සාරි පනහෙන් පටන් අරන් තට්ටු හතක් උසට හැදුව ලේඩි ජේ


අභියෝග ජයගත් මිනිස්සු  

 

 

 

කොළඹ මරදාන පාරේ බොරැල්ල සහ පුංචි බොරැල්ලට මැදිව පිහිටි සත්මහල් ගොඩනැගිල්ලකි. මෙම ගොඩනැගිල්ල මෙතැන ඉදි වූයේ වසර පහළොවකට පමණ පෙරදීය. එදා සිට මෙතැනට රොද බැඳෙන පිරිස් බොහෝ වෙති. එලෙසින් බොහෝ දෙනා පවුල් පිටින් මෙතැනට පැමිණෙන්නේ නිවසට අවශ්‍ය විවිධ උපකරණ සහ උපාංග මෙන්ම විලාසිතා මිලදී ගැනීමටය. වෙසෙසින්ම අලුත් අලුත් විලාසිතා සිතු සේ රිසි සේ මිලදී ගැනීමටය. එනයින් මෙතැනට පැමිණෙන පාරිභෝගිකයින්ගේ සිතිවිල්ල වන්නේ තමුන්ගේ අතැති මුදලට සිතැති දේ ලබා ගැනීමට ඇති හොඳම තැන මෙතැන යන්නය.  


 මෙම සත්මහල් ප්‍රසාද ගොඩනැගිල්ල වෙත එලෙසින් පැමිණෙන්නේ කොළඹ නගරයේ වෙසෙන ජනතාව පමණක්ම නොවේ. දැන් මේ ස්ථානය රටේ බොහෝ දෙනා අතර ප්‍රකටව තිබේ. තවත් අටුවා ටීකා දිග නොහැර ‘ලේඩි ජේ’ (Lady-J) ලෙස අපි මෙය නම් කරමු.  


 ව්‍යවසායක සුමනපාල මේ සත්මහල් ගොඩනැගිල්ලෙහි ඉහළ මාලයේ සිට මෙතැනට පැමිණෙන ජනතාව දෙස බලන්නට විමසිලිමත්ය. ඔවුන් මෙහි පැමිණ නැවත යන්නේ සතුටු සිනහවෙන් මුව සරසා ගෙන නම්? එය සුමනපාලගේ සතුටය.  


 ‘ඔවුන් වියදම් කරන මුදලට වඩා වටිනාකමින් යුතු භාණ්ඩයක් අලෙවි කිරීම තමයි අපේ අරමුණ, මෙම ව්‍යාපාරය පටන් ගත්ත දා ඉඳලා අපට වුවමනා වුණේ ලොකු ලාභයක් ගැන හිතන්නට නෙවෙයි. සුළු ලාභයක් තබාගෙන හොඳ දෙයක් ජනතාවට ලබා දීමයි.  


තමාගේ නමට වඩා තමා සහ තම බිරිඳගේ ශක්තියෙන් ගොඩනැංවූ ලේඩි ජේ (Lady-J) ව්‍යාපාරයෙහි නිර්මාතෘ සුමනපාල එලෙසින් පවසයි. එදා ගාල්ලේ ජනතාව විසින් නම් තබන ලද ‘කොටුවෙ කඩේ’ ලෙස ප්‍රකට වී පසුව මංජරී සහ ලේඩි ජේ නමින් කොළඹ, නුගේගොඩ සහ මහරගමදී ව්‍යාප්ත වූ ව්‍යාපාරය ගොඩනැංවූ ස්වඋත්සාහයෙන් නැඟී සිටි චරිතය ඔහුම වෙයි. විටෙක තර්ජන, ගර්ජන වලටද විවිධ ස්වභාවයේ අභියෝගයන්ට ද මුහුණ දෙමින් ‘ලේඩි ජේ’ ඇතුළු විලාසිතා ව්‍යාපාරය ​ගොඩනැංවූ අභියෝග ජයගත් ඒ මිනිසාගේ කතාවයි මේ.  

 

ජඹුරේගොඩ ගමාච්චිගේ සුමනපාල ඔහුගේ සම්පූර්ණ නාමයයි. උපන්නේ වැලිගමදීය. නව දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා ඔහු වේ.  


 අපේ තාත්තා වැලිගම සාමාන්‍ය ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළා. වී මෝලක් සහ සිල්ලර වෙළෙඳාම තාත්තාගේ ව්‍යාපාරය වුණා. ඉතින් මේ නිසාම පවුලේ පිරිස වැඩි වුණත් අපට මහා විශාල වශයෙන් අගහිඟකම් වලට මුහුණ දෙන්න සිදු වුණේ නැහැ. මගේ ළමා කාලය ගෙවුවේ අනෙක් සහෝදර සහෝදරියන් එක්ක බොහොම සතුටින්. අපි මහා ලොකු පොහොසත් පවුලක් වුණෙත් නැහැ.  


මම මගේ පාසල් ගමන පටන් ගත්තෙ ගමේ ජඹුරේගොඩ විද්‍යාලයෙන්. පසුව උසස් පෙළ දක්වා උගත්තේ වැලිගම ශ්‍රී සුමංගල විද්‍යාලයෙන්. ඉගෙන ගනිද්දී දොස්තර කෙනෙකු, ඉංජිනේරුවකු වීමේ අරමුණු තිබුණෙ නැහැ. ව්‍යාපාර පරිසරය තිබුණු නිසා ව්‍යාපාර කිරීමේ කැමැත්ත තමයි තිබුණෙ. හැබැයි මුදල් පොදි බඳින වුවමනාවක් හෝ මේ තරම් දුරකට යා යුතුය යන අදහස් තිබුණෙ නැහැ.  


 පාසල් ජීවිතයට සමුදුන්නට පසුව තාත්තා කරගෙන ආ සිල්ලර කඩය සහ වී මෝල බලා කියා ගෙන කටයුතු කරමින් සිටියා. තාත්තාට අවශ්‍ය වුණෙත් මම ඒවාට මූලිකත්වය ගැනීමයි. අපේ අම්මා ගෘහණියක්. අම්මගෙ ආසාව සහ උනන්දුව වුණේ අපි හොඳට ඉගෙන ගෙන ඉගෙනීමෙන් ඉහළට යනවා දැකීමටයි.  


 පවුලේ අනෙක් සහෝදරයිනුත් එක් එක් ව්‍යාපාර පටන් ගත්තා. එදා සිල්ලර කඩය සහ වී මෝලේ වැඩ බලා කියා ගනිමින් සිටි මගේ අරමුණ වුණේ ස්වාධීනව නැඟී සිටීමටයි. ඒ නිසා ඒවා අත්හැර දමා මම කොළඹ ආවා.  
එදා එලෙසින් සුමනපාල කොළඹ පැමිණියේ තනිවම නොවේ. තවත් මිතුරකුද කැටුවය. ඉනික්බිතිව ඔවුන් මොනවද කළේ?  


ඇත්ත වශයෙන්ම කොළඹ ආවෙත් මුදල් ඉපයීමම අරමුණු කරගෙන නෙවෙයි. ගමේ ඒකාකාරි දිවියෙන් මිදී නිදහසේ කාලය ගෙවීමේ අරමුණ ඇතිවයි. බලාපොරොත්තු කන්දක් තිබුණෙත් නැහැ. හැබැයි මොනවා හරි කරනවා නම් ඒක හරියට කරන්න ඕනෑ කියන අරමුණ ගැන තදින්ම විශ්වාස කළා. කොළඹ ඇවිත් අපි කළේ රජයේ කොන්ත්‍රාත් අරගෙන ඒවා කරගෙන යාමයි. මාර්ග සෑදීමේ පාලම් සෑදීමේ කොන්ත්‍රාත් අරගෙන යාළුවයි මමයි එය පවත්වාගෙන ගියා. යාළුවා බෝඩිං වෙලා හිටපු තැන සිට තමයි අපි ඒ ගමන පටන් ගත්තෙ. මේ අතරවාරයේදි මට ප්‍රේම සම්බන්ධයකුත් ඇතිවෙලා තිබුණා. ඇය මහවැලියෙ සැලසුම් ශිල්පිනියක ලෙස රැකියාව කළා. පසුව විවාහයට දෙපාර්ශවයේම ආශිර්වාද ලැබුණා. 81 දී විවාහයෙන් පසුව බිරිඳ සහ මම පදිංචියට බදුල්ලට ආවා. ඇය පළාත් පාලන දෙපාර්තමේන්තුවෙ රැකියාව කරද්දි, සුපුරුදු පරිදි මම කොන්ත්‍රාත් ව්‍යාපාරය කරගෙන ගියා.  


විවාහයෙන් පසුව බදුල්ලට සංක්‍රමණය වූ සුමනපාල ඔහුගේ බිරිඳ ධර්මලතා සමඟ වසර හතරක් එහි ගත කළෝය. තමුන්ගේ කොන්ත්‍රාත් ව්‍යාපාරය වෙනුවෙන් ඔහු එතරම් මහන්සියක් නොගත් බව කියයි. බිරිඳ ධර්මලතා නොදැක එක් දිනයක්වත් ගත කිරීමට හේ අකමැති විය. එය එකිනෙකාට පතාගෙන ආ විදියේ බැඳීමක් මෙනි. සුමනපාලගේ ජීවිතය වෙනස් මඟකට හැරවුණේ බිරිඳ නිසාද?  


‘විවාහයට පෙර මගේ ජීවිතය තිබුණෙ හරියට නිදහසේ පාවෙන සරුංගලයක් වගෙයි. නමුත් විවාහයෙන් පසුව තමයි මම හිතන විදියට මගේ ජීවිතය හැරවුණේ.’ සුමනපාල එසේ තම ජීවිතයේ හැරවුම් ලක්ෂය ගැන සඳහන් කරද්දී බිරිඳ ධර්මලතා ගමගේ ඔහු නැවතු තැනින් පටන් ගත්තාය.  


මහත්තයාට ලොකු බලාපොරොත්තු ගොන්නක් තිබුණෙ නැහැ. අනෙක එයා බොහොම නිහඬ චරිතයක්. මුදල් ඉපයීමට වඩා අනෙක් අයට උදව් කිරීම තමයි එයාගේ පරමාර්ථය වුණේ. කාට හරි ජොබ් එකක් එහෙම හොයලා දීලා ව්‍යාපාරයකින් ලබන ලාභයට වඩා එයා සතුටු වුණා.  


 අපි විවාහ වෙලා සිටියදී මගේ කාර්යාලයේ අය තමයි මට කිව්වෙ දැන් ඉතින් ගෙයක් දොරක් වාහනයක් එහෙම තිබුණොත් හොඳයි කියලා. මහත්තයා ඊට පස්සේ තමයි ස්ථාවරයකට එන්න ඕනෑ කියලා හිතා ගත්තෙ. ඉන්පසුව එයා වොක්සෝල් වික්ටර් රථයක් මිලදී ගත්තා.  

 

 

 මහත්තයා කොන්ත්‍රාත් ව්‍යාපාරය කරගෙන යද්දී කාටවත් ණය වුණේ නැහැ. ගෙවිය යුතු ගෙවීම් පවා අදාළ දිනයට කළා. ඒ නිසා මනසට පීඩනයක් තිබුණෙ නැහැ. සේවකයින්ගෙ පඩිය හෙට දෙන්නම් කියන න්‍යාය එයා අනුගමනය කළේ නැහැ. ජීවිතයේ අපි දෙන්නා එකතු වී ගොඩනැංවිය යුතුය කියන හැඟීම තමයි අපට තිබුණෙ. ඒක හැඟීමකටත් වඩා අනෙක් අයට කලර්ස් පෙන්වන්න ඕනෑ වගේ දෙයක්. 

 
කෙසේ හෝ මේ යුවළට එදා බදුල්ලෙන් ගාල්ලට ඒමට සිදුවිණි. සිඟිති දියණියන් දෙදෙනා සමඟ ගාල්ලට පැමිණියේ වැඩිමල් දියණිය පාසලට ඇතුළත් කරගැනීමේ අරමුණ ඇතිවය. ගාල්ලේ සිට සුමනපාල තවදුරටත් කොන්ත්‍රාත් ව්‍යාපාරය කරගෙන ගියේය. නමුත් ඊට කණකොකා හැඬුවේ ඊර්ෂ්‍යාකාරයින්ගේ බලපෑම් හේතුවෙනි. කොන්ත්‍රාත් ව්‍යාපාරයෙන් නැගී ආ සුමනපාලට ඔව්හු අභූත චෝදනා එල්ල කළහ.  


‘මේ ටෙන්ඩර් ඔක්කොම ලැබෙන්නෙ මේ විදියට එයාගෙ බිරිඳ පළාත් පාලන එකේ වැඩකරන නිසා යැයි’ ඔවුහු කතාවක් පැතිරූහ. මෙය කොතරම් දුරදිග ගියේද කිවහොත් දියණිය පාසලට යොමුකොට නැවත නිවසට පැමිණි සුමනපාලගේ බිරිඳට සේවය මාරු කර ඇති බවට ලිපියක් යොමුව තිබිණි.  


මේ ගැන නෝනා මට කිව්වාම හිතට පුදුම දුකක් ඇති වුණේ. එ් කිසි දෙයක් නිසා නොවෙයි. දියණිය පාසලට යොමු කිරීමේ සිට අවුරුදු පහක් තිස්සේ අපි සැලසුම් කළ සියලු දේ වතුරේ ගියා. බිරිඳගෙ මාරුවීම අවලංගු කරන්නය කියලා මම කොමසාරිස් හමුවන්න පවා ගියා. මගේ කොන්ත්‍රාත් ලියාපදිංචිය පවා නතර කරන්න එයාලා තීරණය කර තිබුණෙ. නෝනා කොළඹට ඇවිත් හිටිය නිසා එයා රැකියවෙන් අයින් වෙන්නත් තීරණය කරලයි තිබුණේ. ඒ අතර වාරයේදී එයා කොළඹ ඇවිත් හිටපු නිසා සාරි 50 ක් ගෙනිහින් කාර්යාලයේ අයට නැවත විකුණා තිබුණා. රුපියල් 300 ට ගත්ත සාරිය 325 කට විකුණලා තිබුණෙ. පැය දෙකක් යාමට මත්තෙන් සාරි 50 ක් ඉවර වුණාලු.  


ඔවුන්​ෙග් විලාසිතා ලෝකයේ දොරටුව විවර වූයේ එලෙසින්ය. සමහර විටෙක එය මේ සැමියා සහ බිරිඳගේ දෛවයේ ලියැවි ඇති දේ යැයි විය හැකිය. පැය දෙකෙන් සාරි 50 විකිණී අවසන් වූ නිසා යළි යළිත් සාරි ගෙනැවිත් අලෙවි කිරීමේ ව්‍යාපාරයට ඔවුන් යොමු වූයේ ඉන්පසුවය. එදා ගාල්ලේ Y.W.CA. ගොඩනැගිල්ලේ පුංචි ස්ථානයක ඒ ව්‍යාපාරය ස්ථාපිත විය. බිරිඳ රැකියාව කරන අතර වාරයේදී කළ මේ අමතර ව්‍යාපාරය දිනෙන් දින මිනිසුන් අතර ජනප්‍රිය වෙන්නට පටන් ගත්තේය.  


මේ විදියට සාරි වෙළෙඳාම කිරීමෙන් සල්ලි පොදි ගහන්න නෙවෙයි අපට ඕනෑ වුණේ. බොහොම සුළු ලාභයක් තබාගෙන ඒවා අලෙවි කළේ. මිනිස්සු සාරියක් අරගෙන, මේක හරි ලාභයි කිව්වාම ඒක අපේ ලාභය වුණා.  
සුමනපාලගේ බිරිඳ එලෙස අතීතය සිහිපත් කරන්නීය. Y.W.C.A (තරුණ, කාන්තා, ක්‍රිස්තියානි සංගමයේ) ස්ථානයක කළ එම පුංචි ව්‍යාපාරයට දිනෙන් දින ලොකු ඉල්ලුමක් ඇතිවීම නිසා එතැන ඉඩකඩ මදි වීම නිසා, ගාල්ල කොටුවේ වෙනත් ස්ථානයකට එය රැගෙන යාමට සුමනපාල කටයුතු කළේය.  


එතැන ලොකු ඉඩකඩක් තිබුණා. ඒ නිසා තව ටිකක් අපේ ව්‍යාපාරය පුළුල් වුණා. දිනෙන් දින සාර්ථක වෙන විට මිනිස්සු අතර වඩා කතා බහට ලක් වෙන්නත් පටන් ගත්තා.  


එතකොට කොටුවේ කඩේ කියලා එදා ජනප්‍රිය වුණේ කොහොමද? සුමනපාල මහතාට අපි පැනයක් යොමු කළෙමු.  


ඒක ඇත්තටම අපි යෙදූ නමක් නෙවෙයි. අපේ විලාසිතා ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වෙද්දී ජනතාවම දැමූ නාමයක්.  


‘අර කොටුවෙ, අපේ කඩේ බඩු හරි ලාභයි කියලා මිනිස්සුම කියන්න පටන් ගත්තා. අපි ඇත්තටම නමක් දාලා තිබුණෙත් නැහැ. ඒක මිනිස්සු විසින්ම දාපු නමක්.’  


මිනිසුන් අතර එලෙසින් ගාලු කොටුවේ කඩේ සාප්පුව ප්‍රචලිත වෙමින් තිබියදී තවත් උගතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දීමට සුමනපාලටත් බිරිඳටත් සිදුවිණි.  


අපේ වැඩේට අකමැති වූ සමහර ව්‍යාපාරිකයින්ට රිදෙන්න පටන් ගත්තා. එයාලා එතෙක් කළේ සෑහෙන ලාභයක් තියාගෙන විලාසිතා හා භාණ්ඩ අලෙවි කිරීම නම්? අපි කළේ පුංචි ලාභයක් තියාගෙන විකිණීමයි. ඒ විරසකයට හේතුව එයයි. මේ නිසා පෙත්සම් පවා ගහලා තිබුණා. එයින් නොනැවතී සාප්පුව වහලා දාන්න කියලා තර්ජන ආවා. ඒ කිසිවකටවත් අපි සැලුණෙ නැහැ. ඉන් පස්සෙ ළමයි දෙන්නා උස්සනවා කියලා තර්ජන ආවා. එතකොට තමයි පොල්හේන්ගොඩ නිවස මිලදී ​අරගෙන කොළඹ පදිංචියට ආවේ. ඇවිත් දූලා දෙන්නා ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කළා. ගාල්ලෙ කොටුවෙ කඩේ පවුලේ ඥාතියෙකුට කරගෙන යාමට ඉඩ දුන්නා. අපි දෙන්නා ඇස් දෙක වගේ දූලා දෙන්නා පරිස්සම් කරන්න පටන් ගත්තා. කොහොමත් අපි ගියේ මුදල් පස්සෙ නෙවෙයි. ඒ නිසා මුදල් ගැන දුක් වෙන්න දෙයක් අපට තිබුණෙ නැහැ. අපි දෙන්නගෙ පණ වූ දූලා දෙන්නා රකින්න පටන් ගත්තා.  


කෙසේ වෙතත් ස්වභාවධර්මයට අනුව ජීවත්වන මිනිසා ස්වභාව ධර්මය විසින්ම රකින්නාක් මෙන්, එවකට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි ඥාතියෙක් පුංචි බොරැල්ල සහ බොරැල්ල අතර වූ මේ ඉඩම අරගන්න කිව්වා කීය. සල්ලි තියෙන දවසක දෙන්න යැයිද කියා තිබිණි. අද මහල් හතකින් සමන්විත ඒ ‘ලේඩි-ජේ’ (Lady-J) ගොඩනැගිල්ල බිහි වීමේ අත්තිවාරම වැටුණේ එලෙසිනි. එතෙක් බැංකු ණයක් හෝ නොගෙන සිටි සුමනපාල යුවළ බැංකු ණයක් ගෙන මෙම ව්‍යාපාරය තවත් පුළුල් කළ අතර ඉඩම මිලදී ගත් ඥාතියාට මුදල්ද ගෙවා දැමීය. එදා මිනිසුන් විසින් ගාල්ලෙ කොටුවෙ කඩේ ලෙස නම් කළ ඒ විලාසිතා ව්‍යාපාරය ඉන්පසුව ‘ලේඩි-ජේ’ වූවේ කෙසේද?  
දූලා දෙන්නා වැඩිදුර අධ්‍යාපනයට ඕස්ට්‍රේලියාවට ගිහින් හිටියෙ. ලොකු දුවගෙ නම ජයනි, පොඩිදුව මංජරී. ලොකු දුවට ඇමැතුමක් දීලා මේ අලුත් සාප්පුවට දාන නම මොකක්ද කියලා ඇහුවා. එයා එකපාරටම කිව්වේ ‘ලේඩි-ජේ’ කියලා දාන්න කියලයි. කාන්තා විලාසිතා මුල්කරගෙන ඇරඹූ නිසා ලේඩි කියන නමත් ලොකු දුව ජයනි නිසා ජේ අකුරත් යොදාගෙන ඒ නම යෙදුවා. පොඩි දුවටත් සාධාරණයක් වෙන්න එපායැ. ඒ නිසා ගාල්ලේ සාප්පුවට ‘මංජරී’ කියලා නම දැම්මා. දැන් නුගේගොඩටත් මංජරී සාප්පුවක් විවෘතයි. එදා ගාල්ලෙ කොටුවෙ කඩේ අපි ලියාපදිංචි කරලා තිබුණෙ ‘මංජරි’ කියලයි.  


විලාසිතා මෙන්ම ගෙදර දොර උපකරණ සඳහා අලුත් මාවතක් විවර කරමින් සුමනපාල යුවළ ලේඩි ජේ සහ මංජරී විලාසිතාගාර බිහි කළේ ඒ අයුරිනි. මුලදී බැංකු ණයක්වත් නොගෙන මෙලෙසින් ව්‍යාපාරය දියුණු වීමේ රහස කුමක්ද? සුමනපාල නමැති ඒ අපූරු ව්‍යවසායකයාගෙන් අපි විමසීමු.  


‘අද බොහෝ දෙනා කරන්නෙ මුලින්ම කරන ව්‍යාපාරය මොකක්ද කියාවත් නොදැන බැංකු ණය මුලින්ම ලබා ගැනීමයි. අපි බැංකුවට ගියේ ව්‍යාපාරය පටන් ගෙන එක්තරා ස්ථාවර මට්ටමක ආ පසුවයි. අපට ඇත්තටම කා එක්කවත් තරගයක් තිබුණෙ නැහැ. ඒකට හේතුව අපි සියල්ල කළේ පාරිභෝගිකයා ගැන හිතලයි. කාලීනව සහ කාලයට මෙන්ම තාලයට ගැලපෙන විදියට අපි ඉදිකටුවේ නූල් බෝලයේ සිට පාරිභෝගිකයාට අවශ්‍ය දේ එකම වහලක් යටදී ඉතාම ලාභදායි මිලකට ගැනීමේ පහසුව සළස්වා දුන්නා. සුළු සේවකයාගේ සිට පරිපාලන නිලධාරිනියට සුදුසු මට්ටමේ විලාසිතා අපි අලෙවියට යොමු කළා. මුලදී ඒ නිසාම අපට ප්‍රශ්න ආවා. ඒත් ඒවාට සැලුණේ නැහැ. ජනතාව ගැන අප හිතූ නිසා ජනතාව අප කෙරෙහි විශ්වාසය තැබුවා. මම තරුණයින්ට කියන්නෙ ඉලක්ක ගොන්නක් නැතුව, කලබල නොවී හෙමින් ගමනකුත් නොවී වේගවත් ගමනකුත් නොවී මැද මාවතේ සැහැල්ලු ගමනක් යන්න. බලාපොරොත්තු ගොන්නක් තිබුණොත් ජීවිතය හරි බරක් වගේ දැනේවි.  

 

එසේ පවසන සුමනපාල සහ බිරිඳ ධර්මලතා යුවළ විලාසිතා ගැන තවත් අපූරු කතාවක් කීහ. 

 
අපි දෙන්නා සිටින්නෙ විලාසිතා කරන වයසක නෙවෙයි. ඒත් තාරුණ්‍යය ගැන නිතර අපි අවදියෙන් සිටියා. ඒ විලාසිතා වලට ඊර්ෂ්‍යා කරන්න අපි ගියේ නැහැ. මේ විලාසිතාව අඳින්න පුළුවන්ද? බැරිද? ගැලපෙනවද කියන දේ සහ ගන්නා මුදලට වඩා වටිනාකමක් තිබිය යුතුය යන්න කියලා අප විශ්වාස කළා.  


අනාගතය ගැන එලෙසින් හොඳ ඉවක් ඇති මේ යුවළ අද ව්‍යාපාර මත්තේම ජීවිතය කැප කරන්නෝ නොවෙති.  


 ‘අපෙන් පසුව මේ බැට්න් එක දරුවෝ බාරගත යුතුයි.’  

 


එනයින් අදහස් දක්වන මේ යුවළ අද මේ ව්‍යාපාර ජාලයේ කටයුතු දියණියන් දෙදෙනාට සහ ආදරණීය බෑණාවරු දෙදෙනාට බාර කර ඇත. හැකිතාක් දුරට පිං කටයුතුවල නිරතවීම, හැකි පමණින් උදව් කිරීම සහ බණ භාවනාදී කටයුතුවල නිරතවීමට අද මේ අපූරු අඹුසැමි යුවළ වඩා කැමැත්තක් දක්වති. බිරිඳට කිසිදා පිටුනොපෑ, එමෙන්ම බිරිඳද සැමියාට කිසිදා පිටුනොපෑ ගහට පොත්ත මෙන් බැඳුණු අඹු-සැමි යුවළකි. ඔවුන් ජීවිතය දකින්නේ කෙසේද?  


 මිනිස්කමට අපි ළෙන්ගතුයි. මේ රට තරම් අපූරු සුන්දර රටක් ලෝකයේ කොහේවත් නැහැ. මේ රටේ සියලුම දෙනා හරිම සුන්දරයි. දමිළ, මුස්ලිම්, බර්ගර් ජාති භේද අපට නැහැ. අපේ ව්‍යාපාරය හා නිරන්තරයෙන් බැඳී සිටින මුස්ලිම් ජනතාවක් එදා සිට අද දක්වා අපට සිටිනවා. පටු දේශපාලන හෝ වෙනත් අරමුණු ඇතිව ජාතිවාදය මේ රටේ වපුරන්න එපා කියන කාරුණිකව ආයාචනය කරන්න මම කැමැතියි. ඒ වගේම දූෂණය, නාස්තිය අපි ඔක්කෝම එකතු වී නතර කළොත් මේ රට ඉස්තරම්ම රටක් වේවි. අපට අපේ ජිවිත විතරක් සාර්ථකයි කියනවාට වඩා රට සාර්ථකයි කියනවා නම් ඒකට තමයි අපි වඩා කැමැති. ජීවිතය විඳින්නට තියෙන දෙයක්. සම්පත් ගැන ධනය ගැන හිතන්න ගියොත් හිත සැහැල්ලු වෙන්නේ නැහැ. තෘෂ්ණාව සහ ආසාවන් අඩු කරගත්ත තරමට ජීවිතය හරි නිදහස්. අපි දෙන්නගේ මේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් ආසාවන් ලොබ බැඳගෙන ආ ගමනක් නොවීම නිසයි.  


අභියෝග ගැන ඕනෑවට වඩා නොසිතා කළ යුතු දහමට අනුව මිනිස්කම පෙරදැරිව කටයුතු කළ අභියෝග ජයගත් සුමනපාල නමැති අපේ කාලයේ ව්‍යවසායකයා කතාව නිම කළේ එලෙසිනි.  


‘යහපත් ජීවන මාර්ගයක් ඇත්තෙකුට මුලින්ම ඇති වෙන්නේ අත්ථි සුඛය හෙවත් තමාට ඇතැයි යන සංතුෂ්ඨියයි. කිසිවෙකුගෙන් අපවාදයක් නොඅසා කයින් වචනයෙන් සහ මනසින් වරදක් නොකිරීම යනු අනවජ්ජ සුඛය ලෙස අනන සූත්‍රයෙහි ප්‍රකාශ වේ.’  


ලේඩි ජේ-මංජරී නිර්මාණය කළ සුමනපාල සහ බිරිඳ ව්‍යවසායකත්වයේ රැඳී සිටින්නේ ඒ දහමට අනුව යැයි ඔවුන්ගේ අදහස්වලින් ප්‍රකාශ වන්නකි.  

 

 

 

 

 

සටහන - සඳුන් ගමගේ