සාගින්නෙන් මියගිය යේමන දැරිය


 

පුලිට්සර් සම්මානලාභී ඡායාරූප ශිල්පියකු වන ටයිලර් හික්ස් විසින් ගන්නා ලද ඡායාරූපයක් පසුගියදා නිව්​ෙ‌යා්ර්ක් ටයිම්ස් පුවත්පතේ පළ විය. එහි වූයේ යේමනයේ අස්ලම් නගරයේ ජංගම සායනයක යහනක් මත වැතිර සිටි දැඩි ලෙස මන්දපෝෂණයට ගොදුරු වූ ඉතා කෘෂ සිරුරකින් යුත් 7 හැවිරිදි දැරියකගේ රුවකි. එම ඡායාරූපය ලෝක අවධානයට පාත්‍ර වූ අතර 2015 සිට මේ දක්වා පවතින යේමන සිවිල් යුද්ධයේ බියකරු බව ලෝක නායකයන්හට අවධාරණය කිරීමටද සමත් විය.   


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා අනුව 2015 මාර්තුවේ සිට 2017 දෙසැම්බර් දක්වා යේමන සිවිල් යුද්ධයෙන් මියගිය පිරිස 14000කට ආසන්නය. යේමන රජයේ හිටපු ජනාධිපතිවරයා වන අබ්ඩ්‍රබු මන්සූර් හාඩි බලයෙන් පහකොට හවුති සන්නද්ධ කල්ලිය බලය අත්පත් කර ගත්තේය. මේ දෙපිරිස අතර පවතින සිවිල් යුද්ධයේ බලපෑමෙන් ඇති වූ දුර්භික්ෂයෙන් 50,000කට අධික පිරිසක් මරණයට පත් වී තිබේ. මිලියන 13කට අධික පිරිසක් ආහාර හිඟයෙන් පීඩා විඳින අතර ගෙවුණු වසර 100 තුළ ඇති වූ බියකරුම දුර්භික්ෂය මෙය බැව් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.   


ඡායාරූපයෙන් දැක්වුණු දැරිය අමල් හුසෙන්ය. යේමන සිවිල් යුද්ධය මත නිර්මාණය වූ දුර්භික්ෂයෙන් පීඩාවට පත් දරුවන් සංඛ්‍යාව මිලියන 1.8කි. අමල් හුසේන් දැරියද මේ බියකරු යුද්ධයේ එක් ගොදුරක් වූවාය. ටයිලර් හික්ස්ට අමල් හමු වූයේ ඇය යේමනයේ අගනුවර වන සනාආ නගරයේ සිට කිලෝමීටර 90ක් පමණ ඈතින් පිහිටි අස්ලාම් නගරයේ ජංගම රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. ඒ වන විටත් ඇය සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක නියැළෙමිනි. සෑම දෙපැයකටම වරක් හෙදියක ඇගේ මුවට කිරි ස්වල්පයක් වත් කළද ඒ සියල්ල වමනය කළ අතර පාචනයටද ගොදුරු වී සිටියාය. ඇයට ප්‍රතිකාර කළේ වෛද්‍ය මෙකියා මහදිය. ඇය අමල්ගේ දරකෝටු බඳු අත්වලින් අල්ලාගෙන ප්‍රකාශ කළේ ‘කටු විතරයි. ඇඟේ මස් කළඳක්වත් නැහැ’ කියාය.   


අමල්ගේ මවද තදබල ලෙස රෝගීව සිටියාය. ඩෙංගු රෝගයෙන් පීඩා විඳිමින් සිටි ඇයද සිටියේ අමල් සිටි ජංගම රෝහලේ ප්‍රතිකාර ලබමිනි. ඔවුන් රැඳී සිටි අනාථ කඳවුරේ අධික මදුරු ගහණය හේතුවෙන් බොහෝ දෙනකු ඩෙංගු රෝගයට බිලි වී තිබිණි.   

 

අමල් හුසෙන්

 


මින් වසර තුනකට ඉහත යේමනයේ කඳුකර ප්‍රදේශයක ජීවත් වූ අමල් ඇතුළු පවුලේ සාමාජිකයන්හට අනාථ කඳවුරක වාසයට යෑමට සිදු වූයේ, හාඩි ජනාධිපතිවරයාට සහය පිණිස හවුති සන්නද්ධ කල්ලියට එරෙහිව සෞදි අරාබිය හා එක්සත් අරාබි එමිරේටස් රාජ්‍යය සන්ධානගතව යේමනයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙනි. 2015 සිට සෞදි ගුවන් හමුදා විසින් යේමනයට ගුවන් ප්‍රහාර 18000ක් එල්ල කෙරුණු අතර යේමන වැසියන් 56,000ක් මරුමුවට පත්ව තවත් විශාල පිරිසක් සරණාගතයන් බවට පත් වූහ.   
අමල් යන්නෙහි අරුත අපේක්ෂාවය. අමල්ගේ ඡායාරූපය දුටු බොහෝ පිරිසකගේ අපේක්ෂාව වූයේ ඇය සුවපත් වනු දැකීමය. අමල්හට ප්‍රතිකාර කළ ජංගම රෝහලට විශාල වශයෙන් රෝගීන් පැමිණීම හේතුවෙන් ඔවුනට ඉඩ සලසනු සඳහා ඇය රෝහලින් මුදාහැරීමට වෛද්‍යවරුනට සිදු විය. රෝහලින් මුදාහැරි අවස්ථාවේ වෛද්‍ය මෙකියා මහදි අමල්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ තම රෝහල ජංගම රෝහලක් බැවින් එම ස්ථානයේ සිට කිලෝමීටර 15ක් දුරකින් පිහිටි සීමාමායිම් නොමැති වෛද්‍යවරුන්ගේ රෝහල වෙත දැරිය රැගෙන යන ලෙසය. එහෙත් අමල්ගේ මව්පියන්ට ඒ සඳහා ආර්ථික ශක්තියක් නොවිණි. එහෙයින් ඔවුහු දැරිය අනාථ කඳවුර වෙත රැගෙන ගියහ.   
සහන සේවකයන් විසින් සපයන ලද පිදුරු මෙට්ටයක ඇය වැතිර සිටියාය. එහෙත් ඇයට එහි ජීවත් විය හැකි වූයේ තෙදිනක් පමණි. රෝහලින් මුදාහැර දින තුනකට පසු එනම් පසුගිය ඔක්තෝබර් 26 දින දැරිය මෙලොවින් සමුගත්තාය.   


අමල්ගේ මරණය ඇගේ මව වන මාරියම් අලිට දරාගත නොහැකි ශෝකයක් උරුම කළේය. “මගේ හදවත හඬා වැටෙනවා. කොතරම් කුසගින්නෙන් පීඩා වින්දත් අමල් හැම විටම සිනාමුසු මුහුණින් සිටි දැරියක්. මගේ අනිත් දරුවන්ගේ ඉරණම කොහොම වේවිද කියා මට සිතාගත නොහැකියි.” ඇය කියා සිටියාය.   


අමල්ගේ මරණය සිවිල් යුද්ධය හේතුවෙන් මිය ගිය දහසක් දරුවන් අතරින් එක් සිදුවීමක් පමණක් වුවද එය යේමනයේ පවතින යුද්ධයේ කෲරත්වය ලොවට හඬගා පවසන්නට සමත් විය. යේමනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා සෞදි අරාබියට අවි සපයන ප්‍රධාන රටවල් වන්නේ ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යයයි. මේ වන විට ඔවුහු සටන් විරාමයකට සුදානම් වෙති. ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස්ට අනුව ඉදිරි දින 30 තුළ ඔවුන් ඒ පිළිබඳව සලකා බැලීමට නියමිතය. කඩිනමින් ආහාර තොග විශාල ප්‍රමාණයක් යේමනයට අවශ්‍ය යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබේ.

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා