සත දහතුනේ දවස් පඩියෙන් වැඩ ඇරඹූ වතුකම්කරුවන්ගේ කතාව


මුල් කාලේ පඩි දුන්නේ බාගයයි. ඉතිරියට කංකානිගේ කඩෙන් බඩු ගත යුතුයි.  

 

 

සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ තාත්තා රම්බොඩ වත්තෙ කංකානි වැඩට ආවේ 1870 දීය. ඔහුගේ දිනක වැටුප සත 13 කි. වසර 20 කදී ඔහු රම්බොඩ වෑවොන්ඩන් වතු යායම මිලට ගත්තේය.  


1800 දී ලංකාවට ඉන්දියාවෙන් ආ වතුකම්කරුවාගේ දිනක වැටුප සත 13 කි. අවුරුදු හැත්තෑවකින් පසු (1870) ඒ ගණන සත 33 - 37 අතර ප්‍රමාණයකින් වැඩිවිය. එහෙත් ඔවුන් පඩිය දුන්නේ බාගයකි. ඉතිරි පඩියෙන් හාල්, පොල්, තුනපහ කංකානම්ගේ කඩෙන් ගත යුතුය.  


 කෙසේ වෙතත් වසර 221 කට පසු වතු කම්කරුවාගේ වැටුප දිනකට රුපියල් ද‌ාහක් විය යුතු බවට කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර තිබේ. එහෙත් එය කම්කරුවාගේ මූලික වැටුපට එකතු කිරීමට වතු කොම්පැණි අදිමදි කරති.  


ලංකාවට වතුකම්කරුවන් මුලින්ම ගෙන ආවේ කෝපි කාලයේදීය. කෝපි කාලය 1823 න් පටන්ගෙන 1880 න් අවසන් විය. කෝපි වගාව ලංකාවට හඳුන්වා දුන්නේ ජෝර්ජ් බර්ඩ් නැමැත්තෙකි. ගම්පොළ සමීපයෙහි සිංහපිටියේ බිහිකළ පළමු කෝපි වත්ත සුද්දන්ගේ කෝපි අන්දරයේ පළමුවැනි පරිච්ඡේදයයි. කෝපි වගාව ගැන උනන්දුවක් දැක්වූ එඩ්වඩ් බාන්ස් (1824 - 1831) ආණ්ඩුකාරයා ගන්නොරුවේද කෝපි වත්තක් ආරම්භ කළේය. ඉන්පසු රජය ද රජයේ නිලධාරීන් ද ක්‍රමයෙන් කෝපි වගාවට අවතීර්ණ වූහ. මුලදී ලංකාවේ කම්කරුවන් මෙයට යෙදවූ නමුත් ලාංකිකයන් කුලී වැඩට කැමැති වූයේ නැත.  
මේ කෝපි වතුවල කුලී වැඩට ඉන්දියාවෙන් වතු කම්කරුවන් ගෙන්වීමට පටන් ගත්තේ (1823) ඉන් පසුවය. බාන්ස් ආණ්ඩුකාරයා ප්‍රථම වතාවට දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් 1500 දෙනකු ගෙන්නුවේය. International Journal of Sociology And Anthropology 2014 කලාපයේ සඳහන් අන්දමට මේ 150 දෙනා ගෙන්වා ඇත්තේ තමිල්නාඩු (මැඩ්රාස් ප්‍රසිඩන්සි) චිංගල් පට්ටු, චෙංගල් පට්ටු, කොයින් බුටෝර්, මදුරෙයි, කාන් ජුවාර්, තිරුචිරාපල්ලි හා වෙනත් පළාත් වලිනි.  
ඔවුන් අයත් වූයේ ඉන්දියාවේ වන්නන්, පරයන්, කෝච්චි, පන්ඩාරම්, සක්කිලියන්, අගම්මුඩියන් ආදී පහත් යැයි සම්මත කුලවලටය. බාන්ස් ආණ්ඩුකාරවරයා ඉන්දියාවෙන් මේ පිරිස ගෙන ඒමට බලතල පැවරුවේ ලෙෆ්ටිනන් කර්නල් හෙන්රි සීබර්ඩ් නමැති අයෙකුටය. ඔවුන් රැගෙන ආවේ වෙනත් රටවලට නොයවන පරිදි විශේෂ කොන්දේසියක් මතය.  
දකුණු ඉන්දියාවේ එවකට තිබූ දුර්භික්ෂයත්, සමින්ද‌ාර්වරුන්ගේ ප්‍රවේණි ද‌ාස ක්‍රමයත් මොවුන්ගේ පැමිණීමට හේතු විය. ලංකාව සශ්‍රීක රටක් බව ඉන්දියානුවෝ අසා සිටි බැවින් වතු කම්කරුවෝ මෙහි ඒමට විශාල පිරිසක් ඉදිරිපත් වූ බව ඉන්ටර්නැෂනල් ජර්නල් සඟරාවට ‘ශ්‍රී ලංකාවේ වතු කම්කරුවෝ’ මැයෙන් ලිපියක් සපයන අහමඩ් එච්. ඉලියාස් මහතා (AHAMED H. ILLYAS) සඳහන් කර තිබේ. ඔහු සඳහන් කරන පරිදි 1830, 1840, 1844 වර්ෂවලදී විශාල වශයෙන් වතුකම්කරුවෝ ලංකාවට පැමිණියහ. මෙසේ පැමිණි අය අතර (1870 දී) වතුකම්කරු නායක සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ සීයා වූ කුමාර වේල් අම්බලම් නොහොත් කරුප්පයියා පිල්ලේ මහතා ද පැමිණ ඇත. මුලින්ම ලංකාවට ආ ‘තොණ්ඩමන්’ වරයා ඔහුය. ඔහු ඉපදී ඇත්තේ 1857 දී ය. එවිට ඔහුගේ වයස අවුරුදු දහතුනකි. මෙයට වසර 151 කට පෙර ලංකාවට පැමිණ කුලී කංකානම් කෙනෙකු ලෙස වැඩකළ තොණ්ඩමන් පරම්පරාවේ මීමුත්තා ‘වෑවන්ඩන්’ (WAVENDON) තේවත්තේය. මෙය පිහිටියේ රම්බොඩය. 1870 කංකානම් වූ මොහු වසර 20 කින් වැවෙන්ඩන් වතුයාය මිලට ගත්තේය.  


කුමාරවේල් අම්බලම් නොහොත් කරප්පයියා පිල්ලෙයිගේ පුතා සෞම්‍යමූර්ති තොණ්ඩමන් විය. තම පියා මිය යන විට ලංකාවේ ප්‍රධාන පෙළේ වතුහිමියකු හා ධනපතියකු බව එස්. තොණ්ඩමන් ලියූ ‘මයි ලයිෆ් ඇන් ටයිම්’ නමැති ස්වයං චරිතාපද‌ානයේ සඳහන් කර තිබේ. එස්. තොණ්ඩමන් මහතා 1947 සිට 1950 දක්වා තෝරාගත් මන්ත්‍රීවරයකු වූ අතර 1960 සිට 1970 දක්වා පත් කළ මන්ත්‍රීවරයෙකු විය. 1977 දී නුවරඑළියට තරග කොට විශාල ජයග්‍රහණයක් අත්කරගත් පසුව 1978 ග්‍රාමීය හා කර්මාන්ත සංවර්ධන ඇමැතිවරයා බවට පත් විය. 1984 දී ඔහු ප්‍රථම වතාවට වතුකම්කරුවන්ට දිනක මූලික වැටුප රු. 23.75 ක් ලබා දුන්නේ. ඔහු ලංකාවේ වතුකම්කරුවන්ගේ නායකයා මෙන්ම ලංකාවේ රජුන් තනන්නාද විය.  


කෝපි පානය ලෝකයේ ජනප්‍රිය වී ලංකාවේ කෝපිවලට ලෝක වෙළෙඳපොළේ ඉහළම තැනක් ලැබුණේය. අන් රට වලින් කෝපි ගෙන්වූ මිලටම ලංකාවේ කෝපි ගෙන්වීමට බ්‍රිතාන්‍ය එකඟවිය. ප්‍රංශය, බෙල්ජියම, වෑන් රථවලින් ගෙන්වූ නවීන යන්ත්‍ර සූත්‍ර මගින් මෙම කර්මාන්තය තව තවත් දියුණු කළේය. මේ නිසාම වතු කම්කරුවන් ගෙන්වීම තවතවත් වැඩිවිය.  


 1827 දී 10,000 ක් වූ ලංකාවේ වතුකම්කරු ජනගහනය 1847දී 50,000 කි. 1877 දී 1,46,000 කි. 1911 දී 6,92540 කි. 1946 දී 665855 කි. 1956 දී 864000 කි. මෙය 1967 වන විට 8,66797 ක් විය.  

 


 (මූලාශ්‍රය කොළඹ වි.වි. ලංකාමුතියන්ගේ බ්‍රිතාන්‍ය යුගය 1976)  


වත්තේ කුලීකාරයන් අඩු වූ විට සුද්ද‌ා කංකානියා ඉන්දියාවට යැව්වේය. ණය වී සිටියේ නම් කංකානියා ඒ ණය තුරුස් බේරා ඔවුන් පවුල් පිටින් කැඳවා ගෙන ආවේය. මෙසේ කැඳවාගෙන ආ ද්‍රවිඩ ජාතිකයන් සැතපුම් පනහ හැට ගෙවා වෙරළ දක්වාම එන්නට සිදුවූයේ බොහෝ විට පයින්ය. ලොරියක් වැනි දෙයක් ලැබුණේ ඉතාමත් කලාතුරකිනි. වෙරළට පැමිණ පැරණි තෙප්පන්වලට නැගී ලංකාවේ උතුරු වෙරළට ළඟා වීමට ඔවුන්ට සිදුවිය. පිරිසක් කොළඹට ද තවත් පිරිසක් තොණ්ඩමනාර්, පේසාලේ, ඔන්ගාලේ, මන්නාරම් ආදී පෙදෙස්වලට ද ගොඩ බැස්සේය. දිර්ඝ ගමනේදී කංකානිලාගෙන් කාන්තාවන්ට සිදුවෙන අතවර ද බොහෝය. ඒවා සිදුවූයේ මධ්‍යම කඳුකරයේ ඝණ කැලෑ, වියළි බිම්, කඳුපල්ලම්, දිග අගල්, පසුකරමින් පයින් එන විටය. කංකානියන්ට තැනක් නොතැනක් නැත. කම්කරුවෝ කැඳවා ආවේ හරක් දක්කාගෙන එන ලෙසටයි. අතරමගදී මැලේරියා, කොළරා, වසූරිය වැනි වසංගත වලට ද කම්කරුවෝ ගොදුරු වූහ.  
මේ දුෂ්කර දිගු ගමනට අලුත විවාහ වූ හෝ ළඟදී විවාහ වෙන්නට බලා සිටින තරුණ ජෝඩු ද ඔවුන්ගේ මව්පියෝ ද, පවුලේ දූ දරුවෝ ද වූහ. ඇතැම් විටක තනිකඩයෝද එකතු වී සිටියෝය. ඔව්හු කණ්ඩායම් කීපයකට ඇදුනේ තම තමන්ගේ අය එකට සිටීමට ඇති කැමැත්ත නිසායි. මුලදි මුලදී ඔවුන් ලංකාව හඳුන්වා ඇත්තේ තන්ඩි යන නමිනි. රැය පහන් කිරීමට නවාතැන් ගත්තේ කංකානිට ඕනෑ තැන්වලදීය. පිරිසගෙන් නැගෙන මැසිවිලි, කෙඳිරිලි වලින් අඩුවක් නැත. කාලවර්ණ කෘෂවී ගිය සිරුරුවලින් දිස්වුණේ අසරණ භාවයයි. ඔවුන් ඉපදුනේ දරිද්‍රතාවයත්, කුල පීඩනයත් ද‌ායාද කරගෙනය. මේ බයාදු ගැහැනු හා මිනිසුන් කිසිකෙනෙකු මලපොතේ අකුරවත් දැනගෙන සිටියේ නැත. ඔවුන්ගේ දූ දරුවන් ද එසේමය.  
කෝපි කර්මාන්තය දියුණුවේ හිනිපෙත්තටම නැංගා මෙන් එහි අවසානය ද වේගවත් විය. 1869 දී හැමේලියා වැස්ට්‍රාට්‍රික්ස් (HEMALIA VESTATRIX) නම් කොළ රෝගය ද Blight රෝගය ද නිසා කෝපි කර්මාන්තය විනාශයට පත්විය. කෝපි වගාවෙන් පසු සිංකෝනා වගාව ආරම්භ කළත් එය ද සාර්ථක වූවේ නැත.  
රාජකීය ඖෂධීය උද්‍යානය මගින් තේ සම්බන්ධයෙන් අත්හද‌ා බැලීම් කරනු ලැබුවේ මෙයටත් පෙරය. 1845 දී එ් මගින් කුඩා වත්තක් ඇතිකරනු ලැබීය. තවද ඉන්දියාවේ පැවැති තේ කර්මාන්තය පිළිබඳ වාර්තාවක් සැපයීම සඳහා 1867 දී ඔවුන් විසින් වැවිලි කරුවෙක් පත්කරන ලදී. 1973 දී තේ වැවිල්ලේ ප්‍රමාණය අක්කර 250 කට සීමා විය. එය 1883 දී අක්කර 35,000 දක්වා වැඩිවිය. 1884 දී මේ ප්‍රමාණ දෙගුණ විය. ඉංග්‍රීසි පාලකයන්ට තේ වගාව වැඩිවත්ම තමන්ට අවනත කම්කරුවන්ගේ අවශ්‍යතාව ද වැඩි විය.  
1943 වෙන විට ඉන්දියාවෙන් ලංකාවට ආ දෙමළ ගැහැනු පිරිමි සංඛ්‍යාව 1,600 ක් විය. ඔවුන් ලංකාවට පැමිණ තේ වතුවල රැකියාව කළ නමුත් තම මව්රට සමග සම්බන්ධකම් අත්හැරියේ නැත. ඔවුන්ගේ අරමුණ වූයේ කීයක් හරි හොයාගෙන ආපසු ඉන්දියාවට යාමටයි. ලංකාවේ තේ වතුවල රස්සාව කරන ගමන් වතු කම්කම්කරුවෝ තම තමන්ගේ නෑ මව්පියාදීන් බැලීමටත් සුළු නිවාඩුවක් ගතකිරීමට කලින් කල ඉන්දියාවට යාමටත් ආපසු ඒමටත් පුරුදු වී සිටියෝය.  
 ඉන්දියානු කම්කරුවන්ගේ ආගමනය හා විගමනය බොහෝ විට පැවතුණේ ලංකාවේ හා ඉන්දියාවේ පැවැති ආර්ථික තත්ත්වය මතය. ලංකාවේ වැවිලි කර්මාන්තය අතිශයින් දියුණු වූ කාලවලදී ඉන්දියාවෙන් කම්කරුවන් විශාල වශයෙන් එන්නට පටන් ගත්තේය. එරට සාගතය, වසංගත පැතුරුණ කාලවලදී මෙය තවතවත් වැඩි විය. කුමන දුෂ්කරතා මධ්‍යයේ වුවත් මුදල් රැගෙන ඉන්දියාවට ගියෝය. මේ සඳහා ගමන් බිමන් පහසුව සලසා තිබුණි. මදුරාසිය, නෙගපතම් හා අවට නැව් තොටවල් වලින් කම්කරුවන්ට නිරන්තරයෙන්ම කොළඹට ඒම සඳහාත් ඉන්දියාවට යාම සඳහාත් (1866) බොම්බායේ එක්තරා සමාගමකට තුන් අවුරුද්දක වාර්ෂික මුදල් ආධාර වශයෙන් ගෙවන ලදී. ඒ අනුව නිතර නිතර නැව් ගමනාගමනය සිදුවිය.  
බ්‍රිතාන්‍ය ආණ්ඩුව අනුගමනය කළ තවත් සහනයක් වූයේ ලංකාවේ වතුකම්කරුවන්ගේ ජීවන තත්ත්වය දියුණු කිරීමයි. ඔවුන් වැඩි කාලයක් වැඩට බඳවා ගැනීම සම්බන්ධයෙන් ඇතිකර ගනු ලැබූ ‘ලෙන්තන්ඩ් එන්ගේජ්මන්ට් ඕඩිනන්ස්’ නම් වූ ආඥ‌ාවක් 1861 දී පැන වීමයි. මෙයින් විදේශ කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා විය. වෛද්‍ය සේවා පහසුකම් නොමිලයේ ඇතිවිය. ඒ අනුව යුරෝපීය වෛද්‍ය නිලධාරීහු පත් කළහ. මෙයින් පසු රටපුරා මංමාවත් තැනීම නොකඩවා සිදුවිය. කොළඹ - මහනුවර ආදී වශයෙන් දුම්රිය මාර්ග ඇති කළෝය.  


වෝඩ් ආණ්ඩුකාරයාගේ (1855 - 1863) කාලය වෙන විට ලංකාව පුරාම පාරවල් හා පාලම් බොහෝ දුරට සම්පූර්ණ කර තිබුණි. දුම්රිය මාර්ග තැනවීම, වරාය දක්වා මංමාවත් පහසුකම් සැලසීම සිදුවිය. 1860 සිට කෝපි කර්මාන්තයට ඇතිවූ පරිහානිය නිසා යුරෝපීය වැවිලිකරුවෝ 400 කට වැඩි පිරිසක් ලංකාවෙන් පිට වී ගියෝය. ඇතැම් ඉංග්‍රීසි කොම්පැණිකාරයෝ කෝපි වගාව ගැන බලාපොරොත්තු අතහැර දමා 1861 දී හග්ගල ඇතිකරනු ලැබූ සිංකෝනා වගාවට වැවිලිකරුවන්ගේ සිත යොමුකළේය. 1877 දී ලංකාවේ තිබූ සිංකෝනා ප්‍රමාණය අක්කර 6600 කි. ටික කලකින් එය අක්කර 60,000 දක්වා නැංගේය. ජාවාරමෙන් නිපදවනු ලැබූ සිංකෝනා ප්‍රමාණය ඕනෑවටත් වඩා වැඩිවීම නිසා ලංකාවේ සිංකෝනා වැවිල්ල ක්‍රමයෙන් සුළු ව්‍යාපාරයක් බවට පත් විය. මේ අනුව කෝපි වගාව මෙන්ම සිංකෝනා වගාව ද නැවතුණි. එහෙත් කෝපි ගස මැලවී ගිය තැන තේ පැළය සරුවට වැඩුණි.  


තේ වගාවේදී ඉන්දියාවෙන් ආ වතු කම්කරුවන්ට තිබූ දුෂ්කරතා, අඩු පහසුකම්, තේ වගාව්දීත් වෙනසක් වූයේ නැත. වෙනස වුණේ කෝපි වගාව තේ වගාව වීම පමණකි. ලැයිමත් පඩියත් පෙර සේමය.  


පඩිය (1839 දී) පිරිමියෙකුට සත තිස්තුනකි. ගැහැණියකට දිනකට සත විසිපහකි. ඇතැම් වතුවල පාලකයෝ නියම ක්‍රමයකට වැටුප් ගෙව්වේ නැත. ගෙවන ලද්දේ තුන් මසකට වරක් පමණී. කම්කරුවෝ නිරතුරුවම ණය ගැති වී සිටියහ. කංකානම්වරු පඩිගෙවීමේදී කම්කරුවන්ට වංචා කළහ. කම්කරුවෝ ආහාර වේලක් නැතිව උදේ 6.00 සිට සවස 4.00 දක්වා වැඩකළහ. මුදලින් ගෙවන ලද්දේ වැටුපෙන් කොටසක් පමණි. ඉතිරි කොටස ගෙවන ලද්දේ සහල් වලිනි.  


 ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ කෙටි ඉතිහාසය   


1893 - 1947 කුමාරි ජයවර්ධන පිටු 6-7)  


දරුණු දඬුවම් දීම, තැලීම හා මුරකාර ක්‍රමයක් මගින් වතුවල කම්කරුවන් වෙත යුදහමුද‌ා පන්නයේ පාලන ක්‍රමයක් එද‌ා පනවා තිබුණේය. කම්කරුවාට තමා වැඩකරන ස්ථානයෙන් ඉවත්ව යාමට නිදහසක් තිබුණේ නැත. එසේ කළොත් ඔහු හිරේ යැවීමට පුළුවන්කම තිබුණි.  


මේ පිරිස බ්‍රිතාන්‍ය රජයට අයත් හෝ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ කොම්පැණිවලට සේවයේ යෙදවුණි. එදා පැවැති සියලුම වතු ප්‍රමාණය දහස් ගණනක් විය. අද ඒවා එංගලන්තයේ හා ලංකාවේ හවුල් වතු සමාගම්ය. නුවරඑළිය ටී එස්ටේට්, බොගවන්තලාව, ක්රේශ්හෙඩ් ටී කොම්පැණි ලිමිටඩ්, ද එල්ස්ටන් ටී කොම්පැණි ලිමිටඩ්, රෝසන්සේ සිලෝන් ටී කොම්පැණි, ලිඳුල ටී කොම්පැණි, රාගල ටී එස්ටේට්, දිඹුලවැලි ටී එස්ටේට්, බ්ලැක්වෝටර් ස්ටේට්, මේ ආදී වශයෙන් සිය දහස් ගණනක් තේ කොම්පැණි හා තේ වතු අදත් මෙහි ඇත.  


 පුරවැසිභාවය හා නීති  


 වතු කම්කම්කරුවන් වෙනුවෙන් මුලදී සුද්ද‌ාට නීතියක් තිබුණේ නැත. ගෙන්නා ගැනීමත්, පන්නා දැමීමත් සිදුවුණේ සුද්දන්ට ඕනෑ විදියටය.  


මුල්ම තේ වත්ත බාන්ස් ආණ්ඩුකාරයාගේ නිසාත් ඒ වන විට ඉන්දියාවත් එංගලන්තයේ යටත් විජිතයක් නිසාත් නීතිය වූයේ සුද්දන්ගේ නියමයන්ය. ඔවුන්ගේ අවශ්‍යතාවට නීතියක් නොවීය.  


 වතු කම්කරුවන්ට නීති රීති  


ලංකා රජය 1948 නොවැම්බර් 15 ද‌ා අංක 18 දරණ පුරවැසි පනත ගෙනාවේ ඉන්දියාවෙන් ආ දෙමළ වතු කම්කම්කරුවන්ට තාවකාලික පදිංචි සහතික ‘ටෙම්පරි රෙසිඩන්ට් පර්මිට්’ (TRP) ලබා දීමටය. සිදුවූයේ ඉන්දියාවේ ඇතැම් ධනපති පවුල්වලට පුරවැසිකම් ලබා දීමය.  


 1948 - 1949 දී සංශෝධනය කරමින් වතු කම්කරුවන්ට ඡන්ද බලය ලබා දීමට ප්‍රයන්තයක් දැරුවේය.  


1949 දී ඉන්දියානු පාකිස්තාන් පදිංචිකරුවන්ට අංක 3 දරණ පනතින් ලංකාවේ පුරවැසිකම් ලබා දීමට කටයුතු කළ ද වසර ගණනක් ලංකාවේ පදිංචි වතුකර පුරවැසියන් විශාල පිරිසකට ඒ වරප්‍රසාදය හිමිවූයේ නැත.  


 1954 දී ඉන්දු - ලංකා ගිවිසුම  


නේරු - කොතලාවල ජන නායකයෝ මැදිහත් වී වතුකම්කරු විශාල පිරිසකට පුරවැසිකම් ලබා දීමට කටයුතු කළ ද සියලුම වතු කම්කරුවන්ට පුරවැසිකම් ලැබුණේ නැත.  


 1964 සිරිමා ශාස්ත්‍රී ගිවිසුම  


 මේ වෙන විට රටක් නැතිව සිටි වතුකම්කරුවෝ 975,000 ක් වූහ. මෙයින් පිරිසක් ආපසු ඉන්දියාවට බාර ගැනීමට ඉන්දියානු රජය කැමැත්ත පළකොට තිබුණි. ඉතිරි පිරිසට ලංකාවේ පුරවැසිකම් දීමට සිරිමාවෝ බණ්ඩාරනායක රජය තීරණය කළාය. සෙසු ඉන්දියානුවන්ට ලංකාවෙන් පිටවීමට සිදුවුණේය.  


මේ වෙන විට එම ඉන්දියානුවන් ලංකාවට හුරුපුරුදු වී සිටියෝ වූහ. ඔවුන්ට සිංහල භාෂාව කතා කිරීමටත්, ලිවීමටත්, කියවීමට හැකි වී තිබුණි. ඇතැම් හූ සිංහල ප්‍රභූ ගෙවල්වල විශ්වාසවන්ත ගෘහ සේවකයෝ බවට පත්වී සිටියහ. තවත් පිරිසක් ගම්වල, නගරවල, සුළු සුළු ව්‍යාපාර පවත්වාගෙන ගියෝය. මේ වනවිට ලංකාවේ බාබර් සාප්පු, පවත්වාගෙන ගියේ ඔවුන්ය. තෝසෙ, වඩේ, කඩල වැනි ව්‍යාපාර හිමියෝ ඔවුන්ය. පරණ පත්තර, බෝතල් එකතු කිරීමේ ව්‍යාපාරය ද, පරණ යකඩ ව්‍යාපාරය තිබුණේ ඔවුන් අතේය. ඔවුන් ඇමැතුවේ ‘අයියා’ යන ආදර නාමයෙනි.  


වසර ගණනක් සිංහලයන් සමග එකට සිටිමින්, ඔවුන්ට උදව් උපකාර කළ දෙමළ අයියලාටත්, තංගච්චිලාටත් මෙරටින් පිට වීමට සිදුවීම දෙපාර්ශ්වයටම දරාගත නොහැකි වේදනාවකි. මේ ද්‍රවිඩ පිරිස ලංකාවත්, සිංහලයිනුත් අතහැර යාමට නොහැකිව හඬා වැළපුණේ වාවාගත නොහැකිවය. ඔවුන්ට තම මවු රට වූ ඉන්දියාවට යාම සතුටක් නොව වේදනාවක් විය.  


මේ පිරිස් ඉන්දියාවට පිටත්කර යවන්නට සූද‌ානම් කර තිබුණේ බෝට්ටුවලින් හා දුම්රියෙන්ය. ඔවුන් පිටත්කර ඇරලීමට දුම්රියපොළට, වරායට සිංහලයෝ විශාල වශයෙන් ගියේය. මේ වෙන්වීම දරාගත නොහැකි එකකි. සිංහලයෝත් ඇඬුවෝය. ද්‍රවිඩයෝත් ඇඬුවෝය. සිංහලයෝ තමාගෙන් වෙන් වී යන හිතවතුන් වෙනුවෙන් මිල මුදල් ඇඳුම්, ඇඳුම් පැළදුම් පමණක් නොව යකඩ රන් රිදී පවා පරිත්‍යාග කර තිබුණි.  


සිරිමා - ශාස්ත්‍රී ගිවිසුමේ දෙවැනි වටය ඇරඹුණේ 1974 දීය. මෙහිදී 1981 දී අහෝසිකර තිබූ ‘කනවැන්දුම්’ දෙමළ වතුකම්කරුවන්ට හා වසර 10 ක් නොකඩවා ලංකාවේ පදිංචිව සිටි වතු කම්කරුවන්ට හා වෙනත් ද්‍රවිඩයන්ට ලංකාවේ පුරවැසිකම් (ලියාපදිංචි) හිමිවිය. එමෙන්ම රටක් නැති අයට ද පුරවැසිභාවය හිමිවිය.  


 1986 ජේ.ආර්. ජයවර්ධන රජය සමයේ අංක 5 දරණ විශේෂ පුරවැසි පනත යටතේ 1964 සිට 1970 දක්වා ලංකාවේ පුරවැසිකම් අහිමි වූ සියලු දෙනාටත්, සුවිශේෂී පුද්ගලයන්ටත් ලියාපදිංචියෙන් ස්ථීර පුරවැසිකම් ලබා දුන්නේය. මෙහිදී තවත් විශේෂයක් වූයේ ලංකාවේ සිට LTTE යුද්දෙට ඉන්දියාවට පළා ගිය සියලු දෙනාටම මෙහි ගෙන්වා පුරවැසිකම් ලබා දීමයි. 1988 දී විශේෂ විධිවිධාන පනතක් මගින් එතෙක් පුරවැසිකම් අහිමිව සිටි සියලුම වතු කම්කරුවන්ටත්, මෙහි පැමිණීමෙන් පසු උපත ලැබූ සියලු දෙනාටත් පුරවැසිකම් හිමිවිය. විශේෂයෙන් යාපනයේ ද්‍රවිඩයන්ටත් පුරවැසිකම් ලැබුණි.  


 වෘත්තීය සමිති


වතු කම්කරුවන් වෙනුවෙන් 1800 සිට 1931 වෙනතුරු කිසිදු වෘත්තීය සමිතියක් පිහිටු වූයේ නැත. සංඛ්‍යාව අතින් විශාල වූත්, වැඩියෙන් දුක්ගැනවිලි තිබුණ වූත් නිර්දය ලෙස සූරාකනු ලැබුවා වූත් ලංකාවේ කම්කරු පිරිස වතු කම්කරුවෝය. දිවයිනේ අඩුම වැටුප් ලැබුවෝ ඔව්හුය. එද‌ා දිනපතා පඩිය පිරිමියෙකුට සත 33 කි. ගැහැණියකට සත 25 කි.  
 දකුණු ඉන්දියාවේ සිට පැමිණි බ්‍රාහ්මණ වංශිකයකු වූ නතේස අයියර් 1931 දී සමස්ත ලංකා වතු කම්කරු සංගමය ආරක්ෂා කළේය. අයියර් වතු කම්කරුවන් ගැන උනන්දුවක් දක්වන්නට වූයේ 1925 දී ය. එකල සුද්දන්ගේ වතුවලට පිට අයට ඇතුළුවීම තහනම් විය. එහෙත් නතේස අයියර් උපක්‍රමශීලීව වතුවලට ඇතුළු වී ඔවුන්ගේ දුකට කන් දුන්නේය. ඔහු වතුකම්කරුවන් අතර ඉතා ජනප්‍රිය විය. 1926 - සිට 1931 දක්වා ව්‍යවස්ථාද‌ායක මන්ත්‍රණ සභාවේ ඉන්දියානු මන්ත්‍රීවරයා වශයෙන් පත්වන්නට ඔහු සමත් විය. නතේස අයියර් ඒ.ඊ. ගුණසිංහ සමග මුල් කාලයේදී සමීප සබඳතා පැවැත් වූ නමුත් ගුණසිංහ මහතාගේ සිංහල,​ බෞද්ධ හා ඉන්දියානු විරෝධී ප්‍රතිපත්ති මතුවන්නට වීම නිසා නතේස අයියර්ට ගුණසිංහ මහතා එපා විය.  


1931 දී නතේස අයියර් සමස්ත ලංකා වතු කම්කරු සම්මේලනය පටන් ගත්තේය. වතු කම්කරුවන්ගේ ගැලවුම්කාරයා වූ ඔහු 1936 දී හැටන් මන්ත්‍රීවරයා ලෙස තේරී පත්විය.  
 වතුකම්කරුවෝ වහල් භාවයෙන් මිදුනේ එතැන් සිටය. වතුවලට පාසල් ලැබුණි. රෝහල් හා වෛද්‍ය පහසුකම් ලැබුණි. වෘත්තීය සමිති ඇතිවුණි. සුබසාධක සංගම් හා විවිධ වරප්‍රසාද හිමිවුණි.

 

 

 පී.ඇම්. සේනාරත්න