සාවුන් දඩයමේ ගිය සාපින් කිඹුලෙකුගේ ගොදුර වෙයි


ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


පිටිගල එස්.ඒ. ලක්ෂාන් මහතා ලියා එවූ කතාවකි.  

මළ පුඩු අටවා සතුන් මැරූ පවින් මළ පුඩුවට බිලිවෙයි. 

 
 දකුණු පළාතේ පිටිසර ගම්මානයක ජීවත් වූ ආරියපාල පරම්පරාවෙන් ලැබුණු දේපළ වතුපිටි බොහොමයක් හිමි පුද්ගලයකි. තම ඉඩමට පැමිණෙන ඉත්තෑවන්, කැබැල්ලෑවන්, මී මින්නන් ආදී සතුන් මළ පුඩු අටවා දඩයම් කරමින් ආහාරයට ගැනීමට පුරුදු වී සිටියේය. ආරියපාලට දියණියන් දෙදෙනෙක් සහ එක් පුතෙක් වූහ. දරුවන් උස්මහත්ව නිසි කළ වයසට පැමිණි පසු ආරියපාල තමා ඇබ්බැහි වීමක් ලෙස තිබූ සතුන් දඩයම් කිරීම මදින් මද අඩු කළේය. කලක් යන විට ආරියපාල මෙය අත්හැරම දැමුවේය. සතුන් සඳහා ඇටවීමට යොදා තිබූ මළ පුඩු උගුල් ආදිය ආරියපාල තමාගේ නිවසින් ඉවත් කළේ නැත. මෙසේ කාලය ගත විය. නොසිතූ ලෙස ඔහුගේ පුතු මත්ද්‍රව්‍ය වලට බෙහෙවින් ඇබ්බැහි විය.   


එම පුත්‍රයාද තම පියා ආරියපාල කී කිසි දෙයක් ගණන් ගත්තේද නැත. දිනක් ආරියපාල​ෙග් පුතා මහත්සේ මධුවිත තොලගා පැමිණ තමාට හිමි දේපළ ලියා දෙන ලෙස පියා සමග අඩදබර කළේය. අසල තිබූ පොල්ලකින් පහර දී පියාගේ පාදයේ අස්ථි බිඳ දැමුවේය. මේ හේතුවෙන් තම පුතු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන දැඩි ලෙස අවවාද කර මාස තුනකට පමණ පසු ඔහු මුදාහැරීමට පොලිසිය තීරණය කළේය. ආරියපාලගේ පුතා මේ පුවත ගෙදර සිටින අය සඳහා දැන්වීමට පොලිසියේ දුරකථනයෙන් ඇමතුමක් ලබාගෙන තමා ගෙදර එන බව පැවසූ අවස්ථාවේදී ආරිපාල මහත් සේ බියට පත්විය. මොහු බියට පත් වූයේ තම පුතු නැවතත් තමා හට පහර දේවිදෝ කියන සැකය මතය.   


එසේ දුරකථන ඇමතුම ලැබී සුළු වෙලාවකට පසු ආරියපාල නිවසේ සිටි තම බිරියටත් වැඩිමහල් දියණියටත් හොර රහසේ තමාගේ කිහිළිකරුවේ වාරුවෙන් ඔහු කලකට ඉහතදී සතුන් දඩයමට සකසා සඟවා තිබූ මළ පුඩුවක් ගෙන තමාගේ ගේ පිටු පස තිබෙන පාළු මඩුවට ගොස් දඩයමට සකසා තිබූ එම පුඩුවෙන් ගෙල වැළලා ගත්තේ තමා සතුන් දඩයම් කළාක් මෙන්ය. ආරියපාල සතුන් දඩයම් කර ලැබූ පවු ආරියපාල සතුන් දඩයම් කරන්නාක් මෙන් මෙලොවදීම විඳීමට සිදු විය.   

 



හලාවත ඉලප්පදෙණිය තිස්සෝගම රූපසිරි ලියනගේ මහතා ලියා එවූ කතාවකි.   

සාවුන් දඩයමේ ගිය සාපින් කිඹුලෙකුගේ ගොදුර වෙයි.   


දාසින් හා පොයිහාමි කසාඳ නොබැඳි ජෝඩුවකි. ඔවුන් දෙදෙනා වැවක් අද්දර කුඩා ඉඩමක පොල් අතු පැළලි ගෙයක් තනාගෙන ජීවත් වූහ.   
තමා විසින්ම සාදාගත් ඔරුවක් දියත්කර වැවේ කරපලාව එළා විසිදැල් ගසා අල්ලාගත් මාළු වෙළෙන්දෙකුට විකුණා අතමිට මුදල් සරුකර ගැනීම ඔවුන්ගේ දෛනික ජීවන මාර්ගය විය.   


ඇතැම් දිනවල අල්ලපු මාළු විකුණා ගන්නට නොහැකිව නරක්වී අහක දැමීමට සිදුවන නිසා වතුර බැරලයකට මාළු පණ පිටින් දමා තියා පසුව ඇවැසි විට විකුණා ගන්නට කටයුතු සූදානම් කෙරුණි.   


ඒ අනුව දෙදෙනාම එකතු වී රෑ දවල් වෙනසක් නැතුව මාළු ඇල්ලීමේ නිරත වූහ. වෙළෙන්දා ගෙදර පැමිණි විටදී ඔහුට නොඅඩුව පණපිටින් මාළු ලබාදීමට ද හැකි විය.   
කාලය එසේ ගෙවෙද්දී සඳ ඇති රෑට දාසින් වෑකන්දේ ඇවිදිමින් සාවුන් දඩයමේ යෙදෙන්නට හුරු පුරුදු විය. 

 
ඒ සඳහා ඔහු අඩි තුන හතරේ දිග පොලු කෑලි කපා තබාගත්තේය.   


ඒ පුර සඳ පායා තිබූ දිනයකි. රාත්‍රී අටට පමණ වෑකන්දේ ගමන් කරද්දී සාවුන් කීප දෙනෙකු දුව පැන ඇවිදිනා හැටි දුටු දාසින් අතේ තිබූ පොලු කෑල්ලෙන් දමා ගසා සාවුන් දෙදෙනෙකු මරා ගත්තේය. හෙට දිනේනම් සා මසුයි, මාළුයි විකුණා වැඩි මුදලක් ලබා ගැනීමේ සතුට ඉහ වහා ගිය චේතනාවෙනි.   


එවිටම ගමේ වැව ළඟ පන්සලේ හේවිසි හොරණෑ ඝන්ටා නාදේ රැව් දෙන්නට විය. සඳ පානේ වැව්දිය මත සෑ කොත් වහන්සේ බැබළෙනු දුටු දාසින් පාපී චේතනා සසර කතරට බාරදී රැගෙන ගිය බෝතලෙන් අඩියක් ගසා මළ සාවුන් දමාගත් ගෝනි උරය ළඟ තබාගෙන වැව් ඉවුරේ කෝන්ගස යට මද නින්දේ පසු වූවේ තව සාවුන් දෙතුන් දෙනෙකු මරාගෙනම ආපසු ගෙදර යන චේතනාවෙනි.   


රාත්‍රී එකොළහ පසුවෙනකල් බලා සිටියත් දාසින් ගෙදර ඒම පරක්කු නිසා පොයිහාමි වෑකන්ද පාරේ කෝන්ගස වෙත ළඟා වෙද්දී තඩි කිඹුලෙකු වැව් දියට පැන ඇදී යනු දැක විමසිලිමත් විය. අපොයි හත්වලාමේ දාසින්ගේ අත් කකුල් සපා කා බොකු බඩවැල් විසිරී තිබෙනු දුටු පොයිහාමි මරලතෝනී දී හඬා වැලපෙන්නට විය.   


රාත්‍රී පන්සල් ගොස් ආපසු වෑකන්ද පාරේ ගෙවල් බලා යන පිරිස් මේ සිදුවී තිබෙන මරණය දෑසින් දැක බලා අනේ අම්මපා පුර පොහෝ දිනෙක ගමේ පන්සල පෙනි පෙනී මේ දාසින් කාරයා කරගත් පාපයට දඬුවම මේ ජීවිතයේදීම විඳ ගත්තා කියා ගම පුරා කටකතා පැතුරුණේ කළකම් පලදේ කියමනේ සත්‍ය පසක් කරවමිනි.    



බිංගිරිය කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

දේශපාලන හයිරන් පෙන්වූ සේනට කළකම් පල දෙයි.   


මැද රට ප්‍රදේශයේ එක්තරා ගමක විසූ සේන දුෂ්චරිත වලට හා මත්පැනට තදබල ගිජුබවක් දැක්විය. ගමට හයිකාරකම් පෙන්වූ දරුණු අපරාධකරුවෙකු විය. දේශපාලන උණුසුම තදින් හා වැද්දගත් මොහු තම ගමේ බලපුළුවන් කාරකම් නිතරම පෙන්වූ අයෙකු විය. මොහුට එරෙහිව තම ගම් පළාතේ කිසිවකු ඉදිරිපත් නොවූයේද ඔහුගේ මෙම දාමරික ක්‍රියා හේතුකොටගෙනය.   


දැනට දශක කිහිපයකට පෙර පැවැති එක්තරා මැතිවරණයකදී අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසු තමාගේ ප්‍රතිවිරුද්ධ දේශපලාන විරුද්ධවාදීන්ට තදබල ලෙස නොයෙක් තාඩන පීඩන එල්ල කළ සේන අවසානයේ ඔවුන්ගේ නිවෙස් හා දේපළ ගිනිබත් කරමින් තම අණසක පැතුරුවේ විරුද්ධවාදීන්ගේ ඇඳිවත පමණක් ඉතිරි කරලමිනි.   


ඉන් මහත් සේ භීතියට පත් එගම් වැසියන් ගෙවල් දොරවල් අත්හැර දරු සිඟිත්තන්ද සමගින් කැලෑ වැදුණහ. මහත්සේ බීමත්ව කළහකාරී ලෙස හැසුරුණු ඔහුට විරුද්ධව නීතියේ පිහිට පවා නොපැතුවේද කිසිවකු ඒ සඳහා පියවර නොගත්තේද ප්‍රදේශයේ ඔහු ළඟින් ඇසුරු කළ දේශපාලන බලවතාගේ සමීපතම ගෝලයකු වූ බැවිනි. ඔහුට ඇති බිය නිසා තිප්පොළ වලින් ඔහුට පදම ඉක්මවා යන තුරුම මත්පැන් බීමට දුන්නේ මිල මුදල් පවා අය නොකර ගැන්මෙනි.   


වර්ෂ කිහිපයකට පසු පැවැති මහ මැතිවරණයකදී ඔහුගේ පක්ෂය අන්ත පරාජයකට පත්වීමෙන් පසු එදා ඔහුගෙන් බැට කෑ ප්‍රදේශවාසීන් මෙතෙක් ඔහු කළ ඒ සියලු පාපකර්ම වලට නොවළහා නිසි පිළිතුරු දුන්නේ “සේනගේ” නිවස හා සියලු දේපළද ගිනිබත් කළ අතර ගම්මු සියල්ලෝම එකතු වී ඔහු ප්‍රදේශයෙන් එළවා දැමූහ.   


තම ගම්පළාතේ ඔහුගේ විරුද්ධවාදීන්ගෙන් බේරෙන්නට බැරිම තැන ඔහු ප්‍රදේශයේ තම දේශපාලන බලවතාගේ නිවසේ රැඳී සිට තම පණ නළ රැකගත්තේ මහත් අසීරුවෙනි.   
මේ ජීවිතයේදී කළකම් පල දුන් සේන තම නිවස හා සියලු දේපොළ ද අහිමි කරගෙන ඈත ප්‍රදේශයකට ගොස් මෑතක් වනතුරුම ඉතා දුකසේ ජීවත් වූයේ තමා කළ ඒ සියලු පාපකර්ම වලට වන්දි ලබමිනි. මෙහි නම් මනඃකල්පිතය මෙය සත්‍ය සිදුවීමකි. ඔහු මිය පරලොව යන අවස්ථාවේ මේ සියලු සිද්ධීන් පාපොච්චාරණය කරමින් කඳුළු පිරි දෙනෙතින් වැළපුණු බැව් තතු දන්නෝ පවසති.   

 



නිකදළුපොත කරුණාදාස සපුතන්ත්‍රී මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

මාල සොරාට බිරිඳත් ජීවිතයත් අහිමිවෙයි.   


සොරකම සුරාව සූදුව යන නරක වැඩවලට යොමුවූ ඇල්මන් ගමට හිසරදයක් විය. හොඳට ඇඳ පැලඳගත් කාන්තාවන් ඔහු දකින්නටවත් නොසිටින්​ෙන් ගෙලෙහි බැඳි මාලයක් හෝ චේන් පොටක් ඇත්නම් ඇල්මන් එය ගොදුරට ගන්නා බැවිණි.   


දුම්රිය, බස්රිය මෙන්ම මග යන එන කාන්තාවන්ගේ මාල, චේන් කැඩීම ඔහුගේ දින චරියාවේ අංගයක් විය. පොලිසියට මෙන්ම ගමේ අයගෙන්ද ගුටි කෑ වාර අනන්තය. එමනේම සති ගණන් කූඩුවේ ලගින්නටද සිදුවිය. දිනක් ඇඳිරි වැටීගෙන එනවිට වන රොදක් ඇති පාරකින් යනවිට කාන්තාවක් ඉදිරියට එමින් සිටියාය. ඇය ගමට අලුතින් දීගෙක ආ සුමනාය. ඇගේ ගෙලෙහි තිබුණේ ඉමිටේෂන් මාලයකි. එයට ආශා කළ ඇල්මන් විදුලි වේගයෙන් ඇය වෙත් පැන මාලය කඩාගෙන දුවන්නට විය.   


වේදනාවෙන් මෙන්ම බියවීමෙන් ඇය කෑගස්නනට විය. මගයමින් සිටි දෙදෙනෙකුද මෙය ඇසී ඇල්මන් පසු පස හඹායන්නට විය. වේගයෙන් දිවයන ඔහුට කරුමය පලදීමට වැඩිවේලාවක් ගත නොවීය. කකුලේ ඇනුණේ විෂ කටුවකි. පසුපසින් ආ දෙදෙනා ඔහු ළඟට විත් දඬුවම් දීම පසෙක තබා ඇල්මන් ඔසවාගෙන අසල නිවසකට ගෙන ගිය අතර රෝහලට ඇතුළත්කොට ප්‍රතිකාර ලබාදුන් නමුත් තුවාලය දරුණු විය.   


දිගුකාලයක් ලැබූ ප්‍රතිකාරවලින් පලක් නොවීය. කකුල දනහිසට පහළින් කපා දැමීමට සිදුවිය. මව්පියන්ද නැති නරක වැඩ නිසා වෙනවූ බිරිඳද දරුවන් සමග වෙනත් විවාහයක් කරගත් නිසා ඇල්මන්ට යන එනමං නැතිවිය.   


සිඟමනට වැටුණු ඔහු රාත්‍රියට නිදාගන්නේ කඩපිලක් අසල හෝ ගසක් යටය. මෙසේ දුක උරුමව කල්ගෙවන ඇල්මන් වසර කීපයක් හිඟන ජීවිතය ගතකොට ජරාවට පත්වන්නේ ඔහුට නොදැනීමය.   


නිතරම නිදන කඩයක ඉස්තෝප්පුවේ මියගොස් සිටි ඇල්මන් දුටුව කඩ හිමියා මළ සිරුර රෝහලට බාර දුන්නේ ඔහුට නෑදෑ හිතවතෙකු නොවූ නිසයි.   


සොරකමෙහි විපාක මෙලොවදීම පලදී තිරිසනෙකු ලෙස මිය යන්නට වීම මිනිසෙකු කරගන්නා ලොකුම පාපයක් බව කවුරුත් පවසන්නට විය.   

 


මෙබදු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්