සීගිරියේ පරිසරය වනසන කරුමක්කාරයෝ


 

ලෝක උරුම සීගිරි පව්වත් බෞද්ධයන් වන ලොව සියලු‍ ජනයාට වැඳුම් පිදුම් කිරීම සඳහා පෙර රජ දවසේ සිට පැවත එන ඓතිහාසික පිදුරංගල පව්වත් අවට ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ඉඩකඩම් අත්පත් කරගැනීම සඳහා වන විනාශයක් සිදුකරමින් සිටින බව ප්‍රදේශවාසීහු පවසති.   


සීගිරිය අභය භූමියේ මෙන්ම ඉන් පිටත ප්‍රදේශවල ද එනම් රජයේ මහ වන ගහණ වූ කැලෑවල මේ ආකාරයෙන් කොරෝනා සමය උපයෝගී කරගෙන මෙම වනාන්තර විනාශය සිදුකරමින් සිටින බවත් ඒ සඳහා බොහෝ නිලධාරීන්ගේ මෙන්ම දේශපාලන අධිකාරියේ ද ආශිර්වාදය ඇතිව සිදු කෙරෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.   


ඓතිහාසික සීගිරිය පවුව පෙනෙන මානයේ සිදුකෙරෙන මෙම මහා වන විනාශය පිළිබඳව ඉතා සූක්ෂම ලෙස සොයා බැලීම සඳහා තවත් කණ්ඩායමක් සමඟ අප එහි ගියෙමු. 

 

 


අප මුලින්ම ගියේ සීගිරිය පොතාන ග්‍රාම නිලධාරී වසමට අයත් ප්‍රදේශයේ සිදුවෙන මහා වන විනාශය දැකගැනීම සඳහාය. එහි තත්ත්වය හා වගකිව යුත්තන්ගේ ප්‍රකාශද සමග මෙසේය. 

 
සීගිරිය අභය භූමියේ වන අලි බහුලව ගැවසෙන වන භූමියක් සංවිධානාත්මක කණ්ඩායමක් සහ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම මත අත්පත් කරගෙන පොල්, අඹ සහ පලතුරු ගස් සිටුවීමේ මුවාවෙන් ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක​වෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.   
රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම ප්‍රබල දේශපාලනඥයන්ගේ ඉඩම් ජාවාරම්කරුවන්ගේ ‍ තර්ජනය හේතුවෙන් ප්‍රදේශවාසීන් මෙම ඉඩම් ජාවාරම දැක දැඩි නිහඬතාව රකින බවත් මේ පිළිබඳව කිසිදු අයකුගේ අවධානයක් යොමු නොකරන බව ද ඔවුහු පෙන්වා දුන්හ.   


පසුව අප ඉතා සූක්ෂම ලෙස රහසිගත කැමරා උපයෝගී කරගෙන ප්‍රදේශවාසීන් කීපදෙනකු සමග සීගිරිය අභය භූමියේ පොතාන ප්‍රදේශයේ පිහිටි මෙම රජයේ රක්ෂිතයට ඇතුළු වුණෙමු. ප්‍රදේශවාසීන් පවසන පරිදි මෙම රජයේ රක්ෂිතයේ අයිතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවට ද පැවරේ.   


කාලයක් තිස්සේ වන අලින්ගේ සහ වන සතුන්ගේ නිජභූමි බවට පත්ව ඇති අක්කර හැටක් හැත්තෑවක් පමණ වූ විශාල භූමියක් මෙම සංවිධානාත්මක කණ්ඩායම් විසින් අත්පත් කරගෙන කැලෑව හෙළිපෙහෙළි කොට මායිම් වෙන්කොට තම තමන් අල්ලා ගත් භූමිවල ඉතා සූක්ෂම ලෙස පොල් පැළ, අඹ පැළ, කටු අනෝදා පැළ, ඇඹරැල්ලා පැළ ආදී වර්ග සිටුවා තිබෙනු දැකගැනීමට හැකි විය. 

 
මෙම අඹ සහ පොල් පැළ සිටුවා ඇත්තේ ද නියම ප්‍රමිතියකින් නොවන බව එහි සිදුකළ විමර්ශනයේදී අපට හෙළි වූයේ එක උදළු තලයක් හාරා ඉඩම් අත්පත් කර ගැනීම සඳහා පමණක් මේවා පෙනුමට සිටුවා ඇති බව අනාවරණය විය.   


සිගිරි පව්වේ බස්නාහිර දෙසට පිහිටි අවුඩංගාව ප්‍රදේශයේද වන විනාශයක් සිදුවේ.   
 සීගිරිය පව්වත් පිදුරංගල පව්වත් පෙනෙන මානයේ සීගිරිය අවුඩංගාව ප්‍රදේශයේ ඉඩම් අත්පත් කරගැනීම සඳහා සංවිධානාත්මක කණ්ඩායමක් මේ දිනවල වන සතුන් ගහණව සිටින මහ කැලෑව කපා ගස් කොළන් කපා බිම දමා එළි පෙහෙළි කර විනාශ කරමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.   
දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේ අවුඩංගාව කොට්ඨාසයට අයත් සීගිරිය අභය භූමියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් විශාල වනයක් මෙයාකාරයෙන් ව්‍යාපාරිකයන් පිරිසක් ප්‍රාදේශීය දේශපාලනය කරන පිරිසක් එක්ව පුද්ගලයන් කුලියට යොදවා මහ ගස් කපා බිම දමා ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බව පෙන්වා දෙති.   


මේ පිළිබඳව බලධාරීන් හට කොතෙක් කීවද කිසිදු අවධානයක් නොමැති බවත් මේවා දැනුම් දෙන ප්‍රදේශවාසීන්ට සිදුවෙන්නේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ මැර කණ්ඩායම්වලින් දැඩි ලෙස තර්ජනය කිරීම් සහ පහරකෑම්වලට ලක්වීම බව ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම රජයකින් ලැබෙන සියලු‍ වරප්‍රසාද අහිමි වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් මෙම පුද්ගලයන්ට දැඩි බියකින් පසුවන බවත් එමෙන්ම ව්‍යාපාරිකයන් විසින් විවිධ කණ්ඩායම් යොදවා මෙම සිද්ධීන් අනාවරණය කරන ජනතාවට සහ ඊට විරුද්ධ වන ජනතාවට තර්ජනය කරමින් පහරදෙන බව ද ජනතාව කියති.   

 


වන අලින් ඇතුළු වන සතුන් ගහණව සිටින සීගිරිය අවුඩංගාව ප්‍රාදේශීය මහා රක්ෂිත කපා දමා ඇත්තේ කොහොඹ, කටකෑල, කොලොන්, බුරුත, මිල්ල, දමුනු, දබ, වෙලන් ආදී විශාල ගස් වේ. මේ වෙන විටත් එම වනස්පතියන් මහ පොළොව මත පතිත වී ඒවායේ සාරය කඳුළු සලන්නා සේ එළියට ගලනු දක්නට තිබේ.   
මේ මහා අපරාධය සිදුවන දෙස සීගිරි පව්වත් පිදුරංගල පව්වත් ඇස් දෙකෙන් අයා බලා ඉන්නා සේ මෙම ඉඩමට දර්ශනය වීම ද විශේෂත්වයකි.   


මෙම මහා පරිමාණ පරිසර විනාශය, ඉඩම් කොල්ලකෑම පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමාව මෙතෙක් ග්‍රාම නිලධාරිවරයා හෝ මේ සම්බන්ධයෙන් දැනුවත්කොට නොමැති බවය. ප්‍රදේශයට ගොස් පෞද්ගලිකවම සොයා බලා මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේය.   

 

සටහන/ඡායාරූප
 දඹුල්ල - කාංචන කුමාර ආරියද‌ාස