සොක්කන්ගේ කුසගින්න ලොක්කන්ට පේන්නේ නැද්ද ?


 

වසර 2030 වෙන විට ලෝකයේ දිළිඳුකම හා කුසගින්න තුරන් කිරීමට අපේක්ෂිතය. එහෙත් 2017 වසර අවසන් වෙන විට ලොව පුරා මිලියන 821 කට ආසන්න පිරිසක් කුසගින්නෙන් පීඩා විඳින බව ලෝක ආහාර සුරක්ෂිතතාව හා පෝෂණවේදය වාර්තා සඳහන් කර තිබේ. ඒ අනුව සෑම පුද්ගලයන් නව දෙනෙකුගෙන් එක් අයෙකු කුසගින්නේ සිටින බව ද හෙළිවී ඇත. එම සංඛ්‍යා ලේඛනවලට අනුව 2016 වසරට සාපේක්ෂව මිලියන 17 කින් ලෝකයේ කුසගින්න වර්ධනය වී ඇතැයි සැලකේ. 2016 වසරේදී මිලියන 804 ක් වූ ප්‍රමාණය වර්ෂයක් තුළදී මිලියන 821 ක් දක්වා වර්ධනය වීම ගැන ඉකුත්ද‌ා ලෝක රාජ්‍ය නායකයෝ ද අවධානය යොමු කළහ.   
ලෝකයේ කුසගින්න වර්ධනය වීමේ වේගයට සාපේක්ෂව ආසියානු කලාපයේ කුසගින්න ද වේගයෙන් වර්ධනය වෙමින් පවතී. මේ වෙන විට ආසියානු කලාපයේ කුසගින්න හේතුවෙන් මිලියන 515 ක් පීඩා විඳින බව හෙළිවී තිබේ. එයින් වැඩිම ප්‍රමාණයක් මධ්‍යම හා බටහිර ආසියානු රටවල ජනයාය. ඉතිරි මිලියන 306 ම ලෝකයේ අනිකුත් කලාපවලින්ය.   


ශ්‍රී ලංකාවේ තත්ත්වය   


මේ අනුව ලෝකයේ දිළිඳුකම හා කුසගින්න අතින් ආසියානු කලාපය ඉහළට යන විට ශ්‍රී ලංකාව ලෝක කුසගිනි දර්ශක ලැයිස්තුවේ සැලකිය යුතු මට්ටමකට පත්ව තිබේ. ඒ අනුව ඉකුත් වසර වෙන විට 84 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එය සතුටුද‌ායක මට්ටමක් යැයි කිව නොහැකිය. මන්දයත් අපට වඩා අන්ත දිළිඳු රටක් ලෙස සැලකෙන බංග්ලාදේශය ආදී රටවල් ද අප රටට ඉතා ආසන්න අගයකින් පැවතීම නිසාය.   


අප රටේ ආද‌ායම් හා ආර්ථික තත්ත්වය අනුව මෙම ස්ථානය අපට සැලකිය හැකි සතුටුද‌ායක මට්ටමක නොවන බව පෙනී යයි. අප රටේ දිළිඳුකම හා කුසගින්න ඉවසා ගත නොහැකිව දිවි හානිකර ගන්නා හෝ ඒ සඳහා උත්සාහ කරන පිරිස් පිළිබඳව ද දිළිඳුකම හා රැකියා නොමැතිකමින් පීඩා විඳින අය ගැන ද නිරන්තරව මාධ්‍ය මගින් අනාවරණය කෙරේ. ඉකුත් සතියක කෑමට කිසිවක් නොමැති නිසා මුරුංගා හා මුරුංගා කොළ තම්බා කෑ පවුලක් පිළිබඳව ද මාධ්‍යවලින් අනාවරණය කළ අතර ඒ පිළිබඳව ජනාධිපතිවරයා ද සිය කනගාටුව පළකර එම පවුල පිළිබඳව සොයා බැලීමට ද පියවරක් ගෙන ඇත.   


ජනාධිපතිවරයා අද‌ාළ සිදුවීම පුවත්පතකින් දැක තිබූ අතර පුවත්පත්වලට අනාවරණය නොවී තිබෙන දෑ අති විශාලය. වේලක් හැර වේලක් හෝ දිනකට එක් වේලකින් දිවි ගැට ගහ ගන්නා අය මෙන්ම කෑමට දෙයක් සොයාගත නොහැකිව සොරකම් කරමින් දිවි ගැටගසා ගන්න අය ද මේ ලක් දෙරණ තුළ ඕනෑ තරම් ඇති බව නම් කිව යුතුය.   


භාණ්ඩ සේවාවල මිල ඉහළ යෑම   


මේ වෙන විට ලංකාවේ මිල වැඩිවී නැත්තේ කුමන භාණ්ඩයේ දැයි සෙවීම වඩා පහසුවී ඇත්තේය. ඉන්ධන මිල මේ වසරේදී තෙවරක් ඉහළ යෑම ඩොලරයේ ඉහළ යෑමටත් රුපියල අව ප්‍රමාණය වීම ආදී කරුණු රැසක් නිසා ලංකාවේ ආර්ථික වටිනාකමින් යුතු සෑම භාණ්ඩයකම, සේවාවකම මිල ඉහළගොස් තිබේ. මිල වැඩිවී නැති භාණ්ඩයක් සෙවීම කළුනික සෙවීමටත් වඩා අසීරුවී ඇතැයි මහජනතාවගෙන් මැසිවිලි නැගෙන්නේය.   
 අත්‍යාවශ්‍ය භාණ්ඩ ලෙස සැලකෙන හාල්, සීනි, පරිප්පු, කිරිපිටි, පොල්, ගෑස්, එළවළු ආදී සෑම ආහාර ද්‍රව්‍යකම මිල වැඩිවීම ඉතා ශීඝ්‍ර​ෙයන් සිදුවී තිබේ. මෙය දරාගත හැකි පිරිසට වඩා දරාගත නොහැකි පිරිස් තවමත් මේ රටේ වැඩි අගයක් ගන්නා බව නම් පැහැදිලිය.   


අත්‍යවශ්‍ය ආහාර වර්ගවල මිල දරාගත නොහැකි ජනයා වේලක් හැර වේලක් ආහාරයක් ගනිමින් සිය දිවි ගැට ගසා ගැනීමට වෑයම් කරති. මේ වෙනවිට වෙළෙඳපොලේ හාල් කිලෝව නැවතත් රුපියල් සියයේ සීමාවටත්, සීනි කිලෝව රුපියල් 130 දක්වාත්, ගෑස් මිල රුපියල් 1700 ඉක්මවාත් (කිලෝ 12.5 සිලින්ඩරය) පොල් ගෙඩිය රුපියල් අසූවේ සීමාවටත්, එළවළු මිල ග්රෑම් සියය රුපියල් පනහේ සිට ඉහළටත් තීරණය වෙමින් පවතී.   


ජනතාවගේ දුක නොදැනීම   


මෙවැනි තත්ත්වයක් දරාගත නොහැකි ජනතාව ගැන කතා බහ කිරීමට කිසිවෙකුත් නොමැති තරම්ය. කිසිවෙකු ඒ ගැන උනන්දුව කතාබහ කළොත් ඔවුන් එක්කෝ විපක්ෂ දේශපාලකයන්ය. ඔවුන් බලය නැතිද‌ා ජීවන වියදමේ ඉහළ යෑම් ගැන කතා කරන අතර බලය ලබා ගත් තැන සිට කරනුයේ පෙර ආණ්ඩුවලට දෙ‌ා්ෂාරෝපණය කරමින් ඔවුන් කළාටත් වඩා ආර්ථික විනාශකාරී දෑ සිදුකරමින් ජීවන වියදම තවදුරටත් වර්ධනය කිරීමය. මෙය සැමද‌ාම චක්‍රයක්ව සිදුවන දෙයකි.   


 රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් දිළිඳුකම හා කුසගින්න නිසා පීඩා විඳින විට පාර්ලිමේන්තුවේ අඩු මිල කෑම වට්ටෝරු ගැනත්, දේශපාලකයන්ගේ මහා පරිමාණ දූෂණ වංචා හා ගසාකෑම් ගැනත් නිරන්තරව ඇසේ. එමෙන්ම සුවපහසු පුටු, හා වායුසමීකරණය කළ වැසිකිළි හා නාන කාමර ගැන ද මාධ්‍ය මගින් අසන්නට ලැබේ. ඒ අතරම බදු රහිත මිලට දේශපාලකයන්ට සුවපහසු වාහන ගෙන්වීම මෙන්ම ජීවන වියදම දරාගත නොහැකි බව කියමින් ඉන්ධන දීමනාව හා වැටුප් රුපියල් ලක්ෂ ගණනින් වැඩිකර ගැනීමට මාන බලන දේශපාලකයන් ද නැතුවා නොවේ.   


 කනගාටුවට කාරණය නම් ඒ කිසිවෙකුට තමන්ට පහළින් සිටිනා එනම් තමාට බලයට ඒමට මඟ පෑදූ ජනතාව නොසලකා හැරීමයි. එකී ජනතාව කුමනාකාරයට දුක් ගැහැට විඳිමින් දිවි සරිකර ගත්තත් ඔවුන්ට වගේ වගක් නැත. අවශ්‍ය වනුයේ නියමිත බදු මුදල් ප්‍රමාණය තව තවත් තරකර ගැනීමත්, තමන්ගේ බලය ලබා ගැනීමේ තරගවලට සහාය අවැසි කාලයට ලබා ගැනීමටත් පමණී. ඒ කාලයේදී නානාප්‍රකාර ප්‍රයෝගයෙන් කෙටි කාලීනව ජනතාව රවටා ගැනීමට ද ඔවුන් උපන් හපන්කම් ඇති ශූරයෝය. ජනතාව ද දුර නොබලා තීරණ ගැනීමෙන් තමන් සැමද‌ා එකතැන පල්වෙන බව තේරුම් නොගනිති. මෙය සැමද‌ාම සිදුවෙන්නකි.   


ජනතාවගේ එවන් දුක දේශපාලකයන්ට නොදැනෙනවා යැයි ඇතැම්විට කෙනෙකු කියතත් එය පූර්ණ සත්‍යයක් නොවේ. දේශපාලනඥයන් මෙය දැන සිටියත් ඔවුන් ඒවාට පියවර ගන්නා බව පැවසුවත් ඔවුන් ඒවා පූර්ණව විසඳීමට නම් උත්සාහ නොගනිති. මන්ද යත් ඒවා විසඳුවහොත් ඔවුන්ට යළි පැවැත්මක් නොමැති වෙන හෙයිනි. සිය අනාගත පැවැත්ම උදෙසා රටේ දියුණුවට ජනතාවගේ සුඛවිහරණයට අවැසි පූර්ණ ද‌ායකත්වය සපුරා ගැනීමට ඔවුහු ඉඩ නොතබති. ජනතාවගේ ප්‍රශ්න වැඩිවෙන තරමට ඒ ප්‍රශ්න මතින් බලයට ඒමට දේශපාලකයාට හැමද‌ාටම හැකිය.   

 


දිළිඳුකම හා කුසගින්නේ දර්ශක   


ජනයාගෙන් දිළිඳුම සියයට 10 ට අයත්වන ගෘහ ඒකක වෙත ලැබෙන ගෘහස්ථ ආද‌ායම් පංගුව සියයට දෙකකටත් අඩුවෙන අතර පොහොසත්ම සියයට 10 ආද‌ායමින් සියයට 38ක් භුක්ති විඳින බව ආර්ථික විශේෂඥයින්ගේ මතයයි. එවන් තත්ත්වයක් පවතින විට දිනෙන් දින ඉහළ යන ඩොලරයත් ඒ සමානව අව ප්‍රමාණය වන රුපියලත් නිසා කුසගින්න හා දරිද්‍රතාවයෙන් පීඩා විඳින්නන්ගේ ප්‍රමාණය තව තවත් ඉහළ යෑම පුදුමයක් නොවේ.   
1990/1991 කාලවලදී සියයට 26.1 ක්ව පැවැති ආද‌ායම් දරිද්‍රතාව ඉකුත් 2012/2013 වෙනවිට සියයට 6.7 දක්වා අඩුවී ඇති බව රජයේ පාර්ශ්වයෙන් කීව ද අප රටේ විවිධ කලාපවල මෙන්ම විවිධ සමාජ කණ්ඩායම් අතර ද මෙකී දිළිඳු බව වැඩි වැඩියෙන් දැකගත හැකි වේ. ඔවුන් රටේ දරිද්‍රතා රේඛාවට ඉහළින් සිටින අතර එය තව තවත් ඉහළ යන බව ද ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයවී ඇත.   


කෙසේ වෙතත් 2012/2013 කාලයේදී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 9.3 ක්ම ආද‌ායම් හෝ බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන බව ද මහ බැංකු මූලාශ්‍රවලින් පෙනී යයි. එම ජනතාවගෙනුත් සියයට අසූවක් පමණ වැඩ කිරීමට නොහැකි හෝ වැඩ කිරීමට නොහැකිතරම් වියපත් අය බව ද හෙළිවී ඇත. මෙය ද සැලකිල්ලට ගතයුතු කාරණයකි.      


සමාජ අසහනය හා ගැටුම් උද්ගතවීම   


සියයට හැත්තෑ පහක් වූ ශ්‍රම බළකාය උපයන වැටුපින් මෙරට රාජ්‍ය අංශය හා අතිවිශාල වූ දේශපාලන අධිකාරිය පවා නඩත්තු කිරීමට සිදුව ඇත. ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සිදුවුවත් එයින් වඩා ධනවත් වෙන්නේ ධනවත් පුද්ගලයන්ම විනා රටේ දිළිඳු කොට්ඨාසය හෝ සාමාන්‍ය ජනතාව නොවේ. ඒ නිසා ආද‌ායම් අසමානතාව ද අඛණ්ඩව වැඩි වෙමින් පවතී. ධනවත් පුද්ගලයන්ගේ අධි පරි​භෝජනයත්, නීති විරෝධී ලෙස කරනා ඉපයීම් වැඩිවීම් නිසාත් සමාජ කණ්ඩායම් තුළ අසහනකාරී වාතාවරණයන් උද්ගතව තිබේ. අත්‍යවශ්‍ය සේවා සපයා ගැනීමේදී සාමාන්‍ය ජනතාවට සිදුවෙන බාධාකාරී වාතාවරණ හමුවේ මෙකී ශුද්‍ර පරිභෝජන කරන කණ්ඩායම්වල සමාජ අසහනය හා ගැටුම් ද ඉහළගොස් ඇත.   


කාලගුණික දේශගුණික විපර්යාස නිසා වසර තුන හතරක් තිස්සේ රටේ කෘෂිකාර්මික ජනතාවගෙන් සැලකිය යුතු පිරිසකට ලැබිය යුතු වාර්ෂික ආද‌ායම් මාර්ග ද ඇහිරී ගොස්ය. ස්වභාවික ආපද‌ා නිසා ඔවුන්ගේ නිෂ්පාදන හා ආද‌ායම් කෙරේ සෘජු බලපෑම් එල්ල වීමෙන් කෘෂිකාර්මික ප්‍රජාව අතර ද ඉහළ දරිද්‍රතාවක් හා අනාරක්ෂිත බවක් පවතී. මෙසේ අඛණ්ඩව පවතින දරිද්‍රතාව නිසා ඇතැම් පුද්ගලයන් සිය පැවැත්ම උදෙසා අයුතු කෘෂිකාර්මික උපක්‍රම හෝ ක්‍රමවලට යොමුවීම අයුතු ආද‌ායම් උත්පාදන ක්‍රම කෙරේ යොමුවීම් නීති විරෝධී ලෙස ආද‌ායම් උත්පාදන ක්‍රම කෙරේ හෝ සොරකම, මංකොල්ලය වැනි දේට යොමුවීමේ ප්‍රවණතාව ද වැඩි විය හැකිය. මෙය ආර්ථික ප්‍රශ්නවල උග්‍රතාව හමුවේ මතුවන සෘණ සාමාජීය තත්ත්වයක් බවට ද පත්ව තිබේ. පහුගිය දිනෙක නිකවැරටිය ආනමඩුව ප්‍රදේශවල කාන්තාවෝ රුපියල් 1050 කට කල්පිටිය ප්‍රදේශයේ වගා බිම්වල සේවයට ගොස් තිබෙනු මාධ්‍යවල දැකගත හැකි විය. එවන් සාධනීය තත්ත්වයන් ද මෙකී සමාජ තල තුළින් දැකගත හැකිය.   


මෙකී තත්ත්වයට විසඳුම් නැද්ද?   


දිළිඳුකම හෝ කුසගින්න නිසා පීඩාවට පත්වෙන ජනතාවගෙන් සියයට අසූවක් පමණම ග්‍රාමීය අංශයට අයත්ය. ඔවුන්ගෙන් බහුතරයක් කෘෂිකර්මාන්තය ආශ්‍රිතව දිවි ගෙවන්නන්ය. එම නිසා සිදුකළ යුත්තේ ග්‍රාමීය දරිද්‍රතාව අඩු කිරීම, කුසගින්න නිමා කිරීම, ආහාර සුරක්ෂිතතාව වැඩිකර ගැනීම නව්‍ය ආද‌ායම් උත්පාදන ක්‍රම, නව වගා උපක්‍රම භාවිතය, නව තාක්ෂණික දැනුම යනාදිය ප්‍රවර්ධනයට වැඩි අවධානයක් යොමු කරවීමය.   


ග්‍රාමීය තරුණ පරපුර සඳහා රැකියා උත්පාදනය මෙන්ම ඔවුන් සඳහා කෘෂි පාදක කර්මාන්ත බිහි කිරීමට ද සැලකිල්ලක් දැක්විය යුතුය. එමෙන්ම තරුණ හා කාන්තා පිරිස උදෙසා යහපත් හා සතුටුද‌ායක රැකියා අවස්ථා උත්පාදනයට ද රාජ්‍ය පෞද්ගලික හා හවුල් ව්‍යාපාර අංශයන් අවධානය යොමුකළ යුතුය. කාන්තාවන්ට නිවසේ සිට කළ හැකි රැකියා ඇති කිරීම හා පහසු වේලාවල වැඩ කිරීමට හැකියාව, මාතෘ අසනීප නිවාඩු වැඩිකිරීම, වැනි ආකර්ෂණීය ක්‍රම මගින් ඔවුන්​ගේ ශ්‍රම ද‌ායකත්වය ලබා ගැනීමට උත්සාහ කළ යුතුය.   


මේ සඳහා රජය මගින් දිගුකාලීන ක්‍රියාමාර්ග ගෙන තිබුණ ද ඒවායේ යම් යම් දුර්වලතා පවතී. විදෙස් ආධාර හෝ ජාත්‍යන්තර සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන මෙරට ආර්ථික සමාජ හා කුසගින්න දිළිඳුකම වැනි කාරණා කෙ​රේ ඇතිකර ඇති ව්‍යාපෘති ගණන අපමණය. එකම ප්‍රදේශයකට එවැනි ආයතන හෝ අමාත්‍යාංශ දෙක තුනක සැලකිල්ල ලැබෙනවිට කිසිම දෙයක් නොලැබෙන ප්‍රදේශ ද ඇත්තේය. ඒවා ගැන ද සැලකිල්ලක් යොමුකර තිරසර සංවර්ධනයට අද‌ාළ මෙරට ක්‍රියාත්මක සෑම ව්‍යාපෘතියකම අධීක්ෂණය හෝ උපදේශනයවත් රජය භාරයේ තබාගත යුතුය.    


ප්‍රාදේශීයව ඇති රැකියා හිඟයන්, අසමානකම් හඳුනාගෙන මුළු රටම එකම එල්ලයක් ඔස්සේ වැඩිදියුණු කිරීමට ව්‍යාපෘති සැලසුම් කළ යුතුය. මුරුංගා තම්බන පවුල් ගැන හෝ පාසල් ගාස්තු සොයා ගත නොහැකිව පොල් සොරකම් කරන දරුවන් ගැන හෝ ණය ගෙවා ගත නොහැකිව දරුවන් ද සමඟ දිවි නසා ගන්නා පවුල් ගැන ද මින් ඉදිරියට නොඅසන්නට නම් ඒවාට හේතු සොයාගෙන ඒවාට පිළියම් කළ යුතුය. මේවා එක රැයකින් කළ හැකි විස්කම් දස්කම් නොවේ. ඒ සඳහා දේශපාලන අරමුණුවලින් තොර ජාතික අරමුණින් කැපවෙන නායකත්වයන් සහිතව අද‌ාළ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය.   


ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හෙවත් සාගිනි නිවීමේ මණ්ඩලය මඟින් ද මේ වෙන විටත් ග්‍රාමීය ආර්ථිකය හා කෘෂිකර්මය වෙනුවෙනුත් දිළිඳුකම හා කුසගින්න වෙනුවෙනුත් යම් සඵලද‌ායී පියවර ආරම්භ කර තිබේ. එහි අධ්‍යක්ෂක රෝහණ කරවිට මහතා ඒ පිළිබඳ සිය වැඩසටහන් ඇති ආකාරය අපට මෙසේ පැහැදිලි කළේය.   


‘සාගිනි නිවීමේ මණ්ඩලය මේ වෙනවිට අදියර කිහිපයක් යටතේ මේ සඳහා පිළිතුරු සොයමින් සිටිනවා. ගම් දහසක වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීම දේශීය බඩඉරිඟු වගාව සම්බන්ධව ඇති වත්මන් ගැටලුවලට විසඳුම් සොයන ගමන් එය ප්‍රවර්ධනයටත්, සෝයාබෝංචි වගාව හා සෝයා කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය නව උපක්‍රම මෙන්ම දේශීය සහල් පැකට් කිරීම වගේම සහල් සවිලීකරණය වැඩසටහන් වගේම යකඩ හා ෆෝලික් ඇසිඩ් ඌණතා සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඒවා අඩංගු සහල් වර්ගයක් ප්‍රතිනිර්මාණය කිරීම වගේම ත්‍රිපෝෂ සුවපෝෂ හා මව්පෝෂ නිෂ්පාදනය හා බෙද‌ා හැරීම යනාදියත් අපි දැනට සාර්ථක ව්‍යාපෘති හැටියට ක්‍රියාත්මකයි. ඒ වගේම අපි දේශීය වී ගොවීන්ට පහසුවක් විදියට සහල් ප්‍රමිති මිලට මිලදී ගැනීම වගේම අපේ නිෂ්පාදන සමුපකාර වගේම සතොස මඟින් පහසු මිලට අලෙවි කිරීම වගේ ව්‍යාපෘතිවලටත් යොමුවෙලා ඉන්නවා. මේවා සාර්ථකව කරගෙන යෑමෙන් රටේ දැනට උද්ගත කුසගින්න, දිළිඳුකම පිටුදැකීම වැනි ප්‍රශ්නවලට හැකි ආකාරයේ විසඳුම් ගෙන ඒමටත් එමඟින් තිරසර සංවර්ධන ඉලක්ක හරහා කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන අපේක්ෂා ඉටුකර ගැනීමට බලාපොරොත්තු වෙනවා.   


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්ද්‍ර කුමාර මහතා   


මෙවර අසීමිත ලෙස ​ඩොලරය ඉහළ ගිය එකයි බොහෝ ආර්ථික ප්‍රශ්නවලට හේතුවෙලා තියෙන්නේ. අපේ ආර්ථිකය හැඩ ගැහිලා තියෙන්​නේ ආනයන ආර්ථිකයක් යටතේයි. ඒ නිසා ඒ හැමදේටම ගෙවන ඩොලර් ප්‍රමාණයත් වැඩිවෙලා තියෙනවා.    


විදේශීය ආර්ථික ප්‍රතිපත්ති වගේම, විනිමය අනුපාත වෙනස් වීම, ජීවන රටා පුළුල්වීම හා සංකීර්ණ වීම වැනි තත්ත්වයන් තුළ විශාල අපහසුතාවන්ට මුහුණ දිය යුතු අවස්ථා එනවා. අවුරුද්දකට වරක් දෙවරක් මෙවැනි තත්ත්ව අපට උද්ගත වෙනවා. රටක් හැටියට මහ බැංකුව හරි මැදිහත්වෙලා පාලනය කළ යුතු වෙනවා. උද‌ාහරණ හැටියට විනිමය අනුපාත නිසා ආනයනික භාණ්ඩවල මිල වැඩිවෙන නිසා විසඳුමක් හැටියට දේශීය භාණ්ඩ නිෂ්පාදනය කෙරේ අවධානයක් යොමුකළ යුතුයි. ඉදිරියේදීත් මෙවැනි තත්ත්ව උද්ගත විය හැකි නිසා දැන්වත් වැඩි අවධානයක් යොමුකිරීම වඩා හොඳයි. ඒ වගේම මෙවැනි විටෙක වැඩිම පීඩනයට ලක්වන ජනකොටස් හඳුනාගෙන එවැනි කාලවලදී කළයුතු සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි.

 

 

 

 

 

පුෂ්පා වීරසේකර