සූරිනාම් රටේ චීන ආක්‍රමණ


වළපල්ලට ගිය රටවල්

 

වළපල්ලට ගිය රටවල් යයි කියන්නේ ආර්ථිකය කඩා බිඳ වැටී බංකොළොත් වූ රාජ්‍යයන්ය. මා මෙතෙක් ලියූ බොහෝ අරාජික රටවල පාලකයින් තම රට ගැන ලොවට පෙන්වන්නේ වැරදි චිත්‍රයකි. මේ බොහෝ රටවල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සරු බිමක් නිර්මාණය කර තිබුණි. ඒවායෙහි මානව ගැටලු උග්‍රවෙමින් පැවතිණි. ඒවායෙහි පාලකයින් විසින් තම රට වැසියන්ගේ පැවැත්ම දුෂ්කර හා දුක්ඛිත තත්ත්වයට පත් කර තිබුණි.  


එම දේශයන්හි ප්‍රශ්න අවුල්ය. සංකීර්ණය. පාලකයින් වගකීමකින් තොර අවස්ථාවාදීන්ය. ආර්ථිකයේ ඇතිවී තිබෙන කඩා වැටීම ජනතාව පිට පැටවීම ඔවුන්ගේ අරමුණය. මොවුන් හිතුවක්කාර පාලකයින්ය. එම දේශයන්හි ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම පැවරී ඇති අධිකරණය අයාලේ යාම ජනතාවගේ කරුමයකි.  


මෙවැනි බො​හෝ රටවල සිදුවන්නේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන්ය. හතරගාතේ යන ආර්ථිකයට මුහුණදීමට නොහැකිව ජන ජීවිතය සුනුවිසුනු වීම කොතරම් අනුවේදනීයද? අදත් මෙම තීරුවෙන් හඳුන්වනු ලබන්නේ දකුණු ඇමෙරිකාවේ පිහිටි තවත් කඩා බිඳවැටුණු රාජ්‍යයකි. ඒ සුරිනාම් (SURINAME) රාජ්‍යයයි. සුරිනාම් ජනරජයයි.  


මේ රටේද සිටින දේශපාලකයින්ගෙන් බහුතරය ක්‍රියාකරන්නේ පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳීමට නොවේ. තම ඥාතීන්ගේ හිතවතුන්ගේ සහ ආධාරකරුවන්ගේ ප්‍රශ්න විසඳීමයි. ලංකාව වැනි බොහෝ රටවල් අගාදයට ඇද වැටෙන්නේ මෙවැනි ක්‍රියාදාමයන් නිසාය.  


සුරිනාම් රටේ චීන ආක්‍රමණය  


පෘථිවියෙන් සියයට 13 ක කොටසක් දකුණු ​ඇමරිකාවට අයත්ය. දකුණු ඇමෙරිකානු රටවල මුළු ජනගහණය මිලියන 639 කි. සුරිනාම් දකුණු ඇමරිකාවේ කුඩාම රටකි. මේ රට නෙදර්ලන්තයෙන් නිදහස ලබාගත්තේ 1975 වසරේදීය.  


සිවිල් යුද්ධ හා ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණ තුළින් ආපස්සට ගිය රටකි. ලන්දේසි භාෂාව (DUTCH) ඇතුළු භාෂා 16 ක් කතා කරන ජන වර්ග මේ රට නිජ භූමිය කරගෙන සිටිති. ප්‍රංශ, ගිනියා සහ ගයනා යන රටවලට මැදිව පිහිටා ඇත. විශාලත්වය ව.කි.මී. 163821 ක් හෙවත් ව.සැ. 63252 කි. ජනගහණය පන්ලක්ෂ හැටදහසකට මදක් වැඩිය. (558368) පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 51 කි. වත්මන් ජනපති දේසි බූටර්ස්ය. (DESI BOUTERSE). අගමැතිවරයෙක් නැත.  


මෙහි මුළු ජනගහණයෙන් සියයට 47 ක් පමණ අන්ත දුගී අසරණයින්ය. ඔව්හු දරිද්‍රතාවයෙන් පෙළෙති. ලතින් ඇමෙරිකානු රටවලින් මුස්ලිම් ජනගහණය වැඩිම රට සුරිනාම්ය. මෙහි මුස්ලිම් ජනගහණය සියයට 13.9 කි. ඕලන්ද භාෂාව මෙහි රාජ්‍ය භාෂාවයි.  


මෙම රටේ විවිධ ව්‍යාපෘතිවල සේවය සඳහා පැමිණි චීන ජාතිකයින් යළි චීනයට නොගොස් මෙහිම පදිංචිවී සිටීම රටට විශාල හිසරදයක් වී තිබේ. එසේ මෙහි සිටින චීන ජාතිකයින්ගේ සංඛ්‍යාව දස දහස් ගණනකි. චීන ආක්‍රමණය මෙහි ක්‍රමානුකූලව සිදුවෙමින් පවතී. ඊට උඩගෙඩි දෙන්නේ මෙහි සිටින ඇතැම් දේශපාලකයින්ය.  


රටේ දිස්ත්‍රික්ක 10 න් දිස්ත්‍රික්ක 5 කට සෞඛ්‍ය, අධ්‍යාපන, ගමනාගමන, විදුලිය ආදී පොදු පහසුකම් සැපයීමට රජය අපොහොසත්ව සිටී. ළමා ශ්‍රමිකයින් (CHILD LOBOR) වැඩියෙන්ම සිටින රටකි. අවුරුදු 5 ත් 15 අතර වයසේ දරු දැරියන් වගා බිම්වල සහ විවිධ වැඩබිම්වල සොච්චම් මුදලක් සොයා ගැනීම සඳහා ශ්‍රමය වැය කරන අයුරු දැකගත හැක. මෙසේ වැඩබිම්වල දහඩිය වගුරුවන ළමා ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 40,000 කට වැඩි බව පවසන්නේ ඇම්නස්ට් ඉන්ටර්නැෂනල් ආයතනයයි.  


ලිංගික අපරාධ විශාල වශයෙන් සිදුවන රටකි. ළාබාල දැරියන්ට ලිංගික අතවර සිදුකිරීම මේ රටේ සාමාන්‍ය සිද්ධියකි. කාන්තා හිංසනය උග්‍රව පවතී. මත්ද්‍රව්‍ය ජාවාරම් බහුලව සිදුවේ. ඒවා මර්දනය කිරීමට රජය නිසි පියවර ගෙන නැත. පාතාල කල්ලි සිදු කරන අපරාධ ජනතාවගේ සාමකාමී දිවි පෙවෙතට තර්ජනයකි. සුරිනාම් දූෂණයෙන් පිරුණ රටකි. දේශපාලකයින්ගෙන් බහුතරය දූෂිතයින්ය.  

 

සුරිනාම් හි දුක් විඳින ජනතාව

 

 


සුරිනාම් පොළවෙන් රත්තරන් අතුරුදන්  


විරැකියාව උග්‍රවී ඇති නිසා මෙහි තරුණ අසහනය උග්‍ර වී පවතී. රැකියා නොමැති තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව 165000 කට අධිකය. ඔවුන්ට වෙනත් රටවලට යාමට නොහැකි වීම නිසා මොවුන්ගෙන් බොහෝදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට පෙළඹී සිටිති.   


තරුණ අසහනය තුරන් කිරීමට මෙතෙක් බලයට පත්වූ කිසිදු රජයක් නිසි පියවර ගෙන නොමැත. මේ රටේද පාලන බලය හිමිවන්නේ වැඩියෙන් සල්ලි තිබෙන ​හොර ජාවාරම්කරුවන්ටය. පාසල් නොයන ළමයින්ගේ සංඛ්‍යාව 50,000 කට වැඩි බව වාර්තා වේ. මා මේ සඳහන් කළේ මේ රටේ වත්මන් තත්ත්වයෙන් බිඳක් පමණකි.  


මෙය දිනකට බොරතෙල් බැරල් 16,200 ක් නිපදවූ රටකි. රටේ ප්‍රදේශ කීපයකම රත්රන් ඉල්ලම් ඇත. රත්රන් පිට පටවා ආදායම් ඉපයූ රටකි. තෙල් ළිං සහ රත්රන් ඉල්ලම් මෙහි පාලකයින් විසින් තම හිතවත් විදේශ සමාගම්වලට බදුදීම තුළින් මහා පරිමාණයෙන් වංචා සිදුවූ රටකි. දූෂිත දේශපාලකයින් මහජන දේපොළ විකුණා කෑම තුළින් රට කාබාසිනියා වී තිබේ.  


තම රටේ ධන සම්පත්වලින් ඵල ප්‍රයෝජන ලබාගන්නේ එම රටේ පුරවැසියන් නොවේ. විදේශිකයින්ය. පාලකයින් විසින් රට විදේශිකයින්ට කෑලි කෑලි වලට විකුණා අවසන්ය. මේවා සිදු කෙරෙන්නේ පොදු ජනතාවගේ ඇස් වසමින්ය.  


මිනීමරා ජනපතිවූ ඝාතකයා 

 
මෙහි හිටපු පාලකයින්ගේ දූෂිත ක්‍රියා සවිස්තරාත්මකව සඳහන් කිරීම මෙවැනි කෙටි ලිපියකින් කළ හැකි පහසු කාර්යයක් නොවේ. රට අගාධයට ඇද වැටීමට වත්මන් ජනපතිවරයාගේ ක්‍රියා කලාපය බෙහෙවින් ඉවහල් වී ඇති බව පෙනේ. 1980 සිට 1987 දක්වා සුරිනාම්හි හමුදා පාලනයක් ගෙන ගියේ වත්මන් ජනපති බූටර්ස්ය.  
1982 දී ඔහුට එරෙහිව ක්‍රියා කළ රටේ විරුද්ධ පක්ෂ නායකයින් 15 දෙනෙකු ඝාතනය කිරීම ඔහුට එරෙහිව එල්ල වූ ප්‍රධාන චෝදනාවකි. මෙම ඝාතන සම්බන්ධයෙන් ඔහුට අධිකරණයෙන් සමාව ලැබුණේය. නැතහොත් නීතියේ දෙවඟන ඔහුගේ බලපරාක්‍රම හමුවෙහි දණගැසුවාය.  


ජනපතිගේ කුඩු බිස්නස්  


කොකේන් කිලෝග්‍රෑම් 474 ක් තම සන්තකයෙහි තබාගෙන සිටීම, ඒවා විදේශ රටවලට ප්‍රවාහනය කිරීම ආදී චෝදනා රැසක් යටතේ ඔහුට එරෙහිව නෙදර්ලන්ත අධිකරණයෙහි නඩුවක් විභාග විය. මෙම නඩුව විභාග වූයේ ඔහුගෙන් තොරවය. තීන්දුව වූයේ අවුරුදු 11 කට නෙදර්ලන්ත අධිකරණයෙන් ඔහුට සිර දඬුවමක් නියමවීමයි. මෙම නඩු තීන්දුව ඔහු සත පහකට මායිම් කළේ නැත.  


රාජ්‍ය නායක වරප්‍රසාදවලට මුවාවී ඔහු රට පාලනය කිරීමේ කටයුතු දිගටම කරගෙන ගියේය. ජනතා උද්ඝෝෂණ මැඩ පැවැත්වූයේ භීෂණය හා මර්දනය තුළිනි. අද 75 වැනි වියේ පසුවන මෙම මහලු පාලකයා රොස්බෙල් (ROSEBEL) රත්රන් ඉල්ලම මාර්ගයෙන් ගසා කෑ අයුරු මාධ්‍ය මගින් හෙළිදරව් කරන ලදී. රොස්බෙල් රන් ඉල්ලම් නැත්තටම නැතිකර සුද්ධ කළේ ඔහු සහ පවුලේ උදවියයි.  


ඔහු 1985 වසරේ රටේ විරුද්ධ දේශපාලන පක්ෂ තහනම් කළේය. විශ්වවිද්‍යාල සිසුන්ගේ රජයට එරෙහි උද්ඝෝෂණ දෙගුණ තෙගුණ වීම නිසා විශ්වවිද්‍යාල සියල්ල වසා දැමුවේය. විරුද්ධවාදීන් අතුරුදන් කළේය. ඔහු තම ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට සහය ලබාගත්තේ වැනිසියුලාව, ලිබියාව, කියුබාව, ග්‍රෙනේඩේ යන රටවලිනි.  


සිරභාරයට ගිය ජනපති පුතා  


ඔහුගේ පුත්‍රයා ඩීනෝ බූටර්ස්ය. (DINO BOUTERSE) රටේ මත්කුඩු ජාවාරම් මෙහෙයවූ ප්‍රධානියා ඔහු බව කියනු ලැබේ. ජනපති තාත්තා තම පුතාට රටේ බුද්ධි අංශවල මෙහෙයවීම පැවරුවේය. මත්කුඩු ජාවාරම්වලට වැරදිකරුවූ ඔහුට අධිකරණය මගින් වසර 8 ක සිර දඬුවමක් නියම කරන ලදී.   


තාත්තා ජනපති බලය යොදවා පුතා සිරභාරයෙන් නිදහස් කර ගත්තේය. යළිත් ඔහුව රජයේ ඉහළම තැනකට පත් කළේය. සුරිනාම් රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ මෙහෙමය. සුරිනාම්හි ප්‍රජාතන්ත්‍රවාදයට කණකොකා හැඬවූ අයුරු පෙන්වීමට තවත් උදාහරණ බොහෝ ඇත.  


එහෙත් මේ ජනපතිවරයාගේ පුත්‍රයාට වැඩි කල් රජයේ ඉහළම තනතුරක් දරමින් මත්කුඩු ජාවාරම්, අවි ජාවාරම්, මුදල් විශුද්ධිකරණය (MONEY LAUNDERING) පාතාල කල්ලි මෙහෙයවීම වැනි ජන නාශක ක්‍රියාවන්හි නිරතවීමට ඉඩ ලැබුණේ නැත. රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් (PASSPORT) යොදාගනිමින් රට රට වලට යමින් මත්කුඩු ප්‍රවාහනය කරද්දී 2013 අගෝස්තු 29 දා ඔහු ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ඇමෙරිකා එෆ්.බී.අයි (FBI) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.  


ඔහුට එරෙහි නඩුව විභාග වූයේ නිව්යෝර්ක් අධිකරණයේය. නිව්යෝර්ක් අධිකරණය ඔහුට වසර 16 ක සිර දඬුවමක් නියම කරන ලදී. ජනපති තාත්තාත් පුතාත් පාඩමක් ඉගෙන ගත් අවස්ථාවකි මේ.  


ජනපතිගේ දෙවැනි පුතාත් හිරබාරයට  


සුරිනාම් ජනපතිගේ තවත් පුතෙකු වූයේ රොමානෝය (ROMANO) ඔහුට මිනීමැරුම් හා මංකොල්ලකෑමේ චෝදනා එල්ල විය. චීන ජාතිකයෙකුට අයත් දේපොළ කොල්ල කෑ බව ඔහුට එල්ල වූ චෝදනාවකි. එම චෝදනාවලට වැරදිකරුවූ සුරිනාම් ජනපතිගේ ඊළඟ පුතාට වසර 15 ක සිරදඬුවමක් නියම විය.  


සුරිනාම් හි 8 වැනි ජනපති වූ දේසි බූටර්ස් තම පුත්‍රයින්ට රටේ කිරුළ බාරදීමට පෙරුම් පුරමින් සිටියේය. දැනට යථෝක්ත හේතූන් නිසා එය වැළකී ගොස් ඇතත් අනාගතයේදී එය සැබෑවිය හැකිදැයි දැන්ම අනාවැකි ඉදිරිපත් කළ නොහැක.  


අද සුරිනාම්හි මුළු ජනගහණයෙන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අතේ පිච්චියක් වත් නැති දිළින්දෙකි. රට පුරා ඒඩ්ස් රෝගය හිස ඔසවා ඇත. ඉන් මියයන්නන්ගේ සංඛ්‍යාව අතිවිශාලය. මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින්ගේ සංඛ්‍යාව අතිමහත්ය. ජනතාව කුසගින්නේ මෙන්ම විවිධ ලෙඩ රෝගවලින් එලොව යද්දී මෙහි පාලකයින්ට රජ මඟුල් ය.  


ත්‍රස්තවාදීන්ට අතදුන් තවත් රටක්  


එමෙන්ම මෙහිදී තවත් විශේෂ යමක් සඳහන් කළ යුතුමය. හිස්බුල්ලා (HEZBULLAH) නමැති ත්‍රස්තවාදී සංවිධානය බිහිවුණේ ලෙබනනයේය. පසුව එය මුලින්ම මැද පෙරදිග රටවල් රාශියක ව්‍යාප්ත විය. මෙම සංවිධානයේ සිටිනුයේ තිරිසන් ක්‍රියා සිදුකරන ආගමික අන්තවාදී ඉස්ලාම් ගරිල්ලා ත්‍රස්තවාදීන්ය. සුරිනාම් රාජ්‍යයද මෙම ත්‍රස්ත කල්ලියේ ආරක්ෂක ස්ථානයකි.  


ඔවුන්ගේ පුහුණුවීම් කටයුතුවලට අවි ජාවාරම්වලට, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට මේ රට ක්ෂේම භූමියක් වී තිබේ. ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබීම තුළින් මේ රට විනාශයට පත්වෙමින් තිබෙන බව සඳහන් කළ හැක.  


මේ රටේ එක් ජනාධිපතිවරයෙකුගේ පමණක් පැටිකිරිය මෙසේ සඳහන් කරන ලද්දේ රට තිබෙන තැන පෙන්වා දීමට එය හොඳටම ප්‍රමාණවත් වන නිසා ය. මෙවැනි රටවලට කවදා නවෝදයක් උදාවේද? සුරිනාම් වැනි රටවල ජනතාවට කවදා සෙතක් ශාන්තියක් ලැබේද?

 

 

 

සිරි හීන්පැල්ල
නිව්​ෙ‌‌යා්ර්ක් නුවර සිට ලියයි