සතුන්ට වස දුන් කරුණාවතීට අත්වූ ඉරණම


ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.  

 

අම්පාර, මිහිඳුපුර   අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවක් මෙසේය.  


ඈත පිටිසර ගම්වල ජනතාව ජීවත්වන්නේ ගොඩ-මඩ ගොවිතැන් කිරීමෙනි. එවැනි ගම්වල පවුල් හත අටක් ගෙන බැලුවොත් ඉන් එක පවුලක හෝ ගංකුකුළු ජෝඩුවක් දෙකක් ඇති කරනු දක්නට ලැබේ. ඒ ආකාරයට කුකුළන් ඇති කරන්නේ මස් හෝ බිත්තර ලබා ගැනීම පමණක් අරමුණු කොට ගෙන නොවේ. බොහෝ ගොවීන්ගේ කුඹුර හෝ හේන පිහිටා ඇත්තේ නිවසේ සිට සැතපුම් තුන හතරක් ඈතිනි. එවැනි ගොවීහු වැඩට යන විට පාන්දරින් නිවසින් පිටත්ව යති. එසේ යන ගොවියා දහවල් ආහාරයද රැගෙන යාම සිරිතකි.  


මේ නිසා ගැමි කාන්තාවන් අලුයම හතරට පමණ අවදිවී ආහාර පිළියෙළ කළ යුතු වෙයි. ගංකුකුළා පාන්දර හතර පමණ වන විට හඬලන හඬ ඇසී අවදි වන ගැමියන්ට නියමිත වේලාවට කෑම උයා පිහා ගැනීමට හැකිවේ. ඒ නිසාම කුකුළා ගැමියාට ඔරලෝසුවකටත් වඩා වටින්නේය.  


එහෙත් කුකුළන් ඇතිකරන නිවෙස්වල අයත් අහල පහළ නිවෙස්වල අයත් අතර රණ්ඩු දබර ඇතිවීම නම් නිතර නිතරම සිදුවෙයි. එයට හේතුව කුකුළන් කූඩුවල දමා ඇති නොකර නිදැල්ලේ යාමට ඉඩහැර තිබීම නිසා අහල පහළ නිවෙස්වල අයට වී පැදුරක්වත් අව්වේ දමා වේලා ගැනීමටත් වෙනත් බව බෝගයක් වගාකර ගැනීමටත් කුකුළන් නිසා නොහැකි වීමය.  


මේ ආකාරයට එක් ගමක කුකුළු ජෝඩුවක් ඇති කළ නිවෙසක අය හා අහල පහළ නිවෙස් කීපයක අය අතර නිතරම රණ්ඩු දබර ඇතිවීම වරින්වර සිදුවූයේ කුකුළන් නිසාය. මෙසේ රණ්ඩුවක් ඇතිවූ එක් දිනක හේනේ වැඩට ගොස් රෑ බෝවී සිටියොත් නිවසට පැමිණි විට ඔහුගේ බිරිඳ කරුණාවතී එදින ඇතිවූ රණ්ඩුව ගැන කියමින් අපට ඇති කුකුළෙකුත් නෑ. ගෙදර කිසිම දෙයක් තියා ගන්නත් බෑ. ගේ ඇතුළටත් ඇවිත් කැත කරනවා. වත්තේ හැම තැනම පහුරු ගහනවා. කිසිම පැළයක් හිටවා ගන්න විදිහක් නෑ. මොකක් හරි කරලා මේ මල කරදරය නැති කරලා ද‌ාන්න ඕනෑ,යි. කෝපයෙන් වෙව්ලමින් කියා සිටියාය.  


මේ නෝක්කාඩුව අසා සිටි සිමියොන් මොහොතක් කල්පනා කරමින් සිට කමක් නෑ කරුණාවතී මේක අපට කරදරයක් තමයි. ඒත් ඔය සුළු දෙයකට අපි මිනීමරා ගන්න යන්න ඕනෑ නෑ. මං හෙට උදේට ගිහින් මුතුබණ්ඩට කියන්නම් කැකුළන් කොටුකර ගන්න කියලා. එහෙම නොකෙරුවොත් අපි මොනවා හරි කරමුයි, බිරිඳට කීවේය. ඒ ඇසූ කරුණාවතී ‘තමුසෙට පිස්සුද ඕයි. උන්ගේ ළඟට ගිහින් ආයේ පාච්චල් වෙන්න. අද මුතුබණ්ඩගෙ ගෑනි කියපු දේවල්වල හැටියට කුකුළන් විතරක් නෙවෙයි උනුත් මරන්නයි වටින්නේ’ යි. කියා නිශ්ශබ්ද වූවාය.  


කරුණාවතී එසේ කීවත් සිමියොන් උදේ හේනට යාමට පෙර මුතුබණ්ඩාගේ නිවසට ගොස් කුකුළන් කොටුකර තබා ගන්නා ලෙස කීවේය.  


ඒ ඇසූ මුතුබණ්ඩා ‘සිමියොන් අයියේ තව දවස් දෙක තුනක් ඉවසන්න මම මොකක් හරි කරන්නම්’ යි කියා පොරොන්දු විය.  


ඉන්පසු දින තුනක් පමණ ගත විය. ඒත් කුකුළන් වත්තට ඒම නතර වූයේ නැත. කරුණාවතී සිමියොන්ටත් නොකියා රහසිගතව ඇගේ සහෝදරයෙකු ලවා වස වර්ගයක් ගෙන්වා ගෙන බත් සමඟ කලවම් කොට පොල් කට්ටකට දමා වත්තට කුකුළන් එන ස්ථානයේ කාටත් හොරා තැබුවාය. එහෙත් මුතුබණ්ඩා එදින රෑ ලැගුම් කූඩුවෙන් අල්ලාගෙන කුකුළු ජෝඩුව විකුණා දමා තිබුණි.  


 කරුණාවතී වස යෙදූ බත් පොල්කට්ට තබා ගතවූයේ පැයක පමණ කාලයකි. අහල පහළ හැම වත්තකම කෑගසමින් තැනින් තැන වැටී දඟලමින් සිටි කපුටන් දහයක් පහළොවක් පමණ මිය ගියහ. ඒ දුටු බොහෝ දෙනකු කීවේ කපුටන්ට බෝවන රෝගයක් වැළඳී ඒ ආකාරයට මිය යන බවය. ඒ නිසා වස තැබීම සමාජයෙන් වසන්කර ගැනීමට කරුණාවතීටද හැකි විය.  


 මේ සිද්ධිය සිදුවී මාස හතකට පසු වෙනත් ගමක සිටින ඥාතියකුගේ මංගල උත්සවයකට සහභාගි වීමට සිමියොන්ගේ පවුලේ අයට යාමට සිදුවිය. එම මංගල උත්සවයේ දී සිදුවූ ආහාර විසවීමක් හේතුවෙන් නව දෙනකුට රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය. සිමියොන් හා කරුණාවතීද ඒ අතර වූහ. දින දෙක තුනක් රෝහල් ගතව ප්‍රතිකාර ලබාගත් අට දෙනකු සුවය ලබා පිටව ගිය අතර දින එකළොහක් අනන්ත දුක්විඳිමින් රෝහලේ සිටි කරුණාවතීට මෙලොව හැර යාමට සිදුවිය. මෙය මේ ජීවිතයේදීම කළ කම් ඵලදීමක් නොවේද?  

 


 

හොරණ, බැල්ලපිටිය ඩී.ජේ.පී. කලංසූරිය මහතා ලියා එවූ කතාවක් මෙසේය.  


‘තිරිසන්නු’ ලෙස හැඳින්වූ දරුවන්  


ඒ එක්දහස් නවසිය අසූතුන වර්ෂයේ අග භාගයයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් ලෙස අවසන් වසරේ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් බොහෝ දෙනකු විභාගය නිමාවීමත් සමඟම තම නිවෙස් බලා විසිර ගොස් සිටියෝය. සිසුන් සඳහා වෙන්ව තිබූ නේවාසිකාගාරයක් වන හැව්ලොක් මාර්ගය අසල පිහිටි ‘ඇක්වයිනාස්’ නේවාසිකාගාරයේ කාමර කිහිපයක තවමත් නිවෙස් බලා නොගිය සිසුන් කිහිප දෙනෙක් වූහ. මාද ඉන් එක් අයෙකු වූ අතර මා සමඟ කාමරයේ සිටියේ තවත් සිසුවෙකි. ඔහු ඈත පිටිසර ගම්මානයක සිට විශ්වවිද්‍යාලයට පැමිණි නිහඬ මෙන්ම අහිංසක සිසුවෙකි. වසර තුනක පමණ කාලයක් එකට ගත කළද කිසිදු අවස්ථාවක ඔහු වචනයකට දෙකකට වඩා කතා කළ බවක් මා මතකයේ නොතිබුණි. සත්‍ය තත්ත්වය නම් ඔහු කිසිවකු සමඟ වැඩි කතාවකට නොයාමයි.  


විභාගයට සාර්ථක අයුරින් මුහුණ දී සිටි ඔහු එදින මා සමඟ බොහෝ සෙයින් දොඩමලු විය. තම ගම් පෙදෙස ගැන විස්තර කළ ඔහු එසේ පැවැසූ එක් කරුණක් මා හදවත කම්පනයට පත් කළ බැවින් එය ඔහු පැවැසූ පරිදිම නොව සාරාංශයක් පරිදි කෙටියෙන් මෙසේ ලියමි.  


ඔහුගේ ගම් ප්‍රදේශයේ එක් පියෙකුට ද‌ාව ඔහුගේම වැඩිමහල් දියණිය දරුවන් කිහිප දෙනකු මෙලොවට බිහිකර තිබිණ. මා මිතුරා පැවසුවේ ගමේ මිනිසුන් එම දරුවන් හැඳින්වූයේ ‘තිරිසන්නු’ ලෙසින් බවයි. තිරිසන් ලෙස හැසිරුනු අය පසෙක සිටියදී හයක් හතරක් නොදන්නා මෙන්ම කිසිදු වරදක් ​නොකළ දරුවන්ට එසේ අමතන බව ඇසීමෙන් මම විමතියට පත්වීමි. එමෙන්ම එම කතාවට දැඩි ලෙස විරෝධය දැක්වීමි. මිතුරාද මාගේ අදහස් සමඟ එකඟවූ අතර ඔහු පැවසුවේද ගමේ මිනිසුන්ගේ අසාධාරණ ක්‍රියා කලාපයයි. එහෙත් වැඩි පාර්ශ්වයක් වූ ගම්මුන්ගේ මතයට එරෙහිව යා​මට හැකියාවක් ඔහුට හෝ ඔහු දරන අදහස්වලට එකඟ වූ සුළුතරයට තිබී නැත.  


කිතුනු දහම අනුව යමකු උප්පත්තියෙන්ම ‘ජන්මපාපියකු’ වන බව මා කියවූ පොත පත තුළින් මා පසක් කොට තිබිණි. මාගේ මිතුරා පැවසූ මෙම දරුවන්ද එවන් ජන්ම පාපීන්ද? මා සිත තුළ නැගුනේ ප්‍රශ්නාර්ථයකි. තිරිසන් මිනිසකුට ද‌ාව ඔහුගේ ලෙයින් අසම්මතයේ මවකගේ කුසින් මෙලොවට බිහිවූ පමණින් ඔවුන් ‘තිරිසනුන්’ වී ඇත. එය ඔවුන් මේ ආත්මයේ කළ අකුසලකර්මයක පටිසන් දීමක්ද? එසේ විය නොහැකි බව මා දැරූ මතයයි. එ​ෙස් නම් ‘මේ ජිවිතයේදීම කළ කම් පළදෙන හැටි’ නම් වූ ගවේෂණාත්මක කතා මාලාවට මෙම කතාව අද‌ාළ වන්නේ කෙසේද? එසේ අද‌ාළ කළ හැකි දෙයක් මා මිතුරා පසු කලෙක එවන ලද ලිපියකින් අනාවරණය කරගත හැකි විය. එදින නේවාසිකාරයේදී වෙන් වුණ අප දෙදෙනා බොහෝ කලක් ලිපි හුවමාරු කරගත් අතර මා යැවූ සෑම ලිපියකින්ම පාහේ ‘තිරිසනුන්’ ලෙස හැඳින් වූ දරුවන් පිළිබඳවද විමසා යැවිමි. උස්මහත් වූ එම දරුවන් කිහිප දෙනකු රජ​ෙය් රැකියාවන්හි නියුතු බවත් එක් අයකු අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වී ඇති බවත් මිතුරා එවූ ලිපියක සඳහන් විය.  


ඔහුගේ ළමා කාලයේ තිරිසනකු ලෙස ඔහුට ආමන්ත්‍රණය කළ ගම්වැසි සමහරෙකු තම දරුවකුගේ නැති නම් මුණුපුරෙකුගේ ප්‍රශ්නයක් නිරාකරණය කරගැනීමට මෙම අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඉදිරියට යන්නට ඇත. ඔහුට ගරු කිරීමට, ගෞරවයෙන් ආමන්ත්‍රණය කිරීමට සිදුවන්නට ඇත. සමහරවිටෙක එම මිනිසුන්ගේ දරුවන් අධ්‍යක්ෂවරයා හමුවීමට යන්නට ඇත. ඔවුන්ගේ දරුවන් ගෞරවනීය ලෙස අධ්‍යක්ෂවරයා පිළිගන්නට ඇත. ඔහුට වැඳුම් පිදුම් කරන්නට ඇත. යම් ලෙසකින් අකමැත්තෙන් හෝ එසේ කිරීමට සිදුවන්නට ඇත. ඒ අනුව මේ ආත්මයේ කළ අකුසල කර්මයක් මේ ආත්මයේදීම යම් ආකාරයකින් පළදී ඇත්තේ කලකට පෙර ‘තිරිසනුන්’ ලෙස හැඳින්වූ දරුවන්ට නොව ඔවුන්ට එසේ ආමන්ත්‍රණය කළ අයටයි. එසේ ආමන්ත්‍රණය නොකළ අයද ඒ අතර සිටින්නට ඇත. තම වැඩිහිටියන් කළ පාපයට ඔවුන්ද වන්දි ගෙවන්නට ඇත. මුළු ගමක් සමාජයක් තමන්ට නිවැරැද්දේ ‘තිරිසනුන්’ ලෙස ආමන්ත්‍රණය කරන විට එම දරුවන් කෙතරම් වේදනාවක් විඳින්නට ඇත්ද? පසු කලෙක ඔවුන් එද‌ා විඳි වේඳනාව පාරාවළල්ලක් වී එසේ පැවැසූ අය වෙතම පෙරළා ගමන් කිරීම දෛවයේ සරදමක් නොවන්නේද? එමෙන්ම ‘වාචිකව’ හෝ සිදු කළ අකුසල කර්මයක් ‘දිට්ඨ ධම්ම ​ෙව්දනීය කර්මයක්’ ලෙස මේ ආත්මයේදීම ඵලදීමක් නොවන්නේද?  

 

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම්  ඒවා ඉරිද‌ා ලංකාදීපයට යොමු කරන්න.  

 

 

 

සකස් කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්