සුද්දා ගෙනා තුරඟ තරග


 

කොටන් හෝල් පරාදවෙයි  
නුදුවන් හයියෙන්   
ගවනර්ස් කප් රේස් එකට  
උඹ දුවවන්නම්  
ලක්‍ෂ ගණන් ඔට්ටු උඹේ නමට දමන්නම්  
බඹ ගණනක් තියා මුදල් දිනන්නම්

  
ශ්‍රී 296 චිත්‍රපටයේ, ජෝ අබේවික්‍රම පෝනියකු පිට නැගී ගැයූ ගීතය හැට - හැත්තෑව දශකවල ගුවන් විදුලියේ ඉතාමත් ජනප්‍රිය විය.  
කොළඹ කුරුඳුවත්තේ, රේස් කෝස්හි අශ්ව රේස් පැවැති කාලයේ ‘කොටන් හෝල්’ තුරඟා ශ්‍රී ලාංකික අශ්ව ලෝලියන් අතර ඉතාමත් ජනප්‍රිය විය. ටී.ජී. ප්‍රැන්සිස්ට අයත්ව සිටි ‘කොටන් හෝල්’ එකල ‘ගවනර්ස් කප්’ එනම් ආණ්ඩුකාර කුසලාන පහක් දිනූ ජවාධික තුරඟකු විය.  
ස්ටෝන් 12 රාත්තල් 12ක් බරවූ ‘කොටන් ​හෝල්’ අශ්ව රේස් සඳහා පුහුණු කරන ලද්දේ චෙන්ඩි හසන් විසිනි.  


ඊ.එල්.එන්. ද සොයිසාට අයත්ව සිටි ‘මොඩනීස්’ මෙන්ම ගාල්ලේ මහ හෝටලයේ අයිතිකරුවාගේ ‘ඔරේන්ජ් හිල්’ එකල ශ්‍රී ලංකාවේ තුරඟ තරග ලෝලීන් අතර ජනප්‍රිය වූහ. 

 
සුදු ජාතිකයකු වූ ජෝන් බේකර්, නුවරඑළිය තම නිවසට සමීපයේ තුරඟ ධාවන පිටියක් සකස්කර තරග සඳහා තුරඟුන් පුහුණු කර ඇත. ශ්‍රී ලංකාවේ තුරඟ තරගවල ආරම්භකයා ඔහුය. පසුව ගාලු මුවදොර තුරඟ තරග පිටිය සකස් කිරීමටද මූලික වී ඇත්තේ ජෝන් බේකර්ය.  
එදත් තුරඟ තරග ධනපතීන්ගේ ක්‍රීඩාවක් විය. මුල් යුගේ ගාලු මුවදොර තුරඟ තරග සඳහා සහභාගි වූයේ යුරෝපීය වැවිලිකරුවන් සහ ප්‍රභූ පුද්ගලයන්ය. ගාලු මුවදොර පැවැති එම තුරඟ තරග සංවිධාන කරන ලද්දේ ‘සිලෝන් ටර්ෆ් ක්ලබ්’ එනම් ලංකා තුරඟ තරග සමාජයයි. 1854 පවත්වන ලද මුල්ම ප්‍රධාන තරගය සඳහා ජයග්‍රාහී කුසලානයට අයත් මුදල් පරිත්‍යාග කර ඇත්තේ භාරතීය මහාරාජා කෙනෙකි. බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ලුතිනන් ලව්රි එවර එම කුසලාන දිනාගෙන ඇත.  


කලක් ගතවෙත්ම ගාලු මුවදොර තුරඟ තරග පිටියේ ඉඩකඩ මදිවීම නිසා එය කොළඹ කුරුඳුවත්තට ගෙන යන ලදී.  
එහි ප්‍රථම වරට තරගයක් පවත්වන ලද්දේ 1893 ජූනි 22 දිනය.   


තුරඟ තරග සඳහා ආණ්ඩුකාර කුසලාන එනම් ගවනර්ස් කප් පිරිනැමීම ආරම්භ වූයේ 1901 දීය. 1901 දී ආණ්ඩුකාර කුසලානයට අයත් ත්‍යාග මුදල රුපියල් 7450ක් විය. එය එකල අති විශාල මුදලක් විය. සොයිසා කෙනකු එවර එම කුසලාන දිනාගෙන ඇත.  
මුල් කාලවල සිටම තුරඟ තරග සඳහා අශ්වයින් මෙරටට ගෙන්වන ලද්දේ විදේශයෙනි. 1949 දී තුරඟ තරග සමාජයට අශ්වයින් 105ක් ගෙන්වීම සඳහා රුපියල් 607,488ක් ද, 1905 දී අශ්වයින් අසූ දෙනකු ගෙන්වීම සඳහා රුපියල් 722,125ක් ද, 1951 දී අශ්වයින් එකසිය පනස් දෙනකු ගෙන්වීම සඳහා රුපියල් 1,646,590ක් ද වැයකර ඇත.   


අශ්වයින් සඳහා මෙලෙස විශාල මුදලක් වියදම් කරන්නා සේම, තරගවලදී තුරඟ තරග සමාජය ලබන ලාභයද අති විශාලය. 1953 වසරේ අගෝස්තු මාසයේ පැවැති තරගාවලියේදී ලංකා තුරඟ තරග සමාජය ලැබූ ලාභය රුපියල් 1,172,345ක් විය.   


නමුත් එලෙස අඛණ්ඩව ශ්‍රී ලංකාවේ තුරඟ තරග පැවැත්වීමට නොහැකි විය. 1956 බලයට පත් වූ රජය තුරඟ තරග නැවැත්තුවා පමණක් නොව අශ්වයින් මෙරටට ආනයනය ද තහනම් කරන ලදී. ඒ නිසා කාලයක් යනතුරු ලංකාවේ තුරඟ තරග පැවැත්වූයේ නැත.

  
එක්දහස් නවසිය හැත්තෑවේදී තුරඟ තරග යළි ආරම්භ විය. ඇත්ත වශයෙන්ම ඒවා තුරඟ තරග නොව පෝනි තරග විය. ඩෙල්ෆ් දූපතෙන් ගෙන්වූ පෝනියන් තරග සඳහා පුහුණු කරනු ලැබූහ. ඒ සඳහා වෙහෙස ගත් අය අතර උපාලි විජයවර්ධන කැපී පෙනෙයි. නූර් හමීඩ්, ජී. මුනිස්වාමි, කුමාරස්වාමි එකල තරග සඳහා පුහුණු කළ පෝනි හිමියෝ වූහ.

  
එම අවධියේ නුවරඑළියේ පෝනි තරග සංවිධාන කරන ලද්දේ ලංකා තුරඟ තරග සමාජයෙනි. එම අවධියේ පෝනියෝ පනහකට වැඩි ප්‍රමාණයක් තරඟ සඳහා පුහුණු වී සිටියහ.  


‘හැපි හිපි’ එකල පෝනි තරග සඳහා පිරිනැමූ ජනප්‍රිය කුසලානයක් විය.  


එක්දහස් නවසිය පනස්හයේ ශ්‍රී ලංකාවේ තුරඟ තරග නැවැත්වීමෙන් පසු, තුරඟුන් යොදවා යළි තරග ආරම්භ වූයේ එක්දහස් නවසිය අසූව කාලයේය.  
ඒ නුවරඑළිය තුරඟ තරග පිටියේදීය.  


එම තුරඟ තරග සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා තුරඟ තරග සංගමය විසිනි. අශ්ව රේස් සඳහා පුහුණු කරන ලද අශ්වයන් හිමි ප්‍රභූ පංතියේ පුද්ගලයන්ගෙන් එම සංගමය සමන්විත විය.  


නුවරඑළිය නැවත වරක් තුරඟ තරග පැවැත්වීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ සුප්‍රකට ව්‍යාපාරිකයකු වූ උපාලි විජයවර්ධන මහතාය.  
ඔහුට එංගලන්තය, ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවල පුහුණු කරන ලද අශ්වයෝ වූහ.   
එකල සුප්‍රකට අශ්වාරෝහකයකු වූ ලෙස්ටර් පිගොට් ද උපාලි විජයවර්ධන මහතාට අයත් අසුන් එංගලන්තයේ ධාවන පිටිවලදී ධාවනය කර ඇත. උපාලි විජයවර්ධන නැතිවීමෙන් පසු වසර දෙකක් පමණ නුවරඑළියේ තුරඟ තරග ඇන හිටියේය.  


ශ්‍රී ලංකා තුරඟ තරග සංගමයේ සභාපති පදවියට රාජන් සෙල්ලමුත්තු පත්වෙන්නේ එයින් පසුවය. ඒ 1983 පමණ කාලයේය. සෙල්ලමුත්තු පවුල පරම්පරා තුනක පමණ තරග සඳහා පුහුණු කරන ලද අශ්වයන් හිමි අය විය.  


“මගේ සීයාටත්, තාත්තාටත් අශ්වයෝ හිටියා.” රාජන් සෙල්ලමුත්තු වරක් මා සමඟ පැවසුවේ ආඩම්බරයෙනි.  
ඔහු පැවසූ ලෙස හොඳ ඉන්දියානු අශ්වයකු පසුගිය කාලයේ ලක්‍ෂ විස්සකට ආසන්න විය. අශ්වයකු නඩත්තු කිරීමට මාසයකට පනස්දාහකට ආසන්න මුදලක් වැයවෙයි.  


රාජන් සෙල්ලමුත්තුගේ අශ්වයන් තරග තිහකදී ජයග්‍රහණය කර ඇත. 1992 ආණ්ඩුකාර කුසලාන දිනාගත්තේ ඔහුගේ අශ්වයකි. එම අශ්වයා පදවන ලද අසුරුවා ජයන්ත විජේසිංහය. වයස අවුරුදු දහ හතේදී පෝනියන් පැදවීමෙන් ජයන්ත විජේසිංහ එම ක්ෂේත්‍රයට එකතු විය.  
“1974 නුවරඑළිය හැපි හිපි රේස් එකට තමයි මම මුලින්ම ​පෝනි තරගයකට කියල එකතු වුණේ. ඒ කාලෙ නුවරඑළිය නගරාධිපති සරත් ප්‍රනාන්දු මහත්තයාගෙ පෝනියකු තමයි එදා පාර මම පැද්දෙ. පෝනියො පහළොස් දෙනෙකු තරග කළ ඒ තරගයේ මම හත්වැනියා වුණා.” ජයන්ත විජේසිංහ තම අතීතය සිහිපත් කරමින් පැවසීය.  


උපාලි විජේවර්ධන මහතා සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට අශ්වයන් ගෙන එද්දී, ජයන්ත විජේසිංහ මාස තුනක කාලයක් අශ්වාරෝහණය පිළිබඳව සිංගප්පූරුවේ පුහුණුව ලැබීය.  


ජයන්ත විජේසිංහ සිංගප්පූරුවේ පුහුණුව ලබා පැමිණි සමයේම උපාලි විජයවර්ධන මහතා තෙවරකට අශ්වයන් දහදෙනකු ලංකාවට ගෙන්වීය.  
ජයන්ත විජේසිංහ පැවසූ ලෙස නුවරඑළියේ තුරඟ තරග වඩාත් ආකර්ශනීය වූයේත් වඩාත් ප්‍රශස්ත මට්ටමක පැවතියේත් උපාලි විජයවර්ධන මහතා ශ්‍රී ලංකා තුරඟ තරග සංගමයේ සභාපතිව සිටි අවදියේය.  


ජයන්ත විජේසිංහ පවසන ලෙස අශ්වයකුගේ හොඳම කාලය අවුරුදු දෙකහමාර තුන වයස් කාලයයි.  
“නමුත් ඒ වයසේ අශ්වයන් හරිම මිලයි. වයස අවුරුදු හත අට වෙද්දි අශ්වයකුගෙ වේගය අඩුවෙනවා.” ඔහු පවසයි.  
අශ්වයන්ගේ ජවාධික බව ගැන හොඳ දැනුමක් ජයන්තට ඇත්තේ වසර ගණනාවක සිට ඔහු ලැබූ පළපුරුද්ද අනුවය. වෙනත් සතුන්ගේ උස අඩි අඟල්වලින් දැක්වූවත් අශ්වයන්ගේ උස එයට වෙනස් ආකාරයට දක්වන බව ජයන්ත පවසයි.  
“අශ්වයන්ගෙ උස කියන්නෙ හෑන්ඩ්ස්වලින්. සාමාන්‍යයෙන් අශ්වයෙක් හෑන්ඩ්ස් දොළහක් දහතුනක් විතර උසයි. හෑන්ඩ් එකක් කියන්නෙ අඟල් හතරක පමණ උසක්.” ජවාධික තුරඟයකු කිලෝ 450-500ක් පමණ බර බව ජයන්ත විජේසිංහ පවසයි.  
හොඳ ජවාධික අශ්වයකුට නියමිත බරක් ඇතුවාක්සේම, දක්‍ෂ අසරුවකුටද නියමිත බරක් තිබිය යුතුයි. ඒ ක්ෂේත්‍රයේදී එම බර දක්වන්නේ ස්ටෝන්වලිනි. හොඳ දක්‍ෂ අසරුවකුගේ බර ස්ටෝන් හතකි.  


“නියමිත බර ප්‍රමාණය වැඩි නොවන්න අසරුවකුත් තම කෑම පාලනය කිරීම අවශ්‍ය වෙනවා. බර වැඩිවුණාම ගැටලුවක් වගේම බර අඩු වුණාමත් ගැටලුවක්. අසුරුවකුගේ බර අඩු වුණාම ලෙඩ් බෑග් එල්ලනවා. පොඩි ඊයම් කැබැලි, මලු දෙකකට දාලා සැදෑලයට යටින් දානවා.” ජයන්ත විජේසිංහ පැවසුවේ අසරුවකුගේ බර ස්ටෝන් හතට අඩු වූ විට එය සම්පූර්ණ කරගන්නා අන්දම පිළිබඳවය.  
අසරුවකු විසින් එලෙස සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා ඇතත් අසුරුවකුට මාසයකට ලැබෙන වැටුප රුපියල් විසි දහසකට වැඩි නොවේ. අශ්වයින් අයිතිකරුවන් අනුව සමහර විට එම මුදල වෙනස් වෙයි.  


“ගවනර්ස් කප් එක දිනපු අශ්වයාට කිසියම් මුදලක් තෑගි ලැබෙනවා. ඒත් ඒකෙන් කිසියම් මුදලක් අපිට අනිවාර්යෙන් ලැබිය යුතුය කියල නියමයක් නැහැ. අශ්වයින් අයිති සමහර මහත්තුරු කීයක් හරි දෙන වෙලාවල් තියෙනවා.”  
එනිසා පුහුණු වූ අසුරුවෝ රැකියා සොයා විදේශගත වෙති. එහිදී ඔවුනට රුපියල් ලක්‍ෂයකට ආසන්න වෙන වැටුපක් ලැබෙයි. ජයන්ත ද බහරේන්වල අවුරුදු තුනක්ද, ඩුබායිවල අවුරුදු පහක්ද, අයර්ලන්තයේ අවුරුදු දෙකක්ද රැකියාව කර ඇත.  
“නමුත් අපිට එහෙදි කියන්නේ එක්සයිසස් ජොකියො කියලයි. අපිට රේස් පදින්න ලැබෙන්නෙ නැහැ. අශ්වයන්ගේ ව්‍යායාම සඳහා ඔවුන්ව පැදවීම තමයි අපේ රස්සාව. උදේට රවුම් කීපයක් ඒ කියන්නෙ පැයක දෙකක කාලයක් අශ්වයව පැදගෙන යනවා.” නුවරඑළියේ ගවනර්ස් කප් රේස් පදින ජොකියන්ට විදේශයන්හිදී කරන්නට වෙන්නේ එවැනි රැකියාවන්ය.  


නුවරඑළිය තුරඟ තරග පිටියේ නිල නිවාසවල වාසය කළ එෆ්.ඩී. පීටර්ගේ රැකියාව වූයේ අශ්වාරෝහකයින් පුහුණු කිරීමය. දීර්ඝ කාලයක් එම රැකියාව කළ නිසා බොහෝ දෙනා ඔහු හැඳින්වූයේ ‘ජොකී පීටර්’ යනුවෙනි. ජොකී පීටර් මෙන්ම, නුවරඑළිය රේස් පිටිය ආශ්‍රිතව උපත ලද ඔහුගේ දරුවන් ද තෝරාගත් රැකියාව වූයේ අශ්වාරෝහණයයි.  


ජොකී පීටර්ගේ එක් පුතෙකු වූ එස්.ඩී. මහේෂ් ප්‍රථමයෙන්ම පෝනියකු පිට නැඟීමට පුරුදු වූයේ අවුරුදු හතේදීය. තම පියා පිටුපස පෝනියන් පස්සේ ගිය ඔහු ටික කාලයකින්ම ‘ජොකී රස්සාව’ අපූරුවට අල්ලා ගත්තේය.  


“ටර්ෆ් ක්ලබ් එකෙන් අශ්වයින් පිටේ යන්න මම ලයිසම ගත්තේ අවුරුදු දාහතේදී.” එස්.ඩී. මහේෂ්‍ නීත්‍යනුකූල ලෙස තම රැකියාවට අවතීර්ණ වූ අන්දම පැවසුවේ එසේය.  


මහේෂ් පැවසූ ලෙස අශ්වයකු පිටේ නැගී ගිය පමණින්ම තුරඟ තරග සඳහා සහභාගිවීමට අවසර ලැබෙන්නේ නැත. වාහන පැදවීමට බලපත්‍රයක් ලබාගන්නා සේ අශ්වයකු පැදවීම සඳහා ද නිසි බලපත්‍රයක් ලබාගත යුතුය. එය නිකුත් කරන්නේ ශ්‍රී ලංකා තුරඟ තරග සංගමය මගිනි.  
ඉල්ලුම් පත්‍රය සමඟ ඒ සඳහා මුදලක්ද ගෙවිය යුතුය.  


පසුව ටර්ෆ් ක්ලබ් එකෙන් ‘ට්‍රයල්’ සඳහා දිනයක් නියම කරනු ලබයි.  


“එදාට ටර්ෆ්‍ ක්ලබ් එකේ මහත්තුරු අශ්වයාට නඟින පිළිවෙළ, පැදගෙන යන පිළිවෙළ, හදිසියේ නතර කරන පිළිවෙළ, එක පාරට හරවන පිළිවෙළ ඔය වගේ ගොඩාක් දේවල් බලලයි ලයිසන් එක දෙන්නෙ.” මහේෂ් පැවසුවේ අසුන් පැදවීම සඳහා බලපත්‍රයක් නිකුත් කරන්නේ ඉතාමත් විධිමත් පරීක්‍ෂණයකින් පසු බවය.  

 

 

පීටර් කැනියුට් පෙරේරා