සාමසර කන්ද නාය යාමෙන් අසරණ වූ පිරිසක් තවමත් කුඩාරමේ


 

අරණායක සාමසර කන්ද නාය ගොස් අද වන විට අවුරුද්දයි මාස 8 ක කාලයක් ගත වී ඇත. එම ව්‍යසනය නිසා අවතැන් වූ පවුල් රැසකගේ නිවාස ගැටලුව වෙනුවෙන් විසඳුම් ලැබී තිබුණත් එයින් තවත් පවුල් බෙහෝමයක් අව් වැසි සහිත දේශගුණික තත්ත්වයන් හමුවේ ඉරී ගිය කුඩාරම් වලට ඉටි රෙදි වසා ගනිමින් කුලී වැඩ මෙන්ම ස්වයං රැකියාවන් වල නිරතවෙමින් ඉතා අපහසුවෙන් ජීවිකාව පවත්වාගෙන යන්නේ හිතේ කියා ගත නොහැකි වේදනාවකිනි. 


තම සහෝදරයන් මෙන්ම ඥාතීන් පවුලේ සමීපතමයන් මේ ව්‍යසනයෙන් ජීවිතය අත හැර ගොස් ඇති අතර පරම්පරාගත ඉඩම් මෙන්ම වෙහෙස මහන්සියෙන් ගොඩනගා ගත් නිවාස ඔවුන්ට නාය යෑමෙන් අහිමි විය. එමෙන්ම දැනට ජීවත්වන ඇඳිවත පමණක් ඉතිරිවූ මේ ජනතාවට ලැබීමට නියමිත නිවාස අරණායක ප‍්‍රදේශයේ ඉදි වී ඇති මුත් ඒවා මෙතෙක් ලබාදීමට බලධාරින් කටයුතු කිරීම ප‍්‍රමාද කිරීම හේතුවෙන් ජනතාවගේ මෙම ගැටලුව අප මාධ්‍ය හරහා පෙන්වා දීමට තීරණය කළේ එළඹෙන සිංහල අලුත් අවුරුද්දට කලින් මේ ජනතාව වෙනුවෙන් නිවාස ලබා දීමට ක‍්‍රමයක් සකස් කර දීම කඩිනම් කිරීම පෙරදැරිකොට ගෙනයි. 


අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් නිවාස 586 ක් අවශ්‍ය වූ අතර එම නිවාස ලබා දීමේදී අධි අවදානම් කලාපවල ජනතාව වෙනුවෙන්ද නිවාස ලබා දීමට රජය පියවර ගත්තේය. ඒ අනුව මෙම නිවාස සකස් කිරීමේදී පෞද්ගලික අංශ මෙන්ම දානපතියන්ගේ උදව් උපකාරයෙන් ද දේශපාලන ප‍්‍රධානීන් අතින්ද රජය මගින්ද පෞද්ගලික ධන පරිත්‍යාගශීලීන්ගේ අතින්ද නිවාස ඉදිකිරීම කඩිනමින් ආරම්භ වූ අතර එයින් නිවාස රැසක් කළුගල, වසන්තගම සහ තවත් සෙසු ස්ථාන රැසකම මෙ වන විට ඉදි කර ජනතා අයිතියට පත් කිරීම සිදු කර අවසන්ය. 


එනමුත් තවත් පවුල් 60 කට වැඩි පිරිසක් කුඩාරම් වල වසරකටත් වැඩි කාලයක් ජීවත් ​ෙවන්නේ අරණායක දිප්පිටිය නගරයේ ඇති විල්පොළ මෙන්ම දෙයියන්වල ප‍්‍රදේශයේ කුඩාරම් නිවාසවලයි. ඔවුන්ගේ නිවාස චීන ආධාර යටතේ සංවර්ධනය වන නව නිවාස ව්‍යාපෘතියෙන් ජනතාවට ලැබෙන අතර එහි ඉදිකිරීම් අවසන් කර මාස ගණනක් ගතවී තිබේ. එම නිවාස පිහිටා ඇත්තේ අරණායක උස්සාපිටිය රුවන්දෙණිය ප‍්‍රදේශයේය. 2017 ජනවාරි 16 වැනි දින මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කළ අතර ඒ සඳහා චීන රජය විසින් රුපියල් මිලියන 217 ක් වෙන් කර ඇති අතර එයින් නිවාස 100 ක් සෑදීමට එදින මුල්ගල තැබීය. 


ඒ අනුව මෙම නිවාස ව්‍යාපෘතිය නම් කර ඇත්තේ චීන-ලංකා මිත‍්‍රත්ව ගම්මානය ලෙසිනි. ජනතාව පවසන පරිදි මෙම ගම්මානයේ නිවාස ඉදි වී අවසන් කර ඇති අතර එය විවෘත කිරීමට ජනාධිපතිතුමා සහභාගි කර ගැනීමට දිනයක් ලබා ගැනීමට නොහැකි කම නිසා තවමත් මේ ගම්මානයේ ඉදිකර ඇති නිවාස තමන්ට ලබා දීමට කටයුතු කිරීමට ප‍්‍රමාදයක් ඇති බව කියයි. පසුගිය වසරේ කෑගල්ල දිස්ත‍්‍රික් සුනාමි සැමරුම් උළෙල දිප්පිටිය රාජගිරි මල්පා විහාරස්ථානයේදී පැවැත්වෙන විටද අරණායක ප‍්‍රාදේශීය ලේකම් ඉසඩ්.ඒ.එම්. ෆයිසාල් මහතා විසින් ද ජනාධිපතිවරයා මේ සඳහා සහභාගි කර ගැනීමට නොහැකි වීම මත මෙම නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීම ප‍්‍රමාද වී ඇති බව එම උත්සවයේදී පැවසීය. 

 

 


එවැනි කරුණු පදනම් කරගෙන මෙම නිවාස ලබා නොදීම නිසා තවමත් ජනතාව දිප්පිටිය විල්පොළ සහ දෙයියන්වල කඳවුරුවල කුඩාරම් අටවාගෙන මෙම පවුල් ඉතා අපහසුවෙන් දිවි ගෙවති. ඔවුන් මෙලෙස වසර දෙකකට ආසන්න කාලයක් මේ අපහසු ජිවිතය ගත කරන අතර ඔවුන් ජීවත්​ෙවන කුඩාරම් ඉතා අබලන් තත්ත්වයේ පවතී. වැස්සට තෙමෙන අව්වට වේලෙන මේ කුඩාරම්වල පාදම මේ වන විට දිරා ගොස් කුඩාරම් සව් කඩදාසි වලින් සෙවිලි කළාක් මෙන් දක්නට ලැබෙන අතර බොහෝ කුඩාරම් මෙ තත්ත්වය හමුවේ ඉටි රෙදිවලින් ආවරණය කර තබා ගනිමින් ජිවිකාව අපහසුවෙන් ගෙන යති. 


තවද මේ හේතුවෙන් කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් නිරන්තරයෙන් ලෙඩ දුක් කරදරවලට ලක් වෙන අතර පාසල් යන දරුවන්ට අධ්‍යාපන කටයුතුවල නිරත වීමටද මෙය කටුක පරිසරයකි. එහි ගිය අපට ජනතාව පවසන්නේ මෙලෙස මෙම නිවාස විවෘතයට දේශපාලන අධිකාරියේ අයගේ පැමිණීමේ දින කාල වකවානු වෙන් කොට උත්සව පවත්වා ලබා දීමට තව තවත් කල් ගතවීම හේතුවෙන් කුඩාරම්වල ජීවිතය තව තවත් දුෂ්කර වන බවයි. 


තම ඉඩම් දේපොළ ඇතුළු සහෝදර සහෝදරියන්, දරුවන්, ඥාතීන් අහිමි වී ගිය ඔවුන් වෙනුවෙන් ඇති වී තිබෙන මහත් වූ පීඩනය මෙන්ම කූඩාරම්වල ගෙවන පීඩනකාරී ජීවිතය තව තවත් ඉදිරියට රැගෙන යෑම මගින් බලධාරීන් සිදු කරන්නේ මහත් වූ වරදක් වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පසුගිය දිනක විල්පොළ කුඩාරම් වල ජීවත් වන ගැහැනු දරුවෙකු වැඩිවියට පත් වූ අතර ඔවුන් එහිදී අපහසුතා රැසකට මුහුණ පෑ බවද ඔවුහු පවසති. 


වැසිකිළි නිරන්තරයෙන් උතුරා යන බවත් අවට පරිසරය සනීපාරක්ෂාවක්ද නැති බව ඔවුහු කියති. මෙහි ජීවත් වන බොහෝ දෙනෙක් කුලී වැඩ කරමින් ඉතා අසරණව එදිනෙදා මුදල් සොයා ගනිමින් ජීවත් වන උදවියයි. 
නමුත් මෙම ජනතාවට චීන රජයෙන් හිමි වන නිවාසවල නිවසේ අංකය පවා ලබා දී ඇති බවද ඔවුහු පවසති. සියලු කුඩාරම්වල පිරිස් පවසන්නේ තමන්ට කඩිනමින් නිවාස ලබා දෙන ලෙසටයි. ඔවුන් සියලු දෙනා අලුත් අවුරුදු සමයට පෙර නිවාස බලාපොරොත්තුවෙන් සිටිති. 

 


ඔවුන්ගේ දුක් ගැහැට සොයා බැලීමට ගිය අවස්ථාවේ ඔවුන් අතර සිටි එන්.පී. නිශ්ශංක, ඒ.ජී. වසන්ත, පල්ලේභාගේ ඩබ්ලිව්. එම්. චමින්ද කුමාර ප්‍රෙ‌්මරත්න යන කුඩාරම් වල ජීවත්වන මහත්වරුන් මෙම තොරතුරු සොයා ගැනීමට අපට සහයෝගය දැක්වූ අතර ඔවුන්ගේ අදහස්ද මෙම ලිපිය සකස් කිරීමේදී අපට මහත් සේ උපකාරී විය. 


මේ සම්බන්ධයෙන් අප අරණායක ප‍්‍රාදේශීය ලේකම් ඉසඩ්.එම්. ෆයිසාල් මහතාගෙන්ද විමසීමක් කළ අතර එ් මහතා මෙසේ පැවසීය. 


මෙම චීන නිවාස ව්‍යාපෘතියේ වැඩ සියයට 95 ක් අවසන් වෙලා තිබෙනවා. නමුත් මේ ජනතාව කියන විදිහට මෙතන දේශපාලන ප‍්‍රශ්න ගැටලු නැහැ. අපිත් ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙනවා මෙකේ ඉතිරි වැඩ අවසන් වුණු වහාම මෙම නිවාස අප වෙත භාර දෙන්න කියලා ඒ අනුව ඉතිරි වැඩ ටික අවසන් වූ සැණින් අපි ජනතාවට මෙම නිවාස ලබා දීමට කටයුතු කරනවා. ඔවුන් කුඩාරම්වල ජීවත් වන අපහසුවත් අපි හොඳින් දන්නවා යැයිද එ් මහතා පැවසීය. එසේම මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස 60 ක් ඉදි කර ඇති බවද කීය. 


මෙම චීන නිවාස ව්‍යාපෘතියේ කළමනාකාර සෙනරත් සූරියදාස මහතා : ‘‘අපි මේ ව්‍යාපෘතිය දෙසැම්බර් 28 වැනිදා වන විට නිම කරලා ඉවරයි. දැන් අපිට වෙලා තියෙන්නේ විවෘත කරනකම් රැකගෙන ඉන්න. චීන රජය බලාපොරොත්තු වෙනවා මේක මේ රටේ ජනාධිපති ඇතුළු ප‍්‍රධානීන් අතින් විවෘත වෙනකම්. ඒ වෙනුවෙන් දිනයක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇති බව අපට දැන ගැනීමට ලැබුණා. ව්‍යාපෘතිය නියමිත පරිදි දෙසැම්බර් 28 වැඩ අවසන් වුණා’’ යැයි පැවසීය.

 

 

 

 

 

සටහන සහ ජායාරූප : මාවනැල්ල - හෙම්මාතගම 
සමන් විජය බංඩාර