සතුන්ට බොරු වළවල් කැපූ පවට ගල් වළක වැටී මරුට


ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

 

අකුරැස්ස පහළ මලිදුව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය.   


සතුන්ට බොරු වළවල් කැපූ පවට ගල් වළක වැටී මරුට.   


කලකට ඉහත දුෂ්කර ගම්මානයක දිවි ගෙවූ පියසෝම දඩයමට උපන් හපනෙක් විය. එය ඔහුට මහත් විනෝදයක් ගෙන දෙන්නක් ද විය.   


මස් මාංශ අනුභවයට එතරම් කැමැත්තක් නොතිබුණත් කුමන හෝ උපායක් යොදා සතුන් මැරීමෙන් පියසෝම ලැබුවේ අපමණ සතුටකි. ඔහුගේ දඩයමෙන් ඵල ප්‍රයෝජන ලබා ගත්තේ ඔහුගේ හිතවතුන්ය. එබැවින් ඔහු වටා නිතර ගැවසුණ මිතුරන් සංඛ්‍යාව අති විශාලය. මොවුහු හැමදෙනාම මස් මාංශවලට දැඩි ලෙස ගිජු අය වූහ. පියසෝමගේ මේ මහා පාපතර ක්‍රියාවට උඩ ගෙඩි දීමක් මිස එයින් මුදවා ගැනීමට කිසිවෙකුත් නොවීය.   


දිනපතාම පියසෝමගේ ක්‍රියාවන් නිසා විපතට පත්වන සතුන් ප්‍රමාණය අති විශාලය. පියසෝම සතුන් දඩයම් කිරීම සඳහා උගුල් ඇටවීම, බොරු වළවල් කැපීම, තුවක්කු බැඳීම වැනි උපක්‍රම බහුලවම භාවිත කළේය. සමහර අවස්ථාවල උගුල්වල බාගෙට පැටළෙන සතුන් උගුල් කඩාගෙන ගොස් කැලයේ නොයෙක් තැන්වල වැටී මරණයට පත්ව දින ගණනාවකට පසු හමුවන්නේ දිරාපත් වූ විටය.   


එසේම සමහර බොරු වළවල් ඔහුටම සොයා ගැනීමට නොහැකිව ඒවායේ සිටින සතුන් හමුවන්නේ මරණයට පත්ව කුණු වී දුර්ගන්ධය හමන අවස්ථාවලදීය. එසේම ඔහු විසින් බඳින ලද ගිනි අවි පත්තුවීම නිසා වෙඩි වැදී එවෙලේම මරණයට පත් නොවන සතුන් මරු විකාරයෙන් මහ කැලෑව තුළ ගල් දෙබොක්කාවල, ගල් වළවල්වල වැටී මිය යන අවස්ථා බොහෝය.   


මේ මහා පාපතර ක්‍රියාවල නිරත වන පියසෝම තම කාලයෙන් වැඩි හරියක් ගත කළේ මහ වන මැදය. සමහර දිනවල වනය තුළට වදින ඔහු දින ගණනාවක් කැළය තුළ ගත කරමින් දඩයමේ නිරත වෙයි. මොහුගේ මේ ක්‍රියාවන්ට එරෙහිව ගමේ වැඩිහිටියන් ඔහුට කොතෙක් අවවාද කළ ද මේවාට එරෙහි වුවද ඒ කිසිවකට ඔහු අවනත නොවීය. සුපුරුදු දින චරියාව එලෙසම කරගෙන ගියේය.   


එහෙත් ‘‘ඕනෑම දෙයකට සීමාවක් තිබේය’’ යන්න පසක් කරමින් පියසෝමගේ මේ ක්‍රියාවන්ට ද තිත තැබෙන කාලය එළඹියේ ඔහුටත් නොදැනීමය. එසේම ‘‘කරන කලට පව් මීරිය මීසේ’’ කියන්නාක් මෙන්ම ඒවාට එතරම් ආයුෂක් නොමැතිය යන සනාතන දහම සැබෑ කරමින් පියසෝමගේ මේ පාපතර ක්‍රියාවලට තිත තැබීමට සොබාදහම ද තීරණය කළා සේය.   


දිනක් ඔහු සුපුරුදු පරිදි දඩයම සඳහා වනයට ඇතුළු වී වල් ඌරකු දැක දඩයම් කිරීම සඳහා ඌරා පසුපස එළවන්නට විය. ඌරා ඉතා වේගයෙන් දුවන අතර පියසෝම ද ඊට නොදෙවෙනි වේගයකින් හඹා යන්නට විය. එහෙත් වැඩි දුරක් එසේ යන්නට නොහැකි වූ අතර එක්වරම මහ වන මැද තිබූ ගැඹුරු ගල්වළකට ඇද වැටුණි.   


කිසිවක් නොපෙනෙන මහා අන්ධකාරයෙන් යුතු ගල්වළෙන් ගොඩ ඒමට නොගත් උත්සාහයක් නැත. එහෙත් ඒ කිසිවකින් ඵලක් නොවීය. වළ තුළ සිටිමින් හැකිතරම් වැර යොද‌ා කෑ ගැසුවද ඒ හඬ ඇසෙන මානයක කිසිවකු නොවීය.   


කරුමයක මහත ඔහුගේ උගුල්වලට අසුව දහ දුක් විඳ මියගිය සතුන්ගේ වේදනාව, මරණ බිය ඔහු කරා ද එන්නට විය. දින ගණනාවක් ගොඩ එ්මට නොහැකිව වළ තුළම නිරාහාරව, පිපාසයට දිය පොදක් පවා නොමැතිව සිටි පියසෝම දැඩි දුක් විඳ ඉතා ශෝචනීය ලෙස වළ තුළම මිය ගොස් තිබුණි.   


දඩයම් සඳහා වනයට වැදුණ පියසෝම දින ගණනාවක් යන තෙක් නැවත නොපැමිණීම නිසා සැක සිතූ ඔහුගේ සහචරයන් කීප දෙනෙක් පියසෝම සොයා වන වැදුණහ.   


වනයේ බොහෝ තැන්වල සොයා බලන අතරවාරයේ ඉවසිය නොහැකි දුගඳක් වනය තුළින් වහනය වන්නට වීම නිසා ඔවුන්ට සිදු වී ඇති දෙය වටහා ගන්නට එතරම් අසීරු නොවීය. අපහසුවෙන් වුවද දුගඳ ඔස්සේ ගිය පිරිසට ඉතා ගැඹුරු ගල් වළකට වැටී නරක් වී ගිය දුගඳ හමන මළ සිරුර හමුවිය. ඉතා අසීරුවෙන් ගමට රැගෙන ආ මළ සිරුර අද‌ාළ කටයුතු සිදු කිරීමෙන් පසු පැය කීපයක් තුළම භූමද‌ානය කිරීමට සිදුවූයේ ඉවසිය නොහැකි දැඩි දුර්ගන්ධය නිසාමය.   


අහිංසක සතුන් සිය ගණනක් මැරූ පියසෝමට ද සතෙකු මෙන් තම අවසන් ගමන යන්නට සිදු වූයේ කවුරුන් මොන පවක් කළ ද බොහෝ විට එය මෙලොව දීම පල දෙන බව හැමෝටම පසක් කර දෙමිනි.   

 



කිතුල්ගල දික්හේන අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවක් මෙසේය.   


ගමටම වින කෙටූ සයිමන්   

 

එකල සොබා සොඳුරු ගම්පියසක් වූ මෙම ගම ඈත පිටිසර ගමකි. හේන් ගොවිතැන ප්‍රධාන ජීවන වෘත්තිය කරගත් ගම්වැසියන් කිතුල් මල් කැපීම ද අමතර රැකියාවක් ලෙසින් කළේ එය පාරම්පරිකවම ගම මෙම ප්‍රදේශයට උරුමව තිබූ රැකියාවක් නිසාවෙනි.   


‘‘සයිමන්’’ මෙගම විසූ අමුතු චරිතයකින් හෙබි පුද්ගලයෙකි. හමුවන ඕනෑම තරාතිරමක කෙනෙකු සමඟ වචන කීපයක් හෝ දොඩන දුක - සැප විමසන කටපුරා සිනහසෙන සමාජශීලි චරිතයකි. තරමක් උගත්කමක් පෙන්නුම් කළ ඔහු ඔහු පිළිබඳව ද අමුත්තෙකුට හෝ ගමට ආධුනික අයකුට හඳුන්වා දීම ද නිරතුරුවම දෙඩීමට අමතක කළේ ද නැත. කැපී පෙනෙන ලෙස එළිපිට හිඳ කටයුතු කළත් මොහුගේ ඇතුළාන්තය ඊට හාත්පසින්ම වෙනස්ය. එක් අවස්ථාවකින් හඳුනාගත නොහැකි වූ අමුතුම ගති පැවතුම් ඇත්තකු බව කාහට වුවද තේරුම් ගියේ පසුකාලීනවය.   


දෙබිඩි ගති ගුණ සහ ක්‍රියාවලියන් ඔහු සතුව පැවතිණි. ඉරිසියාව, පළිගැනීම, තවත් කෙනෙකුට ඔහු අභිබවා යන්නට අවස්ථාවක් නොදීම මේ මෙම චරිතය ඇතුළතින් ඉස්මතුව තිබිණ. මේ නිසාම දෝ ‘‘පන්දමා, කොරොටටු සයිමා, ගිනිගෙඩියා’’ යන අන්වර්ථ නම්වලින් ද ගම තුළ නම් පටබැඳී තිබුණේ ඔහුගේ පුරුදු නමටත් වඩා ඉහළින්ය.   


ඔහුට දරුවන් සිව්දෙනෙකි. බිරිඳ එමලින්ය. ඇය ද ඔහුට නොදෙවෙනි කටකාර සැරපරුෂ අනුන්ගේ තොරතුරු සොයන, කේලාම් කීමෙහි දක්‍ෂ, ඒවා වෙනතක පෙරළන, ගමේ කාන්තාවන් සමග නිතර ගැටෙන, කෙස්වලු පටලවා ගෙන ගහ බැණ ගත් තරගයන්ගෙන් ද නිතර ජය ලැබූ ප්‍රසිද්ධම කැපී පෙනුණ චරිතයක් විය.   


අද මෙන් එදා ගමන් පහසුකම් හෝ රජයේ නිලධාරි මහතුන් ගම්වලට පැමිණීම් හෝ තිබුණේම නැත. සැතපුම් 6ක් පමණ වත් දෙපයින් මඟ ගෙවා නගරයට යාමත් රජයේ කාර්යාලයකට හෝ නිලධාරි මහතෙකු හමුවට හෝ යාමට තවත් සැතපුම් දහයක් දොළහක් වැනි දුරක් ගමන් කළ යුතුව තිබුණි. තැපැල් සේවය ද එසේමය.   


එමඟින් ගමට එන ලියුම් අතරමඟ වෙළෙඳ සලකට හෝ නගරයේ නිවසකට පමණි ආවේ. එතැන් සිට ගමෙන් යන අයෙකු අත ගමට ඒමට ද සිදුව තිබුණි. මේ එන ලියුම් අතුරුදන් වීම ද නිරතුරුවම සිදු වෙන්නක් විය. එයට ද ‘‘සයිමන් යටින් සිටින වග ගමේ ජනතාවට තේරුම් ගියත් මේ පිළිබඳව විමසීමට ද කිසිවෙක් ඉදිරිපත් වූයේද නැත. ඒ මොහුත් සමඟ උරණවීමට තිබූ බිය නිසාවෙනි.   


මෙමඟින් ගමේ ජනතාවට රජයේ යම් කටයුතු වෙනුවෙන් ලැබීමට තිබූ පහසුකම් ගිලිහී ගියේ විටෙක රැකියා අවස්ථා වෙනුවෙන් වගේම නඩු හබ ඉඩම් ප්‍රශ්න ආදී සේවාවන් පිළිබඳ තොරතුරු අහිමිවීමෙන් ද පාඩු වගේම ලැබිය යුතු දේ නොලැබීම තුළ අසීරුතාවට පත් වීමද මතු වී තිබිණ.   


එමලින්ද මේ පසුපසම සිටියා වගේම පිටස්තර පිරිමින් හා නොමනා හැසිරීම් ද යක්ෂ ආරූඪයක් ඇති බව අඟවමින් හූ කියමින් ගම වටේ ඇවිදීම් ද ඒ වෙනුවෙන් පිට පළාත්වලින් කපුවන් ගෙන්නා ගෙන නැවතුම් ලබා දී විශාල තොවිල් ආදිය සූදානම් කර ඒවා පැවැත්වීමටත්  එමඟින් සූදු පොළවල් ආදිය කිරීමත් මැරයන් බේබද්දන් ගමට සම්බන්ධ කර අහළ පහළ නිවෙස්වලට යවා ඔවුන් බිය පත් කර අපචාරයන් සිදු කිරීමටත් යොදවා තිබුණි.   


අහල පහළ ගම්වල සිටි සැමියන් අහිමි බිරින් දෑ වරුන් ද, තම නිවසට කැඳවමින් ඔවුන්ට ද නවාතැන් දී නිවෙසට එන සල්ලාලයන් හට පාවා දීම ද සිදුවෙමින් තිබුණි.   


මේ වන විට සයිමන්ගේ සහෝදරයින්ට ද මෙම පවුල එපා වී තිබුණේ ගමේ අසරණ මිනිසුන්ට අටවන උගුල් වගේම අසාධාරණකම් නොරිස්සු නිසාවෙන්ය.   


විටෙකදී ගම අවට වනාන්තරවල කිතුල් මල් කැපූ අයගේ කිතුල් මල් මුලින්ම කපා දැමීම වෙනුවෙන් මැරවරයන් යොදවනු ලැබ එයින් තම දරු පවුල් නඩත්තු කළ මිනිසුන් අන්ත අසරණ තත්ත්වයට පත් කළේය. ඊට විරුද්ධව ඔහුගේ ද කිතුල් මල් කපා දැමීම ද සමහරු පෙළඹුනේද වරදක් නොකළ තමාට කළ අසාධාරණයක් වෙනුවෙනි. එවිට මොහු කළේ හොර මත්පැන් ගෝඩා තොගයක් ගෙවත්තේ රහසින් තබා පොලිසියට දන්වා අල්ලා දීමය. එයින් උසාවියෙන් දඩ මුදල් ගෙවා නිදහස් වීමට ද ඇතැම් අයට සිදුවිය.   


එවකට පැවති එක්තරා මැතිවරණයකදී සයිමන් ඡන්දය දුන් දේශපාලන පක්‍ෂය ජයග්‍රහණය කර තිබුණි. පසුව මෙම ගමේ විරුද්ධ පක්‍ෂයට සහාය දුන් අයගේ නිවාසවලට ද පිටස්තර මිනිසුන් ගෙන්වා කඩා බිඳ දමා තිබුණි. ඇතැමෙක් තම දරු පවුල් පිටින්ම කැලයේ සැඟව සති ගණනක්ව සිට ඇත.   


ගමේ සෙසු අය විසින් ඔවුනට ආහාර පාන වගේම නවාතැන් ද ලබා දී තිබුණේ සයිමන්ට ද නොදැනෙන්නටය. ඒ මේ මිනිසුන් වරදක් නොකළ අසරණයන් වගේම තමන්ගේම ඥ‌ාතීන් වීම නිසාය.   


මේ කාලය අතරතුරදී ගමේ පවුලක් සමඟ තවත් ආරවුලක් පටන් ගන්නේ දිය උල්පතකින් බීමට ජලය ලබාගැනීම සඳහාය. ඉඩම් දෙකකට මායිම් වන ස්ථානයක මෙම ස්වභාවික ජල මූලාශ්‍රය පිහිටා තිබුණි. එම ස්ථානයේ කුඩා පීල්ලක් තබාගෙන බීමට ජලය ලබා ගත්තේ සයිමන්ගේ නිවස තිබූ ඉඩමට යාබද ඉඩමේ නිවසේ සිටි අය විසින්ය. වසර ගණනාවක කාලයක සිටම ඔවුන් ජලය පරිහරණය කළේ මෙම ස්ථානයෙන්මය. මේ හැරුණු විට සයිමන්ලාගේ නිවස පිහිටි ස්ථානයේ දෙපසින්ම කුඩා දොළ පාර දෙකක් ද පිහිටා තිබිණ.   


මුලින් බැණ වැදීම්වලින් ආරම්භ වී පසුව ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙතට ද වරින්වර මේ ජල පරිහරණ ආරවුල ගෙන ගොස් තිබූ අතර මෙය සමථයකට පත්වීමක් ද දක්නට නොලැබිණි. පැමිණිලි සඳහා එන පොලිස් නිලධාරීන් ද පළමුව සයිමන්ගේ නිවසට පැමිණ ඊළඟ නිවසට ගියේ දෙවනුවයි. එසේ ගොස් එම නිවසේ අයටම දොස් තබා ආපසු ගියේ සයිමන්ගේ සහ එමලින්ගේ පාර්ශ්වයට වාසිදායක වන ලෙසින්ය.   


පසුව දින දෙක තුනකට පමණ වරක් හෝ දෙවරක්ම මෙම එක් පොලිස් නිලධාරියෙක් මෙම නිවසට එන්නට පටන් ගත්තේ එම නිවසෙහි සිටි තරුණ දියණිවරුන් දෙදෙනා නිසාවෙන්ය. මේ වන විට ඔවුන්ගෙන් එක් අයෙකුට විවාහ වීම සඳහා ද ඇරයුම් කර තිබුණි. අසරණ වූ මව්පියන්ට ද කර කියා ගත හැකි දෙයක් නොවීය.   


මෙයින් එක් දියණියක් නගරයේ නිවසක මේ වන විට ගෘහ සේවිකාවක් ලෙසින් වැඩකරමින් සිටින අතර එම නිවස හිමිකරුට මේ පිළිබඳව දන්වා සිටින ලදිත්. එවකට ඔහු හඳුනන පොලිස් අධිකාරීවරයෙකුට මේ පුවත සැළකරන ලදින් අදාළ පොලිස් ස්ථානයේ පරීක්ෂණයකින් එම පොලිස් නිලධාරීවරයාට ස්ථාන මාරුවක් ලබාදීමෙන් පසුව මෙම ජල පරිහරණ ප්‍රශ්නය, බැණ වැදීම්වලටම පමණක් සීමා වී තිබුණ අතරම එම දියණියන්ට ද නිදහස ලැබිණි.   


තවත් වරෙක කේලාම් කීමක් මුල්කර ගනිමින් සයිමන්ගේ බිරිඳ ‘‘එමලින්’’ තවත් කාන්තාවක් සමඟ ගැටුමක් ඇති කර ගන්නේ අතරමඟ වෙනත් අයෙකුගේ නිවසක් අසළදීය. බැණ ගැනීමෙන් අනතුරුව ඒ අසළ වූ වැටකින් වැට ඉන්නක් ගලවා එමලින් විසින් අනිත් කාන්තාවට පහර දී තිබුණේ අැයගේ ඔළුවටය. ඉන් ඔළුව පැලී ඇය රෝහල් ගතව සිට සති ගණනකින් නිවසට ආවත් පැමිණිලි විභාග නීතිමය ගැටලු කිසිවක් නැතිවම එයද කාලයට යට වී ගියේය.   


මෙයද සිදුවී තිබුණේ මෙම කාලසීමාවන් අතරතුරමයි. එයද දේශපාලනයේ සම්බන්ධතාවයෙන් සයිමන් ගත් උත්සාහයකි. ප්‍රදේශයේම ජන වසම වතු සමාගමකට අයත්ව තිබූ වතුයායක වතුපාලන තනතුරක් දැරූ කෙනෙකු සිටියේ ඒ අසල වෙනත් ගමකය. ඔහු සයිමන් සිටි දේශපාලන පක්‍ෂයට විරුද්ධ පක්‍ෂයේ කෙනෙකි.   


කෙසේ හෝ ඔහුගේ තනතුර ඉවත් කර සයිමන් ඒ තනතුරට පත්වූයේ දේශපාලනයේ උදව්ව මතය. පසුව ඔහු වතු පාලක වූ අතර දිනපතාම හිමිදිරියේම අලුත් ජාතික ඇඳුමෙන් සැරසී ගාම්භීරව සිටිය තත්ත්වයෙන් ඉතා ඉක්මනින්ම ඉහළට ගියේය. මහත්මයා ලෙසින් ගමේ අයගෙන් ආමන්ත්‍රණය ලබා ගැනීමට ද ඔහු ඉතාමත් ප්‍රිය කළේ උසස්වීමක් ලද නිසා වගේය.   


වසරක් මේ ලෙසින් කාලය ගෙවෙන්නට ඇත. එහෙත් ඔහුට කිසිදු වැටුප් මුදලක් එම තනතුර සඳහා ලැබී තිබුණේ නැත. පසුව එම රැකියාවට යාම නතර වී ගියේ ඔහුට රැකියාවක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ගමට ප්‍රකාශ කර තිබුණේ වැටුප් නොලැබීමේ පැනය වසා දැමීමටය.   


එහෙත් ගම උදවිය මේ පිළිබඳව දැනගෙන සිටියේ ඔහු රැකියාවෙන් අයින්වීමට ද පෙර සිටය. පසුව යළිත් පුරුදු හේන් ගොවි තැන ද කිතුල් මල් කැපීම ද සිරිත් පරිදි කරගෙන යාමට මොහුට සිදුවූයේ වෙනත් ආද‌ායම් මාර්ගයක් නොතිබූ නිසාවෙන්ය.   


තවත් වරෙක ගමේ අයෙකු විසින් ඉඩම් හිමි අයකුගෙන් ගස් කීපයක් මිලදී ගෙන අවසර පත්‍රයක් ද ලබමින් ලී ඉරීම කරමින් ඉරාගත් ලී බලපත්‍ර ලබා ගැනීමට ඒ ආසන්නයේ වෙනත් නිවසකට එක් රැස් කරමින් සිටියේ කම්කරුවන් තුන් හතර දෙනෙකු යොදවා ගෙනය. නගරයට එන මංසන්ධියට ලී ඇදිය යුතුව තිබුණේ කරෙන්ය. බලපත්‍රය හිමිවන්නේ එතැනදීය. ඊට පෙරම පොලිසිය කැඳවා තිබුණ අතර ලී සියල්ල පොලිසිය භාරයට ගත් අතරම ලී ඇදීම කළ කම්කරුවන් ඒ අයගේ නිවාසවලට ගොස් පොලිසියට ගෙනයන ලදී.   


පසුව එදින සවස පොලිස් ඇප මත මේ පිරිස මුදා හළ නිසා නිවසට එන පෙර මඟට සයිමන්ද දිවගියේ කිසිවක් නොසිදූ වූ අයුරුනි. එම අයට නෑදෑකමින් අමතා දුක්මුසු ඉරියව්වෙන් ඔවුන් ද සමඟ ආපසු ගමට පැමිණියේ සුපුරුදු කපටි න්‍යායෙනි. තෙමසකට පසුව මෙම සැකකරුවන්ට උසාවි යාමට දින නියමිතව තිබුණි. එදින සවස නිවෙසට පැමිණ සුළු වේලාවකින් ඇසුණේ විශාල කෑගැසිල්ලකි. එය ඇසු​ණේ ගම කෙළවර දිසාවෙනි. ගමේ සියලු දෙනාමද දිව ගියේ එ් හඬ දෙසටය.   


සයිමන් කිතුල් ගසකින් බිමට ඇඳ වැටී ඇත. ඒ දොළ පාරක් සමඟ තිබූ ගල්තලාවක් මතටය. අත් පා දෙතුන් පලකින්ම බිඳී මල් පිහියට ද කැපී ලේ විලක් මැදය. එකතු වූ ගම්වැසියන් ඔහු ගෝනියක කුදලාගෙන රෝහල වෙත ගෙන ගියේය. එතැනින් වෙනත් රෝහලකට මාරුකර යැවුණු අතර මාස තුනක් පමණ රෝහල් ගතව සිටියේ සිහිමද ගතියෙන්ය. පසුව තුවාල සුව නොවූයෙන් නැවත නිවසටම ගෙනවිත් දහවල රැයේ කෑ ගසමින් සිට අවසන් ගමන් ගියේ සිරුරම කුණු වි දුගඳ හමමින් සිටින අතර වාරයේය. වරින්වර පීඩාවන් ලද ගම්මුන් කීවේ මෙතෙක් කරන ලද පව්කම් මේ ආත්මයේදීම පල දුන් බවය.  

 

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

 

 

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්