සොර දෙටුවාට සර්පයකු දුන් අපූරු දඬුවම


​මේ ජීවිතයේදීම කළකම් පලදෙන හැටි  

ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.  

 

අකුරැස්ස පහළ මලිදුව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය.  


මර්තේනිස් මීට දශක කීපයකට පෙර ඈත දුෂ්කර නියම් ගමක දිවි ගෙවූවෙකි. කිසිදු අධ්‍යාපනයක් නොලැබූ අයෙක් වූවත් ඒ කාලයේ හැටියට ගමේ අතමිට සරු පුද්ගලයෙකු ලෙස සැපවත් දිවියක් ගෙවන්නට තරම් වාසනාවන්තයෙකු විය. ඒ හොඳ කටයුතු වලින් නම් නොවේ. ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ හොර මත් වතුර අලෙවියයි. මේ නීති විරෝධී මත්වතුරට ඇබ්බැහිවීම නිසා ගමේ බොහෝ දෙනෙක් මෙන්ම අහිංසක දරු පවුල්ද අසරණභාවයට පත් වූ වාර අනන්තය. මර්තේනිස්ට​ මේවා අදාළ නොවීය.  


සුපුරුදු ලෙස ඔහු කිසිදු බාධාවකින් තොරව තම කටයුතු කර ගෙන ගියේ තමා වටා සිටි ගෝල බාලයන්ගේ පිහිටෙනි. කවුරු අසරණ වූවත් ඔහුගේ එකම අරමුණ වූයේ තම අතමිට සරු කර ගැනීම පමණි.  


මර්තේලිස් මෙලෙස තම අතමිට සරුකර ගැනීමට කටයුතු කළත් ගමේ අනෙක් අහිංසක ගැමියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ තම ඉඩකඩම්වල සහ ගම්මානය කෙළවරේ ඇති කැලෑවේ වැවෙන කිතුල් ගස් වල මල් මැදීමෙන් ලබාගන්නා ආදායමයි. කිතුල් මල්මැදීමෙන් ලැබෙන තෙලිජ්ජ උණුකර සාදා ගන්නා පැණි සහ හකුරු අලෙවි කිරීමෙන් ලැබෙන සොච්චම් මුදලින් ඔවුහු තම දිවි ගැට ගසා ගන්නට පුරුදු වී සිටියහ.  


එහෙත් හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටුණාක් මෙන් ඔවුන්ගේ මේ කටයුත්තට කණ කොකා හඬන්නට විය. ඒ වෙන කිසිවක් නිසා නොව මර්තේනිස් ගේ හොර මත් වතුර පෙරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස තෙලිජ්ජ යොදා ගැනීම නිසාය.  


මර්තේනිස් මේවා සපයා ගැනීම සඳහා පහසු මගක් සොයාගෙන තිබුණි. එනම් අහිංසක ගැමියන් මලක් මැද තෙලිජ්ජ ලබා ගැනීමට මලට මුට්ටිය එල්ලූ විට මර්තේනිස් රාත්‍රී කාලයේදී කෙසේ හෝ තෙලිජ්ජ මුට්ටිය හොරෙන් බාගැනීම සිදු කළේය. මේ හේතුව නිසා ගැමියන්ට තම තෙලිජ්ජ මුට්ටිය රැක ගැනීම මහත් ගැටලුවක් විය.   


මේ හොරකම සිදුකරන්නේ මර්තේනිස් බව හොඳින්ම දැන සිටියත් ඔහුට එරෙහි වෙන්නට කිසිදු ගැමියකුට ශක්තියක් නොතිබුණේ මර්තේනිස්ගේ මුදල් බලය හා පිරිස් බලය හමුවේ එය කළුගලේ හිස ගසා ගැනීමක් වැනි දෙයක් වූ නිසාය. ගැමියන්ට කළ හැකි එකම දෙය වූයේ තම කර්මාන්තය අත්හැර දැමීම හෝ දෙවියන්ට කන්නලව් කිරීම පමණි.  


මර්තේනිස් තම අකටයුත්ත කිසිදු බාධාවකින් තොරව කරගෙන ගිය අතර මහා රැයක හෝ ධාරණිපාත වැස්සකදී වුවද හැර ගසන ලද කිතුලක නැගීම බිම ඇවිදිනවාටත් වඩා පහසු කාර්යයක් විය. ඔහුගේ මෙම කටයුතු වැඩි කාලයක් කරගෙන යන්නට නොහැකි වෙන බව ඔහු කිසිවිටකත් නොසිතුවේය. එහෙත් එයට ඉක්මණින්ම තිත තබන දිනය උදා වූයේ ඔහුටත් නොදැනීමය.  


එදිනත් සුපුරුදු ලෙස මහ රැයේදී තම කාර්යය සඳහා පිටත් වීමට සිතා සිටියත් හැන්දෑවේ සිට ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාව සහ තද අන්ධකාරය එයට මහත් බාධාවක් විය. එදින හොරකම් කිරීමට තෝරා ගෙන තිබූ තෙලිජ්ජ මුට්ටිය සහිත කිතුල් ගස තිබුණේද ගම කෙළවර වූ කැලෑව තුළය. එහෙත් කිසිදු බාධකයක් හමුවේ පසු බැසීමේ පුරුද්දක් මර්තේනිස්ට නොවීය. කෙසේ හෝ තම අරමුණ ඉටුකරගෙන මිස ඔහුපසු නොබලයි.   
මහ වැස්සේම කට්ට කරුවලේ සැමට හොරෙන් මර්තේනිස් කිතුල දෙසට යන්නට විය. කිතුල අසළට ගිය මර්තේනිස් අඳුරේ අත පත ගාමින් හැර පට දිගේ අඩියෙන් අඩිය ඉහළට නගින්ට විය. හැමදා නියං එකදා වැහි වළාවේ කීවාක්මෙන් මර්තේනිස්ගේ සියලු කෙරුම් හමාරවෙන හෝරාව එළඹෙමින් තිබිණ. ගසේ මැදක් පමණ දුර නගිනවාත් සමගම එක්වරම ඔහුගේ ගෙල පෙදෙස තදින් හපා කන්නාක් මෙන් දැණින.  


එකවරම ඔහු එක් අතකින් එය ගසා දමනවාත් සමගම ඔහුගේ පපුපෙදෙස සපා කන බවක් දැනී මහ හඬින් කෑ ගසමින් ගසින් බසින අතර තුර ඔහුට දැක ගත හැකි වූයේ හැර පට අතර සිටින දැවැන්ත පොළඟෙකි.   
කළුවරේම කෑ ගසමින් ඉතා අමාරුවෙන් ගමට පැමිණි මර්තේනිස් තම සගයන් විසින් සර්ප වෙද මහතෙකු වෙත ​රැගෙන ගියහ. ඒ වෙන විටත් පො​ෙළාං විෂ ඔහුගේ සිරුර පුරා දරුණු ලෙස ගමන් කර තිබුණි. ඇස්වලට දරුණු ලෙස හානි වී තිබුණි. මාස ගණනාවක් කරන ලද්‍ වෙද​ හෙදකම් නිසා ජීවිතය බේරුණත් ඇස් පෙනීම ඉතා දුර්වල තත්ත්වයට පත් විය. එතැන් පටන් ඔහුගේ සියලු කෙරුම් හමාර විය. ඔහු වටා සිටි ගෝලබාලයින්ද ඈත්විය. සියලු ආදායම් මාර්ග අවහිර විය.  


එතෙක් ඔහු සතුව තිබූ මුලු සේසතම හමාර වී තිබුණේ ඔහුටත් නොදැනීමය. අන්ත අසරණ බටව පත්ව සිටි මර්තේනිස්ට තම දිවියේ ඉතිරි කොටස ගෙවන්නට සිදුවූයේ ගැමියන්ගෙන් ලැබෙන දෙයකිනි. ගතින් මෙන්ම සිතින්ද දුර්වල වූ මර්තේනිස් ජීවිතයේ මැදි වයස ඉක්මවන්නටත් පෙර තම ජීවිතයෙන් සමු ගන්නට සිදුවූයේ තමන් කළ අකටයුතුකම් වල පල විපාක මෙළොවදීම විඳින්නට සිදුවන බව පසක් කර දෙමිනි.  



ඕපනායක, උඩවෙල  

එච්.ඒ. ජයසේන මහතා ලියා එවූ කතාවක් මෙසේය.  

ජේන්ගේ ඉරණම විසඳුන හැටි  


දැනට දසක හතරකට පමණ පෙර එක්තරා පිටිසර බද ගමක ජීවත් වූ යුවලකි බාරොන් සහ ​ෙජ්න්. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටි අතර ගොවිතැන් කරමින් හා කිතුල්මල් කපා පැණි හකුරු නිෂ්පාදනයේ යෙදෙමින් මොවුහු සමඟියෙන් සාමදානයෙන් ජීවත් වූහ. මේ අතර පුවක්, කෙසෙල්, එකතුකර වෙළෙඳ‌ාමේ යෙදෙන අන්දිරිස් මේ ගමට සේන්දු විය. කිතුල් මල් කපා එක්තරා ප්‍රමාණයක් රා නිෂ්පාදනය කළ බැවින් හා බාරොන්ගේ ගොවිතැනට අදාළ පුවක්, කෙසෙල් යහමින් ඇති බැවිනුත් අන්දිරිස් හා බාරොන් අතර සබඳතාවයක් ඇති විය. නිතර නිතර බාරොන්ගේ නිවසට අන්දිරිස් පැමිණි අතර ඔහු පැමිණෙන විට රැගෙන එන තුනපහ මල්ල නිසාත්, තෑගි බෝග නිසාත් අන්දිරිස් හා ජේන් අතර ඇසුරක් ඇති වීමට වැඩි කලක් ගියේ නැත.  


මෙසේ කාලයක් ගෙවී ගිය අතර අන්දිරිස් දින දෙක තුන බාරොන්ගේ නිවසේ නැවතී වෙළෙඳ‌ාම් කළ අතර කල් යත්ම අන්දිරිස්ට ජේන්ද ජේන්ට අන්දිරිස්ද නැතිවම බැරි තත්ත්වයක් විය. බාරොන්ට මෙය ඉව වැටුණ නමුත් අන්දිරිස්ගෙන් ලැබෙන ඵල ප්‍රයෝජන හමුවේ මෙය නොදන්නා සේ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට සිදු විය. අන්දිරිස් හා ජේන් පවුලක් වශයෙන්ද බාරොන් පිටස්තරයෙකු වශයෙන්ද මේ නිවස තුළ ජීවත් වූහ. මේ අතර ජේන්ට බාරොන්ගෙන් නිදහස්ව අන්දිරිස් සමඟ පමණක් දිවි ගෙවීමේ අදහසක් ඇති විය. අන්දිරිස් සමඟද මේ පිළිබඳව අදහස් හුවමාරු කළ ජේන් බාරොන් මරා දැමීම සඳහා පිඹුරුපත් සකස් කළාය. ගම්බද නිවෙස් වල කුරහන් තලප ජනප්‍රිය ආහාරයක් බැවින් දිනක් රාත්‍රියේ කුරහන් තලප පිළියෙළ කළ ජේන් වීදුරුවක් බිඳ ඉතා සිනිඳුවට ඇඹරුවේය. අනතුරුව කුරහන් තලප වලට වීදුරු කටු කළවම් කර එය බාරොන්ට දුන්නේය. කුරහන් තලප යනු විකීමකින් තොරව ගිල දැමිය යුතු ආහාරයක් වන බැවින් වීදුරු කටු පිළිබඳ දැනීමක් නොතිබූ බාරොන් කුරහන් තලප ගිල දැමීය.  


දින කිහිපයක් ගතවෙන විට බාරොන්ගේ කුස තුළින් අසූචි සමඟ අධිකව ලේ වහනය වෙන්නට වූයේ වීදුරු කටු වලට බඩවැල් කැපී තිබීම හේතුවෙනි. අසාධ්‍ය තත්ත්වයට පත් වූ බාරොන් මෙකල මෙන් එකල වෛද්‍ය පහසුකම් නොතිබූ නිසා රෝහල් ගත කළද දින කිහිපයකින් මෙලොව හැර ගියේ සියල්ල රහසක් කරමිනි. නමුත් අසල්වාසීන්ගේ සැකයට භාජනය වූ ජේන්ට අසල්වාසීන් දැඩි ලෙස දෝෂාරෝපණය කළේ බාරොන් කිසිවෙකුට කරදරයක් හිරිහැරයක් නොමැතිව ජීවත් වූ අහිසංක ගැමියෙකු වූ බැවිනි.  


මේ කරුණු කන වැකුණු දරුවන් දෙදෙනා මවගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් නිවසින් පිටමං වූ අතර බාරොන්ගේ බාල සොහොයුරා ඔවුන් රැක බලා ගැනීමට ඉදිරිපත් වූයේ ඔවුන්ට දරුවන් නොසිටි බැවිනි. ගම්මුන්ගෙන් ලැබෙන රැවුම් ගෙරවුම් වැඩිවෙත්ම හිටි අඩියේ අන්දිරිස් ගමෙන් අතුරුදහන් විය. කිසිදු හව්හරණක් නොමැති වූ ජේන් නිවසේ තනි වූවාය. ජීවත් වීමට පවා මඟක් නොමැති වූයෙන් ඇය දුරින් පිහිටි රජයේ තේ වත්තක රැකියාවට ගියාය. සැතපුම් දෙකක් පමණ පාගමනින් රැකියාවට ගිය ඇය වින්දේ අන්ත දුකකි.  


මේ අතර දිනක් වත්තේ සේවය කළ කාන්තාවක් සමඟ වූ බහින් බස් වීම අවසන් වූයේ එම කාන්තාව අත තිබූ මුල්ලුවෙන් ජේන්ගේ බඩට ඇණීමෙනි. මුල්ලුවේ උල් පහම ජේන්ගේ කුස තුළට ගිලා බැස තිබූ අතර වහා අැය රෝහල් ගත කළාය. කිසිදු කෑමක් බීමක් නොමැතිව සති දෙකක් පමණ රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ සිටි ජේන් දිනක් රාත්‍රීයේ සඳහටම නෙත් පියාගෙන තිබුණේ කාත් කවුරුවත් නැති අසරණියක මෙනි.   


ඇය බැලීමට ඒ වන තුරු ඇයගේ දරුවන්වත් රෝහලට පැමිණ තිබුණේ නැත. රජයේ වියදමින් මිනිය වල දැමූ අතර ඒ වෙනුවෙන් කිසිදු පින් කමක් සිදු නොවීය. බාරොන් මියගිය අන්දමටම ඇයද මිය ගියේ කළ පව් මෙළොවදීම පළ දෙන බැව් පසක් කරමිනි.  

 


‘කරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ’ කියමන සනාථ කරමින් සමාජයට ලබා දුන් එක්තරා දහම් පණිවිඩයකි ​ෙම්.  

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිද‌ා ලංකාදීපයට යොමු කරන්න.  

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්