සහල්වලින් රට ස්වයංපෝෂිත කරන්නේ කොහොමද ?


ශ්‍රී ලංකාව පෙර අතීතයේ හැඳින්වූයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසයි. එයට ප්‍රධාන හේතුව වූයේ ශ්‍රී ලංකාවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මාන්තය වීමත් අවශ්‍ය තරම් බත සැපයීමට ගොවියා සමත් වූ නිසාත්ය. 


එකල ජනගහනය අද තරම් ව්‍යාප්ත ​ෙනාවුණද බොහෝ දෙනෙක් කෘෂිකර්මාන්තයේ නියැළෙමින් තුන් වේලම බත බුලතින් සරුසාර කිරීමට සමත් වූහ. කාලයාගේ ඇවෑමෙන් ජනගහනය වර්ධනයවීමත් කෘෂි කර්මාන්තයෙන් ඈත්වීමත් දියුණු වන ලෝකයත් සමග බොහෝ දෙනෙකු වෙනත් රැකියා සඳහා යොමුවීමත් කෘෂි කර්මාන්තයට ද බෙහෙවින් බලපෑවේය. 


කෘෂි කර්මාන්තයට කණ කොකා හැඬීමත් සමග බොහෝ දෙනෙක් තුන් වේලටම කෑ බත් පත වෙනුවට වෙනත් අල භෝග වර්ගවලට ද පුරුදු වූහ. ක්‍රම ක්‍රමයෙන් ජනගහනය වර්ධනය වීමත් රටේ ජනතාව කාර්යය බහුල වීමත් නිසා තුන් වේලට බත් කෑ ජනතාව අද එදිනෙදා කුසගින්න නිවා ගැනීමට කුමන හෝ කුඩා ආහාරයකින් සප්පායම් වෙයි. පෝෂණය අඩුවීමෙන් මේ නිසා අද කුඩා දරුවාගේ සිට වැඩි මහල්ලා දක්වාම විවිධ වූ රෝගවලට මුහුණ පා සිටිති. 


අලුයම අවදි වී නඟුල, උදැල්ල අතට ගන්නා ගොවියා තම කුඹුරට බැස සිය කාර්යයයේ නිරත වූහ. දින ගණනාවකට පසු කිරි වැදුණු බණ්ඩි ගොයම දැක ඔවුහු අපමණ සතුටක් ලැබූහ. ඔවුන් කිසි විටකත් කෘෂි රසායනික ද්‍රව්‍යවලට පුරුදු නොවුණත් කෘමීන්ගෙන් ද දැඩි බලපෑමක් නොවීය. වර්තමානයේ වැඩි අස්වනු සඳහා විවිධ කෘෂි රසායන භාවිත කළ ද අස්වැන්න වැඩි කර ගැනීමටත් සිය කාර්යයන් පහසු කර ගැනීමටත් විවිධ රසායනික ද්‍රව්‍යවලට යොමු වී සිටිති. මේ නිසා සෑදෙන ලෙඩ රෝග ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. 


කෙසේ වෙතත් වසර 2500 කටත් වඩා වැඩි ඉතිහාසයක් ඇති අපේ රටට පෙරදිග ධාන්‍යාගාරය ලෙස ගෞරව නාම ලැබුවද අද ඒ ධාන්‍යාගාරයට සිදු වී ඇත්තේ කුමක්ද? ධාන්‍යාගාරය අද සිඳී ගොස්ය. 


එය පිරවීම සඳහා මේ වන විට පිට රටවලින් සහල් අානයනය කිරීමට සිදු වී තිබේ. මේ තත්ත්වයට බලපෑ හේතු මොනවාද? මේ පිළිබඳ අප කෘෂි කර්මාන්තයේ නිරත හා ඒ හා සම්බන්ධ කිහිප දෙනෙකුගෙන් අදහස් විමසා බැලුවෙමු. 


අපේ රට සහල්වලින් ස්වයංපෝෂිත කළ නොහැකිද? අප සමස්ත ලංකා ගොවි ජන සංවිධානයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාගෙන් විමසීමු. 


අපේ රට යළි සම්පූර්ණයෙන්ම සහලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන්. බැරිකමක් නැහැ. සහල් එක් ඇටයක් හෝ විදේශ රටවලින් ආනයනය කළ යුතු නැහැ. ඒක ඉතා වගකීමෙන් මම ප්‍රකාශ කරන්නේ. පසුගිය වසරේ දෙසැම්බර් 30 වනදා විගණකාධිපතිතුමන් ඉදිරිපත් කළා වාර්තාවක් සහල් පිළිබඳව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට. 


එ් වාර්තාවට අනුව 2017 වසර ආරම්භයේ දී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 16 ක් රට තුළ තිබෙනවා. ඊට පසු පසුගිය මහ කන්නයේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 16 ක් තිබෙනවා. යල කන්නයේ සැලකිය යුතු අස්වැන්නක් ලැබුණා. ඔය අතරේ තමයි විදේශ රටවලින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයක් ආනයනය කළේ. 


අප මාසයකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයක් තමයි පරිභෝජනය කරන්නේ. විගණන වාර්තාවට අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 26 ක් පමණ ප්‍රමාණයක් තිබෙනවා. රට තුළ යල කන්නයෙන් අස්වැන්න එකතු වුවාට පස්සේ කොහොමත් මෙට්‍රික් ටොන් 30 කට වැඩි අස්වැන්නක් මේ අවුරුද්දේ රට තුළ තිබුණා. අප අවුරුද්දටම මෙට්‍රික් ටොන් 24 ක වගේ ප්‍රමාණයක් තමයි පරිභෝජනය කරන්නේ. එහෙම නම් යල කන්නයේ අස්වැන්නත් සැලකිල්ලට ගත් පසු ලබන අප්‍රේල් පහුවෙනකම් සහල් හිඟයක් නැහැ. එතකොට සහල් ඇටයක්වත් රටින් ගෙන එන්න අවශ්‍ය නැහැ. මේක තමයි සත්‍ය තත්ත්වය. 


එහෙම නම් අැයි රටින් සහල් ආනයනය කරන්නේ. මේ සහල් කොහෙද තිබෙන්නේ. ඇයි රට සහලින් ස්වයංපෝෂිත කරන්න බැරි. සහල් ඇයි මේ තරම් මිල අධික. මේ සහල් ති​ෙබන්නේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන මහා පරිමාණ සහල් මෝල් තුනක් සතුවයි. ඒ අය සමග තවත් සහල් මෝල් කිහිපයක් අතර තමයි මේ සහල් තිබෙන්නේ. රජයේ ගබඩාවල සමස්ත වී නිෂ්පාදනයෙන් 5% ක් හෝ 6% ක ප්‍රමාණයක් ද ගබඩා වෙනවා. එතකොට අපේ රටේ පනත් දෙකක් තිබෙනවා. එකක් පාරිභෝගික සේවා අධිකාරී පනත. අනික 1971 අංක 17 දරන වී අලෙවි මණ්ඩල පනත. මේ පනත් දෙක අනුව සහල් හෝ වී සඟවා තබා ගැනීමට හෝ රඳවා තබා ගැනීමට කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැහැ. ඒක නීති විරෝධියි. ඒ පනත් දෙකට අදාළව ආණ්ඩුවට පුළුවන් මෙය පාලනය කරන්න. හැබැයි ආණ්ඩුව ඒක කරන්නේ නැහැ. 


අනික් කාරණය තමයි මේ සහල් මේ වී අර ගත්තේ රුපියල් 28 ත් 35 ත් අතර මිලකට. පසුගිය මාස් කන්නයට කලින් ඔය කියන මහ පරිමාණ සහල් මෝල් හිමියන් විසින්. ඒ අය වසරක පමණ කාලයක් සිට පරණ වී තමයි සහල් බවට පත් කරලා වෙළෙඳපොළට එවන්නේ. එතකොට සහල් පරණ වුණාම ඒ සහල් බරවීමක් වන්නේ නැහැ. මහ පරිමාණ හෝටල් ඒ සහල් මිලදී ගත්ත වී සහල් බවට පත් කළාම රුපියල් 64 ක වගේ මිලකට අලෙවි කරන්න පුළුවන් මිල සූත්‍රයක් තිබෙනවා. අන්න ඒ සූත්‍රයට අනුව අපේ රට සහල් වලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන්. 


නමුත් නිසි ක්‍රමවත් වැඩ පිළිවෙළක් නොමැතිකම තමයි මෙයට ප්‍රධාන හේතුව. කුමන රජයක් බලයට පත් වුවත් ගොවියා අධෛර්යමත් කරන ක්‍රමයක් තමයි ක්‍රියාත්මක වන්නේ. මොකද දැන් බලයේ සිටින ඇතැම් අය කුඹුරු ගොඩ කරන්න උත්සාහ ගත්ත අය. එදා ඇතැම් අය ප්‍රකාශ කළේ වී වගා කිරීම අපරාධ වැඩක් බව. ඒ වෙනුවෙන් කරන වියදමත් මහන්සියත් අපරාධයක් බව ප්‍රකාශ කළා. ඊට වඩා ලාභදායකයි රටින් සහල් ආනයනය කරන එක කියලා සඳහන් කළා. ඉතින් එහෙම ති​ෙයද්දි තමයි පිටරටින් සහල් ගෙන එන්නේ. මෙතනදී රජය මැදිහත්වෙලා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ගොවීන්ට සහන ලබාදීලා ඔවුන්ගේ නිෂ්පාදන මට්ටම ඉහළ නංවා ඒ නිෂ්පාදන සෘජුවම රජය මිලදීගෙන වෙළෙඳපොළට නිකුත් කරනවා නම් රට නැවත සහලින් ස්වයංපෝෂිත කළ හැකියි. ඒක බැහැයි කියලා කියනවා නම් එය කඩාකප්පල් කරන පිරිසකගේ ක්‍රියා කලාපයක්. ඒක නැවැත්වීමට ආණ්ඩුව ක්‍රියා කරලා රටේ ජනතාව අතර තුන් වේලටම බත් ආහාරයට ගැනීමේ ක්‍රමයක් සකස් කළ යුතුයි. 


තුන් වේලටම බත් ආහාරය ගත් ජනතාවක් සිටි අපේ රටේ ක්‍රමයෙන් එය බැහැර කිරීම කනගාටුවට කරුණකි. අදටත් ඇතැම් පළාත්වල ජනතාව තුන් වේලටම බත ආහාරයට ගැනීම සිදුවුවත් නාගරික පළාත්වල ජනතාව කාලයත් සමග කරන සටන නිසා ඔවුනට එක වේලකට හෝ බත සපයා ගැනීමද අපහසු වී තිබෙනවා. 


​ෙම් සම්බන්ධයෙන් එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමයේ මුදිත පෙරේරා මහතාගෙන් විමසීමක් කළෙමු. 


ඔහු සඳහන් කළේ ගොවීනට පමණක් සම්පූර්ණ කැපවීමක් තිබුණද පවතින ආණ්ඩුවලට ද මෙහි විශාල කාර්යභාරයක් පැටවෙන බවයි 


අනිවාර්‌යෙන් සහලින් රට ස්වයංපෝෂිත කළ හැකියි. ගොවීන් සෑහෙන උනන්දුවක් හා කැපවීමක් ඒ සඳහා කරනවා. මම උදාහරණයක් පෙන්වන්නම්. 1993 වසරේ පැවති මැතිවරණයෙන් රජය බලයට පත් වුණේ රට සහලින් ස්වයංපෝෂණය කරනවා කියලා නොවෙයි රුපියල් 3.50 ට පාන් දෙනවා කියලා. මැතිවරණ වේදිකාවේ එය තමයි ප්‍රධාන මාතෘකාව. 


අපේ රටේ නායකයන්ට නිසි ආකාරයේ දැක්මක් තිබෙන්න ඕනෑ. රට ස්වයංපෝෂිත කරනවා සහලින් කියන එක ගැන අපි දකින ආකාරයට කිසිදු අයකුට එවැනි දැක්මක් නැහැ. රජයේ ප්‍රතිපත්ති නිසා තමයි සහලින් ස්වයංපෝෂිත කර ගැනීමට අපහසු වෙලා තිබෙන්නේ. 


මේ වෙද්දී පිටි පරිභෝජනය ඉහළ ගොස් තිබෙනවා. සහල් පරිභෝජනය පහළට වැටිලා. රටින් සහල් ආනයනය කරන තත්ත්වයට පත් වුණේ රජයට නිසි ප්‍රතිපත්තියක් ​ෙනාතිබුණ නිසයි. පෙර අතීතයේ වගේ රට සහලින් ස්වයංපෝෂණය කරන්න පුළුවන්. නිසි වේලාවට ගොවීනට පොහොර හා ජලය නිකුත් කරන්නේ නම් ගොවීන් වී වගාවට යොමු වෙන බවත් ඔවුන්ගේ නිෂ්පාදනය මිලදී ගැනීමට ද රජය මැදිහත් වන්නේ නම් ඕනෑ තරම් සහල් නිෂ්පාදනය කළ හැකියි. අපි දකින ආකාරයට කිසිදු බලධාරි​ෙයක් ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ නැහැ. 


ආණමඩුව සහල් මෝල් හිමියන්ගේ සංගමයේ කේ.ඒ.ඩී. අභයකිර්ති මහතා සඳහන් කළේ සහලින් රට ස්වයංපෝෂිත කරන්නට කිසිදු බාධාවක් නොතිබුණ බවයි. 


මේ වන විටත් පරිභෝජනයට අවශ්‍ය පරිදි සහල් තොග තිබෙනවා දැන් බලන්න සහල් තොග රැස් කිරීමට මත්තල ගුවන් තොටුපළේ තිබෙන යම් යම් ගොඩනැගිලි පවා භාවිත කළා. ඉතින් ඒකෙන්ම පෙනෙනවා සහල් තොග තිබෙනවා. රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒකේ තර්කයක් නැහැ. නමුත් ක්‍රමවත් වැඩපිළිවෙළක් නැතිකමයි ගැටලුව. 


වැව්වල ජලය පවතිද්දී ජලය ගොවීන් වෙත ලබා දුන්නේ නැහැ. ඒකෙන් කුඹුරු කිරීම අතපසු වුණා. ගොඩ භෝග වැවීමට උනන්දු කළා. ගොවීන්ට වැව්වල ජලය තිබියදී තවමත් අපි දන්න විදිහට සහල්වලින් රට ස්වයංපෝෂිතයි. ඔය ගබඩා වල තිබෙන වී තොග සහල් බවට පත් කරලා වෙළෙඳපොළට නිකුත් කරනව නම් ඕනෑ තරම් සහල් තොග තිබෙනවා. 


රට සහලින් බතින් ස්වයංපෝෂිත වූ කාලය යළිත් උදා කර ලීමට අපහසු නැතැයි හිටපු කෘෂි කර්ම අමාත්‍ය දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පැවසීය. ඔහු සඳහන් කළේ නැවතත් ඒ තත්ත්වයට පත් කිරීමට හැකියාවක් ඇති බවයි. 


ස්ථිර වශයෙන්ම යළිත් සහල්වලින් රට ස්වයං පෝෂිත කිරීමට පිළිවන්. අපේ රට සහලින් ස්වයං පෝෂිත කිරීම ඉතා පහසු කාරණයක්. 


ඒකට අපි කරුණු 3 යි මුල් කර ගත යුත්තේ. පළමු වැනි කාරණය තමයි යල මහ කන්න දෙකත් මැද කන්නයත්. ඔය මැද කන්නය කියන එකේදී බොහෝ ගොවීන් වගා කරන්නේ නැහැ. මැද කන්නයක් වගා කරන්න ඕනෑ. යම් කිසි විදිහට මැද කන්නයේදී වී වගා කිරීමට අකමැති නම් මුං, මෑ, උඳු, කවුපි, තල වගේ දෙයක් වගා කළ යුතුයි පස සාරවත් වෙන්න. 


ඊළඟට අපේ දේශීය වී වර්ග ගොවින් අතර ජනප්‍රිය කළ යුතුයි. මොකද හේතුව ඒ වී වර්ග වලට කෘෂි රසායන අවශ්‍ය නැහැ. විශේෂයෙන් පෞරාණික වී වර්ග ගොවීන් අතර ජනප්‍රිය කළ යුතුයි. ඒවා ඒ ආකාරයෙන් වගා කරගෙන යා යුතුයි. 


ඊට අමතරව කාබනික කෘෂි කර්මාන්තයට යෑමට අකමැති අයෙක් සිටිනවනම් සාමාන්‍යයෙන් කෘෂි රසායනික ද්‍රව්‍ය යොදලා පසුගිය දවස්වල වගේ වගා කළ යුතුයි. මේකේ තිබෙන පළමු වැනි කාරණය තමයි මේ බීජ ටික නිසි වෙලාවට ගොවියාට ලබා දෙන්න ඕනෑ. 


​ෙපාහොර ටික ලැබෙන්න ඕනෑ. අනිකුත් මූලික යෙදවුම් ලබා දෙන්න ඕනෑ. ඒත් එක්කම ගොවියාගේ වීවලට හොඳ සහතික මිලක් ලබා දෙන්න ඕනෑ. 


වී මිලේ ස්ථාවර මිලක් පවත්වාගෙන යා යුතුයි. ඒක රජයේ කාර්ය භාරයක් ලෙසයි මම දකින්නේ. ඕනෑම රජයක් වරායවල් හදනවා. ගුවන්තොටුපළවල් හදනවා. මං මාවත් වගේම විශාල විශ්ව කර්ම වැඩ කරනවා. නමුත් ගොවියාගෙන් මිලදී ගන්න වී ටික රැස් කරන්න ගබඩා ඉදි කරන්නේ නැහැ. ඒවා ඉදි කරන්න ඉතා සුළු අමු ද්‍රව්‍ය ප්‍රමාණයක් යන්නේ. 


මේ වී මිලදී ගැනීමට රජය මැදිහත් වෙලා 100% ක්ම මිලදී ගන්නවා නම් මේ ගැටලුව අවසන්. දැනට තිබෙන ගබඩා පහසුකම් අනුව රටේ මුළු නිෂ්පාදනයෙන් රජයට මිලදී ගැනීමට හැකි වී ඇත්තේ 9% ක පමණ ප්‍රමාණයක් පමණයි. එය 60 % ක් දක්වා වත් වැඩි කළ යුතුයි. 


රටේ මුළු වී නිෂ්පාදනයෙන් 60 % ක් රජය මිලදී ගන්න සූදානකම්වනවා නම් පුද්ගලික මෝල් හිමියා රජයේ මිලට වඩා වැඩියෙන් මිලදී ගන්නවා. ඒ සහතික මිල ගොවියාට ලැබෙන කොට ඔවුන් වගා කරනවා. 


එ් කාලයේ වයඹ පළාතේ නියං කාලයක් පැවතුණා. ඒක අපි පිළිගත යුතුයි. නමුත් අපි බලන්න ඕනැ ගණනය කරලා කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට වගා නොකළ කුඹුරු කොපමණ තිබෙනවා ද කියලා. දැන් නියඟය පැවතුණේ වයඹනේ. දකුණේ එහෙම තත්ත්වයක් තිබුණේ නැහැනේ. අනික් සෙසු පළාත්වල තිබුණෙත් නැහැ. එතකොට අපි සොයා බැලිය යුතුයි ඇයි ඒ පළාත්වල නිෂ්පාදන පහතට වැටුණේ කියලා. 


එක එක කාලවලදී මේ රටේ වී වගාව වැඩියි. විශේෂයෙන් මේ රජය යටතේ ඒක ජාත්‍යන්තරයත් නිරන්තරයෙන් කියන ප්‍රකාශයක්. වී වගා කරන්න එපා. මෙච්චර ප්‍රමාණයක් වගා කළ යුතුයි. අතිරික්ක වී වලට මොනවද කරන්නේ ආදි වශයෙන් ඒක මහ මුසාවක්. අපට වී අතිරික්තයක් තිබුණහොත් ඒ වී අපට අපනයනය කරන්න පුළුවන්. 


අනික දැන් තිබෙන වැඩි දියුණු කළ වී වර්ගවලට පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය යොදන්න ඕනෑ. අස්වැන්න අක්කරයක බුසල් 110 නොවෙයි අක්කරයකට බුසල් 130-140 ක් වැනි ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. වී වගාව බොහොම ලාභදායි වගාවක්. ගොවි උපකරණ පොහොර වැනි දේ සහන මිලට තව දුරටත් ලබාදීලා පිට රටින් ගෙනෙන ආහාර තොග නතර කරලා අතිරික්ක වී වලින් වෙනත් දෙයක් සඳහා ප්‍රයෝජන ගත යුතුයි. මේ සහල්වල නිවුඩ්ඩෙන් තෙල් ලබා ගන්න අපට පුළුවන්. ඒ තෙල් වලට ලෝකයේ විශාල ඉල්ලුමක් තිබෙන මිල අධික තෙල් වර්ගයක්. මේවා කිසිවක් සැලසුම් සහගතව නොකෙරෙන කොට තමයි වී පිට රටින් ගෙන එන්න සිද්ධ වෙන්නේ. එ්ක නිසා ජනතාවට සහල් වලින් ගන්නා ප්‍රයෝජන පිළිබඳ ඔවුන් දැනුම්වත් කළ යුතුයි. අතීතයේ වගේ තුන් වේලටම බත් අනුභව කිරීමට ජනතාව නැඹුරු කළ යුතුයි. ඔය පිටි සහිත ආහාර වර්ග අනුභවය සීමා කළ යුතුයි. ඔය වැනි දේවල්වලට රජය අවධානය ​ෙයාමු කරලා වී නිෂ්පාදනය කරලා ජනතාව ඊට නැඹුරු කරලා කටයුතු කළ හොත් සහල් වලින් රට ස්වයංපෝෂිත කළ හැකියි. 


කෙසේ වෙතත් සහල්වලින් පෝෂිත වුවත් එය ප්‍රයෝජනයට ​ෙනාගන්නේ නම් එහි නිසි ප්‍රයෝජනයක් නැත. මේ නිසා සහල්වලින් රට ස්වයංපෝෂිත කර ගන්නා සේම බත් ආහාරයට ගැනීමට ජනතාව පෙළඹවිය යුතු නොවේද?

 

 

 

 

 

 

 

නිශාන්ත කුමාර බණ්ඩාර