සිරකරුවන් වැඩි කරන ආණ්‍ඩුවේ වැරදි තීන්දු


බන්ධනාගාරවල තදබදය අඩු කිරීමේ නාමයෙන් ආණ්ඩුව විසින් රුපියල් මිලියන 24,000ක් (බිලියන 24ක්) වියදමින් පවතින බන්ධනාගාර කිහිපයක් පිට පළාත්වලට රැගෙන යාම සඳහා වැඩසටහන් දියත් කරන බව ප්‍රකාශයට පත් වී ඇත. ඒ අනුව වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට ගෙන යාම සඳහා එම ප්‍රදේශයෙන් අක්කර 250ක් වෙන් කොට ඇති බවත් එම බන්ධනාගාර සංකීර්ණය පවතින වැලිකඩ බන්ධනාගාරය මෙන් දස ගුණයක් විශාල බවත් දැනගන්නට ඇත. කොළඹ තිබෙන බන්ධනාගාර ත්‍රිත්වය පිටපළාත්වල රැගෙන යාම මගින් නිදහස් කර ගැනීමට නියමිත ඉඩම් ප්‍රමාණය අක්කර 46කි. ඒ අනුව එම වටිනා ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ආයෝජකයන්ට විකිණීම මේ ව්‍යාපෘතියේ යටි අරමුණක් බවටද සැකයක් නැත. 

 
ඒ ආකාරයට කොළඹ, මහනුවර, මාතර, ත්‍රිකුණාමලය ආදී නගරවල බන්ධනාගාර පිට පළාත් වලට රැගෙන යාම මගින් රිමාන්ඩ් සිරකරුවන් අධිකරණවලට රැගෙන යාම සඳහා අධික වියදමක් දැරීම සහ ආරක්ෂාව සැපයීම ආදී ගැටලු වලට මුහුණ දීමට සිදුවේ. ඊට අමතරව නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා අධිකරණ පද්ධතියට ගොඩනැගිලි අවශ්‍ය බව කියමින් කොළඹ නව අධිකරණ සංකීර්ණයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 17,000ක් වියදම් කිරීමටද ආණ්ඩුව ක්‍රියා කරමින් ඇත. නමුත් අධිකරණ පද්ධතිය තුළ දීර්ඝ කාලීනව පවතින අකාර්යක්ෂමතාවන් එසේ නව ගොඩනැගිලි ඉදිකිරීම මගින් විසඳිය නොහැකි බව ප්‍රසිද්ධ කරුණකි. කෙසේ වෙතත් ආණ්ඩුව ඒ ආකාරයට විශාල මුදලක් ආයෝජනය කරමින් බන්ධනාගාරවල තදබදය අඩු කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇතත් මෙම ප්‍රශ්නය මෑත කාලයේ ඇතිවූ හදිසි ප්‍රශ්නයක් නොවේ. එය අවුරුදු 20-30 අධික කාලයක සිට වර්ධනය වූ තත්ත්වයකි. ඒ නිසා රට කොවිඩ් වසංගතයට සහ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් නැගී සිටීමට උත්සාහ කරන වකවානුවක එවැනි විශාල මුදලක් එසේ වැය කිරීම ප්‍රමුඛතාවයක් ලෙස සැලකිය නොහැක.   


සිරකරුවන්ගේ සුබසාධනය සහ අධිකරණ පද්ධතියේ අසාධාරණකම් පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂණ වල නියැලෙන සහ තනිවම සටනක නියැලී සිටින ජ්‍යෙෂ්ඨ නීතීඥ කල්‍යානන්ද තිරාණගම මහතාගේ පර්යේෂණ දත්ත අනුව අප රටේ බන්ධනාගාරවල පහසුකම් ඇත්තේ රිමාන්ඩ් සිරකරුවන් 5034 දෙනෙකුට සහ දඬුවම් ලබන සිරකරුවන් 6728 දෙනෙකුට පමණි. නමුත් පසුගිය 20 වසරක දත්ත පිරික්සීමේ දී පෙනී යන්නේ සෑම වසරකම එම ප්‍රමාණය මෙන් දෙගුණයක සිට තුන් ගුණයක් දක්වා සිරකරුවන් රඳවා ගෙන සිටින බවය. උදාහරණයක් ලෙස රැදවිය හැකි සමස්ත සිරකරුවන් ප්‍රමාණය 11762ක් වුවත් 2009 වසරේදී එම ප්‍රමාණය 27823ක් වන අතර 2019 දී 24,466කි. එසේ ඉතා විශාල වශයෙන් සිරකරුවන් රඳවා ගෙන සිටීමට සිදුවන්නේ අධිකරණ පද්ධතිය සහ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින තර්කානුකූල නොවන හෙවත් සාමාන්‍ය භාෂාව අනුව “ගොන් තකතීරු” ක්‍රමවේද සහ පටිපාටි නිසා බවට නීතිඥ තිරාණගම මහතාගේ පර්යේෂණවලින් හෙළිදරව් වේ.   


සාමාන්‍ය අපරාධ නඩුවක දී මහේස්ත්‍රාත් උසාවිකදී පැනවිය හැකි උපරිම දඩය රු. 1500කි. චෝදනා එකකට වැඩිනම් එය උපරිම වශයෙන් වැඩි විය හැක්කේ රුපියල් 300ක් දක්වා පමණි. මත්ද්‍රව්‍ය නාශක පනත යටතේ පැනවිය හැකි උපරිම දඩය 50,000කි. නමුත් එවැනි තත්ත්වයක් තුළ දඩ ගෙවීමට නොහැකිවීම නිසා 2019 දී බන්ධනාගාර ගත වූ 20,000ක් වන සිරකරුවන් සඳහා දිනක වියදම රුපියල් 650ක් ලෙස සැලකුවද රජයට වසරකට වැය කිරීමට සිදු වන මුදල රුපියල් මිලියන 4800 ක් පමණ වේ. මෙම ක්‍රියාවලිය තුළ පැනනගින බරපතළම තත්ත්වය වන්නේ එසේ කෙටිකාලීනව දඩ ගෙවා ගැනීමට නොහැකිව සිරගත වන පිරිස, සිරගෙවල් තුළ බලවතුන් ලෙස ජීවත් වන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ පාතාල සාමාජිකයන්ගේ ගොදුරු බවට පත්වීමය.   


ඒ අනුව පාතලයට සාමාජිකයින් බඳවා ගැනීමට සහ රජයේ වියදමින් ඔවුන් පුහුණුකර ගැනීමට අවස්ථාව සලසන්නේ රජය විසිනි. එම බඳවා ගැනීමේ සහ පුහුණු කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරය තුළදී වෙනත් ස්ථානයකට වඩා ඉතා කාර්යක්ෂම සහ ප්‍රතිඵලදායකව සිදුකළ හැකි බව ඉතා පැහැදිලිය. නමුත් ඉතා කනගාටුදායක තත්ත්වය වන්නේ මෙම “ගොන් තකතීරු” ක්‍රියාවලිය නැවැත්වීම සඳහා අවශ්‍ය වන්නේ අධිකරණ අමාත්‍යාංශය මඟින් චක්‍රලේඛයක් නිකුත් කිරීම පමණි. නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාට අනුව ඒ සඳහා නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නොවේ. එසේ නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වැයවන රාජ්‍ය අරමුදල් ඉතිරිකර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ අත්සනක් සඳහා පෑන් පහර ගැසීම පමණි. එනම් දඩ මුදල් කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත ඇප ලබා දීම සඳහා නියෝගයක් නිකුත් කිරීම පමණි. නමුත් වගකිවයුත්තන් ඒ ඉදිරිපත් නොවීම මගින් ඔවුන් රජයේ අරමුදල් විනාශ කරන්නන් බවට පමණක් නොවේ පාතාලයට අනුග්‍රහය දක්වන්නන් බවටද පත්වේ. ඒ ආකාරයට චක්‍රලේඛයක් නිකුත් කිරීම මගින් පමණක් ප්‍රශ්නය විසඳීම මගින් බරපතළ සමාජ ප්‍රශ්නයක් ද විසඳිය හැක. එනම් ඉහත සඳහන් කළ ආකාරයට මාසිකව කොටස් වශයෙන් දඩය ගෙවීමට අවස්ථා ලබාදීම මගින් එක් පැත්තකින් චූදිතයින් පාතලයේ ගොදුරු බවට පත්වීම වැළැක්විය හැකි අතර රජයට දඩ මුදල ද ආදායමක් ලෙස ලැබේ. අනෙක් පැත්තෙන් ඔවුන්ට දරු පවුල් සමඟ ජීවත් වන අතර පවුලේ සහ රටේ ආර්ථික ක්‍රියාවලියට දායක වීමට ද ඉඩ ලැබේ. මහාපරිමාණ වියදම් සමගින් විසඳුම් සෙවීමට උත්සාහ කරන නිලධාරීන්ට මෙම සරල විසඳුම නොපෙනීම කනගාටුවට කරුණකි.   
ඊට අමතරව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා ගේ අධ්‍යනයන්ට අනුව මහේස්ත්‍රාත් උසාවි මගින් අධිකරණ බලය ඉක්මවා පනවා ඇති දඬුවම් සහ නීතියට අනුව වරදකරු කළ නොහැකි වැරදි සම්බන්ධයෙන් පනවා ඇති දඬුවම් නිසාද බන්ධනාගාරවල තදබදය වැඩි වන බව ඉතා පැහැදිලි කරුණකි. එම අධ්‍යනයන්ට අනුව මහෙස්ත්‍රාත් උසාවිය මගින් එක් නඩුවක දී වරදකරුවෙකුට පැනවිය හැකි උපරිම සිරදඬුවම වසර හතරකි. ඊට වැඩි කවර හෝ දඬුවමක් පැනවීම නීතියට පටහැනි ක්‍රියාවකි. නමුත් මහර සිරගෙදර සිටි එක් සිරකරුවෙකුට මහේස්ත්‍රාත් උසාවියක් මගින් නඩු තුනකට අදාළව පනවා ඇති දඬුවම වසර 84 ක සිර දඬුවමකි. නීතියට අනුව එහිදී පැනවිය හැකි උපරිම දඬුවම වසර 12ක්. ඒ අනුව වසර 72ක දඬුවම නීති විරෝධී වේ. මෙම තොරතුරු කියවන පාඨකයා මෙවැනි දේ ශ්‍රී ලංකාව වැනි නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ උගත් පරපුරක් සිටින රටක සිදුවිය හැකි දැයි ප්‍රශ්නයක් මතු විය හැක. ඊට අමතරව ඉතා සරල තාක්ෂණික කාරණා පිළිබඳව ද ඒකමතික නොමැති වීම නිසා ද නීති විරෝධී සිර දඬුවම් ලබාදීම සිදුවේ. උදාහරණයක් ලෙස නීතියට අනුව සොරකම් කිරීමේ චෝදනාවකට ලක් වන පුද්ගලයෙකුට සොර බඩු ළඟ තබාගැනීම හා අලෙවි කිරීම යන වැරදිවලට එකවර දඬුවම් කළ නොහැක. සොරෙකු යම් දෙයක් සොරකම් කරනු ලබන්නේ එය ළඟතබා ගැනීම හෝ අලෙවි කිරීම සඳහා මිස විසිකර දැමීමට නොවේ. එම වැරදි නඩු තීන්දු නිසා තංගල්ල උසාවිය මගින් එක් චූදිතයෙකුට නඩු දොළහකට වසර 72 ක සිරදඬුවම් නියම කොට තිබූ අතර නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාට අනුව ඉන් වසර හතලිස් අටක්ම නීති විරෝධී වේ. 

 
ඊට අමතරව දඩ හෝ වන්දි නොගෙවීමට අදාළව නීති විරෝධී ලෙස පනවා ඇති දීර්ඝ කාලීන සිරදඬුවම් විඳින සිරකරුවන් ද අප රටේ සිටිති. උදාහරණයක් ලෙස රුපියල් ලක්ෂ 27ක වන්දියක් නොගෙවීමට අදාළ ව පැවැති නඩුවක දී කොළඹ මහාධිකරණය මගින් වසර 277 නීති විරෝධී සිර දඬුවමක් පනවා තිබුණි. නීතිඥ තිරාණගම මහතා ට අනුව එම වරදට පැනවිය හැකි උපරිම දඬුවම වසර එකක් සහ මාස නමයකි. එසේම අධිකරණය මගින් එකවර ගෙවී යාමට නියම කරන දඬුවම් බන්ධනාගාරය මගින් එකක් පසු එකක් වශයෙන් ගෙවී යාමට නියම කරන අවස්ථාද ඇත. උදාහරණයක් ලෙස මිරිහාන පොලිසිය විසින් සුළු සොරකම් දාහතරක් සඳහා අත්අඩංගුවට ගත් වසර 16 ක ළමයෙකු විසින් වරද පිළිගැනීම නිසා විනිසුරුතුමා විසින් එක නඩුවකට වසර 3යි මාස 8 බැගින් එකවර ගෙවී යන ලෙස දඬුවම් පමුණුවන ලදී. නමුත් බන්ධනාගාරය විසින් එකකට පසු එකක් වශයෙන් වසර 46 සිර දඬුවමක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙවැනි වැරදි නිවැරදි කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කළ යුතුය. ඉන්දියාව වැනි රටවල් 1923 දී තරම් අතීතයේදී මෙවැනි වැරදි නිවැරදි කළ ද ශ්‍රී ලංකාවේ අප කොතෙක් නීති සංශෝධනය කළත් එවැනි වැරදි තවදුරටත් පවත්වාගෙන යෑම කනගාටුවට කරුණකි.   


මෙම සියලු තත්ත්වයන්ට වඩා බරපතළ තත්ත්වයක් මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව දක්නට ඇත. පසුගිය 2019 වසරේ දී රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද මුළු සිරකරුවන් සංඛ්‍යාවෙන් 51% මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් ය. නීතියට අනුව ජාවාරම සහ භාවිතය හෝ ළඟ තබාගැනීම වැරදි දෙකකි. ජාවාරම් කිරීම පිළිබඳ වැරදිකරුවන්ට ඇප ලබාදීමේ බලය මහේස්ත්‍රාත්වරයාට නැත. ඒ සඳහා ඇප ලබාගත යුත්තේ විශාල මුදලක් වැය කරමින් මහාධිකරණය මගිනි. පුනරුත්ථාපනය සඳහා යොමු කළයුතු මත්ද්‍රව්‍ය භාවිතයට හෝ ළඟ තබා ගැනීමට වැරදිකරුවෙකු වන තරුණයෙකුට දඬුවම් කළ යුත්තේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වන අතර එවැන්නෙකුට ඇප ලබාදීමේ බලය අධිකරණයට ඇත. නමුත් සමාජයේ වරදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන තරුණයකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හුවා දක්වා නඩු පැවරුවහොත් ඔහුට ඇප ලබාදීම මගින් පුනරුත්ථාපනය කිරීම වෙනුවට ඇප අහිමිකොට සිරගෙදරට යැවීම් සිදු වේ. එම මහා අපරාධය නිසා පුනරුත්ථාපනය වියයුතු අති බහුතරයක් මත්ද්‍රව්‍ය වැරදිකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සිදුවේ.   


ඉහත සඳහන් කළ ආකාරයට සිරගෙදර ආධිපත්‍ය පතුරවන පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් තම බල ඇණියට නව බඳවා ගැනීම් සඳහා තෝරාගනු ලබන්නේ මෙසේ මත්ද්‍රව්‍ය භාවිතයට වැරදිකරුවන් වී පොලිසියේ වරද නිසා ජාවාරම්කරුවන් ලෙස සිරගත වන පිරිස් වේ. ඒ අනුව පාතාලයට නව බඳවා ගැනීම් සඳහා පහසුකම් සපයනු ලබන්නේ බදු ගෙවන්නන්ගේ වියදමින් සහ පොලිසියේ අනුග්‍රහය යටතේ බව ඉතා පැහැදිලි කරුණකි. එහිදී ඉතාම කනගාටුදායක තත්ත්වය වන්නේ පොලිසිය විසින් සිදුකරන එම බරපතල අපරාධය නිවැරදි කරන ලෙස නීතිපතිවරයා විසින් 2012 මැයි 31 දින නිකුත් කළ අංක 24/49/2012 දරන චක්‍රලේඛය පොලිසිය විසින් ක්‍රියාත්මක නොකිරීම සහ ඒ පිළිබඳව නීතිපතිවරයා නිහඬවතක් අනුගමනය කිරීමය. ඒ ආකාරයට රිමාන්ඩ් සිරකරුවන්ගෙන් බන්ධනාගාර පිරවීමේ තවත් ක්‍රමයක් වන්නේ උසාවි මගින් ඉතා විශාල මුදල් ඇප ඉල්ලා සිටීම සහ ඇප කරුවන් ලෙස රාජ්‍ය සේවකයන් ඉදිරිපත් කිරීම වැනි කොන්දේසි පැනවීමය. මේවා නිවැරදි කිරීම සඳහා වර්තමාන ආර්ථික අර්බුදය තුළ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කරමින් නව බන්ධනාගාර තැනීමට අවශ්‍යද?   


ඊට අමතරව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගේ අධ්‍යයනයන්ට අනුව බන්ධනාගාරවල තදබදයට හේතුවූ තවත් කරුණක් වන්නේ 1981 අංක 8 දරණ රිමාන්ඩ් සිරකරුවන් නිදහස් කිරීමේ පනතේ විධිවිධාන අනුව මහේස්ත්‍රාත්වරුන් සහ බන්ධනාගාර අධිකාරීවරයා කටයුතු නොකිරීමය. එම පනත අනුව සෑම මහේස්ත්‍රාත්වරයෙකුම අවම වශයෙන් මාසයකට වරක් තම බලප්‍රදේශයේ බන්ධනාගාර පරීක්ෂා කර බැලිය යුතුය. එවැනි සොයා බැලීමක් සිදුවේ නම් නිරපරාධදේ සිරගතව සිටීමට සහ බන්ධනාගාරවල තදබදයට හේතු වන සාධක නිවැරදි කිරීමට අවස්ථාව ලැබේ. ඒ සඳහා කළ යුත්තේ මෙම පනත අනුව ක්‍රියා කිරීම අනිවාර්ය කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කිරීමය. නමුත් අවාසනාවකට තදබදයට පිළියම් ලෙස බන්ධනාගාර පුළුල් කිරීම සහ වෙනත් ස්ථානවලට රැගෙන යාමට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වැය කිරීමට යෝජනා කරන පිරිස් වලට මෙම සරල පිළියම් පෙනෙන්නේ නැත. එහි අවසාන ප්‍රතිඵලය අසාධාරණ ලෙස මේ රටේ රට වැසියන් සිරගෙවල්වල දුක්වීඳීම පමණක් නොවේ. අදාළ ඇමැතිවරුන්ගේ සහ නිලධාරින්ගේ දුප්පත්කම නිසා රට වනසන පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රජයේ වියදමින් අපරාධ කල්ලි සාමාජිකයින් බඳවා ගැනීම සහ ඔවුන්ට පුහුණුව ලබාදීමට හැකියාව ලැබී ඇත.

 

 

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර