සැලව රජමහා විහාරයත් ගිලා බසියි


විනාශයට පත්ව ඇති බිත්ති

 

මහනුවර යුගයේ දී ලියවුණු සිරිලක රාජපරම්පරාවේ අවසන් ශිලා ලේඛනය පිහිටා ඇති පුංචි දඹුල්ල ලෙසින් හඳුන්වන සැලව රජමහ විහාරය මේ වෙන විට විනාශ වෙමින් පවති. ඒ සඳහා පුරවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ වගකිව යුතු බලධාරීන් අවධානය යොමු නොකළ හොත් එහි විහාර ගෙය එක් පසකින් ගිලා බැසීම නුදුරු දිනයේදීම සිදු විය හැකි බව මේ සම්බන්ධයෙන් කරුණු සොයා ගිය අප සමග ප්‍රදේශවාසීහු පැවැසූහ. 

 
ලෙන් සහිත විහාරස්ථාන අතර මෙම ස්ථානය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයකි. “ නුවර සේනාවක් පැමිණි පසුව ගම්මානයම යට වෙන බවට ද ජනප්‍රවාදයක් ” සේම ගම්මානයේ මියගිය කාන්තාවකගේ දේහයක් විහාර මළුවෙන් භූමදාන කටයුතු සඳහා රැගෙන යෑමේ දී මෙහි ඇති විහාර ගෙය වැසි ගිය පසුව සතියක පමණ කාලයක් කිසිවෙකුටත් ඇර ගැනීමට නොහැකි වූ විහාරය ගෙයි දොරගුළු හැරීමට සතියක් පමණ පිරිත් සජාඣායනයක් සිදු කළ බවත් ජනවහරයේ ප්‍රසිද්ධ වී පවති. 

 

 විහාරස්ථානයේ ගිලා බහින ස්ථානය

 


දඹුලු විහාරයට සමාන හැඩයෙන් යුතුව පිහිටා තිබීම හා ගල් ලෙනක් ඇතුළත පිහිටා තිබීම යන කරුණු කාරණා නිසාම මෙම විහාරය පුංචි දඹුල්ල ලෙස හඳුන්වයි. වළගම්බා රජ සමයේ ඇරඹෙන සැලව විහාරය මහනුවර රජකළ බොහෝ රජවරුන්ගේ අවධානයට ලක් වූ අතර ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් කටයුතු පවා එම රජවරුන් ලවා සිදු විය. ඒ අනුව කිර්තී ශ්‍රී රාජසිංහ රජ සමයේ ආරම්භ වී ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ මෙහි වැඩ අවසන් කර ඇත. මෙම විහාරය ඇතුළත රජතුමා සැඟව සිටින මාළිගාවක් ද වෙයි. එය නැරඹීමට උං මාර්ගය ඔස්සේ ගිය වැඩිහිටි ගම්මු ද සිටිති.   

 

 

කෙසේ වෙතත් අද ​වෙන විට මෙම රජමහා විහාරයේ විහාර ගෙයි එක් පැත්තක් බිත්ති පාත් වී ගිලා බසින අතර විහාරස්ථානයේ දායක සභාව එක්ව එහි වහලයට මුක්කු ගසා ඇත. නමුත් බිත්තිය පාත් වෙමින් ක්‍රමයෙන් කඩා වැටීමට යන මෙහි විශාල ඉරි තැලීම් කිහිපකි. සමහර ස්ථාන වලින් බිත්තිය පැලී ගිය ස්ථාන අඟල් 5 ක් 6 ක් ඈත් වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඒවාද නඩත්තු නොකර හොත් එය විහාරයේ පැවැත්මට බාධාවකි. තවද මහනුවර යුගයේ ඇති බිතු සිතුවම් ගණනාවක්ම වේයන් විසින් විනාශ කරමින් පවතින අතර සමහර සත්ව කොටස් විසින් විහාර ගෙය ඇතුළත බුදු පිළිම පිහිටා ඇති ස්ථානවල බිම හරා ඇති අයුරුද දැක ගත හැකිය. එමෙන්ම මෙම ඉපැරණි විහාර ගෙය කිහිප අවස්ථාවක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වී ඇති අතර කිලෝ මීටර් 5 ක් 6 කට වඩා දුර ශබ්දය ඇසුණු පැරණි ඝණ්ටාරය ද එක් අවස්ථාවක සොරුන් විසින් පැහැරගෙන ගොස් වෙන ඝණ්ටාරයක් සවිකර ඇත.   


මහනුවර යුගයේ අඳින ලද සහ ඓතිහාසික යුගවල වටිනාකමක් ඇති දුර්ලභ ත්‍රී සිංහ රූප, පල්ලේ විහාරයේ අඹාරාව සහිත කොටසේ බිත්ති සහ එම කොටස් පල්ලේ විහාරයේ සුචි හස්ත මුද්‍රාව සහිත හිටි ප්‍රතිමාව, වියන් චිත්‍ර, සැතපෙන බුද්ධ ප්‍රතිමා ඇතුළු අනිකුත් ප්‍රතිමාවන්, මොරොන්තොට ධම්මඛන්ද නාහිමියන්ගේ ප්‍රතිමාව, හිඳි පිළිම, සහශ්‍ර බුද්ධ බිතු සිතුවම්, සූවිසි විවරණ බිතු සිතුවම්, නායක්කර් රජ පරපුර හා බිසෝවරු මෙන්ම ඓතිහාසික වැදගත්කමක් ඇති මොරොන්තොට ධම්මඛන්ද නාහිමියන්ගේ සැලව විහාර කර්මාන්තයට ගම්වර පූජාකර ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පිහිට වූ ලක් දිව අවසන් ශිලා ලේඛනය පවා කිසිදු අලුත්වැඩියාවක් හෝ පුරා විද්‍යා සංවර්ධනයක් නොමැතිකම නිසා විනාශ වෙමින් පවති. දායක සභාවේ සමාජිකයන් පවසන්නේ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඊට ඉඩ නොදෙන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද එම කටයුතු සිදු නොකරන බවයි.   


මෙම විහාරස්ථානය මහනුවර මල්වත්ත විහාරස්ථානයට අයිති විහාරයක් වෙන අතර දැනට ගිහිභාරකරුවෙකු (භාරකාර පී.බී. ජයසුන්දර) විසින් පාලනය ගෙන යන අතර ගිහි භාරකාරතුමා විසින් විහාරස්ථානයේ කිහිප අවස්ථාවක භික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙක්ම රඳවා ආගමික සහ විහාරස්ථානයේ කටයුතු දායකයන් සමග එකතු වී පවත්වාගෙන යන්නට අවස්ථාව ලබා දුන් අතර විහාරස්ථානයේ වැඩවාසය කරන ලද හිමිවරුන් සෑම දෙනෙක්ම ඉතා කෙටි කාලයකින් විහාරය අතහැර යෑම සිදු විය. මේ වෙන විට විහාරස්ථානයේ නායක හිමි නමක් වැඩ වාසය කරන අතර උන්වහන්සේද විහාරස්ථානයේ වැඩ වාසය කිරීමට පැමිණි දින 20 කටත් අඩු කාලයකි.   


 මෙම විහාරස්ථානයේ දායක සභාව පවසන පරිදි විහාරස්ථානයට අඩුවක් ලෙස පවතින චෛත්‍යයක් ඉදි කර ගැනීමට අවශ්‍ය වෙන ගල් ආදිය ද ගෙනවිත් තිබුණත් ඊට ඉඩ නොදෙන බවත් එම කටයුතු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේවත් සිදු කිරීමට අවස්ථාවක් ලබා නොදෙන බව ද කියයි. නමුත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විහාරස්ථානයේ ඉපැරණි වහලයේ වසා තිබු පැරණි උළු ඉවත්කර එහි ස්වරූපය සහ ඓතිහාසිකත්වය විනාශ වන ලෙස වෙනත් උළු සෙවිලි කිරීමට අවස්ථාව ලබා දී ඇති බවත් දැනටමත් වහලය වෙනස් කිරීම නිසා ස්ථාන ගණනාවක්ම වැසි දිනවල තෙමෙන බව ද පැවසේ. 

 
මීට පෙර විහාර බිමේ යම් යම් ස්ථාන ඩෝසර් කළ අතර සමහර ඉපැරණී ගොඩනැගිලි පවා ඉවත් කර ඒ වෙනුවෙන් වෙනත් ගොඩනැගිලි ඉදි කිරීම් ද දැක ගත හැකිය. පිටුපසින් දිග්ගෙය නමින් හඳුන්වන කොටස පිහිටා තිබේ. එයට ඇතුළුවීමට දොරටු දෙකකි. දිග්ගෙය ඇතුළත ඇති කුඩා දොරටුවකින් උමගක් සම්බන්ධ වේ. වළගම්බා මහ රජතුමා සතුරන්ට විරුද්ධව සේනා සංවිධානය කරමින් සතර කෝරළ ප්‍රදේශයේ ජීවත් වූ සමයේ ආරක්ෂාව පතා මෙම ගල්ලෙනහි සැඟව සිටි බව කියවෙන නිසාවෙන් මෙම උමග ද ඒ සඳහා යොදාගත් බව විශ්වාස කරයි. ඒ ආසන්නයේ ගල මත ඇති කිසි දිනක ජලය නොසිදෙන ළිඳක් ද වෙන අතර විහාරස්ථානයේ ජීවත් වූ භික්ෂුන් වහන්සේලා පැන් පහසුව ලබා ගත් ළිදක් ද මෙහි ඇත.   
සැලව විහාරස්ථානයේ වර්තමාන විහාරාධිකාරී බෙන්ගමුවේ නන්ද විමල හිමි.   


“මෙම විහාරස්ථානයේ භාරකරු ලෙස කටයුතු කරන්නේ ගිහි භාරකාර මහත්තයෙක්. මෙම විහාරස්ථානය මාගේ දැනීමේ හැටියට ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජකාලයේ තමයි ආරම්භ කර තිබෙන්නේ. ඊට පස්සේ මල්වතු මහා විහාරයේ මහා නායක හාමුදුරුවෝ හැටියට හිටපු ඔරුතොට ධම්මඛ්කන්ද කියන නායක හිමියන්ට මේ පූජනීය භූමිය පරිත්‍යාග කර තිබෙනවා. ඒ පරිත්‍යාග කරාට පස්සේ ලෙන් විහාර බිතු සිතුවම් සියල්ල පරිත්‍යාග කර තිබෙනවා. උන්වහන්සේ තමයි දිර්ඝ කාලයක් මෙහි ආධිපත්‍ය දරලා තිබෙන්නේ. දැනට ලංකාවේ තිබෙන අවසාන සෙල් ලිපිය හැටියට විහාරස්ථානය ඉදිරිපිට සෙල් ලිපිය සැලකෙනවා. අද වෙන විට ආරක්ෂා කරගත යුතු බිතු සිතුවම් විනාශ වෙමින් පවතිනවා. ඒ නිසා ඒවා රැක ගැනීම බලධාරීන්ගේ වගකීමක් වන බව ද කිව යුතුයි. මම පැමිණි දින කිහිපය තුළ තේරුම් ගත්තා මිනිස්සුන්ට මේ විහාරය රැක ගැනීමට විශාල උනන්දුවක් තිබෙන බව යැයි ද” පැවසූහ.

 

ජායාරූප හා සටහන මාවනැල්ල, හෙම්මාතගම 
සමන් විජය බණ්ඩාර