සුරාවෙන් අන්ධ වූ සිරිපාලගේ කතාව


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරැදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

උහුමීය ගුණතිලක මැටියගනේ මහතා ලියා එවූ කතාවකි.   

අසරණ සතුන්ට දෙතිස් වධ දුන් සීටින්ගේ ඉරණම


සීටින් තරම් කෲර සත්ව වධකයෙකු අප දැක නැත. සීටින්නේ ඉතිහාස කතාවේ අප දන්නා ඇරඹුම නම් ඔහු දරුවන් තිදෙනෙකුට අම්මා කෙනෙකු වූ මැදිවියේ කාන්තාවකට පිහියෙන් ඇන මරා දමා දඟ ගෙට නියම වීමයි.   


ඔහු ඒ කාන්තාව සමග කුමක් හෝ කෝන්තරයක් බැඳගන්ට ඇත. ඔහු පා පැදියක නැගී පාර දිගේ පැද යද්දී දවල් වේලට​ කොස් මඳුළු ගලවමින් සිටි කාන්තාව ඔහුට බැණ අඬ ගසමින් පාරට පැමිණ ඇත. ඔහු තම නිදහසට කරුණු ලෙස නඩුකාර හාමුදුරුවන් ඉදිරිපිට කීයේ මේ ගැහැනිය තමාට පහර දෙමින් සූරමින් යකා නටමින් තම රහස් ප්‍රදේශය අල්ලා අඹරවා ග්‍රහණයට ගත් බවය. ඉතින් මං ඉණේ තියෙන ආයුදේ අරගෙන හොලවන්නේ නැතුව වෙන මොනවා කරන්න ද, හාමුදුරුවනේ? ඒකිගෙ ඔය කොහාට හරි වදින්ට ඇති යනුවෙනි.   


අධිකරණය ඔහු එල්ලුම් ගස් නොයවා වසර කීපයක සිර දඬුවම් නියම කළේය. යහපත් කල්කිරියාව හේතුවෙන් නියමිත කාලය ගෙවෙන්නටත් පෙර හිරෙන් නිදහස්ව පැමිණි සීටින් කරත්ත රස්සාව පටන් ගත්තේය. (සීටින් හිරගෙදරදී සීරු මාරුවට චිත්‍ර අඳින්ට ඉගෙන ගෙන ඇත. ඔහු බෝගම්බර එල්ලුම් ගස හෙවත් පෝරකය චිත්‍රයට නගා තිබූ අපූරුව අපට තවම මතකය).   


ඔහු ගොන් දෙන්නා බඳින බර කරත්තයක් මිලට ගෙන ඊට බටු හරක් දෙන්නෙක් ද මිලදී ගෙන කුලී ප්‍රවාහනය පටන් ගත්තේය. එහෙත් ඔහු උන්ගෙන් වැඩ ගත්තේ ඉතාමත් කෲර අන්දමිනි. බැරි බර පටවා කඳු අඳින්නට උන් මැළි කරන අවස්ථාවල උන් නොමරා මැරුවේය. උන්ගේ වලිග අඹරවා කැඩුවේය. නාස් පුඩුවලට කොච්චි මිරිස් වතුර පිම්බේය. හුළු අතුවලින් උන් පිලිස්සුවේය. ‘‘මෙහිදී අපට සිහියට නැගෙන්නේ ධම්ම පදට්ඨ අටුවාවේ එන කම්මැලි ගවයෙකු පිඳුරු පටලා ගිනි තැබූ එක් පාපතරයෙකුට ආත්ම භව පන්සියයකදීම අහඹු ලෙස ගින්නට ගොඳුරු වී මිය යාමේ විපාකය පල දුන් අයුරුය’’.   


එකල ගම්වල ලෑන්ඩ් මාස්ටර් යන්ත්‍ර නොතිබූ බැවින් බර ඇඳීම ප්‍රවාහනය සිදු වූයේ ගොන් කරත්ත මගින් පමණි.   
සීටින්ගේ තවත් එක් කෲර ගව වධක ක්‍රියාවක් නම් තරුණ ගොන් නාම්බන් නහර ගැසීම හෙවත් වැඩකම් කිරීම නොහොත් උන් කර ඇඹීමයි. එවිට ගොනුන්ගේ ප්‍රජනන ශක්තිය හීන වෙයි. උන් සනීප වෙති. උන්ගෙන් දිගු කලක් වැඩ ගන්නට හැකි වෙයි.   


මහ පොළොව නුහුලන අපරාධයකි. උන්ගේ අත් පා බැඳ අණ්ඩකෝෂය දඬු කඳකට සිර කොට එය කැකුළු හාල් ඇට පමණට කුඩු වන තුරු තලා දැමීමයි. සීටින්ගේ තවත් අපරාධයක් නම් හරක් හංවඩු ගැසීමයි. ලොකු යකඩ කූරක් අඹමල සේ ගින්නෙහිලා රත්කොට එයින් සතාගේ ගාත්වලත් සම පුරාත් අයිතිකරුවාගේ නමත් නොයෙක් මෝස්තරත් පිලිස්සීමයි.   


සීටින් ගවයින්ට මේ අමානුෂික වධ බන්ධන සිදු කළේ තඹ දොයිතුවක අනුකම්පාවක් නොමැතිවය. ඔහු උන් පණ පිටින් මරා නොකෑවා පමණි. ඔහු තම කොල්ලන් දෙදෙනාට අච්චු කළෙත් ඊට නොදෙවෙනි අයුරිනි.   


සීටින්ගේ තවත් සහගහන අපරාධයක් ගැන එකල ගැමියෝ වග විස්තර සොයා ගත්තෝය. එනම් කබර තෙල් සිඳ ගැසීමයි. එකල ගැමියන් අතර කෝන්තර පිරිමසා ගත්තේ එකෙකාට වස දීමෙනි. කබර තෙල් එක බින්දුවකට පවා මිනිසකු මරා දැමීමේ හැකියාව ඇත.   


මේ තෙල සිඳ ගැනීමට නාගයෙකු හෝ පොළඟෙකු ගිල දැමු ලොකු කබර ගොයෙකු අල්ලා ගත යුතුය. ඌ අල්ලා ගෙනවුත් කුස්සියේ දුමට යටින් ළිපට උඩින් උගේ කට පහළට සිටින සේ එල්ලා ගත යුතුය. ඊට පසු දර කොට දමා පහළින් ගිනි අව්ළුවයි. කබරයා ගිනි රස්නයට තැම්බෙන විට උගේ කුස තුළ වූ නයා ද තැම්බී නයි විෂත් කබර විෂත් කැකෑරී බිංදුව බිංදුව බැගින් ළිපේ තැටියකට වැටෙයි.   


මෙයාකාරයට තද පණක් සහිත කබර ගොයා දින ගණනාවක් තිස්සේ තැම්බී මිය යයි. ඒ විෂ කුප්පියකට ගත් විට කබර තෙල්ය. මෙලෙස කලක් ගත වෙද්දී දිනක් තම කරත්තයේ රෙපයාර් එකකට වඩු මඩුවකට ගිය විටක සීටින් සිහිසුන්ව ඇඳ වැටුණේය. එහෙත් කිසිවෙක් ඔහුගේ මුහුණට වතුර බිඳක්වත් ඉසින්නට හෝ ඔහුට ළං නොවුණේය. ඔහු රෝහලකට ගෙනයන්නට හෝ ගෙදර භාර්යාවට පණිවිඩයක් දෙන්නටවත් කෙනෙක් නොවිණි.   


උදේ ඇද වැටුණු මිනිහා රෝහලක් වෙන ගෙන යනු ලැබුණේ හැන්දෑවේය. වෛද්‍යවරුන් කියා තිබුණේ මීට කලින් ගෙන ආවේ නම් පණ ගොඩ ගන්නට තිබුණු බවකි. දිට්ඨ ධම්ම වේදනීය කර්මය විසින් ඔහු තවත් දවසක් පමණ එසේ අවසන් මර නින්දත් නොනින්දත් අතර තබාගෙන සුනංගු කළේ ඔහු විසින් කළ කුරිරු අපරාධවලට ගැළපෙන සතර අපා වධ බන්ධන තෝරා බේරා ගැනීමේ අපහසුව නිසා විය හැකිය.   

 



බාඳුරාගොඩ ගස්පෙ ජී.ඒ.ටී. තේජබන්දු මහතා ලියා එවූ කතාවකි.   

වස දී සුනඛයන් වැනසූ පාපය තමන් කරාම එයි


ජගත් වනාහි මද්‍යම පළාතේ අධි නාගරික ගමක විසූ අවුරුදු 60 ආසන්නයේ වූවෙකි. පාසලින් කට්ටි පැනීම නිසා නූගතකු වූ නිහඬ චරිතයකින් යුතු වුවද සුපරීක්ෂාකාරිව විමසීමේදී හිංසාකාරී පුද්ගලයකු බව පෙන්නුම් කළේය. මසට ගිජු මොහු හාවකු, තලගොයකු, මීමින්නකු, ඉත්තෑවකු දුටු සැණින්ම බේරී යාමට ඉඩ නොතැබීය. තවද ඌරුමීයන්, දඬුලේනුන්, කබැල්ලෑවුන් ද නොසලකා නොහළේය.   


අවිවාහකයකු වූ මොහු තම නිවසේ කාමරයක සිටිනුයේ බාල සහෝදරයාට එය අයත් බැවිනි. සොහොයුරාගේ පවුලේ උදවිය ද තම මව ද එහි ජීවත් වුවද තම ගමන් බිමන් පිළිබඳව කිසිවකුට හෝ නොපැවසීම ජගත්ගේ සිරිත විය. ඔහුගේ සහෝදරියක ගමෙන් පිටත පදිංචිව සිටින බැවින් එහි ද දින ගණන් ගොස් සිටීම ඔහුගේ පුරුද්ද විය. මේ නිසා දින ගණනක් වුවද ගෙදර නොපැමිණීම කිසිවකුට අරුමයක් ද නොවිණ.   


තම ඉඩමේ ස්ථානයක බුලත් සිටුවා ඔහු ඉන්ද ආදායමක් ලැබුවද අනුන්ගේ දේ කඩා වඩා ගැනීම ද වගා සොරකම් ද, දඩයම ද ඔහුගේ චර්යාව බව කව්රුත් දන්නා කරුණකි. තම ඉඩමට යාබද ඉඩම් හිමිකරු ගමෙන් පිටත පදිංචිකරුවකු වීම නිසා එම ඉඩමද ඔහුගේ පරිහරණයට යටත් විය. එහිද ඔහු බුලත් සිටුවා ඇති අතර එහි කාලයක සිට පැරණි දිය නොසිඳෙන ළිඳක් විය. සමහර ඉඩෝරකාලවලදී ගම්මු මෙම ළිඳ පාවිච්චියට ගත්හ. මෙම ඉඩමේ පදිංචි කිසිවකු නොවූ බැවින් අයාලේ යන සුනඛයෝ මෙහි ස්ථාන ගතව සිටියහ. ඇවිද යමක් කන සුනඛ රංචුව ද මෙහි ලගිනු දක්නට ලැබිණ.   


පැටවුන් බිහි කිරීමට ආසන්නයේ වූ බැල්ලියක ජගත්ගේ බුලත් වගා ආවරණය කර තිබූ බුලත් පාත්තියක කොටසක් නිවස්නය කරගෙන දින කිහිපයක දී පැටවුන් ද බිහි කර තිබුණි. දින සති ගණන් ගත වීමේදී පැටවුන් ද මවගේ ද ගමන නිසා බුලත් සමහරක් විනාශයට ගොස් තිබිණි.   


දිනක් උදෑසන ආවරණ ඉවත් කිරීමට සූදානම්ව පැමිණි ජගත් දුටු දේ නිසා දැඩි කෝපයට පත්විණි. පන්න පන්නා පහර දුන් නමුත් විනාශය නිසාම වූ කෝපය දැඩිව පළිගැනීමේ චේතනාව ඉස්මතු විය. මෙයට සොහොයුරා සමග ද කතා කර උපායක් යෙදීය. සාකච්ඡා වූ පරිදිම සොහොයුරා විසින් කුකුල් මස් ගෙන දෙන ලදුව ජගත් එයට උග්‍ර විෂක් කළවම් කර බුලත් පාත්තියේ තැන් කීපයක තබන ලදි. වැඩි වේලාවක් නොයාම බලු රංචුව මස් සියල්ල ආහාරයට ගෙන නිමා කර තිබුණි.   


ගත වූයේ පැයකටත් නොඅඩු කාලයකි. පැටවුන් ද බැල්ලිය ද, බල්ලන් ද දුවන්නට වූ අතර සෙම දමමින් වැටෙමින් පාරේද, අඟල්වල ද ගස් අකුල් යට ද වැටීමෙන් අවසානයම දැක් විය. දුටුවන් දැඩි කම්පාවට පත් වුවද දුටු මළ බල්ලන් වළ දැමුවද සැඟව මැරුණ බල්ලන්ගේ දුඟද ගම සිසාරා හැමීය. ගමේ තරුණයන් දැඩි විමසිල්ලෙන් සොයා බලා කුණු වූ බලු කුණවල් ද වළ දැමීම නිසා දුර්ගන්ධය නිමාවිය. සිද්ධියට අදාළව දෝෂාරෝපණය ද ජගත් වෙත ගලා ආවේය.   සිදුවීමෙන් ගත වූ​යේ සත් දිනකි. ජගත් අතුරුදන් විය. නිවසේ අයට ද එතරම් වැදගත් කරුණක් නොවුයේ ඔහුගේ චර්යාව නිසාමය. ගම සලිත කළ තවත් දුර්ගන්ධයක් හමන්නට විය.   


ඉවසිය නොහැකි වු තැන ගඳ පැතිරෙන ස්ථානය සොයා ගොස් දැන ගැනීමට තරුණ පිරිසට හැකි විය. ළිඳේ කුණුව යන මළකුණක් ඇති බවද එය කාගේ ද යන්න සියල්ලෝම දත් නමුත් ගොඩ ගැනීමට ළිඳට බැසීමට ඉදිරිපත් වන අයකු නොවීය.   


මුදල් ලබා දෙන බවද පැවසුවද තරුණ පිරිස් තද බල අකමැත්තම පෙන්වූහ.   අවසානයේ ජගත්ගේ සොයුරා ළිඳට බැස කොටස් එක් කර ඉටි උර බෑග් කීපයක දමා ගොඩට ගෙන ආවේය.   


අදාළ පරීක්ෂණ ද නිම කර ක්ෂණිකව භූමදාන කර අවසන් කරන ලදි. මෙලොවදීම පාපය ජගත්ට පඩිසන් දී තිබිණි. 


 



දැරණියගල යටිවල ලලිතා රත්නසීලි මැණිකේ මහත්මිය ලියා එවූ කතාවකි.   

සුරාවෙන් අන්ධ වූ සිරිපාලගේ කතාව


සුන්දර ගම් පියසක තේ දලු නෙළා එම ආදායමෙන් ජීවත් වන අය අතර සිරිපාල ද තරමක් පොහොසතෙකි. ඇඟපත රත් වෙන්න කියා හවසට හීන් අඩියක් ද ගසන ඔහු රා පොල් කටු තුන හතරක් බී වෙරි වී සිංදුවක් කියාගෙන වැනි වැනී පාරේ යනු කොයි වෙලේත් දැක ගත හැකි විය.   


දැන්වත් හැදෙයි කියා මවුපියෝ පෙළවහක් කර දුන්නෝය.   


ඈත ගමකින් සොබනී කැන්දා ආ දිනයේ පටන්ම සැමියා බීමෙන් මුදවා ගන්නට බොහෝ උත්සාහ දැරුවාය. එය “ගඟට කැපූ ඉනි මෙන්” විය. කීයක් හරි මිට මොළවා ගන රා පොළට දිව යන ඔහු රා බී වැනි වැනී​ ගෙදරට විත් බිරිඳ සමග රණ්ඩුවට අර අදින මුත්, ඇය රණ්ඩුවට නොගියාය.   


ගමේ හැදෙන වැල වරකා දමා මොකක් දෝ පානයක් සාදා කැලේම මුට්ටි පිටින් තබා දවස පුරාම බී ඉතිරි කොටස විකුණා කීයක් හෝ ගෙන එයින් සුරුට්ටු සිගරැට් බීඩි බොන්නට සිරිපාල පුරුදු වූවේය.   


තේ දල්ලේ පිහිටෙන් පමණක් පවුල නඩත්තු විය.  දුවා දරුවෝ පාසල් ගියත් ‘‘ඇමරෝජන් බබ්බු’’ යනුවෙන් අන්වර්ථ නාමයකින් සමහර ළමයින් ඔවුන්ට විහිළු කළහ.   
කල් යත්ම සිරිපාලගේ ගුද මාර්ගයේ ගෙඩියක් මෝදු වූවේය. “අරිසස් අරිසස්” කියමින් කොතෙක් වෙදකම් කළත් සුව නොවුණි.   ඔහු නිතරම වේදනාවෙන් කෙඳිරි ගගා වැල් කොහිල ගාල්වල හැසිරෙනු දක්නට හුරු දසුනක් විය.   


දැන් සුරාව වෙනුවට පානය කරන්නේ කොහිල කැඳය. වේදනාව උහුලනු බැරිව මොහු රෝහල් ගත කළත් කිසිම සුවයක් ලැබුණේ නැත.  නිතරම මුත්‍රා බට දමාගෙන සිටීමට සිදු විය. ටිකට් කපා මොහු ගෙදර ගෙන ආපසු බිරිඳ සාත්තු සප්පායම් කළාය. දැන් කෑම කන්නත් බැරිය. දියර පමණක් පාවිච්චි කරයි.   


බලා ඉන්නම බැරි තැන බිරිඳ ඔහු රෝහල් ගත කළාය. ජල මළ අඩස්සිය සෑදුණි. මුහුණේ අත පයේ මස් කළඳක් නැති වු මොහු නැගිට ගැනීමටවත් බැරිව ඇඳටම සීමා විය.   
මේ බීමේ විපාකය. යාළුවෝ නැත. ඔවුන් ඔහු හැර ගියහ. අන්තිමට පිළිකා රෝහලේදී සිරිපාල අවසන් ගමන් ගියේ සුරාවෙහි ආදීනව පෙන්වමිනි. දරු කැලක් සමග නිවසෙහි තනි වූ සොබනී ජිවන අරගලය සඳහා අද සටන් කරන්නීය.   


  
​මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්