සයිටම් විරෝධී සටන ගැන යාපන සරසවියේ නම් ලොකු පිබිදීමක් නෑ


මෙවර සරසවි සිසු හ​ෙඬන් සාකච්ඡා වේදිකාව විවෘත වන්නේ යාපනය විශ්වවිද්‍යාලයයි. සයිටම් අර්බුදය කේන්ද්‍ර කොටගෙන පැන නැගී ඇති ශිෂ්‍ය අරගලයෙහි යාපනයේ භූමිකාව ගැනත්, විශ්වවිද්‍යාලයේ වර්තමාන තත්ත්වය ගැනත්, උතුරු සමාජයේ සිදුවන වැදගත් දේශපාන හා ආරක්ෂක ක්‍රියාකාරකම් විශ්විවිද්‍යාලයේ කටයුතුවලට බලපාන ආකාරය පිළිබඳවත් මේ ආදී කාරණා ගැන අදහස් දක්වන්නට ඉදිරිපත් වූයේ එම විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන මහා ශිෂ්‍ය සංගමයේ සාමාජික තනුජ් දයා ශ්‍රී ගමගේ ශිෂ්‍යාය.  


ප්‍රශ්නය - අනෙක් විශ්වවිද්‍යාලවල ශිෂයෝ මේ වෙන කොට සයිටම් විරෝධී අරගලයත් එක්ක එකාත්මික වී ඉන්න බවක් පෙනෙන්න තිබෙනවා. මේ සම්බන්ධව යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ අතර තියෙන පිබිදීම මොන වගේ ද?  
පිළිතුර - ලංකාවේ වෙන විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව යාපනය විශ්වවිද්‍යාලයේ ඒ ගැන වන උනන්දුව ටිකක් අඩු මට්ටමක තියෙන්නෙ. ඒ කොහොම වුණත් අපේ කැම්පස් එකේ වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්නා ශිෂ්‍ය සහෝදර සහෝදරියෝ නම් ඒ ගැන ලොකු උනන්දුවක් දක්වනවා. ඒ ගොල්ලො උද්ඝෝෂණයක් පවා කළා. පොදුවේ කැම්පස් එක තුළේ තවම සයිටම් විරෝධී සටන ගැන ලොකු පිබිදීමක් නෑ.  


ප්‍රශ්නය - මේ සයිටම් විරෝධී අරගලයේ දී අනෙක් විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගමේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් එක්ක සම්බන්ධවෙලා සටන් ක්‍රියා මාර්ග තෝරන බවක් අපි දකිනවා. යාපනයේ මහා ශිෂ්‍ය සංගමයක් ඒ අතර වෙනවා ද?  


පිළිතුර - මේ දක්වා සම්බන්ධවීමක් තිබුණෙ නෑ. අන්තරයට සම්බන්ධ වෙන්නෙ නැතුව වුණත් වෛද්‍ය පීඨය යම් යම් ක්‍රියාමාර්ග ගත්තා මේ සම්බන්ධව. අන්තරය අපේ මහා ශිෂ්‍ය සංගමය එක්ක සම්බන්ධයක් නෑ. කොහොම වුණත් අන්තරයේ කැඳවුම්කරු අද අපේ කැම්පස් එකට එනවා මහා ශිෂ්‍ය සංගමයත් එක්ක මේ ගැන කතා කරන්න.  


ප්‍රශ්නය - සයිටම් ආයතනයට විරෝධය පළ කිරීමක් හැටියට අනිත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අධ්‍යයන කටයුතුවලින් ඉවත්වෙලා ඉන්න බවක් දකින්න ලැබෙනවා. යාපනයේ වෛද්‍ය පීඨයෙත් එහෙම තත්ත්වයක් තියෙනවාද?  


පිළිතුර - දැනට අපේ වෛද්‍ය පීඨය වහලා තියෙන්නේ. නමුත් සමසෞඛ්‍ය පීඨය අැරලා තියෙන්නෙ.  


ප්‍රශ්නය - සයිටම් ප්‍රශ්නය නිසා නිදහස් අධ්‍යාපනයටයි නිදහස් සෞඛ්‍යයටත් බරපතළ තර්ජනයක් ඇති වෙලා කියන මතය දකණේ සමාජයේ වේගයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. උතුරෙ තත්ත්වය කොහොමද?  


පිළිතුර - සයිටම් එකට විරුද්ධව මොනවත් නොකළත් බහුතර ශිෂ්‍ය ප්‍රජාව ඒක වැරැදියි කියන මතයේ ඉන්නවා.  


ප්‍රශ්නය - විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට ඔබ ඒ ගැන දරන මතය මොකක්ද?  


පිළිතුර - මේ සයිටම් ආයතනය නිසා නිදහස් අධ්‍යාපනයටයි, නිදහස් සෞඛ්‍යයටයි බරපතළ තර්ජනයක් වෙනවා කියන මතයේ මමත් ඉන්නෙ.  


ප්‍රශ්නය - යාපනය විශ්වවිද්‍යාලෙ තියෙන ශිෂ්‍ය සුබසාධක ප්‍රශ්නවල ස්වභාවය මොන වගේද?  


පිළිතුර - දැනට අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි නේවාසික පහසුකම් පිළිබඳ ප්‍රශ්නය. අපිට හොස්ටල් ලැබෙන්නේ පළමුවෙනි දෙවෙනි අවුරුදුවල දී විතරයි. යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල, ශිෂයෝ 1500ක් විතර සිටිනවා. නවතින්න ගෙවල් හොයා ගන්න එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය. කුලියට දෙන ගෙවල්වල ගාණත් වැඩියි. ඊළඟට අපිට මෙහෙ තියෙන කෑමත් ඔරොත්තු දෙන්නෙ නෑ. කැම්පස් එකේ තියෙන කැන්ටින්වල කෑමත් ගණන් වැඩියි.  


ප්‍රශ්නය - ශිෂ්‍යයන්ට තියෙන මේ ප්‍රශ්න ගැන විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සංවේදීව කටයුතු කරනවා ද?  


පිළිතුර - අපි දෙතුන්පාරක් ඉල්ලීම් කරලා තියෙනවා. ඒත් තවම හරි ප්‍රතිචාරයක් ලැබිලා නෑ.  


ප්‍රශ්නය - ඔබලා මේ ප්‍රශ්න ගැන මහා මහා ශිෂ්‍ය සංගමය එක්ක කතා කරනවා ද?  


පිළිතුර - ඔව්. අපිට තියෙන මේ ප්‍රශ්න දෙමළ ළමයින්ටත් තියෙනවා. අපි මේවා ගැන මහා ශිෂ්‍ය සංගමය එක්ක සාකච්ඡා කරලා තියෙනවා.

 
ප්‍රශ්නය - යාපනය විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්න සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනවර්ගවලට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර තියෙන එක්සත් කම මොනවගේද?.

 
පිළිතුර - කැම්පස් එකේ ඉගෙනගන්න හැම ළමයෙක්ම තමන්ගේ ජාතියට ආදරේ කරනවා. නමුත් දකුණේ ඉන්න හුඟක් අය හිතන්නෙ මෙහෙ ඉන්න ගොඩක් අය දෙමළ නිසා ඒ අය කොටි කියලා. එ්ත් අපි මෙහේ ඉන්න අය විදියට දන්නවා එහෙම දෙයක් නෑ. තමන්ගේ ජාතියට තියෙන ආදරය නිසා සමහරු ඒ ගැන කතා කරනවා වෙන්න පුළුවන්. මම පෞද්ගලිකව එකේ වැරැද්දක් දකින්නේ නෑ. මීට කලින් අපේ කැම්පස් එකේ පැවැත්වුණු පිළිගැනීමේ උත්සවයක දී උඩරට නැටුම් අංගයක් ගැන ප්‍රශ්නයක් ඇතිවෙලා එතන දී යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් මතු වුණු බව කවුරුත් දන්නවා. ඒත් දැන් අපි අතර කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ළඟදි සිංහල ළමයි නවදෙනෙක්ගේ පන්ති තහනම් කරලා තිබුණා. පස්සෙ සිංහල, දෙමළ ළමයි හැමෝම එකතුවෙලා ඒකට විරුද්ධව සතිදෙකක් උද්ඝෝෂණය කළා. ශිෂ්‍යයෝ අතර මේ වෙන කොට හොඳ සුහඳතාවක් තියෙනවා.  


ප්‍රශ්නය - පහුගිය කාලේ දකින්න ලැබුණු දෙයක් තමයි උතුරෙ දේශපාලන තලයේ සිදුවෙන සිදුවීම්වල බලපෑම බොහෝදුරට යාපනය විශ්වවිද්‍යාලයේ කටයුතුවලටත් අදාළ වීම. ඒ සම්බන්ධ වර්තමාන තත්ත්වය මොන වගේද?  


පිළිතුර - ​ෙද්ශපාලනය බලපාන අවස්ථා තියෙනවා. මට මතකයි ඒක අවස්ථාවකදී අපි විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයෙයි, මහා ශිෂ්‍ය සංගමයෙ යි තීරණයකට අනුව උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ තීරණයකට එරෙහිව වර්ජනයක් කළා.  


ප්‍රශ්නය - උතුරේ ක්‍රියාත්මක වෙන ආරක්ෂක අංශ වලිනුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ කටයුතුවලට බලපෑම් එල්ල වෙනවාද?  


පිළිතුර - නෑ. කැම්පස් එක ඇතුළෙ පොලිස් නිලධාරියෙක් ඉන්නවා දැක්කොත් මිසක් හමුදාවේ අය ඉන්නවා අපි දකින්නේ නෑ. බුද්ධි අංශ නිලධාරින් සිවිල් පිට ඉන්නවාද කියන්න අපි දන්නේ නෑ. මම දන්න විදියට සිංහල, දෙමළ කාටවත් ආරක්ෂක අංශවලින් බලපෑමක් නෑ.  


ප්‍රශ්නය - යුද්ධය පැවැති කාලයට සාපේක්ෂව පශ්චාත් යුද සමයේදී විශ්වවිද්‍යාලෙ කටයුතුවල තත්ත්වය මොන වගේද?  


පිළිතුර - අපි කැම්පස් එකට ආවේ 2014 දී. යුද්ධය තිබුණු කාලයේදී විශ්වවිද්‍යාලයෙ කටයුතුවල යම් පසුබෑමක් තිබුණා කියලා අපි අහලා තිබුණා. දැන් ඊට වඩා හොඳ තත්ත්වයක් තියෙනවා කියලා අපිට හිතෙනවා.  


ප්‍රශ්නය - දකුණෙන් ගිය ශිෂ්‍යයෝ විදියට ඔබලට උතුරෙ සමාජය සංස්කෘතිය දැනෙන්නෙ මොන විදියට ද?  


පිළිතුර - දකු​ෙණ් සිංහල ගොඩක් අය තවමත් හිතන්නෙ උතුරෙ දෙමළ මිනිස්සුයි කොටියි අතර වෙනසක් නෑ කියලා. නමුත් අපි මෙහෙ ජීවත් වෙන නිසා දන්නවා එහෙම එකක් නෑ. දෙමළ මිනිස්සු කියන්නෙත් හොඳ ජාතියක්. අපි එගොල්ලො එක්ක සුහදව ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මම හිතන විදියට එල්.ටී.ටී.ඊ. කියන සංවිධානය වුණත් ඇතිවුනේ අපි එයාලගේ පොඩි පොඩි ප්‍රශ්නවලට ඇහුම්කන් දුන්නෙ නැති නිසා. ඉදිරියෙදී හරි අපි දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දුන්නොත් ජාතිවාදයක් මතුවීම නවත්තන්න පුළුවන්, ඒ ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට දකුණෙන් ආණ්ඩුව ඇහුම්කම් දුන්නෙ නැතිවුණොත් තමයි විශ්වවිද්‍යාලෙ ඇතුළෙ ඉන්න තරුණ ළමයින්ගේ වැඩවලටත් එක එක විෂ බීජ ඇතුල් වෙන්න ඉඩ තියෙන්නෙ. තවදෙයක් තමයි මෙහෙ ඉන්න සිංහල කතා කරන්න බැරි හුඟක් දෙමළ ළමයි සිංහල කියලා හිතන් ඉදලා තියෙන්නෙ අාමි එක කියලා. ඒත් අපි ඒ අයත් එකට එකතු වෙලා උත්සව වගේ විවිධ වැඩසටහන් කරද්දී ඒ අය ඒ වැරැදි මතයෙන් අයින් වෙලා තියෙනවා.  


ප්‍රශ්නය - දෙමළගේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාව උතුරේ වගේම දකුණෙත් තවම තියෙනවා. තරුණ විද්‍යාර්ථියෙක් විදියට මේ ගැන ඔබේ කියවීම මොකක්ද?  


පිළිතුර - දකු​ෙණ් වගේම උතුරෙත් ජාතිවාදී පිරිසි ඉන්නවා. ජාතිවාදය මතුකරන තැන් තියෙනවා. නමුත් මෙහෙ ඉන්න හැම දෙමළ මනුස්සයෙක්ම ජාතිවාදී නෑ. ඊළඟට ගත්තොත් ඉඩම් පොලිස් බලතල පළාත් සභාවට ලබා දෙන ලෙස කරන ඉල්ලීම ගැළපෙන්නෙ නෑ කියලයි මම හිතන්නෙ. අපි හැමෝම රටක් විදියට එකට ඉන්නවා නම් වෙනම බලතල ඕනෙ නෑ. කැම්පස් එක ඇතුළෙ ඉන්න ගොඩක් තරුණ ළමයි යුද්ධය දැකපු අය නෙවෙයි. ඒ නිසා ඒ අයගේ ඔළුවලට මොකක්හරි දේශපාලන විෂ බීජයක් දැම්මොත් ඒක පැතිර යන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා මේ ඉල්ලීම්වලට මොළයෙන් උත්තර දෙන්න ඕනෑ.

 
ප්‍රශ්නය - අගනුවරාසන්න විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න ළමයින්ට අර්ධකාලීන රැකියාවල නිරතවීමේ පහසුකම් ආදිය තියෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට මේ කාරණයට අදාළව පහසුකම් හැකියා තියෙනවාද?  


පිළිතුර - මෙහෙ නෑ. ඒකට ප්‍රධාන වශයෙන් භාෂාව බාධකයක් වෙලා තියෙනවා. සුළු පිරිසක් පත්තර විකුණන රස්සාවක් කරනවා. ඒත් අනිත් කැම්පස්වලට සාපේක්ෂව මෙහෙ එහෙම රැකියා හොයා ගැනීමේ හැකියාවක් නෑ.

 

 

 

සාකච්ඡා කළේ
උපුල් වික්‍රමසිංහ