සුනඛයාට පිහි පහර එල්ල කළ බටු සුමනේට මහ මඟදි මරු හමුවෙයි


ජීවිතය යහමඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


අකුරැස්ස පහළ මලිදුව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

සුනඛයාට පිහි පහර එල්ල කළ බටු සුමනේට මහ මඟදි මරු හමුවෙයි.

 

   
මීට දශක කීපයකට පෙර ඈත ගම් දනව්වල දිවි ගෙවූ ජනයා ගත කළේ ඉතා සරල දිවි පෙවෙතකි. එකල ගැමියන්ට වර්තමානයේ මෙන් මහා ලොකු දැන උගත්කමක් හෝ තාක්ෂණික මෙවලම් භාවිතයක් ද නොවීය. කුමක් හෝ සාධාරණ ජීවනෝපාය මාර්ගයක යෙදෙමින් ඔවුහු එදා වේල සරිකර ගත්තේ කාටවත් කරදරයක් නොවන ලෙස ඉතා අහිංසක ලෙසිනි. ඒ අතරම මේ අසරණ ගැමියන්ගේ අහිංසකකම තම වාසියට හරවා ගත් නරුමයන් පිරිසක් ද මේ ගම්වල දිවි ගෙවූහ. ඔවුහු කිසිඳු වෙහෙස මහන්සියක් නැතිවම ගමේ අහිංසකයන් බිය ගන්වා ඔවුන් සතු දේ හොරෙන් හෝ බලහත්කාරයෙන් කඩා වඩා ගත්තේ කිසිඳු අණක් ගුණක් නොමැතිවය. එකල ගැමියෝ මොවුන් හැඳින්වූයේ චණ්ඩීන් ලෙසය. මොවුන්ට අභියෝග කරන්නට කිසිවෙක් එම ගම්වල නොවීය. එයට තවත් හේතුවක් වූයේ මොවුන් වටා පිරිස් බලයක් ද ගොඩනැගී තිබීමයි. මෙය චණ්ඩීන්ගේ වාසියට හේතු විය.   


මෙවැනි චණ්ඩියෙක් මීට දශක කීපයකට පෙර ඈත නියම් ගමක ජීවත් විය. ඔහු නමින් සුමනරත්න විය. කිසිඳු මළ පොතේ අකුරක් නොදත්, තරමක් මිටි මහත පුද්ගලයකු වූ සුමනරත්න ගැමියන් විසින් හඳුන්වනු ලැබුවේ බටු සුමනේ නමිනි. සතුන් දඩයම, හොර සුරා පෙරීම, දැව ජාවාරම වැනි නීති විරෝධී ක්‍රියා රාශියක් ඔහුගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය බවට පත්ව තිබුණි. මේ සඳහා සහායට ඔහු වටා තවත් එවැනිම වූ පිරිසක් ද වූහ. මේ හේතුවෙන් බටු සුමනේගෙන් ගම්වැසින්ට විඳින්නට සිදු වූ හිරිහැර අපමණය. එහෙත් ඔහුගේ මේ ක්‍රියාවන්ට එරෙහි වෙන්නට තරම් ශක්තියක් ඇති අයෙක් ගමේ නොවූයේ එසේ වුව හොත් ඔවුන්ට අත්විඳින්නට සිදුවෙන ප්‍රතිවිපාක පිළිබඳව හොඳින් දන්නා නිසාය. මෙය ද බටු සුමනේගේ වාසියටම හේතු විය. අහිංසක ගැමියන් සතු දේ බලහත්කාරයෙන් පැහැර ගන්නට බටු සුමනේ කිසිවිටකත් පසුබට නොවීය.   


වරක් ගමේ සිදු වූ කෝලාහලයකදී සිදු වූ මිනිස් ඝාතනයකට ද බටු සුමනේට ද ​චෝදනා එල්ල විය. හරි හැටි සාක්ෂි නොවූයෙන් වසර කීපයකට පමණක් සිපිරිගෙට නියම වූ ඔහු නියමිත දඬුවම් කාලය නිමකර නිදහස්ව පැමිණියේ මහා වීරයෙකු ලෙසිනි. නැවතත් ඔහු තෝරා ගත්තේ පරණ සුපුරුදු දිවි පෙවෙතමය. ගමේ සැරිසරණ ඕනෑම මොහොතක තියුණු උල් සහිත පිහියක් ඉණේ ගසාගෙන යාම පුරුද්දක් විය. එසේම සුරතලයට ඇති කළ බල්ලා ද නිතරම ඔහු පසුපස යාම සුපුරුදු දසුනක් විය. දිනක් හැන්ඳෑයාමේ සුපුරුදු ලෙසම ගමේ කඩ මණ්ඩියට සුමනේ පැමිණියේ අවශ්‍ය කළමනා කීපයක් රැගෙන යාමටය. ඔහුගේ බලු සුරතලා ද පසුපසින්ම විය.   


එක වරම කඩ පිළක ලැග සිටි දඩාවතේ යන බල්ලෙක් සුමනේගේ බලු සුරතලා වෙත කඩා පැන හපා කන්නට වූයේ කිසිවකුටත් නතර කළ නොහැකි ලෙසය. 

 
කොතෙක් උත්සාහ කළ ද බලු සුරතලා අයාලේ යන බල්ලාගෙන් බේරා ගැනීමට නොහැකිව බටු සුමනේට යකා නැංගේය. ඔහු මාරාවේශයෙන් මෙන් තම ඉණ රැඳි පිහිය ඇද හැකි වෙර යොදා තවමත් තම සුරතලා හපා කන බල්ලාට පහරක් එල්ල කළේය. පිහියෙන් බාගයක් පමණ බල්ලාගේ සිරුරට කිඳාබසිත්ම මර හඬ නගමින් බල්ලා අසල තිබුණ ලඳු කැලෑවට ඇදුණේ ගලා යන ලේ දහරාව සමගිනි. සුමනේගේ මේ කෲර ක්‍රියාව බලා සිටිය නොහැකි බොහෝ දෙනා තම දෙනෙත් දෑසීන් වසා ගත්හ.   


සුමනේට නම් කිසිඳු වගක් නැත. තම සුරතලා ද රැගෙන ඔහු යන්නට ගිය අතර පිහි පහර කෑ සුනඛයා ගම්මානයම ගිගුම් දෙවමින් මර හඬ තලා පැය කීපයකින් පසු අවසන් හුස්ම හෙළීය. මේ අමානුෂික පිළිකුල් සහගත ක්‍රියාව කිසිවෙක් අනුමත නොකළ අතර මෙවැනි අපරාධවලට කාගෙන් නැතත්, දෙවියන්ගෙන් හෝ දඬුවම් ලැබෙනු ඇතැයි යන්න ගැමියන් පවසන්නට වූයේ සුමනේට හොරෙනි.   


ගැමියෝ පැවසූ පරිදිම දින කීපයකට පෙර කළ එම මහා පවුකාර ක්‍රියාවට දෙවියන් දඬුවම් දෙන්නට තීරණය කළා වැනිය. දැව ජාවාරම ද ජයටම කරගෙන ගිය සුමනේ විසින් කැපූ දැව තොගයක් ට්‍රක් රථයක පටවාගෙන නගරය වෙත ගෙන යන්නට විය. දැව තොගය මත වාඩි වී සුමනේ ද ගමන් කළ අතර එක් වරම බලාපොරොත්තු නොවූ මොහොතක සුමනේට තද බල පපුවේ අමාරුවක් හට ගත් අතර අසල කිසි​ෙවකු නොසිටීමත් එ් බව කියා ගැනීමටවත් හැකි නොවූ බටු සුමනේ වේදනාව උත්සන්න වී එක් වරම දැව කඳන් මතින් මහ පාරට ඇද වැටී ඇත. ඒ සමගම සුමනේ එම වාහනයටම යට වී තැලී පොඩි වී ගොස් තිබුණේ ඉතා අවාසනාවන්ත ලෙසය.   


පසුව කරන ලද සොයා බැලීම්වලදී දැන ගන්නට ලැබී ඇත්තේ එක් වරම හට ගත් හෘදයාබාධය නිසා සුමනේ මියගොස් මහ පාරට වැටී ඇති බවයි. සුමනේගේ මියයාම ගැමියන්ට නම් මහත් අස්වැසිල්ලක්ම විය. මෙවැනි පවුකාරකම්වලට නිසි දඬුවම් මෙලොව දීම විඳීමට සිදුවෙන බව තේරුම් ගත් ඔහු වටා සිටි ගෝල බාලයෝ මෙතෙක් කළ දුරාචාර අත් හැර යහපත් ජීවන මාර්ගවල යෙදෙමින් දිවි ගෙවන ආකාරය පසුව දැක ගන්නට හැකි විය.   

 



අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවකි.   

මවට හිරිහැර කළාට ලැබුණ දඬුවම.

   
අම්මා කෙනෙකුට තම දරුවන් වෙනුවෙන් ඉසිලිය නොහැකි වේදනාවක් දුකක් හෝ කරදරයක් මෙලොව නැති බව පසක් වෙන අවස්ථා එමට ඇත. නව මසක් කුසෙහි දරා සිට මෙලොවට දරුවා බිහි වූ පසු තමන්ට හරි හැටි කෑමක් බීමක් නොමැතිව වුවද තම ලේ කිරට හරවා දරුවාට පොවා හදා වඩා ගත්ත අම්මාවරුන් ලොවෙහි කොතෙකුත් ඇත. එබඳු අම්මා කෙනෙකුටම කායිකව හා මානසිකව වධ දී හිංසා කළ පුතෙකුට අත් වූ ඛේදජනක ඉරණමක් පිළිබඳ කතාවකි මේ.   


පුරාණයේ සිටම රජරට ලංකාවේ මෙන්ම ලෝකයේ ද අවධානයට හා ගෞරවයට පාත්‍ර වූ පින් බිමෙකි. රන්මැලි සෑ රඳුන්ගේ කොත් කැරැල්ල දිස්වෙන සිරිමා බෝ සමිඳුගේ බෝපත් සැලෙන මිහිරි හඬ සවනට වැටෙන තරම් නුදුරෙහි පිහිටි ගමක නවසිය හැටේ මුල් හරියේ සිදු වූ සිදුවීමකි මේ. විලියම් හා විමලා (සත්‍ය නම් නොවේ) බසවක්කුලම ආසන්නයේ රජයේ බිම් කොටසක් එළි පෙහෙළි කරගෙන කටු මැටි ගෙයක් තනාගෙන පදිංචියට ආවේ හොර රහසේ ගෙදරටත් නොදන්වාය.   


විලියම් වඩු කාර්මිකයෙකු විය. විමලා නිවසේ සිට විලියම්ගේ දුක සැප බැලුවාය. විවාහ වූ අලුත ඔවුන්ට සැපවත් දිවියක් නොතිබුණ ද අග හිඟකම්වලින් තොරව දිවි ගෙවීමට හැකි විය. විමලා කුළුඳුල් දරුවා බිහි කිරීමට ආසන්න වෙත්ම විලියම් වැඩිපුර වැඩ කළේ අත මිට සරු කර ගැනීමේ අදහසිනි. එහෙත් අවාසනාවකට මෙන් විලියම් වහලයකින් බිමට වැටී බෙල්ල ළඟින් කොඳු ඇට පෙළ කැඩීයාම නිසා මරු වැළඳ ගත්තේය. අහල පහළ අයගේ පිහිටෙන් විමලා දිවි ගැට ගසා ගත්තාය. 


දෙමාපියන්ට විරුද්ධ වී කරගත් විවාහයක් නිසා ඇයට දෙමාපිය සහෝදර සහෝදරියන් ද අහිමිව තිබුණි. විමලා බිහි කළේ පුතෙකි. ඔහු සිරිල් යනුවෙන් නම් කරමි. සිරිල් කර පින්නා ගත් විමලා පූජනීය නගරයේ තැනින් තැන සිඟාකමින් ජීවත් වූවාය. එකල ​ෙගාවි ජනතාවට අද මෙන් අහේනියක් නොවූ බැවින් ඇයට ජීවත්වීමට තරම් ආධාර ඔවුන්ගෙන් ලැබුණි. සිරිල්ට අධ්‍යාපනයක් ලබා දී හොඳ මිනිසෙකු කිරීම විමලාගේ එකම සිහිනය විය. ඇය වෙනත් විවාහයක් ද කර නොගත්තේ සිරිල්ගේ අනාගතය වෙනුවෙනි.   


පියෙකු අහිමි පවුලක පුතුන් බොහෝ විට අකීකරු වෙන ලෙසම සිරිල් ද මවට අකීකරු විය. ඔහු හරි හැටි ඉගෙන නොගත්තේය. රස්තියාදු පිරිසට එක් වී සුරාවට හා සූදුවට ද පුරුදු විය. මම උදේ සිට සවස් වන තුරු ඇවිද සිඟා කා රැගෙන එන මුදල සිරිල් තම අවශ්‍යතාවයන්ට යෙදවීය. මුදල් ඉල්ලා නොදුන් විට සිරිල් අමානුෂික ලෙස මවට හිංසා කළේය. අසල්වැසියන් නොසිටින්නට විමලා පහර කෑමෙන් මියයාමට ඉඩ තිබුණි. සිරිල්ගේ පහර දීම් පිළිබඳව පොලිසියට දන්වන ලෙස අසල්වැසියන් උපදෙස් දුන්න ද ඇය පොලිසි නොගියේ පොලිසියට ගියොත් සිරිල්ට පහර වැදේ යයි බියෙනි.  


නිතර නිතර සිරිල්ගේ පහර කෑමට ලක් වූ නිසා විමලාගේ සිහිය ද විකල් විය. ගමේ අයට ඇය පිස්සියක් විය. එහෙත් කෑම බීම මෙන්ම මුදල් ද ඇයට වන්දනාවේ එන අයගෙන් ලැබුණි. සිරිල් කිසිඳු අන්දමක ආදායම් මාර්ගයක නොයෙදුන ද බිරිඳක් ද නිවසට කැඳවාගෙන ආවේය. මවගෙන් ලැබෙන මුදලින් පවුලම නඩත්තු විය. බිරිය ආ දිනේ සිට විමලාට ගේ ඇතුළ තහනම් විය. කටු මැටි ගෙයි පිටුපස අගුවෙහි දැමූ පැදුරක් රෑට ඇයට පිහිට විය. දහවල් කාලය පුරා ඇවිද සොයා​ෙගන එන කෑමක් කා මුදල් සිරිල්ට දී ඇය සීතලේ ගැහෙමින් අගුවෙහි නිදා ගත්තාය. රජරටට වැහි කාලය ඉතා බිහිසුණුය. දිනක් අලුයම විමලා පැදුරු කබල මතම මැරී සිටියාය. අසල්වාසීන් එක්ව අවමගුල් කටයුතු ඉටු කළහ. සිරිල්ට මව නැතිවීම නිසා ආදායමක් නොමැති විය. ඔහු මාලු අල්ලා ජීවත්වීමට පටන් ගත්තේය.   


දිනක් සවස දැළ එළීමට ගිය සිරිල් ආපසු ආවේ නැත. ඔහුගේ බිරිය සිතුවේ මිතුරන් හා සුරාවට කොහේ හෝ යන්නට ඇතැයි යනුවෙනි. පසුවදා ද සිරිල් නොපැමිණි නිසා ඇය පොලිසියට දන්වා සිරිල් සෙවීමට අසල්වැසියන් සමග වෙහෙසුනාය. වැවක් අද්දර තිබී සිරිල්ගේ මළ සිරුර හමු විය. එය කිඹුලන් විසින් කා දමා ඉතිරි වූ කොටසක් පමණි. එම වැවේ කිඹුලන් නොසිටිය ද වැස්සත් සමග වෙනත් වැවකින් ඌ පැමිණ ඇතැයි ගැමියෝ පැවසූහ. සිරිල් මවට සැලකූ අමානුෂික ආකාරය අනුව ඔහුට දඬුවම් ලැබුණ බව ගම පුරා පැතිරුණි.   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්