සංචාරකයන් නැතිව වේළෙන කසුප් රජුගේ රජදහන


 

පසුගියදා රට තුළ පුපුරා ගිය බෝම්බ සිද්ධියත් සමඟ මෙරට සංචාරක කර්මාන්තයට ද දැඩි ප්‍රහාරයක් එල්ල විණි.  


මෙම ප්‍රහාරයත් සමඟ කිසිදා නොදුටු දසුන් රැසක් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී ගිය සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය වී තිබූ සීගිරිය, දඹුල්ල, හබරණ, මින්නේරිය ආදී ප්‍රදේශවලින් දැකගැනීමට මේ දිනවල හැකි වී තිබේ.  


එනම් එම ප්‍රදේශවල ජනතාවගේ සම්පූර්ණ ජීවිකාව ලෙස ක්‍රියාත්මක වූයේ සංචාරක කර්මාන්තය වීම නිසාවෙනි. දෙස් විදෙස් සංචාරකයන්ගේ නොපැමිණීම හේතුවෙන් සීගිරිය දැඩි පාළුවට ගොස් අඩුම තරමේ මිනිස් පුළුටක් නොදකින තරමට පාළුවට යන අවස්ථා ද මේ දිනවල ඕනෑ තරම් සීගිරියේ දී දැකගැනීමට හැකි වීම විශේෂත්වයකි.  
සංචාරක මඟපෙන්වන්නන්, ත්‍රීරෝද රථ පදවන්නන් දෙස් විදෙස් සංචාරකයන්ට විවිධ පහසුකම් ලබාදී ජීවත්වන අය සීගිරිගල පහළින් කුඩා ගල් කැට තබාගෙන එහි වාඩිවී කාඩ් සෙල්ලම් කරන අයුරු ද සීගිරියේ ගිය අපට දැකගැනීමට හැකියාව ලැබිණි.  


එමෙන්ම හබරණ, දඹුල්ල ආදී ප්‍රදේශවල බොහෝ දෙනා කරත්ත, සෆාරි මඟින් සංචාරකයන් පිනවා මුදල් උපයා ගත්තු අලි කරපිට විදේශිකයන් තබා අලි සෆාරි ක්‍රමවේදයද හබරණ ප්‍රදේශයෙන් ආරම්භ වී සීගිරිය දඹුල්ල ආදී ප්‍රදේශවල ද ව්‍යාප්ත වී තිබිණි. එහෙත් මේ දිනවල බෝම්බ පුපුරා යෑම හේතුවෙන් අලින්ට සහ කරත්ත පදින ගොන්නුන්ට විශාල වාසියක්ව ඇත්තේ කිසිදු වැඩක් නොකර ආහාර වතුර ලබාගෙන නිදහසේ සිටීමට හැකිවීම පමණි.  


ඓතිහාසික රංගිරි දඹුල්ල විදෙස් සංචාරකයන්ගෙන් නිතර ගහනය වූ ස්ථානයකි. එහෙත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධියත් සමඟ දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ද දඹුල්ලේ දැක ගැනීමටවත් නොමැත. එම ස්ථාන ද දැඩි පාළුවට ගොස් අඩුම තරමේ ප්‍රදේශයේ ස්වයං රැකියාවන්හි නිරතව ඉන්න අයට පවා මෙය තදින්ම බලපා තිබීම විශේෂත්වයකි.  


හබරණ නගරයේ බොහෝ දෙනෙකුගේ ජීවිකාව වූයේ විදේශිකයන්ට කාමර පහසුකම් ලබාදීම, ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම, කවුඩුල්ල මින්නේරිය ජාතික උද්‍යානයේ සංචාරකයන්ට වන අලින් පෙන්වීම ආදී රැකියාවන් වේ. එහෙත් මේ දිනවල ඒ සියලු දෙනාටම සිදුව ඇත්තේ බෝම්බ පිපිරී මියගිය අය මෙන් හඬා වැටීම පමණි.  

 

 


සංස්කෘතික සංචාරක හෝටල් සංගමයේ සභාපති සාලිය දයානන්ද මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී මෙසේ සඳහන් කළේය.  


"සංචාරක ව්‍යාපාරය ඉතා වේගයෙන් දියුණු වෙමින් පැවතුණා. පොඩිවට තිබුණු සංචාරක පහසුකම් සපයන ස්ථාන සියල්ල නවීකරණය වුණා. සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වෙන විවිධ ක්‍රියාකාරකම් මේ ප්‍රදේශවල ව්‍යාප්ත වුණා. ඒ සියල්ල සිදුවේගෙන එන අතර තමයි මේ මහා අපරාධය සිදු වුණේ.   


අද​ ​ෙවනවිට දඹුල්ල, සීගිරිය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, හබරණ ආදී ප්‍රදේශවල සංචාරක හෝටල් ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අඩපණ නෙවෙයි මැරිලාම යන තරමට පත්වෙලා. මේ පිළිබඳව අවස්ථා ගණනාවක ජනාධිපතිතුමා සමඟ සහ සංචාරක බලධාරීන් සමඟ අපි සාකච්ඡා කළා. යෝජනා අදහස් ඉදිරිපත් කළා. සමහර විට ඒවා ක්‍රියාත්මක වෙයි. ඒත් නැවත මේ තත්ත්වය සුවපත් වෙන්න කොපමණ කාලයක් ගත වෙයිද කියලා අපට හිතාගන්න අපහසුයි.  


බොහෝ තරු පන්ති සංචාරක හෝටල්වල අද එක කාමරයක් වත් දෙන්න බැරි තත්ත්වෙට පත්වෙලා. හැබැයි සේවකයෝ විශාල පිරිසක් මේකෙන් අතරමං වෙලා ඉන්නේ. සංචාරක කර්මාන්තයට සේවකයන් බඳවගන්න අපි විශාල කැපකිරීමක් කළා. හෝටල් පාසල් ආරම්භ කරලා පෞද්ගලිකව සංචාරක හෝටල්වලට තරුණියන් ගිහිල්ලා පෙන්නලා ආදී විවිධ ක්‍රියාකාරකම් කරල තමයි සේවක පිරිස හදාගත්තේ. අද ඒ අයට රැකියාව පවා අහිමි වෙන තත්ත්වයට පත්වෙලා."  

 

 


මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකරු විශ්‍රාමික මේජර් අනුර නිශාන්ත මහතා.  


"අපි හීනෙකින්වත් හිතුවේ නෑ මෙවැනි ප්‍රහාරයක්. යුද්ධය පැවති කාලයේවත් සීගිරිය මේ තරම් පාළුවට ගියේ නෑ. අද සිද්ධවෙලා තියෙන්නේ හිතාගන්නවත් බැරි විදිහට සීගිරියට දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම බරපතළ ලෙස අඩු වෙලා. පසුගිය වසර ගත්තහම එක දවසකට විදේශීය සංචාරකයන් දෙදහසක් පමණ සීගිරිය නරඹන්න එනවා. මේ දවස්වල එක දවසකට 25ත් 50ත් අතර ප්‍රමාණයක් තමයි පැමිණෙන්නේ. 


ඒ වගේම තමයි දේශීය සංචාරකයන් වෙනත් වසරවල දවසකට 2000කට වැඩිය එනවා. දේශීය සංචාරකයන් දැන් එන්නෙ 50ක් 75 ක් වගේ පිරිසක්. මේ තත්ත්වය ඉතාමත් බරපතළයි. මධ්‍යම සංස්කෘතික අරමුදල සේවකයෝ පවා විශාල වශයෙන් කලකිරිලා ඉන්නේ. මොකද ඒ අයගේ රැකියා පවා ලොකු අවදානම් තත්ත්වයක තමයි තියෙන්නේ. මොකද සංචාරකයන් ආවෙ නැති වුණාට මේවා නඩත්තු කිරීම්, පවත්වාගෙන යෑම, සංරක්ෂණ කටයුතු සියල්ල සිද්ධ කරන්න ඕන. ඊට වඩා බරපතළම ප්‍රශ්නය තමයි සංචාරක කර්මාන්තයෙන් මේ ප්‍රදේශයේ ජනතාව ජීවත් වුණා. ඒ යමක් විකුණල. අද ඒ අයට තමයි බරපතළම ප්‍රශ්නය තියෙන්නේ. ඒ නිසා කඩිනමින් මේක විසඳාගත යුතුයි කියලා අපි යෝජනා කරනවා."  


දඹුල්ල කණ්ඩලම සංචාරක හෝටලයේ කළමනාකරු ප්‍රියාන් විජේරත්න මහතා,  


"කණ්ඩලම හෝටලයට පමණක් නෙවෙයි මේ ප්‍රහාරයේ බලපෑම ලංකාවේ බොහෝ හෝටල්වලට බලපාලා තියෙන්නෙ. මේ වනවිට සේවකයන්ගේ ප්‍රශ්නයට උත්තර හොයමින් ඉන්නේ. මොකද මේ වගේ ලොකු හෝටල් කළමනාකරණය කරන්න නඩත්තු කරන්න විශාල මුදලක් යනවා ඒ හා සමානව ආදායමක් ලැබෙන්නේ නැහැ මේ නොසිතූ සිද්ධියත් එක්ක. එනිසා ඉදිරියේදී රජයේ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අපි බලාගෙන ඉන්නවා. බොහෝ දුරට ආරංචි වුණා සහන ක්‍රම රැසක් ක්‍රියාත්මක කරනවා කියලා. එහෙම වුණොත් යම් මට්ටමකින් හරි මේ සංචාරක ව්‍යාපාරයේ රැඳිලා ඉන්න පුළුවන් වේවි. අපි විශ්වාසය තියාගෙන ඉන්නවා. අද වෙනවිට සීගිරිය දඹුල්ල කණ්ඩලම ආදී ප්‍රදේශවල සංචාරක හෝටල් රැසක් සේවකයන් ඉවත් කරන තැනට පත්වෙලා. ඒ වගේම තමයි පුංචි පුංචි සංචාරක නිකේතන පදිංචි නිවසේ කාමරයක් විදේශිකයන්ට ලබාදීලා ජීවත් වෙච්ච අය ඔක්කොටම වෙලා තියෙන්නේ අද බත්පතට වැලි වැටුණ වගේ සිද්ධියක්."  


එමෙන්ම සීගිරිය දඹුල්ල හබරණ ආදී ප්‍රදේශවල සංචාරක ක්ෂේත්‍රයේ නියැළී සිටින බොහෝ දෙනකු සමඟ අප සාකච්ඡා කිරීමේදී කියා සිටියේ සංචාරකයන්ගේ පැමිණීම කඩිනම් කළ යුතු බවත් ඒ සඳහා රටේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්ය.   


මීට අමතරව සංචාරක කර්මාන්තයේ කඩාවැටීම සිදුවීම පිළිබඳව සතුටට පත්වන කොටසක් ද අපට හමුවිය. එම පිරිස අපූරු කතාවක් කියමින් කියා සිටියේ සංචාරකයන් බෝම්බ ප්‍රහාරයට ලක්ව සිදු වූ විපතකට වඩා විශාල අපකීර්තියක් ඔවුන් සූරා කෑමට සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න පිරිස් යොමු කරන බවය.  


සුනාමි ව්‍යසනය රටේ සංවර්ධනයට හරවා ගත්තා මෙන් මෙම බෝම්බ ප්‍රහාරය ද සංචාරක කර්මාන්තයේ සිදුවෙමින් පැවති අවාසනාවන්ත සිදුවීම් ඉවත් කොට නැවත සංචාරක කර්මාන්තය නිවැරදිව ආරම්භ කිරීමට හොඳ තෝතැන්නක් බව ඔවුහු පෙන්වා දෙති.  


එනම් සංචාරකයන් රැගෙන එන බොහෝ දෙනා සංචාරකයන්ට අලෙවි කරන බොහෝ භාණ්ඩවලින් අතිවිශාල අතරමැදි මුදලක් ලබාගැනීම, සංචාරක හෝටල් විශාල වශයෙන් අතරමැදියන්ගේ ගසා කෑමට ලක්වීම, විදේශිකයන් රවටා විවිධ බෙහෙත් ඖෂධ සබන් වර්ග අලෙවි කිරීම, කුරුඳු කරාබුනැටි සාදික්කා ගම්මිරිස් ආදී කුඩා පැකට් අතිවිශාල මිල ගණන් යටතේ විදේශිකයන්ට අලෙවි කිරීම තුළින් ඔවුන් දැඩි පීඩනයකට ලක්ව සිටි බව ඔවුහු පෙන්වා දෙති.  


ඇතැම් අවස්ථාවන්හිදී ඖෂධීය සබන් කැට වෙ​ෙළඳ නාමය ඉතා සූක්ෂම ලෙස ඉවත් කොට වෙනත් කඩදාසිවලින් ඔතා රුපියල් 50ක් වටිනා සබන් කැටය සංචාරකයින් රවටා රුපියල් 5000 මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් ද ඇතැම් කැක්කුම්වලට ආලේප කරන බාම් වර්ග අතිවිශාල මිල ගණන් යටතේ විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමක් ලෙස පවත්වාගෙන යෑම විදේශිකයන් සූරාකෑමට ලක්වන බව ඔවුහු පෙන්වා දෙති. සිද්ධීන් හෙළිදරව් කළහොත් තමන්ගේ සංචාරක හෝටල්වලට සහ ව්‍යාපාරවලට සංචාරකයන් රැගෙන එන අතරමැදි සංචාරක මඟපෙන්වන්නන් නොඑන බවද ඔවුහු කියති.  

 

 


දඹුල්ල - කාංචන කුමාර ආරියදාස