සිංහරාජය ආශ්‍රිත ගහකොළේ සහ වන ජීවීන්ගේ අපූරු හැසිරීම්


වන පෙතක අසිරිය

 

ජීවිතයට සම්පත වන්නේ මිනිසා සැම විටම බලාපොරොත්තු වන පරිදි සනීපදායක, රසවෑහෙන ලස්සන දේ යැයි පොදු ජනතාව තුළ දීර්ඝ කාලයක් තිස්සේ පැලපදියම් වූ විශ්වාසයකි. අද එය රිලේ (RELAY) පොල්ලක් මෙන් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ධර්මතාවක් වී තිබේ. 


එහෙත්, අසනීප, නීරස, අවලස්සන දේ යැයි සලකා ඈත් කරන ලද බොහෝ දේවල් ද, ලස්සනක් ඇත්තේම නැත්දැයි අප විමසා බැලීම නොවටී ද? 
පුහුදුන් අව්‍යක්ත මිනිසා විසින් එසේ සිතා ඉතා ලෙහෙසියෙන්ම ජන මතකයෙන් ඈත් කළ බොහෝ දේවල් තුළ සැඟවුණු සුන්දරත්වයක් ඇත්තේය. කැලෑවකට රිංගා ගොස් මහ මූකළානේ අතරමං වූ දවසක, සීතල සඳපානේ දිලිසෙන නොයෙකුත් විෂ කටු වර්ග ද, ඒවා රැගත් පත්‍ර වර්ගවලද ඇති අසාමාන්‍ය රටා සමූහය, දර්ශන මාදිලිය ඔබේ සිත තවත් අපූරු ලෝකයකට කැඳවා යනු නොඅනුමානය. මෙවන් බොහෝ නුහුරු නුපුරුදු රිදෙන කටුවලින් වියළි කලාපීය වනාන්තරය තැනින් තැන ගැවසී තිබේ. 


 කටුගස් බොහෝ විට කැලෑවේ අනෙකුත් ගස් වැල්වලට වඩා පවිත්‍රව, නිරෝගීව පවතී. මීට එක් හේතුවකි, කැත ගෑනිගේ පතිවත මෙන් ගස පුරා කටු ඇති බැවින් ඒ ගස්වලට සතුන් කිට්ටු නො වීම. තවත් එක් හේතුවක් වී ඇත්තේ සම්භවය අතින් සලකන විට කටුගස් ඕනෑම කටුක පරිසරීය බාධකයකට ඔරොත්තු දීමය. ඒ කුමක් වුවත්, වනබද ජීවිත ගත කරන අසරණ වූ ජනතාවට හදිසියකට පිහිටවීමට ද කටු වර්ගවලට හැකියාවක් ඇත. ඊට හේතුව, බොහෝ කටු වර්ග වෙද හෙදකම් සඳහා ද යොදා ගැනෙන බැවිනි. 


 මේ සඳහා මූලික වශයෙන් සැලකිය හැක්කේ කුඩු මිරිස්ස ය. මේ ගසේ නාරටි, ඇඟිල්ලක තරමට පිහිටන අතර, කොළය හැඩයෙන් ගොරක කොළයකට සමාන වේ. කුඩුමිරිස්ස කටු ගසේ කොළ ද, පොතු ද, මුල් ද, නැටි ද යන සියල්ල කැඩුම් බිඳුම් වෙකදම සඳහා යොදා ගැනේ බෙහෙතකට ගන්නා මෙහි වැල කුඩා වුවත් දිගය. කොළය වැටහිර කොළයට සමානය. 


 සිංහරාජයේ නම් සිංහ ලෙන ආරණ්‍ය සේනාසනය ඉදිරිපිට ඇති පොකුණක් අද්දර, තුඩරෑන නමැති වේවැල් විශේෂයක් දක්නට ලැබේ. බැලූ බැල්මට මෙය කෙනෙකුට වැටහී යන්නේ එය පොල් ගසක් තරම් ඉහළට වැඩී ගිය විශාල වෘක්ෂයක් අන්දමිනි. නමුත්, එය සිංහරාජයට පමණක් දැනට සීමා වී ඇති තුඩරෑන වර්ගය යි. කොළ, අරළු ගසක ආධාරයෙන් ඉහළට ගොස් තිබුණේය. (කොළ අරළු, කොළ නැති දවස්වලදී, ගෙඩි හැදේ) කොළ ඇති කාලවලදී ගෙඩිය හැදනේනේ කොළයේ බැවින් කරකටක සිංගි යැයි ද කියනු ලැබේ. සිංහරාජ වැසියන් ඒවා හඳුන්වන්නේ හත්පළඳ වශයෙනි. 


 බණ්ඩක්කා මලට බොහෝ සෙයින් පෙනුමෙන් සමාන මලක් වන කටු වැලකි, නාපිරිත්ත. එම මලේ පිට කලාපය දීප්තිමත් කහ පැහැයකින් ද මධ්‍ය ප්‍රදේශය තද දුඹුරු පැහැයකින් ද යුක්ත වේ. කොළ ඇඹුල් රසයකින් යුක්ත වුවත්, වන්නි පළාත්වල වැසියන් නාපිරිත්ත දළු ආහාරයට ගනු ලැබේ. දණ්ඩ ඉතා සෙවල සහිතය. කටුව විෂය. දලු පොල්කිරෙන් තම්බා ගෙඩිවලට ගෑමෙන් ඒවා පැසවන බව ගැමි දරුවන් පවා ප්‍රත්‍යක්ෂ වශයෙන් දනී. විෂ වෙදකමේ යෙදෙන වෙදුන් අතර නාපිරිත්ත ගැන නොදන්නා කෙනෙක් ඇත්තේම නැත. ඒ තරමට නයිවිෂ සඳහා නාපිරිත්ත අත්දුටු දිව ඔසුවකි. 


 ඇතැම් තැනිතලා භූමිවල දැඩි හිරු එළියෙන් අඩුපාඩුවක් නැති කැකිල්ල ලියදිවල වැරණීය ගස් ද තරගෙට වැවෙයි. මේවායේ බොහෝ විට දිමි කූඩු ද දක්නට ලැබේ. දිමියන් සිටින ගස්වල කිසි ඵලදාවක් නැතැයි ගැමියෝ විශ්වාස කරති. දිමියා උට්ඨාන වීර්යය අතින් ඉහළ ලකුණු දිය යුතු පුංචි සතෙකි. ඌට යම්කෙනෙකු රිදවුවහොත් උගේ ග්‍රහණයෙන් මිදෙන්නට ලැබෙන්නේ ඌම තම තීරණය වෙනස් කළ හොත් පමණි. උගේ ආමාශ කෝෂයේ අඩංගු ඇස්කෝබික් අම්ලය පිටතට ශ්‍රාවය කිරීමෙන් දැවිල්ලක් ද ඇති කරන්නට ඌට යාන්ත්‍රික පහසුකම් තිබේ. නමුත් දිමියාගේ පරම සතුරා වී ඇත්තේ මිනිසා නොව මිනිසාටත් වඩා ඇඹලයාය. 

 

 


පිරිමින් ගැහැනු සොයා යන්නේ ඇඹලයා සීනි සොයා යන අන්දමින් යැයි කියතත්, ඇඹලයාට අඩු තරමේ දිමියෙකුටවත් පාඩමක් ඉගැන්වීමට හැකියාවක් තිබේ. උට්ඨාන වීර්යය නැතත්, ඒ අතින් ඇඹලයාටත් යම්කිසි ලකුණු ප්‍රමාණයක් ලැබිය යුතුය. ඇඹලයා දිමියාව මර්දනය කරන්නේ උගේ ඇස කෑමෙනි. මෙය, කෙළින්ම ඔළුවට වෙඩි තැබීම තරම් නොවරදින සටනකි. දිමියාගේ ළදරු කාලයේ ඌට පුබ්බරා යැයි කියනු ලැබේ. ඒ කාලයේදී ඌ තරුණ කාලයටත් වඩා පෙනුමෙන් ලොකුය. ගැමියන් පුබ්බරු අල්ලා බිලී කොක්කේ ඇමිණීමෙන් ඇට මැස්සා නමැති මාළුන් අල්ලා ගනු ලැබේ. එම නිසා කැලේ මාළු නහින්නේ කට නිසාම, නොව පුබ්බරා නිසාය. 


 වල් ඌරන් හා හබන් කුකුලන් අතර ද නොයෙකුත් ජනකතා ඇත්තේය. විශේෂයෙන් රාත්‍රී කාලයට එළිබහින වල් ඌරා අල වර්ග, මුල් වර්ග සොයමින් මුළු වනය දෙවනත් කරයි. උගේ වැඩ රාජකාරීවල තරම පෙනෙන්නේ උදේකට කැලේ යද්දීය. කැකුණ ඇටය තුන්හුලස් හැඩයකින් යුක්ත වූ අඟල් භාගයක් පමණ දිග ඇටයකි. මෙම ඇටය විකීමට වෙර දරන විට උගේ කට උගෙන්ම තුවාල වීමෙන්, ඌරාගේ ලේ වලින්ම උගේ බඩ පිරේ. අවසානයේදී කැකුණ ඇට කෑමේ තීරු බදු රහිත වරප්‍රසාදය ලැබෙන්නේ කොහේවත් සිටින කුකුළන්ටය. දුඹුරු පාට වූ හබන් කුකුළා කෑමට නොගන්නා පක්‍ෂි විශේෂයකි. 


 සිංහල ගොළුබෙල්ලා නමින් හැඳින්වෙන රවුම් ගොළු බෙල්ලන් විශේෂයක් සිංහරාජයේ ගස්වල දකින්නට ලැබේ. මුන් විශ්ෂයෙන් රාත්‍රියේදී කෑ ගසති. ගස් ගොළුබෙල්ලා ලෙස හැඳින්වෙන්නේ ද මේ වර්ගයමය. ලුණු කැටයක් දමා දියකර (ගසින් වැටුණු මිනිසුන්ට) උන්ගේ සෙම පොවනු ලැබේ. කටුව ඇනී ඇතිවන තුවාල සුව වුනත් ඕජස් ගැලීම නොනවතී. ගස් ගොළුබෙල්ලා නොකන පැළෑටියක් නැත. 


 කටුව දිගට පිහිටන ගොළුබෙල්ලා විෂය. හෝතඹුවා, උගුඩුවා, මුගටියා වැනි සතුන් විසින් දිය ගොළුබෙල්ලා ආහාරයට ගනු ලැබේ. රතු ඇසක් ඇති ඇටි කුකුළා ද උගේ හොට ගොළුබෙල්ලාගේ කටුව තුළට ඔබා දිළිඳු රටවල බහුජාතික සමාගම් මෙන් සියලු සාරය උරා බොයි. වියළි කාලයේදී මුගටියා දොළ දිය ඉව පාර ඔස්සේ ගොස් මිරිදිය ගොළුබෙල්ලන් එකතුකර ගනී. ඒ සියල්ල ඌ ලගින ගල්ගුහාවකට ගෙන ගොස් හවස් යාමයේදී මිනිසුන් රටකජු කන අන්දමින් ගලේ ගසා දෙකට පලා මදය ගිලී. 


 මුගටි අතර විවිධ වර්ග සිටිනු දක්නට ලැබේ. නයි මුගටි සටනක් ඇරඹි වේලාවක ඇලි මුගටියා ගැන විශේෂ බලාපොරොත්තු තබා ගන්නට සිදුවේ. බොහෝ විට මුගටියා විසින් නයා වෙහෙසට පත් කිරීමෙනුත්, උගේ අවධානය මොට කිරීමෙනුත්, අනතුරුවයි, මෙල්ල කිරීමේ අදියර ඇරඹෙන්නේ. ඒ අදියරේදී මුල් වටයත් නාගයාට දැරිය හැකි බවක් පෙනෙන විට, සෙසු මුගටියන් විසින් ඇලි මුගටියාට පණිවිඩය යවා ඌ කැඳවා එනු ලැබේ. ඇලි මුගටියා වරක් දෙවරක් ඒ මේ අත දඟලා නයාගේ පෙණයට ම පැන ගොබේ කඩා ගනී. අවීතරාගී ගැහැනියට යම් දෙයක් ඉස්තරම් වෙයිද, නාගයාටද සිය පෙණ ගොබය ඉස්තරම් ආභරණයකි. ගොබේ කඩා ගත්දාට නාගයා පැළී මැරේ. ඇළි මුගටියා මේ සටනට එන්නේ ස්ථිර අදහසින් වුවත්, ඇතැම් දේශපාලඥනයින් පව් සෝදා ගැනීමට පූජනීය ස්ථාන කරා යන්නා සේ, ඌ ද සටනින් පසු විෂකුම්බා මුලක් සොයා යන්නේය. 


 අඳු ද, නයාට අප්‍රිය වූ, ඌ විසින් නොරුස්සන පැළෑටියකි. අඳු සාමාන්‍යයෙන් කැලෑවල පාළු බිම්වල වැවෙන්නේ වුවද, ඉතිහාසය අතින් සලකන කල මෙය නිවර්තන ඇමරිකාවට ආවේනික පැළෑටියකි. Engngium Foetidum නමැති තෘණ වර්ගයට අයත් පැළෑටි විශේෂයකටත් අඳු යන්න ව්‍යවහාරිකයි. ඒවායේ හරස් අතට වැටී ඇති සටහන් නයාගේ ශරීරයේ ඇති සටහන්වලට සමානයි. 


 සැපින්න වරකට බිත්තර තුන්සියයක් පමණ දමන උරගයෙකි. බිත්තර කටුසු බිත්තරයකට තරමක් සමානය. එබැවින් එය සුදුපාටින් යුත් කොස් ඇටයක් වැනි දෙපැත්ත මහත තලගොයි බිත්තරවලින් තරමක් දුරට වෙන්කර හඳුනාගත හැකිය. 

 

 

රවී ප්‍රසාද් හේරත්