සේනා දළඹුවා වී වගාවට ගියොත් අපේ කෘෂිකර්මය කම්මුතුයි


 

 

තිස් වසරකට වැඩි කාලයක් තිස්සේ උතුරු නැගෙනහිරින් මතුවූ ත්‍රස්තවාදී හමුදාව දකුණට කඩා වැදී මානව සංහතියට විවිධාකාරයේ තාඩන පීඩන සිදු කළහ. මේ හිංසාකාරී තත්ත්වයෙන් අත්මිදී ජනතාවට සැනසිල්ලේ කලදවස ගෙවන්නට ඉඩ ලැබුණේ ටික කාලයකි. ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ කෘෂිකර්මාන්තයට දැන් ‘සේනා’ නම්වූ දළඹු හමුදාව කඩා වැදී කරගෙන යන විපත්තිය ත්‍රස්තවාදී විපතටත් වඩා අන්තරායකාරීය. මෙම විනාශකාරී දළඹු හමුදාව ගොවිබිමෙන් පිටුදැකීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් විවිධ උපායමාර්ග ගොවිබිමට හඳුන්වා දී ඇතත් මොවුන් අතිධාවන වේ​ගයෙන් බෝවන නිසා මර්දන කටයුතු දිගින් දිගටම නොකඩවා කරගෙන යා යුතු බව සේනා දළඹු හමුදාව සමඟ සටන් වැදී සිටින කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය ඩබ්.ඇම්. වීරකෝන් මහතා අවධාරණය කරයි.   


අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්කවල සේනා දළඹු හමුදාව මර්දනය කිරීමේ පුළුල් කාර්ය සාධනයක නිතර වී සිටින මහඉලුප්පල්ලම බෝග සංවර්ධන හා පර් යේෂණ ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන මහත්මිය මේ සේනා වසංගතය පිළිබඳව මෙසේ කරුණු පැහැදිලි කළාය.   


“සේනා දළඹුවාගේ නිජබිම ඇමෙරිකාවේ නිවර්තන හා උප නිවර්තන කලාප බව දැන් හඳුනාගෙන තිබේ. මෙම දළඹුවා ඇමෙරිකාවේ උපත ලැබ 2016 දී අප්‍රිකාව, මධ්‍යම අප්‍රිකාව, සිම්බාබ්​ෙව්, සැම්බියාව යන රටවලට කඩා වැදී ඇත. ඊළඟට 2018 දී ඉන්දියාවට බොවී ඇත. ඉන්දියාවෙන් 2018 ඔක්තෝබර් මාසයේදී ලංකාවට සංක්‍රමණය වී ඇත. අපේ රටේ මේ වනවිට අනුරාධපුර මුල්කොට අම්පාර, මොණරාගල, කුරුණෑගල යන දිසාවල සේනා දළඹුවා ව්‍යාප්ත වී සිටී.   


සේනා දළඹුවා දැනට බෝවී ඇත්තේ බඩඉරිඟු ගසටය. බඩඉරිඟු ගසේ කොළ සහ කරල් කතුරකින් කපන්නාක් මෙන් මොහු දවසට දෙකට කාගෙන කා​ෙගන යයි. මොහු නිරතුරුව කුසගින්නෙන් දැවෙන සතෙකි. මේ දළඹුවා බඩඉරිඟුවලින් නවතින්නේ නැත. කුරහන්, වී, උක්, සෝයා, කව්පි, මුං, ඉදල් ඉරිඟු, ගෝවා, බීට්, රටකජු, ලූණු, තක්කාලි, අර්තාපල් යන සෑම බෝගයකටම කඩා වැදී ටික දිනකින් මුළු වගාවම පාළු කරමින් ගිල දමති. කෘෂිකාර්මික රටක් වශයෙන් ගත් කල අප වඩාත් ඉක්මනින් මෙම දළඹුවා වගාබිමෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වී තිබේ.   


මෙම සේනා දළඹුවාගේ සුහුඹුල් සලබයාට එක් රැයකට කිලෝමීටර් සියයක් පමණ දුර පියාඹා යා හැකිය. එසේම මොහුට වසර පුරාම ජීවත්වීමේ හැකියාව ඇත. එක් වසරක් තුළ පරම්පරා කීපයක් ජනනය කරන අතර වරකට බිත්තර කැදලි පනහේ සිට දෙසීය දක්වා ප්‍රමාණයක් නිකුත් කරයි. එයින් ජීවීන් 1000ත් 1500ත් අතර ක්ෂේත්‍රයට එකතු වේ. බෝවීම ඉතාමත් ඉක්මන් නිසා මොවුන් වඳකිරීමේ කටයුතු දීර්ඝ කාලීනව අඛණ්ඩව කරගෙන යාමට සිදුවේ.   


මෙම දළඹුවාගේ ජීවී අවස්ථා තුනක් පවතී. මුල්ම අවස්ථාව ‘පිලාවන්’ හැටියට පස තුළ රැඳී සිටීම. දෙවෙනි අවස්ථාව ‘කීටයා’ වශයෙන් නිර්මාණය වී බෝග කා දමා විනාශ කිරීම, තුන්වෙනි අවස්ථාව වශයෙන් ‘සලබයෙකු’ ලෙස පියාසර කරමින් විශාල ප්‍රදේශයක වර්ගයා බෝ කිරීම යන අවස්ථා තුළ මොහු ජීවත් වෙයි.   

 


මෙම දළඹුවා පාලනය කිරීම සඳහා පහත දැක්වෙන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ඵලදායක වේ.   


නිසි කලට කන්න පටන් ගැනීම සහ එක යායේ කවුරුත් එකවර ගොවිතැන් කිරීම   
• අස්වනු නෙළීමෙන් පසු බෝගයේ මැඩුවන් පුළුස්සා විනාශ කිරීම සහ පසේ ගාල්වී සිටින පිලාවන් විනාශ කිරීම සඳහා ගොවිබිමේ පස ගැඹුරට සී සෑම   
• රසායනික පොහොර යෙදීමේදී නිර්දේශිත ප්‍රමාණය පමණක් යෙදිය යුතු අතර නයිට්‍රජන් පොහොර අඩුවෙන් යෙදීම   
• ක්ෂේත්‍රය අවට වල්පැළ මර්දනය කිරීම   
• හානිය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම සඳහා වගාව ආරම්භයේ සිටම සතියකට දෙවරක්වත් බෝගය පරීක්‍ෂා කර පළිබෝධකයාගේ බිත්තර කැදලි එකතු කොට විනාශ කිරීම   
• වගාව ආරම්භ​ෙය්දීම මෙම දළඹුවා කොටුකර ගැනීම සඳහා පෙරමෝන උගුල් යෙදීම (කෘෂිකර්ම උපදේශක මහතුන්ගෙන් උපදෙස් ලබාගත හැකිය.)   
• අළු, සියුම් වැලි වැනි දේ හානිය පටන්ගෙන ඇති බඩඉරිඟු පැළවල ගොබය තුළට දැමීම   
• කොහොඹ ඇට නිස්සාරය යෙදීම (ජලය ලීටර් 10කට කොහොඹ ග්‍රෑම් 300ත් 500ත් අතර ප්‍රමාණයක් යොදා මිශ්‍රණය සාදාගෙන පැළවලට ඉසීම)   
• බෝග මාරුව හා මිශ්‍ර බෝග වගාව   
• පසට කාබනික පොහොර යෙදීම   
• පළිබෝධකයාගේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආසාදිත ශාක කොටස් වෙනත් ප්‍රදේශවලට ගෙනයාමෙන් වැළකීම   


වගාව තුළ හානිය දුටු වහාම ක්ෂණික ක්‍රියාකාරීත්වයක් ඇති ස්පිනොටරම්, එමමෙක්ටින් බෙන්සෝ ඒට් හෝ ක්ලොරැන්ටුනිලිප්‍රෝල් යන කෘමිනාශකයක් යෙදීම සුදුසුය. එකම කෘමිනාශකය නිතර භාවිතා කළොත් දළඹුවා ඊට ඇබ්බැහිවෙන නිසා දින 7කට වරක් වෙනත් ක්‍රියාකාරීත්වයක් ඇති කෘමිනාශකයක් යෙදිය යුතුය. පරම්පරාව නිරතුරුව බෝවන නිසා දළඹුවා මුළුමනින් වඳවී යනතුරුම දින 7කට වරක් බැගින් කෘමිනාශක යෙදිය යුතුය. මේ සඳහා යොදා​ගත හැකි කෘමිනාශක වර්ග කීපයක් පහත දැක්වේ.   


ස්පිනොටරම්, ස්පිනෝසාඩ්, එමමෙක්ටින් බෙන්සො ඒට්, එකොපෙන්පොක්ස්, ප්ලුබෙන්ඩියාමයිඩ්, ක්ලොරැන්ටුනිලිප්‍රෝල්, ටෙබුපොනොසයිඩ්, ක්රෝමෝපොනොසයිඩ්, නොවැලියුරෝන්, බිස්ට්‍රිප්ලුරෝන්, ලුපෙනි යුරෝන්.   


​ෙම්වා යෙදීමේදී ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හමුවී උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙබඳු කෘමිනාශක යෙදීමට අවශ්‍යවන වගාවන් පරීක්‍ෂා කර බලා ඒවාට අවශ්‍ය කෘමිනාශකවලින් අඩක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නොමිලේ ගොවීන්ට ලබාදීමට පියවර ගෙන ති​ෙබ්. තමන්ගේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හමුවී මෙම සහනාධාරය ගොවීන්ට ලබාගැනීමට පුළුවන.”


මේ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කළ මහඉලුප්පල්ලම බෝග පර් යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය මාලිමා පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය.   
“මෙතෙක් ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයට සේනා දළඹුවා තරම් ආක්‍රමණශීලී නිරෝධායන පළිබෝධකයෙක් හමුවී නැහැ. සේනා දළඹුවා යකෙක් වගේ දුටු දුටු බෝග විනාශ කරනවා. මොහු වඳ කිරීමත් අමාරුයි. යුහු යුහුව විශාල වශයෙන් බෝවීම සිදුවීම නිසා එක්වරම වඳකර දැමීම අපහසුයි. කෙසේ වුවද දින හතෙන් හතට අඛණ්ඩව කෘමිනාශක යෙදීමෙන් සහ දිනපතා වගාව ගැන සෝදිසියෙන් කටයුතු කිරීමෙන් පාලනයක් ඇති කිරීමට පුළුවන්. අපේ ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන මහත්මියට අමතරව නිතර දෙවේලේ අපේ ආයතනයේ පර් යේෂණ නිලධාරීන් මේ ගැන අවදියෙන් කටයුතු කරනවා. අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලින් සේනා දළඹුවා පිටමං කිරීමට අපේ ආයතනය කැපවී කටයුතු කරනවා.”


සේනා දළඹුවාගේ දීපව්‍යාප්ත උවදුර ගැන කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය ඩබ්.එම්.එම්. වීරකෝන් මහතා මෙසේ තොරතුරු හෙළි කළේය.   
“මේ වකවානුවේ දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ අවධානය යොමුවී ඇත්තේ සේනා දළඹුවා වගාබිමෙන් ඉවත් කිරීම පිළිබඳවයි. දැනටමත් මේ සඳහා කාර්යසාධක බළකායක් පත්කර තිබෙනවා. කෘෂි නිලධාරීන්, පර් යේෂණ නිලධාරීන් වගා ක්ෂේත්‍රවල ගැවසෙමින් සේනා දළඹුවා මර්දනය කිරීමේ කටයුතු කරගෙන යනවා. මේ සඳහා ගොවීන්ට සහාය වීමක් වශයෙන් වගාවට යෙදිය යුතු කෘමිනාශකවලින් අඩක් දෙපාර්තමේන්තුව මගින් ගොවීන්ට ලබාදීමට පියවර ගෙන තිබෙනවා. තම තමන්ගේ ප්‍රදේශවල කෘෂිකර්ම නිලධාරීන් හමුවීමෙන් මේ සහනාධාරය ලබාගන්න පුළුවන්.   


සේනා දළඹුවා කෘෂි ක්ෂේත්‍රයෙන් වඳකර දැමීම සඳහා අපේ පර් යේෂණ නිලධාරීන් දිගටම පර් යේෂණ කරගෙන යන අතර දැනට මොවුන් ක්ෂණිකව විනාශ කිරීම සඳහා කෘමිනාශක යොදා ගන්නවා. දේශීය කෘෂිකර්මය ගැන කැපවී කටයුතු කරන තිලක් කන්දෙගෙදර මහතා සේනා දළඹුවා මර්දනයට අළු යෙදීම සුදුසු බව යෝජනා කර තිබෙනවා. ඒවාත් අපි දැන් ක්ෂේත්‍රයට යොදා ගන්නවා.   


අළුවලිනුත් යම් පමණකට පාලනයක් සිදුවන බව පෙනෙනවා. කෙහොමත් අත්හදා බැලීම් කර කර ඉන්න වෙලාවක් නෑ. මොවුන් අසුරු සැණින් බෝවෙනවා. මේ නිසා දැනට අපි වෙනත් විකල්ප සොයා ගන්නා තුරු එක දිගට කෘමිනාශක භාවිත කරන්න ගොවීන්ට උපදෙස් දෙනවා. සේනා දළඹුවා සේනාවත් රැගෙන වී වගාවට ගියොත් හෙම ​අපේ කෘෂිකර්මය කම්මුතුයි. මේ නිසා දෙපාර්තමේන්තුවේ උපරිම ශක්තිය යොදලා මේ අවස්ථාවේ මෙම නපුරු දළඹුවා වඳකර දැමීමට කැපවීමෙන් කටයුතු කරනවා.”   

 

 


සටහන-ඡායාරූප : 
රත්න බී. ඒකනායක