සියලු ජනතාවගේ ආදරය දිනූ බෞද්ධ නායකයා ඩඩ්ලි සේනානායක


ශ්‍රී ලාංකීය දේශපාලනය සුවඳවත් කළ ‘සඳුන් රුක’ ලෙස මම ඩඩ්ලි සේනානායකයන් දකින්නෙමි. ශ්‍රී ලාංකේය දේශපාලනයේ ‘මහත්මා සලකුණ’ ලෙසද මම ඔහු දකින්නෙමි. මානව දයාව පිරි ඩඩ්ලි සේනානායකයන් දේශපාලනය අලංකාර කළ මනුෂ්‍ය රත්නයකි. දේශපාලන බලය සහ මුදල් ඉදිරියේ මිනිස් ජීවිත දෙවෙනි කොට සලකන යුගයක, ඩඩ්ලි සේනානායකයන්ගේ චරිතය තුළින් උගත හැකි පාඩම් බොහෝය.  


ඩඩ්ලි සේනානායක මැතිතුමන් රැස්වීම්වල කතා කරනු මම දැක තිබුණත්, මුහුණට මුහුණ එතුමන් පෞද්ගලිකව හමුවීමක් සිදුවූයේ 1970 වර්ෂයේදීයි. හැත්තෑවේ මැතිවරණ පරාජයේ උණුසුම පහව ගොස් නොතිබුණු මේ සමයේ පක්ෂයේ පරාජය සම්බන්ධව එතුමන් සිටියේ කැලඹිලිකාරී වාතාවරණයකයි.  


මගේ පියතුමන්ගේ ලිපියක් සමග කොළඹ ආනන්දයේ ශිෂ්‍ය නියෝජිත පිරිසක් ලෙස අපි එතුමන් හමුවුණෙමු. මෙම හමුවීම සඳහා අපට අවස්ථාව සලසා දුන්නේ එවකට එ.ජා.පයේ තරුණ පෙරමුණේ ලේකම් ජිනද‌ාස නියතපාල මහතායි. අපට එතුමන් දැක් වූ ප්‍රතිචාරය මට මේ මොහොතේ සිහියට නැඟේ.  


‘‘ පුතාලා දැන් හොඳට ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්න වයස, විශ්වවිද්‍යාලයට ගිහින් ආවට පස්සේ දේශපාලනය කරන්න පුළුවන්. ඒ වෙලාවට අපි ඕගොල්ලන්ට අවස්ථාව ලබා දෙන්නම්’’  


තම දේශපාලන අරමුණු සඳහා ශිෂ්‍යයන් ඉත්තන් කරගන්නට සූද‌ානම් නොවූ අවංක නායකයෙකුගේ ප්‍රතිරූපය අපි දුටුවෙමු. යොවුන් වියේ පසු වූ අපගේ දේශපාලන පිපාසය නිවාලන්නට එම පිළිතුර සමත් වූයේ නැත ‘‘එ.ජ.ප. ය මේ ස්ථාවරයේ සිටියොත් අනාගත පරපුර අන්තවාදී මාවතකට නැඹුරුවීම වළක්වන්න බැරිවේවි’’  


අපේ අදහස ඉතා ප්‍රබල ලෙසින් අපි එතුමන්ට පැහැදිලි කළෙමු. ශිෂ්‍ය නියෝජිතයන්ගේ දීර්ඝ සහ බලවත් කරුණු ඉදිරිපත් කිරීම්වලින් පසුව පවතින සැබෑ තත්ත්වයේ බැරෑරුම් බව එතුමාට ඒත්තු ගිය බව වැටහිණ.  
‘එහෙනම් අපි කල්පනා කරලා තීන්දුවක් ගමු. මට සතියක් කල් දෙන්න’’  


අවසානයේ ඩඩ්ලි සේනානායක මහතා අපට පවසා සිටියේය. ආනන්දයේ ශිෂ්‍ය පිරිසට සතියකින් කැඳවීමක් ලැබිණ. ඒ වුඩ්ලන්ඩ් මන්දිරයෙනි. අප එහි ගියේ බෙහොම සතුටිනි. ජිනද‌ාස නියතපාල, මහාචාර්ය තිලක් රත්නකාර, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරු එහි සිටියහ.  


‘‘පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය ආරම්භ කරන්න අපේ අදහසක් නෑ. ඔයාලා ආරම්භ කරලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංගමය ඔහොම කරගෙන යන්න. පක්ෂයක් වශයෙන් ඕගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය ගැන ශිෂ්‍යයන් දැනුවත් කිරීම සඳහා මේ උදවිය අවශ්‍ය සහය හා මඟපෙන්වීම ලබා දේවි.’’  


පැමිණ සිටි හතර දෙනා අපට හඳුන්වා දෙනු ලැබිණ. පසු අවධියේ සමවාදී ශිෂ්‍ය පෙරමුණ බවට පත් වූ එ.ජා.පයේ ශිෂ්‍ය අංශයේ උපතට මුල පිරුණේ ඒ අයුරිනි. මෙරට දේශපාලනයේ ‘මහත්මා සලකුණ’ ලෙස හැඳින්විය හැකි ඩඩ්ලි සේනානායකයන් සමග සම්බන්ධවීමට මට අවකාශ සැලසුණේ මෙලෙසිනි. පොදු ජන ජීවිතය තුළ ඔහුගේ හැසිරීම, ශ්‍රී ලාංකීය දේශපාලනයේ ‘ප්‍රජාතන්ත්‍රවාදීයෙකුගේ පරමාදර්ශය’ ලෙස හැඳින්වීමට තරම් සුදුසු වෙන​්නේ යයි මම විශ්වාස කරන්නෙමි.  


50 දශකයේ හර්තාලයේ දී සිදු වූ එක් ජීවිත හානියක් හේතුවෙන් කම්පාවටත්, වේදනාවටත් පත් වූ ඩඩ්ලි අග්‍රාමාත්‍ය ධුරයට ‘ආයුබෝවන්’ කියමින් වුඩ්ලන්ඩ්ස් මන්දිරයට (තම පෞද්ගලික නිවසට) පා නැගුවේ, බලයේ එල්ලී සිටීමට තරම් තණ්හාවක් තමන්ට නොමැති බව රටට හෙළි කරමිනි. රාජ්‍ය නායකයා ලෙස තම රට වැසියන්ගේ ජීවිතවලට උත්තර බැඳීමට තමන්ට ඇති වගකීම මේ තුළින් ඔහු පෙන්නුම් කර සිටියේය.  


‘දේශපාලනයත් යුද්ධයක් මෙනි. සමහරවිට විෂ වායුවක් පාවිච්චි කරන්නට සිදුවෙයි’ වින්ස්ටන් චර්විල් වරක් පැවසූ මේ අන්තයට කිසිවිටෙකත් නොගිය දේශපාලනඥයෙකි, ඩඩ්ලි.  


කථාවට වඩා හැසිරීම තුළ ඔහුගේ බෞද්ධකම දැකිය හැකි විය. දේශපාලන වාසි ප්‍රයෝජන සඳහා ආගම, ජාතිය, කුලය හෝ පන්තිය වෙළෙඳ භාණ්ඩයක් කරගනිමින් වෛරය වැපිරීමේ හැසිරීමක ඔහු කිසිවිටෙකත් නියැළුණේ නැත. විවිධ ජනකොටස් වාසය කරන සමාජයක, ඒ සියලු ජන කොටස්වල ආදරය සහ විශ්වාසය හෘදයාංගමව දිනාගත් නායකයන් දැක ගැනීම දුර්ලභය. ඩඩ්ලි සේනානායකයන් සැබවින්ම එවන් දුර්ලභ නායකයෙකි. අපේ ජීවිත කාලය තුළ දුටු අමෙරිකාවේ ජෝන් කෙනඩි, කැනඩාවේ පියරේ ටෘඩෝ, ශ්‍රී ලංකාවේ ඩඩ්ලි සේනානායක ඒ ගණයට වැටෙන්නන් බව මගේ විශ්වාසයයි.  


1956 මැතිවරණය ආසන්නව තිබියදී, ජෝන් කොතලාවල මහතාගේ නායකත්වයෙන් වූ එක්සත් ජාතික පක්ෂය එද‌ා රැල්ලට අනුගත වෙමින් ‘සිංහල පමණක්’ ප්‍රතිපත්තිය වැලඳ ගැනීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ ජන පදනම උතුරේ නායයාම ආරම්භ විය. ෆෙඩරල් පක්ෂ නායක වෙල්වනායගම් මහතා පරදවා, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස උතුරේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි නඩේසන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ දමිළ නායකයන් එක්සත් ජාතික පක්ෂය ‘සිංහල පමණක්’ ප්‍රතිපත්තිය වැලඳ ගැනීමෙන් අනතුරුව, තමන්ට තවදුරටත් පක්ෂය තුළ සිටීම අපහසු බව කඳුළු පිරි දෙනෙතින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ප්‍රකාශ කරමින් එක්සත් ජාතික පක්ෂය හැරගියේ සිතකින් නොවන බව නඩේසන් මහතා කළ ප්‍රකාශය කියවන විට පැහැදිලි වෙයි. ප්‍රතිපත්තිමය ස්ථාවරයේ සිදු වූ මේ වෙනස හේතුවෙන් උතුරේ ජනතාව අතර සියලු ජන කොටස්වලට පොදු වූ ‘ජාතික පක්ෂයක්’ ලෙස මෙතෙක් එක්සත් ජාතික පක්ෂයට තිබූ ප්‍රතිරූපය බිඳ වැටෙන්නට පටන් ගැනිණ.  


පසු අවධියේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය යළි භාරගත් ඩඩ්ලි සේනානයකයන් ඉතිහාසයේ වැරදි නිවැරදි කරමින් චෙල්වනායගම් සහ තිරුචෙල්වම් වැනි නායකයන් සමඟ සබඳතා ගොඩ නගා ගනිමින් දමිළ ජනතාවට සාධාරණත්වය සලසන අණපනත් ගෙන ඒමට කටයුතු කළ නමුදු, අන්තවාදී බලවේගයන්හි ක්‍රියාකාරීත්වය ඉදිරියේ ඒවා සම්මත කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ජාතික එකමුතුව සඳහා ලද ඓතිහාසික අවස්ථාව මග හැරුණි.  


එක්සත් ජාතික පක්ෂයට සහ එවකට වූ ප්‍රධාන වාමාංශික පක්ෂවලට, මෙරට සියලු ජනවර්ගවලට පොදු වූ ජාතික පක්ෂයන් ලෙස කටයුතු කිරීමට ලැබූ අවස්ථාවන් මගහැර යාමට ඉඩදීම තුළ, වර්ගවාදී පක්ෂ බලවත්වීම සහ ඒ තුළින් රටට සිදු කළ හානිය අප ඉතිහාසය තුළ දකින අවාසනාවන්ත තත්ත්වයකි. මේ පිළිබඳව අප අදට ද පාඩම් උගත යුතුව ඇත.  


1966 දී දමිළ ජනතාවට සාධාරණත්වය සලසනු වස් සකස් කළ දිස්ත්‍රික්ක සභා සහ දමිළ බසින් එම ප්‍රදේශවල දී රජය හා ගනුදෙනු කිරීමට අවකාශ සලසන විධිවිධාන පිළිබඳ පනත සම්මත කර ගැනීමට ඩඩ්ලි සේනානායක රජය අපොහොසත් වීම හේතුවෙන් දමිළ නායකයෝ රජයෙන් ඉවත් වූහ.  


මේ වකවානුවේ පාර්ලිමේන්තු රැස්වීම් වාර්තාකරණයේ යෙදුණු ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදියෙකු මා සමඟ කී කාරණයක් මට සිහිපත් වෙයි. රජයෙන් ඉවත් වූ දමිළ නායකයන්ගෙන් කෙනෙකු වූ අමිර්තලිංගම් මහතා හමු වූ මේ මාධ්‍යවේදියා, දමිළ නායකයන් රජයෙන් ඉවත්වීම නිසා රජය බිඳ වැටීමට ඇති ඉඩකඩ ගැන ඔහුගෙන් විමසා ඇත.  


‘ඩඩ්ලි සිංහල දේශපාලනඥයන් අතර සිටින දුර්ලභ ගණයේ නායකයෙක්. අන්තවාදී බලවේගයන්හි ක්‍රියාකාරීත්වය හමුවේ දමිළ ජනතාවට සාධාරණත්වය ඉටු කර දෙන්නට ඔහුට නොහැකි වූවද, ඔහු වැනි පළල් මනසක් ඇති සිංහල දේශපාලනඥයන් රැක ගැනීම මේ රටේ අනාගතය වෙනුවෙන් අප කළ යුත්තක්, එම නිසා අප රජයෙන් ඉවත් වූවද ඩඩ්ලිගේ රජය බිඳ දැමීමකට අප ද‌ායක වෙන්නේ නැහැ’’  


එද‌ා ‘ඩඩ්ලිගේ බඩේ - මසල වඩේ’ ‘තලතෙල් ගඳයි - ඉන්නට බැහැ’ වැනි සටන් පාඨ කියමින්, අන්තවාදී ප්‍රකෝප කිරීම් තුළින් දිස්ත්‍රික් සංවර්ධන සභා පනත පරාජයට පත් කරන්නට නායකත්වය දුන් බලවේග, අද මේ ප්‍රශ්නයට විසඳුම් දිස්ත්‍රික්ක ඒකක ඇති කිරීම බව කියමින් එද‌ා ඩඩ්ලි සිටි ස්ථාවරයට අද පැමිණ සිටීම දෛවයේ සරදමක් ලෙස හැඳින්විය හැක.  


‘50 දශකයේදී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව ගෙන ආ අවස්ථාවේදී එක භාෂාවක් නම් රටවල් දෙකයි, භාෂා දෙකක් නම් එක රටයි’ ලෙස පවසමින් සිංහල රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධ වූ වමේ පක්ෂ 60 දශකයේදී ඊට ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක් ගනිමින් දමිළ ජනතාවට තම ප්‍රදේශවලදී දෙමළ බසින් රජය හා ගනුදෙනු කිරීමට අවකාශ සලසන පනතකට විරුද්ධව, දකුණේ ජනතාව ප්‍රකෝප කරවමින් වීදි බැස්සවීමට කටයුතු කරන අන්තවාදී ස්ථාවරයකට ඒමේ අවස්ථාවාදී දේශපාලනය අපට දැකිය හැකි විය.  


‘දේශපාලනඥයා ඊළඟ මැතිවරණය අරමුණු කර ගනී. රාජ්‍යතාන්ත්‍රිකයා ඊළඟ පරපුර අරමුණු කර ගනී ‘‘ඩඩ්ලි සේනානායක යනු ඉහත ප්‍රකාශය අර්ථවත් කළ නායකයෙකි. ඔහු සෑමවිටම ක්‍රියා කළේ ඊළඟ පරපුර අරමුණු කරගනිමිනි.  


ඩඩ්ලි සේනානායකයන් රාජ්‍ය මන්ත්‍රණ සභා සාමාජිකයෙකු ලෙස සිටියදී තම පියතුමන් ඉදිරිපත් කළ යෝජනාවන්ට විරුද්ධව අවස්ථා කිහිපයකදීම අදහස් ප්‍රකාශ කළ අයුරු රාජ්‍ය මන්ත්‍රණ සභා රැස්වීම් වාර්තා කියවන විට පෙනී යයි. පියතුමන් වෙත තිබූ ගෞරවය සහ තමන්ගේ හෘද සාක්ෂිය අතර ගැටුමකට මැදිව සිටි ඩඩ්ලි, වරෙක පියතුමන් අමතා යැවූ ලිපියක මෙසේ සඳහන් කරයි.  


‘ආදරණීය පියතුමනි’  


‘අපි දෙදෙනා එකම වහලක් යට ජීවත් වන්නෙමු. ඔබේ පුත්‍රයා ලෙසින් මේ අයුරින් කටයුතු කිරීමට සිදුවීම අපහසු තත්ත්වයකි. අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් ඔබ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන සමහර යෝජනාවන්ට මට එකඟවිය නොහැක. අවස්ථා බොහෝමයකදී ඔබට විරුද්ධවෙන්නට මට සිදුවිය. එවැන්නක් අද ද සිදුවිය. මේ තුළින් මම දැඩි මානසික පීඩනයකට පත්ව සිටිමි. එබැවින් රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළෙමි.  


තම ආදරණීය පුතුගේ ලිපියට ඩී.එස්. සේනානායකයන් මෙසේ පිළිතුරු ලියා තිබුණි.  


‘ඔබ මගේ පුත්‍රයා වුවද, ඕනෑම අවස්ථාවක මට විරුද්ධ වීමට ඔබට සම්පූර්ණ නිදහස ඇත. මම ඔබ හද‌ා වඩා ගත්තේත්, අධ්‍යාපනය ලබා දුන්නේත් ඔබ ස්වාධීන මිනිසෙකු වීම සඳහායි. හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන කෙනෙකු වීම සඳහායි. ඔබ රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ නිර්භීතව සහ නිවැරදිව ඔ​ෙබ් අදහස් දක්වන්නට ශක්තිය ලබා තිබීම ගැන මම ආඩම්බර වෙන්නෙමි. එය කිසිසේත් අපේ පිය පුතු සම්බන්ධතාවට හානි කරන්නක් නොවනු ඇත.  


මේ පිය පුතු දෙපළ අතර සිදුව ඇති අදහස් හුවමාරුව, අද යුගයේ දේශපාලනයට මෙන්ම තිබිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී හැසිරීම උදෙසා ද හොඳ ආදර්ශයකි.  


තම ආදරණීය පියතුමන්ගේ වියෝවීම හේතුවෙන් හිස් වූ අග්‍රාමාත්‍ය ධුරයට ඩඩ්ලි සේනානායකයන් තෝරාගත් අවස්ථාවේදී, ජනවරමකින් තොරව එම තනතුර දරා සිටීමට අකමැති වූ ඩඩ්ලි, ඒ සඳහා ජනතා කැමැත්ත විමසමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට මුහුණ දීමට තීරණය කළේ නියම ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙසිනි.  


1965 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට ඔහු සී.පී. ද සිල්වා මහතා වෙත ආරාධනා කර සිටියේය. 1964 දී වාමාංශික සභාග රජය පෙරළා දැමීමට මූලික වූ සී.පී. ද සිල්වා මහතා වෙත කළගුණ පාමින් ඩඩ්ලි කළ ඒ ආරාධනාව ඩඩ්ලි කෙබඳු නායකයෙකුද යන වග හොඳින් පෙන්නුම් කරයි. බලය පසු පස හඹා නොගිය ඩඩ්ලි වැනි ශ්‍රේෂ්ඨ නායකයන් දැකීම දුර්ලභය ‘‘ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඔබේ නායකත්වයයි’’ යනුවෙන් පවසා සී.පී ඩඩ්ලිගේ ඇරයුම භාර ගැනීම ප්‍රතික්ෂේප කර සිටියේය.  


1965 සිට 1970 දක්වා නියමිත කාලය සම්පූර්ණ කළ ඩඩ්ලි සේනානායකයන්ගේ පාලන යුගය, සෑම ප්‍රධාන ක්ෂේත්‍රයකින්ම රට ඉදිරියට ගෙන ගිය වාර්තා ගත කාර්ය සාධකයන් පෙන්නුම් කළේය. එම්.ඩී. බණ්ඩා අමාත්‍යතුමන් යටතේ කෘෂි ක්ෂේත්‍රයද, පිලිප් ගුණවර්ධනයන් යටතේ කර්මාන්ත ක්ෂේත්‍රයද, ඊරියගොල්ලයන් යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයද, යූ.බී. වන්නිනායකයන්ගේ මූල්‍ය කටයුතු අතින් දුන් නායකත්වය ද විමසන කල මේ තත්ත්වයන් හොඳින් අවබෝධ කරගත හැක.   


කිසිදු භේදයකින් තොරව ශ්‍රී ලාංකික සැම ඔහුට ආදරය කළේ ඩඩ්ලි තමන්ගේම කෙනෙකු බව විශ්වාස කරමිනි. එතුමන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනරන්ජන නායකයෙකු විය. අවංක නායකයෙකු විය. ශ්‍රී ලංකාව අභිමානවත් දේශයක් වීමට තවතවත් ඩඩ්ලි සේනානායකවරුන් මේ බිමේ පහළ වේවා!