සිංහල සිනමාවේ පතිරාජ සලකුණ


ලාංකේය සිනමා සිතියමේ මහද්වීපයක් බඳු වූ මිනිසෙකු ඉපදී - සැදී වැඩී, උසස් අධ්‍යාපනය ලබා වෘත්තීය දිවිය ද නිර්මාණ දිවිය ද දේශපාලන දිවිය ද සපුරාලන ඒ කතා වස්තුව හුදු චරිතාපද‌ාන නිර්දේශානුකූලව රචනා කිරීම ඵල රහිතය. පුද්ගලයෙකුගේ නිර්මාණ ද දැක්ම ද භාවිතය ද එකී පුද්ගලයාගේ ජීවනයේම තාර්කික හා ව්‍යුහාත්මක ඵලයක් ලෙස ගැනීම වඩාත් යෝග්‍යය. පතිරාජගේ ළමාවිය සම්බන්ධ ගම්දොර කතා වැදගත් වෙන්නේම එබැවිනි.   


පේරාදෙණිය දුම්රිය ස්ථානයට නුදුරු කුඩා කඳු ගැටයක තිබූ කුඩා නිවසක් එකී පතිරූප මව්කුස සාදා තිබිණ. පතිරාජ නවරත්න වන්නිනායක මුදියන්සේලාගේ ජෝර්ජ් ප්‍රේමචන්ද්‍ර සහ දෝන ලීලාවතී ගුණසිංහ යුවළට 1943 මාර්තු 28 දා සිය පස්වන දරුවා ඉපදින. ඒ පිරිමි දරුවාට පෙළපත් ප‍්‍රකාරව පතිරාජ නවරත්න වන්නිනායක මුදියන්සේලාගේ රංජිත් ධර්මසේන හෙවත් ධර්මසේන පතිරාජ නාමය ලැබිණ.    


නිවස ආසන්නයේම තිබූ කෝවිල පැරණි රූපයෙන් නොවූව ද දැනුදු ඇත. මීට මාස කිහිපයකට ප්‍රථම පතිරාජයන් සමඟ අපි ඒ කොවිල් බිම සොයා ගියෙමු. ගොඩගංදෙණිය ගමට කන්ද නැගීමට ප්‍රථම කුඩා ටවුම ආසන්නයේ තිබුණේ සුප්‍රකට භාරතී පිරිවෙණය. එහි සන්ධ්‍යා පංතිවල සිංහල වියරණය ඉගැන්වූයේ දෙමළ භික්ෂුවකි. නිවස - පන්සල හා කෝවිල කුඩා පතිරාජගේ සංස්කෘතික ත්‍රිකෝණය හැඩ ගැසීය. පසු කලෙක ‘පොන්මණී’ කෘතියට ද ‘ජාතිය’ නම් රුදුරු පටලය බිඳ උතුරු මනුෂ්‍ය ධර්මතා මතුකර ගැනීමේ දේශපාලන අරගලයට ද මේ ව්‍යුහය තිරව අදාළ වෙන්නට ඇත.   


දුම්රිය නැවතුම ආසන්නයේ අද ද දැකිය හැකි පේරාදෙණිය ද්විභාෂා කනිටු විදුහල ඔහුට ප්‍රාථමික අධ්‍යාපනය තිළිණ කළේය. කන්ද උඩරට පාඨශාලා අතර ද මුදුන් මිණක් බඳු වූ ධර්මරාජ විදුහල ඔහුට ද්විතීක අධ්‍යාපනය ද‌ායාද කළ මහා තක්සලාවයි. ‘‘අපේ ගෙදර වගේ ම ධර්මරාජය කියන පාසලෙන් තිබූ තත්ත්වයන් ඉතාම නිසැක ලෙස මට බලපෑවා. කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය පිළිබඳව මට තක්සේරුවක් තිබුණා. සරසවියට පිවිසෙන විටත්, විජය වික්‍රමරත්න, ලාල් විජේනායක වැනි මිතුරන් මට සිහි වෙනවා’’ (පතිරාජ 2014.03.03)   


ධර්මරාජ කඳු මුදුන යනු වැව් දසුන (Lake View) නමින් හැඳින්වූ සුප්‍රකට දර්ශන තලයයි. ඩී.එච්. ලෝරන්ස්, රවීන්ද්‍රනාත් තාගෝර්, මහත්මා ගාන්ධි, කෘෂ්ණ මූර්ති සහ මුල්ක්රාජ් ආනන්ද් බඳු ශ්‍රේෂ්ඨයෝ වැව් දසුනට පෙම් බැඳියෝ වෙති. මේ අභිමානය පතිරාජ ආදී ආදි සිසුනට ද දැනෙන්නට ඇත. බිත්ති පුවත්පත සතියේ දින පහටම පිරී ඇත. දින හතරක ලිපි විවරණ සහිතව පතිරාජ සිකුරාද‌ා ‘පහර’ නම් බිත්ති ලිපිය ලිවීය. කවි, කෙටිකතා පතිරාජගේ ප්‍රාරම්භක කලා මාධ්‍ය විණ. කෙටිකතාව නම් කලා විදිය වැව්දසුනේ ලේඛකයෝ තැනූහ. (කාලිංග කපිල කුමාර සහ තවත් අය 2016) දම්රද සිරිත අනුව ලද කෙටිකතා සිරිත ඔහු දැනුදු අතහැර නැත.     
ධර්මරාජ ශිඛරය බැස හන්තාන මිටියාවතෙහි සිව්සල් තක්ෂිලාව වෙත උසස් අධ්‍යාපනය පිණිස පිය නැගි ඒ 60 දශකය සිරිලක බොහෝ දෑ අලුත් කළ මංසලකි. 1963-1967 ඒ සරසවි සිව් වසර යනු ධර්මසේන පතිරාජ නැවත ඉපිද වූ විස්මිතම අඩවියයි. ‘‘අපි ඉතා ආශාවෙන් හැමදේම කළා. අපි සිනමා සංගම් පටන් ගත්තා සරසවියේ. බර්ටි ජයසේකර මුලටම හිටියා. අපි දෙන්නම සිංහල ගෞරව උපාධිය කළේ. බර්ටි ගුණසේකර දෙවැනි වසරට පැමිණ ඉතිහාසය තෝරා ගත්තා. මයිකල් ප්‍රනාන්දු කළේත් සිංහල. අශෝක කොළඹගේ දර්ශනය තෝරා ගත්තා. සිංහල විෂය හැදෑරු අයිවන් වීරක්කොඩි සිනමා සංගම් පණ ගන්වන්න තීව්‍රව කටයුතු කළා. දයා තෙන්නකෝන් පසුව පැමිණි අතර පද්මල් ද සිල්වා ජ්‍යෙෂ්ඨයෙකු ව සිටියා’’ (පතිරාජ 2014.03.03)        


පේරාදෙණි සරසවියේ පතිරාජගේ නවාතැන වූයේ සුප්‍රකට මාකස් ප්‍රනාන්දු ශාලාවේ අංක 90 කාමරයයි. කීර්තිමත් ආදි සිසු මාර්ක් ඇන්ටනී ප්‍රනාන්දුට පසු සිංහල නාට්‍ය සංගමයේ සභාපති තනතුර ද දැරූ පතිරාජ චිත්‍රපටය වෙත ක්‍රමිකව සමීප විය. ඒ අසීමිත චිත්‍රපට බැලීම හරහාය. රු 2.31 ක බස් ගාස්තුව පතිරාජ හා කොළඹ යා කිරීමට බාධාවක් නොවීය. දුම්රිය ගමන ද අනවරතව සිදුවිණ. කේ.වී.ජී. පොත් සාප්පුවේ වෙළෙඳ සේවකයෙකු වූ සුගතපාල ද සිල්වා සමඟ ප්‍රථම වරට ‘පාතර් පංචලී’ චිත්‍රපටය නැරඹූ අයුරු පතිරාජට අද ද අමතක නැත. අගනුවර මිත්‍ර සංසදය තුළ නුවණ හා ආශාව දල්වන සංවාද මුළු දුණි. තිල​ක් ජයරත්න, සරත් කැල්ලපත, පියසේන අහංගම, බන්දුල විතානගේ, රංජිත් ප්‍රනාන්දු ආදී රසවත් මිතුරෝ රස මනස වැඩූහ. සිරිල් බී. පෙරේරා, බණ්ඩාර කේ. විජයතුංග, ලෙස්ලි බොතේජු, ටෝනි, රැලෙක්ස්, හත්තොටුවේගම, සෙල්ලදොරේ ආදීහු හුදෙක් මිතුරෝම නොවූහ. සරසවි දිවිය පිළිබඳ කතා කෙටුම්පත රැගෙන 1967 පේරාදෙණිය ආ සුගතපාල සෙනරත් යාපා මගින් පතිරාජගේ ප්‍රායෝගික කලා දිවිය ඇරඹිණ. ඒ ගමනට අද වසර 50 කි.   


සරසවියෙන් පිට වූ පතිරාජ මානව විද්‍යා පර්යේෂණ සහායකයෙකු ලෙස ශාස්ත්‍රීය දිවියට ද කඩිනමින් මුල පිරීය. මහාචාර්ය ගණනාත් ඔබේසේකරගේ ද මඟපෙන්වීම මත බ්‍රිටිෂ් කොළොම්බියා සරසවියෙන් පැමිණි ආචාර්ය රෝබට් මැක්ඩුගල් සමඟ මීමුරේට ගොස් මානව විද්‍යා අධ්‍යයනය ඇරඹීය. මීමුරේ අත්දැකීම් ඔහුට විශේෂ ශික්ෂණයක් තිළිණ කළ අතර පරිපාලන සේවය, විදේශ සේවය ආදී එකල ජනප්‍රිය කඩඉම් ද උරගා බැලීමට ඔය කලබල අතරේම ඉදිරිපත් විණ. එහෙත් අලුයම නැගිට හුළු එළියෙන් ගැමියෙකු සමඟ බස් පාරට පැමිණ මීමුරේ සිට කොළඹට එනවිට පතිරාජගේ විදේශ සේවා සම්මුඛ පරීක්ෂණය අවසන් වී තිබීම අපට නම් ගෙන දෙන්නේ අස්වැසිල්ලකි.   


1969 තිරගත වූ හන්තානේ කතාවේ සම තිර රචනයෙන් සිනමා විෂයට නිර්මාණකරුවෙකු සේ පිළිපන් පතිරාජ 1969 දී ම සිය ප්‍රථම කෙටි චිත්‍රපටය වූ ‘සතුරෝ’ නිර්මාණය කර ඇත. එය වම් ඉවුර මත තැබූ සමාරම්භක පියසටහන විණි. බිල්බාවෝ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලෙහි හොඳම චිත්‍රපට 10 අතරට පැමිණීමට සතුරෝ සමත් විය. රැකියා විරහිත තාරුණ්‍ය චිත්‍රපටියේ පුවත වූ අතර එය පතිරාජලාගේ සත්‍ය දිවියම වීම අප සැලකිය යුත්තේ සරලව නොවේ. ආචාර්ය පතිරාජගේ සිනමාව ගැන විචාරය කරන බහුතර පිරිස ඔහු පිළිබඳව නිරතුරු යොදනු දෙවදනකි. එනම් විකල්ප රීතිය සහ වම්ඉවුර යන්නයි. සත්‍ය ලෙසම මේ අනන්‍යතාව 1969 සතුරෝ සමඟම ඡන්මය ලද දශක 5ක් පැමිණි අවිච්ඡින්න දර්ශනයයි.    


1968 පේරාදෙණි සරසවියෙන් ශාස්ත්‍රවේදී ප්‍රථම උපාධිය ලැබ ආචාර්ය පතිරාජ විද්‍යාලංකාර සරසවියෙන් සිය වෘත්තීය දිවිය අරඹයි. එය සහකාර කථිකාචාර්ය ධුරයකි. ඔහුගේ වේදිකා නාට්‍ය දිවිය ද මේ සමඟම කරළියට එන අතර සුගතපාල ද සිල්වාගේ ‘හිත හොඳ අම්මණ්ඩි’ හි වේදිකා පරිපාලක ලෙස එය සමාරම්භ වේ. 1970 දී ධම්ම ජාගොඩ නිපදවූ ‘කොරා සහ අන්ධයා’ හි පිටපත ද රචනා කළ ඔහු 1971 ඉයුජින් අයනෙස්කෝගේ The Chairs නාට්‍ය ‘පුටු’ නමින් ලියා නිෂ්පාදනය කරලීය. 1972 ‘අඳුරෙන් එළියට’ සහ 1974 ‘වෙරළ’ නම් වූ කෙටි වාර්තා චිත්‍රපට දෙක ද බිහි වනු දැකිය හැකිය.   


ලාංකේය සිනමාවේ ද්විතීය සුසමාදර්ශය 

 
‘සුසමාදර්ශය’ (Paradigm) නම් සංකල්පය සාමාන්‍ය විද්‍යාවේ සිදුවෙන බුද්ධිමය පෙරළි අර්ථකථනය කිරීමට භාවිත කරන වචනයකි. පවත්නා ලෝකය තුළ ඇති සමකාලීන ප්‍රඥ‌ාව ඉක්මවා සිදුවෙන බුද්ධි විෂයිත අනාවරණ නොසලකන පැරණි දර්ශක මත අලුත් ලෝකය අර්ථ ගන්වන විට අඩවි දෙක අතර ප්‍රඥ‌ාවේ පරතරයක් හට ගනියි. පැරණි සුසමාදර්ශය විතැන්වී ඇති සෙයකි. මේ සුසමාදර්ශය පිළිබඳ අති සරල අදහසක් එන අතර විද්‍යාව අාශ්‍රයෙන් මේ සංකල්පගත කිරීම තෝමස් සැමුවෙල් කුන් විසින් සිදු කරනු ලැබ ඇත. (Kuhn 1970) සිනමා දේහයක් වරින්වර නිර්මාණකරුවන් විසින් විප්ලවීය ලෙස පරිවර්තනය කරනු ලැබීම නැවත වටහා ගැනීමට මෙහිදී සුසමාදර්ශ සංකල්පය භාවිතා කළ හැකිය. ලාංකේය සිනමාවේ යුග තුනක කැරලිකරුවන් ත්‍රිත්වයක් මඟින් තද් සිනමාවේ මූලික ප්‍රවාදය, කේන්ද්‍රීය සංකථනය පරිවර්තනය කර ඇති අයුරු තීව්‍රව විමසූ පර්යේෂණ ද ඇත. (සෙනෙවි 2015) එහි දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු නිසැක ප්‍රථම සුසමාදර්ශයයි. 1956 සිට 1970 දශකය තෙක් එහි ආධිපත්‍යය පැතිරිණ. 1974 ‘අහස් ගව්ව’ මඟින් ආචාර්ය පතිරාජ විසින් ලෙස්ටෝරියානු සුසමාදර්ශය වෙනස් කරමින් ලාංකේය සිනමාවේ දෙවැනි කැරැල්ල ගසනු පෙනෙයි. 2000 දශකය උද‌ාවත්ම ‘පුරහඳ කළුවර’ සහ ‘මේ මගේ සඳයි’ නම් චිත්‍රපට මඟින් ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගම විසින් තෙවැනි සුසමාදර්ශය සලකුණු කරනු ලබයි. ඒ තුන්වැනි කැරැල්ලයි.   


1982 සුචරිත ගම්ලත් කේවල පුද්ගලයෙකු ලෙස පතිරාජගේ සිනමාවේ පරිවර්තනීය චලනය න්‍යායගත කිරීම අරඹා තිබිණ. An incomplete Sentence (2009) බඳු ඉංග්‍රීසි බසින් රචිත ග්‍රන්ථ හෝ ලිපි අතළොස්සක් මඟින් ද මේ අරගලකාරී සිනමාව කියවා ඇත. Gerald Weales බඳු විදේශීය විචාරකයෝ ‘බඹරු ඇවිත්’ යනු තමා දුටු හොඳම චිත්‍රපටය බව නොවක්ව කීහ.   


සියල්ල ඇරඹුණේ ‘අහස් ගව්ව’ (1974) සමගිනි. හිස් පසුම්බිය, උණුසුම් මිත්‍රත්වය හා පිරුණු හෘද සාක්ෂ්‍ිය, අපේක්ෂා භරිත හෙට දවස එම චිත්‍රපටයේ අමුද්‍රව්‍ය වී තිබිණ.   


‘‘උඹට මේකට කර ගහන්න පුළුවන්ද? කලංසූරිය මිත්‍රරත්නගෙන් ඇහුවා. පියල් හිටියේ විද්‍යොදයේ, අයියා කැමතියි කියලා පතීට කියන්න කීවා, ඩොනල්ඩ් කේමෙ මුණ ගැසුණා. තෙන්නෙ, සරච්චන්ද්‍ර, විජේ, සිරිල්, බෝ හා සෝමේ යාළුවො කවුරුත් එකතු කර ගත්තා. හොඳ වැඩක් දෙන්න පියසේන මූලික වුණා. හැම දෙයක්ම සොයලා බලලා වැඩේ වෙන විදියට ලැහැස්ති කළා. අහස් ගව්ව හැදුණා.’’ (සමරු කලාපය 1974)   
මෙතැන සිට නිර්මාණය වූ වෘත්තාන්ත චිත්‍රපට, වාර්තා චිත්‍රපට, ටෙලිනාට්‍ය, සියල්ල පතිරාජ මුද්‍රාව සහිතව නිර්මාණය විය. නැවත ද සඳහන් කළ යුත්තේ එම නිර්මාණ මෙමගින් විවරණය නොකරන බවයි. 1975 වෙනවිට පතිරාජ යාපනය සරසවියේ කථිකාචාර්ය ධුරයක් සඳහා සම්බන්ධ වූ අතර එම අත්දැකීම හා නව ලෝකයක ආශ්‍රය එම සිනමාව ප්‍රබල කිරීමට ද හේතු විය. තමා කිසිවිටෙක පූර්ණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු පමණක් නොවනු අතර ශාස්ත්‍රීය ජීවිතය හා චිත්‍රපටය ගළපා ගන්නෙකු ද බව හෙතෙම Cinema Papers (1978) සඟරාවට කියා සිටියේය. (Burton 1978) යාපනය සරසවිය, කොළඹ සරසවිය, රුහුණු සරසවිය යන ශාස්ත්‍රාලයන් ඔහුගේ මෙහෙය ලද විදු පියස් විණ. 1990 වසරේ පේරාදෙණි සරසවියට ඉදිරිපත් කළ ‘සිංහල නාට්‍යයේ ආකෘතිය හා අන්තර්ගතය අතර අරගලය’ නම් පර්යේෂණ නිබන්ධයට ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය ලද පතිරාජ එහි දී ඈෂ්ලි හල්පෙ, සරච්චන්ද්‍ර විදුමසූරිය හා ආරිය රාජකරුණා යන මහැදුරු මඬුල්ලේ ගුරුපදේශ ලැබීය.   


එසේම මහාචාර්ය ඩේවිඩ් හැනන්ගේ පර්යේෂණ උපදේශකත්වය යටතේ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියට 1999 පිළිගන්වන ලද විශිෂ්ට නිබන්දය උදෙසා හෙතෙම දර්ශනසූරි පශ්චාත් උපාධියෙන් පිදුම් ලැබිණ. තද් නිබන්ධයේ තේමාව වූයේ "Dialectic of Region and Nation in the Films of the Bengali Independence: Gathak, Ray and Sen'' යන්නයි.   


මහාචාර්ය සුචරිත ගම්ලත් සහ සුනිල් ආරියරත්න සමඟ යාපනයට ගිය පතිරාජ අපූර්ව සම්බන්ධතා ලැබීය. ඔහුගේ සිංහල පංතියේ සිටි ශිෂ්‍යයන් අතර කිවිවර ජෙයපාලන් හා වර්දරාජා පෙරුමාල් පතිරාජට සිහි වේ. සමස්ත විශ්වවිද්‍යාලය ම ශාස්ත්‍ර උද්යෝගය දල්වා තිබිණ. මහාචාර්ය කෛලාසපතිගේ නායකත්වය, ඒ.ජේ. කනගරත්න, ටෝනි රාජරත්නම්, සිවතම්බි වැනි ප්‍රාඥයෝ ඇදුරු මඬුල්ල දිදුල වූහ. යාපන සරසවි දිවිය අතරතුර තැනූ ‘එයා දැන් ලොකු ළමයෙක්’ (1977) මොස්කව්හි නිනෝ සුචෙල්ලි උළෙලේ සෝවියට් සාම ත්‍යාගය ද දිනාගති.   


එකී යාපන සරසවි නව දිවිය සිංහල චිත්‍රපට වංශයට මිණිරුවන් දෙකක් ද‌ායාද කළේය. එනම් ‘පොන්මණී’ (1977) සහ ‘බඹරු ඇවිත්’ (1978) ය. චිත්‍රපට සෑදීමට පතිරාජ ඉල්ලූ නිවාඩු අනුමත කළ අපූරු උපකුලපති කෛලාසපති මෙසේ කියා තිබිණ. ''You go and do the film and bring the Fame to the University'' උදුම්බරාගේ රන්වන් වැලිතලයට මත් බඹරුන් ආවේ ඉන් පසුය.   


කාවලුන් රාජදොරේගේ යෝජනාව පරිදි ‘පොන්මණී’  රන්මැණික තැණිනි. යාපන සරසවියට ද සිනමා සංගම් ව්‍යාපාරය පායා ඇවිත් තිබිණ. අමූර් ගෝපාල ක්‍රිෂ්ණන්ගේ පළමු චිත්‍රපටය සිය ප්‍රථම ජාත්‍යන්තර දැක්ම පතිරාජගේ සංවිධානයෙන් යාපන සරසවි බිම දිග හැරිණ.   


ඊළඟ තිරනාටකය අජිත් තිලසේනගේය. ඒ ‘පාර දිගේ’ (1980) ය. 1981 දී උපන්නේ මෙලක තැනූ අග්‍රගණ්‍ය දේශපාලන සිනමාව බව කී ‘සොල්ද‌ාදු උන්නැහේ’ය. විජය, මාලනී, කලං, තෙන්නෙ, ජයසිරි ආදී තමාටම උපන් රූපණවේදීන් සමඟ පතිරාජ ලක් සිනමාව සිය වර්ණයෙන් චලනයෙන් හා නව සුසමාදර්ශයක් සේ අරුත් ගන්වමින් සිටිය දී ධර්මසිරි බණ්ඩාරනායක සහ වසන්ත ඔබේසේකර නම් උපසුසමාදර්ශ තම තමාගේ අඩි පාරවල් සොයා ගනිමින් සිටි බව ද 80 දශකයේ දිගු පුළුල තුළම මතු විය. කේමදාස වැනි සංගීතඥයන් හා ඩොනල්ඩ් කරුණාරත්න බඳු ඡායාරූප ඉසිවරුන් පතිරාජගේ ඇතුළු හදවත රිදී තීරය මත වේදයක් බවට පත්කර තිබිණ.   
‘මතුයම් දවස’ (2001) යනු ‘අහස් ගව්ව’ මතුකළ කතාවේ අවසන් පියවර බව ඇතැම් විචාරකයෝ කීහ. 2014 දී තැනූ ‘සක්කාරං’ සහ 2017 දී තවමත් තිරගත නොවූ ‘ස්වරූප’ වූ කලී නවකතා මඟින් තැනූ චිත්‍රපට විය. ගීතා කුමාරසිංහ නිෂ්පාදනය කළ ‘සිර කඳවුර’ මෙන්ම ‘ෂෙල්ටන් සහ කාන්ති’ යන චිත්‍රපට ද්විත්වය 1983 ජාතිවාදී ගිනි දැල්වලට බිලි විණ. 1994 ගීතා කුමාරසිංහම නිපදවන ලද ‘වාසුළි’ ද පතිරාජගේ නොනිමි වැකියේ ගොළු වූ වදන් බඳුය.   


1985 ‘ගඟුලෙන් එගොඩට’ නමින් රූපවාහිනී මාලා නාටකයක් මඟින් පතිරාජගේ පුංචි තිර අඩවියට මුල පිරෙයි. මායා මන්දිර (1986), ඇල්ල ළඟ වලව්ව (1988), වන්නිහාමිලාගේ කතාව (1989), සුදු බණ්ඩෙලාගේ කතාව (1989), පුරසක්මන (1989), කඩුල්ල (1992), සුබ අනාගතයක් (1993), නාඳුනන පුත්තු (1994), දුර්ගාන්තය (1996) සහ කම්පිත විල් (2008) යනු ඒ දිගු ටෙලිසැරියයි. 2006 දී තැනූ Insearch of a Road යනු වාර්තා චිත්‍රපටයකි. 2006 දීම කළ පතිරාජගේ උතුරුකරයේ මනුදම් සොයා කළ යාත්‍රාව බොහෝ මානුෂික යුද්ධවල සත්‍ය ඇස පෑදීමක් බඳු විය.   


ආචාර්ය ධර්මසේන පතිරාජගේ සිනමා ලෝකය එතෙර - මෙතෙර මහතිර මත ප්‍රත්‍යාවලෝකන බුහුමන් ලද අවස්ථා ද කිහිපයකි. ඔක්ටෝවියෝ ගෙටීනා, මිගුඑල් හෝ ගොඩාර්ඩ් බඳු විශ්ව සිනමා ප්‍රඥා මූලාශ්‍රයන් ඔබේ විකල්ප රීතියට බලපා ඇති බව ඇතැමෙක් ලියූහ. විකල්ප සිනමාවේ යථාර්ථවත් හැඳුනුම්පත පතිරාජ ම බව බොහෝ බුහුමන්වල ලියා තිබිණ. ලාංකේය සිනමාවේ යුගකාරක වෙනසක් කළ සුසමාදර්ශීය මිනිසෙකු (Paradigmatic Man) ලෙස ආචාර්ය පතිරාජ අපගේ සංජානන සිතියමේ ලියවී ඇත. ඔහු හුදෙක් තනි මිනිසෙකු නොව මිනිස් සමූහයකි. සම්ප්‍රද‌ායකි.   


මාලනී පතිරාජ නම් භාර්යාව පිළිබඳව සහ ඉංජිනේරුවෙකු - ගෘහනිර්මාණ ආචාර්යවරයෙකු වූ දෙපුතුන් පිළිබඳව අප ලියා ඇත්තේ කුඩා වැකියකි. එහෙත් එම ගේහසිත දිවිය ඇතැම් විට පතිරාජගේ ගැඹුරු බාහිර දිවියේ නිහඬ ගාමක බලය ද විය හැකිය. මහා පුරුෂයෙකු තනා රටට දුන් ඔවුන් ද එක සේ බුහුමනට නිසිය.   


ආචාර්ය ධර්මසේන පතිරාජ දැරූ නිල තල හෝ හෙබවූ තනතුරු රැසකි. ඔහුගේ ප්‍රඥාව ලද ජූරි බහුලය. විටෙක සූර ග්‍රන්ථ පරිවර්තකයෙකු වූ ඔහුගේ පෙදරෝ පරාමෝ රාජ්‍ය සම්මාන ද ලැබීය. ඒ අනුව පතිරාජ යනු බහුවිධ ප්‍රතිභාවට කියන තවත් නමකි. ඔහුගේ ස්වරූප සිනමා කෘතිය තිරගත වෙනතුරු සිටින ප්‍රේක්ෂකාගාරය තවමත් ඉවකර සිටිනුයේ ඒ ප්‍රබල නොනැමුණු හඬය. අප කලඹන රූපය. ඔබ ලියූ ‘හෙමින් සැරේ පියා විද‌ා’ බඳු ගීත තුළ තිබූ අපූර්වත්වය හා විකල්ප රසය ඔබ කෙතරම් අයම - විතර සහිත පරිකල්පනීය මනුෂ්‍යයෙකු විය යුතු දැයි කියා සිටියි.   


ආචාර්ය ධර්මසේන පතිරාජ නම් වූ බලගතු ප්‍රකාශකයා සිය ආත්ම විද‌ාරණය පරිපූර්ණ ලෙස ප්‍රඥ‌ා තරංග රැසක් ඔස්සේ මුද‌ාහැර ඇත. එද‌ා කුඩා ගමක ඉපිද - අධ්‍යාපන - උසස් අධ්‍යාපනය - පර්යේෂණය - ශාස්ත්‍රීය හැදෑරීම - ලෝක ඥ‌ානය - මිනිස් උණුසුම හා නිර්ව්‍යාජත්වය සපිරි සමිශ්‍රිත ව්‍යක්ත සිනමා සම්ප්‍රද‌ානයක් වූ පතිරාජ නම් වූ මිනිස් සමූහය තවත් බොහෝ කලක් දිදුලනු ඇත. සිය දිවිමගෙහි 74 වැනි පරිණත පියගැටයේ සිට ඔහු නිසැක ලෙස නැවත ද මෙසේ කියනු ඇත.   


“අපේ හිතවත් පේමක්කා අල්ලන් ගියා. විලී මහත්තයත් ඇල්ලුව ද දන්නේ නෑ. අපට ජීවත් වෙන්න අයිතියක් නැද්ද? මේ මොන නීතියක්ද? ඇයි තමුන්නාන්සේලා හිස පූස්සන්නේ”   


‘ශ්‍රී ලාංකේය සිනමාවේ දෙවැනි සුසමාදර්ශයන් - ආචාර්ය ධර්මසේන පතිරාජ’ මැයෙන් සරසවි ප්‍රකාශන අනුග්‍රහයෙන් පළවූ පුස්තකයකයෙන් උපුටා ගන්නා ලදී.

 

 

 

 

 

ආචාර්ය 
හිනිඳුම සුනිල් සෙනෙවි