සිරිල්ගේ දෙපා අහිමි කළ පරෙවියන්ගේ තටු කැපූ පව


 

 

 

ජීවිතය නිවැරදි මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

අකුරැස්ස, පහළ මලිදුව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය.


විදුලි සැර යොදා ඌරන් මැරූ ඌරු ඝාතකයාට විදුලි සැරම මරු කැඳවයි.


දකුණේ ඈත දුෂ්කර ගමක දිවිගෙවූ සිරිදාසගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූයේ මස් පිණිස සතුන් මරා විකිණීමයි. මෙයින් ඔහු විශාල ආදායමක් ලැබූ අතර ඉන් ඔහු ඉතා සුවබර දිවියක් ගත කළේය. මෙය කෙතරම් පව්කාර වැඩක් වුවද ලැබෙන ආදායම ඉතා ඉහළ එකක් වූයෙන් පවු පිං ගැන ඔහුට කිසිදු නිනව්වක් නොවීය.


මෙහි ආදීනව පිළිබඳ ගමේ වැඩිහිටියන් ඔහුට කොතෙක් පෙන්වා දුන්නද ඔහු ඒවා තඹේකට මායිම් නොකළේය.


ඔහුට වැඩිම ආදායමක් ගෙන දුන්නේ ඌරන් මරා මස් විකිණීමෙනි. ඌරන් මැරීමට පහසු ක්‍රමයක්ද ඔහු සොයා ගෙන තිබුණි. එය නම් නිවෙස් නොමැති ලඳු කැලෑ අසලින් ගමන් කරන විදුලි රැහැන් වලට කම්බි දමා ඌරන් ගැවසෙන තැන්වල ඇද තැබීමයි. මේ සඳහා සිරිදාසම විදුලි කණුවලට නැග රැහැන්වලට කම්බි සම්බන්ධ කිරීම සිදුකරනු ලබයි. මෙසේ අදින කම්බිවල පැටලෙන ඌරන් විදුලි සැර වැදී මරහඬ නගා මිය යති. සමහර දින වලට ඌරෝ දෙතුන් දෙනා මේ මර උගුල් වල පැටලී මිය යති. මෙමගින් සිරිදාස ලබන්නේ ඉමහත් සතුටකි. ඒ එවැනි දින වලට ඔහුගේ අතමිට බෙහෙවින් සරුවන බැවිනි. එහෙත් සිරිදාසට මෙම කටයුත්ත වැඩි කාලයක් කරගෙන යාමට නොහැකි විය. සුපුරුදු පරිදි එදිනත් මෙම කටයුත්ත සඳහා ඔහු පිටත් විය. හැන්දෑවේ සිහින් පොදක්ද වැටෙමින් තිබිණ. වෙනදා මෙන් එදිනත් ලඳු කැලැවක් අසළ විදුලි කණුවකට බඩ ගෑවේ රැහැන් වලට කම්බියක් සම්බන්ධ කිරීමටය. විදුලි කණුව වැස්සට තෙමී ඔහුට හරි හැටි පය රඳවා රැැනීමට නොහැකිව ලිස්සා වැටෙන්නට ගියේය. බිමට වැටේ යැයි බිය වූ සිරිදාසට සියල්ල අමතක විය.   බිමට වැටීමෙන් බේරීමට විදුලි රැහැන අල්ලා ගත්තේය. කරුමයක මහත! ඌරකුමෙන් මර හඬක් නගමින් ඔහු විදුලි සැර වැදී බිම ඇද වැටුණේ මෙතෙක් සිදු කළ සියලු කටයුතු හමාර කරමිනි.


මර හඬ ඇසුණ දෙසට අසල් වැසියන් දිව යනවිටත් සිරිදාස මෙලොව හැර ගොස් තිබුණි. ඌරු නාම්බෙකු මෙන් බිම වැටී සිටි සිරිදාස දුටු හැමෝම පැවසුවේ ඔහු කළ පව් මෙලොවදීම පලදී ඇති බවයි.


අම්බලන්තොට එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය.


පරෙවියන්ගේ පියාපත් මෙන් සිරිල්ගේ දෙපා ද සුන්විය.


මැනවින් අකුරු කරවා තම එකම පුතු සිරිල් යහපත් මගට ගැනීමට මව්පියන් ගත් උත්සාහය නිරර්ථක විය. පස්වැනි ශ්‍රේණියෙන් ඔබ්බට ඔහුට පාසල් යැවීමට නොහැකි විය. කිසි වැඩක පලක නොයෙදී ගෙදරට වී කල්මරණ පුතු දෙස කම්පාවෙන් බැලූ පියා තීරණයක් ගත්තේය. දෑතවත් හුරු කළ යුතුයි සිතා ගරාජයේ බාස්ට භාර දුන්නේය. උදේට මව බැඳ දෙන බත් මුල රැගෙන නිවසින් පිටත්වෙන සිරිල් යළි පැමිණෙන්නේ අඳුරත් සමගය. ටික දිනකට පසු ගරාජය වෙත ගිය පියාට දකින්නට ලැබුණේ මජං පෙරාගෙන ලොරියක් යට වැතිර වැඩක යෙදී සිටින තම පුතුය. පුතු දකින්නට පෙර නික්ම ගියද පුතු කෙරෙහි රැඳ වූ සිත නික්ම නොගියේය.
“මම මූ මිනිහෙක් කරන්න කොච්චර මහන්සි ගත්තාද? ලොරිය යටට වෙලා ඉන්න වෙලාවක බැරි වෙලාවත් ස්ටාර්ට් වුණොත්?  බ්‍රේක් බුරුල් වෙලා ඇදිල ගියොත්? කොල්ලට මොකක් වෙයිද?” එබදු සිතුවිලි සමග පුතු කෙරෙහි අනුකම්පාවක් - දුකක් සිතට ගලා ආවේය.


වැඩි දවසක් ගත නොවීය. සිරිල්ගේ ගැරේජ් ගමන නතර විය. පියා ද යළි යන්නැයි බල කරන්නට ගියේද නැත. වෙනදා මෙන් නිවසින් බැහැර වුවද ඒ හෝරා කීපයක් ගත වූ පසුවය. අඳුර වැටෙන්නට පළමු නිවසටද පැමිණෙයි. දිනක් මිතුරන් කීපදෙනෙක් සමග ලෑලි කෑලි කීපයක් හා තවත් අඩුම කුඩුම රැසක් ගෙන පැමිණියේය.


“ඔය මොකක්ද කරන්න හදන්නේ?”


මව පිළිවිසියාය.


අම්මට වැඩක් නැහැනෙ. අම්ම නිකා ඉන්නකො. සිරිල්ගේ පිළිවදනින් මව ඉවතට ගියාය. පැය කීපයකින් ඉක්බිති තරමක ලොකු හුරු බුහුටි කූඩුවක් නිම විය. පසුදා සුදුපාට පරෙවි ජෝඩුවක් ගෙන ආ සිරිල්, උන් කූඩුවට දමා දොර වැසීය. ඉන්පසු සිරිල් දවල් කල නිවසේ බොහෝ වේලා රැඳෙන්නේය. තව තවත් පරෙවියන් ගෙන ආ සිරිල් ලොකු පරෙවි රංචුවක ස්වාමියා විය. කෑම දෙන වෙලාවට මිදුල පුරා ගැවසෙන පරෙවියන් නෙත් පිනවයි. උන් දෙස බලා සිටීමද සතුට දනවයි.


සිරිල්ට ගැටළුවකි. අහසට මුදා හරින පරෙවියන් ආපසු ගෙන්වා ගැනීමට දෙන සංඥාවට අවනත නොවීම එම ගැටළුවයි. ඇතැම් පරෙවියෝ ආපසු නොපැමිණ ඉහළ අහසේ කොහේහෝ පියඹා වසන් වෙති. වෙහෙස දරුවද සොයා ගත නොහැක. මීට පිළියමක් ලෙස මිතුරෙකු කීවේ අපූරු කතාවකි.


“ඕක ඔච්චර හිතන්න දෙයක්ද බං? උන් පියාඹන්නෙ මොකෙන්ද? පිහාටු වලින්. පිහාටු තියෙන නිසානෙ යන්නෙ. යාම වළක්වන්න නම් මොකක්ද කරන්න ඕනෑ. 


සිරිල් මේ ගැන කල්පනා කළේය. “හරි නේන්නම්” තමාටම කියාගත් සිරිල් පරෙවියන් එකිනෙකා ගෙන පියාපත් කපා දැමීය. මුළුමනින් නොව, පියාපත් වල දිග අඩු කළේය. ප්‍රතිඵලය පිරික්සීය. සැබෑවකි. කලින් ගැසූ කරනම් දැන් නොහැක. ඈතට ඇදී යාමක්ද නැත. සිරිල්ගේ සිත පිරුණි.


මෑතක සිට සිරිල් මිතුරු කැළ සමග වැවේ මාළු බාන්නට යයි. ඒ හැන්දෑ වෙලාවටය. අල්ලාගත් මාළු කූරියන් පණ තිබේද නැද්ද නොතකා ඇවිලෙන ගිනි මැලයට දමා පුළුස්සා අනුභව කරති. ඒ ගිනිවතුරට කට ගැස්මක් වශයෙනි. ගිනි වතුරෙන් කුස ගිනියම් වෙද්දී සිහිය පලා යයි. එවිට කළ යුතු නොකළ යුතු දේ මෙන්ම කාලය පිළිබඳ දැනීමද පහව යයි.


දිනක් මෙසේ රාත්‍රී සාදය නිමවා මිතුරන්ගෙන් මිදී සිරිල් නිවස වෙත එමින් සිටියේය. ඒ පා පැදියෙනි. ගත අවසඟ සිරිල්ට පා පැදිය අවනත කර ගැනීම පහසු නොවීය. පාපැදිය සමග මහ මග පෙරළී ගියේය. තුවාලයක් නොවූවද නැගී සිටීමට නොහැකිය. කොතරම් වෙර දැරුවද සිරිල්ට තම ගත කෙළින් කර ගත නොහැකි විය. කළ යුතු කුමක්දැයි තීරණයකට එළඹීමට පවා සිහි  එළවා ගත නොහැකි සිරිල් බිම වැතිර සිටියේ කෙමෙන් නෙත් පිය විය.


කොපමණ වෙලාවක් ගත වීදැයි නිනව්වක් නැත. සිරිල් එකවර කෑ ගසා ගෙන අවදි විය. ඉවසුම් නොදෙන සේ දෙපා මතින් වේදනාව ගලයි. දැන් හොඳටම වෙරිමත හා නිදිමත හිඳිලාය. සිරිල් දෙපා අත ගා බැලීය. දන හිසින් පහළ කොටස සෙලවීමටත් නොහැක. ගලා ගිය රුධිරය අත්ලේ ගෑ වී තිබේ. සිරිල් කෑ ගැසීය. තරුණයින් කීප දෙනෙක් විදුලි පන්දම් රැගෙන පැමිණියහ. ඔවුන් සිරිල් හැඳින්නේය. සිදුවී ඇති ඇබැද්දිය හැඳින්නේය.


දෙපා පාරට වැටෙන සේ පාර අයිනේ වැතිර සිටි සිරිල්ගේ පාද යට කර, කඩා දමා වාහනයක් නොනවත්වා ගොස් තිබේ. රෝහල් ගත කළ සිරිල්ගේ දෙපා කපා ඉවත් කිරීම හැර අන් ප්‍රතිකාරයක් වෛද්‍යවරුන්ට ඉතිරි නොවීය.


සිරිල් නිසා පියාපත් අහිමි වූ පරෙවියන් මෙන් සිරිල්ට ද තම දෙපා අහිමි වී කළ පව් කම් එසේ මෙලොවදීම පල දුන්නේය.
බිංගිරිය, කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවකි.


“ආරච්චිරාල” කෝරලේ අයථා ලෙස රැස්කරගත් දේපොළ පුතා අතින් විනාශ වීම.


යටත් විජිත යුගයේ සිට අප දිවයිනේ පැවතගෙන ආ ගම්මුලාදෑනි (ආරච්චිරාල) හා කෝරලේ තනතුරු 1956 යේ ආණ්ඩු පෙරළියෙන් පසු අහෝසි වී ඒ වෙනුවට ග්‍රාමසේවක තනතුරු හා ප්‍රාදේශීය ලේකම් තනතුරු බිහිවිය. එදා තම ප්‍රදේශයේ අණසක පතුරවමින් ගරු ගාම්භීරව මහත් තේජාන්විතව විසූ සමහර ගම්මුලාදෑනිවරු හා කෝරළේ මහත්වරු දුගී දුප්පත් ජනයා තලා පෙළා වැඩ වසම් ක්‍රමය යටතේ ඔවුනොවුන්ගේ දේපළ, ඉඩකඩම් බල පුළුවන්කාරකමින් අත්පත් කරගත් අතර ඔවුහු දුගී දුප්පත් ජනතාව සැලකුවේ තම තමන්ගේ මෙහෙකරුවන් ලෙසය.


මෙසේ කුඹුරු හා ගොඩ ඉඩම් අක්කර සිය ගණනක් තම තමන්ට අත්පත්කරගත් මෙම ගම්මුලාදෑනිවරුන්ට හා කෝරලේ ඇත්තන්ට හිමි දේපොළ හා ඉඩකඩම් ප්‍රමාණයද අතිමහත්මය.


එදා එක්තරා ප්‍රදේශයක එසේ විරාජමානව විසූ එක්තරා කෝරලේ උතුමෙක් පිළිබඳ වූ කතාවක් මෙසේ ලියමි. ඔහු නමින් අපි ආරච්චිරාල යන අනර්වර්ථ නාමයෙන් හඳුන්වමු. අක්කර සිය ගණනක් පොල් ඉඩම් දුගී දුප්පත් ජනතාවගෙන් බලපුළුවන්කාරකමින් යා කරගත් ආරච්චිරාල කෝරලේ උතුමන්ට සිටි එකම පුතා “ටිකිරි මහත්මයා” යැයි හඳුන්වමු. මෙකී ටිකිරි මහත්මයා කුඩා කළ සිටම අකීකරු නාස්තිකාර පුද්ගලයකු වූ අතර නගරබද පාසලකට යොමුකර හෝටලයක උඩු මහලේ නේවාසිකව හිඳුවා කෙතරම් ඉගැන්වුවද පාප මිත්‍ර ඇසුරට වැටී මත්පැනට හා සල්ලාලකමට ඔහු ඇබ්බැහිවූයේ මිල මුදල් වලින්ද අගහිඟකම් නොමැති වූ බැවිනි. තම දෙමාපියන් කොතරම් අවවාද අනුශාසනා කළද ඒ කිසිවක් තුට්ටුවකටවත් ගණන් නොගත් ඔහු ඉගෙනුම පසෙක තබා ගමට විත් පාප මිත්‍ර සේවනයට තදින්ම ඇබ්බැහි වී නොයෙකුත් දුෂ්චරිත ක්‍රියාවල යෙදුණේය.


මේ අතර වයස්ගතවූ ආරච්චිරාල කෝරලේ මහතා හදිසියේ අසනීප වී මියපරලොව ගියේ තම බිරිඳට හෝ පුතුට දේපොළ ඉඩකඩම් නොලියා හදිසියේය. ඉන්පසු ආරච්චිරාල කෝරලේට අයත් සියළු දේපොළ ඉඩකඩම් බුදල් වූ අතර ටිකිරි මහත්තයා තම මව සමග අධික මුදල් වැයකර බූදල් වූ ඉඩකඩම් බේරා ගත්තේ මහත්වූ පරිශ්‍රමයක් දරා බූදල් නඩුකීමෙන් අනතුරුවය. බූදල් නඩුවෙන් පසු නගරයක ඇති ඉඩකඩම් හා ගොඩනැගිලිද අනෙකුත් ඉඩකඩම් වලින් සෑහෙන ප්‍රමාණයක්ද ටිකිරි මහත්මයාට හිමිවිය. නගරයේ තිබූ එක් කාමරයක් පමණක් මවට හිමිවිය.


“ඉබ්බා දියට දමනවිට ඇන්නෑවේ කීවාක්” මෙන් ඉඩකඩම් දේපොළ නිරායාසයෙන්ම හිමිවූ ටිකිරි මහත්මයා බීමෙන් හා නොයෙකුත් දුෂ්චරිත ක්‍රියාවලින් මුදවා ගැනීම පිණිසත් ඔහුට හිමිවූ අනෙකුත් ඉඩකඩම් හා දේපොළ ආරක්ෂා කර ගැනීම පිණිසත් මෙතෙක් තනිකඩයකු වූ ටිකිරි මහත්තයාට ඔහුගේ මව විසින් විවාහයක් කරදුන්නේ ඉන් මුදවා ගනු පිණිසය. විවාහ වීමෙන් පසු ඔහුගේ එම දුෂ්චරිත ක්‍රියා තව තවත් වැඩිවූයේ නොසිතූ ලෙසිනි. ටික කලක් යනවිට දරු මල්ලන් ලැබුණද ඔහුගේ ක්‍රියාදාමයේ කිසිදු වෙනසක් නොවීය. තම දරුවන්ට හා තම බිරිඳට නොසැලකූ ඔහුගේ බේබදුකම හා සල්ලාලකම දිනෙන් දින වැඩි වූවා මිස අඩුවූයේ නැත. 


මුදල්හදල් අගහිඟ වනවිට තම ඉඩම්වලින් අක්කරයක් හෝ බාගයක් විකුණන ටිකිරි මහත්මයා අතේ සල්ලි ගැවසෙන විට සල්ලාලකමේ යාමේ අරමුණින් තම දරුවන්ට සෙම්ප්‍රතිෂ්‍යාවට පවා බෙහෙත් ගැනීමට වාහනයක් කුලියට ගෙන යන්නේ සැතැපුම් තිහ හතළිහක් දුර ගෙවා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙතය. තම ගම්පළාතේ වෛද්‍ය මධ්‍යස්ථාන කොතෙක් තිබුණද දක්ෂ වෛද්‍යවරු කොතෙක් සිටියද ඔහු මේ ගමන යන්නේ හුදෙක් තම කායික අවශ්‍යතා මුදුන්පත් කර ගැනීමේ  අරමුණිනි. එහි ගොස් එනවිට තදින්ම මත්පැන් පානය කරන ඔහු හෝටලයකට ගොඩවැදී රසවත් බත් පාර්සල් සමූහයක්ද මිලදී ගන්නේ රාත්‍රී ආහාරය සඳහාය. මෙසේ ඉඩම් විකුණූ මුදල් අවසන් වනවිට තවත් අක්කරයක් විකුණා දමන ඔහු ඒ සියළු මුදල් වියපැහදම් කළේ අනවශ්‍ය ආකාරයටය.


ඔහුගේ පියාවන ආරච්චිරාල කෝරළේ උතුමා දුගී දුප්පත් ජනතාවගෙන් නොයෙකුත් බලපුළුවන්කාර කම්වලින් අයථා ලෙස යාකර ගත් ඉඩකඩම් වරින් වර විකුණා දමමින් දුෂ්චරිත ක්‍රියාවල යෙදෙමින් කල් ගෙවූ ටිකිරි මහත්මයාද අවසානයේ මිය පරලොව ගියේ තම දරුවනට බිම් අඟලක් හෝ ඉතිරි නොකරමිනි. දැනට ඔහුගේ දරුවන් ඔහු විකුණා දැමූ කඩ කාමර හා ඉඩකඩම්වල කුලී ගෙවමින් ජීවත් වෙති. ඒ ඔහුට අයත් සියළු දේපළ අන්‍යයන් සතු වීමෙනි.


තවද මෙහි විශේෂත්වය වන්නේ ආරච්චිරාල කෝරළගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ සොහොන් ගැබ අයත් ඉඩමද විකුණු ඔහු එය මිලදී ගත් ව්‍යාපාරිකයකු එම ඉඩමේ ව්‍යාපාර කටයුත්තක් සරුවට කරගෙන යාමය. අසාධාරණ ලෙස ඉපයූ දේපොළ හා ඉඩකඩම් මෙසේ අහිමිවීම ආරච්චි රාල කෝරළේට හා පරම්පරාවට අත්වූ සරදමක් ලෙස හුවාදැක්විය හැකිය.
මෙහි සියළු නම් මනඃකල්පිතය.


මෙය සත්‍ය සිදුවීමකි.
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සටහන
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්