සුගුණපාලගේ නුගුණ මේ ආත්මයේම පලදෙයි


ජීවිතය යහ මගට ගැනීමට නිවැරැදී මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒවෙනුවෙනි.

 

අම්බලන්තොට එස්.සෝමසිරි මහතා ලියා එවූ කතාවකි.   

හදා ගත් මව්පියන්ට කුරිරුකම් කළ සුගුණපාල ඊට ජීවිතයෙන් වන්දි ගෙව් අයුරුය මේ. 

 
දනෝරිස් හා සැල්පිනා යහපත් පවුල් දිවියක් ගත කළ ගමේ වත්පොහොසත් කමින් යුත් යුවළකි. ඔවුන්ගේ හත්වන දරුවාද ගැහැනු දරුවෙකු වූයේ දනෝරිස්ගේ යටි සිතේ සැඟවුණු අපේක්ෂා බොඳ කරමිනි. වීරරත්න ගලබොඩ කංකානම්ගේ යන පෙළපත් නාමය ඉදිරියට ගෙන යාමටද වී කුරුණි හත අටක් වැපිරිය හැකි කුඹුරු කෑල්ලද වරකට ගෙඩි දෙතුන් දහසක් කැඩෙන පොල් ඉඩමද යන දේපොළ උරුම කර දීමටද පුත්‍ර රත්නයක් නැති වීම ගැන දනෝරිස් සිතින් කලකිරුණේය.

එහෙත් බිරිඳට ඒ සම්බන්ධයෙන් දොස් නොපැවරූ බුද්ධිමත් දනෝරිස් බිරිඳ සමග සුහදව කතාබහ කර ඇයගේ ද එකඟතාව ඇතිව එක් නිගමනයකට එළඹුණි. කාගේ හෝ පිරිමි දරුවෙකු තම පෙළපත් නාමය යටතේ හදා වඩා ගැනීම එම නිගමනය විය. එතැන් සිට දෙන්නා දෙමහල්ලෝ දන්නා කියන හැම දෙනාටම කියා මේ පිළිබඳ විපරම් කළහ. මාස ගණන් ගත වුවද සතුටුදායක ආරංචියක් නොලැබුණි. මේ අතර අහඹු සිදු වීමකින් දනෝරිස් යුවල වෙත දෛවය කාරුණිකත්වය ළඟා විණි. ඔවුනට ඈතින් ඥාතිත්වයක් ඇති කතක් දරු ප්‍රසූතියේදී මිය ගියාය. සතුටුදායක වූයේ ඇය මිය යාම නොව ඇය බිහි කළ දරු පැටියා පිරිමි දරුවෙකු වීමයි. මිය ගිය කතගේ සැමියා බලවත් ගැටලුවකට මුහුණ දුන්නේය. මව් කිරි සුවඳ පවා නොලද කිරිකැටියා හදා වඩා ගැනීමේ භාරදූර කාර්ය කෙලෙස කර ගන්නේද යන්නය. මෙහිදී දනෝරිස් යුවල ඉදිරිපත් වූයේ ඔවුන් කෙරෙහි කරුණා සිත් පහළ කරමින් බව ඇඟවෙන පරිද්දෙනි.   


‘‘දරුවෝ හතක් හදාපු මට මේ දරුවා වැඩි නැහැ.’’ කියමින් දනෝරිස්ගේ බිරිඳ දරු පැටියා නිවසට රැගෙන ආවාය. හදා වඩා ගන්නවා පමණක් නොව සිය නම ගම සහිතව ද නීත්‍යනුකූලව පවරා දීමට දරුවාගේ පියා පොළඹවා ගැනීමට දනෝරිස් සමත් විය.   


වසර ගණනින් කාලය ගත විය. දියණිවරු හත් දෙනාම දීගතල දී අවසන්ය. එකම පුතා ද තරුණයෙකි. අධ්‍යාපනය කඩා කප්පල් කර ගත් හේ රස්තියාදුකාර මිතුරන්ට එක් වී නාස්තිකාර පුත්‍රයෙකු බවට පෙර ලකුණු පහළ කළේය. මවත් පියාත් ආදරයෙන් තරවටු ආදී විවිධ ක්‍රමෝපාය යොදමින් පුත්‍රයා යහමගට ගැනීමට උත්සාහ කළ ද පලක් නොවිණි. දෙමහල්ලන් පුත්‍රයා කෙරෙහි තබා තිබූ විශ්වාසය පලුදු වන්නට වැඩි කල් ගියේ නැත. දේපොල ඔහුට පවරා දීම වක්කඩේ හකුරු සැඟවීමට දෙවැනි නොවන බව වැටහුණි. ඔවුහු පුතාට හොරා සියලු දේපොළ සම සේ දූවරු වෙත නීත්‍යනුකූලව පැවරූහ. මහ ගේ පුතුට ඉතිරි කළහ. රහසේ සිදු කළ ද මෙය පුත්‍රයාගේ කනට කල් නොයවා පතිත විය. කෝපයට පත් ඔහු දිනක් හැන්දෑවේ රා බී මත් වූ නාළාගිරි ඇතු සේ නිවසට පැමිණ මව්පියන්ට දොස් නගා පහරදී යන්නට ගියේය. වැඩි දුරක් යන්නට ඉඩ නොලැබුණි. පදවා ගෙන පැමිණි යතුරුපැදිය ගසක වැදී පාරෙන් ඉවතට පැන්නේ යතුරුපැදිකරුට බරපතළ තුවාල සිදු කරමින්ය.   


රෝහල් ගත කළ තම පුතු බැලීමට මව්පියෝ ගියේය. හිස සුදුපාට පටි වලින් වෙළා තිබුණද සිහිය නොසුන්ව පැවතුණි. ඇඳේ දෙපැත්තේ සිටින මවගේ හා පියාගේ අත් ඔහු අත් දෙකින් අල්ලා ගත්තේය. නෙතින් කඳුළු නැගුණි මුවින් බසක් පිට නොවුණද මට සමාවෙන්න යන වදන් මුව මඩලේ ඇදිණි. එකවර දෙඅත පහත වැටුණි. උඩට ගත් හුස්ම පොද යළි පහළට නොගියේය. පාපයක් කළොත් එහි විපාකය මෙලොවදීම පල දෙන්නේ ඒ ආකාරයෙනි.  

 



අම්බලන්තොට එස්.සෝමසිරි මහතා එවූ තවත් ලිපියකි  

සිවුරට මුවා වී කළ වංචා මරණයෙන් නිමා විය   


බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ නිවන සාක්ෂාත් කර ගැනීමේ අරමුණ පසෙක ලා උදරාර්ථය පිණිස කටයුතු කළ භික්ෂූන් බුදු සසුන තුළ සිටි බව කියවෙන පුවත් බෞද්ධ සාහිත්‍යයෙහි වෙයි. බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලීනව ද එබඳු භික්ෂූන් බුදු සසුනට කරන විනාශය දැක ඔවුන් සසුනෙන් නෙරපා බුදු සසුන රැක ගත් මහරජවරුන් පිළිබඳව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. ධර්ම සංගායනාවන් කීපයකට මුල් වූ ප්‍රධාන කරුණු අතුරින් එකක් වූයේ එබඳු පිරිස්ය. මෙම කරුණ මෑත කාලයේද විවිධ ස්වරූපවලින් බුදු සසුන තුළ නැත්තේ නොවේ. සිවුරට මුවා වී එහි පවත්නා පූජනීය බව ගෞරවනීය බව නොසලකා කටයුතු කරමින් උතුම් වූ සම්බුද්ධ ශාසනයට විසල් කලු පැල්ලමක් එක් කළ පෘථග්ජනයෙකු පිළිබඳ පිළිකුල් සහගත පුවතකි මේ. මෙය මුළුමනින් මනඃකල්පිත නොවන අතර ඉන් අතිගෞරවනීය පූජනීය සුසිල්වත් මහ සඟ ගණ වෙත මදි පුංචිකමක් අපහාසයක් නිගරුවක් මුදාහැරීමේ පවිටු චේතනාවක් නොවන බවද දෙපා නැමද පැවසිය යුත්තේය. 

 
ගුරු හාමුදුරුවෝ සිල්වත් ය. ගුණගරුක ය. කරුණාවන්ත ය. උන් වහන්සේගේ දෙවන ශිෂ්‍ය සාමණේරයෝ කුඩා කල පටන් අකීකරුකම් පෑවේය. කොතෙක් අවවාද කළද උන්වහන්සේ ගුරු හිමියන්ගේ සිත රිදවන කටයුතුවල තව තවත් ගැලුණේය. යහපත් ඇසුරකට වැටුණු විට මෙය දුරු වේ යැයි සිතූ ගුරු හිමියන් මෙම සාමනේරයන් අගනුවර සුප්‍රකට පිරිවෙනකට ඇතුළත් කළේය. එහෙත් උන්වහන්සේගේ අපේක්ෂාවන් සුන් කරමින් ගලා එන්නට වූයේ ශිෂ්‍ය නම පිළිබඳ අප්‍රසන්න පුවත්ය. තමන් වහන්සේට සිත එකඟ කර ගෙන දිවියේ සැඳෑ සමය ගත කිරීමට මෙම භික්ෂුව ඉඩ නොදෙයි. උන්වහන්සේ තීරණයකට එළඹුණි. දායක සභාව රැස් කරවා උදා වී ඇති තත්ත්වය පැහැදිලි කළහ. ‘මට උන්නාන්සේගේ සිවුරු බලෙන් ගලවන්න බැහැ. ඒ නිසා මගේ ශිෂ්‍යභාවයෙන් ඉවත් කරනවා. මේ දායක සභාවේ අදහස දැන් කියන්න’ කරුණාවන්ත ලොකු හාමුදුරුවෝ දායක සභාවට දැන්වීය. කීප දෙනෙක් ඊට එකඟව කරුණු දැක් වූ අතර බොහෝ දෙනා ඊට විරුද්ධ වූහ.   


‘‘හොඳයි මම නැති කාලෙක මේ ඇත්තන්ට ඔය තීරණය නරක විපාක විඳින්න සිද්ධ වේවි.’’පැවසූ ලොකු හාමුදුරුවෝ සභාවේ කටයුතු නිම කළහ.   


 කෙටි කලකින් ලොකු හාමුදුරුවෝ ගිලන් වූහ. සියලු ඇපඋපස්ථාන පළමු ශිෂ්‍ය හිමියන් හා දායකයින් එක්ව සිදු කළ අතර කොළඹ සිටි දෙවන ශිෂ්‍යයා පැත්ත පළාතක පැමිණියේ නැත. ලොකු හාමුදුරුවන් අපවත් වී නව විහාරාධිපති වහන්සේ නමක් පත් කර ගැනීමට සංඝ සභාව රැස් වූ විට අදාළ හිමි නම තමන් ඊට සුදුසු බවට තර්ක කරමින් අරගලයක් ඇති කළේය. උගත් නැණවත් සංඝ පීතෘවරුන් ගෙන් එම භික්ෂුවට ඉඩක් නොලැබුණි. අපවත් වූ ලොකු හාමුදුරුවන්ගේ පළමු ශිෂ්‍යවරයා විහාරාධිපති ලෙස ඒකඡන්දයෙන් පත්වූහ.   


ලොකු හාමුදුරුවන්ගේ ආදාහන කටයුතු නිමවීමටත් පෙර මෙම භික්ෂුව බැහැර වූයේ සිත් අමනාපයෙනි. අෑත පළාතක දන්නා කියන හිමි නමකගේ විහාරස්ථාන​ෙය් නතර වූ උන්වහන්සේ කේන්ද්‍ර බැලීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදියෙහි නිරත වූහ. එහෙත් විශේෂත්වය වන්නේ උන්වහන්සේ කවදාවත් මෙම විෂයන් හදාළ අයෙකු නොවීමයි. ලොකු හාමුදුරුවන් තබා එම පැවිදි පරපුරේ කිසිම භික්ෂුවක් එබදු කටයුතුවල යෙදී සිටියේ ද නැත. අමු බොරුවක් කරමින් මිනිසුන් මුලා කොට මුදල් ගැරීය. ජාවාරම කෙටි කලකින්ම සාර්ථකවන්නට විය.   


බොරුවට ආයුෂ අඩුය. බොරුව හෙළි වී එම පංසලෙන්ද එළවා දැමිණි. මගට වැටුණු භික්ෂුව වසර කීපයකට පසු යළි තමන් පැවිදි බව ලද පංසලට පැමිණියහ. ඒ වන විට විහාරාධිපති පදවිය දරමින් සිටි හිමියෝ සිය ආචාර්යයන් වහන්සේ මෙන් කරුණාවන්ත උණුවන හදක් ඇති උත්තමයෙකි. එ්නිසා සිය පැවිදි සහෝදරයාට පංසලේ නතරවීමට අවසර දුන්හ. දුරදිග බැලූ විහාරාධිපති හිමියෝ තම සහෝදර භික්ෂුව නිසා එළඹිය හැකි අනතුර කල් තබා නුවණින් දැක තම භික්ෂු පරපුරට අයත් වෙනත් විහාරස්ථානයකට ඒ හිමි නම පිටත් කළහ.   


එහිදී එම භික්ෂුව ළං කර ගත්තේ ගමේ තරුණ දඩබ්බර ගංජා කසිප්පුකාරයින්ය. හරක් හොරුන් වැනි අවරගණයේ පිරිස් ය. තමාට කළ නොහැකි දෙයක් නැත යන්න පිළිබිබු වන සේ කටයුතු කළ එම භික්ෂුව තවත් කූට ව්‍යාපාරයකට අත ගැසීය. තරුණයන්ට රැකියා ලබාදීම යුරෝපා රටවලට රැකියා සඳහා පිටත් කර හැරීම ආදිය කළ හැකි බවට ප්‍රචාරය කළේය. ඊට ඔහු වටා සිටි තරුණ පිරිස අනුබල දුන් අතර තැරැව්කරුවන් ලෙසද කටයුතු කළහ.   


මොහුගේ වදනට රැවටුණු පිරිස් වැඩි වූ අතර ඔවුන් නිසා ලද අත්තිකාරම් මුදල කෝටිය ද ඉක්ම විය. එහෙත් ගත වූ කාලය වැඩි වෙත්ම මුදල් දුන් අයගේ බලාපොරොත්තු ද කල් ගියේය. භික්ෂුව තම සගයන් සමග ඉහළ පෙලේ දිවියක් ගත කළේය. මුදල් දුන් අයට තමන් උගුලක හසු වූ බව තේරුම් ගොස් මුදල් ඉල්ලා එකිනෙකා පංසලට පැමිණෙන්නට වූහ. විහාරාධිපති හිමියන්ටද පැමිණිලි ලැබෙන්නට වූයෙන් උන්වහන්සේට මෙය මහත් හිසරදයක් විය.   


දිනක් රාත්‍රී කුපිත වූ පිරිස් පංසල වට කළහ. එහෙත් උන්වහන්සේ රහසේ අතුරුදන්ව තිබුණි. පොලිස් දැලෙන් ගැලවිල්ලක් නැති බව ඒ භික්ෂුවට දැනෙන්නට ඇත. සිය ගැලවීම සඳහා ගත යුතුව තිබුණේ එකම ක්‍රියා මාර්ගයකි. හෙතෙම ඒ අනුව ක්‍රියාත්මක වන්නට ඇත.   


පසුදින විහාරාධිපති හිමියන් පැමිණ දොරගුළු ගලවා සංඝාවාසයට ඇතුළුවූහ. ඉහත කී හිමියන් සයනයේ වැතිර සිටිනවා නෙත ගැටුණි. කුප්පියක් බිම පතිතව තිබුණ අතර වස ගඳ කාමරය පුරා පැතිර තිබුණි.

 



බෙලිගල මැටියගනේ කපුහේන් කන්ද මනහර මහින්ද වෑකඩ මහතා ලියා එවූ කතාවකි.   

අඳ මව්පියන්ට පහර දුන් පුත්‍රයා ගසින් වැටී මරුට   


නිමල් පවුලේ එකම දරුවාය. දඟකාර වැඩ නිසා අතරමගදී පාසල් ගමන නවතා දැමීමට සිදුවිය. අට සමත් නිමල්ට රැකියාවක් සොයා ගැනීමට එතරම් පහසු නොවීය.   


අන්ත අසරණ තත්ත්වයට පත්වූ නිමල් කළේ කුළියට පොල් ගස් නැඟීමය. එයින් ලැබෙන මුදලින් යාන්තමින් ජීවිතය සරිකර ගත්තේය.   


නිමල්ගේ දුර්ගුණයක් වූයේ තම අඳ දෙමාපියන්ට පහරදී හිරිහැර කිරීමයි. දුක් මහන්සියෙන් තම එකම දරුවාගේ අධ්‍යාපනය ලබාදීමට ඔවුහු කටයුතු කළහ. නමුත් එය ගඟට කැපූ ඉනි මෙන් විය.   


දිනපතා පොල් කැඩීමෙන් ලැබෙන මුදලින් සවසට මත් වතුරින් සූර් වූ නිමල් නිවසට පැමිණෙන්නේ හොඳටම රෑ බෝවීමෙන් පසුය. එවිට අඳ මාපියෝ ආහාර සකස් කොට තබති. ආහාර රස නොමැති බව පවසමින් තම මව සමඟ ගැටුම් ඇති කර ගනියි. ඊට මැදිහත්වන පියාටද හොඳටම පහරදෙයි. තම එකම දරුවා නිසා ඔවුහු තාඩන පීඩන ඉවසා සිටිති. ඇස් නොපෙනීම නිසා ඔවුහු අසරණව සිටිති.   


සුපුරුදු පරිදි නිමල් එදිනත් උදෙන්ම රැකියාව සඳහා පිටත්ව ගියේය. පෙර දින වර්ෂාව නිසා පොල්ගස් තෙත බරිත වී තිබිණි. සවසට මත් වතුර බීමට අවශ්‍ය නිසා නිමල් පොල් ගස් යයි. මද දුරක් යන විට කකුල ලිස්සා යාම නිසා නිමල් පොල් ගසින් වැටුණේය. මෙම නිසා නිමල් රෝහල් ගත කෙරිණි. වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ නිමල්ගේ සුසුම්නාවට දැඩි ලෙස හානි සිදුවී ඇති බවය. දින කිහිපයක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර නිමල් ජීවිතයෙන් සමුගත්තේය.  


තම අඳ මාපියන්ට හිරිහැර කිරීම බරපතළ වරදකි. දෙමාපියන්ට පහර දීම නිසා මේ ජීවිතයේදීම නොඑසේනම් ඊළඟ ආත්මයේදීම අනිවාර්යයෙන්ම එම විපාක විඳීමට සිදුවේ. නිමල්ටද සැලසුණේ එවැනි ප්‍රතිවිපාකයකි.  

 


මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.   

 

 

 

 

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්