සත්සර නදින් ලෝකයක් නළවන දෘශ්‍යාබාධිත ගුරුතුමිය


 

 

 "සඳ කිරණෙහි ගැලී   
වැහෙන සඳ කත සිලිලී   
ජය කෙළි දැක බලී   
ගලන තුටු කඳුළු සිරි කියෙලී .."   


වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යයෙහි මෙලෙස සඳහන් වෙන්නේ; ගුත්තිල පඩිතුමාගේ වීණා වාදනය බලා වෑහෙන සතුටු කඳුළු "සඳ කිරණින් වෑහෙන එළිය හා සමාන බව" දක්වමිනි.   


සඳ එළිය මෙන් සෞම්‍ය වූ කඳුළු සලන්නට මේ සමාජයේ හැමෝටම හැකි වාතාවරණයක් හදන්නට" සඳරූ ප්‍රියංවදා චන්ද්‍රසිරි" දියණිය සමත් වන්නේ, දෘශ්‍යාබාධිත තත්ත්වයේ සිටිමින් ය. සත්සර නදින් ලෝකයක් නලවන්නට සමත් ඇය, දැන් 28 වැනි වියෙහි පසු වන පුංචි ඇදුරුතුමියකි.   


 කුරුණෑගල, තෝරයාය, ග්‍රීන් විලේජ්හි පදිංචි ඇය, ප්‍රාසාංගික කලා විශේෂවේදී උපාධිය ලබා, ලංකාවේ ප්‍රථමවරට ආරම්භ කළ උසස් පෙළ ප්‍රාසාංගික කලා විෂය ඉගැන්වීමේ ගුරුවරියක ලෙස කටයුතු කරන්නීය. 2018 වසරේ ජූලි මාසයේදී පත්වීම් ලැබූ ඇය, නැග‌ී එන හොඳම තරුණ කාන්තාව ලෙස ද, සම්මානයට පාත්‍ර වුණු අවධියක ඉරිදා ලංකාදීප අපි ඇය සොයා ගියෙමු .   


 බ්‍රේල් පෙළ පොත් නොතිබි 2007 වසරේ දී ප්‍රථම වරට ලංකාවේ පැවැති ඉංග්‍රීසි මාධ්‍යයෙන් අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ දහයක්ම ලබා ගනිමින් ලංකාවෙන් ප්‍රථම ස්ථානයට පත්වුණු ඇය, එතැනින් නොනැවතී 2010 වසරේ දී අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ද, "A" සමාර්ථ තුනක් ලබා ගනිමින් බ්‍රේල් අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ශ්‍රී ලංකා වාර්තාව ද තැබීය.   


 දිස්ත්‍රික්කයෙන් හතළිස් එක් වැනියා බවට පත් වූ ඇය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළව සංගීත උපාධිය හැදෑරුවාය. විශාරද උපාධිය ද ලබාගත් ඇය වාදන අංශයෙන් විශේෂතා දක්වන්නේ වයිලින් වාදනයට ය. ඊට අමතරව, තබ්ලාව, බටනළාව, ගිටාරය ඇතුළු සංගීත භාණ්ඩ වාදනය කිරීමට ද ඇය සමත් ය.   


ජාතික තරුණ සේවා සභාව මගින් 2012 වසරේ දී විශේෂ හැකියාවන් සහිත තරුණ තරුණියන් වෙනුවෙන් පවත්වනු ලැබූ "සිහිනය" නමැති වැඩසටහනේ දී , වයලින් වාදන අංශයෙන් ලංකාවේ ප්‍රථමයා බවට පත් වෙන්නට සඳරූ වාසනාවන්ත වූවාය . ඉන් අනතුරුව ඇය ජාතික තරුණ සේවා සභාව සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංගීත කණ්ඩායම් සමග එක්ව කටයුතු කරනු ලැබුවාය. ඒ අතරතුර රූපවාහිනිය ඔස්සේ විකාශනය වුණු ඉරෂ්ම්, ආයුබෝවන් යන වැඩසටහන් තුළින් ද ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කරන "වෙනස "වැඩසටහන් හතරකට සහ දොරමඬලාව වැඩසටහනකට ද සහභාගි වූවාය. පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවේදී ද ගායනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ඇය කතා කළේ ඉතාමත් සතුටිනි.   


2016 වසරේ දී ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ යෞවන සම්මාන උළෙලේ දී ගායන අංශයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ද සඳරු සමත් වූවාය. එම වසරේදීම "professional and career woman " සංවිධානය මගින් සංවිධානය කළ ඇගැයීම් උළෙලේදී "නැඟී එන හොඳම තරුණ කාන්තාව" ලෙසට සම්මානයට පාත්‍ර වූවා ය.   
විවිධ සම්මාන, ඇගයීම් සහ ජයග්‍රහණ ලබන අතරතුර, මහනුවර ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන දෘශ්‍යාබාධිත සාමාජිකයින් වැඩි පිරිසක් සම්බන්ධව සිටින "විෂන්" නමැති සංගීත කණ්ඩායමේ වයලින් වාදනය ද, කරන්නී ය. ඇය , එම කණ්ඩායමේ සිටින එකම කාන්තා සාමාජිකාවය. පූර්ණ දෘෂ්‍යාබාධිත තත්ත්වයේ සිටින ඇය, ඇගේ මව්පියන්ටත්, පවුලටත්, මෙන්ම ප්‍රදේශයට, පාසලට, සමාජයට, වටිනාකම් එකතු කළ සහ එකතු කරන කාන්තාවක් ලෙස හඳුනාගෙන අපි ඇය සමග කතාබහ කළෙමු.   


"මම ඉපදුණේ, 1991 වසරේ දී අනුරාධපුර පදවි ශ්‍රී පුර කියන ඉතාම දුෂ්කර ගමක. මගේ අම්මා ගුරුවරියක් ලෙසත්, මගේ අප්පච්චී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේත් වැඩ කළා. ඔය අතරතුරේ දී මගේ අම්මා මං වෙනුවෙන් විශේෂ අධ්‍යාපනය ඉගෙන ගත්තා. මට උගන්වන්න සුදුසු පාසලක් පදවියේ නොතිබුණු නිසා, අපි කුරුණෑගලට ඇවිත් පදිංචි වුණා. කුරුණෑගල, ගැට්ටුවාන මහා විද්‍යාලයට මාව ඇතුළු කළා. මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේ ඒ පාසලේ. ඒ කාලෙ ඉගෙන ගන්න බ්‍රේල් පෙළපොත් තිබුණෙ නෑ. ගොඩක් දේ ඉගෙන ගත්තෙ මගේ අම්මා කියවද්දී අහගෙන ඉඳලා. මගේ කිරි අම්මා සමහර පොත් මට ඇහෙන්න කියෙව්වා. කියවන දේ අහගෙන ඉඳලා ධාරණය කර ගත්තා. ඉස්කෝලේ එක වසරේ ඉදන් 11 වසර දක්වා ඉගෙන ගත්තා. ඒ ඉස්කෝලේ ගුරුවරු සහ මගේ යාළුවෝ මට ගොඩක් උදවු කළා. හැමෝම වගේ මට ආදරේ කළා. මම අමතර පන්තිවලට සහභාගි වුණෙ නෑ. එක වසරේ ඉඳලා සාමාන්‍ය පෙළ දක්වාම මම සාමාන්‍ය ළමයි අතරේ ඉගෙන ගත්තා. ඒ වගේම මම හැමදාම පන්තියේ පළවෙනියා වුණා. පහවසර ශිෂ්‍යත්ව විභාගයට මට ලකුණු තිබුණේ 131. ඒ අවුරුද්දේ කඩයිම් ලකුණු 132 යි. නමුත් මට ඒ ලකුණු පසුකර යන්නට නොහැකි වුණේ, රූපමය ප්‍රශ්න වලට උත්තර සැපයීමට නොහැකි වීම නිසයි.   
 2007 අවුරුද්දේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී හිටියා. ලංකාවේ ප්‍රථම වතාවට ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වුණු කණ්ඩායමෙන් මම ලංකාවේ ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ඊට පස්සේ මම උසස් පෙළ සඳහා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. එහි දී උසස් පෙළ සඳහා සංගීතය, දේශපාලන විද්‍යාව, සිංහල යන විෂයයන් ඉගෙන ගත්තා. ඒ කාලෙදිත් සාමාන්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග තමයි මම ඉගෙන ගත්තෙ. බ්‍රේල් වලින් පෙළපොත් තිබුණේ නැහැ. ගොඩක්දුරට ශ්‍රවණය කරලයි ඉගෙන ගත්තේ. ඕඩියෝ බුක් භාවිත කළා. මේ හැම දෙයක්ම පිටිපස්සේ මගේ අම්මයි, අප්පච්චියි, අයියා, කිරි අම්මා, නිරන්තරයෙන් ම හිටියා.   
මම පළමු වතාවෙම A සාමාර්ථ තුනක් ලබාගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ 41 වෙනියා බවට පත් වෙලා.   


සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දී මං විශේෂවේදී උපාධිය සම්පූර්ණ කළා. මම විශ්වවිද්‍යාලයෙන් අයින් වුණේ 2016 දී.   


 විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව සිටින කාලයේ දී මම ඉගෙනගත් ගැට්ටුවාන මහා විද්‍යාලයේ (මහින්ද මහා විද්‍යාලය) 8 වසරෙහි ඉගෙනගත් දෘශ්‍යාබාධිත නංගි කෙනෙක් සඳහා රාගධාරී සංගීතය පුහුණු කළා. එයා ගායන අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලැබුවා. ඒ වෙද්දි මට රැකියාව ලැබිලා තිබුණෙ නෑ.   


 2018 දී මම ගුරු විභාගයට පෙනී සිටියා. එහි දී පළාත් සභාව මගින් පවත්වනු ලැබූ ගුරු විභාගයේ දී මට අසාධාරණයක් වුණා. විභාගයට නියමිත වේලාව මට ලබානොදීම සම්බන්ධව ගැටලුවක් තමයි මතු වුණේ. විභාගය පැවැත් වූ නිලධාරීන් දැනුම්වත් වෙලා හිටියේ නෑ විශේෂ අවශ්‍යතා සහිත අය සඳහා වැඩිපුර ලබා දෙන විනාඩි 10 පිළිබඳව. එය මට අසාධාරණයක් වුණා. ඒ වගේ නිලධාරීන්ගේ දැනුම්වත්කමේ අඩුපාඩු නිසා අපි වගේ අයට ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ කොහොම වුණත්, මට එහිදී අසාධාරණයක් සිද්ධ වුණා.   


 ඒ වගේම තමයි ගොඩක් තැන්වල දී අපිට වැඩක් කරන්න බෑ කියලා ප්‍රතික්ෂේප වුණු අවස්ථා තියෙනවා. නමුත්, 2018 ජුලි මාසයේ දී මට ගුරුපත්වීම ලැබුණා. ජාතික පාසල් ගුරු විභාගයෙන් සමත් වෙලා. ඒ විභාගයේ දී මම ලංකාවේ විසි එක්වෙනියා ලෙස ලකුණු ලබාගෙන තිබුණා. ප්‍රායෝගික පරීක්ෂණයේ දී මං දහ වැනි ස්ථානය ලබාගත්තා. ඒ අනුව තමයි මට පත්වීම ලැබුණේ. මේ වන විට මම කුරුණෑගල උඩබදලව සුදර්ශන මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුන් සඳහා ප්‍රාසංගික කලා විෂය ධාරාව ඉගෙනීමේ කටයුතුවල නිරත වෙනවා. මේ ජූලි මාසය වනවිට මම ගුරු පත්වීම ලබලා වසරක් පිරෙනවා. මේ වෙද්දි මගෙන් පළමුවෙන්ම ප්‍රාසාංගික විෂය ඉගෙන ගත් දරුවන් හතර දෙනාම ජාතික තරුණ සේවා සභාවේ පුහුණුව ලබමින් සිටිනවා. ඒ වගේම විද්‍යාලයේ ජාතික ශිෂ්‍ය භට කණ්ඩායමේ නාට්‍ය සඳහා ද මගේ දායකත්වය ලබා දුන්නා. ඕනෑම කෙනෙකුට උත්සාහය කැපවීම සහ අධිෂ්ඨානය තියෙනවා නම් ඕනෑම ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියලයි මං හිතන්නේ.   


මම මේ වෙද්දි ගීත හතරක් සඳහා ගායනය, තනු නිර්මාණයට දායක වෙලා තියනවා. මගේ අනාගත බලාපොරොත්තුවක් තියෙනවා ගායිකාවක හෝ හොඳ වාදන ශිල්පිනියක වීමට. ඒ වගේම විදෙස් රටකට ගිහින් පශ්චාත් උපාධිය ලබන්නටත් කැමැත්තෙන් ඉන්නවා. නමුත් ඒ සඳහා තවම මට පහසුකම් නෑ.   


 "සඳ හිරුට සමාන" දියණියක් මෙලොවට දායාද කළ ඇගේ දයාබර මෑණියන් ජයවතී චන්ද්‍රසිරි මහත්මියයි. අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යන මග කියා දෙන්නට සඳරූට ශක්තිය වන ඇය සමඟ අපි කතා බහ කළෙමු.   


"මට දුව ලැබෙද්දි ගුරු වෘත්තියෙහි නියැළිලා හිටියේ. දුවගේ තත්ත්වය දැන ගත්තාට පස්සේ මම විශේෂ අධ්‍යාපනය හැදෑරුවා. ඊට පස්සේ මම විශේෂ අධ්‍යාපන ඒකක තියෙන පාසල් කිහිපයක වැඩ කළා. අත්දැකීම් තුළින් මගේ දුවට අවශ්‍ය සියලුම මග සලසන්න කටයුතු කළා. එයා වෙනුවෙන් ම අපි අපේ උපන් ගම අතහැරලා කුරුණෑගල පදිංචියට ආවා.   
මම මෙහිදී සඳහන් කරන්න ඕනේ එයා කවදාක්වත් හිතුවෙ නෑ මට බෑ.. මට නෑ.. කියලා. එයා කම්මැලි නෑ. හරිම උත්සාහවන්තයි. අධිෂ්ඨානශීලීයි. ඒ වගේම ධාරණ ශක්තිය හොඳින්ම තිබුණා. ඒ නිසා මම පොත් ගෙනැවිත් දුවට ඇහෙන්න කිව්ව්වා. එයා හොඳින් ඒවා ධාරණය කරගෙන විභාගවලට ඉතාමත් ශක්තිමත්ව මුහුණ දුන්නා. අද දුව ඉන්න තැන පිළිබඳව මම ගොඩාක් සතුටට පත්වෙනවා.   


එයා විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සෙ මම කොළඹ පාසලකට මාරුවුණා. එහිදී, මම දුවගේ අධ්‍යාපන කටයුතුවල දී ළඟින්ම හිටියා. දුව යන වැඩසටහන් සියල්ලටම වාගේ සම්බන්ධ වුණා. මෙහිදී මම කියන්න ඕනේ අපේ රටේ තියන ලොකු අඩුපාඩුවක් තමයි මේ වගේ විශේෂ අවශ්‍යතා සහිත අය පිළිබඳව නිලධාරීන් දැනුම්වත් නොතිබීම. මේ නිසා මේ දරුවෝ ඒ අපහසුතාවලට පත් වෙනවා. ඒ නිසා නිලධාරීන් දැනුම්වත් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා නම් අපිට මෙවැනි දරුවන්ගේ හැකියාවන් වලට තැනක් ගන්න ඉතාමත් පහසුයි. අපි ගොඩක් නිලධාරීන් ළඟට ගිහින් කතා කරාම ඒගොල්ලෝ කතා කරන්නේ මෙයාලගෙ හැකියාව පිළිබඳ නෙවෙයි, නොහැකියාව තමයි හොයන්නේ. සෘණාත්මක සිතුවිලිවලින් දකින පිරිසක් ඒ අය. වැඩිදෙනෙක් හිතන්නේ නෑ මේ වගේ ජයග්‍රහණය ලබලා ඉදිරියට එන්න මොන තරම් අරගල කළා ද කියලා. එ්ක කවුරුත් හිතන්නේ නෑ. මේ නිසා මං දකිනවා ගොඩක් බාධක කම්කටොලු මැද්දෙ රැකියා විරහිතව ගොඩක් අය ඉන්නවා. මේ අය සුදුසු අධ්‍යාපනය ලබලා බලාගෙනයි ඉන්නෙ. ඒ අයට රැකියාව දෙන්න තරම්වත් නිලධාරීන්ට පුළුවන්කමක් නෑ.   


ලෝකයේ වෙනත් රටවල් වල එවැනි දරුවන්ට විශේෂ සැලකිල්ලක් තිබෙනවා. අපේ රටේ ඒවා නැති වීම පිළිබඳව මම කනගාටුවට පත් වෙනවා. අපි දෙමව්පියන් විදිහට අපි දන්නවා මේ දරුවන්ගේ අනාගතයට අපි කොච්චර මහන්සි වුණා ද කියලා. නමුත්, ඒවට බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ සහයෝගය ලැබෙනවා නම්, කොච්චර වටිනවද? මේ අවශ්‍යතා සහිත දරුවන්ට තනියම වැඩ ගොඩක් කරන්න හැකියාවක් තියෙනවා. එකට හේතුව විශේෂ අවශ්‍යතා සහිත අය විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් වීමයි.   

 

 

 

සටහන - ඡායාරූප 
චාන්දනී දිසානායක