සේරුවිල යකඩ නිධියේ තඹ සහ රත්තරන්


 

 

සේරුවිලින් හමුවූ රත්තරන් ඩිංගෙන් ශ්‍රී ලංකාවේ වැටී තිබෙන ආර්ථිකය බබළවන්න පුළුවන්ද? ඒ රත්තරන්වලින් ඵලදායි ලෙස වැඩක් ගන්න පුළුවන්ද? යන්න අදාළ බලධාරින්ටත් ඒ පිළිබඳ දැනුමක් තේරුමක් ඇති විශේෂඥයින්ටත් දැනටමත් ගැටලු ගණනාවක් මතුකර තිබේ.   
සේරුවිල යකඩ තඹ නිධියෙහි රත්තරන් තිබෙන බව තහවුරු වී තිබෙන බව කියන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයයි.   
සේරුවිලට ආසන්නයේ අරිප්පු, කොල්ලකුලම්, බ්ලොක් සී ප්‍රදේශ ආවරණය කරමින් වර්ග කිලෝමීටර් 100 ක පමණ භූමියක උපපෘෂ්ඨයෙහි මෙම නිධිය පිහිටා තිබේ. පෘථිවි පෘෂ්ඨයෙහි සාමාන්‍ය වශයෙන් රත්තරන් පවතිනුයේ මුළු කොටස් හතරක් පමණක් වුවත්, සේරුවිල නිධියෙන් ලබාගත් සමහර සාම්පල්වල මුළු කොටස් බිලියනයකට රත්තරන් කොටස් 1000 ඉක්මවා පවතින බව ද එම කාර්යාංශය පෙන්වා දී තිබේ.   


මෙහි තවත් සාම්පලවල මුළු කොටස් බිලියනයකට රත්තරන් කොටස් 60-200 අතර ප්‍රමාණයන්ගෙන් පවතින බව ද පවසන කාර්යාංශය මෙසේ පවතින රත්තරන් මගින් නිධියට නව ආර්ථික වටිනාකමක් එක්වන බැවින් එය ලාභදායි ලෙස බහු මූලද්‍රව්‍ය උකහා ගත හැකි නිධියක් දැයි සොයා බැලීම සිදුකරන බව ද සඳහන් කර සිටී.   
ඒ අනුව තවත් සාම්පල් විශාල සංඛ්‍යාවක රත්තරන්, පැලේඩියම්, පැලැටිනම් වැනි අනෙකුත් මූල ද්‍රව්‍ය තිබේද යන්න සොයා බලා එහි ධනාත්මක ප්‍රතිඵල ලැබුණහොත් එය මෙම නිධිය සංවර්ධනය සඳහා අායෝජකයින්ගෙන් සහය ලබා ගැනීමට හැකි බව ද පෙන්වා දෙති.   
රටම ආර්ථික වශයෙන් බරපතළ කඩාවැටීමක, අර්බුදයක සිටින වෙලාවක රත්තරන් ආකරයක් බිහිවිම ගැන සොඳුරු සිහිනවල තව තවත් අතරමං වෙන්නට පෙර ඒ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමට දැරු උත්සාහයේ දී බොහෝ දෙනා පැවසූ දේ විවිධ විය.   
මෙය ආර්ථික වාසි සලසන රන් නිධියක් යැයි කිව නොහැකි වුවත් ඉතා වටිනා බහුවිධ ලෝහ වර්ග ගණනාවක් මෙහි තිබෙන බැවින් තව තවත් ගවේෂණයන් සිදුකර වාසි රැසක් සලසා ගත හැකි බව අප කළ විමසීමකට උත්තර දෙමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන මහතා පවසා සිටියේ ඊට අදාළ හේතු කාරණා රැසක් ද පහදා දෙමිනි.   


“අපි කියන්නේ නැහැ මෙය ඉකොනමික් ගෝල්ඩ් ඩිපෝසිට් එකක් කියලා. මේ වෙනකොටම රත්තරන් නිධියක් කියලා අපිට කියන්න බැහැ. නමුත් මේකේ තඹ යකඩ දෙකත් එක්ක තවත් අනික් ඒවාත් තියෙනවා පැලේඩියම් ක්‍රෝමියම් වගේ දේවල්. අපි කියන්නේ තවදුරටත් සමික්ෂණය කළ යුතුයි කියලයි. මෙහි බහුවිධ ලෝහ වර්ග තියෙනවා. ඒවාත් සමීක්ෂණය කරන්න ඕනේ. එක ඵලයක් නොවෙයි ඵල කිහිපයක් අපිට ගන්න පුළුවන් නම් අනාගතයේ වැදගත්. අපිට මේ සඳහා අපේ තාක්ෂණය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වගේම අපිට වියදම් අධිකයි. පොළොව අභ්‍යන්තරයට විදලා කරන්න. ඒ නිසා තමයි අපි දේශීය විදේශීය ආයෝජකයින්ට ගවේෂණවලට සම්බන්ධ වෙන්න කියලා අප ආරාධනා කරන්නේ” ඔහු පවසයි.   
ඔහු පෙන්වා දෙන අන්දමට මෙම යකඩ තඹ නිධිය පිළිබද ප්‍රථමයෙන් ගවේෂණ කටයුතු සිදුකර ඇත්තේ 1971 එවකට පැවති භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රංශ භූ විද්‍යා ආයතනය මගිනි. එම ගවේෂණ කටයුතු සඳහා මෙම ප්‍රදේශයේ හර විදුම් කුහර 76 ක් පමණ පොළොව තුළට විද සාම්පල් රැගෙන ඇති අතර එම විදුම් කුහරයන්හි උපරිම දිග මීටර් 8000 ක් පමණ වෙයි. එසේ ලබා ගන්නා ලද සාම්පල අනතුරුව ප්‍රංශයේ භූ විද්‍යා කැනීම් පිළිබඳ පර්යේෂණ කාර්යාංශයට යවා සවිස්තර පර්යේෂණ දත්ත ඇතුළත් වාර්තාවක් ලබාගෙන ඇත.   

 

 


එම වාර්තාවන්ට අනුව මෙම නිධියෙන් ලබාගන්නා ලද ඛනිජ සම්පත්වල සියයට 40 ක් පමණ යකඩ මිශ්‍රිත බවත්, සියයට 1.2 ක් පමණ තඹ මිශ්‍රිත බවත් තහවුරු වී තිබේ. නමුත් 1970-80 කාලයන්හි රට තුළ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් එම ප්‍රතිඵල වඩාත් විද්‍යාත්මක ලෙස පරීක්ෂා කිරීමේ දී ප්‍රායෝගික අපහසුතා රැසක් පැන නැගි ඇත. එනම් තඹ සහ යකඩ සඳහා ඉල්ලුම් අවමවීම, නිධියෙන් පැතිරීමේ ස්වභාවය අනුව එය ආර්ථික වශයෙන් වඩා ලාභදායි ලෙස කැනීම් කිරීමේ හැකියාවන් නොමැතිකම ආදි කරුණු හේතුවෙන් එම ව්‍යාපෘතිය අතරමග නවතා දැමීමට සිදුව ඇත.   


“79-80 කාලෙදී තමයි ප්‍රංශයේ භූ විද්‍යා ආයතනයත් එක්ක එකතුවෙලා අපි මේ සමික්ෂණය කළේ. එහිදී තමයි හොඳම නිධිය වශයෙන් අරිප්පු තියන නිධිය හමුවුණේ. එය ඉංග්‍රීසි වී හැඩයෙන් යුතු නිධියක්. එහි ප්‍රධාන ලෙන්සස් දෙකක් තියෙනවා. ටොන් මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් හමුවී තියෙන්නේ. යකඩ සියයට 40 ක්, තඹ සියයට 1-2 අතර ප්‍රමාණයක්, ඊට අමතරව අසාමාන්‍ය ප්‍රමාණවලින් නිකල්, පොස්පරස් ඒ වගේ තවත් ඛනිජ තියෙනවා. ඛනිජ රාශියකුත් එක්ක තමයි තියෙන්නේ. ඊටත් අමතරව ඒ අයගේ රිපෝට්ස්වල තමයි තියෙන්නේ පැලේඩියම් මූලද්‍රව්‍ය තියෙනවා කියලා. රත්තරනුත් ඒ මුල් කාලේ තියෙනවා කිව්වත් කොච්චර තියෙනවාද කියලා බැලුවේ නැහැ.   
අපි මෑත කාලෙදි මේ විදපු ඒවා නැවත සමික්ෂණය කළා. ඒ සාම්පල් අරගෙන නවීන උපකරණ අපිට ලැබුණම ඒ උපකරණවලින් අපි නැවත විශ්ලේෂණය කළා. අසාමාන්‍ය ප්‍රමාණවලින් මේ රත්තරන් තිබුණා. ඊට පස්සේ අපි ඒවා නැවතත් කැනේඩියානු විද්‍යාගාරවලට යවලා අපි ඒවා නිශ්චිත කරගත්තා. එසේ ස්ථිර වශයෙන්ම නිශ්චිත කරගත්තම තමයි ලෝකයේ අනික් පාෂාණ ගෙවීයන කොටස් පහක් නැත්නම් අටක් වගේ සමහර ස්ථානවල ඊටත් අඩුවෙන් තමයි ලෝකයේ රත්තරන් තියෙන්නේ. සාමාන්‍ය​ෙයන් හමු වෙන්නේ. නමුත් මේකේ බර අනුව බිලියනයකට රත්තරන් කොටස් 1000 ත් 1200 ත් අතර ප්‍රමාණයක් අපිට වාර්තා වුණා. ඊට අමතරව 200 - 600 ක් වගේ තියෙන ඒවාත් තිබුණා.” ඔහු පවසයි.   
සැලකිය යුතු මට්ටමක පෘථිවි පෘෂ්ඨයෙහි සාමාන්‍ය වශයෙන් රත්‍රං පවතිනුයේ කොටස් බිලියනයකට කොටස් 4 ක් එනම් ( 4 PP6) වශයෙනි. නමුත් සේරුවිල නිධියෙන් ලබාගත් ඇතැම් සාම්පල්වල කොටස් බිලියනයකට රත්තරන් 1000 PP6 ඉක්මවා ඇතිබව දැනට තහවුරු වි තිබේ. එසේම එම සාම්පලයන්හි පැලේඩියම්, ප්ලැටිනම් ආදි ඉහළ අගයක් සහිත මූල ද්‍රව්‍යයන්ද අඩංගු වන බව සනාථ වි ඇත.   


මෙම නිධිය වර්ග කිලෝ මීටර් 100 ක පමණ භුමියක උපපෘෂ්ඨයෙහි සිරස් අතට කිලෝමීටර් 5 ක් පමණ දුරකට විහිදී පැතිරී ඇති බවට දැනට අනාවරණය වී තිබෙන බව ද කාර්යාංශය පෙන්වා දෙන අතර නමුත් ඒවා භුමියෙහි කඩින් කඩට පිහිටා ඇති අතර සමස්ත භූමි ප්‍රදේශයෙන් මේ වන විට වර්ග කිලෝමීටර් 18 ක භූමි ප්‍රමාණයක් සංරක්ෂිත කලාපයක් බවට රජයේ ගැසට් නිවේදනයක් මගින් නම් කර තිබේ.   
මෙම නිධිය සම්බන්ධයෙන් දේශීය විදේශීය ආයෝජකයින්ට විවෘත කරන බව ද අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිවර්ධන මහතා පවසයි. එහෙත් මෙහිදී විදේශීය සමාගම්වලට රටේ දේශීය සම්පත් විවෘත කිරීමේ දී ඇතිවූ ගැටලු ගණනාවක අතීත පාඩම් ද අප සතුව ඇති බැවින් සහ පර්​ෙ‌ය්ෂණවලට තොරතුරු පිටරට සමාගම්වලට යාමේදී තොරතුරු පිටයාමක් සිදුවෙන බැවින් එහි කිසියම් අවදානමක් පවතින්නේ ද යන්න පිළිබඳව කළ විමසීමේ දී ඔහු කියා සිටියේ එය වගකීම් සහගතව සිදුකෙරෙන හෙයින් එවැනි ගැටලුවක් මතුවීමට ඉඩ නොමැති බවයි.   


“විදේශීය ආයෝජකයින් දේශීය ආයතනත් එක්ක සම්බන්ධ වෙලයි ඒ කටයුතු කරන්නේ. අනිවාර්යයෙන්ම හොඳ සොයා බැලීමක් කරනවා. අපි කියන්නේ මේකට කවුරු හෝ ශක්තිමත් අය දේශීය විදේශීය අය සිටිනවා නම් හොඳයි. එහෙම එකතුවෙලා එන දෙයකින් මේ වගේ දෙයක් ආයෝජනය කරන්න පුළුවන් නම් හොඳයි. කොහෙම වුණත් විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණ කරලා, ප්‍රසිද්ධ කරලා ඒ වාර්තා කරන්න ඕනේ. ඒ අය එළිදක්වන වාර්තා අපි මෙහිදී පරීක්ෂා කරනවා. මේ පර්​ෙ‌ය්ෂණවලට විදේශීය සමගම් සමග දේශීය අයත් සම්බන්ධ විය යුතුයි. නොයෙකුත් ගවේෂණ කරන තුන්වෙනි ලෝකයේ වෙනත් රටවලත්. අපේ රටේ අනිකුත් ආයතන වගේම විශ්වවිද්‍යාල ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයින් විද්‍යාඥයන් මෙයට සම්බන්ධ කරගත යුතුයි.   


කෙසේ වුවත්, මේ සියල්ල සිදුවන්නේ අමාත්‍යාංශය හරහානේ. ඒ වගේම අපිට මෙය කරද්දි තවත් ආයතනවලින් උදව්ගන්න සිදුවෙනවා. සමහරක් ඒවා වන ජීවි කලාපවල තියෙනවා. සමහර ඒවා වන සංරක්ෂණ කලාපවල තියෙනවා. අනිකුත් ආයතනවලින් ඒකට අදාළ අනුමැතිය ගන්නත් ඕනේ. සමහර වෙලාවට අපි දන්නේ නැහැ මේවාට අනුමැතිය දේවිද කියලත්. එම ආයතනවලින් අනුමැතිය ගන්න අමාරුයිනේ. ඒ ප්‍රශ්නත් තියෙනවා.   
ලෝකයේ වෙනත් යකඩ නිධි එක්ක බැලුවහම මේක බොහොම පුංචි නිධියක්. අරිප්පුවල ටොන් මිලියන 3 යි. තවදුරටත් ගැඹුරේ තියෙන්නත් පුළුවන්. ගැඹුර වැඩිවෙලා කැනීම් කරද්දි වියදම් වැඩියිනේ. මේ තරම් ගැඹුරට හාරලා ගන්න එක ආර්ථික වශයෙන් වාසිද නැද්ද. එය තීරණය කළ යුත්තේ තවත් ගවේෂණය කරලා ඒ ගවේෂණයේ දත්ත අනුවයි. ආර්ථික වශයෙන් ප්‍රධාන යකඩ හෝ තඹ හෝ ඒවා විස්තාරණය කරන ගමන් අපි රත්තරන් අතුරු ඵලයක් විදියට ගන්නේ නම් ඒ අතුරුඵලය වටිනවා. ඊට අමතරව ප්ලැටිනම් වැනි මුලද්‍රව්‍ය බොහෝම සුළු වශයෙන් තිබුණත් එය ඉතාම වටිනවා. ලෝකේ හුඟාක්ම අඩුයි. ඒක නිසා මට මේ වෙලාවේ කියන්න බැහැ මේක ආර්ථික වශයෙන් වටිනවා ද නැද්ද කියලා. ඒවා සියල්ල කියන්න වෙන්නේ තවදුරටත් ගවේෂණය කිරීමෙන් පසුවයි.   
එක එක මූලද්‍රව්‍යවලට එක එක වටිනාකම් තියෙනවා. ඉලෙක්ට්‍රොනික් කර්මාන්තයේදී එහෙම නැත්නම් වෙනත් විද්‍යාත්මක කර්මාන්තයකදී ප්ලැටිනම් කියන ලෝහය ගොඩාක් භාවිතා කරනවා. දුලබ ලෝහයක්. ඒවාට වැඩි ඉල්ලුමක් තියෙනවා.   


කෙසේ වුවද අපේ රටේ භූමිය ඉවක් බවක් නොමැතිව බරපතළ හානි විනාශයන් සිදුකරමින් රටේ සම්පත් කොල්ලකන දේශීය කොල්ලකරුවන් පිළිබඳව ද අපි දන්නෙමු. එහිදී විශේෂයෙන්ම මැණික් කර්මාන්තයේ යෙදෙන ඇතැම් පිරිස් මෙසේ ඉවක් බවක් නැතිව පොළොව හෑරීම මත සිදුකර ඇති පරිසර හානියන් ද සුළුකොට තැකීමට නොහැකි අවස්ථා ද තිබේ. එසේම බලපත්‍ර ඇතිව කිසියම් කාර්යයක් කිරීමට ඉඩ දුන්නද එහිදීද දේශපාලන හිතවතුන්ට දේශපාලන බලඅධිකාරින්ට එම බලය ගලා යන නරක පූර්වාදර්ශයන් අප ඕනෑවටත් වඩා අත්විඳ ඇති හෙයින් මේ පිළිබඳව ද ඇත්තේ කුකුසකි. එහෙත් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන අන්දමට ඒ සියල්ල වගකීම් සහගතව කිරීමට සැලසුම් ඇති හෙයින් ගැටලු මතුවන්නේ නැත.   
බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුව තමයි කරන්න ඕනේ. දේශීය හෝ විදේශීය ආයෝජකයෙකු සම්බන්ධවෙනවා නම් ඒකට දැන් වර්ග කිලෝ මීටර් 54 ක පමණ භූමියක් වෙන් කරලා තියෙනවා. එහි ගවේෂණයන් කරන්න දෙන්නේ නැහැ. අපි කවුරු හෝ එහෙම තෝරාගැනීමක් කළොත් එයාට විතරයි ඒක කරන්න වෙන්නේ. එහෙම ප්‍රදානය කරනවා නම් රාජ්‍ය මට්ටමින් කරන්න වෙයි. මෙය කුඩා නිධියක් නෙමෙයිනේ. මේක ඇත්තටම කැබිනට් මණ්ඩලය වැනි ඉහළම මට්ටමෙන් අනුමත වෙන්න ඕනේ කාට හෝ ප්‍රදානයක් කරනවා නම්.   


මේ වගේ ප්‍රදේශ ජනාවාසකරණය වුණොත් නිධියක් එහිදී නිධිය සංවර්ධනය කිරීමේ දී ගැටලු මතුවෙනවානේ. ඒ පිළිබඳවත් ඉදිරියේ දී කල්පනා කරන්න ඕනේ. මේ නිධිය උඩ ජනතාව පදිංචිවී සිටින, තවදුරටත් පදිංචි වීමට ඉන්න අය නිසා නිධිය ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි මේ ඔහු පෙන්වා දෙන සෙසු කාරණාය.   
කෙසේ වුවද මෙවැනි කරුණකදී දේශපාලන අතපෙවීම් වැනි අක්‍රමිකතා, රටේ සම්පත් අයථා ලෙස හානියට පත්වීම්, දේශීය විදේශීය අයථා අතපෙවීම් මෙන්ම මෙවැනි කටයුත්තකදී සිදුවන බරපතළ පරිසර හානි ගැනද සුළුකොට තැකිය නොහැකිය.   
විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය එච්.එම්.ටී.ජී.ඒ. පිටවල මහතා   
“සේරුවිල ප්‍රදේශයේ රත්තරන් හමුවීම සම්බන්ධයෙන් තවත් දුරට පර්​ෙ‌ය්ෂණ සිදුවිය යුතු බවයි මගේ අදහස. මෙහි රත්තරන් හැරුණු විට තඹ සහ තවත් මූලද්‍රව්‍ය ගණනාවක් හමුවී ඇති බව වාර්තා වී තිබෙනවා. රත්තරන් එහි තිබීමට හැකියාව පැහැදිලිවම තිබෙනවා. රත්තරන් නිධි බිහිවීම බොහෝ විට සිදුවන්නේ ඔය ආකාරයේ ප්‍රදේශවලයි.ආර්ථික වශයෙන් ඵලදායිතාවක් තිබෙනවාද නැද්ද යන්න දැනගැනීමට නම් තවත් පර්​ෙ‌ය්ෂණ කළ යුතු වෙනවා.   
පොදුවේ ගත්විට කුමන කැනීමක් කළත් පාරිසරික ගැටලු මතුවීමේ ඉඩකඩ තිබෙන බව අප පිළිගත යුතුයි. නමුත් මෙම ප්‍රදේශයේ පාරිසරික ගැටලු ඒතරම් මතු වීමට ඉඩක් නැහැ. විශාල කැලෑවක් වැනි දෙයක් එහි නැහැ. කුඩා පඳුරු වැනි දෑ පමණයි එම ප්‍රදේශයේ තිබෙන්නේ. එහෙත් කැනීම් කරන විට වළවල් හෑරීම් වැනි දෑ සිදුකෙරෙන බැවින් අනිවාර්යයෙන්ම පාරිසරික හානියක් සිදුවෙනවාමයි.   

 

 


එතකොට අපි කියන්නේ නිවැරදිව සොයා බලා විධිමත්ව කරනවා නම් කමක් නැහැ. එසේ නැතුව රත්තරන් තියෙනවා නම් ඒ රත්තරන් ගොඩක් උඩ ඉඳගෙන ඉඳලා වැඩක් නැහැනේ. කැනීම් කරද්දී පොදුවේ මතුවන ගැටලුව තමයි විශේෂයෙන්ම කැනීම් කරද්දී මූලික වශයෙන් පස නිසරුවීම සිදුවෙනවා. ඊළඟට සත්වයන්ගේ, පැළෑටිවල ජෛව විවිධත්වය වෙනස් වෙනවා. භූගත ජලය වෙනස් වීමට ඉඩ තිබෙනවා. ජලය අඩුවීමක් සිදුවිය හැකියි. ජලය බොහෝ තැන්හි එක්රැස් වීම නිසා මදුරුවන් බෝවීම වැනි දෑ සිදුවීමට ඉඩ තිබෙනවා. නමුත් මේ සියල්ල විසඳා ගත හැකි ප්‍රශ්නයි. දැන් ලෝකය දියුණු වී තිබෙන නිසා සියල්ල ඵලදායි ලෙස තමයි කරන්නේ.   සේරුවිල ප්‍රදේශය රත්තරන් හමුවීමත් සමග ඔබ නගන ප්‍රශ්නය අනුව එම ප්‍රදේශයේ ජලයටත් කිසියම් හානියක් සිදුවීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. ආම්ලික ජලයක් එකතු වීමට ඉඩ තියෙනවා.   
පාරිසරික හානි අවම කරගැනීමට සඳහා පාරිසරික ක්‍රමවේදයන් අනුගමනය කර එය සිදුකර ගැනීමට හැකියාව තිබෙනවා. උදාහරණයක් ගත් විට මිනිරන් සම්බන්ධ කැනීම් කරන විටදි හානි සිදුවෙනවා. නමුත් ඒවා අවම කර ගැනීමට හැකියාව තිබෙනවා.   


මෙය ආර්ථික වශයෙන් ගත්විට ඉතාම වැදගත් කරුණක් බව කිවයුතුයි. ලංකාවේ රත්තරන් යම් ප්‍රමාණයකින් හෝ තිබිම ලංකාවේ ආර්ථිකයට ලොකු වැදගත් කාරණයක් බව කිව යුතුයි. ලෝකයේ රටවල් ගත්විට සමහර වෙලාවට ටොන් ගණනකින් මිලිග්‍රෑම් ගාණක් තිබුණත් වාසියි. ඒ ප්‍රදේශය අනුව පාරිසරික හානියක් නැති කුඩා බිම් ප්‍රමාණයක තිබුණත් එතරම් විශාල හානියක් නැහැ.   


සේරුවිල හැරුණු විට බලංගොඩ ප්‍රදේශයේ විශේෂයෙන්ම රත්තරන් තියෙන බව වාර්තා වී තිබෙනවා. සේරුවිල රත්තරන් තියෙනවා යැයි කියන ප්‍රදේශය ගත්විට මට සියයට සියයක්ම විශ්වාසයක් නැහැ. ඒ පර්​ෙ‌ය්ෂණ කටයුතු සම්බන්ධයෙන් තවම සෘජු මැදිහත්වීමක්, සොයා බැලීමක් මම කර නැහැ. සාමාන්‍යයෙන් ගත්විට ගල්වල ඉතාම කුඩා කුඩා ප්‍රමාණයෙන් රත්තරන් තියෙනවා. සමහර වෙලාවට රත්තරන් දියවෙලා දියවෙලා ගිහිල්ලා අන්තිමට තැන්පත් වෙනවා. ඇළවල්වල මිනිස්සු ගරන්නේ, අන්න ඒ විදියටත් තියෙන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් බළංගෙඩ ප්‍රදේශයේ තියෙන්නේ රත්තරන් නිධිද කෙළින්ම විස්තරයක් සොයන්න බැහැ. වැලි නිධිවල, ගංගාවල තැන්පත් වීමෙන් පසු තමයි ඒවා එකතු කරන්නේ.   


කවුරුන් කෙසේ කීවද රන් ආකර මෙන්ම දියමන්ති තිබෙන අප්‍රිකාවේ, කොංගෝව වැනි රටවල එම ධනය රටේ ජනතාව අතට පත් නොවී ධනපතින් සහ ප්‍රාග්ධන හිමියන් අතට පත්වී ජනතාව දරිද්‍රතාවයේ පතුලේ තවමත් සිටින බැවින් මේ සියල්ලද අප කල්පනාවට ගත යුතුව ඇත.   

 

 

පද්මිණි මාතරගේ