සුද්දගේ නීතියටත් බිය නොවූ වැලිවිට ශ්‍රී සරණංකර මාහිමියෝ


සියම් මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ විසිවන වරට මහානායක පදවිය හෙබවූ අතිගෞරවාර්හ වැලිවිට ධර්මකීර්ති ශ්‍රී අසරණ සරණ සරණංකරාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 150 වැනි ජන්ම දිනය මෙම මස 20 වැනි දිනට යෙදී තිබේ. සිල්වත්, ගුණවත්, ධර්මධර මහතෙර නමක වශයෙන් විසිවන සියවස මුල් භාගය තුළ මෙරට සම්භාවනාවට පාත්‍ර ව සිටි උන්වහන්සේ පිළිබඳ ව කෙරෙන අතීතාවර්ජනයකි මේ.


ලක්දිව ස්‍යාමෝපසම්පදාව පිහිටුවා පිරිහීගිය සම්බුදු සසුනත් භාෂා ශාස්ත්‍රාදියත් නගාසිටුවීම සඳහා මූලාධාර වූ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ගිහි පරපුරෙහි සවැනි මුණුපුරු ලෙස තුම්පනේ වැලිවිට ග්‍රාමයෙහි පිහිටි සංඝරාජ මාහිමියන් උපත ලද වැලිවිට වත්තේ වලව්වෙ හිදී ම වර්ෂ 1870 දෙසැම්බර් මස 20 වැනි දින උපත ලැබූ අප මහනාහිමියන් ගිහි කල පුංචි බණ්ඩාර යන නමින් හැඳින්විණ. උන්වහන්සේගේ පියාණන් වැලිවිට කුලතුංග පටබැඳි මුදලි පරම්පරාවේ වික්‍රමසිංහ තිලකරත්න වාසල මුදියන්සේ රාළහාමිල්ලාගේ කිරිබණ්ඩා නිලමේතුමන් වූ අතර වල්ගම රූපසිංහ තෙන්නකෝන් වාසල මුදියන්සේ රාළහාමිල්ලාගේ මද්දුම කුමාරිහාමි මව වූවාය. කුඩා කල තම දෙමාපියන්
ඇසුරෙහි හැදී වැඩුණු පින්වත් පුංචි බණ්ඩාර කුලකුමරු දස වැනි විය දක්වා තම ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. කුඩා කල පටන් ආගම දහම කෙරෙහි මහත් ළැදියාවක් දැක්වූ මේ කුමරු, තම දෙටු පිය වූ වැලිවිට ශ්‍රී සරණංකර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් වර්ෂ 1880 දී මල්වතු මහා විහාරයේ දී හිප්පොල ශ්‍රී සෝභිත මහනාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි බිමට ඇතුළත් කරන ලදී.


ශාසනික වත් පිළිවෙත් ඉපැරණි බෞද්ධ චාරිත්‍ර සම්ප්‍රදායන් පිළිබඳව මනා ඇල්මක් දැක් වූ උන්වහන්සේ වර්ෂ 1895 සිට ශ්‍රී දළදා මාලිගාවේ තේවා ධුරයට පත් ව ඉතා දීර්ඝ කාලයක් බුද්ධෝපස්ථානයෙහි යෙදෙමින් මහත් කුසලයක් රැස්කර ගත්හ. වර්ෂ 1900 දී කර්මවාගාචාර්ය ධුරයට පත් වූ උන්වහන්සේ මහාවිහාර භික්ෂූන් වෙත පැවරෙන මහත් භාරදූර කටයුත්තක් වන උපසම්පදා විනයකර්මය ආදී ශාසනික විනයකර්මයන් ඉටුකිරීමෙහි ලා දකෂ ව ක්‍රියා කළහ. මේ පිළිබඳ ව පැහැදුණ තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල
මහනාහිමියන් විසින් වර්ෂ 1901 දී උන්වහන්සේ මල්වතු මහාවිහාරීය ගරුතර කාරක මහා සංඝ සභාවෙහි සාමාජික ධුරයකට පත් කොට වදාළහ. වර්ෂ 1925 දී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධුරයට පත්වූ උන්වහන්සේ ථෙරවාදී භික්ෂු සම්ප්‍රදාය තුළ පවතින ඉහළම ශාසනික පදවියක් වූ උපාධ්‍යාය පදවියට ද පත් වූහ.
තම මී මුත්තණු වූ ද එසේ ම ප්‍රාචාර්ය වූ ද වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ආදර්ශ පාඨයක් ව පැවති ‘උඩඟු නොව මහණ’ යන ආත්මාවවාදය නිරන්තරයෙන් සිහියට නගා ගනිමින් ආදර්ශවත් පැවිදි දිවියක් ගත කළ උන්වහන්සේ නිහතමානී බවෙහි ජීවමාන ප්‍රතිමූර්තියක් ම වූහ. තමන් වෙත පැමිණෙන ගිහි-පැවිදි, බාල-මහලු, උගත්-නූගත්, දුප්පත්-පොහොසත් සෑම දෙනා වෙත ම එක හා සමාන ව කටයුතු කළ උන්වහන්සේ ආගන්තුක සත්කාරයෙහි අතිශයින් උනන්දු වූහ. ප්‍රියවචනයෙන් හා සිනහවෙන් සැමට නිරන්තරයෙන් සංග්‍රහ කරමින් කුළුණුබර හදවතින් යුතුව අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කළහ. කුඩාකල පටන් තමන් වෙත පැවති එඩිතර බවත් අයුක්තිය හා අසාධාරණයට එරෙහිව නැගී සිටින සුළු ස්වභාවයත් නිසා උන්වහන්සේ බොහෝ දෙනා අතර මහත් ගෞරවයට පාත්‍ර වූහ.


වරෙක අප මහනාහිමියන් ශ්‍රී දළදා මාලිගාවේ තේවා ධුරයට පත් ව සිටිය දී දළදා තේවාව සඳහා හේවිසි නාද පැවැත්වීම නවතන ලෙස ඉංග්‍රීසි ආණ්ඩුවෙන් නියම කර සිටි අවස්ථාව උන්වහන්සේගේ නිර්භය බව පිළිබඳ කදිම නිදසුනකි. වර්ෂ 1915 යුද්ධ නීති සමයෙහි දී මහනුවර මඟුල් මඩුවේ දී අධිකරණ කටයුතු හා නඩු විභාග පැවැත්වීම සිදු කෙරුණු අතර ඒ සඳහා දළදා හේවිසි නාදය බාධාවක් වන බැවින් මාලිගයට වැදුණු යුද නිලධාරීන් තල්වත්තේ කාරියකරවන කෝරාළ සිරභාරයට ගනනා ලදී. පසුදින පටන් හේවිසි වාදනය කිරීමට දියවඩන නිලමේවරයා මැලි වන බව දුටු අප මහනාහිමියෝ ‘දිවි තොර වුවත් දළදා තේවාව නොඅඩුව කළ යුතු’ බව පවසා අධිකරණ තීන්දුව පසෙකලා නොබිය ව සුපුරුදු පරිදි හේවිසි නාද පැවැත්වූහ. අනතුරු ව සන්නාහසන්නද්ධ ව මාලිගයට කඩාවැදුණු යුද්ධ නිලධාරීන්ට නොබියව කරුණු පැහැදිලි කර දුන් උන්වහන්සේගේ අනුශාසනයෙන් පසු ව දළදා තේවාව පැවැත්වීමෙන් පසුව දෛනික අධිකරණ කටයුතු සිදුකිරීමට ඔවුහු එකඟ වූහ.


තිරිසන් සතුනට පවා නිරතුරු කරුණාන්විත බවින් සංග්‍රහ කළ උන්වහන්සේ සැමට දයාබර ව කටයුතු කළහ. වරෙක මැලේරියා වසංගතය හේතුවෙන් මහනුවර පැවැති සති පිරිත් දේශනයක දී කුඩයක් සොරකම් කළ දිළින්දෙකුට මිනිසුන් වට වී අමානුෂික ලෙස පහර දෙන විට එතැනට ගොස් වහා ඔහු ඉන් මුදවාගෙන සොරකමට හේතු විමසා ආහාර පානාදියෙන් සංග්‍රහ කොට දැඩි ලෙස අවවාද කර පිටත් කර යැවූහ.
1955 දී පැවති බුද්ධ ජයන්ති සැමරුම් උත්සව මාලාවෙහි ප්‍රධාන අනුශාසකයෙක් වශයෙන් මහනාහිමියන් කටයුතු කළ අතර බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව සම්පාදනය සඳහා ද මූලික ව අනුශාසනා ලබාදෙමින් අනුග්‍රහ දැක්වූ බව ප්‍රකට කරුණකි. විනය පිටකය සම්බන්ධ ව හසළ දැනුමක් පැවති උන්වහන්සේගෙන් විනය හා සම්බන්ධ මතභේදාත්මක කරුණු නිරවුල් කරගැනීම සඳහා නිකාය භේදයකින් තොර ව භික්ෂුන් වහන්සේලා පැමිණි බව ප්‍රකට ය.


වර්ෂ 1955 ජූලි 14 වන දින මල්වතු මහාවිහාරීය ගරුතර කාරක මහා සංඝ සභාවෙහි සමානච්ඡන්දයෙන් මල්වතු මහාවිහාර පාර්ශ්වයෙහි විසිවන මහානායක ධුරයට තේරී පත් වූ වැලිවිට ශ්‍රී සරණංකර අනුනාහිමියෝ ගිහිපැවිදි සැමදෙනාගේ ම මහත් ගෞරවාදරයට පාත්‍ර වෙමින් මෙරට බුදුසසුනෙහි අභිවෘද්ධිය උදෙසා මහත් මෙහෙයක් ඉටුකළහ. එතෙක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්‍ය්‍යාලයට ගොස් මහානායක පදවියට හිමි සන්නස ලබාගැනීමේ සම්ප්‍රදාය පසෙකලමින් උන්වහන්සේගේ පදවිප්‍රාප්ති උත්සවය මහනුවර මඟුල් මඩුවෙහි දී රාජ්‍ය අනුග්‍රහය ඇති ව ඉතා සම්භාවනීයත්වයෙන් යුතු ව පැවැත්විණි.


අප මහනාහිමියන් දේශීය හා විදේශීය බොහෝ ගිහිපැවිදි සම්භාවනීයයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ බව ප්‍රකට කරුණකි. වර්ෂ 1954 දී මෙරටට පැමිණි දෙවැනි එළිසබෙත් මහරැජිණ විසිතුරු ඇත්දළයෙන් නිමවූ විජිනිපතක් උන්වහන්සේ වෙත පිළිගන්වමින් ගෞරව කළාය. එසේ ම 1956 දී මෙරටට පැමිණි ජපන් අධිරාජ්‍යයාගේ සොහොයුරු වූ මිකාසා කුමරු හා කුමරියත් උන්වහන්සේ බැහැදැක ගෞරව පූර්වක මිත්‍රත්වයක් ඇති කරගත්හ. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල වැනි දේශපාලන නායකයන් උන්වහන්සේ සමීප ව ආශ්‍රය කරමින් අවවාදානුශාසනා ලබාගත් බව උන්වහන්සේ දිනපොත් ආදිය තුළින් පැහැදිලි වේ. තව ද 1955 පැවති බුද්ධ ජයන්ති සැමරුම සඳහා මෙරටට පැමිණි විදේශීය ගිහිපැවිදි බෞද්ධ නියෝජිතවරු ද පෞද්ගලිකව ම උන්වහන්සේ හමු වී අවවාදානුශාසනා ලබාගත් හ.


වෛද්‍යවරුන්ගේ ඉල්ලීම ද පසෙකලමින් ශාසන චිරස්ථිතිය උදෙසා ම කැප වූ වැලිවිට ශ්‍රී සරණංකර මහනාහිමියෝ වර්ෂ 1956 දී බුරුමයේ යැන්ගුන්හි පැවති ඡට්ඨ මහාසංගායනාවට වැඩම කොට එහි ශ්‍රී ලංකා සන්නිපාත වාරයේදී මුලසුන ද හෙබවූහ. උන්වහන්සේ වෙත පැහැදුණු එරට සංඝරාජයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් එරට භික්ෂුන්වහන්සේ නමක වෙත පිදෙන උත්තරීතර ම ගෞරව නාමය වන ‘අභිධජ මහා රට්ඨගුරු’ යන ගෞරව නාමය උන්වහන්සේ වෙත ප්‍රදානය කළහ. මෙම බුරුම සංචාරයේ දී තමන් සන්තක ව පැවති බොහෝ දේ විවිධ මහ තෙරවරුන්ට පූජා කළ උනවහන්සේ අවසන තමන් සතු වූ වසර ගණනක සිට පරිහරණය කරන ලද විසිතුරු විජිනිපතත් සැරයටියත් එරට සංඝරාජයාණන් වහන්සේට පූජා කළහ. තව ද තම ජීවිත කාලය තුළ දඹදිවට වැඩම කොට ඉපැරැණි බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කරගැනීමට ද උන්වහන්සේ භාග්‍යවන්ත වූහ.


කලක පටන් රජය සන්තක ව පැවති ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුව වර්ෂ 1956 මාර්තු මස 02 වැනි දින එවක අග්‍රාමාත්‍යතුමන් විසින් අප මහනාහිමියන් වෙත යතුර භාර දෙමින් මල්වතු මහාවිහාරය වෙත ලබා දෙන ලදී. වර්ෂ 1954 දී වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේ අනුස්මරණය කරමින් සංඝරාජ කෞතුකාගාරය ආරම්භ කරීමත් 1955 දී සංඝරාජ පිරිවෙණෙහි දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට මූලික
වෙමින් එම පිරිවෙණ නගාසිටුවීම සඳහා ද මහත් මෙහෙයක් උන්වහන්සේ විසින් ඉටුකරන ලදී. ස්‍යාමෝපාලි මහා නිකායට අයත් සියලු භික්ෂුන් ඒකරාශී කොට අභිනව කතිකාවතක් සම්පාදනය කොට භික්ෂු සංඝයාගේ සුපිළි බව ආරක්ෂා කිරීම උදෙසා දීර්ඝකාලීන වැඩපිළිවෙළක උන්වහන්සේ විසින් සම්පාදනය කොට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණ ද එය සම්පූර්ණ කරගැනීමට පෙර උන්වහන්සේ අපවත් වීම මහත් අභාග්‍යසම්පන්න සිදුවීමකි.


මෙරට බ්‍රිතාන්‍ය පාලනය නිමාවට පත්වීමෙන් පසු ව භික්ෂූන් වහන්සේ නමක් උදෙසා පැවති උසස්තම ආදාහන පූජෝත්සවය පැවැත්වූයේ මෙම වැලිවිට ශ්‍රී සරණංකර මහනාහිමියන් උදෙසා බව ඒ හා සම්බන්ධ තොරතුරු වාර්තා කර ඇති තත්කාලීන සිංහල, ඉංග්‍රීසි පුවත්පත් වාර්තා තුළින් පෙනී යයි. මහ නාහිමියන්ගේ අපවත් වීම කන වැකුණු ලංකාවාසී මහා සංඝරත්නයත් ජන ප්‍රධානීන් ඇතුළු රටවැසියාත් වැල නොකැඩී අවසන් ගෞරව දැක්වීම සඳහා මහනුවරට ඇදී ආ බව ඒවාහි සඳහන් වේ. මෙරට ත්‍රිවිධ හමුදා රාජ්‍ය ගෞරව සහිත ව පැවති ප්‍රථම ආදාහන පූජෝත්සවය මෙයයි. එවක ලංකාණ්ඩුකාර ධුරය දැරූ සර් ඔලිවර් ගුණතිලක, අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක යන මහත්වරුන් මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළහ.
වර්ෂ 1956 සැප්තැම්බර් මස 26 වැනි දින බෝගම්බර ක්‍රීඩාංගනයෙහි පැවති මෙම ආදාහන පූජෝත්සවය සඳහා තුන් නිකායටම අයත් මහානායක, අනුනායක මහතෙරවරුන් ප්‍රධාන මහා සංඝරත්නයත් ලංකාණ්ඩුකාරතුමන් අග්‍රාමාත්‍යතුමන් ප්‍රධාන මෙරට පාලන තන්ත්‍රය නියෝජනය කළ සම්භාවනීයයන් වියතුන් විදේශීය තානාපතිවරුන් ඇතුළු බොහෝ පිරිසක් මේ සඳහා සහභාගි වී තිබේ. පූර්ණ රාජ්‍ය ගෞරව සහිත මහනුවර ඓතිහාසික මඟුල් මඩුවෙහි ශ්‍රී දේහය ආදාහනයට ප්‍රථම ව තැන්පත් කොට තිබිණි. මහානායක මාහිමිපාණන් වහන්සේ උදෙසා ආචාර වෙඩිමුර 19ක් පවත්වමින් ඉහළ ම ගෞරවයක් ලබාදෙමින් මෙම ආදාහන පූජෝත්සවය ඉතා උසස් අන්දමින් පවත්වා තිබේ.

 

 

 

දිමුතු බඹරදෙණිය