සුදු ඇඳගෙන පව්කම් කළ සිරිද‌ාසගේ ඉරණම


ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි

 

බාඳුරාගොඩ, ගස්පෙ ජී.ඒ.ටී. තේජබන්දු මහතා ලියා එවූ කතාවකි.  

සුදු ඇඳගෙන පව්කම් කළ  සිරිද‌ාසිගේ ඉරණම


එය ගොවිතැන මුල්කරගත් පවුල් 30 ක් පමණ විසූ පුරාණ ගමකි. පිරිමි ගොඩ මඩ ගොවිතැන ද ගව පාලනය ද කළ අතර ගැහැනු ගෘහ කටයුතු ද කුඩා දරුවන් රැක බලාගැනීම, රෙදිවිවීම පොල්අතු, පන් විවීම ද කළහ. රජමහා විහාරයක නටබුන් ශේෂව තිබූ පන්සල කේන්ද්‍ර කරගත් පරිසරයක අනෝන්‍ය සහයෝගය මත ස්වයංපෝෂිත මට්ටමක ඒ ගම පැවතිණ. ටික දෙනෙකු දඩයම, හොර මත්පැන්, රා මැදීම ආදියේ ද නිරත වීම දක්නට ලැබුණි.  


කඩවසම් කටකාර තරුණයකු වූ සිරිද‌ාස ඉක්මනින් මුදල් සෙවීමට කළේ හොර මත්පැන් පෙරීමයි. දිවා රෑ නොබලා යෙදී ගමට පමණක් නොව අවට ගම් සිසාරා ව්‍යාප්ත කිරීමේ දක්ෂයකු විය. නවීන වාහන යොද‌ා ගැනීම ද විශේෂ මෝටර් බයිසිකල් ද ඒ සඳහා යෙදවිණි. ක්‍රමයෙන් දේශපාලන අනුග්‍රහය ලැබීම ද ප්‍රදේශයේ කැපී පෙනෙන ප්‍රමුඛයා බවට ද පත්විය. නාගරික ප්‍රදේශ කරා ද තම සේවා සැපයීමට හේ සමත් විය.  


 සුදු ඇඳුම පමණක්ම ආරෝපණය කරගත් ඔහු ප්‍රදේශයේ මංගල, අවමංගල හා විවිධ උත්සව අවස්ථාවලද පන්සලේ ප්‍රධානත්වයෙහි ද කැපී පෙනීම ද විශේෂයකි. දෑත පුරා මුදු පලඳා කරේ අතේ රංදම්වැල් ද ලා සිනාසෙන විට කැපී පෙනෙන රත්රන් දත් ද සුවිශේෂි විය. නිවසේ ඇති කළ සුනඛයා ද නවීන වර්ගයේ විය. සමහර දිනවලද ඔහු මාර්ගයේ පයින් ඇවිදින විට සුනඛයා රැගෙන යාම ද පසුපස පිරිවර ගමන් කිරීම ද දැකගත හැකි විය. නිවසේ වෙනම කූඩුවක ප්‍රදර්ශනාත්මකව තබා වෙනම සේවකයකු යෙදීම විශේෂ තත්ත්වයකි. සුනඛයා බුරන විට ශබ්දය දැඩිව අවට වට පිටාව සිසාරා යාම ද සැමගේ අවධානයට යොමු වූ කරුණක් විය.  


අසරණ ජනතාව වෙනුවෙන් වහාම ඉදිරිපත් වූ මොහු කුඹුර හෝ ඉඩම උගසට ගැනීම දක්වා ගෙන යාමට සමත් විය. ටික දිනකින් මෙයට නොතාරිස්වරයකු ද සම්බන්ධ කරගති. කුඹුරු උගස් කළ අය එය වැඩ කිරීමේ අදහස තබාගෙන තිබුණ ද එය බිඳ වැටුණි. කන්නයේ කුඹුරු වැඩ ආරම්භ කිරීමේ කාලය උද‌ාවිය. කුඹුරු යායේ වැඩි ප්‍රමාණයක් සිරිද‌ාස මුදලාලිගේ ග්‍රහණයේ පැවැති නිසා මිලදී ගත් අලුත් ට්‍රැක්ටරය මගින් උත්සවාකාරයෙන් සී සෑම ඇරඹිය. ට්‍රැක්ටරයෙන් සී සෑම නුදුටු ගම්මුන් නැරඹීමට පැමිණීම ද විශේෂය. අතුරු පළයක් සේ මී ගවයන්ගේ අවසානය ද සනිටුහන් විය.  


 මෙදින යායේ එක් කුඹුරක ගොයම් කපා නොතිබිණි. එදින දරුවන් සමඟ පැමිණි පවුලේ පිරිස ලහි ලහියේ ගොයම් කපමින් සිටිය ද ස්වල්ප වේලාවකින් පැමිණි ට්‍රැක්ටරය ගොයම් සමගම සී සෑම සිදු කිරීම දුටුවන්ගේ සිත් සසල කරවීය. එම කුඹුර ද උගසට යටත් වී ඇති බව දැනගන්නට ලැබුණි.  
එක් දිනක සිරිද‌ාස මුදලාලි තදබල රිය අනතුරකට භාජනය විය. මාස ගණනාවක කරන ලද ප්‍රතිකාරවලින් නිවසට පැමිනුණ ද යථා ස්වභාවයට පත් නොවීය. තම ව්‍යාපාරය අත් නොහැරී හේ අනුගමනය කළ ක්‍රියාමාර්ග ද අසාර්ථකත්වයට පත්වීමට හේතු විය.  


සිරිත් පරිදි උදෑසන හීල් ද‌ානය රැගෙන ආ ද‌ායක තැන දුරසිටම පන්සලේ දොර විවෘත කර ඇති බව දුටහ. කුතුහලයෙන් විමසා බැලූ විට ඉදිරිපස පුටුව මත බැඳ තබා තිබූ ලොකු හාමුදුරුවන් ද අසල කානුවේ ගැට ගසා තිබූ ඇබිත්ත තැන ද දැකගත හැකි විය. කලබල වූ හේ දිවගොස් ඝණ්ටාරය නාද කරවීය. ටික වේලා වන විට පිරීගිය පිරිස් සිදුව ඇති කාරණය දැක විස්මයට පත්වූහ. රිදී භාණ්ඩ පැරණි පූජා භාණ්ඩයන් ද ඉපැරණි දඹරන් පිළිමය ද පුස්කොල පොත් සොරාගෙන ගොස් ඇති බව පෙනුණි. නීතියෙන් ද ඊට පිළිසරණක් නොවීය.  


 අවට ගම විසූ ඇලහැර බාස් මැදිවියේ පසු වූ ප්‍රසිද්ධ රං භාණ්ඩ කම්මල්කරුවෙකි. ඉතා දක්ෂයකු වශයෙන් සුප්‍රසිද්ධියට පත්ව සිටි මොහු හදිසියේම මරණයට පත්වීම පුදුම සහගත විය. මාස කිහිපයකින් එහි වැඩ ඇරඹූ ඔහුගේ පුතු ද එලෙසම මරණයට පත්වීම ප්‍රහේළිකාවක්ම විය. කෙසේ වුවද කම්මල් කටයුතු ද එතැනින් අවසන් විය.  


 සිරිද‌ාස මුදලාලිගේ කලදසාව අගුණද‌ායක විය. වාහන ද විකිණී තිබූ අතර උගස් කරගෙන තිබූ දෑද නිදහස් විය. ව්‍යාපාරය ද සහමුලින්ම බිඳ වැටී තිබුණි. මහමඟ එහා මෙහා ඇවිදීම සිරිතක් වූ අතර දිවා කල ද පොරවාගෙන සිටීම විශේෂ විය. බරපතළ ලෙස ඇදුම රෝගයෙන් පීඩා විදිමින් අධික කැස්සක් නිසා කතා කිරීමට ද අපහසු විය.  


 දිනක් කිසිදු හේතුවක් නොමැතිවම මහා මාර්ගයේම ඇද වැටීමෙන් මරණයට පත්වීම ද විශේෂ සිදුවීමක් විය. පාසලේ නායකත්වයට පණ්ඩිත හාමුදුරුවන් පත්වූයේ වයසක ලොකු හාමුදුරුවන් අපවත් වීම හේතුවෙනි. විශාල පිංකමක් පැවැති දිනක මැදිවියේ මන්දබුද්ධික වැනි අයකු තදබල ලෙස හාමුදුරුවන් හමුවීමට අවශ්‍ය බවට කලබල කළ බැවින් එම අවස්ථාව ද උද‌ා කර දුණි. තමා සිරිද‌ාස මුදලාලිගේ ප්‍රධානතම සේවකයා වූ විල්සන් බවත් සෑම දෙනෙකුම තමා අඳුනන බවත් කියා සිටි හේ සොරකම සම්බන්ධව තමාගේ සම්බන්ධතාව ද දක්වා සිරිද‌ාස මුදලාලිගේ අවශ්‍යතාව නිසා එය සිදු වූ බව ද දඹරන් පිළිමය උණු කළ බැවින් එහි ශාපය ඇළහැර බාස්ට හා දරුවාට පමණක් නොව සිරිදාස මුදලාලි ඇතුළු සම්බන්ධ සියලු දෙනාටම දඬුවම් ලැබී ඇති බව පාපොච්ඡාරණය කර තමාට ද සිහිමද බව හා අරමුණක් නොමැතිව ඉබාගාතේ යන බව ද දන්වා පිටව ගියේය. කිසිවකුටත් ඔහුගැන තොරතුරක් දැනගැනීමට ද නොහැකි විය.  
 මෙම පාපකාරී ක්‍රියාව නිසා සිදු වූ දෑ අදට ද ගම්මුන් සිහිපත් කරන්නේ දැඩි කම්පනයකිනි. මෙය 60 දශකයේ සිදු වූ සත්‍ය සිදුවීමකි.  

 



බෙලිඅත්ත, දම්මුල්ල ජේ. කණ්ඩම්බි මහතා ලියා එවූ කතාවකි.  

දස වද දී හරකුන් මැරූ අදිරිං  


සත්ත්ව පාලනයෙන් පිරිසක් ධනවත් වෙති. තව පිරිසක් සත්ව ඝාතනයෙන් ධනවත් වෙති. අදිරිං අප්පුලා වැනි අය මෙම අංශ දෙකම අකාරුණික ආද‌ායම් මාර්ග ලෙස යොද‌ා ගත්හ. ස්ථීර අඹුවක් ගැන නොසිතූ ඔහු අන් අඟනන් පහස විඳිමින් තනිකඩ දිවියක් ගෙවීය. කූඩැල්ලන් සිටිනුයේ ලේ උරා බීමට මිස තනිකම රැකීමට නොවන බව වැටහෙන විට ඔහු ප්‍රමාද වී හමාරය. බෞද්ධකම පරපුරෙන් උරුම වුව ද ඔහුගේ හදවතේ නොරැඳුණි. වැස්සකටවත් පාසල් නොගිය බැවින් දැහැමි වදනක් දෙසවනේද නොරැදුණි. පාප මිතුරන්ගේ මිත්‍යා වදන් වලින් දෙසවන් පිරුණු බැවින් හදවතින් දයාව කරුණාව වාෂ්ප විය. මසට මෙන්ම සුරාවට ද ගිජු වූ ඔහුගේ දිවිපෙවෙත සිහිනෙන් විදි දිව්‍ය සැපතක් විය. ලොරි ඇති බැවින් කරත්ත එන්ජින් කුමටදැයි කියමින් ගව ඝාතනය ඇරඹීය.  
 තොණ්ඩුව දමා ගසට ගෙල හිරකළ ගොනුන්ගේ හිසට කුළුගෙඩි පහර පතිත වූයේ අදිරිංගේ දෑතේ වීරියෙනි. ඇස් උඩ ඉන්දී කඳුළු වැගිරෙන උන්ගේ මරහඬ අදිරිංලාට මිහිරක් විය. පාප මිතුරෝ ගෙරි කුණු මස් කර අඩක් අලෙවි කරති. කොටසක් කෑමට කබලේ ද‌ා තම්බන අතර තව කොටසක් වේළීමට අටුවට යවති. කක්කුටු පෙණ දමන සැණින් මත්පැන් සමග මස් අනුභවය පටන් ගනියි. පොල් සමග මස් කෑමට අදිරිං රුසියෙකි. මස්කඩ පරදවා ගිය නිවස වටා කටු කෑමට බල්ලන් රොත්තක් ද විය. බල්ලන්ගේ පොරකෑමත් අදිරිංලාගේ දෙඩවීමත් අසල්වාසීන්ට හිරිහැරයක් විය. දත් මත හිරවෙන මස්කැබලි වේදනාවන් මත් වතුරෙන් යටපත් වුව ද කට ලොම්බක් බවට පත්විය. බඩ නෙරාගිය කාලවර්ණ මිටි අදිරිං බහිරවයෙකු සේ දිස්විය.  


 අහස ගෙරවීමෙන් බියට පත්වන ඔහු ඇද යට සැඟවීම සිරිත විය. සීරීමකින් හටගත් පාදයේ තුවාලය ඔහුට නොදැනීම යටින් පැසවන්නට විය. හේ විද්‍යාවට පිටුපා මිත්‍යාවට අතපෑ බැවින් කපටි කට්ටඩියන්ගේ සොඳුරු ගොදුරක් විය. දියවැඩියා රෝගය හඳුනා ගැනීමට කට්ටඩියන්ට නොහැකි විය. බත් මුට්ටියේ අංජනම පෙන්වමින් අනවින කොඩිවින විෂබීජ මනස්ගාත කිරීමට කට්ටඩි සමත් වූහ. ඉන් අසල්වාසින් සමග අදිරිං අඬදබර ඇතිකර ගත්තේය.  
 ශරීරය ද වැහැරී ගිය අදිරිං නිවසට කොටුවන විට කපටි මිතුරන්ගේ නමට ගවයින් ද හංවඩු ගැසුනි. ගවයින් විකිණීමෙන් ලද මුදලින් වැඩි කොටස ඔවුන් යටිමඩි ගසාගෙන අදිරංට දුන්නේ සොච්චමකි. ඉන් පාලකයින්ගේ මුදල් ගනුදෙනු ද සිහිපත් වනු ඇත.  


 කුණු බිඳක්වත් නැතිතැන කපුටන්ද නොලගිති. මිතුරන් හැර යෑමෙන් කලකිරුණු අදිරිංට දිවි මගෙහි හතළිස් වසරක නිමාව බව වැටහුණි. ඔහුගේ දෙනෙතින් කඳුළු වැගිරෙන විට සියල්ල සිදු වී හමාරය. මත්පැනින් ලද සැනසුම හැර අන් සැපතක් ඔහුට නොවීය. ග්‍රාම නිලධාරි මහතාගේ කාරුණික මැදිහත් වීම මත අදිරිං රෝහල් ගත කෙරිනි. වෛද්‍ය ප්‍රතිකාර ලබමින්ම සොරාට සුරාපානය කළ බැවින් ඖෂධ පාවිච්චි නොවීය. සති කිහිපයක ඇවෑමෙන් කිසිවකුගේ සරණක් නොලද අදිරිංගේ ප්‍රාණය තද වැසි දිනක නිරුද්ධ විය. දේහය ලබා ගැනීමට කිසිවෙකු නොසිටි බැවින් රජයේ වියදමින් ඔහු භූගත වූයේ නැවුම් අරුතක් සමාජ ගත කරමිනි.  

 



ගුණතිලක මැටියගනේ මහතා ලියා එවූ කතාවක් මෙසේය. 

කාවයියන් මාළු රාද අප්පා 

 
තිලකාවතීලෑ උප්පැන්න කොළවලට අනුව පියාගේ රැකියාව​ ලෙස සේතු හාමිගේ නමට පහළින් ලියැවී තිබුණේ ගොවිතැන යනුවෙනි. ඒත් ඔහු කළ ගොවිතැනක් නම් නැත. ඔහු අංක එකට කළේ පට්ටලය බැඳ ලී ඉරීමය. ඔහුටම ගැළපෙන කරකාරයා වූයේ අගෝරිස්ය. මේ දෙදෙනා උදේ වරුව ලී ඉරා මල්පැන් වඩියකින් ද තෘප්තව ගමේ, ඇළවල්, ඔයවල්, පතස්, වැව්, ජලාශ පීර පීරා මස්ටකයින් ගොඩ දැමීම දෙවෙනි රැකියාව හැටියට තෝරාගෙන තිබිණි.  


 ඊටම කියාපු සූප ශාස්ත්‍රවේදිනිය ඔහුගේ ඇඹණිය වූ මැයි නෝනාය. තුන්වේලටම වෙල්මාළු පිසුවත් ඒ වට්ටෝරු ආකාර තුනකටය. ඒ එකකට එකක රහගුණ වෙනස්ය. මොකුත්ම නැති දවසක වුව ද සේතුහාමි විසින් තම කම්බි ලේන්සු අමුඩුය පෙනේරයක් සේ ගොටු ගසා පහළට ගලන දිය පහරේ ඉහළට සිලි සිලි ගා ධාවන තරගයක යෙදෙන ඉහිනළුවන් සේරුවක් පමණ අල්ලා ගෙන එයි. එයින් තිත්තයින් මැල්ලුමකුත් බොරේට හිටින්නට වැලි කොස්ඇට නියඹලාවකුත් පිස දුන් විට එයින් ගෑවුණු තැනක කෑ හැකිය.  


 හවස් මානයේ වැඩ ඇරී එන විට ඇළක දෙ‌ාළක එබෙන්නටත් මාවේවැලක් වැරණිය කෝටුවක් දුටුවිට එය සුද්දකර ගෙන එන්නටත් ඔහු අමතක නොකරයි. ඒ තම විනෝදාංශයට අවශ්‍ය වන කරකය, ඉරටිය ආදී ධීවර මෙවලම් හා උපාංග වියා ගැනීම පිණිසය. ලී ඉරීමේදී ගෙන යන පීරී, පරණ බැට්රි කෑලි, නූල් ලණු ආදිය දමාගෙන යන පැස වියන්නේත් එයාකාරයටය.  


සේතුහාමි සෙසු ගැමියනට වඩා දක්ෂ පක්ෂ වන්නේ ඇළ ඉවුරු, ඔය ඉවුරු ආදියෙහි ඈගල් හාරාගෙන අධි ආරක්ෂිත කලාපවල වාසය කරන ආඳුන්, මගුරන්, හුංගන් වැනි චණ්ඩි පාට් දමන ජලවලේ මාළුන් එළියට ගන්නට දක්වන දක්ෂතාව නිසාය. මෙය දැඩි අනතුරුද‌ායක අතුරේ යාමක් ද වන්නේ එවන් දෝනාවල අතරින් පතර විසකුරු සර්පයින් ද සිටින බැවිනි. ඇරත් හුංගා ද හොඳ ඉන්ජැක්ෂන් කාරයෙකි. ඌ එන්නතක් දුන් විට එහි වේදනාව ඉස් මුදුනින් මතු වේ. ඒත් හුංගාගේ විදුම් පහරක වේදනාවක් සර්ප දෂ්ටනයක විෂ ඉහළ ගැසීමත් අතර වෙනස හේතුහාමිට හොඳට හඳුනාගත හැකිය.  


 හේතුහාමිගේ මේ නිපුණතාවන් එකද‌ා වැහි වලාවේ වගේ පරාජය වන්නට වැඩි වේලාවක් ගත නොවුණේ දිනක් ඔවුන් මහ ඇළේ කාවයියන් අහිනකට කිට්ටු වූ සේදියේය.  


 කාවයියා මස්ටක ධුරාවලිය අනුව කීප ආකාරයකින් වංසක්කාරයෙකි. උගේ ලොකුම හපන්කම දියෙන් ගොඩට ද‌ා තව වරුවක් විතර වුවත් ගැහි ගැහී පණ රැකගෙන ඉන්නට ඇති හැකියාවයි. දෙක, උගේ පිටකොන්ද දිගටත් බඩවත දිගටත් බණ්ඩි කියතක තියුණු දත් මෙන් කටු පේළි දෙකක් තිබීමයි. අනික උෟ ආ‌ඳ‌ාටත් වඩා ලිස්සා යන සුලු මත්ස්‍යයෙකු වීමයි.  


 මාළු ඇල්ලීමෙහි දක්ෂතා ඇති අය ද කාවයියා මෙල්ල කැර ගනු පිණිස නොයෙකුත් උපාය මාර්ග යොද‌ා ගනිති. එහි වඩාත්ම අනතුරුද‌ායක අභියෝගය නම් එක කාවයියෙකු අල්ලා අනෙකා පැන යන්නට කලින් අල්ලාගත් එකා කටින් හපා චරස් ගා උගේ කොන්ද කඩා දැමීමයි.  


එද‌ා සේතුහාමිටත් හසු වූ ලොකු කාවයියා අරබයා ඔහු අනුගමනය කළේ එම ක්‍රමවේදයමයි. එහෙත් එද‌ා නම් සේතුහාමිගේ දත් ඇන්දට කලින් කාවයියා ඉස්සර විය. ඌ මරු විකල්ලෙන් සේතුහාමිගේ රහදිවට යටින් උගුර හරහා පහළට පීනා ගියේ ළමා උයනක කුඩා දරුවෙක් විශාල බම්බු රූටනයක අනායාසයෙන්ම පහළට බස්නා අයුරිනි.  


 උදර වළ තුළදී උද‌ාන වාක්‍යයක් ද පිටකොට මාලක්කමක් ද ඇල්ලූ කාවයියා ආපසු මහගිරිදඹ නගින්නට වූයේ උල්කටු පේළි දෙකට වාරුව දෙමිනි. ඒ මිනිස් ආමාශය තුළ වූ අධික දුර්ගන්ධය නිසා විය යුතුය.  


සියුම් ගලනාලය කියත් දතින් හිල්වන විට සේතුහාමි මර විලාප හඩ නගන්නට විය. වැඩේ කම්බස් වන බව වටහා ගත් සෙසු පිරිස වහා ඔහු ඔසවාගෙන මහපාරට ගෙනවුත් වාහනයක දමාගෙන ගොන්තවලම්පිටිය ඉස්පිරිතාලය වෙත ගෙනගියෝය.  


 එහෙත් මෙයාකාරයේ රෝගියකු ගැන ඇහු දුටු පළමු වතාව වූ බැවින් එහි සිටි යාපනේ දෙමළ දොස්තර මහතාට එය තේරුම් කර දෙන්නට ලොකු වෙහෙසක් දැරීමට සිදුවිය. ‘යේක මාළුව ගිල්ලා? අමුවෙන්? රා ද අප්පා?’ ඔහු ඇසුවේය.   


එකල එහි X කිරණ පහසුකම්වත් ශල්‍ය වෛද්‍ය පහසුකම්වත් නොවුයෙන් පරණ තාලයේ ගිලන් රථයෙහි දමාගෙන කුරුණෑගල රෝහල වෙත ගෙන යන විට මෙතෙක් කලක් වෙල්මාළුන් දසදහස් ගණනකට මරු පෙන්වූ හේතුහාමිට මරුපෙන්වන්නට කුඩා කාවයියෙකු සමත්ව තිබිණ. කොකාට වාරයක් පමණක් නොව තිත්තයාටත් වාරයක් පැමිණෙන්නේ දිට්ඨධම්ම වේදනීය කම්ම නියාමයට අනුවය.  


 මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිද‌ා ලංකාදීපයට යොමු කරන්න.  


සකස් කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්