රොහාන් නානායක්කාර


අභියෝග ජයගත් මිනිස්සු

 

චාල්ස් නානායක්කාර යනු එවකට ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට ව්‍යාපාරිකයකු වීය. ගාල්ල, හබරාදූවේ පිටිදූව ඔහුගේ උපන් ස්ථානය වූ අතර, තුරුණු වියේදීම චාල්ස් කොළඹට පැමිණියේය. ව්‍යාපාර සමාගමක් ආරම්භ කිරීම ඊට හේතුවුණි. කොළඹ පදිංචියට පැමිණ සිටි චාල්ස් වෙනස් විදියට සිතා කටයුතු කළේය. සිලෝන් කැරියර්ස් නමැති සමාගම බිහි කළේ ඒ අනුවය.

   
‘‘මට මතක විදියට තාත්තා මේ සමාගම පටන් ගත්තෙ කොළඹ බේරේ වැව අසල ස්ථානයක. අද වගේ ඒ පළාත එදා දියුණුව තිබුණේ නැහැ. හරියට ගම වගේමයි. තාත්තා එදා ඒ විධියට පටන් ගත්තෙ සංචාරක ප්‍රවාහන සේවයක්. ඉන්පසුව තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම සංචාරක ව්‍යාපාරය ලෙස සිලෝන් කැරියර්ස් පටන් ගත්තෙ.   
එම සමාගම විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වූවා. ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ සංචාරකයින් හට බුරුමය සහ සියමට යාම වෙනුවෙන් සංචාර සංවිධානය කළේ සිලෝන් කැරියර්ස්ලා. ඒ වගේම බුද්ධගයාවටත් ප්‍රථම වරට සංචාර සංවිධානය කළා. හැබැයි ඒ සංචාර අනෙක්වාට වඩා තරමක් වෙනස්.   


කොළඹින් තලේමන්නාරම දක්වා ඒ දිනවල දුම්රිය ධාවනය කෙරුණා. එහි පෙට්ටි දහයක් විතර තාත්තා වෙන්කර ගත්තා. සංචාරක නඩය ගමන්ගත්තෙ මේ විදියට දුම්රියෙන්. තලේ ගිහින් එතැන් සිට ධනුෂ්කොඩිය දක්වා බෝට්ටු යොදා ගත්තා. එතැන් සිට දිල්ලියට ගියෙත් කෝච්චියෙන්. මේ වන්දනා නඩය වෙනුවෙන් දොස්තරලා දෙදෙනෙකුගේ සේවයත් ලබාදුන්නා. බුරුමයට සංචාරකයින් ගෙනිච්චෙ නැවකින්. අැත්තම කිව්වොත් බුද්ධ වන්දනා සංචාර මුලින්ම පටන් ගත්තෙ සිලෝන් කැරියර්ස් සමාගමයි.’’   


අද එසේ පවසන්නේ චාල්ස් නානායක්කාරගේ වැඩිමහල් පුතු වන රොහාන් නානායක්කාරය. රොහාන්ට වැඩිමහල් සහෝදරියක මෙන්ම බාල සොයුරකු සහ නැගණියන් තිදෙනෙකු සතුය. අක්කා එංගලන්තයේ පදිංචිය. රම්‍යා සහ ලක්මාලි නැගණියන් නීතිඥවරියන්ය. 

 
සුරංගනී නැගනිය ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින්නීය. මලණුවන් වන්නේ උදය නානායක්කාරය. රොහාන්ගේ මවගේ ගම මාතරය. තාත්තා චාල්ස් පිටිදූව ව්‍යාපාරික පවුලකට අයත් වූවෙක් විය. එලෙසින් වතගොත කියැවෙන මේ රොහාන් නානායක්කාර අද අපේ කතාවේ ආරාධිතයා වෙයි.   


පරපුරේ තරම කෙසේ වෙතත්, ඔහු අභියෝග ජයගෙන ගමනක් ගිය චරිතයකි. ආර් (R) සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති වන්නේ ඔහුය. R-group සමාගම සතු ආයතන ගණන හතක් පමණ වේ. ලංකා එයාර්, සීහොස්, රොනන් එයාර්, ලංකා කාගෝ, ක්‍රියේටිව්විෂන්, සන්ලෝවර් වැකේෂන් සහ සිලෝන් කැරියර්ස් යන නාමයන් ඊට අයත්ය.   
රොහාන් නානායක්කාර එහි සමූහ සභාපතිවරයාට අමතරව හංගේරියානු ජනරජයේ ගරු කොන්සල්වරයා ලෙස ද කටයුතු කරයි. එම සේවයෙහි ඔහු අඛණ්ඩව විසිපස් වසරක් නිරතව සිටීම විශේෂත්වයකි. එදා ළමා වියේ මතකයන් සමග රොහාන් නානායක්කාර අදහස් ප්‍රකාශ කළේ මෙලෙසිනි.   


කුඩාම අවධිය ගත කළ විදිහ හරිම සුන්දරයි. අපේ තාත්තාට හිටියෙ එකම එක අයියා කෙනෙක් විතරයි. එතුමාගෙ නම ජෝර්ජ් නානායක්කාර. එයා විවාහ වෙලා හිටියෙ කලාවට බොහොම ළැදි පවුලකින්. ඒ දිනවල ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත වගේ ප්‍රකට සංගීතඥයින් ඒ ගෙදරට ආ ගිය චරිතයි.   


එදා සිංදු එහෙම නිර්මාණය කළෙත් පිටිදූවේ මහගෙදරදීයි. මේ විදියෙ ළමා වියෙන් පසුව මගේ පාසල් ජීවිතය පටන් ගත්තෙ, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන්. අපේ නිවස තිබුණෙ කොළඹ තිඹිරිගස්යායෙ. ඒත් පාසල් නේවාසිකාගාරයේ නතර වෙන්න මට ඕනෑ වුණා. ක්‍රීඩාවට මම හරිම කැමතියි. ඒනිසා තමයි හොස්ටල් එකේ ඉන්න ආසා කළේ. පාසලේ දී ඉගෙනීමට අමතරව රගර්, වෝටර්පෝලෝ, පිහිනුම් ඇතුළු ක්‍රීඩා අංශ කීපයකටම එක්ව සිටියා.   


රගර් ක්‍රීඩකයකු ලෙස ජ්‍යෙෂ්ඨ කණ්ඩායම දක්වා නියෝජනය කළා. රථවාහන සම්බන්ධ සමාජයක් පවා ප්‍රථම වතාවට පාසලේ ස්ථාපිත කිරීමට පුරෝගාමී වුණේ මම. පාසලේ දී මම ඇත්තටම හරිම දඟකාරයෙක්. ඒ වගේම අයුක්තිය - අසාධාරණය මට පෙන්වන්නට බැහැ. ඒවා ඉදිරියේ පෙනී සිටියා. කිසිදාක වැරදි වැඩ කරන්න ගියේ නැහැ. මව්පියන් මා කෙරේ තැබූ විශ්වාසය නිරන්තරයෙන් රැක්කා.   


එලෙසින් පාසල් ජීවිතය ගත කළ රොහාන් ඉනික්බිතිව එංගලන්තයට යැවීමට ඔහුගේ පියා වූ චාල්ස් උත්සුක වූවේය. රථවාහන කාර්මික අංශයේ දැනුම තමාට ලබාදීම පියාගේ අරමුණ වූ බැව් රොහාන් පවසයි.   


එහෙයින් තාත්තා මාව එදා එංගලන්තයට යැව්වේ ඉතා අඩු වයසක සිටියදීයි. ශ්‍රීමත් සිරිල් ද සොයිසා තාත්තාගෙ හොඳ යාළුවෙක්. එතුමා ප්‍රකට ව්‍යාපාරික චරිතයක්. ඇසෝසියේටඩ් මෝටර්වේස් ඇතුළු ආයතන කීපයක හිමිකාරිත්වය දැරුවෙ එතුමා. තාත්තා කුඩා කල සිටම මාව එතුමගෙ ඇසුරට යොමු කරලයි තිබුණෙ.   


ශ්‍රීමත් සිරිල් ද සොයිසා බුද්ධාගමේ සහ ශාසනයේ දියුණුව වෙනුවෙන් බොහෝ දේ කළ දානපතියෙක්. මාත් ඒ ආභාෂය ලබාගත්තා. එදා එංගලන්තයට ගොස් ඉගෙන ගෙන ආ පසු එතුමා මාව එතුමා සතුවූ එංගලන්ත ලේලන්ඩ් සමාගමේ ඉංජිනේරුවරයකු ලෙස සේවයට බඳවා ගත්තා. ඊට පෙර එදා එංගලන්තයට ගිය ගමන සහ එහි ගිහින් ගත කළ විදිය ගැන මම සිහිපත් කරන්නම්.  


එදා එංගලන්තයට යද්දී ඒ කාලෙ තිබුණු ආණ්ඩුව ගුවන් ටිකට්පතට අමතරව මට ලබාදුන්නේ පවුම් 10ක් විතරයි. ගුවන්ගත වුණේ රත්මලාන ගුවන් තොටුපොළින්. මුලින්ම ගියේ බොම්බායට. එතැනින් සූරිච් වෙත. සුරිච්වලින් ලන්ඩනය බලා ගියා. ඉස්සර එක එල්ලේ යන ගුවන් ගමනාන්ත තිබුණෙ නැහැ. ඒනිසා මේ ගිය ගමන මට ගෙන දුන්නෙ හරි දුෂ්කරතාවයක්.  


එංගලන්තයට ගිහින් පළමු මාසය ගත කළේ අපේ නෑදෑයින් සමගයි. ඉගෙනීම් කරන්න අවතීර්ණ වුණාම, වියදමට සල්ලි තිබුණෙ නැති නිසා පාසලේ වැඩ අවසන් වූ පසු රාත්‍රි 12 විතර වෙනකල් සේවය කළා. බේකරියක තමයි වැඩ කළේ. මේ නිසා අවම පඩියකුත් එයාලා ලබාදුන්නා.  
පාන් හදන හැටි වගේම පෙති පාන් විවිධ ක්‍රමයට හදන හැටි ජීවිතයේ ප්‍රථම වතාවට මම දුටුවේ එතැන සේවය කරද්දීයි. ඒ විදියට හැදූ පාන් අයිස් පෙට්ටියෙ (ශීතකරණයේ) නොදමා සතියක් විතර තියාගන්න පුළුවන්. මට මේ දේවල් හරිම විශ්මයජනක දේ වුණා. මැජික් එකක් වගේ කිව්වොත් හරි. මේ පාන් පෙත්තක් ඔතලා මම අම්මාට තැපෑලෙන් මෙහෙට එව්වා.  


යුරෝපයේ බොහෝ දේ එදා එලෙසින් මැජික් විදියට දකිමින් ඉගෙනීම් කරන අතරේ දීර්ඝ නිවාඩු ලැබුණ ද, ලංකාවට නෑවිත් කටයුතු කරන ලෙස තාත්තා රොහාන් හට කියා තිබිණි. එනිසා එදා එංගලන්තයට ගොස් සිටි රොහාන් හට වසර හතක් යන තෙක් ශ්‍රී ලංකාවට ඒමට නොහැකි වූ බැව් සඳහන් කරයි. ගෙවී ගිය එකී කාලයේ දී යුරෝපයේ සිට ජීවිතය ගෙවා දැමුවේ කෙසේද යැයි අපි රොහාන්ගෙන් විමසීමු.  
ගෙදර ඇවිල්ලා පවුලේ අය දකින්න සහ එයාලා එක්ක ඉන්න මට තිබුණෙ ලොකු ආසාවක්. ඒත් තාත්තා කියා තිබූ අණට කීකරුව කටයුතු කළා. දීර්ඝ නිවාඩුවක් ලැබුණු පසු මා කළේ මුළු යුරෝපය පුරා ඇවිදීමයි. දුම්රියේ, ෆෙරි නෞකාවේ, බස්වල ඒ විදියට සංචාරය කරමින් රටින් රට යමින් ලැබූ අත්දැකීම් බොහෝමයි. පසු කලෙක ඒ අත්දැකීම් තමයි ජීවිතයට මහා හයියක් ගෙන දුන්නෙ.  


ඒ සංචාරවල දී ඔබට අමතකම නොවන අත්දැකීම මොකක්ද? රොහාන්ට අතරමැදි පැනයක් අපි යොමු කළෙමු.  
එක්තරා අවස්ථාවක නාවුක භාණ්ඩ ප්‍රවාහනය ගැන ඉගෙන ගන්න මම ජර්මනියට ගොස් සිටියා. නිවාඩුවක දී බල්ගේරියාවට යාමට ආසා කළා. බල්ගේරියාවේ එවකට පැවැතියේ කොමියුනිස්ට් ක්‍රමයයි. එනිසා නවීන ලෝකයට එතරම් විවරව තිබුණෙ නැහැ.   


එක්තරා රාත්‍රියක සොෆියා නුවර මම ඇවිදිමින් සිටියෙ. වෙලාව රාත්‍රී 8ට විතර ඇති. දහදෙනෙක් විතර මා වටකර ගත්තා. ඔවුන් මාන බැලුවෙ මගේ ඔරලෝසුව සහ මාලය කඩා ගැනීමට සහ මුදල් පැහැර ගැනීමටයි. ඔවුන් මාව වටකර පාරවල් දහයක් විතර ගහද්දී මාත් ගහන්න පටන් ගත්තා. රගර් ක්‍රීඩකයකු වෙච්ච හන්දා මම තරමක් පෘෂ්ඨිමත් කෙනෙක්. ගුටි බැට හුවමාරුව වන අතරේ මම ටිකෙන් ටික නවාතැන් ගෙන සිටි හෝටලය දෙසට දුවමින් සිටියෙ. පසුව ඔවුන් මාව අතෑරලා යන්න ගියා. හෝටලයට එන විට ලෙයින් මගේ මුළු සිරුරම නෑවිලා. කළමනාකරු වහාම මාව රෝහලකට රැගෙන ගියා.   


හැබැයි රෝහල් පහසුකම් හරි අඩුයි. මගේ ඔළුවේ තුවාලයට ඔවුන් මැහුම් දැම්මෙ කොහු නූල් වැනි ඝන ද්‍රව්‍යයකින්. ඒකත් හරි පුදුමයක්. ඒ හැරත් අමුඅමුවේ මැහුම් වෙළද්දී දැනුණ වේදනාව මෙතෙකැයි කියා කිව නොහැකියි. පසුව මම ස්වීඩනයට ගිහින් රෝහලකට ගියා. එයාලා අර කොහු නූල් ගලවලා දාලා අලුතින්ම මැහුම් දමා බෙහෙත් කළා. එදා බල්ගේරියාවේ දී මුහුණදුන් ඒ සිද්ධිය මට කවදාවත් අමතක කළ නොහැකියි.  


රසමුසු සහ බිහිසුණු අත්දැකීම් හමුවේ ජීවිතය ගෙවා දැමූ රොහාන් එංගලන්තයේ අධ්‍යාපනයෙන් පසුව ඕලන්දයේ උක්ගස් කර්මාන්තශාලාවකට ගොස් වෙල්ඩින් වැඩ උගත්තේය. ඉන්පසු නැවත ස්වකීය මව්බිම වෙත පැමිණ තාත්තාගේ සිලෝන් කැරියර්ස් සමාගමේ රස්සාවක් කිරීමට පටන් ගත්තේය.  

 


මම ලොකු පුතා කියලා තාත්තා මට විශේෂ වරප්‍රසාද දුන්නෙ නැහැ. කෑම බීම වගේම මෝටර් රථයක් සහ රුපියල් 350ක මාසික වැටුපක් දුන්නා. ඉංජිනේරුවකු ලෙස ඒ විදියට බඳවා ගත්තත්, මුලින්ම මාව දැම්මෙ ගරාජ් අංගනයේ බාස් කෙනෙක් ළඟට.  


ලොකු බඩක් තිබුණු ​ෙලකු බාස්ගෙ නම රේමන්ඩ්. එයා යටතේ වැඩ කළා. මේ විදියට වැඩ කරමින්, විවිධ අවස්ථාවලට සහභාගි වෙමින් සහ උත්සවවලටත් ආ ගිය සෑම තැනකදීම හැමෝම මාව පිළිගත්තෙ රොහාන් නානායක්කාර කියන මගේ නමින් නොවෙයි. මේ අර චාල්ස්ගෙ පුතා කියලයි. ඒනිසා ඒක මට වදයක් වුණා. මට ඕනෑ වුණේ මගේම අනන්‍යතාව ඇතිකරගෙන ගමනක් යාමටයි. ඒනිසා ඒ අරමුණ ඇතිව මම කැනඩාව බලා පිටත් වුණා.  


තාත්තාගේ ව්‍යාපාරය සහ දේපළ සම්පත් මෙහි තිබුණද, එදා රොහාන් හට අවැසි වූවේ තමාගේම ස්වාධීන ගමනක් යාමටය. ඔහු එදා කැනඩාව බලා ගිය ගමන ඔහුට ගෙන ආවේ වසන්තයකි.  


දිවංගත අනුර බණ්ඩාරනායක මැතිතුමා මගේ මිතුරෙක්. එතුමා නිසා වතාවක් මෙහි පැමිණි එවකට කැනඩා අගමැති වූ ටෲඩෝ මහතා මා හඳුනාගෙන සිටියෙ. ඒ හඳුනා ගැනීම කැනඩාවට ගිය කල මට බොහෝ උපකාරී වූවා. කැනඩාවට ගිය මා සංචාරක ආයතනයක් ආරම්භ කළා. වාසනාවකට එදා ඔලිම්පික් උළෙල 1976 දී පැවැත්වුණේ මොන්ට්‍රියල් නුවර. මා එතෙක් ලැබූ පළපුරුද්ද සහ අත්දැකීම් උපයෝගී කරගෙන ඔලිම්පික් උළෙලට පැමිණෙන සංචාරකයින් හට ගුවන් ටිකට්පත් අලෙවි කිරීම සහ හෝටල සම්බන්ධීකරණය යන කටයුතු මගේ ආයතනය මගින් සිදුකළා.  


ඒ කටයුතු ඉතා සාර්ථක වුණා. ඒනිසා අලාකාර්ට් ටුවර්ස් නමැති ආයතනයක් මිලදී ගන්න පුළුවන් වුණා. මේ විදියට ගොඩනැගූ එම සංචාරක ව්‍යාපාරය සේවක සේවිකාවන් හතළිහකගෙන් පමණ සමන්විතව තිබුණා.  


කැනඩාවේ එලෙසින් ස්ථාවර වෙමින් සිටි ඔබ හංගේරියාව සමග සබඳතා ඇතිකර ගත්තෙ කොහොමද? හංගේරියානු ජනරජයේ ගරු කොන්සල්වරයා වීම දක්වා ආ ගමන ගැන ඊළඟට අපි රොහාන්ගෙන් විමසීමු.  


ව්‍යාපාර කරද්දී මගේ පියා හට සමාජවාදී රටවල් එක්ක ගනුදෙනු කිරීමේ සුබ ආකල්ප තිබුණෙ. බොහෝ යුරෝපීය රටවල් සමග තාත්තා සංචාරක ව්‍යාපාරයේ කටයුතු කර තිබුණා. එකල හංගේරියාව පැවැතියේ සමාජවාදී රටක් හැටියටයි. මා හට හංගේරියාවට යාමේ අවකාශය උදාවුණා. ඒ රට කෙරෙහි තදින්ම මගේ හිත බැඳීමට තවත් හේතුවක් වුණේ, සමහර දේ අපේ රටේ වගේ වීම නිසයි.  


තාත්තාට අප්පා කියලා කිව්වෙ, පාසලට ඉස්කොලෙ කිව්වා. කෑම පිසින විට අපේ තරමට නැතත් ලුනු මිරිස් භාවිත කරනවා. මම හිතන විදියට මිරිස් කන එකම බටහිර ජාතිය වෙන්නත් පුළුවනි. ඒ වගේම ඔවුනගේ ඉතිහාසය සොයා යද්දී ඔවුන් අපටද සම්භවයක් ඇති ආර්යයන්ගෙන් පැවැත එන බවත් සඳහන් වෙනවා.  
කෙසේ වෙතත් සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටිය දී එරට මැති ඇමතිවරු මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවේ බොහෝ චරිත හඳුනා ගත්තා. එවැනි වටපිටාවක දී තමයි හංගේරියානු රාජ්‍යයේ කොන්සල්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කටයුතු කරන ලෙස මට ආරාධනාවක් ලැබුණෙ. මා එය ඉතා ගෞරවයෙන් බාරගත්තා. එලෙසින් කටයුතු කරමින් සිටින අතරතුරේ දී එරට මා හඳුනාගත් මැති ඇමැතිවරු සහ ව්‍යාපාරික ප්‍රජාවේ විවිධ චරිත වෙතින් සංචාරක ගුවන් සේවයක් පටන් ගන්නා ලෙස ඇරයුම් ලැබුණා.  
තව මාස කීපයක් යාමට පෙර රොනන් එයාර් නමින් එම ගුවන් සේවය ආරම්භ වෙනවා. එය 100% ක් මා සතු ව්‍යාපාරයක්. යුරෝපීය යූනියන් (යුරෝපා සංගමය) එකේ නීතිරීතිවලට අනුව තමයි එය පවත්වාගෙන යන්නෙ. හංගේරියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහාත් බොහෝ දේ කිරීම මගේ අරමුණයි.  
රොහාන් නානායක්කාර නමැති ධෛර්යවන්ත මිනිසා ව්‍යාපාර ලෝකයේ වෙනස් චරිතයක් වී කටයුතු කරන්නේ එලෙසින්වූ අදහස් ඇති නිසාය. තම පියාගේ ව්‍යාපාර සහ තමාගේ ව්‍යාපාරයන්හි එකතුව ඇතිව ඔහු සමූහ ව්‍යාපාරයක් බිහි කළේ R (ආර්) අකුර යොදාගෙනය. බොහෝ කලක් විදෙස්ගතව ජීවත්වීම මෙන්ම ලැබූ අත්දැකීම් නිසා නිරන්තරයෙන් තමාට අවැසි වූවේ ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාර වැනි දේ මිසක රටේ එක් තැනකට සීමාවූ දෙයක් නොවන වග ඔහු සපථ කරයි.  


ලෝකයට අලුත් වැඩ අමුතු වැඩ කරන්න මම ආසයි. එවකට ජේ.ආර්. ජයවර්ධන ජනපතිගෙ සමයේ දී ප්‍රථම තරු පහේ පාවෙන හෝටලය තනන්න මා කටයුතු කළා. ඒත් අවාසනාවකට එවකට ත්‍රස්තවාදී යුද්ධය පටන් ගත් නිසා මා හට එය කරන්න ලැබුණෙ සිංගප්පූරුවේදීයි.  


එනයින් අදහස් ප්‍රකාශ කරන රොහාන් නානායක්කාර සංචාරක කර්මාන්තයේ හෙට දවස ගැන සුබවාදීව සිතා කටයුතු කරන අතර ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන අර්බුදය ඉතා ඉක්මනින් අවසන් වී රට නගා සිටුවීම බලධාරීන්ගේ විශාල වගකීමක් යැයි කියයි.  
එවැනි ප්‍රතිපත්ති ඇතිව කටයුතු කරන රොහාන් නානායක්කාර යනු සමාජ සත්කාරයේ යෙදුණු චරිතයක් යැයි ද කිව හැකිය.  
මගේ ප්‍රතිපත්තිය වන්නේ ලැබෙන උපයන ධනයෙන් කොටසක් නැති බැරි අයට වියදම් කළ යුතුය කියලයි. මගේ සේවකයින් කිහිපදෙනෙකුට මෙන්ම තවත් නැති බැරි කීප දෙනෙකුට මේ වන විට නිවාස 74ක් පමණ සාදා පරිත්‍යාග කර තිබෙනවා.  


රොහාන් නානායක්කාර එවැනි දේ කිරීම නිසා ජීවිතයේ තෘප්තිමත් වන බව කියයි. ඔහු දූ දරුවන් පස් දෙනෙකුගේ පියෙකි. මේතාක් ලද අත්දැකීම් සමග ඔබ රටේ තරුණ පරපුරට ලබාදෙන පණිවුඩය කුමක්ද? අත්දැකීම් සම්භාරයක් ඇති රොහාන් නානායක්කාරගෙන් අපි විමසුවෙමු.  
අපේ අධ්‍යාපන ක්‍රමය එක්ක ළමයි සෑහෙන කාලයක් කටයුතු කරන්නේ පොත පතට පමණක් සීමාවෙලා. එය එතරම් හොඳ දෙයක් නෙවෙයි. අනාගත අත්දැකීම් ඔවුනට පාසල් සමයේදීම ලබාදීම වැදගත්. පාසලේ ඉහළ පංතිවල සිටියදීම දියුණු රටවල ළමයින්ට රැකියා කිරීමේ අවසර ලබාදී තිබෙනවා. 16න් ඉහළ ළමුන් ඒනිසා අනාගතයේ අත්දැකීම් ලබාගන්නවා. නමුත් ලංකාවේ එවැනි ස්වභාවයක් නැහැ.  


පාසල් ගමනින් පසුව රස්සාවකට යන්නෙත් නැතිව අම්මාට සහ තාත්තාට බරවූ අය අපට දැකගන්න පුළුවනි. එනිසා තරුණ පරපුරට මා කියන්නෙ උනන්දු වී ක්‍රියාශීලී වන්න, විදේශිකයින්ට කළ හැකියි - අපට බැහැ කියන මතයේ සිටින්න එපා. විදේශිකයින්ටත් වඩා උසස් විදියට අපට යමක් කරන්න පුළුවනි.  


එනිසා පුළුවන් තරම් උනන්දු වී ඉංග්‍රීසි භාෂාවත් ප්‍රගුණ කරන්න. ඔබ සතු දක්ෂතා වෙතින් ජාත්‍යන්තරය ජයගන්න ඉංග්‍රීසි භාෂාව හොඳ අවියක්. හංගේරියානු සරසවිය සඳහා මෙරට ශිෂ්‍යයින් හට යෑමට අවකාශය ලබාදීමටත් මා ගිවිසගෙන තිබෙනවා. නුදුරේ දී ඒ සබඳතා වෙතින් සමාජයට සේවයක් ඉටු කිරීම මගේ පරමාර්ථයයි.

 

 

 

සටහන  
සඳුන් ගමගේ