සතොස කලකට පස්සේ වෙලකට බැස්සේ


ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ජාතික අවශ්‍යතාවන්හිදී කවදත්, කොතැනත් කතා කළහ. ඉරිදා ලංකාදීප පුවත්පතට උන්වහන්සේ විසින් ලියන ලද ‘‘අපට හරිගිය වැරදුන තැන්’’ ලිපි මාලාවේ කෙටිකාලීන නිහඬතාවයකින් පසු බලවත් සමාජ ව්‍යසනයක ලකුණක් පිළිබඳව අපට මෙසේ අදහස් දැක්වූහ.  


සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනි. එහි අරමුණ වූයේ කූට වෙළෙඳුන් ගෙන යන ජනතා හිතකාමී නොවන වැරදි ව්‍යාපාර පාලනය කිරීමය. රටේ සාමාන්‍ය ජනතාව පරිහරණය කරන අත්‍යවශ්‍ය දෙයෙහි හා පරිභෝජනය කරන දේවල්වල මිල පාලනය කරගෙන පවත්වාගෙන යාම සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවෙහි පරමාර්ථය විය.  


එහෙත් පසුගිය රාජ්‍ය සමයන්වලදී නොයෙක් වෙස් මාරු කිරීම්හි ප්‍රතිඵල තුළින් සතොසේ ගෞරවය පරිහානියට පත්වී ඒ ව්‍යාපාරය කඩාකප්පල් වෙන තැනට පත්විය.  


රටේ සාමාන්‍ය පොදු මහජනතාව සමුපකාරය ගැන විශ්වාසය තබා තිබුණේ තමන්ගේ හදවත මෙන් සලකාය. අන්තිමේ සතොස ආයතනය සමහර කාලවල වෙළෙඳපොළෙන් ඉවතට දමන ලද ද්‍රව්‍ය පවා ගෙනැවුත් විකිණූ බව අපට ආරංචි විය. එයින් ද සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ගෞරවය නැතිවී ගියේය. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට සිද්ධ වූයේ ද මීට නොදෙවෙනි දෙයකි.  


පසුගිය සතියේ මාධ්‍ය බොහොමයක සතොස ගැන පුදුම හිතෙන වාර්තාවක් පළවිය. එයින් කියැවුණේ සතොසෙහි ‘‘බියර්-වයින්’’ ආදී මත්වතුර විකිණීමේ යෝජනාවක් සූදානම් වෙන බවකි. මේ යෝජනාව සාධාරණීකරණය සඳහා බලධාරීන් විසින් ඉදිරිපත් කර තිබුණේ ඉන් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමක් තමන් අපේක්ෂා කරන බවකි.  
හාල්, කරවල, හාල්මැස්සන්, කිරිපිටි, තුනපහ, තේ, සීනි ටික විකුණන සතොසට සංචාරකයෝ බඩු මිලදී ගන්න යනවා දැයි එක අතකින් කල්පනා කළ යුතුය. මේ තීරණය තුළ අපට නම් පෙනීයන්නේ කාගෙ කාගෙත් ඇහැට වැලි ගසා මොකක් හෝ ‘යටි අරමුණක්’ ඉටුකර ගන්නට යත්න දරණ බවකි.  


කාන්තාවන් මත්පැනට ඇබ්බැහි කිරීමේ කූට ව්‍යාපාරය මේ ඔස්සේ දියත් කළ හැකි බවද අපට පෙනේ. ළමයින් ද මේ හරහා ක්‍රමිකව ඊට නතුවීම ද අතුරු ප්‍රතිඵලයක් විය හැකිය.  


බෞද්ධ, ක​ෙතා්ලික, හින්දු, මුස්ලිම් සියලු පූජ්‍ය-පූජක පක්ෂ තමන්ගේ ආගමට ලැදි නම්, තමන්ගේ ආගමේ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මේ සම්බන්ධයෙන් නැගී සිටීමට මේ හොඳම අවස්ථාව වේ. 

 
රටේ සුපර් මාර්කට් නමින් ඇති වූ වෙළෙඳ සංස්කෘතිය තුළ පවතින භයානකම පැතිකඩ වෙන්නේ ඒ තුළ මත්පැන් හල් පිහිටුවා තිබීමය. උදේ පටන් රාත්‍රී 9-10 දක්වා මේ සුපර් මාර්කට්වල සුදුසු හෝ නුසුදුසු මිල අඩු හෝ වැඩි ඕනෑම මත් වතුරක් මිලට ගැනීමට හැකියාව තිබේ.  


ලංකාවේ කාන්තාව කවදාවත් මත්පැන් හලක් ළඟින් ගියේ නැත. විකුණන තැනක රැඳුනේ නැත. බොන තැනක බලා හිටියේ ද නැත. එහෙත් සුපිරි වෙළෙඳසල්වලට මත්පැන් රිංගීම නිසා ලංකාවේ කාන්තාව එය නිතර දකින සාමාන්‍ය වෙළෙඳ භාණ්ඩයක් මට්ටමට පත්විය.  


ලංකාවේ කාන්තාව මත්පැන් විෂයේ ඇතිකරගත් ශීලාචාර ධර්මය අද වෙනවිට බිඳී යමින් ඇය ද සුපර් මාර්කට් එකෙන් සාමාන්‍ය වෙළෙඳ භාණ්ඩ මෙන් මත්පැන් මිලදී ගෙදර ගෙනයන සංස්කෘතියක් ඇති වී පවතින බැව් අසන්නට ලැබේ.  


මිනිසුන්ගේ මනස විකෘති කර ගෙදර බුදුන් යැයි කියන අම්මාගේ ගෞරවය ද නැතිකර, දරුවන් නොමඟ යවා රට කාබාසිනියා කිරීමේ දරුණු උපායට දැන් සතොස ද අත ගසන්නට යාම අපගේ බලවත් කනගාටුවට හේතුවේ.  
බියර්-වයින් සතොසට ඇතුළු කළ සැණින් ලංකාවේ තේ කඩේ සිට සෑම කඩයක්ම බියර්-වයින් විකුණන බව ආයේ අහන්නට දෙයක් නැත. ආණ්ඩුවේ සතොස දැන් මේ අත්තිවාරම යොදා ගන්නේ ඒ සඳහාය.  


මහානායක ස්වාමීන් වහන්සේලා සහ පූජක පක්ෂයේ බොහෝ දෙනා ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නැඟී සිට කතා කරන්නා වාගේ සතොසට වෙන විපත පිළිබඳවද කතා කළ යුතුයැයි හඟිමු.  


සතොසට මේ විපත නොවීමට හැම පන්සලක්ම මූලික විය යුතුය. සතොස ඉදිරිපිට ඊට එරෙහි වෙමින් උද්ඝෝෂණයක් කර රටේ පාලකයන්ගේ ඇස් ඇරවිය යුතුය. එසේ නොවුනහොත් කාන්තාව, දරුවන් මත්වතුරට බිලි වූවා යැයි අනාගතයේ අඬන්නට සිදුවීම දුර ඈතක නොවන්නේය.  


මෑතකදී පළාත් සභා පිළිබඳ ව්‍යවස්ථාවක් අනුමත කර ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් ලබාගැනීම තුළින් භයානක සිද්ධි රැසකට රට යටත් කිරීමේ සැලසුමක් ආරම්භ විය. එහි ගැඹුරවත්, භයානක කමවත් කාටවත් තවම දැනී නැත. එන ඒවා ආපසු වෙනස් කරන්නත් නැවත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් සම්මත විය යුතුය. මේවායින් රටේ කවරක් අනාගතයේ වේදැයි දැන්ම කියන්නට නුපුළුවන. කොහොමත් රටේ ඒකීය භාවය නැති වුණොත් එය රටට සිදුවන ලොකුම විපත්තිය බව කාට නැතත් අපට නම් පෙනේ.  


මහානායක ස්වාමීන් වහන්සේලා තවදුරටත් මේ අනුමත වූ පණත ගැන මීට වඩා විමර්ශනයක් කළ යුතු බව අපි ප්‍රකාශ කරමු. එසේ නොවුණොත් රටේ ඒකීය බව නැති වී සම්බුද්ධ ශාසනයේ අද පවතින ශක්තිය දුර්වල වී හැදෙන වැඩෙන දරු පරම්පරාව ද වළපල්ලට ඇද වැටෙන්නට අනුමත වූ පණත අවාසනාවන්ත ඉරණමක් ඇති කරනු ඇත.  
පසුගියදාක කොළඹ නගරයේ එක් පාසලක අවුරුදු 16 පමණ වයසේ දරුවන් අධ්‍යාපන චාරිකාවක් යාමට බස් 04ක් සූදානම් කර තිබිණ. වාසනාවකට වාගේ, චාරිකාවට ප්‍රථම එදා උදේ විදුහල්පතිතුමා පැමිණ ළමයින්ගේ සියලුම පාසල් බෑග් පරීක්ෂා කළේය.  


අරුමයකි..... බොහෝ බෑග් මලුවල වාගේ බියර්, මත්වතුර, මත්ද්‍රව්‍ය ආදී මනස විකෘති කරන දේ තිබී හසුවිය. වහාම චාරිකාව නවතා දැමිණ. විදුහල්පතිතුමා ඉහත පරීක්ෂාව කරමින් දූරදර්ශී ක්‍රියාවක් කළ බව අපට ආරංචි විය. නමුත් ඒ විදුහල්පතිතුමාම සිහියට ගත යුතු දේ නම්, තමන්ගේ පාසලේ දරුවන් ඒ තරමට නොමග යනතුරු ඇස් නොඇරුණේ මන්ද? යන කාරණය අනෙකා කල්පනා කරන බවයි.  


සතොස මත්වතුර වික්කොත් මේ කතා මීට වඩා නරක විදියට ගමක් ගමක් ගානේ අහන්නට සිදුවන බැවින් සෑම පූජ්‍ය-පූජක පක්ෂයක්ම ඊට විරුද්ධ වෙමින් අද අදම නැගී සිටින්නට මෙය අවසාන අවස්ථාව වන බව මතකයට ගත්තාට වරදක් නැත.  
 
 

 

 

 

 

 

 

 

 

සටහන - අසංක ආටිගල