සතුන් වත්තට එකතු වූ අලුත් අමුත්තා


අපේ රටේ ප්‍රධාන ජාතික සත්ව උද්‍යානය වන දෙහිවල සත්ත්ව උද්‍යානයට පසුගිය දා අලුත් අමුත්තෙක් එකතු වුණා. ඉකුත් මැයි 18 වැනිදා එහි විසූ ඔරං උටං මව වන සකීටත් ඔරං උටං පියා වන ඉයුෆෝ ටත් (Eufo) ලැබුණු මේ පැටවා තමයි මේ අලුත්ම අමුත්තා.   

සතුන්වත්තේ දහස් ගණනක් සතුන් අතරට අලුතින් එකතු වුණු මේ පුංචි අමුත්තා අපේ රටට ජාතික සම්පතක්, ඊට හේතුව මේ සතුන් වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇති නිසායි.   
ඉතින් අපි මේ අමුත්තාව දැක බලාගැනීමට තෑගි ලෙස සබන් පවුඩර් නොගෙන වුවත් යන්න තීරණය කළේ පැටියාගේ සැපදුක් හොයා බලන්නයි.   
උද්‍යානයේ ටිකදුරක් ඇවිද ගිය අපට එම දසුන නෙත ගැටීමත් සමඟම ඒ ස්ථානයේ නතර වුණේ‍ තම මවගෙන් කිරි උරා බොන මේ පුංචි පැටියාගේ සුරතලය නෙතට ප්‍රිය දසුනක් වූ නිසා.   


ඔරං උටං අම්මා මේ පැටවා බිහිකොට දැනට මාස 2ක් පමණ වනවා. සකීට සහ ඉයුෆෝ ට ලැබුණු මේ පැටියා ඔවුන්ගේ දෙවැනි දරු උපත සටහන් කළා. මීට පෙර 2011 වර්ෂයේදීත් ඇය පැටවකු ප්‍රසූත කළ බවයි එහිදී අපට දැන ගන්නට ලැබුණේ.   

 

ඉතාමත් දුර්ලභ ගණයේ සත්ත්ව කොට්ඨාසයක් වන මොවුන් ඉක්මණින් වඳවී යන සත්ත්ව විශේෂයක්. අඩි 4ක් සහ 5ක් පමණ සාමාන්‍ය උසකින් යුත් නමුත් ඇතැම් පිරිමි සතුන් අඩි 6ක් පමණ උස බවද පැවැසෙනවා. ඔවුන්ගේ දෑත් අතර පරතරය අඩි 6ක් පමණ වෙනවා. වැඩුණු පිරිමි සතකුගේ බර කිලෝ ග්‍රෑම් 118 වන අතර ගැහැනු සතෙකුගේ බර කිලෝ ග්‍රෑම් 45 ක් පමණ වන බවද සඳහන්.  

 
සත්ත්ව උද්‍යානයට අලුතින් එකතුවුණු මේ පුංචි පැටියා පිළිබඳ වැඩි විස්තර කතා කිරීමට දෙහිවල සත්ත්ව උද්‍යානයේ අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතා අප සමග එක්වුණා.   


මේ පුංචි පැටියගෙ මව පියා ගැන මුලින්ම කතා කරමු.   
මේ පුංචි ඔරං උටං පැටියගෙ අම්මයි තාත්තයි ගෙනාවේ ඉන්දුනීසියාවෙන්. 2003 අවුරුද්දෙ තමයි ලංකාවට මේ ජෝඩුව පරිත්‍යාග කළේ. මේ ඉතා දුර්ලභ සත්ත්ව විශේෂය දෙහිවල සත්ත්ව උද්‍යානයේ හැර ලංකාවේ වෙන කොහෙවත්ම දකින්න නෑ. ඉන්දුනීසියාවෙ බෝනියෝස් සහ සුමත්‍රා දූපත්වල විතරයි මේ සත්තු ඉන්නෙ. දැන් මේ සත්තු හිඟ නිසා ඉන්දුනීසියාවෙන් වෙනත් රටවලට නැවත ලබාදෙන්නෙත් නෑ. ලංකාවට තමයි අවසාන වශයෙන් මේ සත්තු දෙන්නා පරිත්‍යාග කරලා තියෙන්නෙ.

මේ සත්තුන්ගෙ තියෙන විශේෂත්වය?  

ඔවුන් බුද්ධිමත්ම සත්ත්ව කොට්ඨාසයක්. ඔරං උටංලා රතු, දුඹුරු, මෘදු දළ ලොම්වලින් වැසුණු ශරීරයකින් යුක්තයි. මොවුන්ගෙ චර්යා රටාවන්ට සරිලන සේ දිගු ශක්තිමත් බාහු සහ සවිමත් දෑත් පිහිටලා තියෙනවා. ඒ වගේම විවිධාකාර හඬ නිකුත් කරන්න පුළුවන්. මිනිසා හැරුණුවිට බුද්ධිමත්ම සත්ත්ව කොට්ඨාසය තමයි මේ. මිනිස්සු කරන සමහර දේවල් මේ සතුන්ට කරන්න පුළුවන්. වර්ණ හඳුනාගන්න, ගල්වලින් පහර දෙන්න, කෝටු කෑලි, දර කෑලි පාවිච්චි කරලා වේයෝ ඉන්න ගුහාවලට ඇනලා ඒ කෝටු දිගේ එන වේයො අල්ලගෙන කනවා. ඒ වගේ වැඩ කරනවා ඒ වගේම මුහුණෙ හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන්. දුක, සතුට, වේදනාව ඒ හැම හැඟීමක්ම ප්‍රකාශ කරනවා. 

එතකොට කන්නෙ බොන්නෙ මොනවද?

ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරයට ගන්නවා. ඒ වගේම ශාක ද්‍රව්‍ය, කෘමීන්, පෘෂ්ඨ වංශීන් සහ කුරුලු බිත්තර වගේ දේවල් ආහාරයට ගන්නවා.  

මෙහි දැනට ඔරං උටංලා කී දෙනෙක් ඉන්නවද?  

මේ වෙද්දී අලුත් පැටියත් එක්ක 4 දෙනෙක් ඉන්නවා. එකම පවුලක් තමයි ඉන්නෙ.  

දරු උපතක් සිදුවෙද්දී ඔරං උටං අම්මගෙ ගති පැවතුම් කොහොමද?  

ගොඩක් ආරක්ෂා වෙනවා. ඒ කාලෙට හැසිරෙන විදිය පවා වෙනස්. දුවන, පනින ඒවා පවා යම් දුරකට සීමා වෙනවා. හුදෙකලා වෙන්න බලනවා. ඒ වගේ ගති පැවතුම් තමයි දකින්න තියෙන්නෙ

එතකොට පිරිමි සතාගෙ හැසිරීම?  

ඒ කාලෙට හොර්මෝන වෙනස් වෙනවනෙ. ඒක පිරිමි සතාට හොඳට දැනෙනවා. ඒ වෙනසත් එක්ක දෙන්නගෙම හැසිරීම් යම් තරමකට වෙනස් වෙනවා. ගෑනු සතාව ආරක්ෂා කරනවා. දරු ගැබ මාස 9ක් තියෙනවා.  

ඒ කාලය තුළ සතුන් වත්ත නරඹන්න එන පිරිසට මේ අයගෙන් හිරිහැරයක් නැද්ද?

නෑ. එන අයට ලොකු කරදරයක් නෑ. පැටවා ලැබුණට පස්සෙවත් සැර පරුෂ නෑ. පැටියාව හොඳින් බලාගෙන සාමකාමීව ඉන්නවා. 

ප්‍රසූතියෙන් පසු පැටියා සාමාන්‍ය තත්ත්වයේ පසු වනවාද?  
පැටියා ලැබුණෙ උදේ 10.45ට වගේ, පැටියා සාමාන්‍ය විදියට ප්‍රසූත කළා. ප්‍රශ්නයක් වුණේ නෑ. සෞඛ්‍ය තත්ත්වයත් දෙන්නගෙම හොඳයි. පැටියාත් නිරෝගීයි.  


නිරෝගී පැටියෙක් කියලා හඳුනාගන්නේ කොහොමද?  
හොඳට කිරි උරා බොනවා, වෙනසක් පෙන්නන්නෙ නෑ. නියමිත උස, බර හැමදේම තියෙනවා පිරිපුන් විදියට හොඳින් ඉන්නවා.  


මේ අයටත් ගැබිනි සමයේ පශු වෛද්‍ය උපදෙස් අවශ්‍යද?  
නෑ. එහෙම විශේෂ දෙයක් නෑ. සාමාන්‍යයෙන් කූඩුවෙන් එළියට දැමූ විට ඒ ඒ අවශ්‍යතා ඉටුකර ගන්නවා. ඒ ඇරෙන්න විශේෂ සාත්තුවක් කළේ නෑ. ස්වභාවික විදියට ඉන්න ඉඩ සැලැස්සුවා. 

 

මේ සත්තු 4 දෙනාම ඉන්නෙ එකම කූඩුවේ. අලුත් අමුත්තාට සහෝදරයාගෙන් එහෙම ප්‍රශ්නයක් වුණේ නැද්ද?  
නෑ. 4 දෙනාම හොඳ සමගියෙන් ඉන්නවා. කිසිම කරදරයක් බලපෑමක් නෑ.  


ලංකාවෙ මීට පෙර ඔරං උටං දරු උපතක් සිදුවෙලා නැද්ද?  
මීට පෙර 2011 දීත් ඔරං උටං දරු උපතක් සිදුවුණා. ඒ සකීගේ සහ ඉයෆෝගේ පළමු පැටියා. 2017 මෙවර මේ දරු උපතත් දෙකම සිදුවුණේ දෙහිවල සතුන් වත්තෙ වීම විශේෂයි.  


දැන් පැටියාත් ප්‍රදර්ශනයට සුදුසු තත්ත්වයේ ඉන්නවාද?  
ඔව් ප්‍රදර්ශනයට දාලා තියෙන්නෙ. සතියෙ දවස්වලට නම් බලන්න එන පිරිස අඩුයි. සති අන්තයට නම් 10,000 - 15,000ක් වගේ පිරිසක් මේ අය නරඹනවා.


ආරක්ෂාවට යොදා ඇති විධි විධාන මොනවද?  
ස්වභාවිකව ඉන්න ඉඩ ලබාදීලා තියෙනවා. උපරිම ඉඩ කඩක් සලසා දී තියෙනවා. සතුන් වත්තෙ තියෙන්නෙ අක්කර 23ක ඉඩ කඩක්. ඉතින් ඒ ඉඩකඩේ ඔරං උටංලාට වෙන් කර ඇති ඉඩකඩේ තමයි ඔවුන් ගැවසෙන්නෙ. මේ සත්තු සාමාන්‍යයෙන් ගස්උඩ නඟින අය නෙමෙයි අතුවල එල්ලි එල්ලී යන්නෙ. ඇඟ බර නිසා.  


ඔරං උටංලාගේ ආයු කාලය කොහොමද?  
ඔරං උටංලාගේ ආයු කාලය අවුරුදු 35ක් 40 වගේ වෙනවා. කැලෑ පරිසරයේ ජීවත් වන සතුන්ගේ ආයු කාලය ඊට වඩා වැඩියි. අවුරුදු 50ක් 60ක් වගේ කාලයක් ජීවත්වෙන අවස්ථා තියෙනවා. වැඩුණු පිරිමි සතුන් තනිවම ජීවත් වෙනවා. ඒ වගේම ප්‍රජනන සමයේදී ගැහැනු සතුන් සමඟ එකට වාසය කරනවා. වැඩුණු ගැහැනු සතුන් පැටවුන් සමග තමයි වාසය කරන්නෙ. ඔවුන්ගේ නිජබිම් වනාන්තරවල නම් ඔරං උටං සතුන් 19,000ත් 25,000ත් අතර ප්‍රමාණයක් වෙසෙන බව තොරතුරු තිබෙනවා.

 

ධනු විජේරත්න 
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි