සංවර වීමෙන් කෙලෙස් නිවා නිවනට මඟ පාදා ගන්න


බුදුරජාණන් වහන්සේ ලෝකවාසී සත්වයන් උදෙසා දේශනා කොට වදාළේ ජාති, ආගම්, කුල, පන්ති වශයෙන් වර්ග නොවූ, වර්ග නොවන විශ්ව සාධාරණ, ධර්මතාවකි. මේ සර්ව සාධාරණ ධර්මතාව තුළ පැහැදිලි වශයෙන් දෙපැත්තක් හඳුනාගත හැකිය. මඤ්ඣිම නිකායේ දේදාවිතක්ක සන්තාන සූත්‍රයෙහි දුකට හේතුවන පැත්තක් හා දුකින් නිදහස් වෙන පැත්තක් දේශනා කර ඇත. 


ඒ සඳහා මෙහෙය වෙන අන්දමද දේශනා කර ඇත. පහාතබ්බා වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉවත් කළ යුතු දේය. භාවේතබ්බා ලෙස වැඩිය යුතු, දියුණු කළ යුතු කොටසක්ද දේශනා කළහ.


මේ පිළිබඳ කරුණු ‘සේවිතබ්බා අසේවි තබ්බ්ා සූත්‍රයේද’ මහා සතිපට්ඨාන සූත්‍රයේද, ධම්මචක්කපවත්තන සූත්‍රයේද විස්තර කෙරෙයි. 


මහා සතිපට්ඨාන සූත්‍රයේ,
‘ඒකායනෝ අයං භික්ඛවේ
සත්තානං විසුද්ධියා
සෝක පරිද්දවානං සමතික්ඛමාය
දුක්ඛ දෝමනස්සං අත්ථංගමාය
ඤායස්ස අධිගමාය
නිබ්බානස්ස සච්චි කිරියාය.’


වශයෙන් කෙලෙස් ප්‍රහීණ කොට පරම සත්‍යය අවබෝධයට ළං වන ආකාරය පෙන්වා ඇත. මේ විශ්වයේ ශෝක, පරිදේව, දුක්ඛ දොමනස්ස ඇති පැත්තක හා ඒවා නැති පැත්තක් ගැන මේ සියලු සූත්‍ර ගැඹුරින් කිඳා බසින විට පෙනී යයි. නිවන් දැකීම සඳහා මූලික වෙන ආශ්‍රව (කෙලෙස්) ඉවත් කරන කරුණු හතක් ගැන සම්බාසව සූත්‍රයේදී විස්තර වෙයි. මෙහි දස්සන පහාතබ්බා කාරණය පසුගිය සතියේ සාකච්ඡා කළෙමු. අද එහි තවත් කොටසකි.


සබ්බාසව සූත්‍රයේදී කෙලෙස් ඉවත් කිරීමට ඉවහල් වෙන දෙවැනි කාරණාව සංවරා පහාබ්තම්බා ලෙස දැක්වෙනවා. එනම් සංවර වීමෙන් කෙලෙස් ඉවත් කරන ආකාරයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සංවර කළ යුතු ස්ථාන පිළිබඳව. මොනවද ඒ.?


● චක්ඛු ඉන්ද්‍රියං සංවරං සංඋතෝ විහරති
ඇස සංවර කරගෙන වාසය කරන්න.
● සෝත ඉන්ද්‍රියං සංවරං සංඋතෝ විහරති
කන සංවර කරගෙන වාසය කරන්න.
● ඝාණ ඉන්ද්‍රියං සංවරං සංඋතෝ විහරති
නාසය සංවර කරගෙන වාසය කරන්න.
● ජිවුහා ඉන්ද්‍රියං සංවරං සංඋතෝ විහරති
දිව සංවර කරගනෙ වාසය කරන්න.
● කාය ඉන්ද්‍රියං සංවරං සංඋතෝ විහරති
කය සංවර කරගෙන වාසය කරන්න.
● මන ඉන්ද්‍රියං සංවරං සංඋතෝ විහරති
මනස සංවර කරගෙන වාසය කරන්න.


අශ්‍රැතවත්, අනාර්ය, ආර්ය ධර්මයේ නොහික්මුණෝ නිතරම කටයුතු කරන්නේ මේ ඉන්ද්‍රියන් ආයතන ලෙස සලකාගෙනයි. ඔවුන් ඉන්ද්‍රියන් මෙහෙය වන්නේ රාග, ද්වේශ, මෝහ වලිනුයි. අයෝනිසෝ මනසිකාරයෙනුයි. අත්ථතාපන පරත්ථතාපන (තමන්ද තැවෙමින්, අනුන්ද තැවීමටයි.) මේ නිසා තමන්ටත් අනුන්ටත් දුක, ශෝකය, පරිදේවය ඇති වීම ස්ථීරය.


ඇස මෙහෙයවන්නේ රාගයට නම්, ඇස මෙහෙය වන්නේ ද්වේශ්‍යට නම්, ඇස මෙහෙයන්නේ මෝහයට නම් ආර්ය මාර්ගය ඈතට යනවා. ආර්ය මාර්ගය ළං වෙන්නේ ඇස, රාග ද්වේශ, මෝහ යන ‘සං’ වලින් ඉවත් කරන තරමටයි. 


ඇස පමණක් නොව සෙසු ඉන්ද්‍රියන්ද රාග, ද්වේශ, මොහයෙන් ඉවත් කළ යුතුය. ඉන්ද්‍රිය රාග, ද්වේශ, මොහයේ ගිලී යන විට තමන් කෙලෙස් වලින් ගිනි තබා ගන්නවා. එසේම අනුන්ටත් ගිනි තබනවා. හිර ගෙදර සිටින්නේ අසීමාන්තිකව එහි කෙළවරට ගිය අයයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉන්ද්‍රියන් තමාගේත්, අනෙකාගේත් නිවීම උදෙසා භාවිතා කරන්නට කියායි. ඒ තැනැත්තාගෙන් ගහ කොළට, සතා සීපාවට, සොබා දහමට කරදරයක් නෑ. ඔහුත් නිවිලා. පරිසරයත් නිවිලා.


පසුගිය වෙසක් දවසේ ගව පැටවකුගේ පිටුපස ගාතයේ කොටසක් කපා ගොසින් ළිප තබා වෑංජන හැදූ පුවතක් වාර්තා වුණා. ගව පැටවා වේදනාවෙන් කෑ ගසද්දී, ශරීරයේ කොටසක් මසට ඉදෙනවා.


‘සං’ වලින් ඉන්ද්‍රිය විපතට පත් පුද්ගලයාගේ ස්වභාවය හඳුනා ගන්නට මෙය හොඳම තැනක්. ඒ තරමට පෘථග්ජනයා අඩු වැඩි වශයෙන් උම්මත්තකයන් වෙලා.


තවත් තැනක පෘථග්ජනයා කාමයෙන් විපතට පත් වෙලා. තව විටක ඊර්ෂ්‍යාවෙන් විපතට පත්වෙලා. රැවටීමෙන් විපතට පත්වෙලා. පෘථග්ජනයන් කුමන කුමන දෙයින් හෝ විපතට පත් වෙලා.


එයට ජාතියක් ආගමක්, කුලයක් නෑ. ඒ සියලු පෘථග්ජනයන් අයිති මාරයාටයි.


ඊළඟට පටිසේවනා පහාතබ්බා වශයෙන් සබ්බාසව සූත්‍රයේ තුන්වැනි කාරණය විස්තර කරනවා. පටිසේවනා පහාතබ්බා යනු සිව්පසය පරිහරණය කරන ආකාරයයි. සිවුපසය නම් චීවර, පිණ්ඩපාත, සේනාසන හා ගිලානෝප්‍රත්‍යයි.


දැන් මේ කාරණය අහපු ගමන් පෘථග්ජනයා හිතනවා, ආ මේක අයිති අපට නෙවෙයි. මෙය බුදුහාමුදුරුවෝ දේශනා කාළේ භික්ෂූන්ට පමණයි කියලා. අන්න එතැනයි ගිහියෝ වරදවා ගත්ත තැන. ගිහියන්ට ආර්ය මාර්ගයේ යන්න බැරි මේකයි. ගිහියෝ ආර්ය මාර්ගයේ යනවා නම් බුද්ධ දේශනාව පිළිගන්න ඕනෑ. වැරදි දෘෂ්ටියෙන් මිදෙන්න ඕනෑ. සිවුපසය පරිහරණය ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළේ භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා යන සිවුවනක් පිණිස අරබයාමයි.


බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ, ඇඳුමක් අඳින්නේ.


● සීතස්ස පටිගාථාය - සීතලයෙන් වැළකීම සඳහාය.
● උන්නස්ස පටිගාථාය - උණුසුමින් වැළකීම උදෙසාය
● දංසමකස වාතා තිපසිරිං සම සම්පස්සානං පටිගාථාය 


ශරීරය විද ලේ බොන මැසි මඳුරුවන්ගෙන් හා ලැජ්ජා බයෙන් ආරක්ෂා වීම සඳහාය.


භික්ෂූන් වහන්සේලා චීවරය පොරවන්නේ ඒ සඳහාය. මේ කාරණා ගිහි ඇත්තන්ටත් පොදුයි.


නමුත් ගිහියෝ ලජ්ජා බයෙන් ආරක්ෂා වෙන්න ඇඳුම් අඳිනවාද?


කාන්තාවන් පිරිමියාගේ රාග, ද්වේශ, මෝහ ඇති වෙන පරිදි අඳිනවා. පිරිමියා කාන්තාවන්ගේ රාග, ද්වේශ, මෝහ ඇතිවන පරිදි අඳිනවා.


පන්සලට එන්නෙත් සමහර උපාසිකාවෝ ලජ්ජා බයක් නැතිව. කාමය වෑහෙන ඇඳුම් ඇඳගෙනයි. කාට පේන්නද? බුද්ධ, ධම්ම, සංඝ රත්නයට පේන්නද? ආර්ය මාර්ගයට යන විට පරිහරණය කරන ඇඳුම් පැලඳුම් ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ. ඒකයි බුදුරාජණන් වහන්සේ සිවුපසයේ ‘චීවර’ කොටසින් බලාපොරොත්තු වුණේ.


ආහාරය වුණත් එහෙමයි.


‘පටිසාංකායෝනිසෝ පිණ්ඩපාතං පටිස්වති’
නමදාය - මදනයට නොවේ.
නමණ්ඩනාය - ඇඟපත හඳා ගන්නටද නොවේ.
න විභූසනාය - අනුන්ගේ සිත් ප්‍රකෝප කරවන, කටයුතු කිරීමට හෝ විකෘති මානසික තත්ව ඇති කිරීමට නොවේ.


එහෙනම් ඇය ආර්ය ශ්‍රාවකයා ආහාර ගන්නේ?
‘යාව දේව ඉමස්ස කායස්ස තිථියා යාපනාය’
මේ ශරීරය පවත්වා ගැනීමටයි.


සිල් සමාදන් වෙන ගමන් භාවනා වඩන ගමන්, සුඛෝපභෝගී ආහාර සොයනවා. එතකොට ආර්ය මාර්ගය කොහෙන් හොයා ගන්නද? අපි ආහාර ගන්නට ඕනෑ මදනය, විසේ, කුලප්පුව ඇති වීමට නොවන බව කල්පනා කරන්න. ඔබ ඒ ඒ සියල්ල තියාගෙන නිවන අල්ලන්න බලනවා.


‘විහිං සූප රතිය’ - කාමය, රතිය ඇතිවීමට ආහාර ගන්නේ නෑ


බ්‍රහ්ම චරිය අනුග්ගහය- බ්‍රහ්ම චරියාවට අනුග්‍රහය පිණිසයි ආහාර ගන්නේ.


බ්‍රහ්ම චර්යාව ලෙස මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, වීතරාගී, වීත දෝෂී, වීත මෝහී වෙන්න. එවිට ඔබ උම්මත්තක නෑ.
කෝටි ගාණක් වියදම් කරලා ගෙවල් හදන්නේ, ආසන හදන්නේ වැජඹෙන්න, මාන්නයට මිස අනෙකකට නොවෙයි.


අද ඇඳුම පැලඳුම, ආහාරය, නවාතැන මේ සේරම පෘථග්ජනයන් අතර විශාල තරඟයක්. ඒ තරගය මාරයාට අයිතියි. මාරයා මේ මිනිස්සු තරග කරවා පිස්සු වට්ටනවා. ගහ මරා ගන්නවා. නිවනින් ඈත් කරනවා. ඒ අයටයි අපි මේ ආර්ය මාර්ගය කියා දෙන්නේ.

සටහන 
අසංක ආටිගල