සීගිරි කාශ්‍යප දියණියන් පැවිදිවූ පින්බිම


ජාතික මෙහෙවරට ද‌ායක වූ පිරිස

 

සීගිරි කාශ්‍යප රජුගේ දියණියන් දෙදෙනා බුදු සසුනට එක් වූ ස්ථානය සහ විහාර මහා දේවිය දස මහා යෝධයන්ට ආධ්‍යාත්මික ශක්තිය එක් කළ ස්ථානය මෙන්ම විශාලතම නා උයනක් හා අක්කර දෙසීයකට පමණ වැඩි විහාරාරාම සංකීර්ණයක් පිහිටි වනගතව තිබූ පෞරාණික ඓතිහාසික සිද්ධස්ථානයක් පිරිසිදු කිරීමට දඹුල්ල ප්‍රදේශයේ තරුණයන් කණ්ඩායමක් සහ ප්‍රදේශවාසී පිරිසක් ඉකුත්ද‌ා පියවර ගත්හ.   


අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපුල් වෙහෙර ප්‍රදේශයේ කහල්ල රක්ෂිතයේ කඳු බෑවුමේ සිට කඳු මුදුන දක්වා මෙම ඉපැරණි ගොඩනැගිලි සහ සංඝාවාස වෙහෙර විහාර සෙල් ලිපි පිහිටා තිබේ.   


උපුල් වෙහෙර රජමහා විහාරාධිපති පලාගල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත ද‌ාගම ධම්මාලංකාර ස්වාමීන්වහන්සේගේ දැනුම්දීම පරිදි දඹුල්ල “ලයන් හාට්”‍ තරුණ සංවිධානය උපුල් වෙහෙර රජමහා විහාරස්ථ ද‌ායක සභාවේ පිරිස, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපුල් වෙහෙර කාර්යාලයේ නිලධාරීහු, ගල්කිරියාගම පොලිසියේ නිලධාරීහු මෙන්ම මානේරුව විදුහලේ සිසු දරු දැරියෝ පිරිසක් එක්ව මෙම ඓතිහාසික වූ ඉපැරණි වැදගත්කමකින් යුත් ස්ථානය හෙළිපෙහෙළි කොට සමස්ත ජනතාවට එම ස්ථානවලට ළඟාවීමට හැකි වන පරිදි සුද්ධ පවිත්‍ර කොට සංඝාවාස චෛත්‍යරාජයාණන් වහන්සේලා නොසිඳෙන ජල උල්පත් ඉපැරණි නටබුන් රැසක් වෙත ගමන් කිරීමට හැකි වන පරිදි පරිසරය සුද්ධ පවිත්‍ර කොට දෙස් විදෙස් ජනතාවට මෙම ඓතිහාසික ස්ථානය දැක බලා ගන්නට හැකිවන පරිදි කටයුතු කළහ.   


දඹුල්ල ‘‘ලයන් හාට්”‍ තරුණ සංවිධානයේ සභාපති ඩබ්ලිව්.ජී. ප්‍රේමසිරි මහතා ඇතුළු කණ්ඩායම සහ අනෙකුත් ගමේ පිරිස එක්ව මෙම ස්ථානය ජනගත කිරීම සඳහා අවැසි මං මාවත් හෙළි කිරීම පුරාවිද්‍යා ස්ථාන දැක බලා ගැනීම සඳහා හෙළි පෙහෙළි කිරීම මෙන්ම එවැනි ස්ථාන හඳුනා ගැනීම සඳහා දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම සිදු කිරීම විශේෂත්වයකි.   


මෙම ස්ථානය දෙස් විදෙස් ඕනෑම අයකුට දැක බලා ගැනීමට මෙන්ම ආධ්‍යාත්මික සුවය ලබාගැනීම සඳහා ද ඉවහල් වනු ඇතැයි තරුණ සංවිධානයේ සභාපති රංජිත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ ය.     


මෙම ඓතිහාසික ස්ථානයේ භාරකාරව කටයුතු කරන ද‌ාගම ධම්මාලංකාර නාහිමියෝ මෙහි ඇති පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වැදගත්කම පිළිබඳවත් මෙහි පිහිටීම පිළිබඳවත් මෙසේ අදහස් පළ කළහ.   


“මේ ස්ථානයේ පිහිටලා තියෙන චෛත්‍ය රාජයාණන්වහන්සේ අවස්ථා 18කදී නිදන් හොරුන්ගෙන් විනාශ වෙන්න ගත්තා. හැබැයි මේ හැම අවස්ථාවක්ම කන්ද පහළ සිටි අපට ජනතාවට පෙන්නුම් කළා. එ්ක තමයි මෙහි තියෙන විශේෂ හාස්කම වෙන්නේ. මේ ස්ථානය ආරක්ෂා කරන්න උදව් කරනවා නම් ඇත්තටම නිවන් දකින්න තරම් පිනක් කියලා තමයි හිතෙන්නේ.”‍   


“මේ භූමියේ පුරාවට විශාල ගොඩනැගිලි සංඝාවාස දහයක් පහළොවක් පමණ අතර නටබුන් පවතිනවා. මේ ස්ථානය සඳහන් වන්නේ විහාර මහා දේවිය දස මහා යෝධයන් සහ එළාර පැරද්දවීම සඳහා යුද වැදීමට පැමිණි මහා සේනාවට ආධ්‍යාත්මික ශක්තිය ලබා දුන්නේ මේ ස්ථානය කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ”‍.   

 

පැරණි වෙහෙරක්   

කඳු මුදුනේ පිහිටි උප්පලා බෝධි වෙහෙර

 


“ඒ වගේම තමයි මේ ස්ථානයේ රහතන්වහන්සේලා විශාල වශයෙන් වැඩ සිටි බවටත් සඳහන් වෙනවා. ඉහළ පහළ චෛත්‍යය දෙකක් පවතිනවා. ඒ වගේම කිලෝමීටර එකහමාරක් කන්ද උඩට නැග්ගහම ඒ උඩ විශාල චෛත්‍යයක් තියෙනවා. සීගිරි කාශ්‍යප රජතුමාගේ දියණියන් දෙදෙනා වෙනුවෙන් ඉදිකළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. උත්පලා සහ බෝධි යන තෙරණියන් දෙදෙනා වෙනුවෙන් මෙම සෑය ඉදි කළ බවක් තමයි කියවෙන්නේ. ඒ වගේම තමයි මේ අවට තියෙන නටබුන් කොච්චරක්ද කියලා හොයාගන්න බැහැ. වන වැදිලා තියෙන්නේ.  


“ශ්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙන් මේ ස්ථානයේ පුද පූජා පැවැත් වූ ඓතිහාසික සාධක රැසක් පවතිනවා. බුදුරජාණන් වහන්සේලා හතර නමක් බුදුවීම සඳහා පිහිට වූ නා ගස් ලක්ෂ ගණනාවක් මෙහි පවතිනවා අතිවිශාල නා ගස්වල වයස කොපමණද කියලා වත් හිතා ගන්න බැහැ. ඒ විතරක් නෙවෙයි මෙහි විශේෂත්වය වෙන්නේ වර්ෂාව නැති ඕනෑම කාලයක මෙම වෙහෙර පිහිටි ස්ථානයට ගිහිල්ලා පුද පූජා පවත්වලා වැස්ස වහින්න කියලා කන්නලව් කළාම අපිට එතනින් එන්න බැහැ වර්ෂාව ලැබෙනවා. ඒක ඉතාම හාස්කම් තියෙන සිද්ධියක්.   


මේ කහල්ල කන්දට නගින බොහෝ දෙනා මෙහි තියෙන නුගයේ පඬුරු ගැට ගහලා තමයි යන්නේ. ඒ ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ නා වනයට ඇතුළු වෙනවා කියලා. එ් නිසා මෙහි ඓතිහාසික තොරතුරු රැසක් පවතිනවා. හැබැයි මේ ඔක්කොම ඓතිහාසික නටබුන් පොළොවට යට වුණා සේ තවමත් යට වෙලා තියෙන්නේ.”‍ 


“බොහෝ දෙනෙක් සීගිරි කාශ්‍යප රජතුමාගේ දියණියන් දෙදෙනා තෙරණියන් බවට පත් වෙලා මාර්ගඵල ලබාගත් ස්ථාන පිළිබඳව දන්නේ නැහැ. දිවයිනේ සුවිශේෂී වූ ස්ථානයක් කියලයි අපි මේ ස්ථානය ගැන හිතන්නේ. මොකද මෙම ස්ථානයේ තිබෙන ජල උල්පත් තවමත් ඒ ආකාරයෙන් ම පවතිනවා. විශාල ගල් කණු, සෙල්ලිපි කිසිම කෙනෙක් නිසියාකාර ගවේෂණයක් සිද්ධ කරලා නැහැ.   


ගමේ මිනිස්සු මේක ආරක්ෂා කරගෙන හිටියා. තවදුරටත් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ස්ථානය ගවේෂණය කරලා සොයා බැලීමක් සිද්ධ කරන්න කියලා. ඒ වගේම රට වටේ ඉන්න අපේ බෞද්ධ අබෞද්ධ ලක්වාසී සියලු‍ දෙනාටම ආරාධනා කරනවා විශාලතම නා උයනත්, ඒ වගේම සීගිරි කාශ්‍යාප රජු ගේ දියණියන් දෙදෙනාගේ ෛචත්‍යරාජයාණන් වහන්සේලා, එ් වගේම විහාර මහා දේවිය රහතුන් වහන්සේලා උදෙසා පුද පූජා කළ ස්ථාන, දස මහා යෝධයන්ට අාධ්‍යාත්මික ශක්තිය ලබා දුන් ස්ථානය දැක බලාගන්න එන්න කියලා.”‍   


මෙම ස්ථානයට ළඟාවීමට ඇති ගමන් මාර්ගය වන්නේ ගලේවෙල-කලාවැව ප්‍රධාන මාර්ගයේ පලාගල, ආඬියාගල හතරමං හන්දියෙන් පොල්පිතිගම මාර්ගයේ කිලෝමීටර් දහයක් පමණ ගමන් කරන විට උපුල් වෙහෙර රජමහා විහාරස්ථානය හමුවෙයි.  


එතැන් සිට තම වාහන නවතා පා ගමනින් විහාරාරාම, නටබුන්, පැරණි චෛත්‍යය, නොසිඳෙන ජල උල්පත, පැරණි ශ්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙන් පුද පූජා කළ නා බෝධිය, එමෙන්ම සීගිරි කාශ්‍යප රජුගේ දියණියන් තෙරණියන් බවට පත්ව වැඩ විසූ විහාර ආරාම ය, විහාර මහා දේවිය දස මහා සේනාව වෙනුවෙන් අාධ්‍යාත්මික ශක්තිය ලබා දුන් ස්ථානය, ඉපැරණි නාගස් මණ්ඩිය, විවිධ ගණයේ සංඝාවාස හෝ ගොඩනැගිලිවල නටබුන් දැක බලා ගනිමින් කිලෝමීටර් එකහමාරක් පමණ නා ගස් සෙවණේ කඳු මුදුන තරණය කළ යුතුය.   
එම කඳු මුදුනට ගිය පසු උත්පලා හා බෝධි තෙරණියන් කරවූ බව කියන උත්පලා බෝධි වෙහෙර වහන්සේගේ නටබුන් දැක බලා ගැනීමට හැකියාව ලැබේ. නිදන් සොරුන්ගෙන් එය අවස්ථා 18කදී හානි කොට ඇති බව විහාරාධිපති හිමියෝ කියති.   


එම වෙහෙර ආසන්නයට ගිය කල සීගිරි රාජධානිය, දඹදෙණිය රාජධානිය, අනුරාධපුර රාජධානිය, විජිතපුර, ඓතිහාසික රංගිරි දඹුලු‍ ලෙන් විහාර සංකීරණය ආදී සියල්ල දර්ශනය වීමද විශේෂත්වයකි.   


මෙම ගමනට ගල්කිරියාගම පොලිසියේ පොලිස් සැරයන් එල්.එච්.එන්. ද සිල්වා, පොලිස් කොස්තාපල් ඩී.එම්.එස්. දිසානායක, ද‌ායක සභාවේ ලේකම් ජේ.එම්. හේරත් මුදියන්සේ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්වූහ.  

 


සටහන හා ඡායාරූප 
දඹුල්ල කාංචන කුමාර ආරියද‌ාස