සීගිරිය ආදී මානවයාගේද ?


කාශ්‍යප යුගයට එහා ආදී මානවකයාගේ තොරතුරු රැසක් පිළිබඳ හෙළි කරගත් සීගිරි බිමේ පිහිටි අලිගල නරඹන්නට ජනතාවට අවස්ථාවක් උදාවී තිබේ.   


සීගිරිය නම කිවූ සැණින් බොහෝ දෙනකුගේ මතකයට නැඟෙන්නේ ලොව අටවැනි පුදුමය ලෙසය. එමෙන්ම සීගිරිය කාශ්‍යප කරවූ බව බොහෝ දෙනාගේ සිහියට නැගේ. තවත් පිරිසක් කියනුයේ මෙය රාවණා යුගයේ රාවණා රජු විසින් තනන ලද මාලිගාවක් යන්නය. එහෙත් පසුගිය දිනවල මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සිදුකළ ගවේෂණයක කැණීම්වලදී තවත් ඓතිහාසික තොරතුරු සොයාගෙන තිබේ.   


මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ හෙළිදරව් කිරීම අනුව ගල් යුගයේ මිනිසුන් ජීවත්වූ ස්ථාන කිහිපයක් සිංහ පාදයට නැගෙනහිර ප්‍රදේශයේ අලංකාර වන ලැහැබක තිබී සොයාගෙන තිබේ. එම ස්ථානයේ ආදි මානවයා ජීවත්වූ බවට අවශ්‍ය සාධක රැසක් ද මේ ​ෙවනවිට සිදු කරන ලද කැණීම්වලදී සොයාගත් බව මහාචාර්යවරයා සඳහන් කර සිටී.   


එමෙන්ම සීගිරිය නැරඹීම සඳහා ලබාගන්නා ප්‍රවේශ පත්‍රයට මෙම ඓතිහාසික ස්ථාන කිහිපයක්ම දැක බලා ගැනීමට මෙන්ම ත්‍රාසජනක අත්දැකීමකින් සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට අවස්ථාව උදාකර දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබීමද විශේෂත්වයකි.   


මෙම ත්‍රාසජනක අත්දැකීම පළමුවරට මහජනතාවට උදා කිරීමට මත්තෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට මාධ්‍ය කණ්ඩායමකට එම අවස්ථාව උදාවීම විශේෂත්වයකි. එයින් පළමු අවස්ථාව අපට හිමිවීම ද තවත් සුවිශේෂී වූ කරුණකි.   


මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා​ෙගන් අප කළ ඉල්ලීමක් අනුව දැනට ජනතාවට විවෘත කිරීමට නියමිත මෙම ස්ථානය දැකබලාගැනීමට ඡායාරූප ගැනීමට අවසරය ලබා දීම මෙන්ම ඒ පිළිබඳව මග පෙන්වන්නෙකු ද අපට ලබා දුන්නේය. ඒ අනුව ප්‍රථම මාධ්‍යවේදියා ලෙස එම ස්ථානයට ගමන් කිරීමට මට හැකිවීම විශේෂත්වයකි.   


ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ සිට මෙම ඓතිහාසික ස්ථාන පිහිටි අති දුෂ්කර මාර්ගයක ගමන් කිරීමට අපට හැකියාව ලැබිණි.   


මෙම විශේෂ හෙළිදරව් කිරීම සඳහා මාධ්‍යයට මග පෙන්වීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය කෞතුකාගාර පාලක ගාමිණී කරුණාරත්න මහතාගේ සහ පුහුණු උපාධිධාරී සමීර මලගල මහතාගේ සහයෝගය අප හට ලැබුණේ මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතාගේ මැදිහත්වීම මතය.   


සීගිරිය සිංහ පාදයට පහළින් සීගිරි පව්වට නැගෙනහිරින් මෙම පහන් ගල සහ අලිගල පිහිටා තිබේ. සිංහ පාදයට පහළ ප්‍රදේශයේ සිට ඉතා මනරම් වන ලැහැබකින් මෙන්ම ඉපැරණි ගල් පඩි පෙළවල් මතින් සහ ගස්වැල් සහ ලී වලින් තැනූ අත්වාරු අල්ලාගෙන මීටර් 750 ක පමණ දුරක් ගියවිට කැලෑබද ප්‍රදේශයට වන්නට මෙම අලිගල පිහිටා තිබේ.   


අලිගල නැරඹීම සඳහා ගමන් කරද්දී මුලින්ම හමු​ෙවන්නේ පහන් ගලයි. එම ස්ථානයේ ආදි භික්ෂූන් වහන්සේලා වැඩසිටි බවට නටබුන් සංරක්ෂණයකොට තිබෙන අතර එහි සෙල්ලිපියක් ද සොයාගෙන තිබේ. අප සමඟ ගමනට එක් වූ ගාමිණී කරුණාරත්න මහතා කියා සිටියේ පහන් ගල භික්ෂූන් වහන්සේලාට සඟසතු කොට පූජා කළ ස්ථානයක් බවට එහි සටහන්ව තිබෙන බවය.   

 

 

එතැන් සිට මීටර් 500 ක පමණ දුර ප්‍රමාණයක් අති දුෂ්කර මාර්ගයක වන ලැහැබ මැදින් තුරුලිය අතරින් යන ගමනේදී සීගිරිය ඉපැරණි රජ මාලිගාවක් තිබුණු බවට සිතිය හැකි ඉපැරණි උළු කැබලි, මැටි ගඩොල් ආදී අවශේෂ කොටස් රැසක් මෙන්ම ගල් බැමි, ඉපැරණි ගොඩනැගිලි රැසක නටබුන් ද සියැසින් දැක බලා ගනිමින් ගමන් කරද්දී අලිගල නම් වූ ස්ථානය හමුවෙයි.   


මධ්‍යම සංස්කෘතික අරමුද​ෙල් අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගුණවර්ධන මහතා කියා සිටියේ ක්‍රිස්තු පූර්ව 3300 පමණ ඉතිහාසයක් එනම් මීට වසර පන්දහස් පන්සීයක් පමණ ඉහතදී මෙම අලිගල නම් වූ ගල් ගුහාවේ ආදි මානවයා ජීවත් වූ බවට සාධක රැසක් කැණීම්වලදී සොයාගත් බවය.   


අප සමඟ ගමනට එක් වූ කෞතුකාගාර පාලක ගාමිණී කරුණාරත්න මහතා ඒ පිළිබඳව විස්තර කරමින් කියා සිටියේ මේ ස්ථානයේ තිබී ආදි මානවයා ආහාරයට ගත් පහත රට තෙත් කලාපවල ජීවත්වූ ගොලුබෙල්ලන්ගේ කටු මෙන්ම විවිධ අවශේෂ කොටස් රැසක් හමුවී තිබෙන බවය.   


 එමෙන්ම සීගිරිය නැරඹීම සඳහා ලබාගන්නා ප්‍රවේශ පත්‍රයෙන් අලිගල සහ පහන්ගල නැරඹීම සඳහා අවසර පවතින බවත් ඕනෑම අ​ෙයකුට සීගිරිය නැරඹීමෙන් පසුව මෙම ස්ථානයද නැරඹීමට හැකි බවද හෙතෙම සඳහන් කෙළේය.   


මෙම ස්ථානය පිළිබඳවත් ගමන් මග පිළිබඳවත් දැනුවත් කළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා අප සමඟ මෙසේ පැවසීය.   


“සීගිරිය පිළිබඳ තිබෙන ඉතිහාසයට වැඩිය ඉතිහාසයක් දෙස් විදෙස් සංචාරකයන්ට පෙන්වන්න තමයි මධ්‍යම සංස්කෘතික අරමුදල මෙම ස්ථානය පිළිබඳව ජනතාවට කියන්න තීරණය කළේ”  

 

 

“මෙම අලිගල කියන සුවිශේෂී ස්ථානය සීගිරිය නරඹන්නට එන දෙස් විදෙස් සංචාරකයන්ට තාසජනක මුහුණුවරකින් අලිගල නරඹන්නත් එමෙන්ම මෙම ගල් යුගයේ ජනතාව පිළිබඳව කියා දෙන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි සීගිරිය නරඹන්නට එන අයට කාශ්‍යප යුගයේ නිර්මාණවලට වැඩිය අලුත් අත්දැකීමක් ලබා දීමට අපට පුළුවන් වෙනවා. ඒ වගේම පාසල් දරුවන්ට විදේශීය සංචාරකයන්ට තමයි මෙම ස්ථානය පෙන්වන්න ඉලක්ක කරගෙන තිබෙන්නේ. සිගිරි ප්‍රදේශයේ ඉතාම පැරණිතම මානව ඉතිහාසය පෙන්වීමට මෙම ස්ථානයේ සාධක පවතිනවා. මෙම ගල් ගුහාව අසල සිදු කරන ලද කැණීම් මඟින් දැනට කාල නිර්ණය කර තිබෙන ආකාරයට වසර හාරදහසත් 4500ත් පමණ ඉතිහාස තොරතුරු වාර්තා වෙනවා. ආදී මානව තොරතුරු විශාල වශයෙන් හමුවෙලා තිබුණේ පහත රට දේශවලින් සහ බළගොඩ ආදී ප්‍රදේශවලින්. සීගිරියේ මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව සිදුකරන ලද ගවේෂණවලින් පර්යේෂණ වලින් තමයි අපිට අනාවරණය කරගන්න හැකියාව ලැබුණේ මේ අලිගල නැමැති ස්ථානය මෙන් තවත් ආදි මානවකයා ජිවත් වූ ස්ථාන කිහිපයක්ම සොයාගෙන තිබෙනවා”   

 

“අලි ගලේ සිදු කරන ලද කැණීම්වලින් අවුරුදු 4500ක මිනිසුන්ගේ ඉතිහාසය වගේම මිනිසුන් එදා භාවිතා කළ ගල් ආයුධ විශාල ප්‍රමාණයක් මෙම ස්ථානයේදී හොයාගෙන තියෙනවා. ඒවගේම තමයි ආහාරයට ගත් පහත රට ප්‍රදේශවලට ආවේණික වූ ගොලුබෙල්ලන්ගේ කටු ආදි මෙහිදී සොයා ගත්තා. කෞතුකාගාරයක අත්දැකීම් දකිනවට වඩා මෙම ස්ථානයට පැමිණ එහි තිබූ පැරණි දේ ආදි මානවකයා පිළිබඳව ඉතිහාසය  සියැසින් දැක ගැනීමට වගේම තමයි මේ ස්ථානයේ පවත්නා සුන්දර පරිසරයත් එක්ක තමයි මේ දේ බලන්න හැකියාව පවතින්නේ. මේක සීගිරි නැරඹීමට එන සංචාරකයන්ට අලුත් අත්දැකීමක් වේවි.”  


“මෙතැනදී විශේෂත්වයක් වෙන්නේ ආදි මානවයා ජීවත් වූ පරිසරය මොනවගේ තත්ත්වයකින් තිබුණේද යන්න, වාසස්ථාන කොයි වගේ තිබුණේද යන්න හැබැහින්ම බලාගන්න හැකියාව පවතිනවා. ඒ වගේම තමයි අලිගල බලන්න යන සංචාරකයන්ට ඒ අතරමගදී හමුවන තවත් ස්ථාන කිහිපයක්ම පවතිනවා. ඒ අතර ගල් ගුහා සහ පහන් ගල විශේෂත්වයත් වෙනවා. කාශ්‍යප යුගයට පෙර මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ යුගයේ භික්ෂූන් වහන්සේලා වැඩසිටි පහන්ගල වගේම ගල් ගුහා ඉපැරණි ගල් බැමි විස්මිත නිර්මාණ කිහිපයක්ම දැක බලා ගැනීමට හැකියාව පවතිනවා. කුරුලු වර්ග (පක්ෂීන්) එකසිය හැටකට වඩා මේ පරිසරයෙන් දැකබලා ගන්න හැකියාව පවතිනවා. වන අලින්, මුව රංචු, ඌරන් ආදී වන සතුන්ගේ නිජ භූමියක් හැටියට අදටත් සීගිරියේ මේ අවට ප්‍රදේශය පැවතීම විශේෂත්වයක්.   


ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලීමක් කර සිටිනවා අලිගල ආදි මානවයා ජීවත් වූ ස්ථානය බලන්න එන විශේෂයෙන් දේශීය සංචාරකයන්ට පාසල් සිසුන්ට පරිසරයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් මේ ස්ථානය නරඹන්න කියලා. ගහ කොළට ආදරය කරන අය පමණක් ඉතිහාසයට ආදරය කරන අය පමණක් මේක නරඹන්න. එහෙම නැතුව වෙනත් ආකාරයකින් පරිසරය විනාස කරන්න කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. මේ ස්ථානයේ අපි ආරක්ෂක විධි විධාන කිහිපයක් යොදලා තියෙනවා පරිසරය ආරක්ෂා කරන්න.   


ඒ වගේම තමයි මෙම අලිගල නරඹන්න යන දෙස් විදෙස් සංචාරකයන්ට ඡායාරූප ගැනීම සඳහා ඉතාමත් සුන්දර දසුන් දර්ශනය වීමත් විශේෂත්වයක්.   


සිගිරි එන විදේශ සංචාරකයා දින කීපයක් මේ නිසා සීගිරියේ රැඳී සිටීවි එවිට අලිගල නිසා ප්‍රදේශයේ ජනතාවටත් ආර්ථික වාසියක් වේවි. මේ ක්‍රියාවලිය තුළදී විෂය භාර ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් අපට ලැබුණේ විශාල සහයෝගයක්.

 

 

 

 

සටහන-ඡායාරූප
දඹුල්ල කාංචන කුමාර ආරියදාස