සිල්වත් හිමිනමකට කළ අපහාසය පළ දුන් හැටි


ජීවිතය යහ මගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

 බලයෙන් මත් වූ දේශපාලකයාගේ හිස පොඩිපට්ටම් වූ අභිරහස

මහනුවර ජේ.ඒ.එල්. ජයසිංහ මහතා ලියා එවූ කතාවක් මෙසේය.  


ඔහු බලය තිබෙන විට සිය අණසක පතුරුවමින්, තමන්ට විරුද්ධ මතධාරී දේශපාලන අදහස් දරන්නවුන්ට විවිධ අඩම්තේට්ටම් කළේය. ඒ සමය ලංකාව තුළ අතිශය බිහිසුණු වාතාවරණයක් පැවැතිණි.  


කිසිදු වරදක් නැති අහිංසක තරුණ තරුණියන්, තරුණ භික්ෂුන් වහන්සේලා මහ මග දිවා රාත්‍රී කෲර ලෙස වධහිංසා පමුණුවා ඝාතනය කර මළ සිරුරු තැන් තැන්වල දමා තිබූ සමයක් වූ ඒ භීෂණකාරී යුගයේ විවිධ දේශපාලන පක්ෂවල ආධාරකරුවන් අතුරුදන් කරවීම්, ඝාතනය කර මහමග පුළුස්සා දමා තිබූ අවස්ථා බහුල විය.  
මේ සඳහන් කරන පුද්ගලයා ද එවකට රටේ බලය පතුරුවා ගෙන සිටි ප්‍රබල ආණ්ඩුවක දේශපාලන තනතුරක් දරමින් සිටියේය. ඔහු කොතරම් බලවත් දේශපාලනඥයකු වී ද යත් ඔහුගේ එක දුරකතන ඇමතුමකින් එවකට ආරක්ෂක අංශ විසින් ඕනෑම නිවැරැදි පුද්ගලයකු ඔවුන්ගේ අත්අඩංගුවට ගනු ලැබිණ.  


මේ දේශපාලන බලවතා ද ඔහුට එරෙහි වූ පුද්ගලයක් කීප දෙනෙක් අතුරුදන් කරවීමට විවිධ කල්ලි මගින් පැහැරගෙන අමානුෂික ලෙස ඝාතනය කර, එම මළ සිරුරු ටයර් මත පුලුස්සා දමන නියෝග දෙන්නෙකු විය. ඔහු ගැන ඔහු බලය පතුරුවාගෙන සිටි ගම් දනව්වල ජනතාව මැනවින් දැන සිටියහ. අහිංසක තරුණයන් රැසක් අතුරුදන් කරවා ඝාතනය කරවීමට තම දේශපාලන බලය යොදා ගත් ඔහු, මිනිසුන්ට නිතර නිතර (තම විරුද්ධ මත දරන අයට) පහරදීම, තළා පෙළා හිරිහැර කිරීම විනෝදාංශයක් කරගෙන ගියේය.  
ඔහුගේ බල ප්‍රදේශයේ රූමත් ස්ත්‍රියකට ලොල් වී සිටි ඔහු නිතර එම ස්ත්‍රියගේ නිවසට යාමට ඒමට පුරුදු විය.  


රාත්‍රී කාලයේ මෙම දේශපාලන බලවතා තම හිතවතිය හමුවීමට රහසේ යන එන අවස්ථාවන් ගැන සෝදිසියෙන් සිටි ගමේ තවත් පිරිසක් සිටියහ. ඔවුන්ගේ සමීපතම ඥාතීන් කීප දෙනෙක් භීෂණ සමයේ අතුරුදන් කරවීමට, ඝාතනය කරවීමට දේශපාලන බලවතා සම්බන්ධ බවට එම පිරිස තොරතුරු ඔස්සේ දැනගෙන තිබිණි.  
දිනක් රාත්‍රියේ භීෂණ අවදියේ දේශපාලන බලවතා තම හිතවතියගේ නිවසට ඇතුළු විය. බොහෝ වේලාවක් එහි රැඳී සිටි ඔහු පසුව මැදියම් රැයේ නිවසින් පිටතට පැමිණ තම සගයන් කීප දෙනෙකු සමග එම ස්ථානයෙන් පිටවන්නට සූදානම් වූ විට ඔහු ගැන විමසිල්ලෙන් සිටි තවත් පිරිසක් අවි අමෝරාගෙන දේශපාලන බලවතා වෙත කඩා පැන පහරදීමත් සමග දේශපාලන බලවතාගේ සගයෝ මර බියෙන් පලා ගියහ.  


ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත් නාඳුනන පිරිස දේශපාලන බලවතාට දරුණු ලෙස කඩු පොලුවලින් පහර දී ඔහුට මරණීය තුවාල සිදු කළහ. මර විකල්ලෙන් දැඟලූ දේශපාලන බලවතා රෝහලකට හෝ ගෙන යෑමට කිසිවෙකුට ඉඩ නොදුන් නාඳුනන ප්‍රහාරකයෝ ඔහු මැරෙනතුරුම හිසට ගල්වලින් ගසා ඔහුගේ ප්‍රාණය නිරුද්ධ කළහ. පසුව පිරිස පැන ගියහ.  


දේශපාලන බලවතා භීෂණ සමයේ තමන් අහිංසක තරුණයන්ට සිදු කළ වධබන්ධන සේම ඔහුට ද දරුණු වධ බන්ධනයන්ට ලක්ව මහ මග මරු දකින්නට සිදුවූයේ ඔහු බලයේ සිටිය දී තම බලය යොදමින් අහිංසක තරුණ පිරිස් මහ මග ඝාතනය කරවන්නට ආධාර අනුබලදීමේ ‘‘මහා පාපකර්මය’’ ඔහු ජීවත්ව සිටියදීම පලදීම නිසා බව අද ඔහුගේ බල ප්‍රදේශයේ ජනතාව සිහිපත් කරති.  


මෙම දේශපාලන බලවතාගේ අබිරහස් ඝාතන නඩුව වසර ගණනාවක් තිස්සේ අධිකරණයේ විභාග වී අවසානයේ එයට සම්බන්ධ වූවන් හරිහැටි ඔප්පු කර ගැනීමට සාක්ෂි සපයාගත නොහැකි වීමෙන් නාඳුනන ප්‍රහාරකයන් යැයි නීතිය හමුවට ඉදිරිපත් කළාය. අධිකරණ ක්‍රියාදාමයෙන් නිදහස් කෙරිණි.  


කුමන දේශපාලන බලයක් තිබුණ ද, තමන් සිදු කළ පාපකර්මයන්ට තමන් ජීවත්ව සිටියදීම පල විපාක ලැබී බිහිසුණු ලෙසින් ඝාතනයට ලක්වූ දේශපාලන බලවතා එලෙස මරණයට මුහුණ දුන්නේ ඔහුගේ ගම් පළාතේ අහිංසක තරුණ පිරිස් ඝාතනය කිරීමට මූලික වී ක්‍රියා කළ නිසා බව ගම්වාසීහු අදටත් පවසති.  



තලගොයි ඝාතකයාගේ මරුවා ආවේ විදුලි කණුව දිගේ  

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත මහතා ලියා එවූ කතාවකි  


හිස චප්ප වන සේ පොලු මුගුරුවලින් ගසා මසට තලගොයි මැරූ අයකුගේ හිසට පාර අයිනේ තිබූ විදුලි පහන් කණුවක් කඩා වැටී ඔහුගේ හිස චප්ප වී ගිය පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් ඇසේ.  


තලගොයි මසට කෙතරම් ලොල් වී ඇත්දැයි කිවහොත් දින කිහිපයකට වරක්වත් තලගොයකු මැරීමට ඔහු පුරුදු වී සිටියේය. නිවසේ අයට තලගොයි මස් බුදීමට පුරුදුව ඇතත්, මරා උයන ලද තලගොයි මස් හට්ටියෙන් වැඩිහරියක්ම බුදින්නේ ඔහුය. ඒ තලගොයි මස්වල හොඳ හරියය. මේ නිසා නිවැසියන්ට බුදීමට සිදුව ඇත්තේ තලගොයි මස් හට්ටියේ අවශේෂ කොටස්ය.  


කුලී වැඩ කරන අයකු වන මේ හාදයා යම් තැනක තලගොයකු සිටිනු දුටු විට කිරීමට යන ඕනෑම වැදගත් කටයුත්තක් වුවද පසෙක දමා තලගොයා මැරීමට ප්‍රමුඛස්ථානය දෙනුයේ තලගොයි මසට තියෙන ගිජුකම නිසාමය. සිය භාර්යාවගේ කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා ත්‍රිරෝද රථයක් ගෙන ඒමට නිවසින් ගිය ඔහු එය පසෙක දමා යන මාවත සිටි තලගොයකු මරා දැමීමට කටයුතු කිරීම මෙයට කදිම නිදසුනකි.  


මේ තලගොයි ඝාතකයා අත නිතරම පොල්ලක් හෝ මුගුරක් ගැවසුණේ කොයියම් මොහොතක හෝ තලගොයකු දුටු විට පොලු මුගුරු පහර දී ඌ ඝාතනය කිරීමටය. ඔහු තලගොයා මරන්නේ උගේ හිසට පොලු පහරදීමෙනි. උගේ හිස චප්ප වන තෙක්ම පොලු පහර දෙන්නේය. හිසට මුල්ම පොලු පහර වදින තලගොයා මරු විකාරෙන් එහෙ මෙහෙ දඟලන්නේය. නැවත නැවතත් එක පිට එක පොලු පහර උගේ හිසට එල්ල කොට හිස චප්ප වූ තලගොයාගේ කඳෙන් හිස ඉවත් කර කඳේ ඉතිරිය පට්ට ගසා හට්ටියට දමා ගන්නේ එහි රස බැලීමටය.  


ඔහු තලගොයි මස් කෑමට දැඩි රුචියක් දක්වන්නේ පාන් සමගය. තලගොයි මස් හට්ටියත් සමග පාන් ගෙඩි තුන හතරකටම ඔහු වග කියන්නේය. මෙසේ තලගොයි මරමින් සිටි ඔහු, එක් සැන්දෑවක පාර අයිනේ පිරිසක් සමග සුහද කතාබහක නිරත වී සිටියේය. වැඩි වේලාවක් ගත නොවීය. පාර අයිනේ තිබූ විදුලි පහන් කණුවක් හිටි හැටියේම කඩා පාත්වී ඔහුගේ හිස මතට පතිත විය. පුදුමය කියන්නේ එතන සිටි වෙන කිසිම කෙනකුගේ ඇඟේ එම විදුලි පහන් කණුව නොගැටී ඔහුගේ හිස මතට පමණක් පතිතවීමය.  
විදුලි පහන් කණුව පතිත වූ ඔහුගේ හිස චප්ප වී ගියේය. ඔහු පොලු පහර දී හිස චප්ප වූ තලගොයා දඟලන්නාක් මෙන් ඔහු ද මරු විකාරෙන් දඟලන්නට පටන් ගත්තේය. එතන සිටි කිහිප දෙනා ඔහුගේ හිසට වැටී තිබූ විදුලි පහන් කණුව උස්සා ඉවත් කිරීමට වෙර දැරුවත් ඒ සඳහා ඔවුනගේ ශ්‍රමය හා ශක්තිය ප්‍රමාණවත් නොවිණ. ඒ සඳහා තවත් පිරිසක් එනතෙක්ම ඔහුගේ හිසෙන් පහළ කොටස දඟලමින් තිබුණේ ඔහුගේ පොලු පහරින් හිස චප්ප වී ගොස් තලගොයාගේ ප්‍රාණය නිරුද්ධ වන තෙක් කඳ කොටස දඟලන ආකාරයටය. පිරිස එකතු වී හිස මතින් විදුලි පහන් කණුව ඉවත් කරන විටත් ඔහු ප්‍රාණය නිරුද්ධ වී සිටියේය. විදුලි පහන් කණුව වැටීමෙන් චප්ප වූ හිස යළි සෑදීමට නොහැකි වූ නිසාම එය මහජන ගෞරවය සඳහා නොතැබීමට ඔහුගේ ඥාතීහු තීරණය කළහ. ඒ අනුව ඔහු බහා තිබූ මිනීපෙට්ටියේ හිස කොටස ආවරණය කර තිබුණි.  

 



අංගොඩ, කුඩා බුත්ගමුව, එම්.ඒ. ජයසිරි මහතා ලියා එවූ කතාවකි.  

සිල්වත් හිමිනමකට කළ අපහාසය පළ දුන් හැටි  


විහාරාධිපති හිමියන් හදිසියේ ගිලන් වීම අනුව ආගන්තුක තරුණ හිමිනමක් උන්වහන්සේට උපස්ථාන කරනු පිණිස විහාරස්ථානය වෙත වැඩම වන්නට යෙදුණි. එම හිමිනම තම වගකීම් මැනවින් ඉටු කළ අතර, එතෙක් අකර්මණ්‍යව පැවති ආගමික පුද පූජා ආදිය පෙර සේම හොඳින් පවත්වාගෙන යාමට ද උනන්දුවෙන් ක්‍රියා කළහ.  


උන්වහන්සේගේ කාරුණික ඇමතුම් විලාශය ලොකු කුඩා කාගේත් සිත් ගත්හ. ඊට පැහැදුණ නොයෙක් දෙනා මහත් ගෞරවයෙන් යුතුව ඒ හිමියන් වටා රොක්වන්නට වූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් විවිධ දුශ්චරිත බොහෝ දුරට තුරන් වී ප්‍රදේශය තුළ නව ප්‍රබෝධයක් ඇති විය. මේ පිළිබඳව විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කැළඹීමට පත්ව සිටි අතර, හිමියන් හට නොයෙක් තර්ජන ද එල්ල වන්නට ද පටන් ගත්තේය. කෙසේ වෙතත් උන්වහන්සේ ඒ කිසිවකට නොසැලී තම කටයුතු එලෙසම ඉදිරියට පවත්වාගෙන ගියහ.  
මෙලෙස කාලයක් ගතවිය. දිනක් රාත්‍රී 10.00ට පමණ විහාරස්ථානයේ ඝණ්ටාරය හදිසියේම හඬනගන්නට වූයේ කා තුළත් කුතුහලය දනවමිනි. එහෙයින් තරගයට මෙන් එකිනෙකා එහි ඇදී එන්නට වූවෝය. කාගේත් නෙත් යොමු ව තිබුණේ සංඝාවාසය වෙතය. ඒ ආසන්නයේ නාඳුනන කිහිප දෙනකු දක්නට ලැබුණු අතර, කුඩා දරුවකු තුරුලු කරගත් හැඩි දැඩි පෙනුමැති පුද්ගලයකු එහි ප්‍රධාන දොරටුව අබියස රැඳී සිටින අයුරු ද නෙත ගැටුණි. ඔහු ද සෙසු අය මෙන්ම බීමත්ව පසුවන බව පෙනුණි.  
කුමක් සිදුවී දැයි ජනයා නොඉවසිල්ලෙන් පසුවූ අතර, එතෙක් නිහඬව සිටි හැඩ දැඩි පුද්ගලයා තම කඩහඬ අවදි කළේය. ‘‘හාමුදුරුවනේ, මේ කාටත් දැකගන්න ඔය ඇතුළෙ ඉන්න ගැහැනු කෙනා දැන්වත් එළියට දාන්න.’’ යැයි කෑ ගසා කීවේය. මද වේලාවකින් හිමිනම දොර විවර කළ අතර, මේ මේ යනුවෙන් යමක් කීමට සැරසුණා පමණි. තරුණ කාන්තාවක් ඉන් පිටතට පැමිණියේ කවුරුත් තුෂ්නිම්භූතව බලා සිටියදීය.  


ඒ සමගම බීමත් පිරිස හිමිනමට පහර දෙන්නට වූවෝය. එනමුදු කිසිවක් කරකියා ගත නොහැකිව ඇතැමුන් ඉවත බලා ගත් අතර, උන්වහන්සේ බේරා ගැනීමට කිසිවකු හෝ ඉදිරිපත් නොවීය. ඒ තමන්ට ද හිරිහැර විඳීමට සිදුවෙතැයි බියෙනි. එහෙත් වැඩි වේලාවක් එහි නොරැඳුණු එකී පිරිස එම කාන්තාව ද සමගින් වහ වහා විහාරස්ථානයෙන් නික්ම ගියහ. අනතුරුව කිහිප දෙනකු එක්ව තුවාල ලද හිමිනම නොපමාවම රෝහලට ඇතුළත් කළහ.  


ඉන් දෙදිනක් ගතවූවා පමණි, විහාරස්ථානයට නුදුරින් දෙපිරිසක් අතරෙහි ගැටුමක් හටගත්හ. හිමියන් හට පහර දුන් කිහිප දෙනකු එහිදී හඳුනා ගත හැකි වූ අතර, එක් අයකු උස් හඬින් කෑ ගැසුවේය. ‘‘මුදලින් කොටසක් විතරයි අපට ලැබුණේ. මුන්ට අපි රැවටුණා. කිසිම වරදක් නොකළ අර හාමුදුරුවන්ට නිකරුණේ බොරු චෝදනා කරල හිරිහැර කළා’’ යනාදී වශයෙන් කරුණු හෙළිකර සිටියේය.  


ඔහු පැවසූ පරිදි සිද්ධියට සම්බන්ධ කාන්තාව පැමිණ ඇත්තේ තනිවම නොව පෙර සඳහන් කළ 5 හැවිරිදි දරුවා ද කැටුවය. ඒ රාත්‍රී 9.00ට පමණය. එසේ පැමිණි ඇය තම සැමියා පහරදීමට එන බැවින් ආරක්ෂාව පතා ආ බව හිමියන් හමුවේ කියා ඇත. උන්වහන්සේ එය විශ්වාස කොට ඇති අතර, ඔවුන් වෙනතක යොමු කරවීමට කාලයක් නොවූ බැවින් සංඝාවාසයේ පිටුපස කාමරයේ සැඟවී සිටීමට ඉඩ සලසා දී තිබේ. එසේම අවශ්‍ය වෙතොත් තබාගන්නැයි කියා එහි යතුර ද ලබා දී ඇත.  


කතිකා කර ගත් පරිදි පසුව පිටතට පැමිණි කාන්තාව දරුවා එහි සිටි අයෙකුට බාර දී යළි අදාළ කාමරය තුළට වී සිට ඇත. ඒ ඝණ්ඨාරය නාද වන මොහොත එළැඹෙන තෙක් නොඉවසිල්ලෙන් යුතුවය. එනම් එය නාදවීමත් සමග එහි රැස්වන ජනයාටහට පෙනෙන පරිදි ඉදිරිපස දොරටුවෙන් පැමිණීමේ අපේක්ෂාව ඇතිවය. මෙය දකින ජනයා විසින් හිමිනම කෙරෙහි කලකිරී උන්වහන්සේ විහාරස්ථානයෙන් නෙරපා හැරීමට ක්‍රියා කරනු දැකීම එහි අරමුණ වී තිබී ඇත.  


එලෙස තොරතුරු හෙළිකොට අවසන්වීමත් සමග වහා එතැනට පැමිණි පොලිසිය ඔහු ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්හ. හිමිනම අප්‍රසාදයට ලක් කරනු පිණිස අල්ලස්දීම මගින් මෙම සාපරාධී ක්‍රියාව සිදු කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳව මෙන්ම ඊට දායක වූ මැර පිරිස කෙරෙහි ද කා තුළත් ඇතිවී තිබුණේ බලවත් පිළිකුලකි. උන්වහන්සේගේ නිර්දෝෂීභාවය අවබෝධ කරගත් නොයෙක් දෙනා මහත් සංවේගයට පත්වූහ. ඒ උන්වහන්සේ ඒ වන විට ද ප්‍රතිකාර ලබමින් සිටීම හේතුවෙනි.  


එහෙයින් ඔවුහු එකිනෙකා රෝහල වෙත ඇදී එන්නට වූයේ සසල හදින් යුතුවය. එහෙත් හිමිනම වෙනදා මෙන් සුපුරුදු ළෙන්ගතු බවින් කතා බහ කරනු වෙනුවට නිසසලව එකිනෙකා දෙස බලා සිටියහ. සිහිසුන්ව වැතිර සිටි උන්වහන්සේට ඒ කිසිවෙකු හඳුනා ගැනීමේ හැකියාවක් නොවීය. තවත් දිනක් උදාවෙමින් තිබිය දී උන්වහන්සේගේ අකල් වියෝව පිළිබඳ දුක්මුසු පුවත අසන්නට ලැබුණේ ප්‍රදේශවාසී කාගේත් නෙත්වලට කඳුළු පුරවමිනි.  


හිමිනමට එම විපත අත්කර දුන් මැර පිරිසට එය තවදුරටත් රහසක් වශයෙන් තබාගත නොහැකිව දෙදිනක් වැනි සුළු කාලයක දී අදාළ ප්‍රදේශයට යළි පැමිණ උන්වහන්සේගේ නිර්දෝෂීභාවය ප්‍රසිද්ධියේ හඬ ගා කීමට සිදුවීම තුළින් පැහැදිලිව පෙනීයන්නේ සිල්වත් හිමිනමකට කළ අපහාසය නොපමාවම පළ දුන් බව නොවේද?  


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

සකස් කළේ - 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්