සුවකළ නොහැකි පිළිකාවකින් පීඩාවිඳි රෝගියාගෙන් උගත් පාඩම


 

මා සේවය කරනු ලබන පුද්ගලික රෝහලේ ‘චැනලින්’ කාමරයේ දොරින් ඇතුළට ආ හෙතෙම වයස අවුරුදු 65 ක පමණ වූ කෙනෙකි. ඔහුත් සමඟ පැමිණි එම වයසේම පෙනුමැති කාන්තාව ඔහුගේ බිරිඳ වූ අතර අනෙක් තරුණ කාන්තාවන් දෙදෙනා වැඩිමහලු දරුවන් දෙදෙනා වූහ. ‘චැනලින්’ කාමරය තුළට ඇතුළු නොවී පිටතට වී සිටි තරුණයා බාල දරුවා වූ අතර ඔහුව ද මා කාමරය තුළට කැඳවා ගතිමි. 


රෝගියා සමඟ පළමු වචනය කතා කරන්නටත් ප්‍රථම වැඩිමහලු දියණිය යැයි සැක සිතිය හැකි කාන්තාව මගේ කනට කොඳුරා ‘ඩොක්ටර් තාත්තා ලෙඩේ දන්නේ නෑ. එයාට ලෙඩේ ගැන මොකුත් කියන්න එපා.’ යැයි මගෙන් බැගෑපත්ව ඉල්ලීමක් කළාය. ඇයගේ ඉල්ලීමට අවනත  වූ බවක් පෙන්වමින් මම මේසය මත තැබූ රෝග වාර්තා ලිපි ගොනු එකින් එක කියවා බලන්නට වීමි. ඉන් අනතුරුව රෝගියාගේ අසරණ දෙනෙත් දෙස දෙස බලමින් ‘ඔයාට දැන් කොහොමද?’ කියා ඇසුවෙමි. 


‘කියන්න තරම් හොඳක් නෑ. මට නම් දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නේ? 


‘ඇයි එහෙම කියුවේ?’ මම පෙරළා ඇසුවෙමි. 


‘එන්න එන්නම අමාරු වැඩිවෙනවා. කිසිම හොඳක් කියන්න නෑ’ 


‘ඔයාට තියෙන අමාරු මට කියන්න පුළුවන්ද? 


‘බඩ පැලෙන්න වගේ කැක්කුමයි. එහෙන් කොඳු නාරටිය පුපුරන්න වගේ. ඔළුව හොඳටම බරයි. තදින්ම කකියනවා. සති ගානකින් හරිහමන් නින්දක් නෑ.’ මෙසේ කියාගෙන යන ඔහුගේ දෙනෙත් තුළින් කඳුළු බේරෙන්නට විය. 


 ‘තාත්තා බය වෙන්න එපා.’ අපි ඩොක්ටර් ගාවට ආවේ ලෙඩේ සනීප කරගන්නනේ.’ මෙසේ කියමින් බාල දියණිය පියාගේ හිස අතගාමින් ඔහු සනසන්නට වූවාය. 


ඔහුට වසර දෙකකට පමණ පෙර ඔහුගේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් හටගෙන ඇති බව සොයාගෙන තිබුණි. 


බොහෝ ප්‍රතිකාරයන්ට ලක්වූ ඔහු තමාට ඇති රෝගය ගැන වැඩියමක් දැන සිටියේ නැත. පසුගිය මාස දෙක තුන තුළදී එම රෝගී තත්ත්වය නැවත උත්සන්න වී තිබූ අතර සිරුර පුරාවටම අස්ථිවලටත්, අක්මාවටත් (මෙය අසාමාන්‍ය පැතිරීමකි) පිළිකාව පැතිරී තිබුණි. මේ තොරතුරු මා සොයාගත්තේ රෝගය පිළිබඳව ඔහු සතුව තිබූ වාර්තා වලිනි. කෙසේ වෙතත් හිසේ කැක්කුමට හේතුව සොයා බැලීමට නොයෙකුත් පරීක්ෂණ කර තිබුණ ද ඒ කිසිවකට ඊට හේතුව සොයා ගැනීමට නොහැකි වී තිබුණි. මාගේ උපකල්පනයට අනුව නම් අනේකවිධ පීඩාවන්ගෙන් වේදනා විඳි ඔහුට නිසි ප්‍රතිකාරයක් ඊට ලැබී නොතිබූ නිසා ඇතිවූ දැඩි චිත්ත පීඩාව මෙලෙස දැඩි හිසේ කැක්කුමක් ලෙසට බාහිරයට නිරූපණය වෙන්නට ඇත. 


 ‘ඔයාගේ වේදනාව මම අඩුකරලා දෙන්නම්. අපිට පොඩ්ඩක් හදිසි ප්‍රතිකාර ඒකකයට (ETU) යන්න වෙනවා.’ 


මාගේ ප්‍රකාශය ගැන දැඩි විශ්වාසයක් ඔහු තුළ දක්නට නොවීය. එසේ නමුත් හදිසි ප්‍රතිකාර ඒකකය තුළදී මෝෂීන් ඖෂධය සමට යටින් දෙන එන්නත් ලෙසට ඔහුට ලබා දුනිමි. ගත වූයේ තත්පර කිහිපයකි. ඔහු පුදුමයෙන් මෙන් මා දෙසත් ඔහුගේම සිරුර දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට විය. 


‘දැන් කැක්කුම කොහොම ද?’ මම ඔහුගෙන් ඇසීමි. 


‘ඩොක්ටර් මට මේක අදහගන්නවත් බෑ. මගේ වේදනාවෙන් සියයට අසූවක් විතර කොහෙන් ගියා ද කියලා හිතා ගන්නවත් බෑ.’ මෙසේ පැවසූ ඔහුගේ මුවේ දැන්නම් යම් සතුටක සේයාවක් රැඳී තිබෙනු මට දිස්විය. 


 ‘හරි. ඔයා පොඩ්ඩක් මෙතනට වෙලා ඉන්න මම ඔයාගේ ගෙදර අයට පොඩ්ඩක් කතා කරලා එන්නම්’ මෙසේ පැවසූ මම ඔහුගේ බිරිඳ හා දරුවන් තිදෙනා පසෙක හිඳුවා ඔවුන් සමඟ කතා කරන්නට වූයෙමි. 


‘ඔයගොල්ලෝ තාත්තට ඇත්ත කියන්න අකමැති ඇයි?’ මම ඇසිමි. 


සියල්ලෝම මදකට නිහඬියාව බිඳිමින් වැඩිමහල් දියණිය මෙසේ පවසන්නට වූවාය. 


‘ඩොක්ටර් තාත්තා දැන් ගොඩක් වයසයි. එයාට මේ වගේ දෙයක් කියුවොත් ගොඩක් දුක හිතෙයි. දරාගන්නවත් බැරිවෙයි. ඒකයි අපි කියන්න කැමැති නැත්තේ’ 


‘ඔයගොල්ලෝ තාත්තට ගොඩක් ආදරේ බව පේනවා. ඒ නිසා තමයි මෙච්චර මහන්සිවෙලා එයාගෙ වේදනාව අඩුකරල දෙන්න හදන්නෙ. හැබැයි ඇත්ත දැනගන්න බැරිව තාත්තට ලොකු පාඩුවක්, අසාධාරණයක් වෙනවා කියලා ඔයාලට හිතෙන්නෙ නැද්ද?’ 


‘ඒ කොහොමද ඩොක්ටර්?’ 


‘ඕනෑම මනුස්සයෙක් තමාට මෙතෙක් වුණේ මොකක්ද? දැන් මොකක්ද වෙන්නේ? ඉදිරියේදී මොනවද වෙන්නේ? කියලා දැනගන්න කැමැතියි. විශේෂයෙන්ම ඔයාලගේ තාත්තා දැන් ඉන්න තත්ත්වයේ වගේ ඉන්න කෙනෙක් නිකමට හිතන්න අපිට මෙහෙම දෙයක් වුණොත් අනිත් අය අපිට ඇත්ත හංගනකොට අපිට මොන තරම් පීඩාවක් ඇති වෙනවද කියලා.’ 


 ‘ඒත් ඩොක්ටර් තාත්තා මේක දැනගත්තා කියලා එයාට වෙන වාසිය මොකක්ද? ජීවිත කාලය අඩුයි කියලා දැනගත්තම දුකක් විතරයිනේ ඇතිවෙන්නේ’ 


‘ඔයගොල්ලෝ හරි. එයාට ගොඩක් දුක හිතෙන්න පුළුවන්. මීට කලින් එයාට මේ වගේ දුකක් ඇතිවෙලා නැද්ද?’ 


‘එයාගේ ලොකු පුතා ඇක්සිඩන්ට් එකකින් නැති වුණාම එයාට ආපු දුක තුනී කරගන්න මාස කීපයක්ම ගියා.’ 


‘හරි, එතකොට එයා ඒ දුක අඩුකරගත්තේ කොහොමද? 


‘අපි ඔක්කොම එයාට දුක අඩු කරගන්න උදවු කළා. එයා ළඟින්ම අපි හැමෝම හිටියා. එයාට ඒක ලොකු හයියක් වුණා.’ 


‘හරියටම හරි. අන්න ඒ වගේ ලොකු උදව්වක් එයාට දැන් ඔයාලගෙන් ඕනෑ කරනවා. සමහර විට එද‌ාටත් වඩා වැඩියෙන්. සමහර විට අපෙනුත් ගොඩක් උදවු ඕනෑ වෙන්න පුළුවන්. අපි ඔක්කොම එකතු වෙලා එයාට උදවු කරමු දුක තුනී කරගන්න.’ 


‘ඒත් ඩොක්ටර් ලෙඩේ ඇත්ත තත්ත්වය දැනගත්තා කියලා එයාට මොකක්ද තියෙන වාසිය?’ 


‘බැරිවෙලාවත් ඔයගොල්ලන්ට මේ වගේ තත්ත්වයක් තිබ්බොත් ඒ ගැන දැනගත්තාම ඔයගොල්ලො මොන වගේ දෙයක් කරයි ද?’ 


මඳ වේලාවක් කල්පනා කරමින් සිටි ඔවුන් මෙසේ පවසන්නට වුණා. 


‘අපිට නම් කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉවර කරගන්න බැරි වුණ වැඩ කොච්චර තියෙනවද?’ 


‘අන්න හරි. තාත්තටත් එහෙම තමයි. එයාට ඉතුරු වෙලා තියෙන කාලය කොහොමද ගත කරන්නේ කියලා සැලසුම් කරන්න පුළුවන්. ඉවර කරන්න බැරිවෙලා තිබුණු වැඩ ඉවර කරගන්න එයාට අවස්ථාවක් ලැබෙනවා ඒකෙන්. හැම මනුස්සයෙකුටම වගකීම් කියලා දෙයක් තියෙනවනේ. අපි හැමෝටම පුළුවන් ඒකට එයාට උදවු කරන්න.’ 


‘අනේ ඩොක්ටර් අපේ තාත්තා ඒ වගකීම් හැම එකකින්ම නිදහස්. අපි ඔක්කොවම බන්දලා දීලා තියෙන්නේ. මල්ලී විතරයි තව ඉතුරු වෙලා ඉන්නේ. එයාත් ගෑනු ළමයෙක් එක්ක යාළු වෙලා ඉන්නෙ. අනික දේපොළ ඉඩකඩම් ඔක්කොම බෙදල දීල තියෙන්නේ.’ 


‘මනුස්සයෙකුගේ ජීවිතේ වගකීම් කියල කියන්නෙ ළමයින්ව කසාද බන්දල දෙන එකයි, දේපොළ බෙදල දෙන එකයි විතරක්ම ද? අපට ලොකුවට පෙනුනෙ නැති වුණාට හැම කෙනෙකුටම ඉවර කරන්න තව වැඩ ගොඩක් තියෙන්න පුළුවන්. තමන් ආස කරන තැන් බලන්න යන්න, හිතවතුන් සමඟ අවසන් සමුගැනීම කරන්න. මේ විදියට අපි නොහිතන ගොඩක් දේවල් තියෙන්න පුළුවන්.’ 


‘අනේ මන්ද?’ මෙසේ කියමින් දරුවන් සහ බිරිඳ එකිනෙකාගේ මුහුණු දෙස බලාගත්හ. 


‘හරි ඩොක්ටර් එහෙනම් ඩොක්ටම කියලා බලන්නකො. හැබැයි එයාට දරාගන්න පුළුවන් විදියට ටික ටික කියන්න.’බොහොම ස්තූතියි ඔයාලගෙ තීරණයට. ලෙඩාට නරකක් වෙන කිසිම දෙයක් මම කියන්නේ නෑ.’ මෙසේ පවසමින් රෝගියාගේ පවුලේ අය සමඟම රෝගියා සිටි තැනට ගියෙමි. 


‘දැන් ඔයාට කොහොමද?’ 


‘පුදුම සැනසීමක් තියෙන්නේ ඩොක්ටර්. ඔයාට ගොඩක් පිං’ 


‘ඔයාගේ ලෙඩේ ගැන මොනවා හරි මගෙන් දැනගන්න ඕනෑද?’ 


‘අනේ ඩොක්ටර්, පිංසිද්ධ වෙයි. මට කියන්න. කිසිම කෙනෙක් කලින් මගෙන් මෙහෙම අහල නෑ.’ 


‘ඔයාට හිතෙන්නෙ ඔයාට මොන වගේ ලෙඩක් තියෙනවා කියල ද? 


‘කලින් ඩොක්ටර්ලා නම් කිව්වේ මුත්‍රා බොක්කට යටින් ගෙඩියක් තියෙනවා කියලා. ප්‍රතිකාර කරාම ඒක හොඳ වෙයි කිව්වා. බයවෙන්න එපා කියලත් කීවා.’ 


‘ඔයාට හිතෙන විදියට ඒ තිබ්බ ගෙඩිය මොන වගේ ගෙඩියක් කියල ද හිතෙන්නේ?’ 


‘අනේ ඩොක්ටර් මම මේ ඇත්තමයි කියන්නේ. මට මුල ඉඳලම ලොකු සැකයක් තිබ්බා. මේක නිකම්ම ගෙඩියක් නම් වෙන්න බෑ. අනික මට බෙහෙත් කරපු වාට්ටුවේ පිරිලා හිටියේ ඔක්කොම පිළිකා ලෙඩ්ඩු. අනික මම මේක කොහොමද මගේ ගෙදර අයගෙන් අහන්නෙ. ඒ අය බයවෙයි කියලා හිතුණා. ඩොක්ටර්ලගෙන් අහන්න කියලා කීප පාරක්ම උත්සාහ කළා. ඒත් ඒකට ඒ අයගෙන් වේලාවක් ගන්නම මට බැරි වුණා. හැබැයි දැන්නම් මට ලොකු සැකයක් තියෙනවා. මේක නිකම් ගෙඩියක් නම් වෙන්න බෑ. ඩොක්ටර් මට තියෙන්නේ පිළිකාවක් නේද? කමක් නෑ. ඩොක්ටර් බය නැතිව කියන්න. මම බයවෙන්නේ නෑ. විඳින්න ඕනෑ දුක් කන්දරා ඔක්කොම මම විඳලා ඉවරයි. ඩොක්ටර්ට පිං සිද්ධ වෙන්න මම දැන් සැනසිල්ලෙන් ඉන්නවනේ.’ 


‘ඔයා හිතපු දේ හරි. ඔයාට තියෙන්නේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක්.’ 


 මද වේලාවක් හැමෝම දැඩි නිහැඬියාවකින් සිටියහ. ඊළඟ මොහොතේ සිදුවන්නේ කුමක්දැයි සැම තුළම තිබුයේ දැඩි සැකයකි.

 
 ‘ඩොක්ටර් මට ඇත්ත කියන්න. මට ගොඩක් කාලයක් නෑ නේද? කමක් නෑ ඩොක්ටර් මට ඇත්තම කියන්න.’ ඔහුගේ දෙනෙතින් කඳුළු වැගිරෙන්නට විය. අසල සිටි බිරිඳ සහ දරුවෝ ද එකිනෙකා පරයමින් කඳුළු වගුරුවන්නට වූහ. සැමගේ ශෝකය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ආකාරය මැනවින් අවබෝධ කරගෙන තිබූ මා අවශ්‍ය තරම් කාලය ඔවුන්ට ඒ සඳහා ලබා දුනිමි. 


 ​රෝගියා තම කඳුළු උරහිසින් පිස දමමින් තම ශෝකය ප්‍රකාශ කිරීමට තමා ලද කාලය ප්‍රමාණවත් බව තම ඉරියව් වලින් මා හට අවබෝධ කරවීය. 


 ‘ඔයා හිතන්නේ කොච්චර කාලයක් තියෙනවා කියලද?’ මම පෙරළා රෝගියාගෙන් ඇසුවෙමි. 


මඳ වේලාවක් නිහඬව සිටි ඔහු නිහැඬියාව බිඳලමින් මෘදු බසින් මෙසේ පැවසීය. 


‘වැඩි කාලයක් නම් වෙන්න බෑ. මට දැන් පටන්ගත්ත කාලෙ වගේ නෙමෙයි ගොඩක් අමාරුයිනේ.’ 


‘ඔව්. මටත් ඒක හරියටම කියන්න අමාරුයි. ඒත් කාලය ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවකට ඒක කෙටි මාස ගණනක් වෙන්න පුළුවන්. හැබැයි අවුරුද්දක් වගේ කාලයක් පසුකරන එක මට හිතාගන්න ගොඩක්ම අමාරු දෙයක්. මේක දැනගත්තහම ඔයාට මොකක්ද හිතෙන්නේ?’ 


‘මොනව හිතන්න ද ඩොක්ටර්. වෙලාව ආවහම ඕනෑම කෙනෙක් යන්න ඕනැනේ. ඒක වළක්වන්න කාටවත්ම බෑ. ඒත් මම දැන් ඒකට බය නෑ. මගේ ජීවිතේ ගොඩක් වැඩ මම ඉවර කරල තියෙන්නේ. 
‘තවත් මොනවා හරි විශේෂ දෙයක්, ආස කරන දෙයක් කරන්න ඉතුරු වෙලා තියෙනවද?’ 


මද වේලාවක් කල්පනා කළ ඔහු මෙසේ පැවසීය. 


දළදා මාලිගාව වැඳගන්න තිබ්බොත් හොඳයි කියල හිතෙනව ඩොක්ටර්’ 


එම ඉල්ලීම ප්‍රායෝගිකව ඉටුකර දිය හැකි අයුරු ගෙදර අය සමඟ සාකච්ඡා කර සැලසුම් කිරීමෙන් අනතුරුව, ඔහුට නිවසේදී ගැනීමට අවශ්‍ය වේදනා නාශක පෙති ද අනෙකුත් ​ඔෟෂධ සහ උපදෙස් ද සපයා ඔවුන් පිටත් කර හැරියෙමි. 


මෙම කථාවෙන් විස්තර කරනුයේ ලංකාවේ පුද්ගලික රෝහලක් තුළ ප්‍රශස්ථ මට්ටමේ සහන සත්කාර සේවාවක් (Palliative Care Survice) ලබා දුන් ආකාරයක්ය. ඉහත එම කතාව කියවීමෙන් අපට උගත හැකි දේවල්​ මොනවාද? 


1. ජීවිත කාලය සීමා කරමින් ජීවිතයට තර්ජනයක් ගෙන දෙන පිළිකා වැනි රෝගවලින් පීඩා විඳින රෝගීන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයට ද, තම රෝගී තත්ත්වය සහ ඒ පිළිබඳ සත්‍ය තොරතුරු අවංක සංනිවේදනයක් තුළින් දැනගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇත. මේ සඳහා ඔවුන් වෙනුවෙන් ප්‍රමාණවත් කාලයක් ලබා දීම ඉතා වැදගත්ය. 


2. පිළිකාවක් වැනි රෝගයක් වැලඳී සුවකළ නොහැකි තත්ත්වයට පත්වූ රෝගියෙකුගෙන් එම සත්‍ය තොරතුරු වසන් කරන මෙන් නෑදෑ හිත මිතුරන් ඉල්ලීම් කරනුයේ එම රෝගියා කෙරෙහි ඇති දැඩි අනුකම්පාව නිසාය. එවන් අවස්ථාවකදී සත්‍ය තොරතුරු දැනගැනීමට රෝගියා දැඩි කැමැත්තකින් සිටී නම් ඔහුට ඒ සඳහා ඇති අයිතිය ඉතා සංවේදී ලෙස පවුලේ අයට අවබෝධ කරදීම ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයාගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වන අතර ඒ සඳහා දැඩි ඉවසීමක්, තර්කශාස්ත්‍රයේ මනා නිපුණතාවක්, ගැටලු නිරාකරණය කිරීමේ ප්‍රශස්ථ හැකියාවක් සහ සංනිවේදනයේ පිරිපුන් බවක් ඔහු සතු විය යුතුය. 


3. ලංකාවේ ගුණාත්මක මරණ දර්ශකය (Quality of Death Index) ඉතා පහළ අගයක පවතියි. වර්ෂ 2015 'The Economist Intncigencl Unit' වාර්තාවට අනුව ලංකාවට ලැබී ඇති අගය සියයකින් 27.1 කි. ලෝකයේ ඉහළම ගුණාත්මක මරණ දර්ශකය මහා බ්‍රිතාන්‍යය සතු වෙන අතර එය 2015 වසරේදී 93.9 කි. රෝගීන්ට තම රෝගී තත්ත්වයන් පිළිබඳ ඔවුන්ගේ ඉල්ලීම මත නිවැරදි තොරතුරු සපයා සුවකළ නොහැකි රෝගීන්ගේ ජීවිතයේ තමන්ට ඉතිරිව ඇති කාලය මනාව සැලසුම් කිරීමට උපකාර කර මනා සහන සත්කාර සේවයක් තුළින් රෝගීන්ගේ වේදනාව ඇතුළු කායික පීඩාවන්ට ද, මානසික, අධ්‍යාත්මික සහ සමාජයීය පීඩාවන්ට ප්‍රායෝගික විසඳුම් ලබා දී ඔවුන් සහනයට පත්කිරීම තුළින් ඔවුහු මෙම තත්ත්වය උද‌ාකරගෙන තිබේ. 


 4. සුවකළ නොහැකි රෝගි තත්ත්වයන්ගෙන් දැඩි පීඩාවන් විඳින රෝගීන්ගේ දැඩි කායික වේදනාවන්ට දිව්‍යමය ඖෂධය වෙන්නේ මෝෆීන්ය. තත්පර කිහිපයකින් කායික වේදනාව මැඬලීමට ඊට හැකි වූ අයුරු මේ කතාවෙන් පැහැදිලි විය. අවාසනාවකට ලංකාවේ මෙවැනි රෝගීන් බොහෝමයකට මෝෆීන් ඖෂධය තම වේදනාවන් මැඩලීමට ලබා ගැනීමේ හැකියාව ඉතා අඩුය. එබැවින් බොහෝමයක් මෙවැනි රෝගීන් තම ජීවිතයේ අවසාන කාලය ගත කරනුයේ ​ඉතා දැඩි වේදනාවන්ගෙන් අසීමිත ලෙස පීඩා විඳිමිනි. මෙවැනි රෝගීන් සඳහා වේදනා නාශකය උදෙසා කොපමණ මොෆීන් ප්‍රමාණයක් භාවිත කර ඇත් ද යන්න එම රටේ සෞඛ්‍යය තත්ත්වය මැන බලන ප්‍රධාන මිනුම් දණ්ඩක් ලෙස භාවිත කරනු ලැබේ. ඒ අතින් ලංකාව ඉතා පහත් මට්ටමක තිබෙන අතර එම තත්ත්වය වෙනස්කර ප්‍රශස්ථ වේදනා නාශකයක් උදෙසා කටයුතු කිරීම සියලුම සෞඛ්‍ය කාර්යය මණ්ඩල රටේ දේශපාලන නායකයින් මෙන්ම ප්‍රජාවද සතු වගකීමක් වන්නේය.

 

 

 

ෂාම ගුණතිලක 
පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය, ආසිරි ශල්‍ය රෝහල.