සිරගෙදරට කූඩුවූ පරාජිත ප්‍රේමවන්තයා


 

සෙනෙහෙ පිරි සිත් බිඳී විසිරී ගිය පසු ‘‘විරහව’’ සඟවාගනු වස්, ඇතැම් පෙම්වතුන් ‘‘මත්වතුර’’ සිය ජීවිතය කරගත්තා. ‘‘කුසුම්කුමාර’’ ද එවන් වූ පරාජිත ප්‍රේමවන්තයෙකි. සිය ජීවිතයේ පනස්වැනි ජන්ම කඩ ඉම පසුකරමින් සිටින ‘කුසුම් කුමාර’ වැලිකඩ මහ උළු ගෙදරට එන්නේ ඉකුත් 2013 වසරේ අගභාගයේදීය. ඒ වසර 48ක බරපතළ වැඩ සහිත සිරදඬුවමකට යටත්වය.   


‘‘මගේ උපන්ගම කුරුවිට. මම රස්සාවක් විදිහට කළේ පතල් වැඩ. මට අවුරුදු විසිපහක් විතර වෙද්දී ‘‘ධම්මිකා මැණිකේ’’ මගේ ජීවිතයට ආවා. අපි දෙන්නා අවුරුදු 06ක් ආදරය කළා, විවාහ වෙන්න හිතාගෙන. ඒත් ගෙදරින් එයාව බලෙන්ම වෙන කෙනෙකුට බන්දලා දුන්නා. මගේ ජීවිතේ විනාශ වෙන්න පටන් ගත්තේ එදා ඉඳලා. එයාගේ වෙන්වීම මට දරාගන්න බැරිවුණා. එද‌ා ඉඳලා මං පිස්සෙක් වගේ බොන්න පටන් ගත්තා.’’   


සිය පුත්‍රයා බීමට ඇබ්බැහිවීමෙන් විනාශය කරා යන අයුරු බලා සිටිය නොහැකි වූ කුසුම් කුමාරගේ මාපියෝ ඔහුගේ ජීවිතයට සහකාරියක් එක්කිරීමට බොහෝ උත්සාහ ගත්හ. අවසානයේදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ විසූ ‘‘සුජාතා’’ පුතුගේ ජීවන සහකාරිය ලෙස තෝරා ගත්හ.   


‘‘අම්මටයි තාත්තටයි ඕන වුණේ මාව බීමෙන් ගලවා ගන්න. මං සුජාතාව කසාද බැන්දා. ජයටම මඟුල්කාලා ගමටම කියලා ඒ මංගල්‍යය කළා. ඒත් මාස හයක් ඒ කසාදේ තිබුණේ නෑ. බඳින්න කලින් සුජාතා යාළුවෙලා හිටිය කෙනා අපේ ගමේ එක ගෙදරකට යන්න එන්න ගත්තා. ඒ සම්බන්දෙ ගැන එයා මට කියලා තිබුණා. සුජාතා ඒ පුද්ගලයා ආශ්‍රය කරලා තියෙන්නේ ඒ මනුස්සයා බැඳලා ළමයි දෙන්නෙක් ඉන්න කෙනෙක් කියලා නොදැන.’’   


විවාහකයකු බව නොපවසා තමන් රැවටූ ඒ රැවටිලිකරු සමඟ කිසිදු ගනුදෙනුවක් තබා වචනයකුදු කතා නොකරන බවට සුජාතා දිවුරුම් දුන්නාය.   
මම සුජාතා විශ්වාස කළා. නමුත් සිද්ධ වුණේ වෙනම දෙයක්. ඒ මනුස්සයා ගැන කිය කිය මගේම යාළුවෝ සුජාතාගෙන් ප්‍රයෝජන අරගෙන ඒ කියන්නේ මගේ යාළුවෝ අයුතු විදිහට එයාව බයකරලා ප්‍රයෝජන අරගෙන. මට මේවා ආරංචි වුණාම ගමේ ඉන්නත් බැරි තරමටම මම කලකිරුණා.   


සුජාතාගේ රූපේ හරිම හැඩයි. ඒත් ඒ රූපේ පිටුපස තිබුණා මහා භයංකර ඛේදාන්තයක්. අන්තිමට අපි දෙන්නාගේම කැමැත්තෙන්ම වෙන් වෙන්න තීරණය කළා. මොකද මට තවත් ඒ ගමේ ඉන්න බැරි තරමටම වැඩ සිද්ධ වුණා.’’   


කෙටි කාලීන විවාහ ජීවිතයට සමුදුන් කුසුම්කුමාර නැවතත් සිය සුපුරුදු ‘‘බේබදුකම’’ පටන් ගත්තේය.   


තම පවුලේ එකම පිරිමි දරුවා ආකාලයේ විනාශ වන අයුරු දැඩි ශෝකයෙන් බලා සිටි කුසුම්කුමාරගේ පියා අවසානයේ තීරණයක් ගත්තේය. 

 
‘‘පුතා මේ ඉඩම් විකුණලාදාලා මගේ ගමට යමු. මොකද එහේ තියෙන මගේ ඉඩම් ටිකත් නිකං නාස්ති වෙනවා. මං අදම බාප්පලා දෙන්නට කතා කරන්නම්.’’   
ජීවිතය අපායක් කරගෙන සිටි කුසුම්කුමාර පියාගේ මේ ඉල්ලීම ගැන දෙවරක් සිතන්නට වූයේය. අවසානයේ පියාගේ උපන්ගම වූ ඉංගිරිය ප්‍රදේශයට ගොස් ජීවිතය යළි අලුතින් ගොඩනගා ගැනීමට ඔහු සිතුවේය. එහෙත්, ලොකු අයියාත් ඔහුගේ පවුලේ උදවියත් ඉංගිරියට එනවාට කුසුම්කුමාරගේ බාප්පලා දෙන්නා දැක්වූයේ අමනාපයකි.   
සහෝදර ප්‍රේමයට වඩා දේපළ පිළිබඳ ඇති වූ තණ්හාවෙන් ඔවුහු කුසුම්කුමාරලාගේ ආගමනයට නොකැමැත්ත පළ කළහ.   


‘‘බාප්පලා සිතාගෙන හිටියේ කිසි දවසක ආයෙත් අපි ගමට එන්නේ නැති වෙයි කියලා. අපිට තේරුණා අපි ගේ හදන්න හදද්දී ඒ අයගේ තිබුණ අප්‍රසාදය. අපිට කිසිම උදව්වක් කළේ නෑ. මමත් තාත්තත් ගේ හදන්න ගොඩක් මහන්සි වුණා. මගේ තාත්තා මට ගොඩක් ආදරෙයි.   


තාත්තගේ පරම්පරාවට හිටපු එකම පිරිමියා වුණේ මම. බාප්පලා දෙන්නටම හිටියේ දුවලා. ඒ ගොල්ලෝ මා ගැන පොඩි ඉරිසියාවක් වගේ තිබුණා කියලා මට පුංචි කාලේ ඉඳලම තේරුණා.’’   


‘‘කුසුම් කුමාර’’ ඇතුළු පවුලේ උදවිය නව නිවස ඉදිකිරීම සඳහා වතුර ලබාගෙන තිබුණේ එක් ඥාතියෙකුගේ නිවසෙනි. හදිස්සියේම වතුර දීම ඔවුන් ප්‍රතික්ෂේප කළ බැවින් කුසුම්කුමාරලා දැඩි අපහසුතාවට පත් වූහ.   


‘‘එක දවසක් නෙවෙයි. වතුර දෙන්න බැහැ කියලා කියන්න කලින් බටේ ගලවනවා. ඇබ ගහනවා. ඒ වගේ දේවල් කිහිපයක්ම කළා. අන්තිමට කිව්වා වතුර දෙන්න බැහැ කියලා. තාත්තා ගියා එ්ක අහන්න. ගෙයි ඉතුරු වැඩ ටික ඉවර කරගන්න කල් සල්ලිවලට හරි වතුර ටික දෙන්න කියලා කියන්නයි තාත්තා ගියේ.’’   


කිසිදු කලබලයකින් තොරව සිය බාල සොහොයුරා සමඟ කතාවට වැටුණ කුසුම් කුමාරගේ පියාට වැඩි වේලාවක් එම සංවාදය පවත්වාගෙන යාමට නොහැකි වූයේය.   
‘‘බාප්පා බීලා හිටියේ. තාත්තා හොඳින් කතා කළා. නමුත් බාප්පා එකපාරටම ‘‘තොපිට වතුර දෙන්නේ නෑ. කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරපං. උඹලා මේ ගමට එන්න ඕන නෑ. පලයව් යන්න තො​ලොංජිවෙලා’’ කියලා. තාත්තාගේ පිටට පාරක් ගැහුවා. ඒ ගමන්ම තාත්තත් බාප්පට ගැහුවා.   


ඒ වෙලාවේ එතැන සෙනඟ ටිකක් හිටියා. බාප්පලාගේ ගෙදර දානයක් තිබුණා. ඒකයි. නෑදෑයෝ පිරිලා හිටියේ. මම බලාගෙන හිටියා. බාප්පලා දෙන්නයි නෑදෑයෝ ටිකයි මගේ තාත්තා පෙරළගෙන ගහනවා. මට බලාගෙන ඉන්න බැරිවුණා. මම දුවගෙන ආවා ගේ හදන තැනට.’’   


කුසුම්කුමාරගේ අතිජාත මිත්‍රයකු ව සිටි යුද හමුදා සෙබළකු වූ හේමන්ත මින් වසර කිහිපයකට උඩදී රැකගැනීමට යැයි පවසා ලබාදුන් ‘‘දුම්බෝම්බය’’ පිළිබඳව මතකය ඔහුගේ සිතට ක්‍ෂණිකයෙන් ගලා ආවේ මේ අතරතුරේදීය. කුරුවිට සිට නිවසේ බඩු බාහිරාදිය ලොරියට පටවන අවස්ථාවේදී නිවසේ සඟවා තිබූ ඒ ‘‘දුම් බෝම්බය’’ පිළිබඳව ඔහුගේ මතකය නැවත අලුත්විය.   


ඒත් හේමන්ත එදායින් පසු අපිව බලන්න ආවේ නෑ. මං මේ දුම්බෝම්බය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලවත් දන්නේ නෑ. ඒත් මං බාප්පලා බයකරන්න කියලා හිතාගෙන ගල් අස්සේ හංඟලා තිබුණ ඒකත් අරගෙන රණ්ඩුව ඇති වෙච්ච තැනට දිව්වා. ඒ යන කොටත් තාත්තාට බිම පෙරළගෙන ගහනවා.’’   


‘‘ඕක නවත්තපං’’ මගේ තාත්තා අත ඇරපං’’ රණ්ඩුව මැදට පැන්න කුසුම්සිරි කෑගැසුවේය.   


‘‘ආ අන්න චණ්ඩි පුතා ආවා. අල්ලපං ඕකත් ඉවරයක් කරන්න’’ බාප්පාගේ කෑගැසීම ඔහුට හොඳින්ම ඇසිණි. දෙවරක් නොසිතූ ඔහු තම අත රැදි දුම්​ෙබා්ම්බයේ ‘පින්’ එක ගලවා එය අසල බිත්තියකට දමා ගැසුවේය.   


ඒ, 1999 වර්ෂයේ මැයි මස 03 වැනිදාය. මහා ගිඟුරුම් හඬක් සමඟ බෝම්බය පිපිරී ගියේ අසල සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු බිම පතිත කරමිනි. ගිඟුම් හඬින් පළාතම දෙවනත් වෙද්දී කුසුම්කුමාර සිදුවූයේ කුමක්දැයි වටහා ගත නොහැකිව වටපිට බැලුවේය. තම බාප්පාත් තවත් පුද්ගලයන් හතර දෙනෙකුත් ලේ විලක් මැද වැටී සිටි අයුරුත් අනෙක් අය කෑ ගසමින් සී.සී කඩ දිව යන අයුරුත් ඔහු දුටුවේය. තමා අතින් මේ සිදුවූයේ කුමක්දැයි යන්න වටහා ගත නොහැකි වූ ඔහු තුෂ්නිම්භූතව සිටියේය.   


‘‘අල්ලපං ඕකව අල්ලපං’’   


කුසුම්කුමාරට ඇසුණේ එපමණකි. කකුල් දෙකට හැකි වීරිය ගත් ඔහු පස්ස නොබලාම දිවගියේය.   


‘‘ඊට පස්සේ මොකද වුණේ.?’’   


‘‘එදා රෑ එළිවෙනකල් මං තේ කෑල්ලකට වෙලා හැංගිලා හිටියා. උදේ වෙද්දී මං පොලිසියට ගියා. ඒ යද්දී මගේ තාත්තව අරගෙන ඇවිල්ලා මං කෝ කියලා හොඳටම ගහනවා. මට ඒක දරාගෙන ඉන්න බැරිවුණා. මාව දැක්ක ගමන් තාත්තා කෑ ගහලා ඇඬුවා.’’   


‘‘අනේ බුදු පුතේ කිසිම දවසක පොලිසියකට ඇවිත් නැති මට මේ මොකද වුණේ?’’ කියලා.   


‘‘මං නිසා තාත්තා මාස 06ක් හිරේ හිටියා. මං අවුරුද්දක් හිරේ හිටියා. එදා ඒ පුපුරලා තියෙන්නේ ග්‍රෙනේඩ් එකක්. ඒක මට කිව්වේ පොලීසියෙන්. මං හිතුවේ එ්ක දුම්බෝම්බයක් කියලා. මට ඕන වුණේ බාප්පව බයකරන්න. එදා තුන්දෙනෙක් මැරිලා එතැනම. ඒ තුන්දෙනාම මීට කලින් මම දැකලා නෑ. දුරින් නෑදෑයෝ පහක් තුවාල වෙලා.   


අවුරුද්දක් හිරේ ඉඳලා මම ගෙදර ගියා. ඒ වෙද්දී නෑදෑයොත් තේරුම් අරගෙන තිබුණා මම දැනගෙන ඒක කලේ නෑ තාත්තා බේරගන්න ඒක කළා කියලා. නමුත් මිනී මැරුම් වෙලා. මං වරදකාරයෙක්.’’   


කුසුම්කුමාර, දෙනෙතට ඉනූ කඳුළු බිඳු බිඳු පිටි අත්ලෙන් පිසඳා ගත්තේය.   


‘‘මං එද්දී නංගිත් කසාද බැඳලා ගෙදරින් ගිහින්. අම්මයි තාත්තයි කිව්වා ඒ ගමේ ඥාති වෙන කෙනෙක්ව මට කසාද බඳින්න කියලා. මම ඒ දෙන්නගේ කැමැත්තට ඉඩ දුන්නා. ජීවිතේ හරි පුදුමයි. අද මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ බිරිඳ හරිම කරුණාවන්ත කීකරු කෙනෙක්. මට ජීවිතය ලැබෙද්දී තමයි ආයෙත් දෙවියෝ ඒක මගෙන් උදුරගත්තේ.’’   
මනුෂ්‍ය ඝාතන චෝදනාවට වරදකරු වී වසර 14කට පසු කුසුම්කුමාරට සිරදඬුවම නියම වන්නේ දීර්ඝ නඩු විභාගයකින් පසුවය. හිරගෙදර ජීවිතයට මුහුණදීමට කුසුම්කුමාරට අපහසු නොවුණත්, අලුත් ජීවිතයට සමුදී පැමිණෙන්නේ කෙසේ දැයි ඔහු විස්සෝප වූයේය.   


‘‘මේ මගේ කරුමේ.. මං දරුවෝ ලැබුණාට පස්සේ බීම නැවැත්තුවා. මොකද මම හිතුවා ඒක මගේ ජීවිතේ කියලා. ඒත් එදා රණ්ඩුව වෙද්දී මම තාත්තා කෙනෙක් වෙලා හිටියා නම් මම දෙයක් කරන්න හදද්දී දහපාරක් හිතයි. ඒත් එදා මං බේබදු සෙල්ලක්කාරයෙක් විතරයි. ජීවිතේ අරමුණක් තිබුණේ නෑ. ඒත් ජීවිතේ පටන් ගනිද්දීම ඒ ජීවිතේ උදුරගත්තා මගේ දෛවය. මගේ හොඳකාලේ මම හිරගේ ඇතුළේ. අද මම කොච්චර නම් ‘‘පසුතැවිලි’’ වෙනවද? එදා මට අද තිබුණ ‘‘බුද්ධිය’’ තිබුණා නම්? එක දෙයක් කියන්නම් ඕනම දෙයක් කරන්න යද්දී දෙපාරක් නෙවෙයි. දහපාරක් හිතන්න. එතකොට වරදින්නේ නෑ.’’ 

 
‘‘කුසුම්කුමාර ද‌ාර්ශනිකයෙක් වුණාද? හිරගේ ඇතුළට ඇවිත්.?’’   


‘‘නෑ, හොඳ බෞද්ධයෙක් වුණා. මම කවදාවත් දහම් පාසල් ගිහින් නෑ. මෙහෙට ඇවිත් ඉගෙන ගෙන ධර්මාචාර විභාගය පාස් වුණා. අද මම දහම් පාසලේ උගන්වනවා. මේ හිරගෙදරින් කවදා හරි එළියට යන අයට ජීවිතේ හදාගන්න උදව්වෙනවා.

   
දෛවය කෙබඳුදැයි මේ කතාවෙන් ඔබට වැටහෙනු ඇතැයි සිතමි. අවසානයේ වුවද යථාර්ථය පසක් වන්නේ නම් එයද සුගතියට මං විවර වීමකි. බන්ධනාගාර ගත රැඳවියන්ගේ ජීවිත කතාන්දර තුළින් ‘‘පසුතැවිල්ල’’ විශේෂාංගය සැරසෙන්නේ මේ යථාර්ථයම අරමුණ කොට ගනිමිනි. 

 
විශේෂ ස්තූතිය - බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ටී.අයි. උඩුවර, ප්‍රධාන ජේලර් ප්‍රසාද් ප්‍රේමතිලක, පුනරුත්ථාපන අංශභාර ප්‍රධාන නිලධාරී පියසිරි වටගොඩ යන මහත්වරුන්ට.   

 

 

නිමන්ති රණසිංහ