සිප්පිකටු මතුවෙන ජල බුබුළු


මුහුදින් කිලෝමීටර් විසිපහක් දුරින්

 

 

  • සුනාමියදා උදේ ගොරගොර හඬින් කළු පැහැති වතුර මතුවුණා   

 

සදාහරිත කොළම කොළ පැහැයෙන් යුතු ගස්කොළං දෑස ඉදිරියේ යෝධයන් මෙන් සැඟවී සිටියි. යෝධ කඳු යායවල් සත්තකින්ම සිතට ගතට මනසටද ගෙන දෙන්නේ මිහිරියාවකි. වනාන්තරයේ සැඟව සිට කඳුකර වනාන්තර යෝධයන්ට හොරෙන් හමා එන සීතල සුළං රංචුගැසුණු කුරුල්ලන් සමඟ අසල වෙල්යාය සිප ගනිමින් ගමන් කරන්නට විය. සරසර ගා හඬ තතනන මේ පුදුම ජල බුබුලු සමූහය ලස්සන ලමිස්සියක මෙන් අප දෙස බලා උකුළු මුකුළු කරන්නට වූවාය. ඒ සුන්දරත්වය සපිරි මේ අකුරැස්ස තලහගම සුන්දරත්වයේ ජල තටාක සොයා ගිය ගමන සත්තකින්ම සුන්දරය. 


මෙය කෙතරම් දැඩි නියඟයක දී වුව ද නොසිඳෙන ජල උල්පතකි. 


ඈත අතීතයේ සිටම තලහගම විශාල ජල බුබුලක් පැවති අතර, එම ස්ථානය මිනිස් ජීවිත බිලි ගන්නා ස්ථානයක් යැයි ජනතාව අතර භීතියක් ඇතිවීම හේතුවෙන් එම ස්ථානය විශාල දැව කඳන් අලින් ලවා දමා පාගවන ලද අතර, ඉන් පසු එම ස්ථානයේ පැවති ජල බුබුළු ඒ අවට ස්ථාන කීපයකින් මතුව ඇතැයි අකුරැස්ස තලහගම පැරැන්නන් අදටද පවසන්නේ බිය සැක සිතගත තුළ කරකවමිනි. 


මීට වසර කිහිපයකට පෙර තලහගම ගමේ ගොවි සංවිධානය විසින් මෙම ජල බුබුළ කොන්ක්‍රීට් සිලින්ඩර යොදා ගනිමින් සංවර්ධනය කොට ඇත. කොතරම් දැඩි නියං තත්ත්වයක් හමුවේ වුව තලහගම සහ ඒ අවට ගම්මාන වන උග්ගස් හේන, කම්බි අඩිය, විල්පිට ආදී ගම්මාන රැසක ජනතාවට මෙම ජල උල්පත මහත් අස්වැසිල්ලක් වී ඇත. ගොඩ මඩ ගොවිතැනටද පිරිසිදු ජලය සහිතව ගලා හැලෙන ළිඳකින් දිය නාන්නට හැකි පරිසරයක් මෙහි දැකිය හැකිය. 


මුහුදට දුරින් කිලෝමීටර් 25ක් පමණ වුවත් සුළු ලවන රසයෙන් යුතු ජලය සහිත මෙම දිය බුබුළ මුහුදත් සමඟ සම්බන්ධව ඇතැයි අනුමාන කළ හැකි සාධක පවතී. එහෙත් එය සත්තකින්ම පානය කරන්නට තරම් ලවන ගතියෙන් වැඩි නොවේ. 


වන්නිආරච්චිගේ අමරසේන මහතා (86) 


මෙම ජල බුබුළු වලින් සිප්පි කටු අදට ද මතු වෙනවා. 2004 වර්ෂයේ දෙසැම්බර් 26 වැනි දින පැවැති සුනාමි ව්‍යවසනය අවස්ථාවේ මෙම ජල බුබුලෙන් කළු මඩ පැහැති ජලය නිකුත් වුණා. අපි බිය වුණා. මොනවාද මේ වෙන්නේ කියලා. 


පසුව උදේ 10,11 වෙන විට දැනගත්තා මහ මුහුද ගොඩ ගහලා කියලා. මහා විනාශයක් කියලා. කොහොම හරි මුහුද ගොඩ ගහන්න ඉස්සර මහා පුදුම වැඩක් වුණා. එදා හිමිදිරියේ සිට අපේ මේ ගමේ තැනින් තැන තියන දිය බුබුළු වලින් මහා ශබ්දයක් ඇහුනා. සමහරු ඒවා ගණන් ගත්තේ නෑ. සමහරු කීවා මොකක් හරි විල් වලින්, මේ දිය බුබුළු‍වලින් අමුත්තක් වෙනවා පරිස්සම් වෙන්න කියලා. එකවරම මහා ශබ්දයත් එක්ක කළුපාටට ජලය ගලන්නට පටන් ගත්තා. පොළව දෙදරුම්කාලා වාගේ තමයි මේවා සිදු වුණේ. සමහර වැඩිහිටියොත් බිය වුණා. දරුවෝ ඒ පැත්ත පළාතට යවන්න එපා කියලා සමහරු කීවා. 


මුහුදට දුරින් කිලෝමීටර් 25ක් පමණ වුවත් සුළු ලවන රසයෙන් යුතු ජලය සහිත මෙම දිය බුබුළු මුහුදත් සමඟ සම්බන්ධව ඇතැයි අනුමාන කළ හැකි සාධක පවතින බවද අපේ තාත්තලා සීයලා කියනවා අපට මතකයි. 
නියඟයක දී වුව ද නොසිඳෙන ජල උල්පත් රැසක් තියනවා. මේ වෙල් යායේ තැනින් නැත දිය බුබුළු මතු වෙනවා. තලහගම දිය බුබුළු කියලා කීවාම රජකාලයේ පවා ජනතාව දැනගෙන ඉඳලා තියනවා කියලා තමයි කියන්න හැකි. 


මාතර අකුරැස්සේ තමා මේ බුබුළු තියෙන්නේ. මේ බුබුළෙන් පැයකට වතුර ලිටර් 1000කට වඩා පිටවෙනවලු. සමහර දවසට මෙයින් මෙයිටත් වඩා මහා ජල කඳක් පිට වෙනවා. ඒ කාලයේ මේ ජල බුබුළු අසල බිලිගන්නවා කියලා කතාවක් තිබුණා. අද නම් එහෙම නෑ. ආරක්ෂාව ඇති ආකාරයට මේ ජල බුබුළු සකස් කර තිබෙන්නේ. කාටවත් හානියක් නෑ. කරදරයක් නෑ. 


ධර්මසිරි අතුරලිය මහතා (55) මෙසේ කීය. 


ඈත අතීතයේ රජකාලයේ සිටම මෙම ස්ථානයට නුදුරින් විශාල ජල බුබුළක් තිබිලා තියෙනවා. හැබැයි එම ස්ථානයේ මිනිස් ජීවිත බිලි ගන්නා ස්ථානයක් යැයි ජනතාව අතර භීතියක් ඇති වෙලා තියෙනවා. ඒ හේතුවෙන් එම ස්ථානයට විශාල දැව කඳන් අලින් ලවා දමා පාගවා එම ජල බුබුළු වහලා දාලා තියෙනවා. ඒ කාලයේ අපේ තාත්තලා සියලා කියනවා අපිට මතකයි මේ වෙල් යායේ අලි නාවන්න ලොකු අලි පොඩි අලි ගෙනත් තියනවා කියලා. සමහර දවසට අලි ගිලෙන තරමට මේ ඇළේ දොළේ මේ වෙල් යායේ වතුර තිබුණාය කියාලා ඒ ඇත්තෝ කියනවා අපිට මතකයි. 


පස්සෙන් පහුව මහා ලී කොට දමලා මේ දිය උල්පත් වහලා තියනවා. නමුත් එහෙම දිය උල්පත් යට කොරන්න බෑ. අදත් ගමේ මේ වෙල් යායේ දිය බුබුළු හත අටක්ම තියනවා. සමහර එව්වා සිලින්ඩර් දමලා සකස් කර තියනවා. දැනටද මේ වෙල් යායේ කුඩා කුඩා දිය බුබුළු රැසක්ම තියනවා. මේක මහ පුදුමයක් මේ මහා විශාල ජල කඳ එන්නේ කොහේ සිට ද කියලා දන්නේ නෑ. මහා පුදුමයක් කියාලා තමයි වැඩි හිටි ඇත්තෝ කියන්නේ. දැනටත් මිනිරන් කර්මාන්තය කරන්න හැකි ගමක් මේක. අතීතයේ දී පොළව යටට යන්නම මිනිරන් හාරන්න වළවල් හාරපු ඇත්තෝ මේ ගමේ ඉඳලා තියනවා. මේ ගුහා පොළව යට අදටද තියනවා කියාලා තමා අපේ මහ ඈයෝ කියන්නේ. 


ඩබ්ලිව්.ඒ. සුමිත් මහතා (39) මෙසේ කීය. 


දැන් වසර කිහිපයකට පෙර එම ජල බුබුල මතුවන තැන්වලට කොන්ක්‍රීට් සිලින්ඩර යොදා ගනිමින් සංවර්ධනය කරලා තියෙනවා. දැන් දැන් තරුණ පිරිස් මෙතනට එන්න හරි මනාපයි. රටේ ඕන අයකුට මේ ස්ථානයට එන්න හැකියි. තවමත් පිරිසිදු පරිසරය විනාශ වෙලා නෑ . සීතලම සීතල ජලයෙන් දිය නාන්න හැකි පුදුම ස්ථානයක් තමයි මේ. ​ෙමම ස්ථානය එක දිය බුබුළක් නොවෙයි දියබුබුල් රැසක්ම මේ ගමේ මේ වෙල් යායේ තියනවා. 
ජිනදාස ආරච්චි මහතා (70) මෙසේ කීය. 

 

 

මේ ගම රජු දීපු නින්දගමක් ලෙසයි සලකන්න හැකි. මේ ගමේ ඉංජිනේරුවන් ගේ නුවණට වඩා වැඩි දැනුමක් තිබුණු පිරිසක් ඉඳලා තියනවා. රජතුමාගේ උපදේශකවරු වශයෙන් මේ ගමේ අය කටයුතු කර තිබෙනවා. 
ඒ විතරක් නෙවෙයි. මේ ගමේ ඉංජිනේරුවරුන් විසින් තමයි මේ පළාතේම ඉදිකිරීම් ආදි සියල්ලම සිදුකර තිබෙන්නේ.  මේ ගම්මානයේ හා අවට මිනිරන් කර්මාන්තය, යපස් කර්මාන්තය සිදුකර තිබෙනවා. අදටත් මේ ගමේ මේ පළාතේ පොළවයට මිනිරන් තියනවා. මෙය පරීක්ෂණ කරලා ඒ ධනය ගොඩ දමා ගන්න කාටවත් උවමනාවක් නෑ. මේ ගමේ මිනිරන් කර්මාන්තය අදට ද තියනවා. ඒ විතරක් නොවෙයි කම්මල් කර්මාන්තය ද අදටත් මේ ගමේ තියනවා. එදා නම් අපේ වැඩිහිටියන්ගේ කාලයේ මේ ගමේ කම්මල් කර්මාන්තය මහා විශාලව තිබුණා. අද නම් එකයි දෙකයි කම්මල් තියෙන්නේ. රජවාසලට කඩු, දුණු, හෙල්ල ආදී අවි ආයුධ සකස්, කරලා දුන්නේ අපේ ගමේ අපේ පරම්පරාවේ නැදෑයෝ තමයි. රජතුමාට අවශ්‍ය අවි ආයුධ සකස් කර දීම නිසා රජතුමා නින්දගම් පවා අපේ ඇත්තන්ට දුන් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. 


සුන්දර වූ මේ ජල බුබුළු සමූහය අකුරැස්ස සිට කිලෝමීටර් 5ක් පමණ දුරින් තලහගම දී දැකගත හැකිය. 

 

 

සටහන හා ඡායාරූප හබරාදූව
 නිමල් අල්ගෙවත්ත