සෞදියේදී පිස්සකුගෙන් වෙඩි කා මියගිය ප්‍රියංකා


රන් මසුරං සොයන්නට රත් වූ වැලි කතරේ ගෘහ සේවයට ගියත් ඒ රටේ දී මන්ද මානසික අමනයකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක්වූ තිදරු අම්මාගේ කඳුළු කතාන්දරයයි මේ. 


තම සොඳුරු කැදැල්ල සකස් කර ගන්නට ගාල්ල වඳුරඹ, අබේසුන්දර වත්තල කටඹුරාව වත්තේ පදිංචිව සිටි උපුල් හා ප්‍රියංකා සැලසුම් සකස් කළේ මෙයට වසර දහයකට පෙරයි. ඒ තමන්ටම කියා නිවසක් සකස් කර ගන්නා වූ අහිංසක බලාපොරොත්තුව මල් පල ගන්වන්නටයි. 


දැනට වසර 22 කට පෙර විවාහ වී වසර නවයකට පෙර රන් මසුරං සොයන්නට සෞදි ගිය ප්‍රියංකාට සිදුවන්නේ එරට පොලිසිය පවසන පරිදි මන්ද මානසික රෝගයකින් පෙළෙන තරුණයෙක් අතින් වෙඩිකා මියයන්නටය. 


මෙම කතාව ඇත්තක්ද නැතිද යන්න අපි නොදනිමු. මේ අහිංසක පවුලේ විනාශය කැඳ වූ මේ නරුමයාට ඇත්තටම මානසික රෝගයක් ඇති ද යන්න ඒ රට ආරක්ෂක අංශ වාර්තා කළ ද අපට එය පිළිගත හැකිද? 


කෙසේ වෙතත් අහිංසක දියණියන් තිදෙනෙකුට ආදර අම්මා අහිමි විණ. සෙනෙහෙබර හිමියකුට සිය බිරිඳ අහිමි විණ. ඝාතනයට ලක් වූ ප්‍රියංකාගේ එක් දියණියක් විවාහ වී ඇයට ද එක් දියණියක් සිටින්නීය. ඒ මේ අකල් මරණයට පත් වූ ප්‍රියංකාගේ ලොකු දුවයි. අනෙක් දියණියන් දෙදෙනා තවමත් පාසල් වියේ පසු වෙති. වැඩිමහල් දියණිය චමිලා ආසිරියි. ඇයට වයස අවුරුදු 21 පමණ වන අතර ඇය විවාහ වී සිටින්නීය. ඇයට ද කුඩා දරුවෙක් සිටින්නීය. 


අමිතා කේෂාණි දියණිය වයස අවුරුදු 12කි. ඇය ඌරල විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවියකි. ඇගේ බාල සහෝදරිය ද එම විද්‍යාලයේම ඉගෙනුම ලබන්නීය. ඇය නෙත්මි පමෝධ්‍යා නම් වූවාය. ඇය අට වන වියේ පසුවන අතර, ඌරගහ විද්‍යාලයේ 3 වන ශ්‍රේණියේ ‍ඉගෙනුම ලබමින් සිටින්නීය. 


මරා දැමුණු 38 හැවිරිදි ප්‍රියංකා ජයසේකර මහත්මි‍යගේ ස්වාමිපුරුෂයා වන ලේල්වල ගුරුගේ උපුල් 48 මෙසේ පැවසීය. 


මගේ බිරිඳ මරා දැමූ ඒ පාපතරයාට නිසි දඬුවම් ලබාදිය යුතුයි. අපේ පවුලට වූ මේ ව්‍යසනයට අපට ඒ රටෙන් යම් වන්දියක් ලබාදිය යුතුයි. මේ රටේ විදෙස් රැකියා කාර්යාංශය හා මැති ඇමැතිවරුන් හා අදාළ නිලධාරීන් මේ සම්බන්ධයෙන් වහාම මැදිහත්ව විසඳුමක් සාධාරණයක් සලසාදිය යුතුයි කියලා මම ඉල්ලනවා. 


මම කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. අපට කියා හොඳ කල දවසක් ගෙනියන්න තමයි මගේ බිරිඳ පිටරට ගියේ. අපි දැන් අසරණයි. අපිට දැන් කිසිදු පිහිටක් නෑ. මමයි මගේ දරුවෝ තුන්දෙනයි තනිකරලා එයා ගියා. මළ සිරුරවත් තවම නෑ. මාස ගණනාවක් යාවි කියලා තමයි බලධාරීන් කියන්නේ. මරණය ලංකාවට ගෙන එන්නට පිහිටවන්න. 


පසුගිය 12 වැනි දා මට කෝල් එකක් ආවා. රට නම්බරයක් නිසා මම නෝනා කියලා කතා කරා. නෑ මේ නෝනා නෙවෙයි කතා කරන්නේ. විදේශ සේවා එකට දාපු පැමිණිල්ල අයින් කර ගන්න කිව්වා. මම ඇහුවා මොකද කියලා. ඊට පස්සේ කිව්වා අායිත් එ්ක අයින් කරන්න කියලා. මම කිව්වා මැඩම් එ්ක අයින් කරලා ඇති කියලා. ඊට පස්සේ තිබ්බා එච්චරයි වුණේ. පස්සේ හවස තමයි ආරංචි වුණේ මෙහෙම දෙයක් වෙලා කියලා. එයා රට ගියේ අපේ පවුල ජීවත් කරන්න. මේ සැරේ ගිය වෙලේ ඉඳලම ප්‍රශ්න. දැනට මාස 03කින් විතර පඩි එව්වෙත් නෑ. 


සත්තකින්ම, රන් කහවනු ගෙන ඒම සඳහා විදේශ ගත වන අපේ රටේ සහෝදර සහෝදරියන්ට සිදු වන ගැහැට ගැන කොතෙකුත් කතා ඇත. ඒවා එසේ වුවද පවතින ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා බොහෝ දෙනෙක් මෙම මාර්ගය තෝරා ගනිති. 


කෙසේ නමුත්, මේ වන විට මෙම ශ්‍රමිකයන් විදේශ ගත කිරීම විදේශ නියුක්ති කාර්යාංශය හරහා තරමක් ක්‍රමවත් වී ඇත. කෙසේ නමුත් විදේශ ගත වන ශ්‍රමිකයන් දස දහස් ගණනක් අතර දුක්ඛදායි කතාන්දර නැත්තේ නොවේ. 


එහි ආසන්නතම සිද්ධිය පසුගිය සෙනසුරාදා සිදු වී තිබිණි. සෞදියේ සේවය කරමින් සිටිය දී සිය හාම්පුතාගේ පුතාගේ වෙඩි පහරකින් ගාල්ල වදුරඹ කටුඹුරාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ප්‍රියංකා ජයසේකර නම් තිදරු මව ඝාතනය වී ඇත. අදාළ සේවිකාව සෞදි ආරබියේ බුරේද්හ් හීදී ඝාතනය වී ඇති බව සෞදි තානාපති කාර්යාලය සඳහන් කොට ඇත. දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම ඝාතනය සිදුකළ බව කියන 31 හැවිරිදි ඔහුගේ හාම්පුතාගේ පුතා මානසික රෝගයකින් පෙලෙන බවත් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා ගිනි අවියකින් මෙසේ ඇයට වෙඩි තබා ඇති බවත් පසුව ඔහු ද වෙඩි තබාගෙන ඇති බවත් සඳහන් වෙයි. මෙම ගෘහ සේවිකාවගේ මරණ පරීක්ෂණය සඳහා සෞදියේ අල්රාස් රෝහලට ගෙන ගිය බව ද විදේශ මාධ්‍ය සඳහන් කරයි. 


කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ගාල්ල වදුරඹ කටුඹුරාව ප්‍රදේශයේ පදිංචි ප්‍රියංකා ජයසේකර මහත්මියගේ ඥාතීන් පවසන පරිදි පසුගිය 2017 වර්ෂයේ ඇය විදේශ ගත වී ඇත්තේ දෙවන වතාවටය. ප්‍රියංකාට දරුවන් තිදෙනකු සිටින අතර එක් දරුවකු හදවත් රෝගයකින් පීඩා විඳින නිසා එම වෛද්‍ය වියදම් දරා ගැනීමට අපහසු නිසාත් මෙසේ විදේශ ගත වූ බව ප්‍රියංකාගේ ඥාති සොහොයුරියක වන නදීකා ලක්මාලි (27) මහත්මිය පැවසුවාය. 


ඇය තවදුරටත් පවසන්නේ, මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ඉක්මනින්ම සිදු කළ යුතු බවත් මෙවන් මානසික රෝගියකු අදාළ නිවසේ සිටි බව මීට කලින් සිය සොහොයුරිය සඳහන් කර නොමැති බවයි. ඇය වැඩිදුරටත් සඳහන් කළේ මෙම දරුවන්ගේ නිවස පවා මේ වන තෙක් සාදා ගැනීමට නොහැකි වී ඇති බවයි. 


හතර වටේටම ණය තිබුණා. ඒ නිසාම තමයි මේ මගේ නැන්දා රට ගියේ. රට ගියාට පස්සේ මාස කිහිපයකින් තොරතුරක් තිබුණේ නෑ. ඊට පස්සේ අපි විදේශ සේවා එකේ පැමිණිල්ලක් දැම්මා. හැමදාම ඒජන්සියට ගියා. ඒ ගියහම කියනවා හෙට කතාකරවන්නම් කියලා. හැමදාම කිව්වේ ඔය කතාව තමයි. විදේශ සේවා එකේ පැමිණිල්ලෙන් පසුව මාස තුනක් විතර අපිට සල්ලි එව්වා. කතා කළා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ පසුගිය 10 දින. 12 දින අපිට විදේශ අංකයකින් කතා කරලා කියනවා විදේශ සේවා එකට දාපු පැමිණිල්ල අයින් කරන්නලු. එයාලා ඇයි එහෙම කියන්නේ? අපි දන්නේ නෑ මැරිලා ද නැද්ද කියලා. කවුද මේ දරුවන්ට අම්මා දෙන්නේ? අපිට අතන මෙතන ගිහිල්ලා හොයන්න බෑ. මේ ගෙදරත් ලෙඩෙක් ඉන්නවා. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මෙහෙම වෙන්න පුළුවන්ද? 


කෙසේ නමුත් රන් කහවනු සොයා එතෙර ගිය ප්‍රියංකාගේ ජීවිතය ද හාම්පුතෙකුගේ උණ්ඩයකින් අවසන් වී ඇත. මේ වන විටත් දේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ සිදුවෙමින් පවතියි. කෙසේ නමුත් දැන් ප්‍රියංකාගේ ජීවිතය නැති වී ඇත. ජීවත්ව සිටින ප්‍රියංකාගේ දරුවන් වෙනුවෙන් මෙකී වගකිව යුතු ආයතන සහනයක් නම් සැලසිය යුතුමය. 

 

 

 

 


සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත