සොරුන්ට බිලිවූ සෙනගාලය


වළ පල්ලට ගිය රටවල්

 

 

 

ඉහළම ස්ථානවල වැජඹෙන අය වැඩක් නොකර පම්පෝරි ගසමින්, හොරකම් කරමින්, නීතියට කොකා පෙන්වමින් වාඩි වී සිටින රටක් මකර කටට ඇද වැටීම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. එවැනි රටවල සිදුවන්නේ පොදු ජනතාව දේශපාලකයන්ගේ ඉඳුල් කෑමයි.


දේශපාලනය කියන්නේ කාඩ් සෙල්ලමක් නොවන බව කිව්වේ සිංගප්පූරුව ඔසවා තැබූ ලී ක්වාන් යූ නමැති ශ්‍රේ‍ෂ්ඨ පුද්ගලයාය. හීනමානය නමැති රෝගය වැළඳුණු දේශපාළුවන්ට රටක බලය ලැබුණ විට සිදුවන්නේ වින්නැහියකි. මීට දින කීපයකට පෙර අගමැති තනතුරේ දිවුරුම් දුන් ඉම්රාන් ඛාන් පාකිස්තානයේ සියලු දූෂිතයන් නීතිය හමුවට ගෙන එන බව කිව්වේය. පාකිස්තානයේ මෙය සිදුවන අයුරු පිළිබඳ දැන් ලෝකයම විමසිල්ලෙන් සිටී.


චටස් හඬට බය මදුරුවෝ


අදත් වළ පල්ලට ගිය රටවල් පිළිබඳව ලියන ලිපි පෙළට මෙවන් උදාහරණ කීපයක් මා ඇතුළත් කළේ විවිධ දේශයන්හි දේශපාලන බංකොළොත් ස්වභාවය පිළිබිඹු කිරීමටය. මිනිසුන්ගේ ලේ බොන මදුරුවන් ‘චටස්’ කියන සද්දෙට බයයි. රටකට වින කරන දේශපාලකයන් මොන සද්දෙකටවත් බය නැත. ඊට හේතුව ඔවුන්ට හැම පැත්තකින්ම රැකවරණය ලැබෙන නිසාය. විනාශ මුඛයට පත් වන්නේ එවැනි දේශපාලකයන් සිටින රටවල් ය.


දහඅට වන්නම


අද හඳුන්වන්නේ ජනතා ශෝකාලාපය රැව් පිළිරැව් දෙන තවත් කළුවර ජන රජයකි. දේශපාලන පක්ෂ 80ක් බලය ලබාගැනීමට අවි අමෝරා ගෙන සිටින රටකි. බටහිර අප්‍රිකාවේ සෙනගාලය (SENEGAL) නමැති මේ රට පරිපීඩිත ජන සමූහයකගේ අම්බලමකි. මෙහි ඩකාර් (DAKAR) අගනුවරින් ඈත දිළිඳු ගමක අසරණ ගැමියෙකු පැවසුවේ ‘‘එළුවො දෙන්න නැත්නම් අපි කපෝතියි’’ කියලාය. සෙනගාල් රටේ ඇතුළු පැත්ත ඔහුගේ වචන කීපය තුළ අන්තර්ගත වී ඇතැයි මට සිතේ. සෙනගාලය ද දහඅට වන්නම නටන දේශපාළුවන් විසින් නැති භංගස්ථාන කළ දේශයකි.


මුරිටානා, මාලි, ගිනියා, ගිනිබිසව් යන රටවලට මැදිව අත්ලාන්තික් සාගරයට මුහුණලා පිහිටි සෙනගාලයේ අද ජනගහණය එක්කෝටි පනස් පන් ලක්ෂයකට (1,54,11,614) මඳක් වැඩිය. සුන්දර ගිනියා ගඟ කඳු හෙල් වන ලැහැබ් ගිරිදුර්ග අතරින් ගලා බසින්නේ මෙහි ජනතාව විඳින දුක නොදන්නා පරිදිය. වර්ග කි.මී. 1,96,712ක් හෙවත් ව.සැ. 79,951ක් විශාල සෙනගාලය ලොව දිළිඳුම රටවල් 50ක ලැයිස්තුවට ඇතුළත් වූයේ කෙසේද?

 

 

 


ජනපති වූ රටකජු මුදලාලි


මෙහි මුළු ජනගහණයෙන් සියයට 46.7ක් දිළින්දෝය. ඔවුන්ගෙන් බහුතරයකගේ දෛනික ආදායම ඩොලර් 1.25කටත් අඩුය. විවිධ භාෂා 5ක් කතා කරන ජනවාර්ගිකයන් අතර සමඟියක් නැත. බලය ලබාගැනීමට දේශපාලකයන් විසින් ඔවුන් අතර අසමගිය තරකර තිබේ. මෙය රටට ශාපයකි.


1960 අප්‍රේල් 4දා සෙනගාලය ප්‍රංශයෙන් නිදහස ලබාගත්තේය. නිදහස ලබාගෙන වසර 58ක් ගතවී ඇතත් අතීතයේ ප්‍රංශ කොලනිය තවමත් එතැනමය. කලකට පෙර රටකජු ගොවියෙකු ඇමෙරිකාවේ ජනපති පදවියට පත්විය. ඒ ජිමී කාටර් ය. සෙනගාලයේ දැන් ජනපති පදවියට පත් වී ඇත්තේ රට කජු ගොවියෙකු නොවේ. රටකජු මුදලාලි කෙනෙකි. ඔහු රටකජු වෙළෙඳාමෙන් කෝටිපතියෙකු වූ මැකී සාල් (MACKY SALL)ය. සෙනගාලයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇත්තේ රටකජු වගාවයි.


අවනීතියට යට වූ සෙනගාලය


සෙනගාලයේ ද ලෙඩ රෝග පැතිරී යාමට මූලික හේතුව රට පුරා පිරිසිදු පානීය ජලය බෙදාහැරීමේ නිසි ක්‍රම වේදයක් නොමැතිවීමයි. ලිංගාශ්‍රිත රෝගයක් වූ ඒඩ්ස් එච්.අයි.වී. වෛරසය වැළඳුණ රෝගීන්ගේ සංඛ්‍යාව අති විශාලය. මැලේරියාව, ටයිපොයිඩ් උණ, කොලරාව රට පුරා පැතිරෙමින් පවතී. අප්‍රිකාවේ සාගිනි නිවීමේ ව්‍යාපාරය (HUNGER PROJECT) ඇරැඹූ ප්‍රථම රට සෙනගාලයයි.


මුළු ජනගහණයෙන් පුද්ගලයන් එක් ලක්ෂයකට පමණ වෛද්‍ය පහසුකම් ලබාදීමට වෛද්‍යවරුන් 6 දෙනෙකු පමණක් සිටීමෙන් මේ සෙනගාලයේ සෞඛ්‍ය පහසුකම් මනාව පැහැදිලි වේ. මෙහි පුද්ගලයෙකුගේ ආයු කාලය අවු. 57 දක්වා අඩු වී ඇත්තේ රටේ සෞඛ්‍ය පහසුකම් නොමැති නිසාය.


රටේ විරැකියාව උග්‍ර වී ඇත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව අති විශාල ය. රටේ අවනීතිය රජ කරයි. නීතිය ක්‍රියාත්මක වන්නේ නැති බැරි එකා තලා පෙළා පීඩනයට පත් කිරීමට පමණකි. ඇති එකාට නීතිය පිහිට වෙයි. සෙනගාලයේ ද තත්ත්වය මේක ය. මේ රටේ ද හොරුන්, වංචනිකයන්, දූෂිතයන්, මිනීමරුවන්, කුඩුකාරයන් රකින්නේ ඔළුවේ උකුණන් ගානට ඉන්න කළු කෝට් කාරයෝය.


සෙනගාලයේ ද ඩකාර් (DAKAR) අගනුවර සුන්දර ය. මනහර ය. සංචාරක හෝටල් වැහිවැහැලා ය. පළාත් 14ක ඇති ගම්මාන 203ක් නරකාදි අපායවල් ය. අධ්‍යාපන, සෞඛ්‍ය, විදුලිය, ජලය, ගමනාගමන පහසුකම් නැති මේ ගම්මානවල ජනතාව ගෙවන්නේ දුෂ්කර දිවි පෙවෙතකි. ධීවර කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇතත් මේ රටේ ද ධීවරයන් හිඟා කන තත්ත්වයට පත් වී ඇත්තේ පාලකයන්ගේ වරදිනි.


රට පුරා පොස්පේට් නිධි විශාල සංඛ්‍යාවකි. මේවායෙහි සියලු ආදායම් ලබා ගන්නේ සෙනගාල රට කන ඇතැම් දේශපාලකයන් ය. රටකජු වගාවෙන් ලැබෙන ආදායම පවා යටිමඩි ගසා ගන්නා දේශපාලකයන් ඉන්න රටක් ඉදිරියට යන්නේ කෙසේද? රටකජු ගොවි පොළවල්වල ජනතාව ලක්ෂ ගණනින් ළමයින් ද සමග ගිනි අව්වේ වැඩ කරන ජනතාව දෙස බලමින් ලැම්බෝගිනි වාහනවලින් රවුම් ගහන දේශපාළුවන් මේ රටේ ද වැහි වැහැලාය.


පසුගිය 58 වසර තුළ දී සෙනගාලය ජනපතිවරුන් 4 දෙනෙකු විසින් පාලනය කරන ලදී. මොවුහු ජනතාවට දුන් පොරොන්දු රාශියක් ඉටු නොකළහ. ඇති නැති පරතරය නැති කරනවා යයි කෑ ගැසූ මේ ජනපතිවරුන් සියලු දෙනා රටේ ඇති නැති පරතරය වැඩි කළහ. මෙහි අද පොහොර නිෂ්පාදනය නවතින තත්ත්වයට පහත වැටී ඇත. අතීතයේ පොහොර රට යැවූ සෙනගාලය අද බංකොලොත් වී හමාරය. කජු, අඹ, උක් වගා බිම් රට පුරා තිබූ මේ රට අද ප්‍රපාතයට ඇද වැටී ඇත්තේ පම්පෝරි ගහන දේශපාළුවන්ගේ බයිලාවල මහිමය නිසා ය.


රට කෑ ජනපති පවුල


පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 180කි. ආසන සංඛ්‍යාව වැඩි කරගැනීම සඳහා දේශපාලන පක්ෂ 80ක් පොරකන්නේ කාලයක් සිට ය. රටේ ප්‍රශ්න එතැනම ය. ඒ ප්‍රශ්න දැවෙමින් පවතී. බලය ලබාගැනීම සඳහා මන්ත්‍රී පදවි සංඛ්‍යාව වැඩි කර ගැනීමට පොරකන දේශපාළුවන්ගෙන් රටකට වැඩක් ඇද්ද? 2000 සිට 2012 දක්වා සෙනගාලය පාලනය කළ හිටපු ජනපති වේඩ් (WADE) මුළු රටම පවුලේ දේපොළක් වශයෙන් භාවිත කළ බව කියනු ලැබේ.


වත්මන් ජනපති මැකී සාල් 2012 වසරේ බලයට පත් වීමෙන් පසු දූෂණ විරෝධී ව්‍යාපාරයක් (FIGHT AGAINST CORRUPTION) ඇරඹුවේය. 2014 ජූලි 14 දා සම්මත කරගත් පනතකට අනුව ඔහු දූෂිත දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන්, අධිකරණයේ විනිසුරුවරුන් හා ව්‍යාපාරිකයන්ට එරෙහිව පියවර රැසක් ගත්තේය. දේශපාලන බඩගෝස්තරවාදීන්ගේ ඩීල් නිසා මේ කටයුතු සිදු වුණේ ඉබි ගමනිනි. සෙනගාලයේ ද සිදුවන්නේ ලංකාවේ මෙන්ම මේ ටික ම ය. අධිකරණ, පොලිසිය, රේගුව, ඉඩම් අංශය, ආදායම් බදු මේ හැම අංශයක් ම පගා මරුවන්ගෙන් පිරිලා ය. අස්ථාවර වන්නේ මේ වගේ රටවල් ය.


හිරේට ගිය ජනපති පුතා


හිටපු ජනපති වේඩ් (WADE) රටේ සියලු ප්‍රධ​ාන ස්ථානවලට පත්කර තිබුණේ පවුලේ ඥාතීන් ය. වත්මන් ජනපතිවරයා බලයට පත්වීමෙන් පසු දූෂණ චෝදනා යටතේ මුලින්ම චෝදනා එල්ල කළේ හිටපු ජනපතිගේ පුත්‍රයා වූ කරීම් වේඩ්ට (KARIM WADE) එරෙහිවය. ඔහුට එරෙහිව නඩු පවරන ලදී.


මහජන දේපොළ ජනපති තාත්තා සමග එක් වී හොරකම් කළ ඔහුට හය (06) අවුරුදු සිර දඬුවමක් නියම විය. ඔහුට ඩොලර් බිලිය 138ක දඩයක් ද නියම විය. සෙනගාලයේ නීතිය ක්‍රියාත්මක වුණේ මෙහෙමය. අවුරුදු 3ක් හිරබත් කෑ ඔහු පසුගියදා නිදහස් විය.


ඔහු 2019 ජනපතිවරණයට ඉදිරිපත් වන බව දැනටම ප්‍රසිද්ධ කර තිබේ. වළ පල්ලට ගිය සෙනගාලයේ ද සිදුවන්නේ මේ ටික ය. ඔහුට බලය ලැබුණොත් එය පුදුමයට කරුණක් නොවේ. මේ වගේ රටවල ඉන්නේ ද අමන ඡන්දදායකයෝය.

 

 

 

සිරි හීන්පැල්ල 
නිව්‌යෝර්ක් නුවර සිට ලියයි